5 March, 2021

Blog

කොවිඩ්-19 සහ නිර්භීත නව ලොව

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

2020 අගෝස්තු මසදී අමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යාඥයින් කණ්ඩායමක් තමන් අත්පත් කර ගත් විප්ලවීය සාර්ථකත්වයක් ගැන නිවේදනය කළේය. ඒ Neuralink නමැති විද්‍යාත්මක පර්යේෂණ සමාගම නියෝජනය කරමිනි. එහි ප්‍රධානියා වන එලන් මස්ක් ප්‍රකාශ කළේ ඌරෙකුගේ මොළයට සවි කළ යන්ත්‍රයක් ඔස්සේ එම මොළයේ ක්‍රියාකාරීත්වය පරිගණයක් මගින් කියැවීමට හැකි බවයි. මස්ක් තම පර්යේෂණාගාර ඌරා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සහ සතුටින් සිටින බවද පැවසීය. “ඌරා සතුටින් සිටින බව මස්ක් දැන ගත්තේ කෙසේදැයි” ශිෂෙක් උපහාසාත්මකව ප්‍රශ්න කරයි! මේ ප්‍රශ්නය තුළම පිළිතුරක් ගැබ්ව තිබේ. සතුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය යාන්ත්‍රිකව කියැවීමට ප්‍රයත්න දරන විද්‍යාඥයින් දැන් තමන්ටම දේවත්වය ආරෝපණය කර ගනී. තම විෂය වස්තුව වන ඌරා සතුටින් සිටින්නේදැයි නිශ්චය කිරීමේ බලය ඔවුන් සතුය.

ඉහත පර්යේෂණ කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද තවත් නිදර්ශකයක් නම් තම මොළයෙන් පරිගණකයක් පාලනය කිරීමට සමත් වඳුරෙකි. ඉදිරියේදී මිනිසුන්ගේ මොළ යන්ත්‍ර සමග සම්බන්ධ කළ හැකි යැයි ඔවුන් අපේක්ෂා රඳවයි. මෙම ව්‍යාපෘතියේ ප්‍රකාශිත යහපත් අරමුණක් වන්නේ ශාරීරිකව අප්‍රාණික බවට පත් වූ පුද්ගලයන් හට තම චින්තනය මගින් පරිගණක හෝ ජංගම දුරකථන ඔස්සේ දේවල් කිරීමට හැකියාව ලබා දීමයි. නමුත් ධනවාදයේ වත්මන් “නිර්භීත නව ලොව” තුළ යමෙකුගේ මනසට මේ ප්‍රශ්න මතු වීම වැලැක්විය නොහැකිය: “මිනිස් මොළ යාන්ත්‍රිකව සම්බන්ධ කළ හැකි ලොවක යම් යම් සිතුවිලි යාන්ත්‍රිකව මිනිසුන් තුළ ස්ථාපනය කිරීමටද නොහැකිද?” “එවැන්නක් සිදු නොවේ යැයි දිය හැකි සහතිකය කුමක්ද?” මේ ප්‍රශ්න සඳහා පිළිතුරු සොයා ගත හැක්කේ පැහැදිලිවම විද්‍යාව සහ තාක්ෂණය තුළ නොව දේශපාලනය තුළය.

කොරෝනා ධනවාදයේ නව ලොව

Neuralink හි ව්‍යාපෘතිය කොතරම් යථාවත් විය හැකිද යන්න වෙනම සාකච්ජා කළ යුතු ප්‍රශ්නයකි. නමුත්, වඩා වැදගත් වන්නේ මෙවන් ව්‍යාපෘතීන් තුළ මිනිසා, සතුන් සහ සොබා දහම සම්බන්ධයෙන් ඉදිරිපත් වන අධිපතිවාදී ප්‍රවේශයයි. සරලව, එයින් කියැවෙන්නේ විද්‍යාත්මක තර්ක බුද්ධියට සහ එහිම දිගුවක් වන තාක්ෂණයට සොබාවික ලෝකය තේරුම් ගැනීමට පමණක් නොව පාලනය කිරීමටද හැකිය යන්නයි. ෆ්රෑන්ක්ෆර්ට් පාසැලේ විශිෂ්ට චින්තකයින් දෙදෙනෙකු වූ මැක්ස් හෝර්කයිමර් සහ තියොඩෝර් ඇඩෝනෝ පෙන්වා දුන් පරිදි තර්ක බුද්ධියේ අධිපතීත්වය පිළිබඳ මෙම ප්‍රබුද්ධත්ව අදහසේ විමුක්තිවාදී පැතිමානයක් සේම අධිපතිවාදී පැතිමානයක්ද පවතී. නූතන තාර්කික චින්තනය රජයන සමාජ තුළින්ම නට්සිවාදය, ෆැසිස්ට්වාදය, ධනවාදී පාරිභෝජනවාදය වැනි අධිකාරීවාදී ප්‍රවණතා නිර්මාණය විය හැකි වූයේ එබැවිනි. අප දැන් අවතීර්ණ වී සිටින්නේ හෝර්කයිමර් සහ ඇඩෝනෝ කතා කළ “ප්‍රබුද්ධත්වයේ දයලෙක්තිකයේ” තියුණුම යුගයක් තුළටය. ඒ කොතෙක්ද යත්, දැන් මිනිසුන්ගේ චින්තනය සහ අති සමීප හෘදයංගම හැඟීම් පවා යාන්ත්‍රිකව පාලනය කිරීමේ මාදිලීන් ගැන පර්යේෂණ සිදුවෙමින් පවතී.

