27 January, 2020

Blog

දූෂණයේ මුරදේවතාවා තමන් මිස වෙන කිසිවෙකු නොවන බව මහින්ද රාජපක්ෂ පිළිගනී

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

මහින්ද රාජපක්ෂ පාලනය, දූෂණයේ තෝතැන්න බව මෙතෙක් කල් විවිධ පාර්ශ්ව විසින් පෙන්වා දුන් කරුණකි. නිදහස් ලංකාවේ දේශපාලන ක්ෂේත‍්‍රය තුළ දූෂණය විවිධ මට්ටම්වලින් ඔඩුදුවමින් තිබුණි. එහෙත්, පසුගිය වසර දහයක පමණ කාලයේ පටන් අල්ලස සහ දූෂණය රජ කළ කාලයක් නිදහස් ලංකාවේ මීට පෙර තිබුණේ නැත. මේ තත්වය, විවිධ ආකාරයේ නිදහසට කරුණු කියාපාමින් පාලකයෝ ප‍්‍රතික්ෂේප කළහ. මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති හරහා කෙලකෝටි ගණනින් ජාතික සම්පත් නාස්ති කිරීමට අමතරව, තවත් ප‍්‍රකෝටි ගණනින් දේශපාලඥයන්ගේ සාක්කුවලට යන බවත් අද රටට සහ ජනතාවට නොරහසකි.

දැන් ප‍්‍රථම වතාවට රටේ ජනාධිපතිවරයාම තමන් දූෂිතයෙකු බව ඔහුගේ කටින්ම රටට හෙළි කොට තිබේ.

පසුගිය දා රැුස්වීමක් අමතමින් ජනාධිපතිවරයා හෙළි කළ ඒ රහස මෙසේය. දැන් දින කිහිපයකට පෙර ආණ්ඩුවෙන් වෙන් වී විපක්ෂයට ගිය සහ අනාගතයේ එළැඹෙන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට විරුද්ධ සටනට නියමිත පිරිස්වල ‘ෆයිල්’ තමන්ගේ අතේ ඇතැ යි ජනාධිපතිවරයා කීය. ඔහු එයින් කුමක් අදහස් කළත් අප එය තේරුම්ගන්නේ කෙසේද? 

මෛත‍්‍රීපාල සිරිසේන සහ රාජිත සේනාරත්න ඇතුළු පිරිස අතීතයේ කරන ලදැයි කියන ඇතැම් අක‍්‍රමිකතා සහ දූෂණ පිළිබඳ ලිපිගොනු තමන් සන්තකයේ ඇතැ යි ප‍්‍රථම වතාවට ජනාධිපතිවරයා විසින් රටට කීම, සාමාන්‍ය තත්වයක් යටතේ නම්, කෙනෙකු අගේ කළ යුතුය. එහෙත් එම හෙලිදරව්ව තුළින් අනිත් පැත්තට මතුවන ප‍්‍රශ්න ගණනාවක් තිබේ.

සොරකම් කිරීම පමණක් නොව, සොරබඩු ළඟ තබා ගැනීමත් වරදකි. අපරාධයක් සිදුවීම පමණක් නොව, අපරාධයක් සිදුවන අවස්ථාවකදී ඒ පිළිබඳ අදාළ බලධාරීන්ට දැනුම් නොදී සිටීමත් වරදකි. මේවා සාමාන්‍ය සමාජයේ ඕනෑම කෙනෙකු දන්නා ලෞකික දේවල් ය. එසේ තිබියදී ආණ්ඩුවේ ඇමතිවරුන් සහ මන්ත‍්‍රීවරුන් යම් අක‍්‍රමිකතාවක හෝ දූෂණයක යෙදී ඇති බව තමන් එක දිගටම දැන සිටියේ යැයි කීමත්, ඊට අවශ්‍ය සාක්ෂි ඇතුළු වෙනත් කරුණු සහිත ‘ෆයිල්’ හෙවත් ලිපිගොනු තමන්ගේ අතේ ඇතැ යි රටේ නායකයාම දැන් කීමත් බරපතල විහිළුවකි.

එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක, ජේ. ආර්. ජයවර්ධන හෝ චන්ද්‍රිකා කුමාරණතුංග වැනි වෙනත් අපේ රාජ්‍ය නායකයන් මෙන් මහින්ද රාජපක්ෂ දේශපාලනික බුද්ධියෙන් මුහුකුරා ගිය රාජ්‍ය නායකයෙකු නොවන බව පසුගිය කාලය තුළ නොයෙක් කතාබහ තුළින් අපට දැක ගැනීමට ලැබී තිබේ. මේ නිසා ඔහු තමාගේ කතාබහ තුළින් බොහෝ විට තමාවම නිරුවත් කොට පෙන්වයි. ඒ සමගම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රමිතීන්ට නාම මාත‍්‍රයෙන්වත් ගරු කිරීමක් ගැන මෙලෝ තැකීමක්ද මහින්ද රාජපක්ෂ තුළින් ප‍්‍රකට නොවන බවත් අපට අසන්නට දකින්නට ලැබේ.

මේ කියන ‘ෆයිල්’ ඔහුගේ අතට පත්වුණේ, මෛත‍්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස ආණ්ඩුවෙන් ඉවත්ව ගිය දවසට පසුව දා යැයි සිතිය නොහැක. එබැවින් මේ කියන දූෂණ තොරතුරු සෑහෙන කාලයක් තිස්සේ ඔහු අතේ තිබී ඇති බවට සාධාරණ අනුමානයකට අපට පැමිණිය හැකිය.

එසේ නම්, ඒ අක‍්‍රමිකතා හෝ දූෂණ ගැන මෙතෙක් කල් රාජ්‍ය නායකයා වශයෙන් ඔහු කිසි ක‍්‍රියාමාර්ගයක් නොගත්තේ ඇයි යන ප‍්‍රශ්නය මෙහිදී මතු වෙයි.දූෂණය ඉවසා සිටිය යුතු දෙයක් වශයෙන් ඔහු සළකන නිසාද? නැත්නම්, දූෂණය තමන් අනුමත කරන දෙයක් වන නිසාද? එසේත් නැත්නම්, දූෂණය පිළිබඳ පියවර ගැනීම හෝ ඒ ගැන කතා කිරීම හෝ කළ යුත්තේ අදාළ පුද්ගලයා තමන්ට ඇති පක්ෂපාතීත්වය අතහැරිය දවසේ සිට යැයි ජනාධිපතිවරයා විශ්වාස කරන නිසාද?

මේ කුමන තත්වයක් යටතේ හෝ දූෂණ වංචාවක් සඟවාගෙන සිටීම රාජ්‍ය නායකයෙකුට තරම් නොවේ. එසේ කෙළේ දූෂණය තමනුත් අනුමත කරන නිසා නම්, මහ පරිමාණ ආර්ථික ව්‍යාපෘති හරහා ඔහු ඇතුළු ඔහුගේ පවුලේ සහ ආණ්ඩුවේ නායකයන් මෙපමණ කලක් මහජන සම්පත් හොරකම් කෙළේ යැයි කියන චෝදනාව ඔප්පු වෙයි. නැතහොත්, දූෂණය ගැන අහක බලාගෙන සිටි නිසා එසේ විණැයි කියන්නේ නම්, වගකීම් විරහිත එවැනි නායකයෙකු රටක් පාලනය කිරීමට කොහෙත්ම සුදුස්සෙකු නොවන බවක් ඔප්පු වෙයි. එසේත් නැතහොත්, එවැනි ‘ෆයිල්’ ඇවිස්සිය යුත්තේ, අදාළ දූෂිත පුද්ගලයන් තමන් කෙරෙහි වන පක්ෂපාතිත්වය අතහැරිය පසු පමණක් නම්, එවැන්නෙකු රාජ්‍ය නායකයෙකු වශයෙන් පමණක් නොව, සාමාන්‍ය මනුෂ්‍යයෙකු වශයෙන් ද ගර්හා කටයුතු වන්නේය.

