28 October, 2020

Blog

‘සමාජ සාධාරණත්වය සඳහා වන ජාතික ව්‍යාපාරය’ සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා

ලක්සිරි ප‍්‍රනාන්දු

ආචාර්ය ලක්සිරි ප‍්‍රනාන්දු

අතිශය පිළිකුලට සහ ද්වේෂයට ලක්ව ඇති විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරලීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා රාමුව සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවලියක්, ‘සමාජ සාධාරණත්වය සඳහා වන ජාතික ව්‍යාපාරය’ විසින් ඉදිරිපත් කරනු ලැබ තිබීම ප‍්‍රශංසා කටයුතු ය. දෝෂාභියෝග රංගනය තුළ ඇති කෙරුණු ව්‍යවස්ථා අර්බුදයේ දී මේ රට ගමන් ගත් සහ තවමත් අවසන්ව නැති ක්ෂතිමය අත්දැකීම, මෙම වෑයම සහ යෝජනාවලියේ අදාළත්වය මොනවට කියාපායි. එසේම, මේ කටයුත්තේ දී, අතීතයට වෙනස්ව, මෙවර මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් විශ්වසනීය සිවිල් සංවිධානයක් මැදිහත්ව සිටීම එම ප‍්‍රයත්නය තවත් අර්ථවත් කරයි.

කඩ කළ පොරොන්දු

ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ පොරොන්දු අතීතයේ දී ආවේ ප‍්‍රධාන වශයෙන් දේශපාලන පක්ෂ තුළිනි. සිය ජයග‍්‍රහණයන් සඳහා පුළුල්ම ජනතා සහයෝගයක් අපේක්ෂා කරමින් දුන් මේ පොරොන්දුව, මැතිවරණ ජය ගැනීමෙන් අනතුරුව මුළුමණින්ම අතහැර දැමුණි. 1994 චන්ද්‍රිකා කුමාරණතුංගගේ ජනතා සන්ධාන ජයග‍්‍රහණයේදී මෙන්ම, 2005 මහින්ද රාජපක්ෂගේ එක්සත් ජනතා සන්ධාන ජයග‍්‍රහණයේදීත් සිදුවුණේ එය යි. එම පොරොන්දුවම දුන්, 2010 ජනාධිපතිවරණයේ සරත් පොන්සේකා වැනි පරාජිත අපේක්ෂකයන් ජයග‍්‍රහණය කෙළේ නම් ඊට වෙනස් ප‍්‍රතිඵලයක් ඇති විය හැකිව තිබිණි ද යන්න කීම අසීරු ය. 1994 දී චන්ද්‍රිකා කුමාරණතුංගත්, 2005 දී මහින්ද රාජපක්ෂත් මේ පොරොන්දුව මගහැරීම සඳහා පසුව ඉදිරිපත් කළ සුපුරුදු අවසරය වුණේ, ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා තුනෙන් දෙකේ බහුතරයක් බලයක් තමන්ට නොමැති බවයි. එහෙත්, මහින්ද රාජපක්ෂ කියන්නේ ඇත්තක් නම්, 2010 සිට ඔහුට තුනෙන් දෙකකටත් අධික බලයක් තිබියදීත්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා වෙනුවට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් ඔහු එය තවත් ශක්තිමත් කෙළේ මන්ද යන්න ප‍්‍රශ්නයකි. සත්තකින්ම ඒ මගින් ඔප්පු කෙරුණු සැබෑව වන්නේ, ‘බලය ¥ෂණය කරයි, පරම බලය පරම වශයෙන් ¥ෂණය කරයි’ යන ඇක්ටන් සාමිවරයාගේ කියමනයි.

