21 September, 2021

Blog

ජිනීවා යෝජනාවෙන් පසුව ශ්‍රී ලංකාව ගත යුතු දේශප්‍රේමී මාවත කුමක්ද?

හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

පසුගිය මාර්තු 23 වනදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහි 46/1 යෝජනාව ඡන්ද 22 ක් පක්ෂවද ඡන්ද 11 ක් විපක්ෂවද ලැබීමෙන් වැඩි ඡන්දයෙන් සම්මත විය. රටවල්  14 ක් ඡන්දය පාවිච්චි නොකරන ලදී. සම්පුර්ණ රටවල් ගණන 47 කි.

මෙම කාරණය විවිධ පුද්ගලයන් විසින් විවිධ දෘෂ්ටි කෝණ වලින් අර්ථ කථනය කරනු ලැබේ. එකක් වන්නේ බටහිර දෘෂ්ටි කෝණයයි. ඒඅනුව සම්පුර්ණ බර මානව හිමිකම් මත තබනු ලබන අතර බටහිර රාජ්‍ය වල දේශපාලන අභිලාෂයන් නොතකා හරිනු ලැබේ. අනෙක චීන හෝ රුසියන් හෝ දෘෂ්ටි කෝණයයි. අනුව රාජ්‍ය වල අභ්‍යන්තර කරුණු වලට අත පෙවීම නුසුදුසු යයි තීරණය කරනු ලබන අතර එය එම රටවල දේශපාලන අභිලාශයක් බව සඟවනු ලැබේ. තවකක් වන්නේ සිංහල දෘෂ්ටි කෝණයයි. අනුව මෙය ශ්‍රී ලාංකික හමුදා වන්ගේ යුද්ධ ජයග්‍රහණයට එරෙහි ශ්‍රී ලංකාවට පසමිතුරු ක්‍රියාවක් ලෙස හඳුන්වනු ලැබේ. දෙමළ දෘෂ්ටි කෝණය අනුව මෙය ශ්‍රී ලංකාවට කරන ලද දඬුවමක් වන අතර එය සැර මදිය. රාජ්‍ය තාන්ත්‍රික දෘෂ්ටි කෝණය අනුව උපායශීලිව කටයුතු කලේ නම් මෙය වලක්වා ගත හැකිව තිබුන බව කියැවේ.

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ආයතනයක මෙතෙක් සම්මතවූ යෝජනා අතරින් බරපතලම යෝජනාව මෙයයි. එහි පුර්විකාවට අමතරව යෝජනා 16 ක් තිබේ. එම යෝජනා දාසයෙන් වඩාත්ම බරපතලම යෝජනාව හයවැන්නයි. එය මෙසේය.

වගවීම ඉදිරියට ගෙන යාමේ අරමුණින් ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනය කිරීම් හා ඒවාට සම්බන්ධ අපරාධවල සාක්ෂි ආරක්ෂා කිරීමේ හා විශ්ලේෂණය කිරීමේ වැදගත්කම හඳුනාගෙන ඇති අතර, ශ්‍රී ලංකාවේ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතියේ බරපතල ලෙස කඩකිරීම් ගැන සාක්ෂි සහ තොරතුරු එකතු කිරීම, ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය කිරීම සහ සංරක්ෂණය කිරීම සහ, නිසි අධිකරණ බලය සහිත සාමාජික රටවල් තුළ ඇතුළුව, සුදුසුකම් ලත් විනිශ්චය මණ්ඩල ඉදිරියේ වින්දිතයින් සහ දිවි ගලවා ගත් අය වෙනුවෙන් පෙනී සිටීම සහ අදාළ අධිකරණ හා වෙනත් කටයුතු සඳහා සහාය වීම සඳහා අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා හැකි උපාය මාර්ග සංවර්ධනය කිරීමට උද්දේශනය කිරීම සම්බන්ධයෙන් මහ කොමසාරිස් කාර්යාලයේ ධාරිතාව ශක්තිමත් කිරීමට තීරණය කෙරේ” (පරිවර්තනයදේදුනු සංවාද)

