3 December, 2020

Blog

අවසානයේ අපගේ නිර්මල හදවත ජය ගනු ඇත 

ගෘෂා ඇන්ඩ්රූස්

ලංකාවේ වෘත්තීය දේශපාලකයන් ආණ්ඩු හදන්නේ නැත. ප්‍රවේණි උරුමයෙන් රජ වන බහුතරයක් දේශපාලකයෝ සහ ඔවුන්ගේ වහල්ලු, ප්‍රවේණි දාසයන් වන අපව, කුණුහරුප ලෙසද හඳුන්වා දිය හැකි “ප්‍රජාතන්ත්‍රවාදයේ” “ව්‍යවස්ථාවේ” “ජාතිවාදයේ” “යහපාලනයේ” රැහැන් වලින් බැඳගෙන අපේ හර්ද සාක්ෂියට සහ මනුෂ්‍යත්වයට නිගා කරමින් වැජඹෙති. ලංකාවේ පවතින ප්‍රවේණි දේශපාලනයට පින් සිදු වන්නට නිදහසින් වසර හැත්තෑවක් ද ඉක්ම ගොස් අපි තවදු අන්‍යොන්‍ය ලේ නෑයන් දෙපිරිසකගේ මුහුණු තුළ දියසේන කුමාරයකුගේ ඡායාව​ සොයන්නෙමු. 

දේශපාලකයන්ගේ විශේෂතම වරප්‍රසාදය 

සිය ඡ​න්දදායකයන්ට කොකා පෙන්වීම, පිල් මාරුව, කොමිස් ගැසීම, තීරුබදු රහිත සුපිරි වාහන ආනයනය, මිනී මරා නිදහස් වීම, ස්ත්‍රීට ලිංගික අපරාධ කර නිදහස් වීම, මහා පරිමාණ​ සොරකම් කර නිදහස් වීම, රගර් ක්‍රීඩකයන් මරා දමා ගැලවී යාම, ගුවන් ගමන් බලපත්‍ර කිහිපයක් තබා ගැනීම ආදිය පහසුවෙන් මතකයට එන වරප්‍රසාද වෙයි. නමුත් ශ්‍රී ලංකාවේ දේශපාලකයකුට ලැබෙන විශේෂතම වරප්‍රසාදය නම් ඉහත සියලු වරප්‍රසාද රිසි සේ භුක්ති වීඳින අතර විහිළුවටවත් තමන්ගේ රැකියාව නොකර සිටීමේ ඇති අති විශේෂ වරප්‍රසාදයයි.

මේ රටේ ජනාධිපති රෑ දහයට නිදා ගනියි, පත්තරේ විස්තරෙන් රටේ විස්තරේ දැන ගනියි, මානසික ව්‍යාධියක පෙර මග ලකුණු නිරූපණය කරමින් රෝ ඒජන්සිය තමාව මරන්නට සිටින බව භීතිකයකු ලෙස ප්‍රකාශ කරයි, රබන් ගසයි, 2015 ජනාධිපතිවරණය පැරදුනේ නම් තමා සහ දරු පවුල අඩි හයක් යට වැළලී බව කියයි, ගිටාර් ගසයි, තමා විසින්ම සංශෝධිත ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිය “ඝාතකයා” ව රටේ නිල නොවන අගමැති කරයි, දෙපිට කැපෙන කුණුහරුප තුන් තේරවිලි කියයි. මොහුව පොදු ජනයා හඳුන්වන්නේ හිටන්, හුටන්, පඹයා, පතොලයා, ආප්පයා, පෙන්දා වැනි වචන වලිනි. සාධාරණව සිතා බලනවානම්, මහින්ද රාජපක්ෂ ගේ ජන ඝාතක රෙජීමය නිමවී ඔහු බලයෙන් ඉවත් වූ විටකදීවත් ජනාධිපති තනතුර මෙතරම් හෑල්ලුවට ලක්කරමින් රාජපක්ෂ ගේ පරම සතුරෙකුවත් ඔහුව නිවට නියාලුවකු ලෙස හඳුන්වා දුන්නේ නැත. මෛත්‍රිපාල සිරිසේන තරම් අසම්මත, ධූරයේ ගෞරවය කෙලෙසූ, ජනසම්මතවාදයට පිටුපා, නින්දිත, නූගත් ලෙසින් හැසිරෙන ජනපතිවරයකු ශ්‍රී ලංකාවේ සිට නැත. 2019 ජනාධිපති සිහිනයෙන් අඳව ශිරාල් ලක්තිලක වැනි දේශපාලන පරපෝෂිතයන්, ලලිත් සමරකෝන් වැනි බංකොලොත් ආර්ථික ඔස්තාර් වරුන් සහ සිය දූෂිත දියණිය “චතු” වෙතින් රාජ්‍ය පාලනයට උපදෙස් ගත් සිරිසේන විහිළුවටවත් සිය රැකියාව කරන්නේ නැත. 

