25 April, 2024

Blog

මේ බෝම්බය ඕනෑම මොහොතක පුපුරා යා හැකිය

ලක්‍ෂමන් පියසේන

ලක්‍ෂමන් පියසේන

කවියෙකු, ගීත රචකයෙකු, ගත් කරුවෙකු මෙන්ම භාෂා ශාස්ත‍්‍රඥයකු වූ අරීසෙන් අහුබුදු (1920 – 2011) උපන්නේ හබරා¥ව, කොග්ගල දී ය. අහුබුදු මිය ගියාට පසුව 2012 ජූනි මාසයේදී හබරා¥ව ප‍්‍රාදේශීය සභාවට ඔහු වෙනුවෙන් යෝජනාවක් ඉදිරිපත් විය. හබරා¥ව වෙරළ උද්‍යානය හා කතලූව පුස්තකාලය අරීසෙන් අහුබුදු නමින් නම් කළ යුතු යැයි එම යෝජනාවෙන් කියවිණි. එහෙත් අහුබුදුගෙන් උපන් ගමට, ප‍්‍රදේශයට, කිසිදු සේවයක් සිදුවූයේ නැතැයි පවසමින්, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ සන්ධානයට බලය හිමි, ප‍්‍රාදේශිය සභාවේ උප සභාපති වරයා එම යෝජනාවට විරුද්ධ විය.

“අරීසෙන් අහුබුදු ගමට කළ දෙයක් නැහැ. ඊට වඩා හොඳයි ගමේ පොල් කඩන මිනිහා. ඔහු ගමේ මරණෙට, දානෙට හරි එනවා. අහුබුදු කොළඹ ගිහින් ඉගෙනගෙන ආර්ථික වාසි ලැබුව. අපේ ගමේ අයට මොනවද කළේ?” (ලංකාදීප, 2012 ජූනි 30)  යනුවෙන් එකී ප‍්‍රාදේශීය දේශපාලනඥයා තම විරෝධයට හේතු ද දැක්වීය. බැලූ බැල්මට මේ විරෝධය පෞද්ගලික එදිරිවාදිකමක ස්වරූපයක් ගනී. එහෙත් ඊට එහාට යන සංස්කෘතික කතාවක් මෙහි නිධන්ගතව ඇත. අහුබුදු අතින් රටට ලෝකයට වූ මෙහෙවර ගමේ පොල් කඩන ගස්නඟින්නාගේ මෙහෙවරටත් වඩා ලඝු කරන මේ දේශපාලනඥයා, එසේ කලඑළි දැක්වූයේ ඔහුගේ පෞද්ගලික මතය ම නොවේ. එය ඔහු නියෝජනය කරන ගමේ දන්නා කියන නෑදෑ පරපුරට පොදු ගැමි චින්තනය වේ.

මෙරට ගමේ ගැමියා හැම විටම පසුවන්නේ, තමාට වඩා දශමයකින් හෝ ඉදිරියට ගිය අනෙකා කෙරෙහි පැසවන එදිරිවාදිකමක් හිත යට තබා ගෙනය. අනෙකාව ඉවසන, අනෙකාව අගයන, විවෘත හදවතක් මේ ගැමියා සතු නොවේ. එවැනි කුහක කමකින් අනාදිමත් කලක සිටම ගැමි චින්තනය වසා ගෙන ඇත. අහුබුදු ට විරෝධය පාන ප‍්‍රාදේශිය දේශපාලනඥයා එතරම් එඩිතර ලෙස තම මතය ප‍්‍රකාශ කරන්නේ ගමට ආවේනික එකී කුහකකම ඉදිරියේ තමා දේශපාලන වීරයකු වන බව ඔහුට දැනෙන බැවිනි. අද රටේ ම ප‍්‍රාදේශීය දේශපාලන ආයතන ගත්තොත් ඒවායේ නියෝජිතයන්ගේ බහුතරය මෙවැනි දේශපාලනඥයන්ගෙන් පිරී යන්නේ මේ ගැමි සංස්කෘතික පසුබිමට එකඟවය. ගම විසින් ජාතික දේශපාලනයට ඔසවනු ලබන්නේ ද මේ ප‍්‍රාදේශීය දේශපාලනයම බව 2005 ට පසුව ඉතා හොඳින් පැහැදිළි කර ඇත.