ජනාධිපති ක‍්‍රමය මුළුමණින් වෙනස් කිරීමේ උනන්දුවක් එක්සත් ජාතික පක්ෂයට කවදාවත් තිබුණේ නැත. 2000 දී යම් වෙනසක් සඳහා ඔවුන් එකඟ වුවත්, චන්ද්‍රිකා කුමාරණතුංග රජය ඒ සඳහා අවංක නැතැ යි යන තර්කය උඩ පසුව ඔවුන් එම ව්‍යාපෘතියෙන් ඉවත් වුණි. ඔවුන්ගේ තර්කයේ යම් ඇත්තක් තිබුණා වන්නටත් පුලූවනි. විධායක ජනාධිපති ක‍්‍රමය ඇත්තෙන්ම ඔවුන්ගේ දරුවෙකි. කෙසේ වෙතත්, එම ක‍්‍රමයේ ඒකාධිපති ස්වරූපය කෙරෙහි ගොඩනැගී ඇති බලවත් ජනතා අප‍්‍රසාදය සැළකිල්ලට ගෙන, එය විධායක අගමැති ක‍්‍රමයකට වෙනස් කර ගැනීමේ අවශ්‍යතාවක් ගැන ඔවුන් ද කතා කොට ඇතත්, එය පවා තුනෙන් දෙකේ බලයක් නොමැති කම පිළිබඳ අවසරය යටතේ පසෙකට ලෑමට අපහසු නැත. අවසාන වශයෙන් ගත් විට පෙනෙන්ට ඇත්තේ මෙකී කාරණය අරභයා මේ පක්ෂ දෙක අතරේ වැඩි වෙනසක් නැති බවයි. ඊටත් වඩා, වර්තමාන සමානුපාතික නියෝජන ක‍්‍රමය යටතේ ඊළඟ මැතිවරණයේ දී කිසි පක්ෂයකට තුනෙන් දෙකේ බලයක් හිමිවීමේ ඉඩක් නැති තත්වය තුළ, පක්ෂ නායකත්වය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කළ හැකි වෙනසක් පක්ෂ අභ්‍යන්තරයෙන් සහ බාහිරෙන් සිදුවෙතොත් මිස, මෙකී ව්‍යවස්ථා සංශෝධනය සඳහා එක්සත් ජාතික පක්ෂය උත්පේ‍්‍රරකයක් වීමට ඉඩක් නැත.

දේශපාලන පක්ෂ තුළින් වෙනුවට සිවිල් සමාජය තුළින් මේ ව්‍යාපෘතිය එසැවීමට ‘සමාජ සාධාරණත්වය සඳහා වන ජාතික ව්‍යාපාරය’ පියවර ගන්ට ඇත්තේ ඉහත කී හේතුන් නිසා විය හැක. කෙසේ වෙතත්, ස්වකීය පහළොස් වැදෑරුම් ව්‍යවස්ථා සංශෝධන වැඩපිළිවෙල ‘සෑම දේශපාලන පක්ෂයක සහ අපේක්ෂකයෙකුගේ මැතිවරණ ප‍්‍රකාශන තුළ අඩංගු කරගත යුතු බවටත්, මැතිවරණයෙන් පසු අදාළ සංශෝධන ඇති කිරීම සඳහා ඔවුන් වහා ක‍්‍රියාත්මක විය යුතු බවටත්’ ඔවුහූ යෝජනා කරති. මෙය හුදෙක් දවල් සිහිනයක් ද නැද්ද යන්න තීරණය වන්නේ:

(1* ‘සමාජ සාධාරණත්වය සඳහා වන ජාතික ව්‍යාපාරය’ මේ වැඩපිළිවෙල දියත් කරන මෙහෙයුම් මාදිලිය,
(2* පොදු ජනයාගේ සහ, ඔවුන්ගේ ප‍්‍රධාන සංවිධාන වන වෘත්තීය සමිති, ආගමික සංවිධාන, කාන්තා සහ තරුණ සංවිධාන, විශ්වාස කටයුතු රාජ්‍ය නොවන සංවිධාන ආදියේ ප‍්‍රතිචාරයන්,
(3* දේශපාලන පක්ෂ සහ ඔවුන්ගේ සබුද්ධික කොටස් දක්වන ප‍්‍රතිචාර සහ
(4* මෙවැනි ව්‍යවස්ථා සංශෝධන ව්‍යාපෘතියක් කෙරෙහි වාසිදායක හෝ අවාසිදායක අයුරින් කරලියට එළැඹිය හැකි වෙනත් ජාතික ප‍්‍රශ්න ආදිය මත යි.