රනිල් ගේ වැරදි පැත්තකින් තියන්නමේ වෙලාවේ ප්‍රජාත්නත්‍රවාදය වෙනුවෙන් පෙනී ඉන්න!” 

පාඨකයනි, මම ඔබෙන් අසමි.

 කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ ගේ සිට සමාජයේ විවිධ පුදගලයන් අදහන සහ ප්‍රකාශ කරන එක මතයක් ඇත. එනම්, මේ අවස්ථාවේදී පූජනීය ප්‍රජාත්නත්‍රවාදය “රනිල්ට බැහැ” පුද්ගලවාදයට ඉහලින් තබා සිරිසේන-රාජපක්ෂ දේපල විසින් සිදු කරන ලද ජුගුප්සාජනක, ඛේදජනක, සරලව කියනවා නම් පාදඩ ජනමත පාවාදීම ට කොන්දේසි විරහිතව අප එරෙහි විය යුතු බවයි. 

එය එසේ විය යුතුද? 

දේශපාලකයන් සිය රැකියාව විහිළුවකට ගෙන රාජපක්ෂවරුන් සමග ඩීල් දමමින් ජනතාවට ඇස් බැන්දුම් කරමින් සිටින අතරතුර රාජපක්ෂ සහෝදර සමාගම ඔවුන්ව කරකවා අතහැර, අලුයම ලූ කෙල පිඩක් සේ බැහැර කරන විට “ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්” ඔවුන් වෙනුවෙන් අපේ ලේ කකියවා ගෙන සටන් කිරීමට අපි බැඳී  සිටිමුද? මෙම දේශපාලකයෝ ඔවුනොවුන් අතර ඇති කරගත් ඩීල් ජනතාව පරදුවට තබා රකිති. ඔවුන් රැකීමට ප්‍රජාතන්රවාදයේ නාමයෙන් ඉදිරිපත් වීම අපගේ නිසග ප්‍රතීක ක්‍රියාවයි. නමුත් රනිල් වික්‍රමසිංහ ඔහු හා ජනතාව අතර එළඹුණු ප්‍රඥප්තියට එක දිනක් වත් ගරු කර ඇතිද? 