රටම ගමක් වූ ලංකාවේ ඉතිහාසයට අදාළව ”වැව දාගැබ – ගම පන්සල” යන සංකේතාත්මක වචන භාවිතා කෙරෙන්නේ ලංකාවේ ගම හා ගැමියා ගැන මීට වඩා වෙනස් සංස්කෘතික හරයක් මතුකරන්නටයි. අහුබුදු සිය ලේඛණය මඟින් කතා කළේද එහෙම ශිෂ්ට සංස්කෘතියක් ගැනය. ඒ ශිෂ්ට සංස්කෘතිය පෝෂණය කිරීම වෙනුවෙන් වසර පනහකටත් වැඩි කලක් එක දිගටම තම ලේඛණය භාවිතා කළ අහුබුදුට, ගමෙන් ලැබෙන ප‍්‍රතිචාරය මෙය බව නොදැන සිටියා විය නොහැක. ඔහු ලියූ ගීත අතර ”පව් කළ දැයෙක ඉපදීමයි පව ලොකුම” යනුවෙන් ගීතයක් ද වෙයි. එනම් ඔහු තම මෙහෙය කළේ ජාතියේ හැටි දැනගෙන ද කියන කුකුස එයින් ඇති කරයි. ඒ කෙසේ වෙතත් ඔහු ලියූ ගීත පමණක් ගත්තත්, ”සෙන්කඩගල පුර දළදා බුදුරැුස්” හා ”ලංකා ලංකා පෙම්බර ලංකා” වැනි ගීත වලින් බුද්ධාලම්බන ප‍්‍රීතියත් ජාතිකාභිමානයත් මදියි නොකියන්න උද්දීපනය කරන්නට ඔහු තම පෑන මෙහෙයවීය. එකී ජාතික ආගමික උද්දීපනය හුදු වෙළඳ දැන්වීමකට පමණක් සීමා කර ගෙන, ආගම් වාදය, ජාතිවාදය, එකම දේශපාලන තුරුම්පුව කරගෙන, ජාතික දේශපාලනයට පිවිසි දේශපාලනඥයන් ඒ මඟ ගත්තේ රටත් ජාතියත් මුලා කරමින් යැයි එකහෙළා පැවසිය හැකිද? ඔවුන් ජාතික දේශපාලනය කරා පිය නැඟුවේ මතු කී ගැමි චින්තනයේ පෙළඹවීමෙන්, ආශිර්වාදයෙන්, ද යුතුව බව මෙහිදී අමතක නොකළ යුතුය.

ගමේ බහුතරය විසින් ජාතිය, ආගම, පෙරට ගනු ලබන්නේ අනෙකාව පෙළීමේ සතුරු චේතනාව මුදුන් පමුණුවා ගන්නට බව ගමේ චින්තනයට එබී බැලූවොත් පෙනී යනවා ඇත. ගමෙන් ජාතික දේශපාලනයට එන අය දේශපාලනව පරිණත වන්නේ මේ ගති ඉවත දමා නොව්. ‘අපේ එකා’, ‘අපේ ඉස්කෝලෙ’, ‘අපේ කම’ බැරිනම් ‘අපේ කුලේ’ හරි අන්තිම මිණුම් ද`ඩුවට ගන්නේ ඒ ගතිය නිසා මිස අනෙකාව අගයන, අනෙකාට සලකන, ගුණයකින් යුතුව නොවේ. අනෙක් ජාතියක් තම මව්බිම ආක‍්‍රමණය කරනවාය කියමින් ප‍්‍රචණ්ඩව වීදි බසින මේ ගැමියා, තමන් සතු බිම් කැබැල්ලක් විකුණන අවස්ථාක අතින් පාඩු වුණත් වෙහෙසෙන්නේම යාබද මායිමේ අසල්වැසි ඥාතියාට එය හිමි වීම වැලක්වීමටයි. ඒ ජාතික කුහකකම මෙරට ‘සිංහල බෞද්ධ’ සංස්කෘතියේ ප‍්‍රමුඛම අංගයක් වේ.