මෙම යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ ප්‍රශ්ණය ශ්‍රී ලංකා භූමියෙන් පිටතට ගෙන යනු ලැබේ. එමෙන්ම එහි කාල පරාසයක්ද නොමැත. වර්ෂ 2009 මැයි මස අවසන්වූ යුද්ධයේ මෙන්ම ඊට පසුව කෙරෙන ක්‍රියා සම්බන්ධයෙන්ද මෙම යෝජනාව බලපානු ඇත. සන්නද්ධ කැරැල්ල මැඩපැවැත්වීමේදී  සිදු වූවා යැයි කියනබරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම්හෝජාත්‍යන්තර මානුෂීය නීතියේ බරපතල ලෙස කඩකිරීම්හෝ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී විදේශීය විනිශ්චය කරුවන් යොදා නොගන්නේයැයි මෙම රජය විසින්ද පසුගිය රජය විසින්ද කරන ලද ප්‍රකාශ නිසරු ප්‍රකාශ බවට මේ අනුව පත්වෙයි. මක්නිසාද යත් අනාගතයේදී මේවා විමර්ශනයනිසි අධිකරණ බලය සහිත සාමාජික රටවල් තුළ ඇතුළුව, සුදුසුකම් ලත් විනිශ්චය මණ්ඩල ඉදිරියේසිදු කෙරෙනු ඇත. ක්‍රියා වලින් තොර බොරු වගාඩම්බර කථා වල ප්‍රතිවිපාක ශ්‍රී ලංකාවට විඳීමට සිදුවී තිබේ. අප දැනටත් යැපෙන්නේ මෙවැනි බොරු වගාඩම්බර කථා මතය. මෙම යෝජනාව අනීතික යෝජනාවක් බව ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා යයි කියන පුද්ගලයා පාර්ලිමේන්තුවේදී, නැවතත් කියමි, පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව යනු ඇමරිකාවේ ශක්තියද ස්ව ශක්තියද මත යැපෙන ඊශ්රාලය නොවන බවද ශ්‍රී ලංකාවට රුසියාව හෝ චීනය හෝ ඊශ්රාලයට ඇමෙරිකාව මෙන්මියෙන්නේ නම් මියෙම්වා රැකෙන්නේ නම් රැකෙම්වායන මට්ට්ටමෙන් උදවු නොකරන බවද අප විසින් මතක තබා ගත යුතුය.

විවිධ පාර්ශ්වයන් ඉදිරිපත් කල මත පසෙක තබා ශ්‍රී ලාංකික දෘෂ්ටි කෝණයෙන් බැලුව හොත් මේ ප්‍රශ්ණය කෙසේ පෙනෙනු ඇතිද? සඳහා ප්‍රශ්ණයේ මුලට යා යුතුය.

බොහෝ පහසුවෙන් විසඳා ගත හැකිව තිබූ ජාතික ප්‍රශ්නය කුරුවල් කරන ලද්දේ රාජ්‍ය බලය හෙබවූ දේශපාලනඥයන් විසිනි. සිංහලයන් තුල දමිළයන් කෙරෙහි වූ අවිශ්වාස සහගත හැඟීම උද්දීපනය කිරීම මගින් බලයට පැමිණීමේ කෙටි මගක් සොයා ගන්නා ලද්දේ බණ්ඩාරනායක විසිනි. එක්සත් ජාතික පක්ෂයද සිය ප්‍රතිපත්ති වෙනස් කර එම මගම අනුගමනය කල අතර දෙමළ ජනතාවගේ සාමකාමී විරෝධයන් නොසලකා හරින ලදී. සන්නද්ධ අරගලය ආරම්භ වූයේ මෙම තත්ත්වයට ප්‍රතික්‍රියාවක් වශයෙනි.

