23 September, 2019

Blog

උදයන් පුවත්පතට ගිනි තැබීම ‘ඇතුළේ වැඩක්’: රජයේ ප‍්‍රකාශක

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

පසු ගිය දා යාපනේ උදයන් පුවත්පත් කාර්යාලයට කඩාවැදුණු පිරිසක් එහි දේපළවලට ගිනි තබා විනාශ කළහ. සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ මේ පුවත්පතට එල්ල කළ දෙවැනි ප‍්‍රහාරය මෙයයි. මීට පෙර සතියේ ඔවුන්ගේ කිලිනොච්චි කාර්යාලයටත් ප‍්‍රහාරයක් එල්ල විය. අළුත් ප‍්‍රහාරය පිළිබඳ ප‍්‍රකාශයක් කරන ආණ්ඩුවේ නියෝජිතයා, එය උදයන් පුවත්පත ‘ඇතුළෙන් කළ වැඩක්’ බව පෙන්වා දෙමින් අපේ මොළ සේදීමේ උත්සාහයක යෙදුණි.

මහ දවල් බොරු කියන ඔහු සහ කටවල් ඇරගෙන බලා සිටින අප යනු කවුරුන් ද? ඔහුගේ සහ අපේ ස්වභාවය කුමක් ද? ලංකාවේ වර්තමාන තත්වයත්, එහි පාලකයන්ගේ මෙන්ම අප වැනි පාලිතයන්ගේ ස්වභාවයත් පැහැදිළි කරගත හැකි, දේශපාලනික (නො)දැනුම සහ (අ)විශ්වාසය පිළිබඳ දෙපැත්තක රසකතා දෙකක් මෙහි දී සඳහන් කිරීම වටනේය. ඉන් පළමුවැන්න මෙසේය:

මිතුරන් දෙදෙනෙකු ගමනක් යන විට බල්ලෙකු ඔවුන්ගේ ඇඟට බුරා පනී. එක මිතුරෙකු එයින් තැතිගත් විට, අනිත් මිතුරා ඔහු සැනසීමට, සමාජයේ ව්‍යවහාර සත්‍යයක් ඔහුට මතක් කර දෙයි. එනම්, ‘‘බයවෙන්න එපා, අහලා නැද්ද, බුරන බල්ලා සපා නොකයි කියන කතාව?’’ එහෙත්, බල්ලාගේ බිරිල්ලෙන් ඇත්තෙන්ම තැතිගත් මිතුරාට ඒ පිළිතුර සම්බන්ධයෙන් නැගිය හැකි ප‍්‍රති ප‍්‍රශ්නයක් තිබුණි: ‘‘ඒ වුණාට, ඔය කතාව මේ බල්ලා දන්නවා ද කියලා අපි කොහොම ද දන්නේ?’’ ඔහු පෙරලා ප‍්‍රශ්න කෙළේය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුකරණය තුළ තර්කානුකූල දේශපාලන විග‍්‍රහයන්ට ඉඩක් නැති බව නොදන්නා බොහෝ දෙනා තම මතය සම්භාව්‍ය හේතුබුද්ධිය මතම පදනම් කිරීමට බලයි. ලෝක චාරිත‍්‍රය කියා දෙයක් මහින්ද රාජපක්ෂ නොදන්නා නිසා හෝ නොතකන නිසා, ඔහු සහ ඔහුගේ ආණ්ඩුව පිළිබඳව නිදහස් මතධාරීන් ඇති කරගන්නා විවිධ තාර්කික පුරෝකථන බොහෝ විට වැරදෙන්නට පිළිවන් බව කෙනෙකු එහි දී අමතක කරයි. උදාහරණයක් වශයෙන්, ජාත්‍යන්තර ප‍්‍රජාව ඇස ගසාගෙන සිටින තාක් කල් ලංකාව වැනි රටකට සදහට වංගු දාන්නට බැරි යැයි කියන කතාව ගන්න. ‘සදහට’ යනුවෙන් අදහස් කරන්නේ, සාමාන්‍ය අර්ථයෙන් කියැවෙන ඉරහඳ පවතිනා තාක් කල් යන්න නොව, සාමාන්‍ය ජීවිත කාලයක දිග ප‍්‍රමාණයට සාපේක්ෂව ගතවන කාලයකි. ඒ අනුව, අවුරුදු 12 ක් පවා ඉතා දීර්ඝ, ‘සදහට‘ යටතේ ගැනෙන කාලයක් විය හැකිය. හිට්ලර් බලයේ සිටියේ අවුරුදු 12 කි. එය විසින් ඇති කරන ලද විනාශයේ පරිමාණය මැන්නොත්, ඒ ‘කෙටි’ කාලය මිනිස් ශිෂ්ටාචාරය තුළ මොන තරම් දීර්ඝ කාලයක් වී ද/ මේ නිසා, මහින්ද රාජපක්ෂ තව අවුරුදු 6 ක් බලයේ සිටියත්, ඒ කාලය තුළ මේ රට පත්විය හැකි තත්වය ගැන ගණන් හැදීම, ඈපා පංචාග ලිතේ අවුරුදු ගණන අනුව කළ හැක්කක් නොවේ.

