26 October, 2021

Blog

ඇය යන්න ගියා මැකිලා

ගීතිකා ධර්මසිංහ​ –

කුමාරි ජයවර්ධනගෙන් පසු ලාංකේය දේශපාලනය තුළ ස්ත්‍රියගේ භූමිකාවත් සම්ප්‍රදාය තුළ ඇයට උරුම කර දී ඇති පිහිටුමත් පිළිබදව ශාස්ත්‍රීය හා දේශපාලන භාවිතයන්ගේ ඒකත්වයක් ඇසුරේ චින්තනයක් ගොඩනැගූ ස්ත්‍රිය ඇයයි.. ඔව්, මම එසේ සිතන්නෙමි. ඇය මානව විද්‍යාඥවරියකි. ක්‍රියාකාරි ස්ත්‍රිවාදිනියකි.

ආචාර්ය මාලතී ද අල්විස්

අනූවෙන් පසුව ‘එන්ජිඕ කරණයට’ ලක් උණු මහජන අරගල දේශපාලනය පිළිබඳ ඇයගේ කියවීම් මා ගැවසෙන දේශපාලන අවකාශවල මම නිරන්තරයෙන් සිහිපත් කර සිටිමි. එහිදී විශේෂයෙන්ම ස්ත්‍රී දේශපාලනයේ උපායමාර්ගයන් “බහිෂ්කාරක – එරෙහි වීමේ දේශපාලනයක සිට ඉල්ලා සිටීමේ දේශපාලනයක් දක්වා විතැන් වීය” (refusal to request) යන්න ඇය විසින් ගොඩනැගූ එක් ප්‍රමුඛ තිසීසයකි. ‘මව් පෙරමුණ’ වැනි 80 අග භාගයේ උතුරු නැගෙනහිර හා දකුණේ මිලිටරිකරණයට හා ජාතිවාදයට විරුද්ධව සක්‍රීයව ක්‍රියාත්මක වූ සංවිධානයන් පවතිද්දී 90 දශකයේ සිට ක්‍රමයෙන් වෙනත් මාතෘකා කරා ස්ත්‍රී සාමූහික ප්‍රජාවන් පසුබැස්සේ මන්ද යන්න ඇයගේ විචාරක්ෂියට ගෝචර විය. එනම් “ස්ත්‍රීන් බලගැන්වීම,” “ස්ත්‍රීපුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී වීම,” “ගැටුම් නිරාකරණය,” “ගැටුම් කළමනාකරණය,” “යහ පාලනය,” “මානව අයිතීන් කඩ වීම් ලේඛනගත කිරීම,” “ස්ත්‍රී දේශපාලන සහභාගිත්වය වැඩි කිරීම” ආදී නොයෙකුත් ඉල්ලීම් දක්වා කැඩී වෙන් වී යාමේ තතු පිළිබදවයි. ඊට අනුව වර්තමානයේ බොහෝවිට පුර්ණකාලීන ස්ත්‍රීවාදී ‘තනතුරු’ බිහිවී ඇත. එසේම දේශපාලනය වෘත්තියකරණට හා කළමණාකරණ විෂයයන්ට ඌනනය වී ඇත. එමගින් වත්මනෙහි ස්ත්‍රීවාදී දේශපාලනය සීතල -පහසු අඩවියක මිඩංගු වෙමින් තිබෙයි. ඒ අනුව බොහෝ අය දැන් කරමින් සිටින්නේ අරුන්දතී රෝයිගේ භාෂාවෙන් කියන්නේ නම් වර්චුවල් එරෙහිවීම්ය.

ඒ අනුව ගල් ගැසී ඇති අනන්‍යතා රැකීම හා එදිනෙදා දේශපාලන සිදුවීම් සමග කටයුතු කරනවා වෙනුවට එහි ව්‍යුහාත්මක තත්වයන් නිර්මාණය කල රාජ්‍යයේ ගොඩනැගීම් ආකෘතිය ගැඹුරු ප්‍රශ්න කිරීමට ලක්කරන ‘දේශපාලනිකයේ’ මානය ඔවුනගෙන් බරපතළ ලෙස ගිලිහී තිබෙයි. කෙටියෙන් කිවහොත් අපි දැන් කැරලි ගසන්නේ නැත. ඒ වෙනුවට ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින නොනවතින ඉල්ලීම් ප්‍රවාහයකට මාරු වී ඇත. මාලතීගේ තියුණු සුපරික්ෂාවන් දිවෙන්නේ මෙම සංකීර්ණ අර්බුදය දෙසටය.