පහළොස් වැදෑරුම් වැඩපිළිවෙල

විවිධ සමාජ කොටස් අතරේ පුළුල් එකඟත්වයක් ඉලක්ක කෙරෙන පහළොස් වැදෑරුම් වැඩපිළිවෙලට අඩංගු වන්නේ, ප‍්‍රධාන කාරණා සමහරක් මිස ව්‍යවස්ථා සංශෝධනයට අදාළ සෑම අංශයක්ම නොවේ. ‘විධායක ජනාධිපති ක‍්‍රමය වහාම මුළුමණින් අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රම මාදිලියකට ආපසු පැමිණෙනු ඇත. වෙනත් ආකාරයක ප‍්‍රකාශිත විධිවිධාන ඇතොත් මිස, ජනාධිපතිවරයාව පාර්ලිමේන්තුව මගින් පත්කරගනු ලැබෙන අතර ඔහු කි‍්‍රයා කරනු ඇත්තේ අගමැතිවරයාගේ උපදෙස් මත යි.’ යනුවෙන් එහි සඳහන් වෙයි.

‘පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රම මාදිලියක්’ යන්නෙන් අදහස් වන්නේ, විශේෂයෙන් 1972 ට කලින් තිබුණු ආකාරයේ ආණ්ඩු ක‍්‍රමයක් බවට සැකයක් නැත. 1972 ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය යම් ආකාරයකින් විකෘති කෙරුණු බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. අනතුරුව, අධිකරණයේ ස්වාධීනත්වය, සංවරණ සහ තුලන ක‍්‍රියාදාමය සහ රාජ්‍ය සේවාවේ දේශපාලන මධ්‍යස්ථ භාවය අඩාල කරමින්, විධායක ජනාධිපති ක‍්‍රමය යටතේ එය තවත් උග‍්‍ර කෙරුණි. වර්තමාන ලෝකයේ වඩාත් පිළිගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය වන්නේ, පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය යි. පුළුල් අර්ථයකින් ගත් විට ජනාධිපති ක‍්‍රමය ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී යැයි පිළිගැනෙතත්, දියුණු වෙමින් පවතින ලෝකයේ රටවල් තුළ එහි භාවිතය හැම විටකම තුඩුදී ඇත්තේ ව්‍යසනකාරී ප‍්‍රතිවිපාකයන්ට ය.

ඇමරිකා එක්සත් ජනපදයේ පවා, විධායක ජනාධිපති ක‍්‍රමය අභ්‍යන්තරික වශයෙන් බොහෝ සෙයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙතත්, බොහෝ දුරට, ජනාධිපතිවරයා සතු බලතල හේතුකොටගෙන, එම රට බාහිර ලෝකයේ හැසිරෙන ආකාරය පීඩාකාරී ය. ආක‍්‍රමණකාරී ය. සමාජ ගැටුම්, පැතුරුණු දේශපාලන හිංසනය, සමාජ නැගිටීම්, ත‍්‍රස්තවාදය සහ යුද්ධය ශ‍්‍රී ලංකාව වසා පැතිර ගත් තර්ජනයක් බවට පත්වුණේ විධායක ජනාධිපති ක‍්‍රමය යටතේ වීම හුදු අහම්බයක්ම නොවිය හැකිය. මේ ක‍්‍රමය දිගටම පැවතුණොත්, එවැනි අනතුරු නැවත උදාවීමේ ඉඩකඩ වැඩි ය. එපමණක් නොව, මේ ක‍්‍රමය අද වන විට, මුළු ලෝකයාටම දැකගත හැකි පරිද්දෙන් ‘පවුල් පාලනයක්’ දක්වා පිරිහී ඇත. ජනතාවගේ ප‍්‍රාරම්භක ශක්තීන් සහ නිදහස් මාධ්‍ය හරහා විධිමත්ව අධීක්ෂණය කෙරෙනු ලබන පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් යටතේ එවැනි විපතකට ඉඩක් නැත.