දෙමල ජාතික සන්ධානය විසින් පසුගියදා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සාදා ගැනීමේ කමිටුව වෙත යවනු ලැබූ යෝජනාව තුල බලය බෙදා ගැනීමේ අරගලයේ ඉතිහාසය අවදි හතරකට වර්ග කර ඇත.නිදහස ලැබීමට පෙර ජි. ජි. පොන්නම්බලම් දෙමල ජනතාවට සම තත්ත්වය ඉල්ලා සිටියේය. නිදහසෙන් පසුව 1951 ෆෙඩරල් පක්ෂයේ ආරම්භයත් සමග දෙමල ජනතා නියෝජිතයෝ ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක් ඉල්ලන ස්ථාවරයකට පත්වුහ. වර්ෂ 1971 දෙමල ජනතාවගේ මුලික අයිතීන් ඇතුලත් නොවූ නිසා 1976 වඩුක්කොඩෙයි යෝජනාව මගින් වෙනම රාජ්‍යයක් ඉල්ලන ස්ථාවරයකට දෙමල ජනතා නියෝජිතයෝ මාරු වූහ. වර්ෂ 1987 ඉන්දීය මැදහත් වීම මත සම්මත කරගත් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සමග එහි  ප්‍රතිපාදන වලට සම්පුර්ණයෙන් එකඟ නැති වුවත් දෙමල ජනතා නියෝජිතයෝ බෙදුම්වාදය අතහැර දමා පාර්ලිමේන්තුවට පිවිසුනහ.

එනමුත් වර්ෂ 1971 න් පසුව ආරම්භ වූ ද්‍රවිඩ සන්නද්ධ අරගලය ප්‍රජාතන්ත්‍රවාදී ද්‍රවිඩ නායකයන්ද ඇතුළු බොහෝ අය විනාශ කරමින් ඉදිරියටම ගිය අතර එම අරගලයට සහයෝගය දීමට ද්‍රවිඩ ප්‍රජාතන්ත්‍රවාදී නායකයන්ට බල කෙරින.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකට එරෙහිව කෙරෙන අරගලයක් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය පැත්තෙන් අනුමත කල නොහැක. ආපසු හැරී බලන විට සන්නද්ධ අරගලයේ යෙදුන කණ්ඩායම් වල පැත්තෙන් එය අනුමත කල නොහැක. ඔවුන් විසින් කල යුතුව තිබුණේ ප්‍රචණ්ඩකාරී නොවන දේශපාලන විරෝධතා ව්‍යාපාරයකි. මහත්මා ගාන්ධි විසින් ආරම්භ කල මෙම විධි ක්‍රමය ජිනී ශාප් විසින් පසුව සූත්‍ර ගත කරන ලදී. ප්‍රජතන්තරවාදී රාජ්‍යයන්ට නොව ඒකාධිපති රාජ්‍යයන්ට එරෙහිව කෙරෙන අරගල වලදී ජිනී ශාප් විසින් මෙම ක්‍රමය නිර්දේශ කිරීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ ඒකාධිපති රාජ්‍යයන් නිසගයෙන්ම ආයුධ බලයෙන් සන්නද්ධව ඇති බැවින් ඔවුන් බලවත් නොවන ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් ඔවුන්ගේ බලයට අභියෝග කිරීම පහසු වන නිසාය. කෙසේ වෙතත් මෙම ක්‍රමය මගින් වෙනම රාජ්‍යයක් ලබාගත නොහැක.

විටින් විට පැවති සාම සාකච්ඡාවල කූට ප්‍රාප්තිය ඇතිවූයේ රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දැරූ 2001-2004 සමයේ නොර්වේ හි ඔස්ලෝ නුවර 2002 දෙසැම්බර් මස 2-5 කාලයේ පැවැත්වූ තුන්වන සාකච්ඡා වටයේදී ජි එල් පිරිස් ගේ නායකත්වයෙන් යුතු රජයේ නියෝජිත පිරිස සහ ඇන්ටන් බාලසිංහම් ගේ නායකත්වයෙන් යුතු  එල් ටි ටී නියෝජිත පිරිස දෙමල කතා කරන ජනතාවගේ ඓතිහාසික වාසභූමිය වන ප්‍රදේශ වල අභ්‍යන්තර ස්වයං පාලනය පදනම් කරගත් විසඳුමකට හා එක්සත් ශ්‍රී ලංකාවක් තුල පෙඩරල් ක්‍රමයක් ඇති කිරීමට ඇති හැකියාව සොයා බැලීමට එකඟ වීම මගිනි. රජය පැත්තේ සාකච්ඡා වල නායකයා වූ ජි එල් පිරිස් සහ රජය විසින් එය බොහෝ සෙයින් වර්ණනා කරන ලදී. සම්පුර්ණ සාකච්ඡා වට හයක් ලෝකයේ විවිධ නගර වල පවත්වන ලද අතර අදාල සාකච්ඡාවට පසුව පැවැත්වූ සාකච්ඡාවලදීද අභ්‍යන්තර ස්වයංපාලනය පිලිබඳ යම් කරුණු සාකච්ඡා විය. එනමුත් තරමක් පසුව පැවැත්වූ ඊළඟ සාකච්ඡා වාරයේදී ප්‍රභාකරන් විසින් බාලසිංහම් ඉවත් කර වෙනුවට තමිල් සෙල්වම් පත් කරන ලදී. ඉන් පසුව අභ්‍යන්තර ස්වයංපාලනය හෝ ෆෙඩරල් විසඳුම හෝ ගැන කථා නැත.

