28 September, 2020

Blog

ආපසු හැරී බැලීමට තරම් නිහතමානී නොවන විපක්ෂයක් ආපසු පැමිණීම වැළැක්විය යුතුව තිබේ

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක මහ මැතිවරණයකින් හෝ ජනාධිපතිවරණයකින් වරක් පරාජයට පත්වන පක්ෂයක් හෝ කණ්ඩායමක් නැවත වරක් එම රටේ බලයට පත්කර ගත යුතු නැතැ යි සිතීම ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී සිතුවිල්ලකි. පරාජයට පත්වන අවස්ථාවේ එම පරාජයට තුඩුදුන් හේතු සාධක, කලක් ඇවෑමෙන් එම පක්ෂයට, කණ්ඩායමට හෝ පුද්ගලයාට එයාකාරයෙන්ම බලපාන්නේ නැත. එසේ වන්නේ, එක්කෝ අර කී පරාජයට හේතු වූ කරුණු එසේම තිබියදීත්, ඒවා කලක් යද්දී ඡුන්දදායකයාට අමතක වීම නිසා ය. එසේ හෙයින් අවුරුදු පහකට හෝ හයකට පසු පරණ කට්ටියම නැවත බලයට පත්කර ගත් අවස්ථා අපේ නිදහසින් පසු ඉතිහාසය තුළ දක්නට ලැබේ. එහෙත්, ඊට වෙනස්ව, යම් හෙයකින් තමන්ගේ පරාජය ගැන ආපස්සට හිතමින්, එම පරාජයට තුඩුදුන් හේතු කාරණා නිවැරදි කර ගනිමින් යම් පක්ෂයක් කටයුතු කරන්නේ නම්, ජනතාවගේ කැමැත්තෙන් යළිත් වරක් බලයට පැමිණීමට එම පක්ෂයට සුජාත අයිතියක් හිමි වන්නේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහාත්, පොදු ජනතාවගේ සුභ සිද්ධිය සඳහාත් යම් පක්ෂයකින් හෝ නායකයෙකුගෙන් රටක් බලාපොරොත්තු වන්නේ මේ දෙවැනුව කී අවලෝකනයයි.

මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීම ගැන එම සන්ධානය ආපසු හැරී බැලීමක් අවශ්‍ය කරන්නේ එම තතු යටතේ ය. එය, ඊට පෙර පැවති කිසි පාලකයෙකුට වඩා මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් වැදගත් වෙයි. එසේ නොමැතිව, තම පරාජය තමන්ගේ පැත්තෙන් සිදුව ඇති පාලනයේ අක‍්‍රමිකතා නිසා සිදුවූවක් වශයෙන් නොගෙන, යම් කුමන්ත‍්‍රණයක් හෝ ඊලාමයෙක් හෝ වෙනත් එවැනි අදිසි බලවේගයක් නිසා ඇති වූවක් යැයි ගැනීම, නැවත නැවතත් පරණ වැරැුද්දම කිරීමට දැන් තියාම අවසරයක් තමන් වෙත තබා ගැනීමට ගන්නා ප‍්‍රයත්නයක් වශයෙන් ගත යුතුව තිබේ. මෙය ඉතා භයානක තත්වයකි. මහින්ද රාජපක්ෂ ආපසු බලයට පත්වීමට අද කැසකවන්නේ ඊයේ තිබූ පරණ ක‍්‍රමයටම නැවත වරක් අනාගතයේ දවසක රට පාලනය කිරීමට නම්, එය හැකි හැම අයුරකින්ම නතර කළ යුතුව තිබේ.