ඔහු රටේ අගමැති ලෙස සිය කැබිනට් මණ්ඩලය හසුරවා ගත්තේද? අල්ලස් හා දූෂණ කොමිසම මග හරිමින් අවුරුදු තුනක් තිස්සේ  නීතියේ ඇසට වැලි ගැසූ රාජිතට රනිල් බය නැද්ද? නොඑසේ නම්, වෘත්තිකයන්, නිදහස් මතධාරීන් යයි අප සිතා සිටි පුද්ගලයන් 2015 ජනවාරි මාසයේ නාමල්, බැසිල් වැනි නම ගිය දේශපාලන “තක්කඩියන්”ට වෛර කළ සේම රාජිත සේනාරත්නට, රවී කරුණානායකට, මලික් සමරවික්‍රමට වෛර කරන්නේ මන්ද? කැබිනෙට්ටුවේ සිටින අංක එකේ දූෂිතයා වන රාජිත සේනාරත්න සියලු සාක්ෂි සහිතව රුධිර කාන්දුකරණයෙන්, පිළිකා ඖෂධ වලින්, වෛද්‍ය ප්‍රඥප්තිය වෙනස් කිරීමට උත්සාහ කිරීමෙන්, සිය දේශපාලන බත් බැලයන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට (උපුල් ගුණසේකර) සහ රජයේ ආයතන වලට (ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලට පත් කල සුසිත සේනාරත්න/ අතුල කහඳලියනගේ, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන මණ්ඩලයේ සයුරු සමරසුන්දර  වැනි දූෂිත බැලයන්) යැවීමෙන් ජාතියක ආත්මය බිම පෙරලාගෙන දූෂණය කරද්දී රනිල් රටේ අගමැති වීද? චතුර සේනාරත්න ආරාධිතයන් 4000ක් අරලියගහ මන්දිරයට ගෙන්වා ගෙන බලය සහ මුදල් අවභාවිතයෙන් මගුලක් ගනිද්දී රනිල් රටේ අගමැති වීද? දෛවෝපගත ලෙස මේ දූෂිත, පාදඩයන් “ප්‍රජාතන්ත්‍රවාදය” (එනම්,ඔවුන්ගේ කැබිනට් ඇමතිකම්, මන්ත්‍රී කම් සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප) රැකීමට දිවි පරදුවට තබන්නට අපට එන්නට කියන්නේ චතුරගේ මගුල ගත් අරලියගහ මන්දිරයේ එම ශාලාවේම සිටය!

එජාපයේ ෆුට්නෝට් කල්ලිය අර්ජුන් ඇලෝශියස්ගෙන් (දුරකථන සංවාද වලින් තහවුරු වූ පරිදි – මෙහිලා ලිවීමට වද​ වීමට වත් අවශ්‍ය නැති) වරදාන ලබා ගනිමින් මහ බැංකු සොරකම කරද්දී රනිල් රටේ අගමැති වීද? ඔහු අර්ජුන මහේන්ද්‍රන් ව මගුල් ගෙදරක යාමට කියා සිංගප්පූරුවට පිටත් කර යැව්වේ සිය ධුරයේ සිටියදී ද? රනිල්  කොතනකවත් කට ඇර මෛත්‍රී ට බනින්නේ නැත. සිය මාමා වූ ජේආර් මෙන් ඔහු බල්ලන් ලවා බුරවන්නෙකි. එනයින් ඔහු වැදගත් ජෙන්ටල්මන් කෙනෙක් නොවෙයි. ජෙන්ටල්මන්ලා බත් බැලයන් රකින්නේ නැත. ජෙන්ටල්මන්ලා මහින්ද රාජපක්ෂගේ ඝාතක කුමාරවරුන් රකිනන්නේ නැත. ජෙටල්මන්ලා රෝයල් එකේ ඉගෙනගත් පමණින් ජාතියේ විශාලතම සොරකම කළ පාදඩ සොරාව රකින්නේ නැත. 

රනිල්  පක්ෂ භේදයකින් තොරව අපගේ ප්‍රජාත්ත්‍රවාදයේ භාරකරු විය. ඔහු සිය රාජකාරිය පැහැර හැර රටේ ප්‍රජාතන්ත්‍රවාදය පැවැත්වෙන බවට ඇස්බැන්දුම් කිරීම රාජිත සේනාරත්න වැනි දේශපාලන අවජාතකයන්ට භාර කළේය. කැබිනට් ප්‍රකාශ කරනවා කියා රාජිත සේනාරත්න වැනි වංචනිකයන් ජාතියම කුප්පමින් සිය ප්‍රතිරූපය පුම්බමින් අපේ ඇසට වැලි ගසන්නට වූහ. 

