17 September, 2019

Blog

මේ සමස්ත ප‍්‍රපංචය හැඳින්වෙන නාමය, මහින්ද රාජපක්ෂ නමි: අඩමානයක් තිබේ නම්, හයියෙන් කෑගහන්න

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

අද ආණ්ඩුවේ සිටින, යටිගිරියෙන් කෑගහන බොහෝ දේශපාලඥයන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයට හතුරු දේශපාලනයක් තුළ පන්නරය ලැබූවන් බව, ඒ දෙස විමසිල්ලෙන් බැලූවොත් කෙනෙකුට පෙනී යනු ඇත. ඊට හේතුව, එවැනි දේශපාලඥයන්ට වගකීම් දෙකක් තිබීමයි.

එකක්, වර්තමාන දේශපාලනය නිවැරදි බව ‘දිව්රා’ සපථ කිරීමේ අවශ්‍යතාවයි. ඒ සඳහා විවිධ හේතුවාචක ඉදිරිපත් කෙරේ: ‘ත‍්‍රස්තවාදය පරාජය කිරීම’, ‘ජනාධිපතිවරයාගේ දෑත ශක්තිමත් කිරීම’ සහ ‘විදේශ කුමන්ත‍්‍රණ පැරදවීම’ ආදී වශයෙනි.

දෙවැන්න වන්නේ, තමාගේ වර්තමාන දේශපාලනය, කලින් සිටි පක්ෂයේ වරදක සෘජු ප‍්‍රතිඵලයක් මිස වෙන කිසිවක්ම නොවන බවත්, පිටස්තර ලෝකයාට මෙන්ම තමාටමත් ඒත්තු ගැන්වීමයි. මීට හොඳම නිදසුන වශයෙන් නිතැතින් මගේ හිතට එන්නේ විමල් වීරවංශයි. දයාසිරි ජයසේකරට නොපැවරෙන බරක්, වර්තමානය යුක්ති සගහත කර ගැනීම සඳහා, විමල් වීරවංශට පැවරෙයි. මන්ද යත්, ඔහු සම්බන්ධයෙන් කඩඉම් දෙකක් ඇති බැවිනි. දයාසිරි පනින්නේ, එක ධනපති පක්ෂයකින් තවත් ධනපති පක්ෂයකට හෙවත් අල්ලපු වත්තට ය. එය අමාරු නැත. එහෙත්, මාක්ස්වාදී සහ විප්ලවවාදී යැයි කියාගත් පක්ෂයකින් ධනපති පක්ෂයකට පැනීම යනු, යුක්ති සහගත කර ගැනීම සඳහා වන ‘ගෙදර වැඩ’ බොහොමයක් පැවරෙන, වෙහෙසකර අභ්‍යාසයකි. (කාලයකින් පසු, එනම් ඇටුවම් බැස්ස පසු, මේ තත්වය සමනය විය හැකිය. එවිට, තමන් කලින් සිටියේ කොහේද යන්නත් කෙනෙකුට අමතක වී යයි). මේ නිසා, කෑගැසීමක් කොහෙත්ම අවශ්‍ය නොකරන විෂයක් ගැන කතා කිරීමේ දී පවා, ගිරිය පුම්බන දේශපාලඥයන් ගැන පරිස්සමෙන් සිටීම යෙහෙකි. (කෙසේ වෙතත්, මීට ප‍්‍රතිපක්ෂව, ධර්මානුශාසනාවෙන් කරුණු ගෙනහැර දක්වන්නන්, අවංක සහ අව්‍යාජ පිරිසක් යැයි අනිවාර්යෙන් ගැනෙන බවක් මෙයින් අදහස් නොවන බවත් දත යුතුය: උදාහරණ: ජී. එල්. පීරිස්).