මහින්ද රාජපක්ෂ පාලනය සත්තකින්ම පවුල් පාලනයක් වීය යන්න, රටේ ජනතාව කෙසේ වෙතත්, එම ආණ්ඩුවේම කැබිනට් මණ්ඩල සාමාජිකයන් පවා දැන් බොහෝ කාලයක් තිස්සේ දැන සිටි සත්‍යයකි. තමන්ගේ අමාත්‍යාංශ තුළ තමන්ට තිබිය යුතු නාමික ස්වාධීනත්වය වුව තමන්ට හිමි නොවුණු බව ඒ රජයේ සෑම ඇමතිවරයෙක්ම හොඳින් දැන සිටියේය. කිසි අමාත්‍යාංශයක් භාර ඇමතිවරයෙකුට තමන් නිවැරදි යැයි සිතන ආකාරයෙන් තීන්දු ගැනීමේ හැකියාවක් එදා තිබුණේ නැත. අඩු වශයෙන්, ස්වකීය අමාත්‍යාංශයක හෝ දෙපාර්තමේන්තුවක පහළ ශ්‍රේණියක රැුකියා පුරප්පාඩුවක් හෝ පිරවීමේ හැකියාවක්වත් එදා ඇමතිවරයෙකුට තිබුණේ නැත. ඒ සෑම තීන්දුවක්ම ආවේ, රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු හෝ එම පවුලට සම්බන්ධ යම් අන්තේවාසිකයෙකුගේ අනුමැතියක් හරහාම පමණි. මේ සත්‍යය, ජනවාරි 8 වැනි දායින් පසුව රටේ පොදු ජනතාව ද අද වන විට අඩු වැඩි වශයෙන් අවබෝධ කර ගනිමින් සිටිති. ඒ පවුල්වාදය මොන තරම් දුර දිග ගියේ ද යත්, එම රාජකීය පවුල බුදුන් වහන්සේටත්, දුටුගැමුණු රජතුමාටත් ඥාතිත්වයකින් සම්බන්ධ කිරීමට පවා ඇතැමුන් ගත් නිහීන ප‍්‍රයත්නය ජනාධිපතිවරයා ඇතුළු ඒ පවුලේ කිසිවෙකු විසින් මොන ආකාරයකින්වත් එදා නිවැරදි කිරීමට උත්සාහයක් ගත්තේ ද නැත. එය මන්ද බුද්ධික ප‍්‍රබන්ධයක්/ප‍්‍රලාපයක් පමණක්ම වූ බව ඇත්ත. එහෙත්, ඒ මන්දබුද්ධික විකාරයට පසුපසින්, මේ රටේ සියලූ දෙනා දෛනිකව අත්දුටු, ඊට සමගාමී කේවල යථාර්ථයක් ද තිබුණි. රටේ මුළු අයවැයෙන් සියයට 65 ක් එම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු අතරේ බෙදා ගැනෙන විට, නිදහසේ පටන් මේ රටේ පැවති නිදහස් සිවිල් අවකාශය, යුද්ධයක් නැති තත්වයක් තුළ පවා, තවත් සහෝදරයෙකුගේ සුරතල් හමුදා චින්තනයකට නතු කර ගැනෙමින් තිබෙන විට අප අත්දැක්කේ ඒ රාජකීය පවුලේ කර්කශ උෂ්ණයයි. මේ සහෝදරයන් තිදෙනාගෙන් කෙනෙකු, ජනවාරි 9 වැනි දා හිමිදිරියේම රටින් පැන යා යුතු යැයි තීරණයක් ගන්නා තරමට එය වන වී තිබුණි. ගෝඨාභය රාජපක්ෂ රටින් පැන නොගියේ වෙන කිසිවක් නිසා නොව, ලංකාවේ තරම් ආරක්ෂාවක් වෙන කිසි ධනපති රටකින් තමාට නොලැබෙන බව ඔහු හොඳින් දැන සිටි නිසා ය. මහින්ද රාජපක්ෂ නියෝජනය කරන (එවැන්නක් තවමත් ඇත්නම්) ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඒ තිත්ත අතීතය තමන්ගේ පරාජයට බලපෑ ප‍්‍රධාන බරපතල සාධකයක් වූ බව අදවත් පිළිගත යුතුව තිබේ. පක්ෂයක් වශයෙන් ද, නායකත්වයක් වශයෙන් ද, අනාගතයට නිවැරදි විය හැක්කේ එවැනි පිළිගැනීමක් හරහාම පමණි. අද අප කතා කරන සහ දිනෙන් දින හෙළි වෙමින් පවතින එදා පැවති මහ පරිමාණ දූෂණය මෙකී පවුල්වාදයේ අනිවාර්ය අතුරු ඵලයක් වූ බව ඔවුන් අමතක නොකළ යුතුය.