අහුබුදු නිතර ලියූ ආකාරයට හෙළයා හෝ සිංහලයා ලොව උතුම්ම ජාතියකි. බුදු දහමින් පෝෂණය වූ ඒ සංස්කෘතියට අයත් අය ලොවේ දියුණුවට ලොව මවිත කළ දෑ නිපදවූවෝ වෙති. එය මීට වසර 1500 ට ඉහතදී නම් ඇත්තක් විය හැකි වුවද අහුබුදු තම ලේඛණ දිවිය පුරාම වෙහෙසුනේ ඒ අනන්‍යතාව මෙකලත් ජීවමාන කරන්නටයි. නිතරම කියවෙන පරිදි මේ ගම බෞද්ධ සංස්කෘතියෙන් හැඩගැසුණානම් එතැන ශිෂ්ඨාචාර බවට, ආධ්‍යාත්මික දියුණුවට, සංහිඳියාවට තෝතැන්නක් විය යුතුව තිබුණි. එහෙත් මේ කියන ගම අනාදිමත් කාලයක සිටම එහෙම ශිෂ්ට තැනක් නොවේ. හබරා¥ව ප‍්‍රදේශීය සභාවේ දේශපාලනඥයා වෙතින් විද්‍යමාන කෙරෙන්නේ එයයි. හරියටම කියනවානම් එය ගමේ මෙන්ම රටේ ම පොදු චින්තනයයි. ජාතික තලයේදී මෙය ‘ජාතික චින්තනය’ ලෙස සැලකීමේ ද වරදක් නැත. බුදු දහමේ හරය හොඳින්ම නිරූපනය කෙරෙන ‘සංහිඳියාව’ නැමති වචනයට පවා අද ජාතික තලයේ දේශපාලනයත් එය ආරක්‍ෂා කරන ‘ජාතික චින්තනයනත්’ බිය වන්නට හේතුව ද, මෙන්න මේ ගැමි මුලට සම්බන්ධ, කුහක විරෝධයෙන් රත් කළ, අතිශය පෞද්ගලික ආත්මාර්ථකාමී කාරණාය.

“ලංකාවේ ජාතික චින්තනය මීට වඩා ශිෂ්ඨාචාර තැනක තිබුණාය, එය පිරිහුණේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව 1977 දී ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දුන් නිසාය” යනුවෙන් නිතර, එක දිගට, අසන්නට ලැබෙන විවේචවනයක් වෙයි. විශේෂයෙන්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ වාමාංශික කොටස් විසින් ඒ පිළිබඳව නඟනු ලබන අ`ඩවැඩියාව, මෙහිදී අවධානයට ගත යුතු කාරණයකි. විචාර බුද්ධියක් නැති ගැමියා තමන්ගේ සීමාවට හසු නොවෙන, විවෘත ලෝකයේ කතාවක්, සිද්ධියක් හෝ මෙවලමක් ගැන මෙලෝ අවබෝධයක් නැතත්, අසල්වැසියාට අඟවන්නේ තමා තරම් ඒ ගැන දන්නා පණ්ඩිතයෙක් තවත් නැති විදියටයි. ‘විප්ලවීය දේශපාලනය’ ට නැඹුරු වන ගැමි තාරුණ්‍ය තුළ මේ ගතිය හොඳින් දැකිය හැකිය. එය ගමෙන් ගලා එන මෙරට ජාතික චින්තනයේ ද ලක්‍ෂණයකි. විවෘත ආර්ථිකය සම්බන්ධයෙන් නඟන අ`ඩවැඩියාව ද එහෙම කුහක ඝෝෂාවකි.

“වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටවු උඩ පැන නැටුවා” යනුවෙන් ගම හා ගැමියා උඩ දමා ගීත ලියූ මහගම සේකර (1929 – 1976)  මිය යන්නේ 1977 ට පෙරය. මෙරට පහළ වූ විශිෂ්ට කලාකරුවෙකු වන ඔහු, ගමට ආවේනික අපුල වසා දමා හෝ අමතක කරමින් ගම සුන්දර තැනක්ය කියන්නට තම සාහිත්‍ය කලා මෙහෙවර දියත් කළේය. එහෙත් සේකර ගේ අවමඟුල් දා ඔහු උපන් රදාවාන ගමේ ගැමියෙකු සාහිත්‍යසූරී කේ. ජයතිලකට කී කතාවකට අනුව, සේකර රටම දැන ගත් අයෙක් වුවද ගමේ බෝක්කුවක් සෑදීම වැනි සේවයක්වත් ඔහු අතින් ගමට සිදුවී නැතිලූ. (2013 මාර්තු 31 දා ‘රාවය’).

