19 March, 2024

Blog

මුස්ලිම් විරෝධයට එරෙහිව නැගෙන මුස්ලිම් චින්තනයේ දරිද්‍රතාව

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

අවුරුදු දහසකට අධික කාලයක් මුස්ලිම් ජනතාව ලංකාවේ වාසය කොට ඇත. ඔවුන්, කඳුරට දෙමළ ප‍්‍රජාව මෙන් විශේෂ හේතුවක් මත, විශේෂිත ආකාරයකින් ලංකාවට ගෙන්වා, පාලක සැලැස්මකට අනුව නිශ්චිත කාල වකවානුවක පදිංචි කැරැුවූවන්ගෙන් පැවත එන පිරිසක් නොවේ. ඒ නිසා මුස්ලිම් ජාතිකයාගේ සංක‍්‍රමණය සැළකිය යුත්තේ ‘ස්වාභාවික’ සංක‍්‍රමණයක් වශයෙනි. එය, ලංකාවට පැමිණි සිංහලයන්ගේ සහ අද උතුරු=නැගෙනහිර සහ වෙනත් පළාත්වල වෙසෙන ලාංකීය දෙමළ ජාතිකයාගේ ‘ස්වාභාවික’ සංක‍්‍රමණයට වෙනස් වන්නේ, ඉස්ලාම් භක්තිකයා මෙරට ජීවත්ව ඇති ඉතිහාසය තුළ ගෙවී ගිය අවුරුදු ගණනින් පමණි.

‘ස්වාභාවික’ සංක‍්‍රමණිකයන් වශයෙන් සැළකිය නොහැකි, අවුරුදු දෙතුන් සීයක ඉතිහාසයක් ඇති කඳුකරේ දෙමළ වැසියාට, දකුණු ඉන්දියාවත් සමග තවමත් ලේ සම්බන්ධකම් තිබෙන්ට පිළිවන. එහෙත් ලංකාවේ මුස්ලිම් ජාතිකයාට ලෝකයේ වෙනත් රටක එවැනි ලේ සම්බන්ධකම් මේ වන විට ඇත්තේ නැත. ඉතිං, විශේෂ හේතුවක් මත ලංකාවට ගෙන්වන ලද කඳුකර දෙමළ වැසියා, සිංහලයෙකු සහ ලාංකීය ද්‍රවිඩයෙකු තරමටම අද ශ‍්‍රී ලාංකිකයෙකු වන්නේ යම් සේ ද, මුස්ලිම් ජාතිකයා ද එසේම විය යුතුය.

එහෙත්, මේ කඳුකර දෙමළ වැසියා සහ ලංකාවේ මුස්ලිම් වැසියාගේ චින්තනය හැඩගැසුණේ, අද උතුරු නැගෙනහිර වෙසෙන දෙමළ ජාතිකයාගේ චින්තනය හැඩගැසුණු ඓතිහාසික හා දේශපාලනික තත්වයන්ට සමාන තත්වයකින් නොවේ. කඳුකර දෙමළ වැසියාගේ චින්තනය එසේ වීමට බරපතල දේශපාලනික සහ ආර්ථික හේතු තිබුණි. උදාහරණයක් වශයෙන්, ඔවුන්ගේ පුරවැසි භාවය එක රැුයකින් අහෝසි කෙරුණු, නිදහස් ලංකාවේ බරපතලම ඛේදවාචකයට ඔවුන් මුහුණදී තිබුණි. අනිත් පැත්තෙන්, ලාභ ශ‍්‍රමය නැමති සාධකය අධිනිශ්චය වීමෙන් ඇති කෙරුණු සමාජයීය පරාරෝපණයට නිරන්තරයෙන් ඔවුන්ව යටත් කෙරුණි.

