26 April, 2024

Blog

ඔබ ස්ත්‍රී සිත් පෙන්වූවා වෛෂ්ණාවී – මනෝසාමාජික කියවීමක්

ප්‍රසාද් මොහොට්ටි

ප්‍රසාද් මොහොට්ටි

සුමිත්‍රා පීරිස් නම් ඇය බොහෝ විට  හඳුන් වන්නේ, සිංහල සිනමාවේ කවිකාරිය ලෙසය. (Poetess of Sinhala Cinema. ) ලෙස්ටර් රේකාව, නිධානය, කලි යුගය, යුගාන්තය මගින් සිංහල සිනමාවේ ගල් කනු ඉඳි කරන විට, සුමිත්‍රා ගැහැනු ළමයි, ගඟ අද්දර, සාගර ජලය, යහලු යෙහෙලි වැනි නිර්මාන තුලින් ලාංකීය ගැහැනිය ගැන  සිනමාවේ  කවි කම් කරන්නීය. වෛෂ්ණාවී (The Goddess) තුලින් ඉතාම පරිනත සහ සංකීර්න සංකේත භාවිතා කරමින් සුමිත්‍රා ආසියාතික ගැහැනිය  ස්ත්‍රිවාදය තුල පිහිටවයි.

වෛෂ්ණාවී චිත්‍රපටය පදනම් වෙන්නේ එක්දාස් නමසීය තිස් ගන්න වල දකුනේ ජීවත් වූ රූකඩ කර්මාන්තයේ නියැලුන පවුලක් වටාය. ඔසඳා නම් අනාත තරුණයා (තුමිඳු දොඩම්තැන්න) සිය මාමා වන ආදිරිස්ගේ (ජයලත් මනෝරත්න ) ගුරු හරුකම් ලබමින් පරම්පරා උරුමයෙන් එන රූකඩ කලාව ප්‍රගුන කරයි.

කාන්තාවන් දෙදෙනෙකි. මිත්තනිය (අයිරාංගනී සේරසිංහ) සහ ඔසඳාගේ නෑනා වන රුචිරා නම් නව යොවුන් යුවතියයි.

රූකඩ තැනීමට ගස් කැපීම, රූකඩ නෙලීම, රූකඩ වලට ඇඳුම් නිර්මානය, සහ රූකඩ නැටවීම අතිෂයින්ම පිරිමින් විසින් කරනු ලබන කටයුත්තකි. ඔසඳාගේ මානසික අවෂ්‍යතා (බලය සහ අනසක පැවැත්වීම) සඳහා අවකාශය රූකඩ මඩුව තුල නිඹදව පවතී. කපා කොටා හැඩ දැමීමටත් නැටවීමෙත් බලය ඔහු සතුය. ඒ නිසා සුන්දර යුවතියක් වූ රුචිරාගේ අනුරාගී හැඟවුම් කාරකවලින් පිරුන නිවසට වඩා රූකඩ මඩුවට ඔහු වඩා ප්‍රිය කරයි.   

ඉතිහාසය තුල පරිසරය තමාට උවමනා ආකාරයට වෙනස් කර ධනය උපද්දවනේ, දේපල අයිතිය ගොඩනගන්නේ පිරිමින්ය. ගැහැනිය ඔහුගේ “ඕනැ එපා කම්” බලා ගෙන දරුවන් බලා කියාගෙන ජීවත් වේ.

පිරිමින්ට ආදරය සහ ආහාර  දෙමින් ස්ත්‍රී තොමේ සතුටින් සිටන බව පෙන්වයි. 

නමුත් මේ ආකාරයට කුටුම්භ ජීවිතය සහ ස්ත්‍රී පුරුශ සම්බන්ධතා ගැටුම් වලින් තොර විය හැකිද? ගැහැනිය සොයන මිනිසා සහ මිනිසා සොයන ගැහැනිය අපට සැබෑ ජීවිතයේ හමු වේද?

චිත්‍රපටය පුරාම සකච්චාවට බඳුන් වන්නේ මෙම සදාතනික ප්‍රශ්නයයි.

කුටුම්භය කැලඹීමට ලක්වන්නේ ධනවත් නාගරික යුවතියක් වන ලක්ෂ්මී ඔසඳාට යොජනා කිරීමත් සමගය. මුලු ගෙදරම උද්යොගයකින් වෙලා ගන්නා අතර රුචිකා ඉච්චාභංගත්වයට සහ ඊර්ශාවට පත් වේ. ඇය  වක්‍රව සහ සියුම්ව තම දෝමනස්සය ප්‍රකාශ කරයි. “ඔය කියන ළමය ඔය තරම්ම ලස්සනද?”