මෙය අපට සිහි ගන්වන්නේ ඇඩෝස් හක්ස්ලි විසින් රචනා කරන ලද ඩිස්තෝපියානු නවකතාවක් වන “නිර්භීත නව ලොව” (Brave New World) වැනි ප්‍රබන්ධ විශ්වයකි. එහි එන්නේ යාන්ත්‍රිකව නිර්මාණය කෙරෙන සහ පාලනය කෙරෙන කෘතීම මිනිසුන්ගෙන් යුත් සමාජයකි. පැහැදිලිව බෙදා ඇති සමාජ ධූරාවලිය පදනම් වන්නේ කෘතීම බුද්ධියේ මට්ටම් අනුවය. පුද්ගලික හැඟීම් සහ අදහස් යනුවෙන් දෙයක් පැවතීමට එහි ඉඩක් නොමැත. මා පවසන්නට යන්නේ හක්ස්ලිගේ වැනි නිර්භීත නව ලොවක් දැන් ගොඩ නැගෙමින් තිබෙන බව නොවේ. එවන් දිශානතියකට හැරුණු අධිපති චින්තනයක් දැනටමත් ගෝලීය ධනවාදයේ බල සම්පන්න නියාමකයින් අතර පැතිර යමින් තිබේය යන්නයි.

අද වන විට ගෝලීය සංවාදයට ලක්ව තිබෙන “කොරෝනා ධනවාදය” පිළිබඳ චිත්‍රය කිසිසේත්ම සුබවාදී එකක් නොවේ. ජියෝජි අගම්බෙන් පෙන්වා දෙන පරිදි යුරෝපීය සමාජයන් තුළ පවා සමාජ පාලනයේ සහ සුපරීක්ෂාවේ ප්‍රබල යාන්ත්‍රණයන් දැන් ක්‍රියාවට නැගෙමින් තිබේ. සමාජ පාලනය සඳහා ඩ්‍රෝන යාත්‍රා භාවිතා කිරීම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් තුළ පවා ක්‍රියාවට නැගිය හැකි විය. අප යනෙන තැන්, ඇසුරු කරන අයවළුන්, කතා කරන දේවල් පමණක් නොව සිතන පතන දේ පවා දැන් රාජ්‍යයේ නිරන්තර සුපරීක්ෂාවට ලක් වේ. දේශපාලන විද්‍යා භාෂාවෙන් කිව හොත් මෙය රාජ්‍යය සහ සමාජය අතර සම්බන්ධය වෙනසකට ලක් වීමක් ලෙස වටහාගත හැකිය. වසංගත පිළිබඳ වාර්තාගත ඉතිහාසය අනුව අපට පෙනී යන පරිදි, වසංගත පාලනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියා මාර්ග පවතින ආණ්ඩුකරණයේ (ෆූකෝගේ වචනයෙන් කිව හොත්, ආණ්ඩුකරණ-චින්තාවේ – governmentality) පරිවර්තනයක් ඇති කිරීමට බොහෝ විට හේතු වී තිබේ. එබැවින්, වත්මනෙහි ගෝලීය වසංගතයට ප්‍රතිචාරයක් ලෙස ධනවාදී ක්‍රමය නැවත හැඩ ගැස්වීමක් පිළිබඳව කෙරෙන සංවාදය අප සිතනවාට වඩා අපගේ අනාගත පැවැත්ම කෙරෙහි තීරණාත්මකව බලපාන්නට හැකිය.

නව ආන්තික මධ්‍යයක්?