රටක වෙසෙන ප‍්‍රජාවක්, සිංහල, දෙමළ ආදී වශයෙන් වන, ඉංග‍්‍රීසියෙන් ‘රේස්’ යනුවෙන් ගැනෙන වාර්ගික අරුතින් නොව, ‘නේෂන්’ වශයෙන් ගැනෙන දේශපාලනික අරුතින් ‘ජාතියක්’ බවට පත්වන්නේ, ඓතිහාසිකවයි. එහි දී, තමන්ගේම වන භාෂාවක් හෝ තමන්ගේම වන ආගමක් හෝ තමන්ගේම වන සංස්කෘතියක් හෝ තමන්ගේම වන නිශ්චිත වාසභූමි සහිත දිගුකාලීන ඉතිහාසයකට උරුම කියන අතරේ, ස්වකීය ප‍්‍රජා අනන්‍යතාව එරටේ වෙසෙන වෙනත් ජන ප‍්‍රජාවන්ගෙන්, විශේෂයෙන් බහුතර ජන ප‍්‍රජාවෙන් ස්වායත්තව පවත්වා ගැනීමට කොතෙක් දුරට සමත් වන්නේ ද යන්න මත, එම ප‍්‍රජාව ‘දේශපාලනික ජාතිකත්වයට’ (නේෂන්) හිමිකම් කියති. මේ කියන ‘භෞතික’ කොන්දේසි මත යම් ප‍්‍රජාවක් කිසියම් අවස්ථාවක ඊටම ආවේණික වූ මනෝමය පැවැත්මක් සවිඥානිකව අත්කරගන්නේ නම්, එවැනි ජාතියක් රටක ස්වයං=නිර්ණ අයිතියට සුදුසුකම් ලබන්නේය.

ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව, එක විට ආගමික ප‍්‍රජාවක් මෙන්ම ජාතික ප‍්‍රජාවක් ද වන්නේය. මෙය, ලෝකයේ වෙනත් බොහෝ තැන්වල දක්නට නොලැබෙන තත්වයකි. උදාහරණයක් වශයෙන්, ඉස්ලාම් ආගම අදහන නයිජීරියානුවා, මුස්ලිම් ආගමිකයෙකු වශයෙන් මිස මුස්ලිම් ‘ජාතිකයෙකු’ වශයෙන් සැළකෙන්නේ නැත. ඔහු ජාතියෙන් නයිජීරියානුවෙකි. එසේ නැතහොත්, හවුසා, යොරුබා හෝ ඉබෝ වැනි ගෝත‍්‍රිකයෙකි.

මෙයින් අදහස් වන්නේ, ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව වෙනම ආගමික ප‍්‍රජාවක් වශයෙන් හඳුනා ගැනීමට අමතරව ‘ජාතියක්’ වශයෙන් හැඳින්වීමට ද හැම අතකින්ම සුදුසු වෙන බවයි. එහෙත්, දෙමළ ජනයා මෙන් එවැනි ජාතික ස්වාධීනත්වයක් සඳහා ඔවුන්ගේ කැමැත්තක් හෝ ආයාසයක් මෙතෙක් තිබී ඇති බවට සාක්ෂි නැත. ඔවුන් හැම විටකම ජීවත්ව ඇත්තේ, තවත් ජාතියක පරිවාරයක ය. උතුරේ දී දෙමළ මහජාතියේ සෙවනැල්ල යටතේත්, දකුණේ දී සිංහල මහ ජාතියේ සෙවනැල්ල යටතේත් ආදී වශයෙනි.