යුද්ධයේ අවසන් වකවානුවේ ‘යුද අපරාධ’ සහ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සිදුවන්ට ඇති බව, සාධාරණ පදනමකින් අනුමාන කරන්ට, කෙනෙකු උතුරේ වැසියෙකු හෝ දෙමළ ජාතිකයෙකුම විය යුතු නැත. 1971 දී එවැනි යුද අපරාධ සිදුවිය. එයින් ප‍්‍රසිද්ධියට පත් එක් අවස්ථාවක් වන්නේ, කතරගම පේ‍්‍රමවතී මනම්පේරි නැමැති තරුණියව, හමුදා නිලධාරීන් විසින් ප‍්‍රසිද්ධියේ දූෂණය කොට මරා දැමීමයි. කතරගම නගරය එදා තිබුණේත් අද තිබෙන්නේත්, ලංකාවේ දකුණු ප‍්‍රදේශයේ ය. මේ තරුණිය, ජන්මයෙන් සිංහල ය. ආගමෙන් බෞද්ධ ය. ඇගේ දූෂකයන් සහ ඝාතකයන් ද, එම ජාතියේ ය. එම ආගමේ ය.

ඊළඟට, 1987-1990 කාලයේ ඝාතනය වූ සංඛ්‍යාවත් දස දහස් ගණනකි. ඒ සියල්ලන්ම දකුණෙනි. ඔවුන් ද, ජාතියෙන් සිංහල ය. ආගමෙන්, බොහෝ විට, බෞද්ධ ය. එම ඝාතනයේ අනිත් පාර්ශ්වයත්, දකුණේ සිංහලයන් සහ, බොහෝ විට බෞද්ධයන් ය. මෑතක දී මාතලෙන් සොයාගෙන තිබෙන මිනී වළවල්වලින් හමුවන ඇටකටු, පැහැදිළිවම, සිංහල සහ බෞද්ධ ඇටකටු විය යුතුය.

එසේ තිබියදී, ‘අපේ එවුන් නොවන’ උතුරේ විසූ ‘දෙමළා’ සම්බන්ධයෙන්, යුද්ධයේ අවසන් භාගයේ කටයුතු සිද්ධ වන්ට ඇත්තේ, නවගුණ වැලක් අතින් ගෙන නොවේ යැයි, මේ රටේ වෙසෙන සෑම වැඩිහිටි සිංහලයෙක්ම දන්නේය. ඉහත කී පූර්වාදර්ශවලින් එය දැන නොසිටි සිංහලයෙකු වී නම්, යුද්ධයෙන් පසුව, එම පාඩම පසුගිය දා වැලිවේරියේ දී එම අයවළුන්ට නැවතත් කියාදුනි.

ඉහත සඳහන් යුද අපරාධ පිළිබඳ චෝදනාව එල්ල වන අවස්ථාවේ, බුද්ධිමත් පාලකයන්ට ගත හැකිව ඇති ස්ථාවරය වන්නේ, එවැනි දේවල් සිදු නොවුණු බව කියා සිටීම නොව, ඒවා චේතනාන්විතව සිදු නොකළ බව කියා සිටීමය. එහෙත් ලංකාවේ පාලකයන් එවැනි ආකල්ප දැරීම සළකන්නේ, දේශද්‍රෝහී අදහසක් වශයෙනි.

