Colombo Telegraph

කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ අසිරිය

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

සිනමාවට අදාළ සංදර්ශනාත්මක බරත්, කලාත්මක ගැඹුරත් ප‍්‍රශස්ත ආකාරයෙන් මුසු කර ගත් ජාත්‍යන්තර සිනමා උළෙලක් ප‍්‍රථම වතාවට ගිය සතියේ කොළඹදී පැවැත්වුණි. ලංකාවේ සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ පුරෝගාමීත්වයෙන් පැවැත්වුණු මේ සිනමා උළෙල තුළ, සිංහල කලාත්මක සිනමාව නව මානයන් ඔස්සේ රැුගෙන යාමට පසුගිය කාලයේ උර දුන්, අශෝක හඳගම, ප‍්‍රසන්න විතානගේ, ධර්මසේන පතිරාජ, විමුක්ති ජයසුන්දර, බූඩි කීර්තිසේන සහ බෙනට් රත්නායක වැනි සිනමාකරුවන් පිරිසක් පෙරමුණේ සිටියහ. ඔවුන්ගේ මේ කුළුඳුල් ප‍්‍රයත්නයට, සබුද්ධිමත් සිංහල සිනමා රසිකයාගේ නොමද ප‍්‍රණාමය තිළිණ කෙරුණේ, දින පහක් තිස්සේ කොළඹ සිනමා ශාලා 6 ක ප‍්‍රදර්ශනය කළ ජාත්‍යන්තර චිත්‍ර​පටි 100 කට ආසන්න සංඛ්‍යාවක් නැරඹීම සඳහා දහස් ගණනින් එක්රොක් වීමෙනි.

සිනමා උළෙල පැවැත්වුණු කාල පරිමාවේ සීමාව තුළ, කෙනෙකුට නැරඹිය හැකි උපරිම චිත්‍ර​පට ගණන වුණේ 25 කි. එනම්, එහිදී ප‍්‍රදර්ශනය කෙරුණු මුළු චිත්‍ර​පට සංඛ්‍යාවෙන් හතරෙන් එකක් තරම් ප‍්‍රමාණයකි. එම ප‍්‍රමාණය පවා කෙනෙකුට නැරඹිය හැකි වුණේ, උදේ වරුවේ සහ හවස් වරුවේ ප‍්‍රදර්ශනය කෙරුණු සියලූ දර්ශන වාරවලට අමතරව, චිත්‍ර​පට සංස්ථා සිනමා ශාලාවේ ප‍්‍රදර්ශනය කෙරුණු රාත‍්‍රී දහයේ දර්ශනයත් දිනපතා කෙනෙකු නැරඹුවොත් ය. මේ සීමාව, ඕනෑම චිත්‍ර​පට උළෙලක් තුළ පේ‍්‍රක්ෂකයෙකු මුහුණදෙන අනිවාර්ය ගැටළුවකි. එසේ හෙයින්, පුද්ගල මට්ටමේ යම් පූර්ව-තේරීමක් කර ගැනීමට පේ‍්‍රක්ෂකයාට බල කෙරුණි. කෙනෙකු එක දවසකදී, මේ සිනමා ශාලා පහ අතරේ විටින් විට මාරු වෙමින්, උදේ දහයේ දර්ශනයේ සිට රාත‍්‍රී දහයේ දර්ශනය දක්වා චිත්‍ර​පට හඹා ගිය බව පෙනුණි. ආසන අඩු ප‍්‍රමාණයක් සහිත ඇතැම් සිනමා ශාලාවක පැවති දර්ශනයක් නැරඹීමට ගොස් පෝලිමේ සිට, අවසානයේ එහි ඇතුළු වීමට නොහැකිව අනිත් අතට හැරී, තවත් සිනමා ශාලාවක එවේලේ ප‍්‍රදර්ශනය කෙරෙන වෙනත් චිත්‍ර​පටියක් සඳහා දුවමින් සිටි පේ‍්‍රක්ෂකයන් ද අපට හමුවුණි. කොටින්ම, සිනමා උළෙලේ පැවති භෞතික සීමාවන් ජය ගැනීමට පේ‍්‍රක්ෂකයා හැම උත්සාහයක්ම ගත්තේය.