බොදුබල සේනා ආදී නම්වලින් හැඳින්වෙන සහ රජයේ පූර්ණ අනුග‍්‍රහය ලබන වත්මන් සිංහල බෞද්ධ මහජාතිවාදය අද මුස්ලිම් ජාතිකයාව තල්ලූ කරමින් සිටින්නේ, අප ඉහතින් කී, ජාතියක් වශයෙන් තමන්ගේම වන මනෝමය සවිඥානකත්වයක අවශ්‍යතාව දෙසට යි. මේ බොදුබල ෆැසිස්ට් ව්‍යාපාරය සමාජ බලවේගයක් නොව, රාජ්‍ය ව්‍යාපෘතියක් බව, වෙනත් බොහෝ සිංහලයන් මෙන්ම, මුස්ලිම් ජාතිකයා ද තවම තේරුම්ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. (හෙට වන විට එවැන්නක් සමාජ බලවේගයක් බවට පත්වීමට බැරි නැත*. මුස්ලිම් නායකයන් ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් වශයෙන් වරප‍්‍රසාද භුක්ති විඳින තත්වය යටතේ, මේ බොදුබල සේනා සමස්ත ක‍්‍රියාවලිය ‘අන්තවාදී කුඩා කණ්ඩායමක’ වැඩක් වශයෙන් පෙන්වීමට කොහොමත් වැඩි කැමැත්තක් දක්වනු ඇත. ඒ නිසා මේ අවස්ථාවේ දී ඔවුන්ට කළ හැක්කේ, තම ප‍්‍රජාව ආරක්ෂා කර දෙන්නැ යි ආණ්ඩුවට පින්සෙන්ඩු වීම පමණි. මොවුන් මේ ආරක්ෂාව රජයෙන් ඉල්ලා සිටින්නේ, සමාන ජන වර්ගයක් වශයෙන් තමන් සතු විය යුතු අයිතියක් වශයෙන් නොව, මහා ජන වර්ගයෙන් තමන් ලබාගත යුතුව ඇති වරමක් වශයෙනි. පහත සඳහන් ‘තර්ක’ ඊට නිදසුන් ය.

1. කොටි සංවිධානයට එරෙහිව රජය දියත් කළ යුද්ධයේ දී මුස්ලිම් ජනතාව සිටියේ රජය පැත්තේ මිස කොටි සංවිධානය පැත්තේ නොවේ.

මෙය සැබෑවකි. ඇත්තෙන්ම, එම කාලය තුළ මුස්ලිම ප‍්‍රජාව එල්.ටී.ටී.ඊ. තර්ජන ඉදිරියේ රජයට සහයෝගය දැක්වූහ. එසේ වෙතත්, ඔවුන්ගේ ඒ සම්මාදම, මේ රටේ සුළු ජාතියක් වශයෙන් ගත් විට, මහජාතියේ ප‍්‍රශංසාවට ලක්විය හැක්කේ එක කොන්දේසියක් යටතේ පමණක් බව, මේ මුස්ලිම් ප‍්‍රකාශකයෝ අමතක කරති. එනම්, ආණ්ඩුව යුද්ධ කෙළේ, ‘ත‍්‍රස්තවාදය අවසන් කිරීම’ සඳහා පමණක් බව සත්‍යයක් විය යුතුය යන්නයි. එය එසේ විණි නම්, යුද්ධයේ ජයග‍්‍රහණයත් සමග, එම ජයග‍්‍රහණයට සහයෝගය දැක්වූ සියල්ලන්ට, විශේෂයෙන් වෙනත් සුළු ජාතීන්ට, මහජාතියේ ප‍්‍රශංසාව හිමි වෙනු සහතිකයි. එහෙත්, යුද්ධයේ දේශපාලනික සහ ආත්මීය ආරම්මණය වුණේ, මහජාතියේ ඓතිහාසික අධිකාරීත්වය නූතන තත්වය තුළ දීප ව්‍යාප්තව ස්ථාපිත කැරැුවීම නම්, ජයග‍්‍රහණයෙන් පසු ඕනෑම සුළු ජාතියක් ඒ මහ ජාතිය ඉදිරියේ, පරාජිත දෙමළාට වඩා උසස් මිනිස් කොට්ඨාශයක් වීමට ඉඩක් නැත. සෑම සුළු ජාතියක් සඳහාම මහ ජාතිය විසින් මසා දෙනු ලබන කෝට් එකට සරිලන ලෙස ඒ ඒ සුළු ජාතියේ අඟපසක කපා දැමීමට එවිට නියමිත කෙරෙන්නේය. හලාල් සහ පර්දාවට එරෙහිව අද බොදුබල සේනාව දියත් කර ඇති යුද්ධය එවැන්නකි. (මේ ලියුම්කරු ද, හලාල් සහතිකයට සහ පර්දාව යන දෙකටම විරුද්ධයි. එහෙත්, ඒ වෙනත් පදනමක් යටතේ ය. ඒ ගැන මීට පෙර සාකච්ඡුා කොට ඇත).