රදාවානේ ගැමියා සේකර සම්බන්ධයෙන් දක්වන්නේ ද ගමේ පොදු චින්තනයට හෝ රටේ ජාතික චින්තනයට ආවේනික, කුහක විරෝධය මිස වෙන කුමක්ද? කියන තරම් සුන්දර ද නැති පිවිතුරුද නැති මේ ගමේ ගැමියා එහෙම චින්තනයකින් යුතු වන්නේ ’77 දී රටට ආ ආර්ථික ක‍්‍රමයේ අධි පාරිභෝජනයට හසු වෙන්නට පෙරය. විවෘත ආර්ථිකයට රට විවෘත කරන්නට ඉහතදීත් ලංකාවේ ගම ඓහම තැනකි. අනෙක බෞද්ධ සංස්කෘතියෙන් හැඩගැසුණු, එහි හරයෙන් නිබඳ පෝෂණය වූ ගමක් හෝ ගැමියෙක් මෙරට වූවානම් ඒ මහා සංස්කෘතිය, ’77 දී රටට එන විවෘත ආර්ථිකයට, ආර්ථික සෝදාපාළුවකට, ගසගෙන යා නොහැක. මෙරට ජාතික චින්තනයේ මුල ශක්තිමත්ව තිබුණානම් විවෘත ආර්ථිකය වැනි ලෝකයෙන් හමා එන සුළන් වලට ‘සිංහල බෞද්ධ සංස්කෘතික ගස’ ගැලවී ඇදවැටෙන්නේ නැත. ඇත්ත කතාව නම් එහෙම ශක්තිමත් මුලක් හෝ ගසක්, බුදුදහමෙන් හැඩගැසුණු වටිනා සංස්කෘතියක්, අනාදිමත් කලක සිටම මෙරට ගමට නොතිබීමයි.

48 දී නිදහස ලබන්නට පෙර අවුරුදු 400 ට වැඩි කාලයක් රට විදේශ ආක‍්‍රමණයන්ට ගොදුරු වූ නිසා ජාතික චින්තනය මේ පිරිහීමට වැටුණායැයි ඊළඟට ඉදිරිපත් කෙරෙන නිදහසට කාරණයයි. එතරම් දුර ඉතිහාසයක් ගැන විමසා බැලීමට මෙහිදී අවස්ථාව නොවුණත් මහනුවර යුගයේවත් ඔය කියන තරම් ශිෂ්ඨාචාර ගමක් තිබුණායැයි නිශ්චිතව කිව හැකි සාධාරණ සාධක නැත. කොහොම නමුත් ලෝකයට විවෘත වූ මහා කතන්දර, මහා සිදුවීම්, පිළිම, දාගැබ් වැව් අමුණු ඉදිකිරීම් වැනි මහා නිමැවුම් වලින්ද ගම්‍ය වන, පළල් හා විවෘත චින්තනයකට මෙරට හිමිකම් කියන්නේ පස්වෙනි සියවසට ඉහතදී බව ඉතිහාසය විමසන විට පෙනී යයි. පස්වෙනි සියවසේදී මෙරට බෞද්ධ ඉගැන්වීමට බුද්ධඝෝෂ හිමිගෙන් වන මැදිහත් වීමෙන් එහාටත්, රටේ ඉතිහාස කතාව මහාවංශයට කොටු කළ මහානාම හිමිගේ අරමුණු වලින් එහාටත් ඒ විමසීම කළ යුතුය.