රනිල් ඔබ ඔබේ රැකියාව කළේ නැත. ඔබ දිනපතා ඔබේ විජේවර්ධන බූදලය විකිණුවද, දිනපතා නීතිඥයකු ලෙස උසාවියේ කතා කළද, බදු ගෙවන අප ඔබගේ සුඛ විහරණය වෙනුවෙන් වියදම් කරන මුදල ඔබට ඉපයිය නොහැක. බඩට කන්නට නැති දරුවන්ට හිමි බදු මුදලින් ඔබව අරලියගහ මන්දිරයේ තබා, මිලියන 3000 කට වඩා වටිනා වෙඩි නොවදින මෝටර් රථ ඔබ වෙනුවෙන් ආනයනය කර ඔබට ත් ඔබේ බිරිඳත් ලෝකසවාරි ගසමින්, සිංගප්පූරුවේ වෛද්‍ය සේවා ලබමින්  ජීවිතය විඳින්නට ජාතියේ ධනය අපි අගමැති ගිණුමට බැර කළෙමු. ඒ වෙනුවෙන් අපි ඔබගෙන් එක අහිංසක ප්‍රතික්‍රියාවක් බලාපොරොත්තු වුනෙමු. ඒ ඔබේ දූෂිත කැබිනට් මණ්ඩලය මෙල්ල කර ගැනීමයි. රනිල්, ඔබද, ජනාධිපති මෙන්ම සිය රැකියාව කළේ නැත!

මෛත්‍රිපාල සිරිසේනපරබල්ලෙක් ?” 

මෛත්‍රීපාල සිරිසේන පෙන්දෙකු සහ “පරබල්ලෙකු” (පාඨකය, සමා වන්න, මෙය පෞද්ගලිකව මාගේ භාෂාව නොවෙයි – පාරේ තොටේ ජනතාවගේ සහ රටේ මුදල් ඇමතිගේ භාෂාවයි) බව අවුරුදු තුනක් ගොස් මංගල සමරවීරට මතක් වී ඇත්තේ සියලු සුඛ විහරණ සහ බලය අහිමි වීමේ අසිපත දින තුනකට පෙර සිට සිය හිසට ඉහලින් එල්ලෙන විටය. ගෝටාභයට බයේ මෛත්‍රීපාල ඝාතක කුමාරවරුන් රකින විට මංගලට මෛත්‍රීව පර බල්ලෙකු ලෙස පෙනුනේ නැත. මෛත්‍රිගේ දියණිය චතුරිකා සහ බෑණා විසින් කොළඹ ඉඩම් සහ ගොඩනැගිලි වෙළඳපොල මාෆියාවෙන් ආක්‍රමණය කරන විට මංගලට මෛත්‍රී පර බල්ලෙක් ලෙස පෙනුනේ නැත. තජුදීන් ගේ දෙමවුපියන් ගේ හදවත දෙවන වරටද මරමින් මිහිදන් කළ පුතෙකුගේ සිරුර ගොඩගෙන නීතිය නාඩගමක් කර, ශිරන්ති රජාපක්ෂ නමැති කුරිරු දූශිත ගැහැණිය සහ ඇයගේ ඝාතක කුමාරවරුන් ව මෛත්‍රී රකිද්දී ඔහුව මංගලට පර බල්ලෙකු ලෙස පෙනුනේ නැත. ජනඝාතක ඒකාධිපති මිනීමරුවකු වන මහින්ද රාජපක්ෂ සාටකයෙන් තමාගේ ඇමතිකමට තොන්ඩුව දමන විට පෙරේදා සිට මෛත්‍රී පර බල්ලෙකු වී ඇත. 

