Colombo Telegraph

ශිෂ්ඨත්වයට පයින් ගැසීමට තැතනූ දේශපාළුවෝ කපන්න බැරි අත ඉඹිති

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

බරපතල සමාජ කලබැගෑනි නැති, සිවිල් යුද්ධ නැති රටක් සාමාන්‍යයෙන් ඉදිරියට යනවා මිස ආපස්සට යන්නේ නැත. එහෙත්, තිස් අවුරුදු යුද්ධය අවසන් කිරීමෙන් පසු ලංකාව ගියේම ආපස්සටයි. යුද්ධ කාලයේවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි නොකෙරුණු තරමට, යුද්ධයෙන් පසු ලංකාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි කෙරුණි. අධිවේගී මාර්ග පද්ධතියක් අස්සේම අධිවේගයෙන් ගමන් ගන්නා ඒකාධිපතියෙක් බිහිවෙමින් සිටියේය.

ජනවාරි 8 වැනි දා ඒ ඒකාධිපතියාව නතර කෙරුණි. එහෙත්, තවත් ඒකාධිපතියෙකු බිහි විය හැකි ඒ ගමන් මාර්ගය එදා වසා දැමුණේ නැත. මෛත‍්‍රීපාල සිරිසේනගේ පාලනය තුළ අපේක්ෂා කෙරුණේ, එම මාර්ගයත් වසා දැමීමයි. එහෙත් විවිධ හේතු නිසා, එය මුළුමණින් වසා දැමීම වෙනුවට, අතරින්පතර වැටවල් බැඳ අවුරා දැමීම සඳහා හිත හදා ගැනීමට රටට සිදුවුණි. පාර්ලිමේන්තුව ඉදිරියට විවාදය සඳහා පැමිණි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය එයයි.

19 වැනි සංශෝධනය සම්මත කර ගැනීම හරහා ඒකාධිපති අනතුරු දෙකක් බාගෙට වාරණය කෙරුණි. එකක්, 1978 ජේ. ආර්. ජයවර්ධනගෙන් රටට දායාද කෙරුණු අනතුරයි. දෙවැන්න, 18 වැනි සංශෝධනය හරහා මහින්ද රාජපක්ෂ දායාද කළ ඒකාධිපති වියරුවයි. 1978 ව්‍යවස්ථාවට අත එසැවූ රනිල් වික‍්‍රමසිංහ ඇතුළු 4 දෙනෙක් පෙරෙයිදා සිය පව් සමා කරගත්හ. ඔවුන් එදා පෙනී සිටියේ, ජේ. ආර්. සහ මහින්ද යන දෙන්නාටම එක විට විරුද්ධවයි. 18 වැනි සංශෝධනයට අත එසැවූ නිමල් සිරිපාල සිල්වා ඇතුළු 150 කට අධික පිරිසක්, මහින්දගේ 18 පමණක් කප්පාදු කොට, 78 සිටි ජේ. ආර්. වෙනුවෙන් පෙනී සිටීමට හැම වීරියක්ම ගත්හ. ඒ දෙන්නා වෙනුවෙන්ම ‘දිවි හිමියෙන්’ පෙනී සිටියේ එකෙකු පමණි. තව එකෙකු සිතුවේ, වර්ණයක් වශයෙන් රතු පාටක තිබිය හැකි දිස්නය ගැන පමණි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන තමන් විවේචන ඉදිරිපත් කෙළේ සහ ඊට විරුද්ධව පෙනී සිටියේ එම 19 වැනි සංශෝධනය වඩාත් ප‍්‍රශස්ත ආකාරයෙන් සම්මත කරවා ගැනීමට මිස ඊට හතුරුව සිටීමට නොවේ යැයි, ඒ පිළිබඳ විවාදය ආරම්භ කරමින් විපක්ෂ නායක නිමල් සිරිපාල සිල්වා ප‍්‍රකාශ කොට තිබුණි. එහෙත් සත්‍යය එයද? මේ දක්වා එකී 19 වැනි සංශෝධනය අඩාල කිරීමට ඔවුන් ගත් නොයෙක් ප‍්‍රයතන්යන් අපේ මතකයේ තිබේ. මුලින්ම ඔවුන්ගේ විරෝධය පටන් ගත්තේ, 19 වැනි සංශෝධනය සමග 20 වැනි සංශෝධනයත් එකට සම්මත කර ගත යුතු බව කියමිනි. ජනාධිපතිවරයාගේ බලතල කප්පාදුව සහ දේශපාළුවන්ගෙන් රාජ්‍ය සේවය නිදහස් කර ගැනීම 19 තුළින් අපේක්ෂා කෙරේ. 20 තුළින් අපේක්ෂා කෙරෙන්නේ, පවතින සමානුපාතික මැතිවරණ ක‍්‍රමය වෙනුවට මිශ‍්‍ර මැතිවරණ ක‍්‍රමයකට යාමයි. ඒ දෙකම අත්‍යාවශ්‍ය මුත්, දෙවැන්නේ ඇති ප‍්‍රායෝගික අපහසුව ගැන සිතන විට ඒ දෙකම එක විට ගෙනෙනැයි කීම, ඒ දෙකම පමා කිරීමකි. සමහරවිට, එකක්වත් නොකෙරෙන වට්ටෝරුවකි.

