25 September, 2020

Blog

මාදුළුවාවේ සෝභිත හිමියන් ‘පොදු අපේක්ෂකත්වයට’ නුසුදුස්සෙකු වන්නේ ඇයි?

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

ගරු හිමියන් පසුගිය කාලයේ මේ රටේ ඇතැම් වැදගත් ප‍්‍රශ්න සම්බන්ධයෙන් ඉදිරිපත් වීම සහ නිර්භයව පෙනී සිටීම අපේ නොමද ප‍්‍රශංසාවට පාත‍්‍ර වෙයි. මීට දශකයකට, දෙකකට පමණ කාලයකට පෙර, විශේෂයෙන් යුද්ධයේ එක් අවස්ථාවක දී එම හිමියන් කළ කී දෑ පිළිබඳ බරපතල විවේචන ඇති කෙනෙකු වශයෙන්, එහිමියන්ගේ මෑත කාලීන ක‍්‍රියාකලාපය අගේ කිරීමට එකී අතීත විවේචන මේ ලේඛකයාට බාධාවක් වී නැත. විශේෂයෙන්, අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට එරෙහිව එතුමෝ නොසැලී පෙනී සිටියෝය. 

‘පොදු අපේක්ෂකයෙකු’ පිළිබඳ අදහස මේ රටේ යහපත් වෙනසක් අපේක්ෂා කරන මිනිසුන්ගේ යෝජනාවකි. එහෙත් එම අදහස, කණගාටුවකට මෙන්, අද පත්ව ඇත්තේ විගඩමක තත්වයටයි. මහින්ද රාජපක්ෂ පාලනය අපේක්ෂා කරන්නේ ද එවැන්නකි. කුණු මස් පස්සේ පන්නන කපුටු ආකල්පයෙන් තෙම්පරාදු වූ ඇතැම් මාධ්‍ය, අනිත් පැත්තෙන්, වළ ඉහගෙන කයි. දැන් එය, විදේශීය කාන්තාවගේ බාහුවේ කෙටූ බුදුන් වහන්සේගේ පච්ච රූපයට ආසන්න වෙමින් තිබේ.

‘පොදු භාවයක’ අවශ්‍යතාව මතුවන්නේම, වෙන කිසිවක් නිසා නොව, රාජපක්ෂ පාලනය පෙරලා දැමීම ‘ඒක-පාක්ෂිකව’ කළ නොහැකි බවට මේ මොහොතේ පවතින විශ්වාසයක් නිසා ය. රාජපක්ෂ පාලනය පෙරලා දැමිය යුත්තේ ඇයි යන්න ඊළඟට මතු වෙයි. ඊට පිළිතුරු පේලියක්ම තිබේ. එහෙත් ඒ සියල්ල, ඉහත කී ‘පොදු භාවය’ තුළට අන්තර්ගත කළ නොහැක. මේ නිසා හදිසි අවශ්‍යතාවයේ අනුපිළිවෙලට, වඩාත් ’පුළුල් පොදු භාවයක්’ ඇති කරගත හැකි වේදිකාවක් මෙකී අපේක්ෂකයාට අවශ්‍ය කෙරේ. මෙහි දී අමතක නොකළ යුතු කාරණය වන්නේ, මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දැමීමේ ඉලක්කය ඉදිරියේ, එම ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ හැකියාව සහ එසේ පෙරලා දැමීම යුක්ති සහගත කර ගැනීමේ හැකියාව අතර නිසි තුලනය පවත්වා ගැනීමයි.

Sobithaඑහෙත් ඇතැම් යෝජිත පුද්ගලයන් පසුපස, එක පැත්තකින් ඒ ‘පොදු භාවය’ නැත. අනිත් පැත්තෙන්, රාජපක්ෂ පාලනය පෙරලා දැමීමේ හැකියාව නැත. ඒ කෙතෙක් ද යත්, එසේ නම් කෙරෙන ‘පොදු’ අපේක්ෂකයන්, මහින්ද රාජපක්ෂව පරාජය කිරීම සඳහා නොව පරාජය වීමෙන් නිශ්චිතවම ඔහුව බේරා ගැනීම සඳහා ඉදිරිපත් කෙරෙන්නන් දැ යි සැක සිතෙන තරම් ය. විග්නේෂ්වරන්ගේ අපේක්ෂකත්ව යෝජනාව එකී ගනයට අයත් වන්නකැ යි කතුවැකියකින් ලියා තිබුණේ දකුණේ සිංහල පුවත්පතක් නොව, උතුරේ දෙමළ පුවත්පතකි.