Vasu Mahindaමහින්ද රාජපක්ෂ පාලනය තුළ ඊළඟ බරපතල වැරැුද්ද සිද්ධ වන්නේ මේ රටේ ජාතික ප‍්‍රශ්නය අරභයා ඔවුන් දැක්වූ සදොස් ප‍්‍රවේශය තුළිනි. පළමු වරට, ජාතික ප‍්‍රශ්නයට තිරසාර විසඳුමක් සඳහා වන නිවැරදි ප‍්‍රවේශයකට එළැඹීම සඳහා, ‘ත‍්‍රස්තවාදයේ’ දෛනික තර්ජනයෙන් තොර වසර පහක්ම ඔවුන්ට ලැබුණි. ඇත්ත වශයෙන්ම, නිදහසේ පටන් මේ දක්වා බලයේ සිටි කිසි දේශපාලන නායකත්වයකට නොතිබුණු තරමේ විභවයක්, ඒ ප‍්‍රශ්නයට විසඳුම් සෙවීමේ අවශ්‍යතාවක් විණි නම්, මහින්ද රාජපක්ෂට තිබුණි. එහෙත් ඔහු කෙළේ, යුද්ධය අවසානයකට පත්කිරීම, සිංහල මහ ජාතියේ අත්පොලසන් හඬට යට කිරීමේ ප‍්‍රතිපත්තියකට යට වීමයි.

එහි දී ඔවුන් වැරදි මාර්ග දෙකකට එක විට පිවිසුණි. මේ මාර්ග දෙක එකිනෙකට සමගාමී විය. සහසම්බන්ධී විය. එක පැත්තකින්, බලය පවත්වා ගැනීම සඳහා, අවසාන විග‍්‍රහයේ දී, අංකගණිතමය සූත‍්‍රයක් තීරණාත්මක වන්නේය යන සාවද්‍ය විශ්වාසයට ඔවුන් යට විය. ඒ අනුව, මුළු ජනගහනයෙන් සියයට 70 කට වැඩි සිංහල බෞද්ධයාගේ ඡුන්දය ස්වකීය බලයේ තීරණාත්මක ප‍්‍රභවය හෙවත් උල්පත වශයෙන් ගැනීමට ඔවුහූ පෙළඹුණහ. යුද්ධ ‘ජයග‍්‍රහණයක්’ පිළිබඳ ඉස්කෝප්ප ආසියා තමන්ගේ අතේ තිබෙන තාක් කල් එය ප‍්‍රායෝගික යථාර්ථයක් කරගත හැකි වේ ය යන්න ඔවුන්ගේ පරම විශ්වාසය විය. සිවිල් යුද්ධයක් නොව, ලෝක යුද්ධයක් දිනූ බි‍්‍රතාන්‍යයේ වින්ස්ටන් චර්චිල්, යුද්ධාවසානයෙන් අවුරුදු හතරක් ඇවෑමෙන්, එරට ජනයා විසින් ගෙදර යැවූ පූර්වාදර්ශය ඔවුන් නොදැන සිටින්ට හේතුවක් නැත. එහෙත්, සමහර විට බි‍්‍රතාන්‍ය පුරවැසියා තරම් සිංහලයා ඒ අංශයෙන් පැසුණු ඡුන්දායකයෙකු නොවෙතැ යි සමහර විට ඔවුන් සිතන්නට ඇති.

මේ අංකගණිතමය සූත‍්‍රයට යට වීම දෙපැත්තකින් වැරදි ය. එක පැත්තකින්, කිසි ජනතාවකගේ සමාජ ජීවිතය දේශපේ‍්‍රමයෙන් පමණක් එක දිගටම යැපෙන්නේ නැති බව එහිදී අමතක කෙරුණි. යුද්ධයක් පවතින හෝ යුද්ධයක සැබෑ තර්ජනයක් පවතින තත්වයක් තුළ දේශප්‍රේමී විය හැකි ජනතාවක්, යුද්ධයක් නැති තත්වයක් තුළ එයාකාරයෙන් දේශපේ‍්‍රමී වන්නේ නැත. යුද්ධ කාලයකදී බජරි කෑමට වුව සූදානම් සමාජයක්, යුද්ධයකින් පසු හැම් බේකන් බලාපොරොත්තු නොවුණත්, අඩු වශයෙන් තුන් වේල පිරිමසා ගැනීමේ පරිසරයක් අපේක්ෂා කරනු ඇත. දෙවැනුව, ඊටත් වඩාත් බරපතල වන්නේ, ඒ අංකගණිතය යම් හෙයකින් හෝ ඔවුන් සිතූ පරිදි නිවැරදි විණි නම්, එයම, දේශපේ‍්‍රමය මගින් ආරක්ෂා කිරීමට ඔවුන් සපථ කළ දේශයේ දෙදරීමටත් එකහෙලා තුඩුදෙන බව ඔවුන් හිතාමතාම අමතක කිරීමයි. උදාහරණයක් වශයෙන්, මුළු දකුණම සමස්තයක් වශයෙන් මහින්ද රාජපක්ෂටත්, මුළු උතුරු-නැගෙනහිරම සමස්තයක් වශයෙන් මෛත‍්‍රීපාල සිරිසේනටත් කතිරය ගැසුවේ නම් එයින් ඔප්පු වන්නේ, මෛත‍්‍රීපාල සිරිසේන යම් දෙමළ හෝ මුස්ලිම් කුමන්ත‍්‍රණයක ඉත්තෙකු වී ඇති බවක් නොව, උතුරු-නැගෙනහිර සුළු වාර්ගික ජනතාව සහ දකුණේ සිංහල-බෞද්ධ ජනතාව නොපෑහිය හැකි සේ ඓන්ද්‍රීය වශයෙන් වෙන්ව ඇති බවකි. එය මොන තරම් බිහිසුණු චිත‍්‍රයක් විය හැකිව තිබුණි ද?

