Colombo Telegraph

පසමිතුරුතා දේශපාලන චින්තාව සහ දෙබඩි න්‍යාය පාලුවන්

ගීතිකා ධර්මසිංහ

ගීතිකා ධර්මසිංහ

අද දවසේ ලිබරල් ධනවාදය අඛන්ඩව මතුරන මන්ත‍්‍රය වන්නේ ඔබ නොනැවතී පරිභෝජනය කරන්න යන්නත්, ලෝකය යහපත් තැනක් කරන්නට ඔබ සිතන්නේ නම් ඒ සිතිවිල්ල මුදුන්පත් කරගැනීම වෙනුවෙන් වග වීමට අප විසින් කැමතිය යන්නත්ය. මෙම ධනවාදී චින්තනය විසින් සමාජයට කර ඇති අර්බුදය පිළිබද අදහස් දක්වන සැලොවොයි ශීෂෙක් විසින් පවසන්නේ මිනිස් චින්තනය නම් වූ චින්තනය වෙන කවරදාටත් වඩා අවැසි යුගයකට අප පිවිස ඇති බවයි. එනම් ඉන් අදහස් කෙරෙන්නේ වාමාංශික හා දක්ණාංශික වශයෙන් වූ චින්තනමය දෙබෙදුම තීරණාත්මක අර්බුදයකට ගොස් ඇති තතු යටතේ මෙම වෙනස් නිමේශය වටහා ගැනීමේ නව චින්තනමය ක‍්‍රියාකාරීත්වයක් අත්‍යාවශ්‍ය වන බවයි. අපගේ හාත්පස පරිසරය දෙස බලන්න. කන බොන රමණය කරන ජන ඝනත්වයක් හැරුණු විට අනෙකා සමග වන මිනිස් සුසංවාදයන් දක්නට ඇත්තේ අතිශය අඩුවෙනි. චින්තනමය බෙදුම් රේඛා බොඳවී ඇත. සංවාද හා දර්ශනයන් වලපල්ලට යා යුතු බවත් අවශ්‍ය වන්නේ වැඩ කිරීම බවත් නිරන්තරයෙන් ඇසෙනු ලැබෙයි. මින් අදහස් කරන්නේ අප තව දුරටත් සිතීම නතර කළ යුතු බවයි. මන්ද ධනවාදය රජයන ගෝලීය රෙජීමයන් මෙන්ම අවර ගනයේ වෙසෙන වැඩ වසම් රෙජීමයන්ගෙන් යටත්ව ඇති අප වැනි රටවල්ද සියලූ ප‍්‍රශ්න අපට වඩා ඉහළින් සිටින බලවතෙකුට විසඳිය හැකි බවටත් ඒ සඳහා අවශ්‍ය වන්නේ හැකි තරම් පරිභෝජනය කිරීමත් බවත් පසක් කරගනිමින් සිටින බවත් පෙනෙයි. එනම් මා ඇතුලූ මගේ අවට පාලනය කිරීමට තවදුරටත් මගේ චින්තනමය ක්ෂතිජය පුළුල්කර  ගත යුතු නැත.

1990 වන තෙක්ම ලෝකයේ වම සහ දකුණ අතර පැහැදිලිව හදුනා ගත හැකි වූ වෙනස්කම් තිබුණි. එම කාලය වනතෙක් වමට අදාල වූ චින්තනයන් දකුණ විසින් එසේත් නැත්නම් ධනවාදය අගයන්නන් විසින් කුලියට ගත්තේ නැත. දේශපාලනික සාකච්ඡුාවලදී දුක් විඳින  ජනතාව, වැඩ කරන ජනතාව ගැන කතා කළේ දේශපාලනිකව පන්තිමය සහ සමාජ අනන්‍යතාමය වශයෙන් ඇති අසමාන තත්වයන් හුවා දැක්වූ වාමවාදීන්ය.  ඔවුන් කතා කළේ සමස්ත ක‍්‍රමයම පරිවර්තනය කිරීමක් ගැනයි. සියල්ලන්ටම අසමාන නොවන ලෙස අතිරික්ත වටිනාකම බෙදී යන වට පිටාවක් වෙනුවෙනි. 1990 බර්ලින් තාප්පය කඩා දැමීමෙන් මෙම දෙබෙදුම තවදුරටත් නොපවතින බව සංකේත කෙරෙණි. එම වෙනස දේශපාලන, සංස්කෘතික සහ මතවාදී ක්ෂේත‍්‍රවල සලකුණු කෙරෙණි. විශේෂයෙන්ම අධ්‍යාපනය වැනි ක්ෂේත‍්‍රවලත් එහි බලපෑම නොවැලැක් විය හැකි විය. නිදසුනකට අද වන විට ගෝලීය විශ්ව විද්‍යාල බොහොමයක මානව ශාස්ත‍්‍ර විද්‍යා සහ දර්ශනය හදාරන දෙපාර්තමේනතු අඛන්ඩව වැසෙමින් පවතී. වැඩි වශයෙන් ආර්ථික සහ විද්‍යා අංශ දියුණූ කෙරෙමින් පවතින අතර තරග’ය ඇත්තේ මෙම තලයන්හි කොඩිය ගැසීම වෙනුවනි.