2. ගිය වසරේ ජිනීවා නුවර සම්මත වූ යෝජනාවට මුස්ලිම් රටවල් බහුතරයක් සහයෝගය දැක්වීය. අනතුරුව, අද වන විට බොදුබල සේනා මගින් ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව පීඩාවට පත්කරද්දී පවා, මෙවර ජිනීවා නුවරදීත් ලංකාවේ සහායට සිටියේ මුස්ලිම් රටවල් ය. ලංකාවට පක්ෂව ඡුන්දය දුන් රටවල් 13 න් 7 ක්ම මුස්ලිම් ජාතීන් ය.

මේ ‘තර්කය’ මුස්ලිම් ප‍්‍රකාශකයන් ගෙනහැරපාන්නේ තමන්ට මේ රට තුළ සළකන ආකාරයේ ඇති අසාධාරණත්වය තවත් තීව‍්‍ර කොට පෙන්වා දීමට යි. එහෙත්, ඒ හේතුවාචකය පසුපස ඇති පරස්පරය ඔවුන් තේරුම්ගෙන තිබේ ද?

ගිය වසරේ දී මෙන්ම මෙවරත් ජිනීවා නුවර දී සම්මත කර ගැනුණු යෝජනාවෙන් මූලික වශයෙන් කියැවුණේ, ලංකාවේ කිසි ප‍්‍රජාවක, විශේෂයෙන් සුළු ජාතියක අයිතීන් උල්ලංඝණය නොවන තැනට වගබලා ගැනීමේ ප‍්‍රජාතන්ත‍්‍රීය වගකීමක් ලංකා ආණ්ඩුවට ඇති බවයි. ඒ අනුව ගත් විට, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට පක්ෂව ඡුන්දය පාවිච්චි කළ මුස්ලිම් රටවල් කර ඇත්තේ, ආණ්ඩුවට එවැනි ප‍්‍රජාතන්ත‍්‍රීය වගකීමක් ඇති බව තමන් නොපිළිගන්නා බව ප‍්‍රකාශ කිරීමයි. හෙවත්, ජනතා අයිතීන් පාගා දැමීමක් සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා නොකළ යුතු බවයි. ඉතිං, ජාත්‍යන්තර මුස්ලිම් ප‍්‍රජාව ජිනීවා නුවර දී ලංකා රජයට සැපයූ එම සහයෝගය තමන්ගේ පැත්තට සාක්ෂියක් වශයෙන් කැඳවන ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව, අනිත් පැත්තට හැරී රජයේ අනුග‍්‍රහයෙන් ක‍්‍රියාත්මක වන බොදුබල සේනාවේ ක‍්‍රියාකාරීත්වය විවේචනය කරන්නේ කෙසේ ද? (ගෝඨාභය රාජපක්ෂ බොදුබල සේනාවට මුල්ගල් තියයි. මහින්ද රාජපක්ෂ බොදුබල සේනා මූලස්ථානයට යයි. නැත්නම්, එහි නායකයන්ව අරලියගහ මැදුරට කැඳවයි.)

