19 April, 2024

Blog

නපුරැ මෛත්‍රී, නපුරු සිහිනයෙන් ඇහැරෙන්න!

ගෘෂා ඇන්ඩ්රූස්

“දසිස් දිනාරුපු රජුන් නසා  ලොව තෙදින් තමානතු කලෙම් මෙමා 

එද, එවන් ලොවින් ලද දිනූ දෙයක් වේදතවත් එවන් රුපු කලක් විනා  ~ කුමාරදාස සපුතන්ත්‍රී  

(මිනිසුන් දහස් ගණනකගේ හිස ගසා දමා සතුරු වූ රජුන් මරා දැමුවෙමි. තේජසින් ලොව නතු කර ගත්තෙමි. එසේ වුවද එවන් ලොවක වුව මා දිනුවේ කුමක්ද? මා විසින් මරා දැමු සංඛ්‍යාවට සමාන නව සතුරන් කැළක් පමණි” )

Sirisena

ටී.බී. ඉලන්ගරත්නයන් විසින් රචිත අඹ යහළුවෝ ළමා නවකතාව වැනි ඉතා සරල පොතක් කියවා ඇති ඉතා සාමාන්‍ය මනුෂ්‍යයකුට වැටහෙන අකාලික සත්‍යයක් ඇත. සුනිල්- නිමල්  වැනි මනුෂ්‍යත්වය ප්‍රගුණ කරන නොදරුවකුට වුවද මෙලොව බලාපොරොත්තු සහගත තැනකි. නපුරු මෛත්‍රී කතාව අවසානයේ දිනන්නේ නැත. ඒ මෙලොව අපට නතු කර ගත නොහැකි, පාලනය කළ නොහැකි සොබා දහමෙහි ප්‍රවාහයකට අප සැම යටත් වන බැවිනි. 

අඹ යහළුවෝ පොතෙහි නපුරු මෛත්‍රී ගෙන් කාහටවත් සැබෑ දොසක් නැත. පොත වසා දැමු පසු, නපුරු මෛත්‍රී නිහඬ වෙයි. සැබෑ ජීවිතයේ නපුරු මෛත්‍රී කෙනෙක් තමා ආදී කල්පික රජෙකු යයි සිතා ගෙන සැබෑ ලෙසම කඩුවක් අතට ගෙන පුරවැසියාගේ ගහලයා ගේ චරිතයට පණ පොවන්නට සූදානම් වීම භයානක තත්ත්වයකි. එය සැබෑ දේශපාලන ඛේදවාචකයකි. මේ ගත වන්නේ මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීම සමග නිශ්චිතවම සනිටුහන් වන මෛත්‍රිපාල සිරිසේනගේ දේශපාලන පාරාජිකාවෙහි උච්චතම අවස්ථාවයි. 

කෙසේ මරමුද? 

මරණ දඬුවම දීම සඳහා ලෝකයේ භාවිත කරන ක්‍රම වල ලයිස්තුවම ඕනෑම ශිෂ්ට මිනිසකුට එය එපා කරවයි. දැනට හඳුනා ගෙන ඇති ක්‍රම වන්නේ පහත සඳහන් ඒවාය.

ප්‍රාණය නිරුද්ධ වන තෙක් එල්ලා තැබීම: ඇෆ්ඝනිස්තානය, ඉරාන, ඉරාකය, ජපානය, මැලේසියාව , පලස්තීනය, යෙමෙනය, ඊජිප්තුව , ඉන්දියාව, මියෙන්මාරය, සිරියාව, සිම්බාබ්වේ, ලයිබීරියාව, චැඩ්, ඇමෙරික එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තය. 

වෙඩි තබා මරා දැමීම: චීනය, වියෙට්නාමය, බෙලරූසය, උතුරු කොරියාව, ඉන්දුනීසියාව, යෙමෙනය, ඇමරිකා එකසත් ජනපදයේ යූටා සහ ඔක්ලොහොමා ප්‍රාන්ත. 

මරණීය විෂ එන්නත් කිරීම: ඇමරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්ත, ග්වාතමාලාව, තායිලන්තය, චීනය, වියෙට්නාමය 

අධි වෝල්ටේජ් විදුලි සැ වද්දවා මරා දැමීම/විෂ වායු අඝ්‍රාහනයෙන් මරා දැමීම:  ඇමරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්ත – මෙය සිදු කරනුවේ මරණ දඬුවමට පත් වන්නා ගේ ඉල්ලීම පරිදි හෝ මරණීය විෂ සපයා ගත නොහැකි අවස්ථා වලදීය) 

හිස ගසා දැමීම: සවුදි අරාබිය. 