කෑමට සහ දත් මැදීමට හැරුණු කොට “මම” “මගේ” “මා වෙනුවෙන්” “මගේ දේශපාලනය” මගේ පාර්ලිමේන්තු වරප්‍රසාද” “කිසි වරදක් නොකළ මගේ තාත්තා” “මගේ ස්ත්‍රී අභිමානය” “මගේ නම්බුව” සහ “උදය ගම්මන්පිලගේ වෘෂණ කෝෂ” වෙනුවෙන් පමණක් සිය වටිනා මන්ත්‍රී මුඛය විවර කරන හිරුනිකා ප්‍රේමචන්ද්‍රට කියන්නේද හෙරොයින් නොවිකුණා, බදු ගෙවා සාධාරණව ජීවත් වන අප දිවි පුදා ඔවුන්ගේ ආණ්ඩුව රැක ගත යුතු බවය.(ඉහත සඳහන් හිරුනිකාගේ “මම මාගේ” ලැයිස්තුවට “මාගේ මන්ත්‍රී විශ්‍රාම වැටුප”ද ඇතුලත් විය යුතුය). 

ඉතින් මිතුරනි , අපි නැගී සිටිමුද?

“රනිල්, මෛත්‍රී, මහින්ද වැනි ජන පීඩකයන් වෙනයි – ප්‍රජාතන්ත්‍රවාදය වෙනයි – ඒ නිසා කවුරුන් හෝ ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසයි නම් පුද්ගලයා දෙස නොබලා, කොදේසි විරහිතව ජීවිතය පරදුවට තබමු” යන්න දේශපාලනයේ  බොළඳ කියවීමකි. රනිල් මාධ්‍ය හමුවට ඇවිත් ඔහුගේ පාර්ලිමේතු බහුතරය සාධාරණීකරණය කරන්නේ මීට මාස 5කට පමණ පෙර ඔහු විශ්වාස භංගය දිනු බව කීමෙනි. රටක අගමැතිගේ මොලයේ විකෘතිය සහ ඔහු යතාර්ථයෙන් කෙතරම් අපගමනය වී ඇත්ද යන්න එම ප්‍රකාශයෙන්ම පෙනෙයි. (එහෙමත් නැත්නම් අපි තොටිල්ලේ කිරි බොන බබාලා යයි ඔහු සිතනවාද විය හැක!).

ජවිපෙ මාධ්‍ය සාකච්චා වෙහි අනුර කුමාර දිසානායක කියූ පරිදි යූඑන්පී මන්ත්‍රීවරුන් “කුණු බටු, කුණු මාළු ලෙස වෙන්දේසි වන කාලය එළඹ ඇත”. 2015 ජනවාරි මාසයේ හෝ 2018 අප්‍රේල් මාසයේ තිබු වාස්තවිකය ඉක්මී ගොස් ඒ මත වල් පඳුරු ද බිහිවී බොහෝ කල්ය. ජනඝාතක, පරපීඩක රාජපක්ෂ යුගයක් අහියස ජේවීපී සිහින මවන්නන්ද මතක තබා ගත යුත්තේ 2018 ඔක්තෝබර් 23 වනදා රටේම නෙත් පිනවමින් කොළඹ රතු පාට කමිස වලින් වසා ඔවුන් පැවත්වුයේද ඔවුන්ගේ අවසාන ලස්සන පා ගමන විය හැකි බවය. රාජපක්ෂ යුගයක රතු කමිස එසේ වෙතත් රතු ලේ වලින් වැසී මහා පොලව බදාගෙන මිය යාමට ජවිපෙ පාක්ෂිකයන්ට නියමිතය. 

