1 December, 2023

Blog

මෛත්‍රීපාල නැමැති ඔහු

ෂ්‍යාමන් ජයසිංහ

ෂ්‍යාමන් ජයසිංහ

ෂ්‍යාමන් ජයසිංහ

ශ‍්‍රී ලාංකිකයන් යනු අවසනාවන්ත ජනතාවක් නොවේ. සාගතයෙන් සහ නියඟයෙන් ඔවුන් වැනසී නැති බව අපි දනිමු. සුනාමියක් ආවේය. එහෙත් ඒ, කලාතුරකින් සිදුවන සාගර පත්ලේ භූගත ඝට්ටනයක් හේතුවෙනි. ඉඳහිට ලේ ටිකක් හැලෙන බවත් ඇත්ත. ඒත්, මේ දේශය සොබා සෞන්දර්යයෙන් අනූන ය: ඕනෑම ඝර්ම කලාපීය බවබෝගයක් සඳහා ඒ පොළොව සාරවත් ය. ඉගෙනීමෙහිද, අනුකරණයෙහිද, නිර්මාණයෙහිද, එම ජනතාව කඩිනම් ය. ඔවුන් බුද්ධිමත් ය. නිවහල් ය. ඉතිහාසයේ මුල් කාලයේදීම මේ දේශයට ආ ධර්මය, සියවස් ගණනාවක් තිස්සේ ගම්දනව් සිසාරා ගියේය. මිනිසාගේ ඓතිහාසික පරිණාම ක‍්‍රියාවලිය තුළ, ඉවසනසුළු පරිසරයක, විවිධත්වය දළුලෑවේය. එය, ජාතිය සහ ආගමේ විවිධත්වයකි. අපූරු සංයෝජනයකි. එය, රටක් වශයෙන් දේශපාලනික අවුල් වියවුල් මැද කඩිනම්න් මග හසර පාදා ගත්තේය. අප ඉදිරියේ අද ඇති අළුත්ම විසඳුම් මාවත අතිශයින් ආකර්ශණීය ය.

මෛත්‍රීපාල සිරිසේනට ආයුබෝවන් !

එක්සත් ජාතික පක්ෂයේ නායකයන් සහ සාමාජිකයන් ඉදිරියේ පසුගිය දා එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මෛත‍්‍රීපාල සිරිසේන කළ කතාව නැරඹීමෙන් සහ ඊට සවන්දීමෙන් මම බෙහෙවින් පැහැදුනෙමි. මේ නම්, ලංකා භූමියෙන් ජනිත කළ සැබෑ නායකයෙකි යි මට සිතුණි. ප‍්‍රසිද්ධ දේශකයෙකුට වැදගත්ම කාරණය වන, සභාවේ පේ‍්‍රක්ෂක අපේක්ෂාවන් සහ සැකසාංකා ඔහු සැණෙකින් අල්ලාගත්තේය. බොහෝ කාලයක් තිස්සේ දේශපාලන කතරක සිටි ඒ පැරණි මහා පක්ෂයේ ගැහැනුන් සහ පිරිමින් අතරේ අනේක අඩමානයන්, අවිශ්වාසයන් සහ දුරවබෝධයන් ඇති බව ඔහු දැන සිටියේය. අද පක්ෂ භේදයකින් තොරව සකල ලාංකිකයන් මුහුණදී සිටින සැබෑ අර්බුදය ඉතා සාර්ථක අන්දමින් ඔහු ගොනු කෙළේය: තුන්වැනි වාරයකුත් ලැබුණොත් මහින්ද රාජපක්ෂ මේ රටේ වෙන කිසි පක්ෂයකට අඟලක්වත් ඉතුරු නොකරනු ඇත. ඉතිරි වනු ඇත්තේ තනි ඒකාධිපතිත්වයකි. ඒ නිසා, ලංකාද්වීපය ඒ ඒකාධිපති ආදර්ශය ඔස්සේ සීග‍්‍රයෙන් පල්ලම් බසින බවට ඔහු අනතුරු ඇෙඟව්වේය.