මරණ දඬුවම නෛතික මෙවලමක් ලෙස පවත්වාගෙන යනු ලබන රටවල් පවා එය සැබවින් ම භාවිතා කරන්නේ ඉතා අල්ප වශයෙනි. ඊට උදාහරණයන් වන්නේ සිංගප්පූරුව සහ තායිවානයයි. 2008 නොවැම්බර් සිට 2013 මාර්තු දක්වා ඉන්දුනීසියාවේ මරණ දඬුවම භාවිතා කර නැත. ලොව සංවර්ධිත රටවල් අතර මරණ දඬුවම භාවිතා කරනු ලබන්නේ ජපානය, ඇමරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්ත සහ සිංගප්පූරුව පමණි. මරණ දඬුවම සැබවින්ම භාවිතා කරනු ලබන බහුතරයක් රටවල් අප්‍රිකාවේ, ආසියාවේ හෝ කැරිබියන් දූපත් වලට අයත්ය. ඒවා ආඥාදායකයින් විසින් පාලනය කරනු ලබන හෝ පාලිත රටවල් වන අතර එය බොහෝ විට දේශපාලන සතුරන් මර්දනය කිරීමේ මෙවලමක් ලෙස භාවිතා වෙයි. යම් රටක් යුරෝපා සංගමයේ හෝ යුරෝපා කොමිසමේ සාමාජිකත්වය අපේක්ෂා කරයි නම් මරණ දනුවම නෛතික මෙවලමක් ලෙස භාවිතා කිරීම අහෝසි කළ යුතුය. 

තවත් එවන් රුපු කැළක් විනා 

බෙලහීන පුරුෂයෝ කෲර පුරුෂයෝ වෙති. මෙය ලිංගික බෙලහීනත්වයෙන් පටන් ගෙන, සමාජයීය, ශාරීරික, වෘත්තිමය, දේශපාලනික බෙලහීනත්වය දක්වා දිවෙන මනෝ විද්‍යාත්මක සංකල්පයකි. තමා විසින් ක්‍රමක්‍රමයෙන් වර්ධනය කර ගත ස්ථාවර මානසික, සමාජයීය හෝ දේශපාලනික ප්‍රාග්ධනයක් නොමැති, මානසික සුරක්ෂිතතාවය අඩු මිනිසුන් තමාට වඩා දුර්වල පුද්ගලයන් කෲරත්වයට භාජනය කිරීමෙන් සිය ප්‍රතිරූප පුම්බා ගනිති; තමා වෙත නොමැති බලයක් ආරෝපණය කර ගනිති; තමාගේ බෙලහීනත්වය කෲරත්වයෙන් වසා ගැනීමට තැත් කරති. කෲරත්වය යනු සැබවින්ම සිය දුර්වලත්වයේ ගංවතුරට ගසාගෙන යන බෙලහීනයකු ගොස් එල්ලෙන අවසන් පිදුරු ගසයි. 

ශූර, මානුෂීය දක්ෂ නායකයෝ, සිය ජනතාවගේ සහ සිය ජන සමාජයේ යතාර්ථය දකිති. සමාජයේ අධ්‍යාත්මික දුර්වලතාවයන් හඳුනා ගනිති. ඒවාට පිළියම් සොයති. ශිෂ්ට සමාජයක ජන නායකයෙක් සිය පුරවසියකුගෙන් උදුරා ගතහොත් නැවත කිසිදා නොදිය හැකි ජීවිතය නොඉල්ලති. මරණ දඬුවම ක්‍රියාත්මක වන ඇමරිකා එක්සත් ජනපදයේ සෑම මාස කිහිපයකට වරක් ගිනි අවියක් දැරූ පාසල් දරුවෙක් හෝ තරුණයෙක් නිරායුධ අහිංසකයන් රැසක් සමුල ඝාතනය කරයි. ඔවුන්ට මරණ දඬුවම දුන්නද, නැවත මාස කිහිපයකින් වෙනත් අයකු අතින් එම සංසිද්ධිය නැවත සිදු වෙයි. 

මෛත්‍රිපාල සිරිසේනගේ බොළඳ තර්කය කෙබඳුද? ඔහු මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට හේතුව වශයෙන් දක්වන්නේ මත් ද්‍රව්‍ය ජාවාරම කරුවන් මරණ දණ්ඩනයට නියම වූ පසුද බන්ධනාගාරය තුළ සිට එම ජාවාරම පවත්වා ගෙන යාමයි! රටක විධායක ජනාධිපතිවරයකුගේ මුවින් නොකිවයුතු ආකාරයේ ඛේදජනක ප්‍රකාශයක් නිකුත් කළ ඔහු තමාගෙන්ම එක ප්‍රශ්නයක් ඇසිය යුතුය. 