මේ උනන්දුව, ආශ්වාදනීයයි. සිංහල සිනමා කර්මාන්තය කඩා වැටෙමින් තිබෙතැ යි කියන වකවානුවක, ජාත්‍යන්තර තලයේ කලාත්මක චිත්‍ර​පට නැරැුඹීමට සිංහල පේ‍්‍රක්ෂකයා තුළ ඇති නොමද ආශාව එයින් විශද විය. එසේ වෙතත්, පේ‍්‍රක්ෂකයාගේ පැත්තෙන් දකින්ට ලැබුණු ඒ උනන්දුව, අපේ සිනමාවේ බොහෝ කාර්යධරයන්ගේ පැත්තෙන් දකින්ට ලැබුණේ නැත. උළෙලේ සමාරම්භක දිනයේ රතු පලස් මත ලැසි ගමනින් ගිය බොහෝ තරු, චිත්‍ර​පට නැරඹීම සඳහා ඊළඟ දවස් කිහිපයේ එනවා අප දුටුවේ නැත. සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ සාමාජිකයෙකු වෙතත්, මේ සිනමා උළෙලේ සංවිධාන කණ්ඩායමේ සාමාජිකයෙකු නොවුණු ධර්මසිරි බණ්ඩාරනායක දිනපතා චිත්‍ර​පට නැරඹුවේය. අවසාන දවසේ, තම අතීත සිනමා සගයෙකු වූ ප‍්‍රවීණ කැමරා ශිල්පී ඇන්ඩෘ ජයමාන්නගේ අවමංගල්‍යය සඳහා ඔහු මීගමුවට ගියේ, උදේ දහයේ දර්ශනය නැරඹීමෙන් අනතුරුවයි. සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ තවත් සාමාජිකයෙකු වන, සිංහල චිත්‍ර​පට විශාල සංඛ්‍යාවක් නිර්මාණය කොට ඇති, මහාචාර්ය සුනිල් ආරියරත්න ඇතැම් චිත්‍ර​පටි නැරඹීම සඳහා දිග පෝලිමක කෙළවරේ සිටිනු අපට පෙනුණි. එක පැත්තකින්, උසස් චිත්‍ර​පට රස වින්දනය සඳහා ඔවුන් තුළ ඇති නොසන්සිඳෙන ආශාව එයින් කියැවේ. අනිත් පැත්තෙන්, සිංහල චිත්‍ර​පටකරුවන් වශයෙන් පිටස්තර ලෝකයාගෙන් උගෙනීමට තමන්ට බොහෝ දේවල් ඇති බවට ඔවුන් තුළ වන නිහතමානී විශ්වාසයක් ද එයින් ගම්‍ය වෙයි.

මට නැරඹීමට ලැබුණේ චිත්‍ර​පට එකොළහක් පමණි. එයින් චිත්‍ර​පට දෙකක් හැරුණු විට අනිත් චිත්‍ර​පට නවය, රසාස්වාදයත්, ජීවිතාවබෝධයත් සැපයූ කෘතීන් වශයෙන් සැළකිය හැකිය. ඒ අතරින්, ඉරාන සිනමාකරු රේසා ඩොර්මීෂියන්ගේ ‘‘අයි ඈම් නොට් ඇන්ග‍්‍රි’’ චිත‍්‍රපටය, ප‍්‍රංශ සිනමාකරු ලියෝ කැරැුක්ස්ගේ ‘‘ලෙසමොං දු පොන් නෆ්’’ (ලව් ඔන් ද බි‍්‍රජ්) සහ නව ජරමානු සිනමා රැුල්ලේ පෙරගමන්කාරිය සේ සැළකෙන මාගරෙත් වොන් ට්‍රොටාගේ ‘‘හැනා ආරෙන්ඞ්’’ යන චිත‍්‍රපටි විශේෂයෙන් කැපී පෙනේ. මේ උළෙලේ හැම දර්ශන වාරයකටම කලින් අපට නැරැුඹීමට බල කෙරුණු, මහේන්ද්‍ර පෙරේරා සහ පූජා උමා ෂංකර් රංගනයෙන් දායක වුණු, ඕලාරික කෙටි ‘තේමා දැක්ම’ විසින් ඇති කළ අප‍්‍රසන්න හැඟීම සමග, ඉහත කී චිත්‍ර​පටවල ප‍්‍රධාන භූමිකා රංගනයන් මම සැසඳුවෙමි. මේ ‘තේමා දැක්ම’ යම් අධි-තාත්විකත්වයක් භජනය කළ බව සැබවි. එසේ වෙතත්, ඒ අධි-තාත්වික භූමිකාව තුළ, ඉතා ශූර රංගන ශිල්පියෙකු වන මහේන්ද්‍ර පෙරේරාව රූකඩයක් කොට තිබීම, අපේ චිත්‍ර​පට අධ්‍යක්ෂවරුන් සහ රංගන ශිල්පීන් අතර ඇතැම් තන්හි දක්නට ලැබෙන ‘ගුරු-ගෝල’ සම්බන්ධතාවේ පුස්ස කියාපෑවේය. ඊට ප‍්‍රතිපක්ෂව, කැමරාවක් ඉදිරියේ ‘රඟපෑමෙන්’ නළුවා/නිළියව ගලවාගන්නේ කෙසේද යන ප‍්‍රශ්නය, ඉහත කී චිත්‍ර​පටවල ප‍්‍රධාන නළු නිළියන්ගේ රංගන භාවිතාව හරහා අගේට මතු කෙරුණි.

