16 December, 2017

Blog

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් වෙත විවෘත ලිපියක්: ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ අරභයා වන උපදේශන

ගරු මහලේකම්

දුමින්ද දිසානායක
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය

හිතවත් දුමින්ද,

වැදගත් ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කෙරෙහි ඇතැම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සහයෝගය නොදක්වන බවත්, ඒ අනුව, යෝජිත ප‍්‍රතිසංස්කරණ ගැන යම් සංවාදයක් සහ අදහස් සොයා බැලීමක් කෙරෙහි පක්ෂ නායකයා වශයෙන් ජනාධිපතිවරයා යොමු විය යුතු බවට ඔහුව පොළඹවා ඇති බවක් මාධ්‍ය හරහා දැන ගැනීමෙන් පසු මෙය ඔබට ලිවීමට සිත් විය.

මගේ මෙම අදහස් දැක්වීම එම සංවාදය සඳහා කෙරෙන්නක් බව සැලකුව මැනවි. එම අදහස්, මීට පෙර ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ විසින් කරන ලද මහජන අදහස් විමසීම් ඉදිරියේ මා ඉදිරිපත් කළ කරුණු දැක්වීම්වලට අනුපූරක වන බවත්, ජනාධිපති කුමාරණතුංග මැතිණිය යටතේ ‘සහන, පුනරුත්ථාපන සහ ප‍්‍රතිසන්ධාන’ පිළිබඳ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් සහ ඉතා මෑතකදී ‘යළි පදිංචි කිරීමේ අධිකාරියේ’ සභාපතිවරයා වශයෙන් මා ලද අත්දැකීම්වලින් ව්‍යුත්පන්න වන බවත්, කිව යුතුය.

2015 ජනවාරි ජනවරම සැලකිල්ලට ගන්න

වර්තමාන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියේ සන්දර්භය වන්නේ, මා විශ්වාස කරන පරිදි, 2015 ජනවාරි මාසයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලද ජනවරමයි. එය, ප‍්‍රතිසංස්කරණ සඳහා වූ පැහැදිළි ජනවරමකි. එම ජනවරම අත්පත් කර ගැනීමේ එදා පාර්ශ්වකරුවන් නොවුණ මුත් වර්තමාන ආණ්ඩුවේ අද පාර්ශ්වකරුවන් වන, අපේ රටේ ස්වෛරී ඡන්දදායකයා විසින් එදා සිය ජනවරම හරහා නිවැරදි කරවන ලද පිරිස් එම ජනවරමට දැන් විරෝධය පෑමේදී වැඩියත්ම පරිස්සම් විය යුතුව තිබේ. එසේම එදා ලද ජනවරම කුමක්දැ යි කියා දීම මොන විදිහකින්වත් එදා පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂගේ කාරියක් නොවන බවත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.

ව්‍යවස්ථා පිළිබඳ මහජන අදහස් විමසීම් සිදුව තිබේ

යෝජිත ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීම් රට පුරාම සිදු වූ බව ඔබ දන්නා බවට සැකයක් නැත. ඒ ප‍්‍රවිචාරණ ක‍්‍රියාවලිය තුළදී තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට අදාළ පාර්ශ්වවලට අවස්ථාව ලැබුණි. ඒ නිසා, නැවත මුල සිට පටන් ගැනීමට නොව, මේ දක්වා ඉදිරිපත් වී ඇති අදහස් උදහස් අධ්‍යයනය කොට ඒ ආශ‍්‍රයෙන් අවශ්‍ය විසඳුම් සොයා බලා සකසා ගැනීම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට වැඩදායක වනු ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හිඟයක්

1972 ජනරජ ව්‍යවස්ථාව ඇති කර ගත් දා පටන් සහ 1978 දී වර්තමාන ව්‍යවස්ථාව ඇති කර ගත් දා පටන් ගත වු කාලයෙන් අති විශාල කාලයක් තුළ රට පාලනය කෙරී ඇත්තේ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අභිබවා ගිය, ඒ නිසාම ව්‍යවස්ථානුකූල ආණ්ඩුකරණය සහ රටේ පවතින නීතියේ ආධිපත්‍යය පරදුවට තැබූ සහ හානියට පත්කළ හදිසි නීති රෙගුලාසි යටතේ ය. දශක ගණනාවක් තිස්සේ රටේ පැවති සිවිල් සන්නද්ධ ගැටුම්කාරී තත්වය තුළ එය වටහාගත හැකි වෙතත්, එයින් පසුව එවැන්නකට අවසරයක් ලැබෙන්නේ නැත. ශ‍්‍රී ලංකාව මුහුණදුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඒ නාය යාම, ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ හරහා සහ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හරහා ද, මැතිවරණ ප‍්‍රතිසංස්කරණ ඇති කර ගැනීම හා පුද්ගල සහ මානව අයිතීන් ශක්තිමත් කර ගැනීම හරහා ද, නිවැරදි කර ගත යුතුව තිබේ.