ඒ වෙනුවට ඔවුන් අනුයන මාර්ග දෙකක් තිබේ. එකක් වන්නේ, ඉහත සඳහන් පරිදි, බටහිර ලෝකයා කෑගසනවාට වඩා හයියෙන් ලංකාවේ සිට කෑගැසිය හැකි නඩයක් පාරට දැමීමයි. දෙවැන්න වන්නේ, සිදු වී යැයි කියන චෝදනා සම්බන්ධයෙන් තමන්ගේම වන දේශීය විමර්ශනයන් කෙරෙහි යොමුවන බවක් පිටතට ඇඟවීමයි. සමස්ත ප‍්‍රශ්නයට දැක්විය යුතු ප‍්‍රතිචාරය කල්තියා තීන්දු කොට ඇති නිසා, කුමන පන්නයේ දේශීය විමර්ශනයකින් වුව ලැබෙන්නේ එකම තීන්දුවකි. එක්කෝ, ‘යුද අපරාධ’ හෝ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සිදු වී නැති බවයි. නැත්නම්, පත්කළ කොමිෂන් සභාවේ වාර්තාව යටගියාවට දැමීමයි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මගින් මෙතෙක් පත්කොට ඇති කොමිෂන් සභාවල ඉතිහාසය, අර්බුදයක තතු නිරාවරණය කොට ඊට විසඳුම් සෙවීම සඳහා යොදාගන්නා පරීක්ෂණ මාදිලියක් නොව, මුහුණදෙන අර්බුදයකින් පලා යාම සඳහා යොදාගන්නා දහංගැටයක් පමණක් බව, ඔවුන්ගේ පරීක්ෂණ කොමිෂන් සභා ඉතිහාසය දෙස බැලීමෙන් පෙනේ. මෙය, මර්වින් සිල්වාගේ නාඩගම් ගැන පරීක්ෂා කිරීමට පත්කරන ආණ්ඩු පක්ෂයේ අභ්‍යන්තරික විනය පරීක්ෂණවල සිට, යුද්ධයේ ආගිය මුලගිය තැන් සෙවීමට පත්කළ ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ වැනි ජාතික තලයේ කොමිෂන් සභා දක්වා අප අත්දැක ඇති තිත්ත ඇත්තකි. ඔවුන් දැන් ‘සත්‍ය කොමිසමක්’ ගැන කතා කරන්නේ එසේ තිබියදී ය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ කොමිෂන් සභා සෙල්ලම පටන් ගන්නේ, ඔහු මුල් වරට ජනාධිපති තනතුරට පත්වී අවුරුද්දක් ගතවීමටත් මත්තෙනි. 2005 දෙසැම්බර් මාසයේ දී මඩකලපුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය වීමේ සිද්ධියට අදාළ සත්‍ය තොරතුරු නිරාවරණය කර ගැනීමේ අරමුණින් එම ප‍්‍රථම විමර්ශන කොමිසම පත්කෙරුණි. සාමාජිකයන් දෙදෙනෙකුගෙන් යුත් එහි සභාපතිවරයා වුණේ, හිටපු විනිසුරුවරයෙකු වූ මහානාම තිලකරත්න මහතා ය. එම පරීක්ෂණ කොමිසමේ අවසාන වාර්තාව ජනාධිපතිවරයාට භාර දී ඇතත් මේ වන තෙක් එය ප‍්‍රසිද්ධියට පත්කොට නැත. අදාළ පුද්ගලයන් පිළිබඳ නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා එම වාර්තාව හේතුවක් කරගෙන ද නැත.

ඊළඟට, විවිධ පැහැරගෙන යාම්, අතුරුදහන් වීම්, හඳුනා නොගත් මළ සිරුරු සහ වෙනත් අභිරහස් ඝාතන ගැන සොයා බැලීමට, එම විනිසුරුවරයා යටතේම තවත් ජනාධිපති කොමිසමක් 2006 සැප්තැම්බර් මාසයේ පත්කෙරුණි. එහි අවසන් වාර්තාවත් ජනාධිපතිවරයාට භාර දී තිබේ. එහෙත් මේ දක්වා එය ප‍්‍රසිද්ධියට පත්කොට හෝ ඒ අනුව කිසිවෙකු නීතිය ඉදිරියට පමුණුවා හෝ නැත.

ඉන් පසු, 2005 අගෝස්තු මාසයේ පටන් සිදුවූ බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් ගැන සොයා බැලීමට, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උදලාගම මහතාගේ සභාපතිත්වයෙන් තවත් ජනාධිපති කොමිසමක් 2006 නොවැම්බර් මාසයේ දී පත්කෙරුණි. එම කොමිසමට සොයා බැලීමට තිබුණේ, හිටපු විදේශ ඇමති ලක්ෂමන් කදිරගාමර් ඝාතනය, ‘සාගින්නට එරෙහි ක‍්‍රියාන්විතය’ නැමැති ප‍්‍රංශ මානව ආධාර සංවිධානයේ සේවය කළ 17 දෙනෙකු ඝාතනය කිරීම, ත‍්‍රිකුණාමලේ මුහුදු වෙරළේ දී අහිංසක දෙමළ තරුණයන් පස් දෙනෙකු ඝාතනය කිරීම වැනි සිදුවීම් මාලාවකි. මෙහි අවසන් වාර්තාව 2009 දී ජනාධිපතිවරයාට භාර දී තිබේ, එහෙත් මේ දක්වා එය ප‍්‍රසිද්ධියට පත්කොට හෝ ඒ අනුව කිසිවෙකු නීතිය ඉදිරියට පමුණුවා හෝ නැත. (දැන් මාසයකට පමණ පෙර, ජිනීවා නුවර දී කීමට යම් උත්තරයක් අවශ්‍ය වීම නිසා, ත‍්‍රිකුණාමලේ සිද්ධියට සම්බන්ධ යැයි සැක කරන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතත්, එහි මහ මොළකාරයා වශයෙන් චෝදනාවට ලක්වූ ඉහළ පොලිස් නිලධාරියා නීතිය ඉදිරියට තවමත් ගෙනැවිත් නැත. ඔහු අද නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි).