මාලතී දී අල්විස් විසින් සිදු කළ පර්යේෂණ අධ්‍යයනයන් ඉතා විශාල ප්‍රමාණයකි. ඒ නිසාම ඇය ශාස්ත්‍රීය අවකාශයේ තාරකාවක් යැයි කීමේ වරදක් නැත. පිටු 20 කටත් අඩුවෙන් ඉතාම අනර්ඝ න්‍යායික පෙළක් ඊට අදාළ ඓතිහාසික නිදසුන්ද සමග සංග්‍රහ කිරීමේ අපූර්ව සමාර්ථයක් ඇති වෙනත් සිතන්නියක් මට මුණගැසී නැත.

කුමාරි ජයවර්ධන සමග ලියා පල කොට ඇති මුතු විසිකිරීම (Casting Pearls) අපගේ ස්ත්‍රී දේශපාලන ඉතිහාසයේ ආ ගිය මුලගිය තැන් පෙන්වා දෙන්නකි. ඇයගේ මම ප්‍රිය කරන තවත් කෙටි ලිපියක් වන්නේ ‘ගරුනම්බුව’, ‘නුතනත්වය’ සහ යටත්විජිත සිලෝනයේ සංස්කෘතිය පොලීසිකරණය’ යන ලිපියයි (Respectability, Modernity, and the Policing of ‘Culture’ in Colonial Ceylon 1999). එහිදී ඇය විසින් ගණනාත් ඔබේසේකර විසින් පෙන්වා දෙන අපගේ සිංහල සංස්කෘතියේ ඇති “ලැජ්ජා බය” යන එනම් “ලජ්ජා කිරීමේ භාවිතය” විසින් සමාජයේ අධිපතිත්වය සහ යටහත්බව වැනි මානයන් නිර්මාණය කලේ කෙසේද යන කියවීම මාලතී පදනම් කරගනියි. යටත්විජිත කතිකාව විසින් “නම්බුවට සිටීමේ” භාවිතයන් හරහා සිංහල සහ දෙමළ ස්ත්‍රී ශරීරයන් විනයගත කලේ කෙසේද යන්න ඇය එහිදී පෙන්වා දෙයි. ඇය එමගින් සුරාකෑම හා යටහත්භාවය ඇති කිරීමේ පාලන රෙජිමයන් නිර්මාණ කිරීමේ ඉතිහාසය ගෙන හැර දක්වයි.

මාලතී යුධ සමයේ “සාම ස්ත්‍රීන්” (Women for Peace) සංවිධානයේ (1984) ක්‍රියාකාරී සාමාජිකාවක් වුවාය. ඔවුන් විසින් යෝජනා කළ ‘ජාතික ප්‍රශ්නයට දේශපාලන විසදුමක්’ යන යෝජනාවට සිංහල සමාජයෙන් එල්ල වූයේ ‘ඉහළ පෙළේ ගැහැණු රට බෙදන්න හදනවා’ යන විවේචනය බව ඇය සඳහන් කර තිබෙයි. ‘ඇයගේ දේශාපාලනය ඉංග්‍රීසි කතා කරන පැලැන්තියට පමණක් සීමා වී දැයි?’ මම ඇය සමග 2012 දී පමණ රාවයට කළ සම්මුඛ සාකච්චාවකදී විමසා සිටියෙමි. ඇයගේ ප්‍රතිචාරය වූයේ ඇය සිය උපරිමය යොදවා එම විවේචනයෙන් ගැලවීමට කටයුතු කළ හා කරන බවකි. කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පාඨ මාලා ඉගැන්වීම්වලදී හා විවෘත විශ්වවිද්‍යාලයේ කල ඉගැන්වීම්වලදී සිය විෂය නිර්දේශයට අලුත් කතිකාවක් ඇති කිරීමේ අරමුණෙන් කියවීම් එක් කල බව මා සමග පැවසීය.

