7 August, 2020

Blog

නොගිය මාවත්

ග්වින් ඩය(ර්) –

ගිය සතියේ රටවල් දෙකක්, එඩිතර නිර්භය ක‍්‍රියා දෙකකට අතගැසුවේය. ඉන් එක් රටක්, පාර්ලිමේන්තුවේ තමන්ට බහුතර බලයක් තිබියදීත්, ආණ්ඩුව විසුරුවා හැර අළුතෙන් මැතිවරණයක් කැඳෙව්වේය. අනිත් රට, නව ෆැසිස්ට්වාදී පක්ෂයක නායකයන්ව, ඔවුන් අපරාධ කල්ලියකට නායකත්වය දීමේ චෝදනා මත, අත්අඩංගුවට ගත්තේය. තවත් රටවල් කිහිපයකුත් මෙවැනිම පියවර ගැනීමට තරම් උත්සුක වෙත් නම්, ලෝකය මීට වඩා යහපත් තැනක් වන්නට ඉඩ නැත් දැ යි කෙනෙකුට සිතෙයි.

ග්වින් ඩය(ර්)

2011 දී ටියුනීසියාවේ පැවැත්වූ ප‍්‍රථම නිදහස් මැතිවරණයෙන් බලයට පත්ව සිටි ආණ්ඩුව තමන් බලයෙන් ඉවත් වන බව රටට ප‍්‍රකාශ කෙළේය. එම සභාග රජයේ ප‍්‍රධාන පක්ෂය වන ‘එනාඩා’, රටේ සමස්ත ජනතාව මත තම ඉස්ලාම් සාරධර්ම පැටවීමට උත්සාහ නොකළ අතර ඉස්ලාමීය නොවන පක්ෂ ද සභාගය තුළට සම්බන්ධ කරගත්තේය. එහෙත් එම රටේ වර්තමාන අර්බුදකාරී තත්වය පත්වෙමින් තිබෙන්නේ, වර්තමාන ඊජිප්තුවේ තත්වයටයි. එනිසා ආණ්ඩුව ඉල්ලා අස්විය.

පශ්චාත්=විප්ලවීය ඕනෑම ආණ්ඩුවකට මුහුණදීමට සිදුවන්නා සේ, ‘එනාඩා’ ආණ්ඩුවට ද මුහුණදීමට තිබුණේ දැවැන්ත ආර්ථික අභියෝගයකටයි. කලක් ඉහළම ජනප‍්‍රියත්වයේ වැජඹුණ ද, තරුණයන්ගේ බලාපොරොත්තු සඵල කරන තරමේ රැුකියා සැපයිය නොහැකි වීම නිසා, කෙමෙන් එම ජනප‍්‍රියත්වය පිරිහී ගියේය. එහෙත්, රටේ ජනගහනයේ ලෞකික බහුතරය සමග ආණ්ඩුව ගැටුමකට ගියේ, ප‍්‍රධාන පෙළේ විපක්ෂ නායකයන් දෙදෙනෙකු ඝාතනය වීම නිසා ය.

පසුගිය පෙබරවාරියේ දී චොක්රි බෙලයිඞ්වත්, පසුගිය මැයි මාසයේ දී මොහොමඞ් බ‍්‍රහිමිවත් (එකම පිස්තෝලයකින්* ඝාතනය කිරීම පසුපස ‘එනාඩා’ ආණ්ඩුව සිටින බවක් කිසිවෙකු සිතන්නේ නැත. එහෙත්, මේ ඝාතනවලට වගකිව යුතු යැයි බොහෝ දෙනා සැක කරන රැුඩිකල් ඉස්ලාම්වාදීන්ව (සලාෆිස්ට්) මැඩලීමට ආණ්ඩුව අවශ්‍ය තරමින් පියවර නොගැනීම මහජන අප‍්‍රසාදයට හේතු විය.

මේ ඝාතන දෙකම, සමහර විට පිස්සෙකුගේ වැඩක් විය හැකිය. එසේ නැතහොත්, අළුතෙන් දිනාගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අඩාල කිරීමට පරණ පාලනයේ ඇතැම් අයවළුන් කළ දෙයක් ද විය හැකිය. ඇත්ත එය නම්, සලාෆි=විරෝධී පියවර ගැනීම මගින් කිසි සෙතක් අත් නොවෙනු ඇත. කෙසේ වෙතත්, බෙලයිඞ්ව ඝාතනය කිරීමෙන් පසු, විප්ලවයෙන් පසු බලයට පත් ප‍්‍රථම අගමැතිවරයා ඉල්ලා අස්විය. අනතුරුව, බ‍්‍රහ්මිගේ ඝාතනය වැළැක්වීමට අසමත් වීම නිසා, සමස්ත ආණ්ඩුවමත් ඉල්ලා අස්වූහ.