මෙම සන්නද්ධ අරගලය එල් ටි ටී පැත්තෙන් වෙනම රාජ්‍යයකින් අවසන් විය යුතු බවද එයට ප්‍රතික්‍රියා වශයෙන් රාජ්‍යය පැත්තෙන් එය සන්නද්ධවම පරාජය කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද නිගමනය කරන ලද්දේ ප්‍රභාකරන් විසිනි. රනිල් වික්‍රමසිංහ විසින් හෝ මහින්ද රාජපක්ෂ විසින් හෝ නොවේ.

සිය අභිමතාර්ථ සාධනය වනු ඇතැයි බලවත් විශ්වාසයක් ප්‍රභාකරන් තුල විය. අනුව ඔහුට දෙවන සැලැස්මක් නොතිබිණ. සන්නද්ධ අරගලයෙන් ප්‍රභාකරන් පරාජය වූ පසුව දෙමල ජනතාවට අභ්‍යන්තර ස්වයංපාලනය හෝ ෆෙඩරල් විසඳුම හෝ තබා ව්‍යවස්ථාවේ ඇති 13 ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කරගැනීමට වත් නොහැකි වී තිබේ. එසේ නොහැකි වී ඇත්තේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 13 ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ ඊට අමතරව දෙවන මන්ත්‍රණ සභාවකද සහතික වීම් සහ එදා සිට අද දක්වා 13 ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ඉන්දියාවෙන් කෙරෙන නොමඳ බලපෑම් මධ්‍යයේය.

සන්නද්ධ අරගලයේදී විශේෂයෙන්ම එහි අවසාන භාගයේදී ශ්‍රී ලංකා හමුදාව වෙතින් යුද්ධ අපරාධ කෙරී ඇතැයි විවිධ ප්‍රවෘත්ති කාලයේදී පලවූ අතර ශ්‍රී ලංකා රජය ඒවා  ප්‍රතික්ෂේප කළේය. එම ප්‍රතික්ෂේප කිරීම් සාධනීය නොවූ අතර පළමුවෙන් සිවිල් වැසියන් කිසිවකු ඝාතනය වූයේ නැතැයි කී රජය පසුව යම් ප්‍රමාණයක් ඝාතනය වී ඇතැයි පිළිගත්තේය. මෙම තත්ත්වය යටතේ ස්වාධින පරීක්ෂණයක් තිබිය යුතු බවට විවාදයක් නොමැත.

හමුදාව පැත්තෙන් සලකන කල මෙම චෝදනාව විනයගරුක හමුදාවක් ලෙස ඔවුන්ගේ ගෞරවයට හානි කරන අතර ලොව බලවත්ම රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම යුදමය වශයෙන් පරාජය කිරීමේ ඔවුන්ගේ අභිමානයට කැළලකි. (ලොව බලවත්ම රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායමද එය පරාජය කල රාජ්‍ය හමුදාවද සමන්විත වුයේ ශ්‍රී ලාංකිකයන් ගෙනි.) එමතුද නොව යුද පිටියේ සටන මෙහෙයවූ සැබෑ නායකයා වන එවකට යුද්ධ හමුදාපතිවරයා හමුදාව යුද්ධ අපරාධ නොකළ බවද බව ඕනෑම පරීක්ෂණයකදී තමාට ඔප්පු කර පෙන්විය හැකි බවද කියයි.