ඔසඳාගේ  පිලිතුර “ලස්සන කියන්නේ අපි දකින දේ නෙවෙයි, අපි හිතනදේ”

ඔහුට අනුව ආදරය භාවමය ප්‍රකාශනයක් නොවෙ, සමාජ කතිකාවක් හෝ අපට හිතෙන දෙයකි (සංකල්පනයකි). රුචිරාට ආදරය වනාහී  මේ මොහොතේ අත්විඳින දෙයකි, (දැනෙන දෙයකි). නාගරිකත්වය, මුදල්, කුලය, නම්බුව මේ සියල්ල හිතෙන දේවල් මිස දැනෙන දේවල් නොවේ. ගැහැනියකගේ රූමත් කමේ නිර්නායකයන්ද සමාජය විසින් සදා ගත්දේ මිස (බොහෝ විට පුරුෂයන්), “දැනෙන”දෙයක් නොවේ. වික්ටොරියානු යුගයේ පෘශ්ටිමත් ස්ත්‍රිය රූමත් වූ අතර ඊට පසුව සිහින් ඇඟවල් සහිත ස්ත්‍රිය රූමත් බවේ සංකේතයයි.

මුල් විනාඩි කිහිපය තුල ඇසෙන රූකඩ සංදර්ශනයේ නාඩගම් ගීතය මීට ඉඟියක සපයයි.

හා දනිමී ලොකු කෙරුමෙක් බව තා……, සිත පෑරීමේ සැසදීම නිසා 

ගනු දෙනුවට ආදරයයි පවසා, 

පුරුශ සිත් පෙන් වූ වා, ඔබ පුරුශ සිත් පෙන් වූවා// 

ජීව විද්‍යාමකව ගැහැනු සහ පිරිමි මොලයේ ව්‍යුහාත්මක සහ ක්‍රියාකාරිත්වය අතින් වෙනස් කම පෙන්වයි. ඒ නිසා ගැහැනුන් සහ පිරිමින් පරිසරය සහ මිනිස් සම්භන්දතා  වෙනස් ආකාරයට සංජානනය කරයි. මෙම වෙනස නිසා මිනිසාගේ   සිත බලය සහ අධිපති භාවය (  power and control  ) ගැන නිරන්තරව සංවේදීය. එම මනෝභාවයන් ගේ භාහිරට පෙනෙන ක්‍රියාකාරිත්ව නම්, මුදල් සෙවීමට,නායකත්වය, සමාජ  තත්වය,තරඟ කාරී ක්‍රීඩාවලට ,දේශපාලනය, වැනි දේවල් වලට පිරිමින්ගේ ඇති ලලාසාව යි. මිනිසාගේ පවතින ටෙස්ටෙස්ටරෝන් නම් පුරුශ හෝමොනය බලය සහ  අනසක පැවැත්වීමේ ස්නායු සංවේදන නියාමනය කරයි. ගැහැනියකගේ මොළයේ ක්‍රියාකාරිත්වය වඩා සංවේදී වෙන්නේ  ආදරනීය බැඳීම්  (bonding) සහ සංවෙදනා මනෝභාවයන්ය (sensoneural ). ඔක්සිටොසින් සහ ඊස්ට්‍රජන් හෝමෝන යන ස්ත්‍රී හෝමෝන මෙය නියාමනය කරයි. 

මනෝ විද්‍යාවට, අනුව අනුරාගී හො ඕනෑම බැඳීමක අව්ශ්‍යතාවය නම් තමාගේ මනෝමය අඩුවක් සම්පූර්න කිරීමයි (සිග්මන් ෆ්‍රොයිඩ් fulfilling a psychological void). එම නිසා භාහිර සම්භන්දතාවයන් හැම විටම ඉච්චාභංගත්වයෙන් කෙලවරවේ. 