මෙවැනි කොමිෂන් සභා ගැන ලෝකයා තුළ ඇති අවිශ්වාසය නිසාම, මෙම කොමිසමේ කාර්ය පරිපාටිය පිළිබඳව සොයා බලන නිරීක්ෂකයන් වශයෙන් ජාත්‍යන්තර කීර්තියක් උසුළන විද්වතුන් 11 දෙනෙකුට ද ජනාධිපතිවරයා ආරාධනා කෙළේය. එම කණ්ඩායම, ‘ජාත්‍යන්තර අද්විතීයන්ගේ කණ්ඩායම’ වශයෙන් හැඳින්වුණි. එහි සභාපතිත්වය දැරුවේ ඉන්දියාවේ හිටපු අගවිනිසුරුවරයෙකු වූ පී. එන්. භාග්වතී ය. මෙසේ ගෙන්වන ලද ජාත්‍යන්තර විද්වතුන්ට ආණ්ඩුවත්, ආණ්ඩුවේ ප‍්‍රචාරකයෝත් පලා නොකියා පලා බෙදූහ. ඇතැමෙක් ඔවුන්ව, ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකාරී පිරිසක් වශයෙන් නම් කළහ. අවසානයේ දී, තමන්ගේ නිරීක්ෂණවලින් කිසි ප‍්‍රතිඵලයක් හෝ සාධනීය වෙනසක් ඇති නොවන බව ජනාධිපතිවරයාට ලියා දන්වා, කොමිසමේ කාර්ය පරිපාටිය අවසන් වීමටත් කලින්ම ඔවුහූ ලංකාවෙන් පිටව ගියහ.

2002-2004 අතර කාලය තුළ මහා වැට් බදු වංචාවක් මගින් රුපියල් ප‍්‍රකෝටි ගණනක් ගසාකෑ හොර ජාවාරම ගැන සොයා බැලීමට තවත් කොමිසමක් 2007 දී පත්කෙරුණි. එහි අවසන් වාර්තාව 2009 දී ජනාධිපතිවරයාට භාර දී තිබේ. එහෙත් එහි සැබෑ ප‍්‍රගතියක් ගැන මේ දක්වා දැනගන්නට නැත.

මාතලේ සමූහ මිනීවළවල් කිහිපයක තිබී සොයාගත් පුද්ගලයන් සිය ගණනකගේ ඇටකටු පසුපස ඇති කරුණු සොයා බැලීමට තවත් කොමිසමක් 2013 ජුනි මාසයේ දී පත්කෙළේය. මාස හයක් ඇතුළත් එහි වාර්තාව භාර දීමට නියමිතව ඇතත්, එහි ඉරණම, ඉහත කී කොමිෂන් සභාවල අවසාන වාර්තාවන්ට අත්වූ ඉරණමින් වෙනස් විය නොහැක.

ඒවා සම්බන්ධ තත්වය එසේ වෙතත්, ඉතා ‘කාර්යක්ෂම’ විමර්ශන යාන්ත‍්‍රණයන් ද මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ දක්නට ලැබේ. සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් එවැන්නක් පැවැත්වුණි. ඔහුව අත්අඩංගුවට ගෙන නඩු අසා හිරේ දැමීමට ගියේ ‘ඒ පැත්ත හැරී මේ පැත්ත හැරෙන’ කාලයකි. ඊළඟට, හිටපු අගවිනිසුරුවරිය ගැන ‘පරීක්ෂණ පවත්වා’ ඇයව ගෙදර යැව්වේත් ‘හැරෙන තැපෑලෙනි.’

මේ සමස්ත ප‍්‍රපංචය හැඳින්වෙන නාමය, මහින්ද රාජපක්ෂ නමි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.