කලා සේවනය, පෞද්ගලික සහ සාමූහික යැයි දෙවගකට බෙදිය හැකිය. කතා කීමේ කලාව ඉස්සර රසවින්දේ සාමූහිකවයි. මුද්‍රණ ශිල්පයේ දියුණුවත් සමග නවකතාවක් හෝ කෙටිකතාවක් කියවා රස විඳීම පෞද්ගලික කලා සේවනයක් බවට පත්විය. ඊට ප‍්‍රතිපක්ෂව, වේදිකාව සහ සිනමාව වැනි කලාංග වර්ධනය වුණේ, සාමුහික වින්දන අභ්‍යාසයක් වශයෙනි. අද වන විට, රූපවාහිනිය, වීඩියෝ තාක්ෂණය සහ වෙනත් ඩිජිටල් ක‍්‍රමෝපායයන් හරහා, චිත්‍ර​පටිය සහ නාට්‍යය, ගෘහස්ථ පෞද්ගලික අවකාශයකට යාන්තමින් විතැන්ව ඇතත්, එවැනි කලාංග සමාජ-සංස්කෘතික මහා කතිකාව තුළ මත්තටත් වැජඹෙනු ඇත්තේ, සාමූහික සහභාගීත්වයක පොදු අත්දැකීමක් වශයෙනි. නාට්‍ය ශාලා සහ සිනමා ශාලා වැදගත් වන්නේ එහිදී ය. ඕනෑම සමාජයක ආර්ථික තිරසාරත්වයකින් යුත් කර්මාන්තයක් වශයෙන් සිනමාව සහ වේදිකාව පොදුජන වින්දනය දනවන සමාජ අවකාශයක් වීමට නම්, සිනමා ශාලාවට සහ නෘත්‍යාගාරයට පේ‍්‍රක්ෂක ප‍්‍රජාව ආකර්ශනය කරගත යුතුව තිබේ. එය, ගෙදර සිට නවකතාවක් කියවනවා සේ, ගෙදර සිට ඞී.වී.ඞී. සිනමා පටයක් නැරඹීමෙන් ඵල දැරිය හැක්කක් නොවේ. කාලයක් තිස්සේ, අපේ සිනමා ශාලා හිස්වෙමින් තිබීමේ අභාග්‍යයට තුඩුදී ඇති තවත් බොහෝ හේතු කාරණා තිබුණත්, ප‍්‍රබල සිනමා රසික ප‍්‍රජාවක් නැවත බිහි කර ගැනීම සඳහා මේ ආකාරයේ විවිධ තිරිහන් කිරීම් සහ උත්තේජනයන් අවශ්‍ය කෙරේ. ලාංකීය පේ‍්‍රක්ෂක ප‍්‍රජාව සම්බන්ධයෙන් සළකන කල, කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල, ඒ දෙසට තැබූ එක් සාධනීය පියවරක් වන්නේ එබැවිනි.