සම්භාවනීය මනො විශ්ලේකක සහ සිනමා විචාරක ස්ලාවො ජිජැක්ට අනුව “ආදරයේ අවදානම නම් වෙන කිසිවක් නොව පුද්ගලයෙකුගෙ යථා ස්වභාවට ආදරය නොකර තමගේ සිතේ මැවෙන ප්‍රතිරූපයට ආදරය කිරීමයි” (Danger of loving some one not for what he or she is, but fitting our own ideals – Slaoj Zizek)

කුටුම්බයේ  අර්බුදය පුපුරා යන්නේ ඔසඳාට තමාගේ ෆැන්ටසි ස්ත්‍රිය අහිමි වීමත් සමගයි (බලය සහ අධිපතිභාවය). මිනිසා ජිවත් කරන්නේ ෆැන්න්ටසියයි. එය නොමැතිකල ජීවිතය නවතිනු ඇත. ඔසඳාගේ සියදිවි නසගැනීමේ උත්සාහය ආදිරිස් මාමාගේ මැදිහත් වීම  අඩාල වේ. නමුත් ජීවිතය ගෙන යා යුතුය. නව ‘ආශාවේ වස්තුවක්  (object of desire) නිර්මානය කලයුතුය. මහපොලොවේ ජීවත් වන ස්ත්‍රීන් ඔහුගේ සිතේ ඇති ස්ත්‍රිය මෙන් ඔහුගේ අනසකට අවනත නොවන නිසා තමාට සම්පූර්න ආදිපත්‍ය සහිත රූමත්  ස්ත්‍රි රූකඩයක් නිර්මානය කරයි. රූකඩ ස්ත්‍රිය සිනාසෙන,අඬන, කිල්ලට අහුවෙන, හොර අල්ලන,ඊර්ෂියාවෙන් පෙලෙන හෝ අන්  මින්සුන් වෙත බැඳෙන ස්ත්‍රියක් නොවේ.  

එම  වස්තුව, (object of desire) නිවීන වාහනයක්, සුඛෝපභොගී නිවසක්, වැදගත් රස්සාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී කමක් වැනි දෙයකි, (නැත්නම්  බඩුවකි). එම දෙය අල්මාරියේ දමා ආරක්‍ෂා කලවිට හිතට කරදර නැත.

“මම ටික දවසකට ගමනක් යනව, ඔයා අල්මාරිය ඇතුලට වෙලා ආරකශාවට ඉන්න,” ඔසඳා පවසයි. ඇයි? ඒ ආරක්‍ෂාවටද? නැත්නම් අවිශ්වාසය​ටද? පන ලැබුන රූකඩය ප්‍රශ්ණ​ කරයි. 

රූකඩය සමග ජීවත් වීම රුචිරාගේ වෛරය සහ ඉර්ශාව උත්සන්න කරයි. තමා ආශාවේ වස්තුව නොවීම  තමා ආශාවේ වස්තුව නොවීම කේසේ නම් ඉවසන්නද?

ඔහු පන පොවා අඹන රූකඩය දකින රුචිරා “මේ මොන විකාරයක්ද ඇඟේ නූල් පටක් වත් නෑ,”. වෙන ගෑනියෙක්ගෙ ලස්සන දැක්කම තව ගෑනියෙකුට තරහ යන්නේ ඇයි? ඔසඳා ගේ තේරුම් ගැනීම.

තවත් විටක “ඕක ගෙනාවට පස්සෙ තමා සේරම කරදර ඕක පුච්චල දාන්න”

එහෙම කොහොමද? ගස් කැපුවෙ මම,රූපෙ නෙලුවෙ මම (මගේ අයිතිය එම නිසා මගේ බලයට යටත්ය).

රුචිරාගේ ආදරයේ ප්‍රකාශනයන් වන සුරතල් ගිරවා සහ බලලා  අත්භූත ලෙස මිය යයි. ඉන් සංකේතවත් කරනු ලබන්නේ කරනු ලබන්නේ, ඊර්ෂාව සහ ඉච්චාභංගත්වය විසින්මරනයට පත්කරන විකසිත ස්ත්‍රීත්වයේ ආදරයයි.

සුමිත්‍රා කතාවට දේවතාවියක් ගෙන ඒ. එම දේවතාවිය, විටෙක රුක් දේවතාවියකි,විටෙක මනුස්ස දුවකි, විටෙක ඔහු බිය ගන්වන ආරූඩ ස්ත්‍රියකි. දේවතාවියන් බොහො විට මහ පොලොව, සරුසාර බව ගැබ් ගැනීම ආශ්‍ර කොට පවතී. මිහි කත, පත්තිනි වැනි දේවතාවියන් පෙරදිග මෙන්ම, මායා ශිෂ්ටාචාර, ග්‍රීක සාහිත්‍යයේ හමුවේ. ගසේ සිටින රුක් දෙවියාට පහන් තබා පලවා හැර ගස කපා රූකඩ නිර්මාන කිරිම මිනිසා විසින් ස්වාභාව ධර්මය​ (මහී කානතාව) පාලනය කිරීම සහ එය මත ආධිපත්‍ය පැතීරවීම සංකේතවත් කරයි.