මිතුරනි,

අපි ප්‍රජාත්නත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිය යුතු වෙමු. දෛවයේ සරදමක් ලෙස හැමවිටම අප හට නැගී සිටින්නට වී ඇත්තේ අපව පෙලන, අපගේ ආධ්‍යාත්මය තුල ඇති හැදිච්චකම තුනී කිරීමට සමත්, අපව කුප්පන, අපගේ මනුෂ්‍යත්වය ඛාදනය කරන රනිල් වෙනුවෙනි. ඒ මක් නිසාද යත් දෛවෝපගත ලෙස මෙම දේශපාලන සමීකරණයේ ඔහු සිරවී ඇති බැවිනි. ඔහු සිරවන විට ඔහු සමග අපේ හර්ද සාක්ෂියද සිර වෙයි. 

රාජපක්ෂ යුගයක මාධ්‍යවේදීන් (ආත්මයක් නැති මාධ්‍යවෙදීනි, ඔබේ ඇඳුම් උනා දමා සුජාතා සේනාරත්නගේ පින් ක්ලිනික් එකට යව මැනවි – ඔබද ඔබේ රැකියාව “මන බඳිනා” ලෙස සිදු කරති. ඔබ වහන්සේලා ගැන ජනතාව සිතන ආකාරය ගැන පසුව ලිපියක් ලියමි) පොදු ජනතාව, රාජ්‍ය සේවකයන් සහ බදු ගෙවන්නන් හට සිදු වන කෲර ඉරණම ගැන නොකිවමනාය. ඔවුන්ගේ යුගයක පෙර මග ලකුණු රූපවාහිනී සංස්ථාව අභියස දී පෙන්වා හමාරය. සුධර්මන් රදලියගොඩට යටවී අපි සිටිමුද? නාමල්, යෝෂිත, චිචි ගේ අමන ක්‍රියා වලට යටවී ඔවුන්ට සර් කියමින් සිටිමුද? ශිරන්ති රාජපක්ෂ ගේ 222222222V නොදුටුවා සේ සිටිමුද? බලපතල අල්ලස් හා දූෂණ විමර්ශනය කළ, ඝාතන විමර්ශනය කළ රාජ්‍ය නිලධාරීන්ගේ මල කඳවල් තජුදීන් ගේ මලකඳ මෙන් පිලිස්සී හමු වන තුරු සිටිමුද? ඔවුන් ඒ විමර්ශනය කළේ අපේ ජාතියේ ධනයට වූ සොරකම් විමර්ශනයට ගොස් විනා තමාගේ ඉඩමේ වැටේ ප්‍රශ්නයක් හොයන්නට ගොස් නොවේ. ඒ රාජ්‍ය සේවකයන්ගේ අහිංසක කුඩා දරුවන් හේ ඇස්වලට ලසන්තගේ, තරාකිගේ දරුවන්ගේ ඇස්වල නැගුනු කඳුළු නැගෙන තෙක් අපි බලා සිටිමු ද?

අවසානයේ අපගේ නිර්මල හදවත ජය ගනියි 

මෙය රනිල් වෙනයි – ප්‍රජාත්නත්‍රවාදය වෙනයි – මේ වෙලාවේ වී තිබෙන විපත වෙනයි – රනිල්ව පස්සේ විවෙචනය  කරමු- මේ වෙලාවේ ඔහුව රකිමු “යන බොළඳ අඛ්යානය පිලිබඳ ප්‍රශ්නයක් නොවෙයි. මෙය රනිල්, මෛත්‍රී, මහින්ද, ජී එල්, රාජිත, කෙහෙළිය, බන්දුල, වීරවංශ, ගම්මන්පිල – මේ සියලු දෙනා පිලිබඳ ප්‍රජාතන්ත්‍රවාදයේ පැටලුනු සංකීර්ණ ප්‍රශ්නයකි. දේශපාලකයා ගැන නොව ප්‍රජාත්නත්‍රවාදය වෙනුවෙන් අපි වෙහෙසෙමු යන බොළඳ “සිත නිවන කතාව” අප කියාගෙන වැඩක් නැත. අපේ ජීවිත පරිත්‍යාගයෙන් ගොඩ යතොත් යන්නේ රනිල්, මලික්, සාගල, මංගල, රාජිත, චතුර, හිරුනිකා ආදී එකී නොකී ජන පීඩකයන්මය. 