ඊළඟට ඔවුන් එල්ලෙන්ට බැලූවේ, මේ 19 පසුපස රනිල් වික‍්‍රමසිංහ අටවමින් සිටිතැයි කී උගුල් වගයක් සහ තවත් මොනවාදෝ කුමන්ත‍්‍රණ වගයක් පෙන්වා කරඇරීමටයි. රනිල් වික‍්‍රමසිංහගේ කුමන්ත‍්‍රණ කෙසේ වෙතත්, විපක්ෂය වශයෙන් ඔවුන් අටවමින් සිටි කුමන්ත‍්‍රණවල ස්වභාවය පෙනෙන්ට ගත්තේ, මේ 19 වැනි සංශෝධනයට අවසානයේදී ඔවුන් ගෙන ඒමට තැත් කළ සංශෝධනවල ප‍්‍රතිගාමී ස්වභාවය හෙළිවෙද්දීය.

19 වැනි සංශෝධනය තුළ අඩංගු ඉතා වැදගත් කරුණක් වන, යම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු තමන්ගේ පක්ෂය මාරු කළ විට ඔහුගේ/ඇගේ ආසනය අහිමි කැරැුවෙන ක‍්‍රියාවලිය පිළිබඳ වගන්තිය, පක්ෂය මාරු කරන්නාගේ වාසියට හේතුවන පරිදි වෙනස් කර ගැනීමට විපක්ෂ දේශපාලඥයෝ තැටමූහ. එය ‘තර්කානුකූලව’ තැටමුවේ, නීතිය ගැන උපාධි පිට උපාධි ගසා ඇති නීති මහාචාර්යවරයෙකු වන ජී. ඇල්. පීරිස් ය. ඔහුගේ තර්කය වුණේ, ඕනෑම මන්ත‍්‍රීවරයෙකුට ‘හෘද සාක්ෂියට අනුව’ යම් තීරණයක් ගැනීමට ඇති අයිතිය මේ වගන්තිය අනුව උල්ලංඝණය වන්නේය යන්නයි. මේ තර්කය ඉදිරිපත් කරන පුද්ගලයා අද පාර්ලිමේන්තුවේ සිටින හෘද සාක්ෂියක් නැතිම පුද්ගලයා වීම මෙහි ඇති විශේෂත්වයයි. සත්තකින්ම ඔහුගේ තර්කය විය යුතුව තිබුණේ, හෘද සාක්ෂියක් ඇති මිනිසුන්ව නොව, නැති මිනිසුන්ව ආරක්ෂා කිරීම සඳහා තමාගේ සංශෝධනය පාර්ලිමේන්තුව පිළිගත යුතු බවයි. අ.පො.ස. (සාමාන්‍ය) පෙළවත් නැති මොනිටර්වරයෙකු ඉදිරියේ නීති මහාචාර්ය පට්ටමක් බාල්දු වෙද්දී නොපෑරුණු හෘද සාක්ෂියක් ගැන දැන් කතා කරන මේ මිනිසාට, ජනතාවටත් හෘද සාක්ෂියක් ඇති බවත්, යම් මන්ත‍්‍රීවරයෙකු පක්ෂයෙන් පනින විට ආරක්ෂා කළ යුත්තේ ඒ ජනතාවගේ හෘද සාක්ෂිය මිස අර හොරාගේ හෘද සාක්ෂිය නොවන බවත් අමතක වීම පුදුමයක් නොවේ.

