13 August, 2020

Blog

‘‘දින 100’’ ගුණ්ඩුවක් හෝ තොණ්ඩුවක් නොවීමට නම්..

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

දින 100 වනාහී, පොරොන්දුවක් ඉටු කිරීමට දුන් කාල සටහනකි. නිවසක් තැනීමට භාර ගන්නා ගෘහ නිර්මාණ ශිල්පියෙක් හෝ කොන්ත‍්‍රාත්කරුවෙක්, මාස 6 ක් හෝ 8 ක් ආදි වශයෙන් වන කාලයක් ඇතුළත නව නිවසක් නිමවා දෙන බවට ගෙහිමියෙකු සමග පොරොන්දුවකට හෙවත් ගිවිසුමකට එළඹෙයි. පොරොන්දු වූ කාලය අවසානයේ බොහෝ විට අපේක්ෂිත නිවස නිමවා නොතිබෙන්ට පිළිවන. දැන් ගෘහ නිර්මාණ ශිල්පියා හෝ කොන්ත‍්‍රාත්කරුවා තමන් ගිවිස ගත් කාලය ගෙවී ඇති හෙයින්, ඒ වන විට බාගෙට හදා ඇති නිවසේ ඉතිරි වැඩ අවසන් නොකොට ගිවිස ගත් කොන්ත‍්‍රාත්තුවෙන් ඉවත් වන්නේ නම් ඇති විය හැකි තත්වය කවරේ ද? ගෙයක් තැනීමට භාර දුන් කිසි ගෙහිමියෙක්, එවැනි කොන්ත‍්‍රාත්කරුවෙකු හෝ ගෘහ නිර්මාණ ශිල්පියෙකු ගැන කෙසේ හැසිරෙනු ඇත්ද? මෛත‍්‍රිපාල සිරිසේන නැමැති ගෘහ නිර්මාණ ශිල්පියාට සහ රනිල් වික‍්‍රමසිංහ නැමැති එම ගෙය තැනීම භාර ගත් කොන්ත‍්‍රාත්කරුවාට මේ ගෙහිමියා මුළු මුදලම දැනටමත් ගෙවා තිබේ. එම මුදල කොටස් වශයෙන් ගෙවීමේ හෙවත් තම ඡුන්දය කොටස් වශයෙන් පාවිච්චි කිරීමේ හැකියාවක් ඔහුට නොතිබුණි. එනිසා, සියලූ කාර්යයන් ( දූෂණය පිටුදැකීම, පවුල්වාදය තුරන් කිරීම, වැරදිකරුවන්ට දඬුවම් දීම, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය යළි ස්ථාපිත කිරීමේ සිට, විධායක ජනාධිපති ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය කිරීම, නව මැතිවරණ ක‍්‍රමයක් ඇති කිරීම සහ පොදු ජනතාවට ආර්ථික සහන සැලසීම ආදී) සියලූ රාජකාරි සඳහා එක විට, එක ඡුන්දයකින් මේ ඡුන්දාදයකයා ගෙවා දැම්මේය.

යහපාලනයේ පරමාදර්ශය සිය දේශපාලනික සදාචාරය වශයෙන් රටට ඉදිරිපත් කළ කිසි දේශපාලන ව්‍යාපාරයක් හෝ පක්ෂයක් හෝ නායකයෙකු ‘දින 100’ ඉදිරිපත් කෙළේ ඡන්ද ගුණ්ඩුවක් වශයෙන් නම්, එතැනම යහපාලනය දූෂ්‍ය වන්නේය. පැවති රජයේ සියලූ පව්වලට කර ගසා පාරාජිකා වූ අමන දේශපාලඥයන් පිරිසක් මේ ‘දින 100 වැඩපිළිවෙල’ ඡන්ද ගුණ්ඩුවක් පමණකැ යි අර්ථ දැක්වීමට පුල පුලා බලා සිටිති. පෙට‍්‍රල්වලින් ගැසූ බද්දේ අසාධාරණ පරිමාණය අඩු කළ විට, පෙට‍්‍රල්වලින් ගන්නා මුළු බද්දම ඉවත් නොකෙළේ මන්දැයි ඔවුහූ ප‍්‍රශ්න කරති. අත්‍යාවශ්‍ය භාණ්ඩ ප‍්‍රමාණයක බද්ද අඩු කළ විට සහල්වල මිළත් අඩු නොකෙළේ මන්දැයි එලෙසම ප‍්‍රශ්න කරති. මේ වෘෂභයන්ට පිළිතුරු බැඳිය යුතු නැත. එහෙත් සද්භාවයෙන් ඉදිරිපත් කළ ‘දින 100 වැඩපිළිවෙලක’ අන්තර්ගතය පසෙක දමා හුදෙක් දින 100 සංඛ්‍යාවක් උඩ අනාගත දේශපාලන ගණනය කිරීම් කරන්නේ නම්, එයින් සිදුවනු ඇත්තේ ඉහත කී පාරාජිකා දේශපාලඥයන්ගේ චෝදනා වර්තමාන පාලකයන් විසින්ම තොණ්ඩුවක් කර ගැනීමකි.