කෙසේ වෙතත්, සෝභිත හිමියන් මෙම අපේක්ෂකත්වයට නුසුදුස්සෙකු වන්නේ ඒ හේතු නිසා නොව, වෙනත් හේතු කිහිපයක් නිසා ය. ඉන් පළමුවැන්න, රාජ්‍යයේ තිබිය යුතු ලෞකිකත්වයයි. ලංකාව සම්බන්ධයෙන් ගත් විට, රාජ්‍යය යන ආයතනය පමණක් නොව, සමාජයමත් මේ මොහොතේ බරපතල ආගමීකරණයකට ලක්කෙරෙමින් තිබේ. ඕනෑම ආගමීකරණයක දී මෙන් එහි දී ද ‘අන්‍යාගමිකයෝ’ කරදරයට පත්වෙත්. ඊට අමතරව, නූතන රාජ්‍යයේ ඓතිහාසික ලෞකික අර්ථයමත් පරස්පරයකට ලක්වෙයි. රාජ්‍යය ලෞකික විය යුතු බව, මාක්ස්වාදය උදක්ම ඉල්ලා සිටින්නේ එබැවිනි. එහෙත් මේ කාරණය ගැන මාක්ස්වාදයේ උද්ධෘතවලින් තොරව අපට කතා කළ හැකිය. එය බොහෝ පාඨකයන්ට ගෝචර වන්නට ද පිළිවන.

රාජ්‍යකරණයට ආගමික සංස්ථාව උරදීමත්, ආගමේ ආගමනය විසින් රාජ්‍යය සහ සමාජය කෙරෙහි ඇති කරන ලද විනාශයත්, මුළු යුරෝපා ඉතිහාසය පුරාම දකින්ට ලැබෙයි. පල්ලිය සහ රාජ්‍යය අතර දීගයෙන් වැඩියෙන්ම බැටකෑවේ එම රටවල් ය. කිසි සේත් මාක්ස්වාදී හෝ සමාජවාදී රාජ්‍යයන් නොවන, ජර්මනිය, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, ස්පාඤ්ඤය, ඉතාලිය සහ පෘතුගාලය වැනි යුරෝපා රාජ්‍යයන් පමණක් නොව, අධිරාජ්‍යවාදී මහගෙදර වශයෙන් සැළකෙන ඇමරිකාව පවා අද තම රාජ්‍යයන් තුළ ලෞකිකත්වය ඔස්සේ ආගම රාජ්‍යකරණයෙන් හැකි තාක් බැහැරට එලවා ඇත්තේ එබැවිනි. මුස්ලිම් නොවන ආගමික රාජ්‍යයන් අද ඇත්තේ දෙකකි. එකක්, ඊශ‍්‍රායලයයි. අනික, වතිකානුවයි. ඊශ‍්‍රායලය, ආගමික ප‍්‍රජාවක් මුල් කරගෙන ගොඩනැගී ඇතත්, එය අප කතා කරන අර්ථයේ ‘ආගමික රාජ්‍යයක්’ නොවේ. වතිකානුව, ආගමික සංස්ථාවක් මුල්කරගෙන ගොඩනැගී ඇතත්, එය අප කතා කරන අර්ථයේ ‘රාජ්‍යයක්’ නොවේ. ඉතිරි ආගමික රාජ්‍යයන් අතලොස්ස මුස්ලිම් ය.

ආගමික රාජ්‍යය යන්න වඳ වී යමින් තිබෙන සහ එසේ වඳ වී යා යුතු ප‍්‍රපංචයකි. එහෙත් ලෝකයේ තැන් තැන්වලින් ඒවා තවමත් හිස ඔසවයි. එසේ තිබියදී ගරු සෝභිත හිමියන් ශ‍්‍රී ලංකා ජනරජයේ ජනාධිපති ධුරයට පත්වීම, ඉරානයේ අයතුල්ලා කුමේනිගෙන් පසුව පැවිදි පක්ෂයේ සාමාජිකයෙකු රාජ්‍ය නායකත්වයට පත්වන ඊළඟ වටයයක් වශයෙන් සැළකිය යුතුව තිබේ. ඉරානයෙන් ඇරැුඹුණු එම ප‍්‍රථම වටය සහ ඊට සම්බන්ධ මෑත කාලීන ආගමික රාජ්‍යයන්ගේ අපකීර්තිමත් කැරැුට්ටුව විස්තර කිරීමට මෙය අවස්ථාව නොවෙතත්, මොනම ආගමික ආයතනයක්වත් නියෝජනය කරන්නෙකුගෙන් දෙවැනි වටයකුත් ලංකාව වැනි රටකින් මෙවැනි අවස්ථාවක ආරම්භ කිරීම, රටක් සහ සමාජයක් වශයෙන් ලංකාව ඉදිරියට යනු වෙනුවට ආපස්සට යාමේ නිශ්චිත ආරම්භයක් විය හැකි බව දත යුතුය.