මෙරට සමාජය මුහුණ පාන මේ අර්බුදය සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන තවත් නිදහසට කාරණයක් වන්නේ ඉංග‍්‍රීසීන්ගෙන් රට නිදහස් කර ගැනීමේදී ලංකාවේ දේශපාලන නායකයන් ඉන්දියාවේ නායකයන් මෙන් ‘විප්ලවීය සටනක්’ නොදීමයි. මේ විවේචනයද පෙර කී ආකාරයේ ගමට ආවේනික කුහක වතේ ම තවත් මුහුණුවරකි. හතලිස් ගණන් වන විට ඉංග‍්‍රීසීන් පැටලී සිටියේ ලංකාව පමණක් නොව මුළු හිරු නොබසින අධිරාජ්‍යම අත්හරින්නට සිදුවී තිබුණ ආර්ථික අර්බුදයකයි. එම නිසා ඒ වෙලාවේ ලංකාවට ත් දේශපාලන නිදහස ලැබීම අනිවාර්ය කාරණයක් විය. ඉංග‍්‍රීසීන් විසින් එක්සේසත් කරන ලද ඉන්දියාව විවිධ ජාතික හා ආගමික පදනමින් නැවත බෙදීයාම වලක්වා ගැනීමට අධිරාජ්‍යවාදී විරෝධයක් පෙරට ගෙන ජාතික, ආගමික, සංස්කෘතික විවිධත්වය එක අරමුණකට යොමු කර ගැනීම, විශාල දේශපාලන භූමියක් ද වන ඉන්දියාවට ගැලපුණා විය හැකිය. මෙරට ජාතික චින්තනය ඒකාග‍්‍ර කරන්නට ඒ ආකාරයේ අධිරාජ්‍යවාදී විරෝධයක් අවශ්‍ය කළාද කියන කාරණයටත් වඩා වැදගත් වන්නේ කවර හෝ පරමාදර්ශයක් වෙනුවෙන් ඒකාග‍්‍රවීමට ගම ඒ වන විට සූදානම්ව සිටියාද කියන කාරණයයි. රටේ පොදු චින්තනය (ජාතික චින්තනය)  එහෙම දිග දුර බැලූ තැනක තිබුණාද කියන කාරණයයි. ඇරත් ඒ වන විට ලංකාව තවත් ඉන්දීය ප‍්‍රාන්තයක් කරගන්නට නේරු ගාන්ධි හවුල මාන බලමින් සිටි නිසා ඞී. එස්. සේනානායක ප‍්‍රමුඛ පිරිස කළ යුතුම විදියට ඉංග‍්‍රීසීන් සමඟ ගැටුමකට නොයා රටේ නිදහස තහවුරු කර ගන්නට යොමුවීම, ගමට ආවේනික පටු චින්තනයට වඩා ඉදිරියට ගිය බුද්ධිමත් නායකතවයක ලක්‍ෂණ ප‍්‍රකට කිරීමකි. අනෙක මෙරට ආගමික හා ජාතික විවිධත්වය ද පොදු සංස්කෘතියට බද්ධ කර ගන්නට ඒ වන විට ඞී. එස්. ප‍්‍රමුඛ කණ්ඩායම සමත්ව සිටියේය.
වරද වූයේ නිදහස දිනා ගැනීමට ඉංග‍්‍රීසීන් සමඟ සටන් නොකළ නිසා නොවේ. නූතන ලෝකයෙන් හමා ආ දේශපාලන නිදහස, අධ්‍යාපන නිදහස, ආර්ථික නිදහස වැනි දේ දරාගන්නට නොහැකි, ඉවසන්නට නොහැකි, විචාරශීලී නොමැති, ගමට ගලා යන්නට ඉඩ හැරීමයි සිදුවූ වරද වූයේ. පිටින් ආ බුදු දහම මෙරටට ගලපා ගත් ආකාරයේ සංස්කෘතික හයියක් එදා මෙන් නොතිබුණු නිසා, මෑත ඉතිහාසයේදී රටට නිදහසේ ගලා ආ එවැනි දේ වඳුරා අතට කඩුව ලැබීමට සමාන විය. “මේ සිංහල අපගෙ රටයි” යනුවෙන් මහගම සේකර ගීතයක් ලියන්නේ ලෝකෙට විවෘත, නිදහස් චින්තනයකින් වුවද එය ඔහුට දායාද කරන්නට සිදුවන්නේ ඉතා පටු චින්තනයකින් යුතු සමාජයකටයි. “සමනොළ ගිරි වළලූ බිමේ, මුනි සිරිපා පිපෙන හිමේ, සම කරුණා ගුණ මහිමේ, අප උපතින් ලද උරුමේ” යනුවෙන් සේකර එම ගීතයෙන් ම පවසයිි. එයින් ප‍්‍රකාශ වන්නේ මෙරට පුරාණයේ තිබී යට ගියාවූ, ලෝකයේ සෙසු රටවල් සමඟ සම අසුන් ගන්නට තරම් ප‍්‍රබල වූ, ජාතික චින්තනය ගැන ඉඟියක් වුවද ඒ ගැන අවබෝධය තිබුණු සමාජයක් හෝ ”අති බහුතරයක්” මෑත ඉතිහාසයෙන් හමු නොවේ. බුදු දහමින් පෝෂණය වූ සිංහල සංස්කෘතියේ හැඩය අපූරුවට ප‍්‍රකාශ වෙන “සම කරුණා ගුණ මහිමේ…” කොටස අත්හැර එම ගීතයේ එන ”මේ සිංහල අපගෙ රටයි…..” කොටස පමණක් තම වාසියට, ඉතාම පටු විදියට අතට ගත් රට ජාතිය ආගම රකින්නට වීදි බට බලකායන්, මොහිදීන් බෙග් ගයන බුදු ගුණ ගීත පවා අවසානයේ හලාල් යැයි කීය.