මීගමුවේ කුඩු ලන්සා හෙවත් නිමල් ලන්සා ගේ නිවාස මත් කුඩු ජාවාරම සම්බන්ධයෙන් පොලිසියෙන් වැටලු අවස්ථාවේ මෛත්‍රිපාල සිරිසේනගේ පරම සතුරා වන මහින්ද රාජපක්ෂ එතනට පැමිණ ලන්සාගේ දෙකොපුල සිප ගත්තේ මාරියෝ පුසෝ ගේ ගෝඩ් ෆාදර් (God Father) චිත්‍රපටය සිහිගන්වමිනි. මුළු මහත් සමාජයක වෛරයට සහ දෝෂ දර්ශනයට මහින්ද රාජපක්ෂ පාත්‍ර කිරීමට එම තක්කඩිකම සමත් විය. රාජපක්ෂගේ දේශපාලන මරණයේ ප්‍රතිමාව සෑදී තිබුනේ මෙම සිද්ධිය වැනි කුඩා ගල් කැට වලිනි. නමුත් මෛත්‍රිපාල සිරිසේන අප සියලු දෙනාට ලන්සාගේ සැබෑ දෙවු පියා (God Father) කවුදැයි පසක් කරමින් යහපාලන ජනාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධූරයක් ලන්සාට ප්‍රදානය කළේය. 

මෛත්‍රිපාල සිරිසේන මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලබන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිවද නැද්ද යන ප්‍රශ්නයට මා පිළිතුරු දී ඇති සිතමි.

මරණ දඬුවම යනු ජීවිතය උදුරා ගැනීමකි. එය රාජ්‍යත්වය පිලිබඳ සදෘෂ්ටික සහ සවිඥානික රාජ්‍ය පාලකයකු විසින් කිසිසේත් නොකළ යුතු දෙයකි. ජාතියක ආධ්‍යාත්මය දූෂණය කරන රාජ්‍යය විසින් රටවැසියාගේ ජීවිතය උදුරා ගැනීම නොව, මරණ දඬුවමට සුදුසු වන ආකාරයේ සමාජ පිරිහීමෙන් ජාතිය ගලවා ගැනීම රාජ්‍ය නායකයකුගේ වගකීමයි. මහා බ්‍රිතාන්‍යයේ මරණ දඬුවම දීම අත් හිටුවන්නේ 1950 වසරේදී සිය අසල්වැසියන් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සාවද්‍ය ලෙස වරදකරු වන විසිපස් හැවිරිදි තිමති එවන්ස් නම් තරුණයා මරණ දඬුවමට ලක් කළ පසුය. එසේ ඔහුගේ ජීවිතය රාජ්‍යය විසින් තොර කළේ වැරදීමකින් බව සනාථ වීමෙන් පසුව මහා බ්‍රිතාන්‍යයේ මරණ දඬුවම දීම අත්හිටුවනු ලැබීය. සාවද්‍ය ලෙස එක ජීවිතයක් හෝ රාජ්‍යය විසින් තොර කිරීමට ඇති අවධානම පමණක් ම මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමට සෑහෙන හේතුවකි. මතුපිටින් බලන විට ස්ත්‍රීන්ට එරෙහි ලිංගික අපරාධකරන්නන්, ළමා අපචාරකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හට මරණ දඬුවම දීම සාධාරණීකරණය කළ හැකි වුවද කිසිදු අපරාධ විද්‍යාත්මක සාක්ෂියකින් එවැනි දඬුවමක් නිසා අපරාධ අඩුවන බවට තහවුරු නොවෙයි. රාජ්‍යයක පරම ආධ්‍යාශය විය යුත්තේ ජනතාව වෙත යුක්තිය ප්‍රදානය කිරීමය. මෙය නූගතුන් ජනාධිපතියන් වන තුරුම ශ්‍රී ලාංකිකයන්ට නොලැබෙන සැපතක් වනු ඇත. 

මිනිසුන් මරණය තුලින් යටපත් කිරීමෙන් ලැබෙනුයේ මරණයට පත් කළ මිනිසුන් ගණනට සමාන වෛරයෙන් තැවුණු එවැනිම සමාජ විරෝධී සතුරු කැළකි. චණ්ඩාශෝක අධිරාජ්‍යයාගේ සිට වේලුපිල්ලේ ප්‍රභාකරන් දක්වා සියලු මනුෂ්‍ය ඝාතකයන් හිස් සිඳීමෙන් වෛරය, අපරාධ හෝ මනුෂ්‍ය පැවැත්මෙහි තාපය නොසිඳෙන බව අපට යලි යලිත් සාක්ෂාත් කර ඇත. 