2005 ට කලින්, වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් කියා ඇති හෝ ලියා ඇති ඕනෑම ප‍්‍රකාශයක් අරගෙන කියවා බලන්න. ඒ එක තැනකවත්, රටේ ජාතික ප‍්‍රශ්නයක් නැති බවක්වත්, ජාතික ප‍්‍රශ්නයට පිළිතුර දේශපාලන විසඳුමක් නොවන බවක්වත් කියා නැති බව එවිට කෙනෙකුට පෙනෙනු ඇත. තවත් ටික දුරක් ගියොත්, එම ජාතික ප‍්‍රශ්නයට පිළිතුරක් වශයෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එහාට යන විසඳුමක් (13 ප්ලස්) වෙනුවෙන් පවා තමන් පෙනී සිටින බවට ඔහු කළ ප‍්‍රකාශත් කෙනෙකුට හමු වනු ඇත. එහි දී ප‍්‍රභාකරන්ව හමු වීමට වන්නි කැලයට පවා යාමට තමන් සූදානම් බව වරක් ඔහු කීවේය. එදා ඔහුගේ එම ප‍්‍රකාශ සහ ‘ප‍්‍රතිපත්ති’ සම්බන්ධයෙන් කළ කිසිම කතිකාවක ඔබට සොයාගත නොහැකි එක දෙයක් තිබුණි. එනම්, ලංකාවේ ජාතික ප‍්‍රශ්නයට හමුදාමය විසඳුමක් තිබිය හැකි බවයි.

දැන් මේ සියල්ල සමග අද එම කාරණය සම්බන්ධයෙන් ඔහු කරන කියන දෑ සැලකිල්ලට ගන්න. විශේෂයෙන් දේශපාලන විසඳුම ගැන සහ බලය බෙදා හැරීම ගැන ඔහුගේ අද කතිකාව තුළ සිදුව ඇති වෙනස ඉතා භයානක ය. මේ වෙනස, 2005 සිට කෙමෙන් වැඞී, යුද්ධයෙන් පසුව මහා පිම්මක් පැන තිබේ. ඔහුගේ එම නවතම වෙනසට අනුරූපව, සමාජය තුළ ඔහු විසින්ම මුදා හැර ඇති විවිධ බලවේග ක‍්‍රියාත්මක වෙයි. බොදුබල සේනා සහ සිහළ රාවය වැනි රාජ්‍ය-ප‍්‍රබන්ධ ව්‍යාපාර පමණක් නොව, ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ වැනි, යම් කාලයක් සමාජ කතිකාව තුළ සිටි ආයතනගත ජාතිවාදී බලවේග ද, පෙරට වඩා අද තිරිහන්ව තිබේ. යුද්ධයේ ජයග‍්‍රහණය රාජපක්ෂ ආණ්ඩුව විසින් ගසා කන තරමටම ඉහත කී කොටස් විසින් ද එය ගසා කනු ලැබෙමින් තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක සාමාන්‍ය තත්වයක් යටතේ නම් පස්ස හැරී බැලීමට තරම්වත් වැදගත් සහ බලගතු බලවේග නොවන බොදුබල සේනා වැනි ආණ්ඩුවේ පතුරු විසින් අද සමස්ත දකුණේ කථිකාව මෙහෙයවන සහ ඊට මගපෙන්වන බවක් පෙනෙන්ට ඇති තත්වය තුළ, ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් වන රාජ්‍ය ප‍්‍රතිපත්තිය සහ මහජන ප‍්‍රතිපත්තිය (ජනතාව සිතන ආකාරය) එකක්ම යැයි කෙනෙකුට පෙනී ගියොත් එහි පුදුමයක් නැත. රාජ්‍යය සහ ජනතාව අතර මතුපිටින් පෙනෙන්ට ඇති එකී අනන්‍යතාව, විශේෂයෙන් 2009 සිට වැඩෙමින් පවතින්නේ, සංඝ රත්නයේ ආශීර්වාදයෙනි.

ගරු මාදුළුවාවේ සෝභිත හිමියන් ‘පොදු’ අපේක්ෂකයෙකු වශයෙන් ජනාධිපති තනතුරට ඉල්ලූම් කරන්නේ, එවැනි භයානක සමාජ පෙළගැස්මක් ඉදිරියේ ය. ඉරානයේ ෂා රජුට සහ ඔහුට පිටුබලය සැපයූ ඇමරිකාව ඇතුළු බටහිරට එරෙහිව එදා ඉරානයේ ගොඩනැගුණු සමාජ මනෝ භාවය තුළ බලයට පැමිණි අයතුල්ලා කුමේනිගේ භූමිකාව සහ ගරු මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අභිලාෂයන් අතර වෙනස්කම් තිබිය හැකි වෙතත්, උන්වහන්සේට කටයුතු කිරීමට සිදුවන්නේ, වෙනස් තත්වයන් යටතේ වුවත්, ඉරානයේ (ආගමික) පරිසරයට බොහෝ දුරට සමාන පරිසරයක බව අපට බැහැර කළ නොහැක. මුලින්ම, භික්ෂුවක් වශයෙන් රටේ ප‍්‍රධාන පුරවැසියා බවට පත්වීමෙන් පසු, සංඝ සාසනයට කන්දීමට උන්වහන්සේ බැඳී සිටි. ඊළඟට, අද ලංකාව සින්නක්කර බෞද්ධ රාජ්‍යයක් වශයෙන් හඳුනා ගැනීමට ආශාවක් දක්වන ගිහි කොටස් ද උන්වහන්සේගෙන් අපේක්ෂා කරනු ඇත්තේ, එක්තරා ආකාරයක බෞද්ධ රාජ්‍යයක් ය.