ඈත අතීතයේදී ද ලංකාව භූමියෙන් කුඩා නමුත් එදා අද මෙන් ලෝකය ඉදිරියේ රට පුංචි වූයේ නැත. ඊට හේතුව ජාතික චින්තනයෙන් ඉන්දියාවටත් වඩා විශාල මෙන්ම විවෘත වීම නිසාය. මානවායට පමණක් නොව මුළු මහත් ලෝකයටම හෘදයාංගම වීම නිසා ය. එතරම් දියුණු ශිෂ්ඨාචාරයකට රට නැග්ගේ් ගමේ පන්සල ඒ මහා ශක්තිය ගොඩනගන්නට මූලික වූ නිසා යැයි කීම වැරදි අර්තකතනයකි. මෙරට ජාතික චින්තනය මෙතරම් කුහක තැනකට හෝ අන්තිම පටු තැනකට වැටීම කෙරෙහි, පස්වෙනි සියවසට පසුව පන්සල විශාල ලෙස බලපෑ බව නම් ඇත්තකි. පිරිවෙන් අධ්‍යාපනයට ගිහියා කොටුවීම එවැනි බලපෑමක් වූ අවස්ථාවකි. නටඹුන්ව ගිය ‘වැව දාගැබ – ගම පන්සල’ කියන මහා සංස්කෘතිය ගොඩනඟන්නට මුල්වූයේ බුදුන් වදාල ධර්මයෙන්ද පෝෂණය වූ, පස්වෙනි සියවසට ඉහත මෙරට පැවතුන බව සිතන්නට හැකි, පුළුල් එමෙන්ම පොහොසත් ජාතික චින්තනයයි. පස්වෙනි සියවසට පසුව මූලික වන සඟුන් වදාල ධර්මය ගන්නේ ඊට වෙනස් මඟකි. අද පන්සලට හා සිවුරට අත්ව ඇති ඉරණම ඒ මඟ යාමේ එක් ප‍්‍රතිඵලයකි. ගමට අවේනික කුහක චින්තනයට දේශපාලන වටිනාකමක් ලැබෙන්නේ ඉතාම මෑත ඉතිහාසයේදී වුවද සඟුන් වදාල ධර්මය එය පෝෂණය කරන්නේ පස්වෙනි සියවස තරම් ඈතක සිටය. මේ ඒකාබද්ධ වීම විසින් අත් කර ගන්නා ලද වත්මන් දේශපාලන ප‍්‍රතිඵලය, පොල් කඩන්නට ගස් නැඟීම හා පාරවල්වල බොක්කු බැඳීම, ජාතික මෙහෙවර බවට පත්වීමයි. ඉන් එහාට ලෝකය දකිනවාට, විවෘත මනසින් බලනවාට, එරෙහි වන මානවහිමිකම් උල්ලංගනය, මෙරට ජාතික දේශපාලනය බවට පත්වීමයි.

වසර 30 ක් තිස්සේ රට පීඩාවට පත් කළ ඒ කොටි ත‍්‍රස්තවාදී බොම්බය දැන් නැතැයි කියයි. එහෙත් එවැනි බෝම්බ යළි හදන්නට අනුබල දෙන, සංස්කෘතිකව හදවතේ බැඳගත් ගමේ කුහක විරෝධය නැමති බෝම්බය නිෂ්ක‍්‍රීය කරන මඟක් තවම මතුකර ගෙන නැත. මේ බෝම්බය ඕනෑම මොහොතක පිපිරී යා හැකිය. එය මේ සමාජයේ සෑම මොහොතක් පාසාම පිපිරෙයි. රට, ජාතිය, ආගම නාමයෙන් ගමත් පන්සලත් ඒකාබද්ධව මෙය ජාතික මට්ටමින් පුපුරුවා හැරිය දේශපාලන සන්ධිස්ථාන දෙකක් ’48 නිදහසට පසුව හමුවෙයි. ඒ 1956 හා 2005 යි.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    As arennata kana haraha, aththa athi satiyen!

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.