ගෝලීය ධනවාදයේ මෙහෙයුම්කාරයින් 1930 ගණන්වලට පසුව ලොව උදා වූ ප්‍රබලතම අර්බුධය හමුවේ දැන් යෝජනා කරමින් සිටින දෙයක් නම් මහා ධනවාදී සමාගම් සහ රාජ්‍යයන් එක්ව සම්බන්ධීකරණය කරන සහ නියාමනය කරන ගෝලීය ආර්ථිකයකි. මේ මහා සමාගම් යනු පුද්ගලික ප්‍රාග්ධනයේ මහා සමුච්චනය වීම්ය. ඒවාට මහජන නියෝජනය සමග කිසිදු සම්බන්ධයක් නොමැත. නමුත්, පසුගිය ලෝක ආර්ථික සම්මේලනය තුළ සාකච්ජාවට ලක් වූ ධනවාදයේ මහා ප්‍රත්‍යාරම්භය පිළිබඳ සංවාදය තුළ මයික්‍රොසොෆ්ට් වැනි මහා සමාගම්වලට දේශපාලනමය භූමිකාවක් රඟ දක්වන්නට ඇරයුම් කරනු ලැබ නොතිබේද? මෙය නූතන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මූලික වටිනාකම්වලට එරෙහිව යනවා පමණක් නොවේ. හක්ස්ලිගේ නිර්භීත නව ලොවෙහි මෙන් මහා ප්‍රාග්ධනයේ සෘජු පාලනයට සමාජය යටත් කිරීමක්ද වේ.

එක් අතකට, දේවල් දැනටමත් මේ දිශාවට ගමන් කරමින් නොතිබේද? ධනවාදයේ නව ස්වරූප පිළිබඳ කිසිදු සංවාදයක් නොමැති ශ්‍රී ලංකාවේ කොරෝනා යුගයේ ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය දෙස මදක් හැරී බලමු. දැන් මෙරට ආර්ථික ක්‍රියාවලිය තුළ පමණක් නොව දේශපාලන ක්‍රියාවලිය තුළද සෘජු ආධිපත්‍යයක් පැතිරවීමට පුද්ගලික මාධ්‍ය සමාගම් කිහිපයක්, කොන්ත්‍රාත්කාර ප්‍රාග්ධන හිමියන් කිහිප දෙනෙකු සහ දේශපාලන ප්‍රභූන් කිහිප දෙනෙකු සමත්ව තිබේ. මින් පෙර මෙවන් සබඳතා පැවතියේ හැංගි හොරා කරන දේ ලෙස නම්, දැන් ඒවා එළිපිටම කරන දේ බවට බවට පරිවර්තනය වෙමින් තිබේ.

අනෙක් වැදගත් ප්‍රශ්නය නම්, මේ නව තත්ත්වය තුළ ප්‍රධාන ධාරාවේ දක්ෂිණාංශික පක්ෂ අතර පවත්නා සාම්ප්‍රදායික බෙදීම් අතික්‍රමණය කොට නව මධ්‍යයක් නිර්මාණය වීමේ හැකියාවයි. එක්සත් ජනපදයේ දැනටමත් රිපබ්ලිකන් පක්ෂය ට්‍රම්ප් හිතවාදී පිල සහ ට්‍රම්ප් විරෝධී පිල වශයෙන් බෙදීමට ලක්වෙමින් තිබේ. එය එතරම් සුබවාදී නොවන ප්‍රවණතාවක්ද වීමට හැකිය. යම් හෙයකින් නව අධිකාරීවාදී ධනවාදී හැරීමක් අරමුණු කොටගෙන ට්‍රම්ප් විරෝධී රිපබ්ලිකන් පාර්ශවය සහ බයිඩන්වාදී ඩිමොක්‍රටික් පාර්ශවය අතර සම්මුතියක් නිර්මාණය වුව හොත් සිදු විය හැක්කේ කුමක්ද? එවිට පසෙකට තල්ලු කෙරෙනු ඇත්තේ ට්‍රම්ප්ගේ අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදය පමණක් නොවේ. කලෙක බර්නි සැන්ඩර්ස් වටා පෙළ ගැසුණු වාමාංශික ජනතාවාදී ප්‍රවණතාවද ප්‍රහාරයට ලක් වනු ඇත. ශ්‍රී ලංකාව තුළද මෙවන් නව “ආන්තික මධ්‍යයක්” නිර්මාණය වීමේ හැකියාවක් පවතින බව මගේ අදහසයි. (ආන්තික මධ්‍යය -extreme centre- යනු 1990 දශකයෙන් පසුව නව-ලිබරල්වාදී හැරවුම පදනම් කොටගෙන ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ අතර ඇති වූ නොනිල සම්මුතිය හැඳින්වීම සඳහා තරීක් අලි නමැති න්‍යායවේදියා විසින් ඉදිරිපත් කරණ ලද යෙදුමකි). ඒ ගැන මීළඟ ලිපියේදී සාකච්ජා කිරීමට බලාපොරොත්තු වෙමි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.