මේ වැඩපිළිවෙල මගින් වෙනස් කිරීමට බලාපොරොත්තු වන්නේ ජනාධිපති ධුරය පමණක් නොවේ. වර්තමාන සමානුපාතික නියෝජන ක‍්‍රමයත් ඉන් අපේක්ෂිත තවත් වෙනසකි. අතිශය භේදකාරී ‘මනාප ක‍්‍රමය’ අහෝසි කොට, කේවල ආසන සහ සමානුපාතික ක‍්‍රමයේ සම්මිශ‍්‍රණයක් ඒ මගින් යෝජනා කෙරේ. යෝජිත ක‍්‍රමය තුළ, ඉස්සර මෙන් කුඩා ආසනයක් තුළ ‘අපේ මන්ත‍්‍රීවරයෙකු’ පත්කර ගැනීමට ඡුන්දදායකයාට අවස්ථාව ලැබෙන්නේය. ඊට අමතරව, පක්ෂ අතර යම් තුලනයක් පවත්වා ගැනීම සඳහාත්, එක ආසනයකින් පිටතට පැතිරෙන කුඩා පක්ෂ සහ කණ්ඩායම් නියෝජනය වීම සඳහාත් සීමිත සමානුපාතික ක‍්‍රමයක් පවත්වා ගැනේ. එසේම, මේ යෝජනාවලිය තුළ, අවස්ථාවාදි පක්ෂ මාරු කිරීම් තහනම් කෙරේ. යම් මන්ත‍්‍රීවරයෙකු පක්ෂය මාරු කළොත් එම ආසනය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වෙන්නේය. මේ යෝජිත පිළිවෙල තර්කාන්විත බවට සැකයක් නැත.

තව ද, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිපත්ති ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් හරවත් ධර්මතා කිහිපයක් ප‍්‍රධාන මූලධර්ම හතරක් යටතේ මෙම යෝජනාවලිය තුළ ගෙනහැර දැක්වෙයි:

(අ* ව්‍යවස්ථාවේ උත්තරීතරත්වය සහ නීතියේ ආධිපත්‍යය
(ආ* නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අභිමානය, සමානාත්මතාව සහ සමාජ සාධාරණත්ව සාධනය, මූලික නිදහස් හා අයිතිවාසිකම් ප‍්‍රවර්ධනය
(ඇ* වාර්ගික, ආගමික හා ලිංගික සමානාත්මතාව
(ඈ* සර්වජන ඡුන්දය, ක‍්‍රමවත් මැතිවරණ, ප‍්‍රජාතන්ත‍්‍රීය ආණ්ඩුකරණයේ බහු=පක්ෂ ක‍්‍රමයක්.

‘ක‍්‍රමවත් මැතිවරණ’ සහ ආණ්ඩුකරණය තුළ ඡුන්දදායක සහභාගීත්වය ශක්තිමත් කරනු වස් මෙම වැඩපිළිවෙල මගින් පාර්ලිමේන්තු කාලය වසර පහකට සීමා කරනු ලැබේ. මෙය ඉමහත් ජනතා ප‍්‍රසාදය දිනාගත හැකි යෝජනාවකි.

වෙනත් සංශෝධන

මීට අඩංගු වඩාත් යහපත් අංගය වන්නේ, ශ‍්‍රී ලාංකීය ජාතිය සමන්විත වන ජනතාව ‘බහු=සංස්කෘතික, බහු=භාෂාමය සහ බහු=ආගමික’ ස්වභාවයක් ගන්නා බව පිළිගැනීමයි. එහි සඳහන් පරිදි: ‘‘ශ‍්‍රී ලාංකීය ජනතාව සමන්විත වන ශ‍්‍රී ලංකාවේ වෙසෙන විවිධ ජාතීන්ට, පොදු ශී‍්‍ර ලාංකීය අනන්‍යතාව කිසි ලෙසෙකින්වත් දුර්වල කරගන්නේ නැතිව, ඔවුන්ගේ භාෂාව වර්ධනය කරගැනීමට, ඔවුන්ගේ ආගම ආරක්ෂා කරගැනීමට, ඔවුන්ගේ සංස්කෘතිය සංවර්ධනය කොට ප‍්‍රවර්ධනය කරගැනීමට, ඔවුන්ගේ ඉතිහාසය සංරක්ෂණය කරගැනීමට සහ ආණ්ඩුවේ ආයතන තුළ නිසි නියෝජනයට ඇති අයිතිය ඇතුළු රාජ්‍යයේ නිසි පංගුවට අයිතිය ඇත්තේය.’’ එසේම එය පැහැදිළිව මෙසේ ද කියයි: ‘‘මෙය මොන විදිහකින්වත්, ජනරජයේ භෞමික අඛණ්ඩතාව හෝ දේශපාලනික එක්සත් භාවය, පූර්ණ වශයෙන් හෝ පංගු වශයෙන්, කඩාඉහිරවන හෝ හානියට පමුණුවන මොනම ක‍්‍රියාවක් සඳහාවත් බලය පවරන්නක් හෝ උනන්දු කරවන්නක් නොවේ.’’ බල අපහරණය සීමා කරනු වස් සහ ආණ්ඩුකරණය කෙරෙහි යම් පාලනයක් පවත්වාගනු වස්, එහි මෙසේ යෝජනා කෙරේ: ‘‘කැබිනට් ඇමතිවරු 25 කට වැඩි නොවිය යුතුය. කැබිනට් නොවන සහ නියෝජ්‍ය ඇමතිවරු සංඛ්‍යාව ද 25 කට වැඩි නොවිය යුතුය. වෙන මොනයම්ම හෝ ඇමති තනතුරක් ද තිබිය නොහැක්කේය.’’