‘‘දින 100’’ තුළ යම් ‘බාල’ ගතියක් මුල සිටම තිබුණු බව ඇත්ත. එහි අන්තර්ගතය දෙස බලන විට, මොන විදිහකින්වත් එවන් පුළුල් පරාසයක ප‍්‍රතිසංස්කරණ දින 100 කින් කළ නොහැකි බව පෙනෙන්ට තිබුණි. එහෙත්, දේශපාලනික සටන් පාඨයක යම් ආකර්ශණයක් තිබිය යුතුය. එසේම, අපේ දේශපාලන නායකයන්ගේ පොරොන්දු කඩ කිරීමේ ඉතිහාසය දෙස බලන විට, යම් නිශ්චිත කාලයක් සහ වකවානුවක් සහිත පොරොන්දුවක්, හැකි තාක් කෙටි කාලයකට ලඝු කර ගැනීමත් අවශ්‍ය කෙරුණි. දින නියමයක් නැති ‘‘දෙන්නං කාසිවලට’’ බඩු විකුණන (ඡන්දය පාවිච්චි කරන) පුරුද්දෙන් බැටකා සිටි ඡන්දදායකයා, දේශපාලඥයා දෙන්නම් කියන කාසි දෙන්නේ හරියටම කවදා දැ යි දැන ගැනීමට කැමැත්තක් දක්වයි. ඒ නිසා මෙය ‘දින 100’ වැනි වටකුරු ලස්සණ ඉලක්කමකට ලඝු කෙරුණි.

එහි වැරැුද්දක් නැත. එක පැත්තකින්, මේ ‘‘දින 100’’ වැඩ පිළිවෙල කෙරෙහි විශ්වාසය රැුඳවීමට, මහින්ද රාජපක්ෂගේ ආණ්ඩු පක්ෂය හැරුණු කොට, මේ රටේ ගණන් ගත යුතු සෑම දේශපාලනික ප‍්‍රවාහයක්ම එකඟව සිටියේය. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික හෙළ උරුමය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොන්ග‍්‍රසය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය වැනි ප‍්‍රධාන ප‍්‍රවාහයේ දේශපාලන පක්ෂ මෙන්ම, සෑම සිවිල් ව්‍යාපාරයක්මත් ඒ ගැන විශ්වාසය රැුඳවීමට කැමැත්ත ප‍්‍රකාශ කොට තිබුණි. එසේ හෙයින් එය හිස් සටන් පාඨයක් නොවුණා පමණක් නොව, අත්‍යන්තයෙන් සුජාත භාවය හිමිකර ගත් සටන් පාඨයක් ද විය. ඒ සුජාත භාවය ආරක්ෂා කරගත යුත්තේ, හුදු කැලැන්ඩරයකට යට වීමෙන් නොව, අදාළ අන්තර්ගතය සාක්ෂාත් කර ගැනීමෙනි.

දැන් අපි ඒ දෙස මෙසේ බලමු. යම් හෙයකින් අදාළ වැඩ කොටස දින 100 කින් අවසන් කළ නොහැකි වන්නේ නම්, ඒ සඳහා දින 101 ක් ගත්තොත් එය විවේචනය කරන කිසි බුද්ධිමත් ඡන්දදායකයෙකු ලංකාවේ සිටිය හැකි ද? එසේම, අදාළ වැඩ කොටස මුළුමණින් සම්පූර්ණ කරන්නේ නම්, ඒ දින 100 තව දින 100 කින් වැඩි කර ගත්තත්, ඊට දොස් කියන කිසි බුද්ධිමත් ඡන්දදායකයෙකු ලංකාවේ සිටිය හැකිද? උත්තරය කොහෙත්ම නැත යන්නයි. කොටින්ම කිවහොත්, ජනතාව ඉල්ලා සිටින්නේ, ව්‍යවස්ථාවෙන් සහ නීතියෙන් පැනවෙන අවසාන දිනය සහ මිනිත්තුව දක්වාම (2016 අපේ‍්‍රල් දක්වාම) හෝ පාවිච්චි කරමින්, දෙන ලද පොරොන්දු පත‍්‍රය ඉෂ්ට කරන ලෙසයි. වැදගත් වන්නේ කැලැන්ඩරය නොවේ. සෑම අවුරුද්දක් අවසානයේම මිනිස්සු කැලැන්ඩර වීසි කරති. එහෙත්, ඒ කාලය තුළ තමන් කළ කී දෑ සහ තමන් ලද ජය පරාජයන් සේම අපේක්ෂාවන් ද එසේ වීසි කිරීමේ හැකියාවක් මිනිස්සුන්ට නැත.