සියලූ දෙනා ඇතුළත් කරගන්නා රාජ්‍යයක් නිර්මාණය කර ගැනීම

සමහර විට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සඳහා වන වඩාත් සාරගර්භ තාර්කිකත්වය සැපයුවේ, මීට අවුරුදු විසි පහකට ආසන්න කාලයකට පෙර, එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ඝාතනය කරන ලද, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය නීලන් තිරුචෙල්වම් විය හැකිය. ‘‘බහු-වාර්ගික රාජ්‍ය සංස්ථාවක් මත ඒක-වාර්ගික රාජ්‍යයක් පැටවීමේ විකෘතිය’’ අප නිවැරදි කරගත යුතුව ඇතැයි ඔහු කීය.

යමක් දෙස ඕනෑ කමින් නොබලන කෙනෙකු මිස වෙන ඕනෑම කෙනෙකුට පෙනෙන දෙයක් තිබේ. එනම්, ශ‍්‍රී ලංකාව වනාහී, වාර්ගික තීරු ඔස්සේ ද්‍රැවීකරණයට ලක්වූ සමාජයක් වන බවයි. එය සියල්ලන් ඇතුළත් කර නොගන්නා සහ අනෙකා නොඉවසන රාජ්‍ය ආයතන සහ රාජ්‍ය ව්‍යුහයන්ගෙන් සැදුම්ලද්දේ වෙයි. ගිය වසරේ නිදහස් දින උත්සවවලදී ජාතික ගීය දෙමළ භාෂාවෙනුත් ගායනා කිරීම අරභයා පැන නැගුණු දරුණු ආන්දෝලනය මගින් පෙන්නුම් කරනු ලබන්නේ, එක පැත්තකින් රාජ්‍ය උත්සවවල අතීතයේ පැවති ඒක-වාර්ගික සහ ඒක-භාෂාමය ස්වරූපයත්, සියල්ලන් ඇතුළත් කරගන්නා සහ අනෙකා ඉවසන රාජ්‍යයක් වශයෙන් ගොඩනැගීමට මොන තරම් ප‍්‍රතිසංස්කරණ අපට අවශ්‍ය කරන්නේද යන්නත් ය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වන්නේ මුලින්ම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමණින් ක‍්‍රියාත්මක කැරැුවීම නම්, ව්‍යවස්ථාවේ මෙතෙක් ක‍්‍රියාත්මක කොට නැති එකී අංග විධායක ජනාධිපති නියෝගයක් මගින් ගැසට් කැරැුවීමට කිසි බාධාවක් නැත.

ජනාධිපති කුමාරණතුංග සහ රාජපක්ෂ යටතේ පැවති, බලය බෙදා හැරීම පිළිබඳ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතීත ස්ථාවරයන් පරීක්ෂා කර බලන්න

සියල්ලන් ඇතුළත් කර ගැනීම, විවිධත්වය භාර ගැනීම සහ අනෙකා ඉවසීම මත පදනම් වන දේශපාලනික විසඳුම් සෙවීම ගැන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇත්තේ ඉතා සරු ඉතිහාසයකි. එය, ශත වර්ෂ භාගයක ඈත අතීතයක බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම දක්වා දිවෙයි. ජනාධිපති කුමාරණතුංග විසින් මෙන්ම රාජපක්ෂ විසින්ද නායකත්වය දෙන ලද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු අනුගමනය කළ ප‍්‍රතිපත්ති, දේශපාලනය සහ චින්තනය හඳුනා ගැනීමටත්, උකහා ගැනීමටත් වගකීමක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබේ. මේ කාරණය අරභයා විශේෂ අදාළත්වයක් ඇති විවිධ කර්තව්‍යයන්, විවිධ නිර්දේශ සහ විවිධ ප‍්‍රතිපත්ති, රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදී, කෘතහස්ත පැරණි වාමාංශික නායකයන් වන ඩිව් ගුණසේකර සහ මහචාර්ය තිස්ස විතාරණ වැන්නන්ගේ නායකත්වය යටතේ පැවති ‘සර්ව පාක්ෂික නියෝජිත කමිටුව’ හරහා අපට හමු වෙයි. තමන්ගේම පාලනය යටතේ පවා ඇති කර ගත් බලය බෙදා හැරීම පිළිබඳ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රතිපත්ති හිටපු ජනාධිපතිවරයා දැන් පිළිනොගන්නේ නම්, එය හැඳින්විය හැක්කේ අවස්ථාවාදී සහ ග‍්‍රාම්‍ය ආස්ථානයන් වශයෙන් බවත්, පවතින ආණ්ඩුව මේ වසරේදී පෙරලා දමන බවට වහසි බස් දොඩන පුද්ගලයෙකුගේ පටු දේශපාලනික වාසි වශයෙන් බවත් පෙන්වා දිය යුතු අතර, එවැන්නෙකුගේ අදහස් බරසාරව ගැනීමට හේතුවක් නැති බවත් පෙන්වා දිය යුතුය.

