26 April, 2024

Blog

නව අරුණෝදයක්

එච්. එල්. සෙනෙවිරත්න

මහාචාර්ය එච්. එල්. සෙනෙවිරත්න

මහාචාර්ය එච්. එල්. සෙනෙවිරත්න

මම ජ්‍යොතිෂඥයෙකුවත්, ජනමත විමර්ශකයෙකුවත් නොවෙමි. එහෙත් පසුගිය ජනවාරි 8 වැනි දා සිදුවූ වෙනස දෙස බලද්දී, වඩාත්ම ඒ වෙනසට පාදක වූ පසුබිම් කරුණු දෙස බලද්දී, අගෝස්තු 17 වැනි දා එළැඹෙන මැතිවරණය මහින්ද රාජපක්ෂ පිළට ජයගත නොහැකි බව පැහැදිළි ය. ජනවාරි 8 වැනි දා වූ කලී, යම් සමාජ යථාර්ථයක ප‍්‍රකාශනයකි. එය, නිහඬව වර්ධනය වෙමින් පැවති සහ විශාල පිරිසකගේ පක්ෂපාතීත්වය කෙමෙන් අත්කර ගැනීමේ හැකියාව ලත් යථාර්ථයක් විය. ගත වූ මාස කිහිපය තුළ එම වර්ධනය යම් පරිහානියකට ලක්වූ බව කිව යුතුය. එසේ වුණේ, පොරොන්දු වූ ප‍්‍රතිසංස්කරණ විගසින් ඉටු කරලීමට සිරිසේන-වික‍්‍රමසිංහ ආණ්ඩුව අසමත් වීම නිසා ය. ඒ හේතුවෙන්, ජනවාරි 8 වැනි දා පරාජයට පත් බලවේග, ජයග‍්‍රාහී නව බලවේගය මරණයට පත්ව ඇතැයි සිතමින්, තමන් වෙත අලූත් ජවයක් ආරූඪ ගත්තේය. එහෙත් පසුව දිග හැරුණු ක‍්‍රියාවලිය දෙස බලද්දී පෙනෙන්නේ, ජයග‍්‍රාහි බලවේගය යම් නින්දකට වැටි සිටියා මිස මියගොස් සිටි බවක් නොවේ. දැන් එය යෝධ පන්නරයකින් නැවත නැගී සිටී. මේ අවස්ථාවේ නිරන්තර විමසිල්ලෙන් සිටීමත්, ඉදිරියේ පිහිටුවීමට නියමිත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව, මෙතෙක් කල් අප නිදහස් වීමට වෙර දැරූ පැරණි දේශපාලනික සංස්කෘතියට පල්ලම් නොබසින බවට වගබලා ගැනීමත්, පුරවැසියන් වශයෙන් අපට පැවරෙන වගකීමකි. එය වගකිව යුතු සෑම පුරවැසියෙකුගේම සැලකිල්ලට ලක්විය යුතු ප‍්‍රධාන කාරණයකි. විශේෂයෙන්, එකී දේශපාලන සංස්කෘතිය සමාජ ප‍්‍රපංචයක් වශයෙන් න්‍යායාත්මකව වටහා ගැනීමේ හැකියාවෙන් යුත් බුද්ධිමය කොටස්වල සැළකිල්ලට ලක්විය යුත්තකි.

UNPමන්ද යත්, එම දේශපාලන සංස්කෘතිය වනාහී ක‍්‍රමික විකාශනීය ක‍්‍රියාවලියක මස්තකප‍්‍රාප්තියක් මිස අහසින් කඩාපාත් වූ දෙයක් නොවන බැවිනි. එම සංස්කෘතිය තියුණු ආදර්ශයෙන් ප‍්‍රදර්ශනය කෙළේ මහින්ද රාජපක්ෂ පාලනය විසින් බව සැබෑවක් මුත්, එහි ආරම්භය අපේ නිදහස දක්වා දිවෙන්නකි. වඩාත් නිවැරදිව කිවහොත්, සමස්ත රාජධානියම සිය පෞද්ගලික සන්තකයක් වශයෙන් ගත්, සම්ප‍්‍රදායික පාලකයා රජ කළ, පූර්ව-යටත්විජිත සමය දක්වා දිවෙන්නකි. කෙසේ වෙතත්, වඩාත් ආසන්නතම සහ සෘජු මූලය හමුවන්නේ, 1972 සහ 1978 ව්‍යවස්ථාවන් තුළ ය. 1972 ව්‍යවස්ථාව මගින් රාජ්‍ය සේවය දේශපාලනීකරණයට ලක්කෙළේය. බහුතරයේ ආගමට රාජ්‍ය පිළිගැනීම ලබා දුන්නේය. 1977 ව්‍යවස්ථාව හරහා, ආසන මට්ටමේ මැතිවරණ ක‍්‍රමය අහෝසි කොට, මනාප ක‍්‍රමය සහිත සමානුපාතික නියෝජනයෙන් යුත් දිස්ත‍්‍රික් මැතිවරණ ක‍්‍රමයකට මාරු විය. එයින් සිදුවුණේ, මැතිවරණ ව්‍යාපාර වියදම ඉසිලිය නොහැකි තරමට අධිකතර වී, දේශපාලනය සහ කළු සල්ලි අතර අශුද්ධ සන්ධානයක් බිහි වීමට පාර කැපීමයි. අද අප නිදහස් වීමට වෙර දරණ දේශපාලන සංස්කෘතිය එහි දායාදයයි. මුලිනුපුටා දැමීම අසීරු වන තරමට, අපේ සමාජ සැකැස්මේ සෑම අහුමුල්ලක්ම එකී සංස්කෘතිය විසින් අද ආක‍්‍රමණය කරනු ලැබ ඇත. එසේ වෙතත්, මොන අයුරකින් හෝ එය මුලිනුපුටා දැමිය යුතුව තිබේ. එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සන්ධානය ජනවරමක් ලබා ගැනීමට යන්නේ එකී භාරදූර කාර්යභාරය සාක්ෂාත් කරගනු පිණිස ය.