තවද, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට, ව්‍යවස්ථා මණ්ඩලය සහ ස්වාධීන කොමිෂන් සභා ඇතුළු 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සියළු යහපත් අංග නැවත ඇති කිරීමට ඒ මගින් යෝජනා කරන්නේය. අඩුවක් සේ පෙනෙන්නේ, සෙනේට් සභාවක් හෙවත් දෙවන මන්ත‍්‍රණ සභාවක් පිළිබඳ යෝජනාවක් නැති කමයි. එසේම, ආණ්ඩුවක් විසිරුවා හැරීම සහ අළුත් ආණ්ඩුවක් පත්කර ගැනීම අතර කාලය සඳහා, පවතින ආණ්ඩුවේ ග‍්‍රහණයෙන් නිදහස්, තාවකාලික භාරකාර ආණ්ඩුවක් යෝජනා කොට තිබීම, නිදහස් හා සාධාරණ මැතිවරණ පිළිබඳව ඇති බරපතල අවශ්‍යතාව නවෝත්පාදකව පිරිමැසීමකි. යෝජිත සංශෝධන තුළ සිංහල සහ දෙමළ භාෂා සම තත්වයේ ලා සැළකීම, රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය නිරවුල් කරගැනීමක් වන අතර, ඉංග‍්‍රීසිය ඇතුලූ භාෂා තුනම ජාතික භාෂා වශයෙන් සැළකිය යුතු බවට ද යෝජනා කෙරේ. මෙය සාධාරණ ප‍්‍රතිපත්තියක් බවට සැකයක් නැතත්, භාෂා තුනම රාජ්‍ය භාෂා වශයෙන් නොසැළකිය යුත්තේ මන්ද යන්න පැහැදිළි නැත: එවැන්නක් සරළ ය. පැහැදිළි ය. ප‍්‍රයෝජනවත් ය. ඇරත්, ඉංග‍්‍රීසිය දැනටත් ‘නිල නොලත්’ රාජ්‍ය භාෂාවකි. නිල වශයෙන් සිංහල හෝ දෙමළෙන් සන්නිවේදනය කිරීමට මෙයින් බාධාවක් නොවේ.

සමස්ත ව්‍යවස්ථා යෝජනාවලිය බොහෝ සෙයින් මානව හිමිකම් සහ යහපාලන මානයන් භජනය කරන බව පෙනේ. ව්‍යවස්ථා ප‍්‍රතිපත්ති සහ නීතියේ ආධිපත්‍යය ව්‍යුත්පන්න වන්නේ ඒ මතිනි. එම නිසා, ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දය ශක්තිමත් කොට විකසිත කිරීමට ‘සමාජ සාධාරණත්වය සඳහා වන ජාතික ව්‍යාපාරයට’ බලවත් ඕනෑකමක් තිබීම පුදුමයක් නොවේ. ඒ විෂය අරභයා හරවත් මහජන සංවාදයකට ඔවුහු ඇරියුම් කරති.

ශ‍්‍රී ලංකාවේ ජනතාව, පැහැදිළිවම, මීට වැඩි නිදහසක් සහ නිශ්චිතව නිර්ණය කෙරෙන සිවිල් සහ දේශපාලනික හිමිකම් භුක්ති විඳීමට සුදුස්සෝ වෙත්. ඊට අමතරව, අපේ සමාජයෙන් දිළිඳු බව සහ සමාජාර්ථික අසමානතා දුරලීම සඳහා දිළින්දන් සහ ආන්තික ජන කොටස්වල ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතීන් සහතික කෙරෙන විධිවිධානත් පැවතියේ නම් අගනේය. ආර්ථික හා සමාජ අයිතීන් නමට පමණක් තිබීමෙන් ඵලක් නැත. ඒවා ප‍්‍රායෝගිකව භාවිත කළ හැකි විය යුත්තේය.