රාජපක්ෂ පාලනයේ වැරදි සියුම් පරීක්ෂාවට ලක්කොට, අතීතයේ වැරදි යළි නොකිරීමෙන් වළකින්න

2020 ඊළඟ මැතිවරණයට කලින්, විශේෂයෙන් රාජපක්ෂ සමයේ දෙවන වාරය තුළ සිදු වූ වැරදි ගැන විවෘත සහ අවංක සොයා බැලීමක් කරමින් ඒවා නිවැරදි කරන ක‍්‍රියාමාර්ග ගැනීම පමණක් නොව, ආපස්සට යාමක් ගැන සිතනවා වෙනුවට අනාගතය සඳහා වන නව මාවතක ගමන් කිරීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට පැවරෙන ප‍්‍රධාන වගකීමක් වන බව ගෞරව පූර්වකව ඔබ වෙත දන්වා සිටිනු කැමැත්තෙමි. හතර වටේ පැවති දූෂණය, විශේෂයෙන් හිතුවක්කාර යෝධ ව්‍යාපෘති වෙනුවෙන් ගොඩගසා ගත් ණය කන්දරාවකින් ආර්ථිකය රෝගී කිරීම, අපේ ප‍්‍රධාන පෙළේ වෙළඳ පාර්ශ්වකාර රටවල් සමග පැවති සම්බන්ධතා විනාශ කර ගැනීම සහ මානව හිමිකම් අපහරණය කිරීම, මාධ්‍ය නිදහස වැළලීම, විධායකය තුළ බලය කේන්ද්‍රගත කර ගැනීම, අධිකරණය හීලෑ කර ගැනීම සහ ඥාති සංග‍්‍රහය ආයතනගත කිරීම ආදිය පිළිබඳව පැවති මහජන ආකල්පය සහ විරෝධතා එම ජනාධිපතිවරයාව පලවා හැරීම සඳහා උපස්ථම්භක වූ බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

අවසාන වශයෙන්, 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ඔබ ගත් එඩිතර සහ ප‍්‍රතිපත්ති ගරුක ස්ථාවරය මම බෙහෙවින් අගය කෙළෙමි. ඔබේ මුහුකුරා ගිය දේශපාලනික පරිණත භාවය සහ දූරදර්ශී භාවය ඔබේ මියගිය පියාට උපහාරයක් වන බවත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයට ඔබ තරම් සුදුසු වෙනත් තරුණ නායකයෙකු මට සිතාගත නොහැකි බවත් දන්වා සිටිනු කැමැත්තෙමි.

ඔබ දන්නා පරිදි දැනට මම විදේශ ඇමතිවරයාගේ උපදේශකයෙකු වශයෙන් කටයුතු කරන්නේ වී නමුත් ඉහත දැක්වූ කරුණු පුද්ගලයෙකු වශයෙන් මගේ අදහස් වන බවත් කරුණාවෙන් සළකන්න.

ඔබේ ව්‍යායාමයන් සර්ව ප‍්‍රකාරයෙන් සාර්ථක වේවා යැයි පැතීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.

මෙයට,
විශ්වාසී,

හරීම් පීරිස්

*2017 ජනවාරි 27 වැනි දා ‘ඩේලි නිව්ස්’ පුවත්පතේ පළවූ “An Open Letter to SLFP General Secretary Duminda Dissanayaka: Consultation on Constitutional Reforms” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.