ස්වාධීන ජාතියක ශක්තිය මත සමාන අයිතීන් සහ ආරක්ෂාව ඉල්ලා සිටිනවා වෙනුවට, ජාතික සහ ජාත්‍යන්තර තලයේ උපකාර=ප‍්‍රතිඋපකාර (ලාංකීය කාන්තාව හරහා ලංකාවට විදේශ විනිමය එන්නේ මුස්ලිම් රටවලින්.. ආදී වශයෙන් වන තර්ක), පදනම මත ව්‍යාජ ගනුදෙනුවක් පවත්වා ගැනීමට බැලීම, දේශීය වශයෙන් විශේෂ වාසියක් අත්කර නොදෙනවා පමණක් නොව, (ලංකාවේ මුස්ලිම් කඩවල් කැඩුවේ අර කී මුස්ලිම් රටවල් ලංකාවට පක්ෂව ඡුන්දය පාවිච්චි කරන මොහොතේමයි*, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෑවිලාවත් නැති එවැනි අධිකාරීවාදී මුස්ලිම් රටවල් (ලංකාවට පක්ෂව ඡුන්දය පාවිච්චි කිරීමේ) ආදර්ශය පාඩමට ගැනීම, ලංකාවේ තමන් සඳහා ඇති අවම ප‍්‍රජාතන්ත‍්‍රීය අවකාශය පවා අහුරා ගැනීමක් බව මුස්ලිම් ජාතිකයා තේරුම් නොගැනීම අවාසනාවකි.