ඉදිරියේ ඇති කර්තව්‍යයන්

මේ යෝජනාවලිය තුළ යම් ප‍්‍රධාන දුර්වලතාවක් ඇත්නම්, ඒ වනාහී, පළාත් සභා ක‍්‍රමය සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආරක්ෂා කිරීමේ අවධාරණයක් නැති කමයි. පළාත් සභා ගැන සඳහන් කිරීම් ඇතත් ඒ පිළිබඳ පැහැදිළි ප‍්‍රකාශිත කැපවීමක් පෙනෙන්ට නැත. සමහරවිට, මේ යෝජනාවලියේ කෙටුම්පත් සම්පාදකයන්ට මේ විෂය අරභයා වඩාත් පුළුල් එකඟතාවක් සඳහා යම් කාලයක් අවශ්‍ය කළා විය හැක. එහෙත්, ව්‍යවස්ථාමය ව්‍යුහය අධිකාරීවාදයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වෙනස් කිරීමේ දී, බලය බෙදාහැරීමේ විෂය අරභයා දෙපැත්තට වැනෙන ගතියක් හෝ දෙගිඩියාවක් තිබිය නොහැක්කේය. වර්තමානයේ දී ඇති කරගන්නා සුළු දෙගිඩියාවන් වුව අනාගතයේ දී මහා බාධකයන් බවට පත්විය හැක්කේය. එබැවින්, මේ කාරණය ගැන නිසි අවධානය යොමු කරමින්, 13 වැනි ව්‍යවස්ථාවේ මූලධර්ම පිළිබඳ ස්වකීය මතය කල් නොයවා පැහැදිළිව ප‍්‍රකාශයට පත්කරන්නැ යි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගෙන් පෞද්ගලිකව ඉල්ලා සිටීමට මම කැමැත්තෙමි.

තවද, කෙටුම්පත් සම්පාදකයන් වෙත එක යෝජනාවක් කිරීමට කැමැත්තෙමි. ඔවුන් ලියන්නේ, ඉංග‍්‍රීසියෙන් වේවා, සිංහලෙන් වේවා, දෙමළෙන් වේවා, අර්ථවත් මහජන සංවාදයකට මෙකී කාරණා යොමු කළ යුතු හෙයින්, සාමාන්‍ය ජනයාට පහසුවෙන් වටහාගත හැකි, වැඩිමනත් නීතිමය බරසාර භාෂාවකට වඩා, සරළ සහ සුගම භාෂාවක් උපයුක්ත කර ගැනීම වටනේය.

කරුණු එසේ තිබියදී, ව්‍යවස්ථා සංශෝධන හෝ වෙනත් ඕනෑම කරුණක් සම්බන්ධයෙන්, වර්තමාන මර්දනීය තත්වයන් යටතේ ජනතාව බලමුළු ගන්වන්නේ කෙසේ ද යන්න, බරපතලම අභියෝගය බව කිව යුතුය. ඉස්සර තමා කළා සේ, ‘ජනඝෝෂා’, ‘පාද යාත‍්‍රා’ හෝ ‘මව්වරුන්ගේ පෙරමුණ’ වැනි විරෝධතා, හැකි නම් සංවිධානය කරන්නැ යි, ජනාධිපතිවරයා බොහෝ විට, යම් උපහාසයකින් ද යුතුව, විපක්ෂයට අභියෝග කරයි. අභියෝගය එය යි. ඉහත කී සියල්ල ඔහු සාමකාමීව සහ කාර්යක්ෂමව ඉටු කළ බව, ඔහුට කරන ගෞරවයක් වශයෙන්, කිව යුතුය. සාමකාමී මුත් ජවසම්පන්න පරිවර්තනයක් තුළින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීම සඳහා, ජනතාව පෙළගැස්වීමේ අභියෝගය භාරගත හැකි, අධිෂ්ඨානශීලී තිරසාර තරුණ ජනතාවක් අවශ්‍ය කෙරේ.

*2013 අපේ‍්‍රල් 10 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ NMSJ And Constitutional Reform Proposals ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.