මෙවැනි දේවල් හඳුන්වන්නේ ‘බ්ලැක්මේල්’ කිරීම් වශයෙනි. එනම්, යම් පුද්ගලයෙකුගේ අවමානයට හෝ හානියට හේතු විය හැකි යම් කාරණයක් පිළිබඳව තමන් සතු දැනුමක් හෝ වෙනත් සාක්ෂියක් එම පුද්ගලයාට එරෙහිව පාවිච්චි කිරීමේ තර්ජනය පාවිච්චි කරමින් එම පුද්ගලයාව තමන්ගේ අභිමතයකට බලහත්කාරයෙන් යට කර ගැනීමයි. උදාහරණයක් වශයෙන්, යම් තරුණියක් සමග පේ‍්‍රම සම්බන්ධයකින් පසු වන තරුණයෙක්, එම පේ‍්‍රමය අතරතුරේ තමන් සතු කරගත් යම් දැනුමක් (ඡුායාරූපයක්, පෙම් හසුනක්) ඇයට විරුද්ධව පාවිච්චි කරන බවට තර්ජනය කිරීමක් ගත හැකිය. එය, අකෘතඥ කමකි. අශිෂ්ට කමකි. බොළඳ පෙම්වතුන් අතර මෙවැනි දේවල් බොහෝ විට සිද්ධ වුවත්, රාජ්‍ය පාලකයන්ට එසේ හැසිරීමේ නිදහසක් සමාජ සම්මතයෙන් පමණක් නොව, නීතියෙන් ද ලැබෙන්නේ නැත.

ඊළඟට, මෙසේ තමන් හැර ගිය පිරිසේ ‘ෆයිල්’ හැරුණු කොට, තවම තමා සමග ඉන්නා තව කී දෙනෙකුගේ ‘ෆයිල්’ තමාගේ අතේ ඇත් දැ යි කරුණාකර ජනාධිපතිවරයාට රටට හෙළි කළ හැකිද? ලංකාවේ තිබෙන ‘අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම’ මේ කාරණය සම්බන්ධයෙන් දැන් ගන්නා ක‍්‍රියාමාර්ග කවරේද? පොලීසිය මේ ගැන පරීක්ෂණයක් පටන් ගන්නේද? නැත, එවැනි කිසිවක් මේ ශ‍්‍රී ලංකාවේ සිදුවන්නේ නැත. ප‍්‍රගීත් එක්නැලිගොඩ පිටරටක සිටින බවට තොරතුරු තමා සතුව ඇතැ යි ජාත්‍යන්තර වේදිකාවකදී කී වර්තමාන අගවිනිසුරු මොහාන් පීරිස්ගෙන් ලංකාවේ කිසි පොලීසියක් විහිලූවටවත් ප‍්‍රශ්න කෙළේ නැත. මේ නිසා, ජනාධිපතිවරයාගෙන් හෝ අධිකරණයෙන් හෝ පොලීසියෙන් සාධාරණයක් ඉෂ්ට වෙතැ යි අපට බලාපොරොත්තු විය නොහැක.

තමාගේ අතේ ඒ කියන ‘ෆයිල්’ ඇතත්, ඒවා එම පුද්ගලයන්ට විරුද්ධව පාවිච්චි කිරීමට තරම් තමන් ‘පහත්’ පුද්ගලයෙකු නොවන බවත්, ඒ සමගම මේ ජනාධිපතිවරයා අඟවයි. ඉන් ඔප්පු වන්නේ, ඔහුගේ ’උසස්’ බවක්ද, නැත්නම්, නීති විරෝධී ක‍්‍රියාවක් ආරක්ෂා කරන නායකයෙකුගේ හෙළුවක්ද? මෙහිදී ඔහු ව්‍යංගයෙන් කීවේ, අවශ්‍ය නම් පළිගත හැකි බවයි. ඊළඟට, මෛත‍්‍රීපාල සිරිසේන සහ රාජිත සේනාරත්නට අමතරව, තවමත් තමන්ගේ ආණ්ඩුවේ සිටින එවැනි ‘ෆයිල්’ ඇති තවත් සිය ගණනක් මැති ඇමතිවරුන්ට ඒ මගින් ඔහු දෙන පණිවිඩය කුමක්ද? ඒ හැම කෙනෙකුවම අවශ්‍ය අවස්ථාවක දංගෙඩියට දැක්කීමේ කෙවිට තමන් අතේ ඇති බව නොවේද?

අනුන්ගෙන් පළිගැනීම තමන්ගේ සිරිත නොවේ යැයි කියන ජනාධිපතිවරයාගේ ඇත්ත කැරැුට්ටුව කුමක්ද? හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හිරේ ගියේය. ඒ ඇයි? හිටපු අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායක ගෙදර ගියාය. ඒ ඇයි? කන්දක් උසට සාක්ෂි අනිත් පැත්තට තිබියදී, කටේවත් නොගෑවෙන සේ මෙසේ බොරු කීම, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් රටට ඔප්පු කොට ඇති තවත් චරිත ලක්ෂණයකි.