මහා පාරේ අරගලවලට ඇය ආවාය. ඇයගේ නිවස හැරුණු කොට මට ඇය හමු වූ අනෙක් ස්ථානය වුයේ අප සංවිධානය කළ දේශපාලන වැඩබිම්ය. වැඩිය කතා නොකොට බොහෝ දේ කෙටියෙන් බෙදාගැනීමට ඇය දැක් වුයේ සුවිශේෂී හැකියාවකි. එසේ කරමින් අපගේ වැඩසටහන් අවසාන වන තෙක් ඇය සිටියාය. මා ප්‍රදීප් (ජෙගනාදන්) සහ ඇය හමු වීමට ඔවුනගේ නිවෙසට ගිය සෑම විටකම එම හමුවීම් දීර්ඝ පැය ගණන් දිවගිය දිගු සැදෑ සමයන් විය. එම හමුවීම් මාගේ චින්තන සිතිජයෙහි සීමාවන් මට මුණ ගැස් වූ මගේ ජිවිතයේ වඩාත් වර්ණවත් නිමේෂයන් විය.

ඇයගෙන් තවත් අපේක්ෂා කරන්නට යමක් ඇද්දැයි මම නොදනිමි. එහෙත් ඇය ඉක්මනින් නික්ම ගිය මෙම ගමන නම් හද දවන ගිනි හුළක් වැනි යැයි පැවසිය යුතුමය. ඇය අසාධ්‍ය බව දැනගත් විට ම’හද දැවුණු තරම් ! .

ප්‍රදීප් ඇය කලින් යන්නට යන බව විටින් විට සටහන් කරමින් තිබුණි. ඒ නිසාම ඇය මෙන්ම අපිද ඇයගේ නික්ම යාමට සුදානම් වෙමින් සිටියෙමු.

අපි ඇයගේ මතකය එකතු කරන්නට පුර්වයෙන් ඇය බොහෝ මතකවල ඉතිහාසයන් එකතු කළාය. හසිනි හපුතන්ත්‍රී සමගින් සංස්කරණය කොට මේ මෑතක (2019) පල කොට ඇති අවුරුදු 70 ක නිදහස් ලංකාවේ අපි දන්නා සහ නොදන්නා පුරවැසියන්ගේ මතක ශේෂයන් පිළිබඳ කෘතිය ඊට නිදසුනකි. අපගේ එදිනෙදා ජිවිතයේ අප වටා ඇති කාලයක් පුරා ඉතිරි වී ගිය වස්තූන් විසින් එහි ඉතිහාසය, ආදරය, බිඳවැටීම්, හිත්රිදීම්, අයුක්තීන් පිළිබඳව පමණක් නොව සමහර වස්තුන් වටා අපගේ ජිවිත කතාවම ගෙතී ඇති බව ඇය එහිදී පෙන්වා දුන්නාය. මගේ මතකයේ ඇය ඉතිහාසයකි. ඇයගේ කියවීම් මගේ දේශපාලනයට ආශිර්වාදයකි.

ඇය ජීවත්ව සිටිද්දී මට ඉතරි කර ගිය දේ සේම ඇයගේ මරණයෙනුත් යමක් මට ඉතිරි කරදී තිබෙයි. එය නම් මා මියැදුණු දිනෙකත් මම ඇයට ප්‍රේම කරන්නාක් සේම මටත් ප්‍රේම කරන මිනිසුන් උපයා ගත යුතු බවය. ඇය ඒ තරම්ම යහපත් මිනිස් දියණියක් වුවාය.

ඇරඹුම හෝ අවසානය අවිනිශ්චිත වූ යථාර්තයකට ඔබ දැන් එක් වී ඇත. ඔබ වෙනුවෙන් එකී අහඹුව සමග මම ඒකාත්මික වෙමි.

ප්‍රේමයම පමණයි මාලතී..!

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.