ඊළඟට, එම ජාත්‍යන්තර ප‍්‍රජාව (ධනවාදී මෙන්ම සමාජවාදී), ඒ හිට්ලර් හැරුණු කොට, තවත් උන්මත්තකයන් විශාල ප‍්‍රමාණයක් ලෝකය පුරා නඩත්තු කොට ඇති ඉතිහාසය ද සුළුපටු නැත. ඉහත සඳහන් සම්මත ලෝක චාරිත‍්‍රයට, ඒ නිහීන අතීතයත් ඇතුළත් ය. එම සම්ප‍්‍රදාය තුළ ස්වකීය දේශපාලනය ගොඩනගා ගන්නා තුන්වැනි ලෝකයේ නායකයෙකු, බුරන ගමන් හපන්නටත් උගෙන ගනී.

ඊළඟ කතාව මෙසේය:

නවීන පන්නයේ වාහනවල ඇති හුරුබුහුටි කාන්තිය නැතිනාස්ති කෙරෙන ආකාරයෙන් පිටිපස්සෙන් දෙහි ගෙඩියක් හෝ ඒ හා සමාන කැත සුරයක් වැනි යමක් එල්ලාගෙන යනු බොහෝ විට දක්නට ලැබේ. ඇතැම් ගෙවල්වල උළුවස්සේ ද මෙවැනි දේවල් එල්ලා තිබේ. අපල දුරු වීම, සෙත් ශාන්ති ලැබීම ආදී විශ්වාස ඒවා පසුපස තිබේ. මේ විශ්වාස දරන්නේ නූගත්, හුදී ජනයා පමණක්ය යන්න සාමාන්‍ය හැඟීමයි. එහෙත්, එක් විද්‍යාඥයෙකුගේ ගෙදරත් උළුවස්සේ මෙවැන්නක් දුටු ඔහුගේ මිතුරෙකු ‘‘තමුසෙත් මේවා විශ්වාස කරනව ද?’’ කියා ඔහුගෙන් ඇසුවේය. ඊට විද්‍යාඥයාගේ පිළිතුර වුණේ, ‘‘පිස්සුද අයිසේ, මං විශ්වාස කරන්නේ නැහැ. ඒ වුණාට විශ්වාස නොකරන කෙනාටත් ඕකෙන් ආරක්ෂාවක් තියෙනවා ලූ.’’ යන්නයි.

දැන්, අර බුරන බල්ලා පිළිබඳ උපමාවට රාජපක්ෂ පාලනයත්, මේ කියන විද්‍යාඥයාගේ නිවසේ එල්ලා ඇති ජීවම් කරන ලද දෙහි ගෙඩියේ උපමාවට මේ රටේ වෙසෙන සාමාන්‍ය ජනතාවගේ ස්වභාවයත් ආදේශ කරගත් විට, ලංකාව මොන වගේ ද යන්න අවබෝධ කරගත හැකි වනු ඇත.

සිවුරක් හැඳගෙන, බීමත්ව ලොරියක් ධාවනය කොට, පාරේ ගිය මිනිසුන් යටකොට පළාගොස්, උසාවියෙන් දඩකෑ භික්ෂුවකට, ගෞතම බුදුන්ගේ නාමයෙන් රටේ ආගමික ව්‍යාපාරයක නායකත්වය දැරීමට හැකිවීම තරම් අගනා චිත‍්‍රයක්, රටක් වැටී ඇති ප‍්‍රපාතය හඳුනා ගැනීමට තවත් නැතැ යි කීවොත්, එය අතිශයෝක්තියක් ද? ලංකාවේ අද හන්දියක් හන්දියක් ගානේ අපට දකින්ට ලැබෙන, අතිගරු ජනාධිපතිවරයාගේ ප‍්‍රසන්න සිනාව සහිත සෑම කටවුටයක් ළඟින්ම, ගලගොඩඅත්තේ ඥානසාර නැමැති භික්ෂුවගේ කැකෑරෙන වෛරය බේරෙන පින්තූරයත් ප‍්‍රදර්ශනය කළොත්, අපේ වර්තමානය අපේ ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වන හොඳම ඉතිහාස කථනය එය විය හැකිය.