කාටවත් එරෙහිව පළිගැනීම පුරවැසියන් වශයෙන් අප අනුමත කරන්නේ නැත. එහෙත්, ප‍්‍රාථමික පාසලක මුල් ගුරුවරයෙකු ළමයෙකු පාසලට ඇතුළත් කර ගැනීම සඳහා පිඟන් කෝප්ප කට්ටලයක් සන්තෝසමක් වශයෙන් භාර ගැනීමේ ‘වරද’ මත හිරේට ඇදගෙන ගිය රටක නායකයෙකු, තමාගේ කැබිනට් ඇමතිවරුන් දූෂණ ක‍්‍රියාවන්හි යෙදුණු බව දැනගෙන පියවර නොගෙන සිටීම තුළ රටට පෙනෙන්නේ දූෂිත ජනාධිපතිවරයෙකුගේ පැහැදිළි ‘කටවුටයකි’. දැන් රටේ හැම මුල්ලකම ගසා ඇති ජනාධිපතිවරයාගේ යෝධ ‘කටවුට්’ දකින පුරවැසියාට පෙනෙන්නේ එම චිත‍්‍රයයි. ඒ නිසා, ජනාධිපතිවරයා අදවත් අවබෝධ කරගත යුතු එක සත්‍යයක් තිබේ. එනම්, අනුන්ගේ ‘ෆයිල්’ තමන්ගේ ඇතැයි කියන ජනාධිපතිවරයාගේ ‘ෆයිල්’ එක මේ රටේ සමස්ත ජනතාවගේ අතට මේ වන විට පත්ව තිබෙන බවයි.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    8

    අැයි වියන්ගොඩට බැරි වික්ටර් අයිවන් ‘චෞර රැඡින’ ලියුවා වගෙ රාජපක්‍ෂලා ගැන පොතක් ලියල ඵල කරන්න? පොරක් වෙන්නත් පුලුවන්, හොඳ ගානක් හාෙයා ගන්නත් පුලුවන්.

    මට මතක හැටියට My3ම තමයි පළමුවන ප්‍රවෘර්ති සාකච්චාවෙදි කිවුවෙ ජනවාරි 8වනදා ජනාධිපතිවරනෙ දිනල දින 100න් ජනාධිපතිධූරය අහෝසි කොරල විධායක අගමැතිකම රනිල්ට පවරනව කියල. ඊලඟට මහාවීරු දිනේදි හෙවත් පිරාපකරන්ගෙ උපන් දිනේදි My3 සිරිකොතට ගෙන්නල ලඟ තියාගෙන තිස්ස අත්තනායක කිවුවෙ UNP කාරයින්ව විහිලුවට ගන්න එපා ජනාධිපතිවරනෙ දිනල පැය විසි 24න් රනිල්ව විධායක අගමැති කලයුතුය කියලයි. දැන් චෞර රැජින හෙවත් පච ඉස්ටොරුව හෙවත් My3ගෙ පපට්ටියර් විසින් මොන්-ගල්ව My3ගෙ කතාකාරය කොරල වගෙයි. මොන්-ගල් ප්‍රවෘර්ති සාකච්චාවක් තියල ඊයේ කියනව “විධායක අගමැති කෙනෙක් පත්කරන්නෙත් නෑ: ජනාධිපතිගෙ බලය පැය 24න් පවරන්නෙත් නෑ” කියල. ඉස්සරහට තවත් අය මොන මොනව කියයිද කියල දෙයියොවත් දන්නෙ නැති පාටයි. ඉතින් මේ අයියලගෙ හවුලද මේ රට පාලනය කරන්න යන්නෙ.

    අපි හිතන්නෙ නැහැ බහුතර සිංහල බෞද්ධයාට ජනාධිපති තනතුර නැතිකිරීම අද අත්‍යාවශ්‍ය කරුණක් කියල. ජනාධිපති තනතුරේ තටු කපා රට අස්ථාවර කරන්නන්ට ඉනිමං තියන්නට සහ පොලිස් සහ ඉඩම් බලතල පලාත් සභාවලට දෙන්න ටීඑන්එ් එක එක්ක ගිවිසුම් ගහපු UNP එක බලයට පත්කරන්නට සිංහල බෞද්ධයා කැමතියි කියල මා නම් හිතන්නේ නැහැ. එ්ක නිසාම තමයි UNP කාරයො තවම මංත්‍රිලා දහයක්වත් අාඳාගන්නටවත් බැරිඋන My3 ගෙ පිටේ නැගල (piggyback) විධායක ජනාධිපති බලතල ව්‍යවස්ථාවෙ හිඩැස්වලින් රිංගලා පවරාගන්න හදන්නෙ.