නව ලිබරල් ධනවාදයේ දෙවෙනි ඉනිම සලකුණු කර ඇති වත්මන් දේශපාලනික මෙන්ම සමාජ තත්වයන් විසින් බොහෝ දේ වෙනස් කරමින් පවතී. ධනවාදී බලවතුන් වන බිල් ගේට්ස්,  මර්ඩොක්, කාර්ලොස් සිලිම් හෙලූ වැනි අය දුක් විදින ජනයා ගැන කතාකරන්නට පටන් ගෙන තිබේ. ඔවුනට අනුව ආඛ්‍යානය මෙසේය. අප ධනවාදය අගයන්නන් සහ සමාජවාදය අගයන්නන් ලෙස දෙපිළ බෙදී සිටිය යුතු නැත. එය කාලය නාස්ති කිරීමකි. අප‍්‍රිකානු මහද්වීපවල සිටින බොහෝ ජනයා සාගින්නෙන් දුක් විදී. එනිසාවෙන් අප ඔවුන් පිළිබද වග බලා ගත යුතුය. අවශ්‍ය කරන්නේ ඔබ හැකි තරම් පරිභෝජනය කිරීමයි” මන්ද ඔබගේ පරිභෝජනය වැඩි වන විට දුප්පත් ජනයා රැක බලා ගැනීමේ හැකියාව වැඩිවේ. එය ඔබගේ පරිභෝජනයට සාපේක්ෂය. උදාහරණයක් ලෙස ඔබ බොන කෝපි කෝප්පයකට වැඩි මුදලක් ගෙව්වද ඒ පිළිබද’ කණගාටු විය යුතු නැත. මන්ද ඉන් සියයට එකක් තුන්වන ලෝකයේ රටවල දුක් විදින ජනයා වෙතට යයි. තවත් සියයට එකක් ළමයින් වෙනුවෙන් වෙන් කර ඇත. තවත් සියයට එකක් රාජ්‍ය නොවන සංවිධාන කෙරෙහි වෙන් කර තිබේ. ඔබ පරිභෝජනය කරන්න, ඔබට දුක් විදින ජනයා ගැන දුකක් ඇත්නම් හෝ අනවශ්‍ය තරම් මුදල් ඉපයීම පිළිබද’ කුහුලක් ඇත්නම් එම පීඩා විදින ආත්මීය කොටස අපට දෙන්න, ඒ පිළිබද’ ඔබ වගකිව යුතු නොවේ. මේ අද දවසේ ධනවාදී වෙළදපල විසින් අපට මතුරන මන්ත‍්‍රයයි. මෙම තත්වයන්ගෙන් අපට කියා සිටින්නේ කුමක්ද? එනම් අප තුළ වන අනෙකා ගැන වදවන ආත්මීය කොටස තවදුරටත් පවත්වා ගැනීමේ නැතිනම් තබා ගැනීමේ උවමනාවක් ජනිත නොවන තරමට ධනවාදී වෙළද’පල අපව මිලට ගෙන ඇති බවයි.