තෙවනුව, එම සංඝ සාසනයේ වර්තමාන ස්වභාවය කවරේ ද? මේ රටේ මුස්ලිම් භක්තිකයන්ට සහ හින්දු භක්තිකයන්ට එරෙහිව මහ පාරේ චන්ඩි කම් කරන සිවුරු හැඳගත් පිරිසක් ඉදිරියේ නිහඬව සිටින මහා සංඝ රත්නයකි. ඒ මුනිවත රකින සංඝයා වහන්සේ අතර ගරු මාදුළුවාවේ සෝභිත හිමියෝ කැපී පෙනෙති. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිහානිය සහ සෝදාපාළුව ගැන මේ සා ගෞරවාන්විත විරෝධයක් පාන උන්වහන්සේ, බොදුබල සේනාවේ ආගමික සැහැසි භාවය සහ අශිෂ්ටත්වය ඉදිරියේ වචනයක් නොකියා මෙතෙක් මුනිවත රැුකීම අපට කියාපාන්නේ, රටේ ජනාධිපතිවරයා වශයෙන් උන්වහන්සේගේ අනාගත භූමිකාවේ කළල රූපයකි යි අප නොසිතා සිටින්නේ කෙසේද?

උන්වහන්සේගේ අතීතය අපට අදාළ වන්නේ එහි දී ය. මීට විසි දෙවසකට පෙර මහාචාර්ය ස්ටැන්ලි තම්බයියා ලියා පළ කළ ‘බුඩිසම් බිටේ‍්‍රඞ්?’ (බුද්ධාගම පාවා දුනි ද?) නැමැති කෘතියේ පිටකවරය සරසන්නේ, ගරු මාදුළුවාවෝ සෝභිත හිමියන් දබරැුගිල්ල දිගු කරගෙන තරවටුවෙන් සිටින පින්තූරයකිනි. එම පින්තූරය, අද බොදුබල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ අංග සෝබාවට වැඩි වෙනසක් නැති එකකි. ආගම සහ ජාතිය සම්බන්ධයෙන් ගරු සෝභිත හිමියන් එදා දැරූ ආකල්පවලින් අද වන විට කොතෙක් දුරට වෙනස්ව ඇත් දැ යි දැන ගැනීමට අවස්ථාවක් එතුමන් මෙතෙක් උදාකර දී නැත.

එම නිසා, රාජ්‍යයේ ලෞකිකත්වය පිළිබඳ විශිෂ්ට පරමාදර්ශය යටතේ මෙන්ම, වර්තමාන ලංකාවේ අප ගත කරන සුවිශේෂී තත්වය ඉදිරියේ ද රාජ්‍ය නායකත්වය සඳහා වන ‘පොදු අපේක්ෂකත්වයකට’ උන්වහන්සේ නුසුදුස්සෙකු වන බව නොකියා බැරි ය. එහෙත්, රාජපක්ෂ පාලනය පෙරලා දැමීම සහ වඩා යහපත් හෙටක් උදා කර ගැනීම සඳහා වන ඕනෑම සද්-ව්‍යාපාරයක ප‍්‍රධාන භූමිකාවක් එතුමන්ට හිමි විය යුතු බව අවිවාදිත ය. ඩෙස්මන්ඞ් ටුටූ වැනි විවිධ ආගමික නායකයන් එහි දී අපේ සිහියට නැගේ.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    “එදා ඔහුගේ එම ප‍්‍රකාශ සහ ‘ප‍්‍රතිපත්ති’ සම්බන්ධයෙන් කළ කිසිම කතිකාවක ඔබට සොයාගත නොහැකි එක දෙයක් තිබුණි. එනම්, ලංකාවේ ජාතික ප‍්‍රශ්නයට හමුදාමය විසඳුමක් තිබිය හැකි බවයි.”

    It was implicit in his speech after swearing in as the Executive President on 22(?)November 2005.

    “Don’t push me to a wall”.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.