ඉහතින් සඳහන් කළ වැරදි මාර්ග දෙකෙන් දෙවැන්නට ඔවුන් පිවිසුණේ ඒ ඔස්සේ ය. මුල සිටම ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ වැනි ආණ්ඩුවේම නියෝජිතයන්ගේ නිර්දේශ තුළ පවා විසඳුම් යෝජනා ඉලක්ක කෙරුණු දෙමළ ජනතාවගේ දෛනික දෝමනස්සයන් පවා ඔවුන් අමතක කළා පමණක් නොව, එහිම තවත් දිගුවක් වශයෙන්, මුස්ලිම් ජනතාවත් ඉලක්ක කොට ගනිමින් ගලගොඩඅත්තේ ඥානසාර නැමැති අඥාන ප‍්‍රපංචයක් ද ඔවුන් අතින් නිර්මාණය කෙරුණි. සිංහල-බෞද්ධයාගේ සුජාත නියෝජනය මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ විසින් නිල වශයෙන් ගලගොඩඅත්තේ ඥානසාර නැමැති අලජ්ජි භික්ෂුවට පවරන විට ඔවුන්ගේ අදේශපාලනික තර්කය වන්නට ඇත්තේ, සමස්ත උතුරු-නැගෙනහිරම නොසළකා හරිමින් සිංහල-බෞද්ධ ඡුන්දවලින් සියයට 80 ක්වත් දිනා ගැනීමෙන් ගොඩ යාමට ය. මේ අපේක්ෂාවම අති බිහිසුණු ය. එවැනි සමීකරණයක් තුළ යම් ගණිතමය හැකියාවක් පැවතියත්, එසේ ලබා ගන්නා ජයග‍්‍රහණයක් තුළින් සිදුවන්නේ ආපසු ඉතිහාසය ප‍්‍රතිනිර්මාණය වීමක් මිස අන් කවරක්ද?

මේ අනුව, එක පැත්තකින් පවුල් පාලනයක් යටතේ දිග හැරුණු, (මහ පරිමාණ දූෂණ, බලයේ අවභාවිතය, සම්මත ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රමිතීන් නොසළකා හැරීම, සංවර්ධනයේ උඩුයටිකුරු ශෝභනය ආදී) අවර කි‍්‍රයාදාමයත්, අනිත් පැත්තෙන් සුළු ජාතීන් පිටමං කෙරුණු වර්ගවාදී ක‍්‍රියාදාමයත් විසින් තමන්ගේ පරාජය ඒකාන්ත කළ බව නොපිළිගන්නා තාක් කල්, ඒ වැරදි අනාගතයේවත් නිවැරදි කර ගැනීමට සපථ නොකරන තාක් කල්, මහින්ද රාජපක්ෂ හෝ වෙනත් එවැනි නායකයෙකු හෝ එවැනි දේශපාලනයක් වහකදුරු සේ පිටමං කළ යුතුව තිබේ.

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    maka waradi adahasak ai oba katha karanne natha me ththwayata rata adaladanna una aikiyala THAILATHA,MIYANMAR, USA,UE.siyalu jatin siyslu agamkinaithin ilanawad purna nidahasa thiyanawada poddak aganna soys bala ma waga dayak liyanna onam walawak ma sanwadayata kamthi

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.