Maithri Sඋතුම් අරමුණක් වෙනුවෙන් තමාව කැප කළ ශ්‍රේෂ්ඨ ගාන්ධි ගැන ඉතා අගේට ඔහු සභාවට මතක් කර දුනි. අවුරුදු 27 ක් දඟගෙයි කල් ගෙවූ නෙල්සන් මැන්ඬේලා ගැන ඔහු සභාවට මතක් කර දුනි. බලයේ එල්ලය ඔහු ජයගත් ආකාරයත්, දකුණු අප‍්‍රිකාව සඳහා වූ තමන්ගේ ඓතිහාසික මෙහෙවර අවසන් කිරීමෙන් පසු තවත් වාරයක් බලයේ සිටීමට නොඉල්ලා, වෙනත් නායකයෙකුට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඡුන්දයක් යටතේ බලය පැවරූ සැටි ඔහු පැහැදිළි කෙළේය. ‘‘මං ගාන්ධි කෙනෙක් නෙවෙයි. මං නෙල්සන් මැන්ඬේලා කෙනෙක් නෙවෙයි. ඒත් ඒ ශ්‍රේෂ්ඨයන්ගේ ආධ්‍යාත්මික ගුණයත්, දර්ශනයත් මං ඉතා ඉහළින් අගය කරනවා’’ යැයි ඔහු කියූ විට මුළු සභාවම ප‍්‍රමුදිත වුණේය. දින 100 කදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට, මහජන ඡන්දය සඳහා සාමකාමීව තරග කිරීමට සහ සෑම පක්ෂයකටම නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය කරන පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීමට ඔහු සපථ කෙළේය.

ඞී. ඇස්. සේනානායක විසින් ගොඩනගන ලද ජනපද ක‍්‍රමය තුළ හැදුණු වැඩුණු සාමාන්‍ය ගොවියෙකුගේ පුතෙකු සම්බන්ධයෙන් ගත් විට එය අතිශය විස්මිත කාරණයකි යි මට සිතුණි. ඔක්ස්ෆර්ඞ් සරසවියේ උගත් ශ‍්‍රී ලාංකිකයන්ට මා සවන්දී ඇත. එහෙත් මෛතී‍්‍ර ප‍්‍රදර්ශනය කළ ජනතා අවබෝධය ඉදිරියේ ඔවුන් සමානයන් නොවුණි. ඔහු තුළ දැඩි විනයක් තිබුණි. මා වැන්නෙකු ඔහුගේ මතයට නම්මවා ගැනීමට සමත් නිවැරදි රූපක ඔහු පාවිච්චි කෙළේය. පැහැදිළි චින්තනයක් ඔහුගෙන් ප‍්‍රකට කෙරුණේය. යමක් වහා වැටහෙන සුළු නැණවත් පුද්ගලයෙකුට, විදග්ධ ස්වයං-අධ්‍යාපනයක් ලැබීම සඳහා දේශපාලනික පරිචය පමණක් ප‍්‍රමාණවත් වන බව මට එහි දී පසක් විය. ඔහු වූ කලී, මහ පොළොවේ තිරසාරව පය ගසා සිටින සහ එම පොළොවෙන් ඉහළට එසැවෙන නායකයෙකි.

ඉතා අවාසනාවට රටේ ජනාධිපතිවරයා විසින්ම රටේ ජනතාව වෙත පටවා ඇති ආඥාදායක පාලන පද්ධතිය අවසානයක් කර දැමීම සඳහා සියල්ලන්ම මේ මොහොතේ අත්වැල් බැඳ ගත යුතුව තිබේ. ඒකාධිපති පාලන තන්ත්‍ර ක‍්‍රියාත්මක වන ඇතැම් අප‍්‍රිකානු රටවල්වල මෙන් නොව, ලංකාවේ ජනතාව උගත් බුද්ධිමත් සහ නිදහසට ආදරය කරන ජනතාවකි. මේ ලස්සණ දේශය තුළ අගේට ප‍්‍රජාතන්ත්‍රරවාදය මුල් ඇද තිබුණි. ශ‍්‍රී ලංකාවේ ජනතාව බොහෝ අවස්ථාවල පාලකයන් වෙනස් කිරීමට පියවර ගෙන තිබුණි. පාලකයන්ව පාලනය කෙරුණේ ඒ ආකාරයෙනි. එය විවෘත සමාජයක් විය. ජන විවිධත්වයට ගරු කෙරුණු අතර, ජනතා අභිමතය පාලකයන්ට නිරතුරුව අවශ්‍ය කෙරුණි. තොරතුරු කාටත් විවෘතව තිබුණි. එසේ තිබියදී, ඒ සියල්ල වසා දැමීමට මහින්ද රාජපක්ෂට අවශ්‍ය කෙළේ ඇයි? ඔහු වටා සිටින අන්තේවාසිකයන් සහ ගැත්තන් හරහා එක්තරා මුළාවේ උමතුවක් ඔහුට බෝ වී තිබේ. එයින් අවසානයේදී සිදුවනු ඇත්තේ, ඔහු රටට කළ සේවාවන්ද ජනතා සිත්සතන් තුළින් අමතකව යාමයි.

*2014 නොවැම්බර් 27 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ This Man Maithripala නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.