    මාස හයෙන් ජනාධිපති තනතුර අහෝසිකරනවායයි JVP සමග ගිවිසුම් ගසා එ්ක කුනු බක්කියට දැමූ චන්ද්‍රිකා නෝනා My3ගෙ පපට්ටියර් නිසා දිනුවත් ඔිවා ඉතින් කෙරෙන වැඩ නෙවෙයි. එ්ක හින්ද වෙන ලියන්න අවශ්‍ය නැහැ. නමුත් එකක් කිවයුතුයි. SF ගත්ත චන්ද ගනනවත් My3ට ගන්න බැහැ.

  • 4
    0

    Lankawe hitapu lokuma hora thamai Mahinda Rajapakse. Loka hora saha loka Magadiya.

    Langadi okkoma files aerei.

    A well written article. Where is Victor Ivan. It’s time for him to write his second Publication on “Chaura Maharaja”.

    Madam Chandrika paid the price and paid fine for Watergate fiasco. We are yet to see same on Pres.Rajapakse written by Victor Ivan.

    Also it’s time for Maithreepala Sirisena to jump start his Election campaign using all the best brains, Techniques and scientific knowledge available among all party leaders and their supporters.

  • 5
    0

    ‍අ‍නේ ‍මේ ‍බන්‍‍ඩා, ‍‍‍ක‍ටු ‍සූප්‍‍පු ‍ක‍ර ‍ක‍ර “යන්‍‍නෙ ‍කො‍හෙ‍ද ‍මල්‍‍ලෙ ‍පොල්‍” ‍ක‍තන්‍‍ද‍ර ‍කි‍යන්‍‍නෙ අ‍පි‍ද ‍ඔ‍හේ‍ද?‍ ඔ‍හේ‍ගෙ ‍හාම්‍‍පු‍තා ‍ඔ‍හේ‍ට ‍ගෙ‍වන්‍‍නෙත්‍ ‍අ‍පේ ‍අ‍හිං‍‍ස‍ක ‍‍මි‍නිස්‍‍සුං‍‍ගෙන්‍ ‍පට්‍‍ට ‍ද‍වා‍ලෙ ‍මා‍ටි‍යා ‍ග‍හ‍පු ‍සල්‍‍ලි. ‍වි‍හි‍ලු‍ව ‍කි‍යන්‍‍නෙ ‍ම‍හ ‍එ‍වුං‍‍ගෙ ‍ඔ‍ලු ‍ගෙ‍ඩි ‍ඇ‍තු‍ලෙ ‍අ‍වි‍චා‍ර‍ය, ‍අ‍ව‍නී‍ති‍ය, ‍වං‍‍චා‍ව ‍කොච්‍‍ච‍ර ‍පත්‍‍ති‍යං‍ ‍වෙ‍ලා‍ද ‍කි‍ය‍තොත්‍, ‍එ‍කෙක්‍ ‍කි‍ය‍න‍වා, “‍‍ම‍යෙ ‍ලඟ ‘රා‍ජ’කා‍රි ‍ක‍ර‍න ‍ඔක්‍‍කො‍ම ‍‍‍එ‍වුං‍ පල්‍ ‍හො‍රු” ‍කි‍ය‍ල. ‍ත‍ව ‍එ‍කෙක්‍ ‍කි‍ය‍න‍‍වා “‍ම‍ම ‍මූ‍ට ‍භාණ්‍‍ඩා‍ගා‍රෙං‍ ‍නි‍කං‍ ‍ම‍ගේ ‍සල්‍‍ලි ‍ව‍ගේ ‍ප‍ගා ‍දුන්‍‍නා, ‍ඒත්‍ ‍ඌ ‍ම‍ට ‍‍අන්‍‍ති‍මේ‍දි පු__ ‍ඇ‍රි‍යා” ‍කි‍ය‍ල. බන්‍‍ඩා, ‍ඔ‍හේ ‍කි‍ය‍න‍වා ‍ග‍ණ ‍දෙ‍යි‍‍ය‍ ‍ආ‍වත්‍ ‍‍නං‍ ඔ‍හේ‍ගෙ ‍හාම්‍‍පු‍තා ‍ත‍රං‍ ‍අ‍ලං‍‍කා‍රෙ‍ට ‍ර‍ට ‍ක‍ර‍වන්‍‍ඩ ‍බෑ ‍කි‍ය‍ල. ‍මේ ‍ක‍තා ‍ව‍ල‍ට ‍ජ‍න‍තා‍ව ‍ව‍ස‍යෙං‍ ‍අ‍පි ‍හි‍නා ‍වෙන්‍‍ට ‍ඕ‍නැ ‍කො‍යි ‍පැත්‍‍තෙං‍‍ද ‍කි‍ය‍ල ‍‍ඔ‍හේ‍ගෙ ලොක්‍‍ක‍ගෙං‍ ‍අ‍හ‍ල ‍කි‍ය‍න‍ව‍ද ‍ඊ‍ලඟ ‍පා‍ර ‍බැ‍හැ‍ද‍කින්‍‍ට ‍ගි‍යා‍ම? ‍‍ත‍වත්‍ ‍එ‍කක්‍ ‍අ‍හන්‍‍ඩ ‍ති‍යෙ‍න‍වා ‍ආ‍යි‍බො‍වං‍… ‍වි‍යන්‍ගො‍ඩ‍ලා‍ ‍‍ර‍ටිං‍ ‍පි‍ට ‍ඉඳං‍ ‍ලි‍ය‍න‍වා වා‍ගෙ ‍නැ‍තු‍ව අ‍පි‍ට ‍බො‍රු ‍නං‍ ‍ව‍ලින්‍ ‍ලි‍යන්‍‍ට ‍වෙ‍ලා ‍ති‍යෙන්‍‍නෙ ‍‍කු‍ද‍ලා‍ගෙ‍න ‍ගි‍හින්‍ ‍ම‍ර‍යි ‍කි‍ය‍න ‍බ‍ය‍ ‍හින්‍‍ද‍යි. ‍ ඔ‍හේ‍ට ‍එ‍හෙ‍ම ‍බ‍ය‍කුත්‍ ‍නැ‍ති‍කො‍ට, ‍ඔ‍හේ‍ගෙ ‍හාම්‍‍පු‍තා ‍කල්‍‍ප ‍හ‍ත‍ලිස්‍ ‍ලක්‍‍ස‍යක්‍ ‍‍ප‍නි‍නක‍ලුත්‍ ‍සක්‍‍වි‍ති‍කං‍ ‍ක‍ර‍න ‍බ‍ව ‍ඔ‍හේ‍ට ‍‍‍සි‍යේ‍ට-‍සී‍යක්‍ විස්‍‍වා‍ස‍කො‍ට, ‍මේ ‍බො‍රු ‍නං‍ ‍ව‍ලිං‍ ‍ලි‍යන්‍‍ට ‍‍ඔ‍හේ‍ට ති‍යෙ‍න ‍උ‍ව‍ම‍නා‍ව ‍මො‍කද්‍‍ද ‍කි‍ය‍න ‍එ‍කත්‍ ‍පොඩ්‍‍ඩක්‍ ‍ලෙ‍හ‍ලා ‍දෙ‍න‍ව‍ද ‍ඊ‍ලඟ ‍පා‍ර ‍ලි‍ය‍න‍කො‍ට? ‍”දෙ‍ම‍ල‍ගෙ‍නු‍යි, ‍ම‍රක්‍‍ක‍ල‍යා‍ගෙ‍නු‍යි, ‍අ‍පේ ‍තව්‍‍ති‍සා‍ව ‍ගි‍ලින්‍‍ට ‍වෙ‍න ‍වැ‍ඩක්‍ ‍නැ‍තු‍ව ‍‍ඇස්‍ ‍ගෙ‍ඩි ‍උ‍ලුප්‍‍පා‍න උ‍දේ ‍හ‍වා ‍කෙ‍ල ‍පෙ‍ර‍න ‘අ‍දි‍රාජ්‍ය‍වා‍දි‍යා‍ගෙ‍නු‍යි’ ‍බේ‍රෙන්‍‍ට‍” ‍කි‍ය‍ල ‍ඔ‍හේ ‍කි‍යන්‍‍ට ‍ඉ‍ඩ ‍තිබ්‍‍බත්‍, ‍ඒ ‍ත‍රම්‍‍ම ‍හු‍ර‍තල්‍ ‍බො‍රු‍වක්‍ ‍ඔ‍හේ ‍නො‍කි‍ය‍න ‍බ‍ව ‍අ‍පි‍ට ‍විස්‍‍වා‍ස‍යි.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.