නමුත් අපි මේ පටලැවිල්ල තුළ මොවුන්ගේ නිසසාර බව ප්‍රත්‍යක්ෂ ලෙසම දැකිය යුත්තෙමු.

රාජපක්ෂ  යුගයක අප කිසිවකුගේ ජීවිත සුරක්ෂිත නැත. රාජ්‍ය සේවකයන් සිය ගණනකගේ  සැබෑ මරණය එහි ලියවී ඇත. ඔවුන් සියල්ලන්ම රාජ්‍ය සේවයේ තජුදීන්ලා වනු ඇත. රාජපක්ෂ යුගයක් නිර්මාණය වීම පරාජය කිරීම තුළ ඇත්තේ හෙට දිනයක මොවුන් සියලු දෙනාම 2020 දී පිටු දැක යම් තුන්වන බලවේගයක සිහිනය සැබෑ කර ගැනීමට ඇති අවකාශයයි. මීටත් වඩා දුර්දාන්ත පාලනයන් පරදවා, මිනී අළු ගසා දමා ඉතියෝපියාව වැනි රටවල් පවා ලෝකය තුල දිරියට යමින් පවතී. 

මේ අවස්ථාවේ රනිල් සහ ප්‍රජාත්නත්රවාදය යනු දෙකක් නොව එකක් යන යතාර්තයට මුහුණදීම අපේ හද කකියවන දුර්භාග්‍යයයි. නමුත් අපි යතාර්ථය මේ යයි දැන දැනම කෲරත්වය සහ දේශපාලන තක්කඩිකමට එරෙහිව අපේ දරුවන් වෙනුවෙන් නැගී සිටිය යුතු වෙමු.

බ්‍රෙෂ්ට් කියූ ලෙස “ඔබ අරගල කළ යුත්තේ පාලකයා වෙනස් කිරීමට නොව ජනතාව වෙනස් කිරීමටය. අමන ජනතාව කිසිදා පාදඩ පාලකයන්ට එරෙහි වන්නේ නැත” ජනතාව වෙනස් කිරීමේ මොහොත අප විසින් උදා කරගත යුතුවෙමු. අවසානයේ අපගේ නිර්මල  හර්දය ජය ගනු ඇත. එය රනිල්ට අයිති නැත. එම ජයග්‍රහණය අපගේ අහිංසක දරුවන්ට අයිතිවනු ඇත. 

මේ දූෂිත, ව්‍යවස්ථා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී, සිරිසේන-රාජපක්ෂ තක්කඩි කමට විරුද්ධ වීමට යථාර්ථයේ අසුන මත හිඳ ගෙන ඔබේ නිර්මල හදවතට කියන්න.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Stand for Ranil?? Ha ha haaa… aiyo Grusha. Are we to stand for a killer who is responsible for 60,000 odd lives in 88/89? (Yes you could counter question me, if AKD can ignore that, why the hell you want to take it forward). Or you want us to believe a master planer who attempt to kill the Executive of the country? (Refer MS’s last speech to the nation). Or you want us to forget how RW signed a pact with LTTE terrorists even without inform the then Executive? All and all, we cant be that stupid Grusha. Sorry.

    • 2
      0

      Dear Sir, Thank you for sharing your views. Please be kind to read this article again at your convenience. What I am reiterating and stressing is the fact that Ranil and the defense of democracy are intertwined. Therefore, when we stand up for democracy against this constitutional coo, Ranil may benefit collaterally. Our spite for Ranil, if any should not interfere with our defense of our democracy. This is all I am saying, for the sake of our innocent children. The come back of Mahinda Rajapakse is already showing the despotism that we can expect under his rule.
      Thank you
      Sincerely,
      Grusha Andrews

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.