ප්‍රාග් අයිතිහාසික යුගයේ මාතෘ මූලික සමාජයක් පැවති බව බොහෝ දෙනාගේ පිලිගැනීමයි. දේපල අයිතිය,සදාචාරය තීරනය කිරීම,සහ දරුවන්ගේ අයිතිය වෙනුවෙන් පුරුශයයගේ බලපෑම අවම විය. විජය ලංකාවට එන විට බලය කේන්ද්‍ර  ගත  වී තිබුනේ ස්ත්‍රිය වටාය.

ශිෂ්ටාචාරය,භාශාව සහ පෞද්ගලීක දේපල ක්‍රමය ඇතිවීමත් සමග ස්ත්‍රිය පාලනය කිරීම පුරුශ මූලික සමාජය විසින් අත්පත් කරගන්නා ලදී.

එතැන් පටන් ස්ත්‍රියගේ ජීවිතය පාලනය කීරීම, පවුල, ආගම, දේශපාලනය, ඉතිහාසය මගින් සිදු විය. 

රූකඩයට පන ලැබුන විට පිරිමියාට එය පාලනය කලයුතු වේ.

හෙට්ටුකිරීම සහ සහ හිත් පෑරීම්  උත්සන්න වේ. ඔසඳා විසින් දේවතාවියට කොන්දේසි ඉදිරිපත් කරයි.”මම නැති වෙලාවට ඔයා මෙතනින් එහාට අඩියක් වත් ත්යන්න එපා, නැත්නම් ඔයා කවුරු හරි හොකම් කරගෙන යාවි. මිනිස්සු ඉන්න වෙලාවට රූකඩයක් වගේ ඉන්න”. 

නාඩගම් ගීතය මෙය තව දුරටත් විස්තර කරයි

නොසිතනු මා ඔබගේය කියා

නිදහසේ ඇරයුම් ලබනා 

යනවා මෙන් හිත කියන නිසා 

ඔබ පුරුශ  සිත් පෙන්වූ වා../ ඔබ පුරුශ සිත් පෙන් වූ වා//

මං ඔයාට ආදරෙයි,දේවතාවිය මිනිසෙකුට ආදරය ප්‍රකාශ කරයි.

“වෙන්නේ නැති දෙවල් ගැන කතා කරන්න එපා,ඔයා එක ලෝකයක මම තව  ලෝකයක. අපි දෙන්න පෑහෙන්නෙ නෑ.මාලුවෙකුට පුලුවන්ද වතුර නැතුව ඉන්න”

මිනිසා ජීවත් වන්නේ සිතින් සාදාගත් සංකල්ප සාගරයකයක නම් නිදහස් සහ ආධ්‍යාත්මික ප්‍රේමයක් කේසේ නම් විදින්නද?

දේවතාවිය මිනිස් ලොවේ නොලැබෙන ආධ්‍යාත්මික ආදරයේ විරහව නිසා  නැවතත් වෘක්ෂ දේවතාවියක් බවට පත්විමට ඔසඳාගේ ලෝකය හැර යයි.

ස්ත්‍රී සිත සහ පුරුශ සිත,දුක සහ සැප,කලු සහ සුදු, මෙන්ම හොඳ සහ නරක යන එකිනෙකට වෙනස් ප්‍රපංච එකට එකතු කල හැකිද? බලය හෝ උපක්‍රම යොදා යටපත් කල හැකිද? නැතහොත් වෙනස් කම් දරමින් සමස්ථය තුල නිදහසේ පැවතිය හැකිද? මෙම වෙනස් කම් එකම විශ්වයක කොටස වශෙයෙන් තේරුම් ගැනීමද?   

චිත්‍රපටයේ අවසන්වන්නේ දේවතාවියගේ අදෝනාවකිනි.

මා සිත රිදවා

යදමින් බඳවා

පොළොවෙන් ගලවා,

නටුවෙන් උදුරාම් මල් පෙති පාගා 

ඔබ යන්න ගියා.

ප. ලි. වෛෂ්නාවී  නම් චිත්‍රපටයේ තිර රචනය,රඟපෑම .සංගීතය වැනි අංශ කිසිවක් මෙම ලිපියේ අඩංගු නොවන්නේ ලේඛකයාගේ වපසරියෙන් පිටතින් ඇති දේවල් බව සලකන්න.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.