හෘද සාක්ෂියට අනුව ඡන්දයක් පාවිච්චි කළ හැකි හෝ ස්වාධීන තීරණයක් ගත හැකි කිසි වටපිටාවක් මහින්ද රාජපක්ෂගේ කාලය තුළ තිබුණේද, ඒ කොයි අවස්ථාවේද, එහිදී එකී හෘද සාක්ෂියට අනුව වෙනස් තීරණ ගත් අයවළුන් කවුරුන්ද යන්න මේ මහාචාර්යවරයා අපට පෙන්වා දිය යුතුව තිබේ. රාජපක්ෂලාගේ පළමු ධුර කාලයේදී එකී හෘද සාක්ෂිය අනුව යම් තීරණයක් ගත් මංගල සමරවීරට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අත්වූ ඉරණම ඉතිහාසයේ තිබේ. පක්ෂයට පිටස්තර පුද්ගලයන් මේ හෘද සාක්ෂිය අනුව වැඩ කිරීමට ගිය විට සිදු වූ ඇබැද්දිය සරත් පොන්සේකාගේ ඉතිහාසය තුළ තිබේ. දැන් ජී. ඇල්. පීරිස් අපට කියන ‘හෘද සාක්ෂිය’ මොන වගේ දෙයක්ද? හෘද සාක්ෂියක් අනුව වැඩ කිරීමට යම් ප‍්‍රයත්නයක් හෝ ගැනීම දේශපාලනික ආනන්තර්ය පාප කර්මයක් වන එවැනි තත්වයක් තුළ, හෘද සාක්ෂිය පැත්තකින් තියා තමන්ගේ වැඩක් බලා ගැනීම නුවණට හුරු බව, මහින්ද රාජපක්ෂ යටතේ ‘ප‍්‍රඥාවෙන්’ අවබෝධ කරගෙන සිටි එක් පුද්ගලයෙකි, ජී. ඇල්. පීරිස්. එවැනි තවත් සිය ගණනක් මන්ත‍්‍රීවරු සිටිති. ඒ පිරිස, එදා පාර්ලිමේන්තුවේ බිම වාඩි වූ පිරිසට පමණක් සීමා නොවේ. එහෙත්, අවනීතිය විසින් භීතිය ජනිත කැරැුවූ පරිසරයක හැසිරුණු අවස්ථාවාදී වාසියට කාලයක් තිස්සේ හුරු වී ඇති පමණින්, එම අවනීතිය නැති සහ භීතිය නැති තත්වයකත් කටයුතු කිරීම සහ තර්ක කිරීම අලූකුත්තේරු කමකි. ඇත්ත වශයෙන්ම, පක්ෂය මාරු කරන්නෙකුගේ, විශේෂයෙන් විපක්ෂයක සිට ආණ්ඩු පක්ෂයට පනින්නෙකුගේ හුවමාරු වටිනාකම, පරම්පරා ගණනකට ජීවත් වීමට සෑහෙන ලොතරැුයියක් බව නොරහසකි. ‘හෘද සාක්ෂිය’ යනුවෙන් මේ මහාචාර්යවරයා ආරක්ෂා කිරීමට තතනන්නේ, එකී හුවමාරු වටිනාකම මිස වෙනකක් නොවේ.

19 වැනි සංශෝධයෙන් අපේක්ෂිත තවත් වැදගත් කරුණක් වුණේ, ව්‍යවස්ථා සභාවක් පත්කිරීමයි. රාජ්‍ය පරිපාලනය හසුරුවන ‘ස්වාධීන කොමිෂන් සභාවලට’ සාමාජිකයන් පත්කරනු ලබන්නේ මෙකී ‘ව්‍යවස්ථා සභාව’ මගිනි. අධිකරණය සහ පොලීසිය ඇතුළු සියලූ රාජ්‍ය සේවාවන් කෙරෙහි දේශපාළුවන් ඇඟිලි ගැසීමේ අවස්ථාව නැති කිරීම එම ‘ව්‍යවස්ථා සභාවෙන්’ අපේක්ෂා කෙරේ. එහි සාමාජිකයන් 10 දෙනාගෙන්, අගමැතිවරයා, කතානායකවරයා සහ විපක්ෂ නායකවරයා හැරුණු කොට, ඉතිරි 7 දෙනා පක්ෂ දේශපාලනයෙන් පිටස්තර අයවළුන්ගෙන් සමන්විත විය යුතු යැයි, මෙකී 19 සංශෝධනය තුළ අදහස් කෙරුණේ එබැවිනි. එහෙත් එය වෙනස් කිරීම සඳහා ගෙනා විපක්ෂයේ සංශෝධනවලින් සිදුවුණේ කුමක්ද? පක්ෂ දේශපාලනයෙන් පිටස්තර ස්වාධීන උගතුන් සහ වෘත්තිකයන් 7 දෙනා වෙනුවට, පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාළුවන්ගේ නියෝජනය 7 දක්වා වැඩි කොට, සිවිල් ස්වාධීන නියෝජනය 3 දක්වා පහළ දැමීමයි.