සිය දේශපාලන අධ්‍යාත්මය සහ යහපාලන ජීවගුණය නිර්ලජ්ජි ලෙස පාවා දී රාජපක්ෂවරුන් ගේ මානසික වහලෙකු ලෙසින් හැසිරෙන මෛත්‍රිපාල සිරිසේන විසින් මේ පෙන්නුම් කරන්නේ ඔහුගේ දේශපාලන අනාථ භාවයයි. මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනයේ මුවාවෙන් පටන් ගෙන සිය දේශපාලන ප්‍රතිමල්ලවයන් හට සිය සිහසුනෙහි බලය පෝරකය පෙන්වා ඔවුන් යටත් කර ගැනීමට තරම් ඔහු බංකොලොත් වී ඇත; නිර්-ප්‍රජාතාන්තික වී ඇත. 

රිසානා මතකද? 

මරණ දඬුවම යලි පණ ගැන්වීම තුලින් සිය බෙලහීන ප්‍රතිරූපය පුම්බා ගැනීමට හෝ ගොටාභය රාජපක්ෂ බය කිරීමට හෝ මරණ දඬුවම නමැති දිරා පත් මකුළු දැලෙන් 2020 දුවන මුවා අල්ලා ගැනීමේ බොළඳ සහ කෘර ප්‍රයත්නයක් දියත් කරන මෛත්‍රීපාල සිරිසේන රිසානා ගේ නම සිටියට ගත යුතුය. ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසාන වටයට ශ්‍රීලංකාව පැමිණි විටක හැරුණු කොට මේ මුළු මහත් ජාතියම එක සේසත් වුණු එක දිනක් විය. එනම් සෞදි අරාබියේදී සිය ස්වාමියාගේ බිලිඳු දරුවා තමා අතින් කිරි සිරවීම නිසා මිය ගිය විට බිය පත්ව කලබල වූ රිසානා නමැති ශ්‍රී ලාංකික මුස්ලිම් ගෘහ සේවිකාව එම බිලිඳා ගේ සිරුර යම් ස්ථානයයක සැඟවීම හෙළි වීමෙන් පසු සෞදි අරාබි අධිකරණය විසින් මරණයට පත් කළ අවස්ථාවයි. 

අපගේ සේවිකාවකගේ රැකවරණයේ තබා ගිය අපේ දරුවකු එසේ අබිරහස් සහ පිළිගත නොහැකි ආකාරයට මරණයට පත් වුව හොත් අප වුව මහත් වෛරයෙන්, ක්‍රෝධයෙන් යුක්තිය ඉල්ලා සිටිනු ඇත. එවැනි දෙයක් කිරි බොන ළදරුවකුට සිදු කළ මෙහෙකාරියකුට මවක් කෙසේ සමාව දෙනු ඇතිද? පියෙක් කෙසේ සමාව දෙනු ඇතිද? නමුත් රිසානාගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රීලංකාවේ ප්‍රතික්‍රියාව කෙසේ වීද? එය අපට සිදු වූවා නම් අප සමාව දෙනු ඇතිදැයි ප්‍රශ්න කළ කිසිවකු ශ්‍රී ලංකාව තුළ නොවීය. මුළු මහත් ජන සමාජය විසින්ම රජයයට බල කර සිටියේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමෙන් රිසානාව ගලවා ගන්නා ලෙසය.  

ශ්‍රී ලාංකික සමාජයේ සංස්කෘතික හද ගැස්ම එවැනිය. මරණ දඬුවම දේශනා කරන ඉස්ලාම් දහමට අයිති යෝනකයකුවත් ශ්‍රීලංකාව තුළ කෲර මරණ දණ්ඩනය පිලි නොගනිති. ඒ ඔවුන් අවිහිංසාව බහුලව පුද දෙන ශ්‍රී ලාංකිකයන් වන බැවිනි. ශ්‍රී ලංකාවේ සමස්ත හද ගැස්ම එවැනිය. ඔවුහු දරුවකු මළ ද එම මරණයේ සොව තවත් මරණයකින් සන්තර්පණය කළ හැකිය යන තැන නොසිටිති. 