ජනවාරි 8 වැනි දා පටන්, යහපාලනය යළි ස්ථාපිත කිරීම ඇරැුඹී තිබේ. එය වඩාත් ව්‍යාප්ත විය යුතුය. වඩාත් සංවිධිත විය යුතුය. විධිමත් පදනමක් මත ස්ථාපනය විය යුතුය. ඊට නියමිතව ඇති බොහෝ කාර්ය භාරයන් අතර, නීතිය හා සාමයත්, 17 වැනි සංශෝධනයෙන් අභිපේ‍්‍රරිත ආයතනික ස්වාධීනත්වයත් වැදගත් තැනක් ගනී. ඒ තත්වය තුළ, එක්සත් ජාතික පක්ෂ සන්ධාන ආණ්ඩුව, පවතින ව්‍යවස්ථාව තව තවත් සංශෝධනය කරනවාට වඩා, අළුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම ගැන යොමු වීම යෙහෙකි. එහිදී මහජන සංවාදයට සහ අදහස් උදහස් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය කාලය සැපයීමෙන් එම ක‍්‍රියාවලිය පොහොසත් කළ යුත්තේය. ජාතියක් ගොඩනැගීම අරභයා දැනටමත් ප‍්‍රමාද වී ඇති ප‍්‍රථම පියවරක් වශයෙන් ජාතික සංහිඳියාව සඳහා නව රජය යොමුවිය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ජාතික ආණ්ඩුවක් පිළිබඳ සංකල්පය කාලෝචිත ය. එය පරිපූර්ණ කර ගත යුතුව ඇත. ජාතික ආණ්ඩුවක වටිනාකම රැුඳෙන්නේ, එහි ආකෘතියට වඩා, ඊට පිටුදෙන ජාතික පොදු සම්මුතියක් තුළ ය. එය, ජාතික උන්නතියේ ප‍්‍රකාශනය මෙන්ම, එම ජාතික උන්නතිය සුරකින මුරබල්ලාද විය යුතුය. තරගකාරී දේශපාලන පක්ෂ තම තමන්ගේ වෙනස් ආරයන් තුළින් ඒ ඔස්සේ හඹා යා හැකි වෙතත්, ඔවුන් කවුරුත් ජාතික උන්නතිය කෙරෙහි පක්ෂපාතී විය යුත්තේය. එසේම ඔවුන් කටයුතු කළ යුත්තේද ජාතික උන්නතියට අදාළ රාමුව තුළ ය. කොටින්ම, ජාතික ආණ්ඩුවක්, ජාතික උන්නතියේ ප‍්‍රතිමූර්තිය විය යුත්තේය. දැන් ඇති කර ගන්නා එවැනි ජාතික ආණ්ඩුවක්, පසුව ගොඩනැගෙන, තමන්ගේම වන ආරයන් ඔස්සේ ජාතික අවශ්‍යතා හඹා යන, පක්ෂය ප‍්‍රමුඛත්වයට ගන්නා ආණ්ඩු සඳහා වන අගනා පුහුණු වැඩබිමක් වනු ඇත. ජාතික අවශ්‍යතා සමග පක්ෂ අවශ්‍යතා අනන්‍ය කර ගැනීමේ අවදානම කවදත් පවතින බව මෙහිදී අප මතක තබා ගත යුතුය. ඒ නිසාම, ජාතික උන්නතිය රැුක ගැනීම සඳහා මොන තරම් දෘඪතරව කැප විය යුතුද යන්නත්, මොන තරම් විපරමින් සිටිය යුතුද යන්නත් අප වටහා ගත යුතුව තිබේ.

ජනතාවගේ පැත්තෙන් තිබිය යුතු අප‍්‍රතිහත විපරම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සමාජයක් දැරිය යුතු මිල වන්නේය. එවැනි විපරමක් සඳහා, නිදහස් සහ නිර්භය මාධ්‍යයක් අවශ්‍ය කෙරේ. විසම්මුතියේ අති කාර්යක්ෂම වාහකය වන්නේ නිදහස් මාධ්‍යයි. වගවීම සහ යහපාලනයේ පෝෂණයට, විසම්මුතිය අත්‍යාවශ්‍යයි. විශේෂයෙන්, සංඛ්‍යාත්මක ශක්තියකින් යුත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හෙට පත්වීමට ඇති ශක්‍යතාව ඉදිරියේ අප සිහියේ තබා ගත යුතු වැදගත් කාරණයක් තිබේ. එනම්, බලය විසින් සියල්ල දූෂ්‍ය කළ හැකි බවයි. ඉතා යහපත් මිනිසුන් පවා, බල උන්මාදය තුළ, නිවටයන් බවට පත්විය හැකි බවයි. එවැනි සන්දර්භයක් තුළ, විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය වැනි කුඩා පක්ෂවලට අප ආශීර්වාද කිරීම නොමනා නොවේ. ආණ්ඩුකරණයේ නරුම ක‍්‍රියාකලාපය සහ දූෂිත සිද්ධීන් ඉදිරියේ පසුගිය කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණ ගෙන ගිය උත්කෘෂ්ට විවේචනය ඉදිරියටත් ගෙන යා යුත්තේය.

*2015 අගෝස්තු 16 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “A New Dawn” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.