අප මේ පසුවන්නේ, රටේ දේශපාලඥයන්ගේ චර්යාව ගැන අවම තක්සේරුවක් පවතින මොහොතකයි. අද පාර්ලිමේන්තුවේ සිටින අවංක දේශපාලඥයන් ගණන් කළොත්, අඩු වශයෙන් අත් දෙකේ සහ කකුල් දෙකේ ඇඟිලිවලින් ගණන් කිරීමට බැරි සංඛ්‍යාවක් එහි සිටිත්දැයි සැකයෙකි. මිනීමරුවන්, ස්ත‍්‍රී දූෂකයන්, අරක්කු ජාවාරම්කාරයන්, මත්කුඩු ජාවාරම්කාරයන් ඇතුළු සාපරාධී පරපුට්ටන් එහි අසුන් ගෙන සිටිනු පෙනේ. අපේ අධිකරණය සහ පොලීසිය ඇතුළු රාජ්‍ය සේවය මොවුන්ගෙන් ආරක්ෂා කරගත යුතුව තිබෙන මොහොතක, එම රාජ්‍ය සේවය පාලනය කෙරෙන ‘ව්‍යවස්ථා සභාවේ’ බහුතරය එම පරපුට්ටන්ගෙන්ම සමන්විය යුතු යැයි විපක්ෂය විශ්වාස කරන්නේ නම්, එය රාජපක්ෂලාගේ සංස්කෘතියට වෙනස් විපක්ෂයක් නොවේ.

පැවති ක‍්‍රමය යටතේ, ඇත්ත වශයෙන්ම, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන මට්ටමකට පත්ව තිබුණි. මන්ද යත්, රාජ්‍යකරණයේ සියලූ කළමනා ජනාධිපතිවරයා විසින් තම සන්තකයට ගෙන තිබීමයි. පාර්ලිමේන්තුවෙන් මූලික වශයෙන් අපේක්ෂා කෙරෙන ව්‍යවස්ථා සම්පාදනය පවා එදා සිදුවුණේ ජනාධිපතිවරයාගේ හිතුමතයට ය. අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය, ඒ ජනාධිපතිවරයාගේ අත්තනෝමතිකත්වයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුහුණුවරක් සපයන වෙස්මූණක තත්වයට පත්ව තිබුණි. එසේ තිබියදී, අගමැතිවරයාව ඉවත් කිරීමට තිබූ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කොට, කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී අගමැතිවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයා කටයුතු කළ යුතුය යන්න 19 වැනි සංශෝධනයට ඇතුළත් කෙරුණේ, පාර්ලිමේන්තුවටත්, පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව අභ්‍යාස කරන සුවිශේෂී ජන වරමටත් සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අගයක් එක් කිරීමටයි. එහෙත්, අවසාන මොහොත දක්වාම මේ විපක්ෂය උත්සාහ කෙළේ එම වගන්තියත් ඉවත් කොට, පෙර පරිදිම ජනාධිපතිවරයාගේ අතේ එකී බලය රඳවා ගැනීමටයි. රටේ වාසනාවට එය ව්‍යර්ථ විය.

දැන් මොවුහූ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගැන ස්තෝත‍්‍ර ගයති. අළුත් යුගයක් උදා වී ඇති බවට පාරම්බාති. කළ වැරදි ගැන විවෘතව සහ අව්‍යාජව පසුතැවෙන දේශපාලඥයන් සිටිය හැක. එහෙත් බහුතරයක්, කපන්න බැරි අත ඉඹින අළුකුත්තේරුවන් බවට සැකයක් නැත.

Back to Home page