21 September, 2020

Blog

‘මුලින්’ කළ යුත්තේ කුමක්ද හෙවත් උණු වතුරේ පැසවන ගෙම්බාගේ සින්ඩ්‍රෝමය

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

‘කළ යුත්තේ කුමක්ද’ යන්න තේමා කරගෙන බොහෝ දේශපාලඥයන් සහ සමාජ විද්‍යාඥයන් ඈ විවිධ පිරිස් සිය අදහස් ප‍්‍රකාශ කොට තිබේ. ලෙනින් ඒ ගැන වෙනම පොතක් ලියා ඇත. ‘කළ යුත්තේ කුමක්ද’ යන ප‍්‍රශ්නය සාරාර්ථ පිළිතුරක් ඉල්ලා සිටින පැනයකි. එහෙත් ඇතැම් අවස්ථාවල, මේ ප‍්‍රශ්නය, පවතින තත්වයන් යටතේ කළමනාකරණය කරගත හැකි පරිද්දෙන් වරනැගිය යුතු වෙයි. විශේෂයෙන් හදිසි අවස්ථාවක, මේ ප‍්‍රශ්නය නැවත සකස් කර ගත යුතු වන්නේ එබැවිනි. මූලෝපායික සහ උපක‍්‍රමික යන දේශපාලනික යෙදුම්වල වෙනස මීට අදාළ වෙයි. මේ වෙනස අවබෝධ කර ගැනීමට උදාහරණ කිහිපයක් ගෙනහැර දැක්විය හැකිය.

‘ජාතික ප‍්‍රශ්නයට විසඳුම සමාජවාදයයි’ යන්න, දේශපාලනික වශයෙන් ඇතැමුන්ට ‘නිවැරදි’ පිළිතුරක් විය හැකි වෙතත්, ලංකාවේ දෙමළ ජනයා මුහුණදෙමින් සිටි සහ අදටත් මුහුණදෙමින් සිටින ප‍්‍රශ්නයට මෙම පිළිතුර නොසෑහෙන බව පමණක් නොව, ඒ උත්තරය මගින් සිංහල ස්වෝත්තමවාදයට වක‍්‍රාකාරයෙන් විශාල තල්ලූවක් සැපයෙන බවත් මීට පෙර නොයෙක් වතාවල අප පෙන්වා දී තිබේ. ඉතා සරළව කිවහොත්, සමාජවාදයේ සිහිනය මත එල්ලී සිටින්නැ යි දෙමළ ජනතාවට කීමෙන් කෙනෙකු කරන්නේ, එම ජනතාවගේ පීඩකයාට, දැනුවත්ව හෝ නොදැනුවත්ව, සහයෝගය පෑමකි.

හීයක් වැදුණු පුද්ගලයාගේ තුවාලයට වහා ප‍්‍රතිකාරයක් කළ යුතුවා මිස හීය ආවේ කොහෙන්ද, එය විද්දේ කවුද, එහි දිග පළල කොපමණ ද ආදී ප‍්‍රශ්න නොනගන්නැ යි බුදුන් වහන්සේ වරක් දේශනා කෙළේ, එසේ නගන ප‍්‍රශ්නවල වැදගත්කමක් නැති නිසා නොව, ප‍්‍රශ්නයේ හදිසි අවශ්‍යතාවට මුහුණදීම සඳහා, එම ප‍්‍රශ්න නැගීමට කලින් යොමු විය යුතු හදිසි අවධානය අවධාරණය කිරීමටයි.