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    එතකොට රවුෆ් හකීම් කියපු කරපු දේවල් මොනවද කියලා මේ ඉතිහාස කතා කියන ගාමිණී වියන්ගොඩ දන්නේම නෑ වගේ.අශ්රොෆ් ලා මොකද කලේ,ඒ වගේම 2003 ඔලුවිල් ප්‍රකාශය කළේ මොකටද කියලා පොඩ්ඩක් හොයල බලන්න-ඒක කළේ ශ්‍රී ලාංකිකයෝ විදිහට එකට ඉන්න ඕනෑ හින්දා වෙන්න ඇති නේද?දීගවාපි පුදබිමේ ඉන්න සිංහලයන්ට මහා ජාතිය වීම නිසා වෙච්ච අසාධාරනකම් -2006,2007 විතර ෆේරියල් අශ්රොෆ් කියපු කරපු දේවල් එහෙම බලන්න.ඒ වගේම අද ඉන්න මුස්ලිම් දේශපාලකයෝ කියපු කරපු දේවල් එහෙමත් බලන්න.බොදු බල සේනාවේ හැසිරීම අනුමත නොකලත් කරුණාකර මේවා හොයලා බලන්න.බටහිර රටවල් ඔය කියන යෝජනා වලට සහය දුන්නේ ඇමරිකාවට එයාලා සහයෝගය දෙන හින්දා,ඒ වගේම තමයි මේ මුස්ලිම් රටවල් එයාලා ඇමරිකාවට විරුද්ද හින්දයි අපට සහයෝගය දුන්නේ,මේවා සද්භාවයෙන් කෙරෙන දේවල් නම් කමක් නෑ.එත් යටින් තියෙන බලාපොරොත්තු මොනවද කියල අපි දැනගන්න ඕනෑ.මුස්ලිම් අන්තවාදය ක්‍රියාත්මක වන අන්දම බාහිරට සාමාන්‍ය ජනයාට පෙන්නේ නෑ,ඒවා සිදුවන්නේ පල්ලි ,මද්රසා සහ අරාබි පාසල් හරහා නිහඬවම.ඒ නිසා ඒවා ගැන හඬක් නැගුවම (සහ ඕනේ දේටත් එපා දේටත් අත දාන්න ගිහින් හා මැරකම් කිරීමෙන්) අනිවාර්යෙන් ඔය කියන සංවිධාන මුස්ලිම් විරෝධී බවක් ලෝකෙට පෙන්නන්න පුළුවන්.ඒත් අද ෂරියා නීතිය යම් යම් ආකාරයට මුස්ලිම් බහුතරයක් ඉන්න පෙදෙස් වල ක්‍රියාත්මක වෙනවා,මේකට මුල් වෙලා ඉන්නේ උලමා සංවිධානය,එයාලා මද්රසා නම් පාසල් පවත්වමින් ෂරියා නීතිය උගන්වන්නේ ලොකු අයට නම් නෙවෙයි,8,9 වසරවල ඉන්න ළමයි පවා මේවල ඉන්නවා.ඉතින් අනාගතය කොහොම වෙයිද ,පොඩ්ඩක් හිතන්න.මේ අන්තවාදය අනාගතයේ පුපුරන්න තිබෙන කාල බෝම්බයක් වගේ.පල්ලිවල කියන කරන දේවල් කොහොමද සාමාන්‍ය මිනිස්සු දැනගන්නේ,ඒවා වෙන්නේ රහසිගතව.එත් ඔය කියන බොදු බල සේනා වැනි සංවිධාන එළිපිටම කතාකරන කොට වැරැද්ද පෙන්නේ එයාලගේ මිසක් රහසිගතව කටයුතු සිදුකරන උලමා සංවිධාන වල නොවේ ඒ අපේ මිනිස්සු දකින්නේ ඒක පැත්තක් විතරක් නිසයි.කරුණාකර සැඟවුණු පැත්තත් සොයා බලන්න.ඒ අන්තවාදයටත් එරෙහි වන්න.මොකද ඒක හුඟක් භයානක බව ලෝකේ දිහා බලපුවම ඕනේ කෙනෙකුට දැනගන්න පුළුවන් වේවි.අනෙක මුස්ලිම් යන්න ඉස්ලාම් ආගම අදහන්නා බව සැබැව,ඔවුන් සිංහලයන්ගේ හා ද්‍රවිඩයන්ගේ මවු පාර්ශවයෙන් නෑයන් නම් (සමහර මුස්ලිම් වරු තමන් සිංහල මුස්ලිම්වරු යයි කියගනිති)එසේ නම් ආගමික උත්සවයක් නොවන අලුත් අවුරුද්ද මොවුන් සමරන්නේ නැත්තේ ඇයි?කොටි සංවිධානයට එරෙහි යුද්ධයෙන් කීයක් මුස්ලිම් සෙබලු මියගියාද?ඒ ප්‍රතිශතය එදා ඔවුන්ගේ ජන ප්‍රතිශතයට සමාන වුනාද? ඒ මියගිය අයත් සුද්දගේ කාලේ ඉඳල සාම්ප්‍රදායිකව හමුදා පොලිස් සේවයේ නිරතවුන මැලේ වරු මිස බහුතර මුස්ලිම්වරුන් වන මුවර් වරු නොවේ.(ලංකාවේ මැලෙවරුන් ප්‍රමාණය සොයා බලන්න එතකොට තේරෙයි.මේ මැලේ වරු බොහොමයක් සිංහලයට සමීපයි,ඒ වගේම සංකරයි.) ඔවුන් යුද්දෙනුත් බැලුවේ සිංහල ද්‍රවිඩ දෙගොල්ල ගහගන්න අතරේ තමන් බේරී කටයුතු කිරීමටයි-සුළු මුස්ලිම් දේශප්‍රේමින් පිරිසක් හැරෙන්නට-එතකොට කාලෙකට කලින් මුස්ලිම් බලකායක් හදන්න යෝජනා ගෙනාවේ අපි ශ්‍රී ලාංකිකයෝ කියන එකට හරිම කැමති හින්දා වෙන්න ඇති නේද?පොඩ්ඩක් මේවත් බලලා කතා කරන්න.ආයේ පොඩ්ඩක් 1949 ඉන්දියානු පකිස්තානු පුරවැසි පනතට අවධානය යොමු කරන්න.එකෙන් ලංකාවේ වෙළදාමට පැමිණිලා හිටපු විශාල පිරිසකට පුරවැසි කම හම්බවුනා.අදටත් ඔවුන්ගේ නෑයෝ දකුණු ඉන්දියාවේ ඉන්නවා-මේ කියන්නේ දකුණු ඉන්දීය මුස්ලිම් වරු ගැන-ඔවුන් අතර අදටත් විවාහ පවා සිද්ධ වෙනවා ඉතින් ඔබ මුස්ලිම් සමාජය ගැන දන්නා තරම බොහොම අඩුයි වගේ.පොඩ්ඩක් හොයලා බලන්න.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.