ජනතා ඡන්දයෙන් බලයට පත්වූ පාර්ලිමේන්තුවක් හෝ ජනාධිපති ධුර කාලයක් ඊට නියමිත නිල කාලය ඉකුත් වීමට කලින් විසිරුවා හැර අළුත් පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වීමේ හැකියාව වර්තමාන ආණ්ඩු ක‍්‍රමය යටතේ ජනාධිපතිවරයාට තිබේ. මේ සුවිශේෂී ජනාධිපති බලය පසුගිය කාලයේ පාවිච්චි කෙරුණේ, සිටින පාලකයා හෝ පාලක පක්ෂය නැවත බලයට පත් වීමේ වඩාත් වාසි සහගත මොහොත සැලකිල්ලට ගැනීමෙන් මිස, ජනතා ස්වෛරීත්වය හෝ රටේ අභිවෘද්ධිය ගැන ඇති තැකීමක් මත නොවේ. මේ විකෘතිය මොන තරම් දුර දිග ගියේ ද යත්, හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වීමේ නිශ්චිත දිනය පවා නියම කෙරුණේ හොර ජ්‍යොතිෂඥයෙකු විසිනි. ජනතා අභිවෘද්ධිය පිළිබඳ විශේෂ හේතුන් පෙරදැරිව අළුත් මැතිවරණයක් කල්තියා කැඳවීමට දී තිබූ එම බලය මෙයාකාරයෙන් වෛශ්‍යාකරණයට ලඝු කිරීමේ ඉඩක් ලංකාව වැනි රටක කවදත් තිබේ. ඇමරිකාවේ ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනය කවදා දැ යි එරට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම පනවා තිබීම අපට ගත හැකි මහඟු ආදර්ශයකි. එම දිනය වෙනස් කිරීමේ හැකියාවක්, හොර ජ්‍යොතිෂඥයෙකුට තබා, එරට ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවටවත් නැත.

මේ කාරණය මොන තරම් වැදගත් ද යන්න, නව ආණ්ඩුවේ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණවලට අතගසා සිටින අපේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා විශේෂඥයන්ගේ ද සැළකිල්ලට යොමුව තිබීමෙන් පෙනී යයි. එනිසා, ඉදිරියේ දී ගෙන ඒමට යෝජිත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ, ජනතාව විසින් අවුරුදු පහකට පත්කර ගන්නා ආණ්ඩුවක් විසුරුවා හැරීමේ බලය අවුරුදු හතර හමාරක් යන තෙක් ජනාධිපතිවරයාට නොදීමට ඔවුන් වගබලාගෙන තිබේ. එපමණක් නොවේ. ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ද අවශ්‍ය කරන්නේය. මෙයින් පෙනී යන්නේ කුමක් ද? නියමිත කාලයට කලින් මැතිවරණයක් කැඳවීම, ජනතා අභිලාෂයකට වඩා පාලකයාගේ අභිලාෂයක් වන බව තේරුම් ගනිමින්, ඒ කූටෝපායට ඇති ඉඩකඩ ඇහිරීමයි. එනම්, අවුරුදු පහකට දෙන ජනතා වරම ඊට කලින් අවසන් කිරීම ජනතා අභිලාෂයක් නොවන බව ව්‍යවස්ථානුකූලවම පිළිගැනීමයි.

එවැනි ප‍්‍රගතිගාමී දැක්මක් අනාගතය වෙනුවෙන් පෙන්නුම් කරන නව පාලකයන්ට, වර්තමානයම ඊට පූර්වාදර්ශයක් කර ගැනීමට ඇති බාධකය කුමක්ද? ‘දින 100’ වාචික වූත්, සංඛ්‍යාත්මක වූත් කෘත‍්‍රීම සීමාවක් පනවාගෙන තිබුණ ද, ඉහත කී ජනතා අභිලාෂයේ ගරුත්වය සැලකිල්ලට ගනිමින්, වර්තමාන පාර්ලිමේන්තුවේ නියමිත නිල කාලයෙන් තව කොටසක් අදාළ ‘වැඩපිළිවෙල’ වෙනුවෙන් වැය කිරීම ගැන විපක්ෂය පවා විරුද්ධ නැති බව මේ අවස්ථාවේ දී අප අමතක නොකළ යුතුය.

මේ නිසා, සමානුපාතික දිස්ත‍්‍රික් ඡන්ද ක‍්‍රමයේ සහ මනාප ඡන්ද ක‍්‍රමයේ මාරාන්තික පිළිලය එසේම තබාගෙන මෙවර මැතිවරණයත් එම ක‍්‍රමයටම පැවැත්වීම සඳහා හෙවත් කේවල සහ සමානුපාතික මිශ‍්‍ර ක‍්‍රමයකට මේ මොහොතේ නොයාම සඳහා ඉහත කී දින 100 බාධකය තර්කයක් සේ ගෙනහැර පෑමේ සුජාත අයිතියක් වර්තමාන ආණ්ඩුවට හිමි නොවන්නේය. එය ව්‍යාජ තර්කයකි. ජනතාව රැුවටීමකි.

එසේ හෙයින්, මැතිවරණයේදී පොරොන්දු වූ පරිදි දින 100 අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ, ඒ කාලය තුළ කිරීමට පොරොන්දු වූ දේවල් ඉටු කළහොත් පමණි. නොඑසේ නම්, ලබන වසරේ අපේ‍්‍රල් දක්වා ද වන කාලයත් පාවිච්චියට ගෙන අදාළ පොරොන්දු ඉටු කිරීමට නව පාලකයන් බැඳී සිටින්නේය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.