‘මුලින්’ කළ යුත්තේ කුමක්ද යනුවෙන් ප‍්‍රශ්නය සකසා ගත යුතු වන්නේ එවැනි අවස්ථාවලදී ය. එය මූලෝපායික නොව, ‘උපක‍්‍රමික’ කාරණයකි. මෙහිදී කෙනෙකු විශේෂයෙන් පරිස්සම් විය යුතු බව සැබෑව. මන්ද යත්, බොරු වළවල් ගණනාවක මෙහි දී අප වැටෙන්ට ඉඩ ඇති බැවිනි. විශේෂයෙන් අපේ වාමාංශික දේශපාලඥයන්ට, මේ කියන ‘උපක‍්‍රමික’ ආස්ථානයන්, අවසානයේදී ඔවුන්ගේ එකම දේශපාලනය බවට ද පත්ව ඇති සැටි පෙනෙන්ට තිබීමෙන් ඇස්පනාපිට ඔප්පු කෙරෙන්නේ එම අවදානමයි. ‘උපක‍්‍රමික’ හේතු මත මුලින්ම සභාගයකට ගිය වාමාංශය අන්තිමේ නතර වුණේ, එදා සමාජය ඉල්ලා නොසිටි දෙයක් පවා, 1972 ව්‍යවස්ථාව මගින් මේ රටේ දේශපාලන සංස්කෘතියට එක් කිරීමෙනි. එනම්, බුද්ධාගමට ව්‍යවස්ථාවෙන්ම ප‍්‍රමුඛස්ථානය ලබා දීමයි. එය, දීර්ග කාලීන මූලෝපාය සහ කෙටි කාලීන උපක‍්‍රම අතර තිබිය යුතු වෙනස මැකී ගිය එක් අවස්ථාවකි.

‘පොදු අපේක්ෂකයා’ පිළිබඳ ප‍්‍රශ්නයේ දී මේ ගැන විශේෂයෙන් පරිස්සම් වීමක් අවශ්‍ය කෙරේ. භික්ෂුවක් රාජ්‍ය නායකත්වයට පත්කර ගැනීම සහ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර ගැනීමේ ප‍්‍රායෝගික කර්තව්‍යය, පමණට වඩා අනුමිතීන් මත පදනම් කිරීමක තිබිය හැකි අවදානම ගැන මීට පෙර අප දක්වා ඇති අදහස් ඊට සම්බන්ධයි. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නව නගර ශාලාවේ ‘සංගායනාව’ පන්සිල් ගැනීමෙන් ආරම්භ කිරීම, මේ සම්බන්ධයෙන් කෙනෙකුගේ ඇස් අරවන සුළු විය යුතුය. ලංකා ඉතිහාසයේ දේශපාලන කතිකාවක් පන්සිල් ගැනීමෙන් ආරම්භ කළ ප‍්‍රථම අවස්ථාව එයයි.

කේ. ඩබ්. ජනරංජනට පිළිතුරක් ලියමින් කුසල් පෙරේරා ඉදිරිපත් කරන තර්ක හරහා ඔහු අවධාරණය කිරීමට බලන්නේ ද ඒ අවදානමයි. කරුණු එසේ වෙතත්, ජයම්පති වික‍්‍රමරත්න ඇතුළු නීති ප‍්‍රජාවගේත්, ජනරංජන ඇතුළු ඒ වෙනුවෙන් පෙනී සිටින වෙනත් කොටස්වලත් මූලික ආස්ථානය හෙවත් මේ මොහොතේ වෙනසක් කරගත යුතුව තිබේය යන්න ඒ මගින් නිෂේධ කෙරෙන්නේ නැත. කළ යුතුව ඇත්තේ, ප‍්‍රමුඛතාවන්ට හැකි තාක් ප‍්‍රමුඛත්වය දීමෙන්, දෙපාර්ශ්වයේ අදහස්වලින් පෝෂණය කෙරෙන මැද තැනකට පැමිණීම මිස, ‘කෑලි කැපුවත් මම සෝභිත හිමියන්ට’ යැයි කීම නොවේ.

බුදුන් වහන්සේගේ එක් දේශනාවක්, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කවියට නැගුවේය. මේ කවිය කාලෝ ෆොන්සේකා සහ තවත් අයෙක් මීට දශක හතරකට පමණ පෙර සිංහලට පරිවර්තනය කළහ. ඒ මෙසේය:

‘‘තණ්හාවේ දෝසේ- දුටු බුදුන් වහන්සේ- තණ්හාව නසා- විමුක්තිය පතා- නිවන් මග මේ යැයි- පෙන්වා දුන් සේක.
ඉක්බිතිව දවසක්, ගෝලයෝ පිරිසක්- ඇසුවෝය හිමිගෙන්, එක්තරා පැනයක්:
‘තණ්හාව හල විගස, සැණයකින් අප ලබන- ඔබ කියන ඔය නිවන කෙබඳුදැ යි කියනු මැන.
එවිට අප සියලූ දෙන- තණ්හාව නසනු ඇත.
බඹ ලොවට පිවිසීම වාගේද නිවන් සුව-
ඉර මුදුන් වෙලාවේ, විලක් මැද තනි වෙලා- කුසීතව පාවෙමින් සිටින්නා වාගේද-
ඔබ කියන ඔය නිවන, පැහැපත් ද පියකරු ද-
නොඑසේ නම් එය- සිත නැති කය නැති- කිසිම දෙයක් නැති දෙයක්දෝ ස්වාමීනි?
මෙය ඇසූ හිම සඳ- හෝරා ගණනක් වැඩ හිඳ නිසලව- කීවේ මෙලෙස ය:
‘ඔබ ඇසූ පැනයට- පිළිතුරු නැත මට’.
එහෙත් එම දිනයේ- සැන්දෑ සමයේ- බෝ රුක් සෙවණේ වැඩ සිටි සමිඳා-
පැන ඇසූ සිය සිසු පිරිස ගිය පසු- එහි සිටි සෙසු දන සැම අමතාලා- දෙසූහ මේ සුළු කතාව උපමා:
‘දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණි- රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි-
එහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගා පිටවන්නැ යි මම කීවෙමි.
එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත. එක් අයෙකුගේ රැුවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ-
ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද- දැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න ගෙයක් තියෙනවාද?
මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය.
මම පිළිතුරු නොදී ඔහුට- නැවත වරක් වුණෙමි නිහඬ.
මට සිතුණා මේ දරුවන් නගන ප‍්‍රශ්න නවත්තන්නේ- ගින්නෙන් නැසුනාම කියා’.
‘‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසෙකු පොලෝ තලේ- තැබූ දෙපා දැවෙන තුරා- වෙන තැනකට නොයාවි නම්- ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න’’.
එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’’ (බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්)

දැන් අපි උණු දියේ පැසවන ගෙම්බාගේ කතාවට හැරෙමු.

ගෙම්බෙකුව වතුර භාජනයක දමා ලිපේ තියන්න. වතුර කෙමෙන් රත් වෙද්දී ගෙම්බා ඊට සරිලන පරිද්දෙන් තමාගේ ශරීර ගතිකය සකස් කරගනු ඇත. අවසානයේදී වතුර උතුරන මට්ටමට එන විට, තවදුරටත් ශාරීරිකව ඊට සකස් වීමේ හැකියාවක් ගෙම්බාට නැත. දැන් ගෙම්බා වතුර භාජනයෙන් එළියට පනින්ට බලයි. එහෙත්, එතෙක් වෙනස් වෙමින් පැවති වතුරේ ඌෂ්ණත්වයට හැඩ ගැසීම සඳහා දරණ ලද ප‍්‍රයත්නයේ විඩාව නිසා ඌට දැන් වතුරෙන් එළියට පැන ගන්නට හයියක් නැත. තව මොහොතකින් ඌ මියයයි.

දැන්, මේ ගෙම්බාගේ මරණය සිදුවුණේ කෙසේදැ යි කෙනෙකු ඇසුවොත් බොහෝ දෙනා දෙන පිළිතුර වන්නේ, උතුරන වතුරට පිළිස්සීමෙන් ඌ මියගිය බවයි. එහෙත් සැබෑව එය ද? නැත. ඌ මියගියේ, භාජනයෙන් එළියට පැනීමට තීරණය කළ යුතු සැබැ මොහොත උගෙන් මගහැරී ගිය බැවිනි.

ලංකාව අද ගමන් කරමින් සිටින්නේ ඉහත කී ගෙම්බාගේ නිමේෂයේ බව පැහැදිළි ය. එක්කෝ අප දැන්ම මෙතැනින් පැනගත යුතුය. නැත්නම්, සමාජයක් වශයෙන් ගෙම්බාගේ ආනිසංසයට යට විය යුතුය.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    2

    “උණු වතුරේ පැසවන ගෙම්බාගේ” කතා අපි නම් අහල නැහැ. බහුබූත ලියල පොරක් වෙන්න අමාරුයි හලෝ.

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.