හදවතේ යහපත් කොටස් මෙලෙස විකිණිම සඳහා වෙන්කර ඇති බවත් වෙනදා තිබු චින්තනමය දෙබෙදුම් බොඳ වී ඇති ඇති බවත් පෙනෙන උදාහරණ ඕනෑ තරම් අප හමුවේ ඇත. යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් රාජපක්ෂලාව ආරක්ෂා කළ යුතු යැයි කී වික්ටර් අයිවන්, දයාන් ජයතිලක, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ වැනි බොහෝ වාමවාදීන් සිය ස්ථාවරයන් සාධාරණීකරණය කළේ මෙම හදවතේ වාම කොටස රාජපක්ෂලාට අමු අමුවේ පරිභෝජනය කරන්නට දෙමිනි. මෙම ස්ථාවරයන් බහුතරයාගේ හිත සුව පිණිසය. එය විරෝධය ( Offensive)සඳහා නොව ආරක්ෂාව (Defensive) වෙනුවෙනි. එනම් අපි අවි අතට ගන්නේ අපිව ආරක්ෂා කරන්නට මිසක් අනෙක් අයට හිංසා කරන්නට නොවේ යැයි කියන සරල තර්කයයයි. 18වන සංශෝධනයට සහාය පළ කළ ආකාරයටම මෙම වාමවාදීන් 13 වන සංශෝධනයටද සහාය පල කරයි. එහෙත් මොවුන් නොදන්නේ 18 විසින් කළ දෙයෙහි විරුද්ධාභාසය 13 බවය. මෙම තත්වයන්ගේ හොඳක් සිදුවී ඇති බව පෙනෙයි. එය නම් ඔවුනට ඕන එකකට එකඟ වීමේ හැකියාව ඇති චින්තනයම විමුක්තිය ලැබී තිබීමයි.

බොහෝ විශ්ලේෂණවලද මෙවැනිම ලෙසට පතල මහා කරුණාවෙන් දුක්විදින ජනයාට විමුක්තිය දීම වෙනුවෙන් සැදි පැහැදී සිය ආස්ථානයන් ගොඩ නගා ඇති බව දක්නට ලැබෙයි. මෑත කාලීනව විදුලිබිල ඉහළයාම පිළිබඳව  ආණ්ඩුවට ආර්ථික උපදේශ සපයන Path Finder විසින් 2013 මැයි 13 දක්වන ලද ලිපියක විදුලි බිල ඉහළ දැමීම දුප්පත් ජනයා අනාගතයේදී අර්බුදයට යාම වැලැක්වීමක් බවත් එම නිසා ඊට විරුද්ධ වන්නන් දුක් විදින ජනයා ගැන නොසිතන නිසා මෙම ඉහළ දැමීම්වලට එකඟ නොවන බවත් දක්වා ඇත( එපමණක් නොව ලෙනින්වද උපුටා දක්වමින් එහි සදහන් කර ඇත්තේ ලෙනින්ද විදුලිය සහ තෙල් ජාතියක පදනම් ලෙස සැලකූ බවයි. ලෙනින්ගේ දේශපාලනය ගැන වගේ වගක් නැති මොවුන්ව මට අනුව නම් හැඳින්විය හැක්කේ දෙබඩි න්‍යාය පාලුවන් ලෙසය. මොවුනට මෙලෙස කරන්නට හැකිව ඇත්තේ කෙසේදැයි නැවත නැවතත් සිතිය යුතුය.

මෙම දෙමුහුම්වීම් එක් අවකාශයකට පමණක් සීමා වී නොමැත. කෙසේවුවද එකිනෙකට වියුක්ත වූ සිතිවිලි පැවැත්මවල් නැති බවත් මුහුවීම අවශ්‍ය බවත් කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් මෙම මුහුවීම් මගින් සිදුකරන හානිය  සුළුවෙන් ගත නොහැකිය. මන්ද මෙම දෙමුහුම්ගත සිතීම් අහිංසක නොවන නිසාවෙනි. අනෙකා නොඉවසන සමාජයක් අප අභිමුඛ වී ඇත. සියලූ හිංසනයන් සාධාරණීකරණය වන අවකාශයක් නිර්මාණය කිරීමට මෙම තත්වයන් මගින් ඉඩ හැර තිබේ. එය බහු සංස්කෘතිකවාදයන් පිළිගන්නා නිසා එක් එක් සංස්කෘතීන්හි ඇති හිංසනයන්ද පිළිගන්නට කියන්නාක් මෙනි. මින් පෙන්නුම් කරන්නේ පසමිතුරුතා දේශපාලන චින්තාව ගැන යළියළිත් සිතා බැලිය යුතු නව යුගයකට අප සේන්දු වී ඇති බවයි. අප හදවත්හි ඇති යහපත්ම කොටස ලාභ වෙළඳපල තුළ විකුණන්නට තබා තිබෙන විට ඒ දෙස බලා සිටිය හැති හදවතේ අනෙක් කොටස කුමක්ද?’

Back to Home page