මේ උළෙලේ මා දුටු ඊළඟ සාධනීය ලක්ෂණය වන්නේ, රාජ්‍ය තන්ත්‍ර​ය සහ බල දේශපාලනයේ සංකේත හැකි තාක් ඈත් කර තැබීමට එහි සංවිධායකයන් ගෙන ඇති ප‍්‍රශස්ත ප‍්‍රයත්නයයි. අද සාහිත්‍ය උළෙලක් පවා රාජ්‍ය නායකයන් සහ බල දේශපාලඥයන්ගේ සහභාගීත්වයෙන් තොරව පැවැත්වීම ‘අස්වාභාවික’ කාර්යයක් සේ සැළකෙන වටපිටාවක, මෙවැනි යෝධ මේලාවක් කලාකරුවන් සහ පේ‍්‍රක්ෂකයන්ගෙන් පමණක් ලස්සණ කර ගැනීම අගේ කළ යුතුය.

උළෙලේ ආරම්භක සිනමා පටය, ඉදිරියට දිග හැරෙන නවමු සිනමා අත්දැකීමක් සඳහා විහිදුවන එළියක් විණැ යි සිතිය නොහේ. එවැනි චිත්‍ර​පටියක් වඩාත් සුදුසු වීමට තිබුණේ ළමා චිත්‍ර​පට උළෙලක ආරම්භයකටයි. ධර්මසේන පතිරාජ, නිලේන්ද්‍ර දේශප‍්‍රිය සහ ප‍්‍රසන්න ජයකොඩි වැන්නන්ගේ අළුත් සිනමා කෘති රස විඳීමටත් මෙය අවස්ථාවක් කර දීම පැසසිය යුතුය. විශේෂයෙන්, පතිරාජ වැන්නෙකු ලවා උළෙල විවෘත කැරැුවීමත්, සමාප්තියේ දී මහා සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස්ට ප‍්‍රණාම දැක්වීමත් විශිෂ්ඨයි.

පසුගිය දිනවල සමාජ මාධ්‍ය තීරුවල, මේ උළෙල පිළිබඳ ඇතැම් අඳෝනා සංසරණය විය. මේ වූ කලී, රාජ්‍යයේම රහස් ව්‍යාපෘතියක් බව එයින් කියැවුණි. එම මතය සනාථ කිරීම සඳහා නිශ්චිත තර්කයක් හෝ සංයුක්ත කරුණු දැක්වීමක් නොතිබුණත්, ‘වාම පොල්ල’ නම් හතර වටේට උරුක් කොට තිබුණි. ඉන් කෙනෙක් ලියා තිබුණේ නිර්නාමිකවයි. ‘සුදු වෑන්වලට’ ඇති බිය නිසා එසේ නිර්නාමිකව ලියන බව ඔහු/ඇය කියා තිබුණි. පසුගිය කාලයේ මර්දන යන්ත්‍ර​ය හමුදාමය තලයක එළිපිට ක‍්‍රියාත්මක වෙද්දී, තම කුටුම්බ තුළට වැදී, අන්ධයන්, ගොළුවන් සහ බිහිරන් සේ සිටි මේ ‘ප‍්‍රගතිශීලී’ කොටස් දැන් නොකියා කියන්නේ, පවතින පාලනය පෙරලා දමන තෙක්, සිනමාකරුවන් මෙවැනි ‘ලොකු වැඩ’ නොකළ යුතු බවයි. මන්ද යත්, පාලන තන්ත්‍ර​යේ අඳුරු චිත්‍ර​යට ඒවායින් එළියක් ලැබිය හැකි බැවිනි. තවත් කෙනෙකු කියා තිබුණේ, පාලකයාට මුක්කුවක් විය හැකි නිසා, මේ චිත්‍ර​පට බැලීමට යාම පවා තමන් ‘වර්ජනය’ කළ බවයි. අඳෝමැයි!

අ-දේශපාලනය ලොකුම ‘දේශපාලනය’ කරගත් ළදරු වලිප්පුව, සිනමාකරුවන්/කලාකරුවන් බරසාරව ගත යුතු නැත. කළ යුතුව ඇත්තේ, මේ අවස්ථාවේ ඇති වූ අඩුපාඩු මගහරවා ගනිමින් සහ ඒවායින් පාඩම් ගනිමින් ඉදිරියටත් මේ සම්භාව්‍ය සම්ප‍්‍රදාය ප‍්‍රවර්ධනය කිරීමයි. ඒ සඳහා ඔවුන් සැමට දිරියත්, අදීනත්වයත් ලැබේවා ය යන්න අපේ ප‍්‍රාර්ථනයයි.

Back to Home page