‘උදයන්’ පුවත්පතට ගිනි තබා, වෙඩි තබා පලා ගිය පුවත සාමාන්‍ය සිදුවීමක් වන තරමටම, එය ‘තමන්ම කරගත් දෙයක්’ වශයෙන් ආණ්ඩුව කියා සිටීම පවා කරබාගෙන භාරගන්නා සමාජයක අපි වෙසෙමු. එසේ වුවත්, ඉතිහාසය කොපමණ වාරයක් මතක් කරගත්තත් රටකට වැඩි නැත. ඒ නිසා, මේ රටේ වෙනත් මාධ්‍ය ආයතන සහ මාධ්‍යකරුවන්ට මේ ආණ්ඩුව යටතේ විඳින්නට වූ අනේක කරදර පැත්තකින් තියා, ‘උදයන්’ පුවත්පතට පමණක් එල්ල කළ ප‍්‍රහාර පිළිබඳ ඉතිහාසයේ සාරාංශයක් පමණක් පහත දක්වමි.

මුලින්ම ‘උදයන්’ පුවත්පතේ ගබඩාවක් ගිනි තබා විනාශ කෙරුණේ, 2006 අගෝස්තු 18 වැනි දා ය. ඒ, නාඳුනන පිරිසක් විසිනි.

2006 සැප්තැම්බර් 10 වැනි දා තුවක්කුකරුවන් පිරිසක් ‘උදයන්’ පුවත්පතට කඩාවැදුණි. මේ පිරිස අල්ලාගත් සේවකයන් ඔවුන්ව පොලීසියට භාර දුනි. ඉන් පසු පොලීසිය ඔවුන්ව නිදහස් කෙළේය.

2007 අපේ‍්‍රල් 29 වැනි දා ‘උදයන්’ පුවත්පතේ වාර්තාකරුවෙකුව නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කෙරුණි.

2007 නොවැම්බර් 17 වැනි දා එම පුවත්පතේ මාධ්‍යවේදියෙකු හමුදා මුරපොලක් ළඟ දී නාඳුනන පිරිසක් විසින් පැහැර ගැනුණි. තවම ඔහු ආගිය අතක් නැත.

2009 මාර්තු 24 වැනි දා පුවත්පතේ ප‍්‍රධාන කර්තෘගේ නිවෙසට නාඳුනන පිරිසක් බෝම්බ ගැසූහ.

2011 ජුලි 29 වැනි දා පුවත්පතේ ප‍්‍රවෘත්ති කර්තෘවරයාට නන්නාඳුනන පිරිසක්, හමුදා මුරපොලක් ළඟ දී පහරදී බරපතල තුවාල සිදු කළහ.

ගත වූ අවුරුදු 7 ඇතුළත මීට සමාන ප‍්‍රහාරයන් සහ අඩන්තේට්ටම් 35 ක් මේ පුවත්පතට එරෙහිව එල්ල වී ඇත.

මේ කිසි සිදුවීමකට අදාළ කිසිවෙකු මේ දක්වා නීතිය ඉදිරියට පමුණුවා නැති කම මෙහි ඇති විශේෂත්වයයි. මේ කියන කිසි සිදුවීමකට ආණ්ඩුව සම්බන්ධ නැතැ යි, ආණ්ඩුවේ ප‍්‍රකාශකයාගේ කාරුණික ඉල්ලීම පරිදි, අපට උපකල්පනය කිරීමට බැරි කමක් නැත. එහෙත්, ඒ අපරාධ සිදුකරන ලද්දේ තමන් නොවේ නම් වෙන කවුරුන් ද යන්න මේ දක්වා සොයා ගැනීමට අසමත් ආණ්ඩුවක්, එම අපරාධ සිදුකළ අපරාධකරුවන්ට වඩා නිර්දෝෂී වන්නේ නැති බව, ඒ මගින් නිෂේධ වන්නේ නැත.

සම්මත ඇවතුම් පැවතුම් ලංකාවේ රාජ්‍යකරණයෙන් ගිලිහී ගොස් දැන් සෑහෙන කලකි. මෙය, නග්න බලය හෙවත් හමුදා බලය මත පරම විශ්වාසය රඳවන පාලන තන්ත‍්‍රයක ඓතිහාසික ස්වභාවයයි. පාලකයෙකු තුළ තිබිය යුතු යැයි ලෝක චාරිත‍්‍රය තුළ විශ්වාස කෙරෙන ‘ජනතා මතයට කන්දීම’ නැමැති සම්මතය වර්තමාන පාලකයා ජයගෙන ඇත. ඒ, තමන්ට කන්දිය හැකි සහ තමන් ප‍්‍රිය කරන ජනතා මතයක් තමන්ම නිර්මාණය කර ගැනීමෙනි.

Print Friendly, PDF & Email

Latest comment

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.