කලින් ‘එනාඩා’ සන්ධානයට ඡුන්දය දුන් මහජනතාව දැන් ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින තත්වය තුළ එම ආණ්ඩුව, (භාරකාර ආණ්ඩුවකින් පවත්වනු ලබන) ඉදිරි මැතිවරණයේ දී නැවත බලයට පත්වෙතැ යි සිතීම උගහට ය. එහෙත්, මේ පාලකයන් ගත් ක‍්‍රියා මාර්ගය නිසා, ටියුනීසියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැුකෙනු ඇත. ‘එනාඩා’ ව්‍යාපාරය, දේශපාලන පක්ෂයක් විදිහට ඉදිරියටත් පවතිනු ඇත. දහස් ගණන් ජනයා හමුදාව අතින් මහපාරේ ඝාතනය නොවනු ඇත. එය ඊජිප්තුවට වෙනස් තත්වයකි.

පසුගිය ජුලි මාසයේ දී ඊජිප්තුව හමුදා ආඥාදායකත්වයකට පල්ලම් බැස්සේ මන්දැ යි කීමට කෙනෙකුට හේතු බොහොමයක් තිබෙන්නට පිළිවන. බලය හෙබවූ ‘මුස්ලිම් සහෝදරත්වය’ පමණ ඉක්මවා බලය පාවිච්චි කළ අතර, රටේ වෙසෙන ලෞකික වැසියන් අනතුරක අවදානමෙන් පීඩා වින්ද බවත් ඇත්තයි. දශක ගණනාවක් තිස්සේ සැබවින් බලය අභ්‍යාස කෙළේ හමුදාවයි. ඔවුන්ගේ වරප‍්‍රසාද ඒ ආකාරයෙන්ම ආරක්ෂා කර ගැනීමට දිගටම ඔවුන්ට අවශ්‍ය වුණි. එහෙත් ඊජිප්තුවේ හිටපු අගමැති මෝර්සි, ටියුනීසියාවේ ‘එනාඩා’ ආණ්ඩුව මෙන් කටයුතු කිරීමට තරම්, අඩු වශයෙන් අවසාන මොහොතේදීවත් නැණවත් විණි නම්, ඊජිප්තුව අදත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් වශයෙන් පවතින්නට ඉඩ තිබුණි.

දැන් ග‍්‍රීසිය සම්බන්ධයෙන් බලන විට, මාධ්‍යමික සහ වාමවාදී සභාගයකින් සැදුම්ලත් එම රටේ ආණ්ඩුව පසුගිය සති දෙකක කාලය මුළුල්ලේ දැඩි පියවර ගනිමින් මැඩපැවැත්වූයේ, යුරෝපයේ අද පවතින වඩාත් ප‍්‍රචණ්ඩකාරී සහ සාහසික දේශපාලන ව්‍යාපාරය මෙන්ම නව ෆැසිස්ට්වාදී ව්‍යාපාරයක් ද වන ‘ගෝල්ඩන් ඩෝන්’ (ස්වර්ණ උදාව) පක්ෂයේ සාහසික ක‍්‍රියාකාරීත්වයයි.

මීට තෙවසරකට පෙර, ‘ගෝල්ඩන් ඩෝන්’ පක්ෂය යනු ඉතා නොවැදගත් දේශපාලන ව්‍යාපාරයකි. ග‍්‍රීසියේ රැුකියා පැහැර ගනිතියි කියන, ‘තිරිසනුන් වැනි විදේශිකයන්ට’ එරෙහිව ඝෝරනාඩු දෙමින්, ග‍්‍රීක ජාතිකයන්ගේ ජාන පවා පිටදේසක්කාරයන් අතින් අපවිත‍්‍ර වන්නේ යැයි කෑකෝගසමින් සිටි මෙම ව්‍යාපාරය, 2010 මහ මැතිවරණයේ දී ලබා ගත්තේ සියයට 1 ටත් අඩු ඡුන්ද ප‍්‍රතිශතයකි. ග‍්‍රීසියේ සමස්ථ ආර්ථිකය අගාධයට හෙලමින් මහා ණය කුණාටුවකට ග‍්‍රීසිය හසුවුණේ මෙකල ය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, පසුගිය වසරේ පැවති මැතිවරණයෙන් එම පක්ෂය සියයට 7 ක ඡුන්ද ප‍්‍රතිශතයක් ලබාගත්තේය.

ග‍්‍රීක ජාතික කොඩිය සහ පක්ෂයේ ලාංඡනය (හිට්ලර්ගේ ස්වස්තිකයට සමානත්වයක් දක්වන) ලෙළවමින් වීදි බට ‘ගෝල්ඩන් ඩෝන්’ මැරයෝ, සංක‍්‍රමණිකයන්ට, සමලිංගිකයන්ට සහ වාමාංශිකයන්ට පහර දෙන්නට වන්හ. පොලීසියේ ඇතැම් ඉහළ නිලධාරීන්ගේ සහායත් ඊට ලැබුණි. පක්ෂයේ සාමාජිකයන් බලාපොරොත්තු වුණේ, තම විරුද්ධවාදීන් සමග අවසාන ගැටුමකට යාමයි. එහෙත් අගමැති අන්තෝසිස් සමරාස්ගේ ආණ්ඩුව ඊට කලින් වහා ක‍්‍රියාත්මක විය.