කලම්බු ටෙලෙග්‍රෆ් කතෘ උවිඳු කුරුකුලසූරිය සිය පෞද්ගලික ෆේස් බුක් පිටුවෙහි මෛත්‍රිපාල සිරිසේනට අභියෝග කර තිබු ආකාරයට එක අයෙක් මරණ දඬුවමින් මරා දමා මුළු මහත් සමාජයක් තම හිස මත කඩා වැටි තමා ගේ කෲරත්වය විසින්ම තමාව කුඩුපට්ටම් කරන ආකාරය තමාගේ පණ තිබියදීම බලා ගැනීමට ජනාධිපතිවරයාට හැකි වනු ඇත. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම මෛත්‍රිපාල සිරිසේන විසින් තමා වෙතම පනවා ගන්නා දේශපාලනික මරණ දඬුවමක් වනු ඇත.

නපුරු මෛත්‍රීට පණිවුඩයක් 

ඔබට තේරෙන ව්‍යවස්ථාවක් නැත. ඔබ ගරු කරන යහපාලනයක් නැත. ඔබ විසින් රටේ ජන විඥානය තුලින් ප්‍රජාතන්ත්‍රවාදයට සහ ජනසම්මුතිවාදයට කෙරෙහි තිබූ අවසාන බලාපොරොත්තුවේ සුසුම් පොද සොරා ගෙන අවසානය.

ඔබ ගොටාභය රාජපක්ෂට බයය.

ඔබ මහින්ද රාජපක්ෂට බයය. 

ඔබ ඔබගේ අගමැති රනිල් වික්‍රමසිංහ ටද බයය.

ඔබ ශිරන්ති රාජපක්ෂට බයය. 

ඔබ චෞර දේශපාලන විකටයකු වන නාමල් රාජපක්ෂට පවා බයය. 

ඔබ ඔබේ දරුවන් ගේ සහ බෑණාගේ ආර්ථික පාප කර්ම වලට බයය. 

ඔබට බලය නැති දින ඔබේ වංචනික දරුවන්ගේ ජීවිතය ජයග්‍රාහකයන් අතට පත් වන දැලි පිහියක් බව ඔබ දනියි. ඔබ බය අතික්‍රමණය කරන්නට තැත් කරන්නේ සමාජයෙහි අලුගෝසුවා වශයෙන් සිංහාසනාරූඪ වීමට තැත් කිරීමෙනි. ඔබගේ අධ්‍යාත්මික බංකොලොත්භාවය එතරම් ම සුවිශාලය. පෝරකයට ගෙන යන සිරකරුගේ මුහුණ වසන දළ රෙදි කඩින් ඔබේ දේශපාලන නිරුවත වසා දැමිය නොහැකිය. නපුරු මෛත්‍රී, සියල්ල නවතා, අඹ යහළුවෝ කියවන්න. ඔබ කෙතරම් පරාජිතයකු දැයි එම ළමා කතාව කියවා හෝ වටහා ගන්න. ඔබ ඔබේ නපුරු සිහිනයෙන් ඇහැරෙන්න ! මේ නපුරු සිහිනෙන් අපටද ඇහැරෙන්නට ඉඩ දෙන්න. 

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    එල්ලුම් ගහ නෙමෙයි ජනාධිපතිතුමාගේ අවධානයට වෙන දෙයක් තියෙනව. වහාම OMP එකේ සභාපති අධිනීතිඥ සාලිය පීරිස් ඒ තනතුරෙන් ඉවත් කරන්න ඕනේ.
    සාලිය පීරිස් ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී හිටින නීතිඥයෙක්. ඔහු අයියර් ශ්‍රීස්කන්ධරාජා කියන ත්‍රස්තවාදියා වෙනුවෙන් පෙනී හිටිය. එහෙම කෙනෙක් අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ සභාපති තනතුරේ කටයුතු කිරීම ඉතාම අගතිගාමියි.
    අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට අරන් එන බොරු චෝදනා වලදී හමුදාව වෙනුවෙන් සාලිය පීරිස් යුක්තිය ඉෂ්ඨ කරයි කියලා කිසි විශ්වාශයක් නැහැ. ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී හිටින මිනිහෙක් කොහොමද ස්වාධීන තීරණ දෙන්නේ? මොහන්ති ඇර ඒ කොමිසමේ ඉන්න ඔක්කොම හමුදාවට විරුද්ධව එළියේ වැඩ කරපු NGO කාරයෝ.
    සාලිය පීරිස් අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ සභාපති තනතුරින් වහාම ඉවත් කල යුතුයි. ත්‍රස්තවාදීන් වෙනුවෙන් උසාවියේ පෙනී සිටින ඔහු එම තනතුර දැරීම නීති විරෝධියි. සදාචාර විරෝධියි. අගතිගාමියි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.