‘ගෝල්ඩන් ඩෝන් පක්ෂය බැලූවේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඉවසීම කොච්චරද කියලා තක්සේරුවකට එන්න. ඒකට උත්තරේ, රාජ්‍යයේ යුක්ති ධර්මයෙන් ඔවුන්ට ලැබුණා’ යි, එරට මහජන සාමය පිළිබඳ ඇමතිවරයා ඒ ගැන පසුව සඳහන් කෙළේය. පක්ෂයට විරුද්ධ චෝදනා පත‍්‍රය පිටු නවයක් දිගයි. මනුෂ්‍ය ඝාතනය, කප්පම් ගැනීම සහ කළු සල්ලි හොරෙන් පරිහරණය කිරීම ඊට ඇතුළත් ය. මේවා ඔප්පු වුවහොත්, රටේ නීතියේ හැටියට, එම පක්ෂය තහනම් කිරීමටත් පිළිවන.

‘ගෝල්ඩන් ඩෝන්’ පක්ෂයේ සාමාජිකයෝ ප‍්‍රසිද්ධියේම හිට්ලර්ට වන්දනාමාන කරති. එහෙත්, හිට්ලර් යන නම පවා අද ඔවුන්ට අසන්ට ලැබෙන්නේ, හිට්ලර්ගේ ‘ජාතික සමාජවාදී’ (නට්සි) පක්ෂය 1933 දී බලයට ඒමට මත්තෙන් මේ ආකාරයෙන් සෘජු පියවර ගැනීමට එදා ජරමානු රාජ්‍යය අපොහොසත් වීම නිසා බව ඔවුහු නොදනිති.

‘ගෝල්ඩන් ඩෝන්’ පක්ෂය සේම, හිට්ලර්ගේ නට්සි පක්ෂයත් සිය ඡුන්ද ප‍්‍රතිශතය හත් ගුණයකින් වැඩි කරගත්තේය. ඒ, 1929 දී හටගත් ලෝක ආර්ථික අවපාතය හේතුවෙනි. එහි දී පවා එම පක්ෂය ජර්මනියේ ඉතා නොවැදගත් සුළු පක්ෂයක් විය. එසේ තිබියදීත්, විරුද්ධවාදීන්ට සහ යුදෙව් ජාතිකයන්ට ඔවුන් තාඩනපීඩන කරද්දී ඒවාට එරෙහිව පියවර ගැනීමට ජරමානු රජයට පුළුවන් කම තිබුණි. එහෙත් රජය පැත්තෙන් එවැන්නක් සිදුවුණේ නැත.

ලෝක අවපාතයේ ප‍්‍රතිවිපාකයක් වශයෙන් ජර්මනියේ ආර්ථිකය එන්න එන්නම කඩාවැටෙද්දී හිට්ලර්ගේ පක්ෂය තව තවත් ජනප‍්‍රියත්වයෙන් ඉහළ නැංගේය. 1933 මහ මැතිවරණයේ දී නට්සි පක්ෂයට ලැබුණේ තුනෙන් එකක ඡන්ද ප‍්‍රමාණයකි. එහෙත් හිට්ලර්ව එරට චාන්සලර්වරයා (විධායක නායකයා) වශයෙන් පත්කෙරුණි. ජරමානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගම එය විය.

ග‍්‍රීසිය යනු මහ බලවතෙකු නොවේ. එබැවින් එම රටේ සිදුවන දේවල් සෙසු ලෝකයාට එතරම් වැදගත් නොවිය හැකිය. එහෙත්, මෙවැනි ක්ෂණික සහ සෘජු පියවර පාලකයන් විසින් නොගෙන සිටින්නට, සමහර විට 1933 ජර්මනියේ තත්වයට ග‍්‍රීසියත් වැටෙන්නට තිබුණි. යමක් සිදුවූවාට පසුව ඒ ගැන බුද්ධිමත්ව ආවර්ජනා කිරීම අපහසු නැත. එහෙත්, දේශපාලඥයන්ගේ රාජකාරිය වන්නේ, අනතුරක් සිදුවිමට පෙර එය වළක්වාලීම සඳහා අවශ්‍ය පියවර ගැනීමයි. සමහර දේශපාලඥයෝ ඒ පරීක්ෂණයෙන් සමත් වෙති. තවත් අය අසමත් වෙති.

*2013 ඔක්තෝබර් 1 වැනි දා Tripoli Post පළවූ Roads Not Taken නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.