සිංහල ජනතාව පැත්තෙන් සලකන කල මෙම චෝදනාව නින්දාවකි. සතුරා සමග සටන් කිරීමේදී නිරායුධ සතුරාට ආයුධයක් දී ඔහු සමග සටන් කල ඉතිහාසයක් ඔවුන් සතුව ඇත. ඉතිහාසයේ යුද පිටි වලදී තුවාල වී තිබුනේ ඔවුන්ගේ සෙබළුන්ගේ පිටුපසට නොව පපුවලට බව ඔවුහු කියති.

දෙමළ ජනතාවගේ පැත්තෙන් මෙය අන්තිම අසාධාරණයකි. නිරායුධ පිරිස් ඝාතනය වී ඇත්නම් චුදිතයාට දඬුවම් කිරීම නොව අවම වශයෙන් සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව වත් ඔවුන් දත යුතුය.

ශ්‍රී ලංකා රාජ්‍යය පැත්තෙන් මේ පිළිබඳව පුර්වාදර්ශ තිබේ. ජවිපෙ 1971 කැරැල්ල මර්දනයේදී අපරාධ කරුවන්ට එරෙහිව පැවරූ ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩුවද ඊලාම් යුද්ධයේ මුල් අවදියේදී සිදුවූ ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතනය කල අපරාධකරුවන්ට එරෙහිව පැවරූ නඩුවද අතර වේ.

එබැවින් මේ පිළිබඳව පරීක්ෂණයක් කර යම් පිරිස් හමුදා නීති වලට පටහැනිව කටයුතු කර ඇත්නම් ඔවුන් හඳුනා ගැනීම එසේ නොකළ අනෙකුත් හමුදා භට පිරිස් වල ගෞරවය සහ අභිමානය රැකීමකි. මෙම ගෞරවය සහ අභිමානය සඳහා ඔවුන්ගේ සහෝදර භට පිරිස් සමහරක් සිය ජිවිත කැප කල අතර සමහරක් සදාකාලිකව අබාධිත වූහ. ඉතා විශාල සංඛ්‍යාවක් වන මෙම භට පිරිස් වල ගෞරවය සහ අභිමානය සුළු පිරිසක් වෙනුවෙන් කැපකිරීම කිසිසේත්ම දේශප්‍රේමය නොවේ.

මේ සම්බන්ධයෙන් බොහෝ සාධනීය යෝජනා එවකට ශ්‍රී ලංකා රජය වෙතට ඉදිරිපත් විය. එකක් දකුණු අප්‍රිකානු මොඩලයයි. පසුව දකුණු අප්‍රිකානු ජනාධිපති බවට පත්වූ සිරිල් රමපෝෂා මේ සඳහා සාකච්ඡා වකට මෙරටට පැමිණි අතර පසුව රජය එම යෝජනාව අතහැර දමන ලදී. මේ පිළිබඳව දේශීය පරීක්ෂණයක් නොවන විට හිටපු එක්සත් ජාතින් ගේ මහ ලේකම් බන් කී මුන් විසින් දරුස්මාන් කමිටුව පත් කරන ලදී. එයට මෙරටට පැමිණීමට අවස්ථාව නොදුන් නිසා කමිටුව විසින් ශ්‍රී ලංකා පාර්ශ්වයේ අදහස් ඇතුලත් නොකර ඒක පාර්ශ්වික වාර්තාවක් ඉදිරිපත් කරන ලදී. අතිශයෝක්තියකින් යුක්ත යයි සැලකෙන 40,000 පැමිණියේ අනුවය. ජිනීවා යෝජනාවෙන් පසුව ආණ්ඩුව සියලු පාර්ශ්වයන්ගේ  විශ්වාසයට හේතුවන පරිදි දේශීය විමර්ශනයක් ආරම්භ නොකළ හොත් ප්‍රතිඵලය දරුස්මාන් වාර්තාව වැනිම වනු ඇත.

ශ්‍රී ලංකාව දැන් ගමන් කරමින් සිටින්නේ හේතු ඵල ධර්මයන් අනුව සැකසෙමින් තිබෙන මාවතක් දිගේය. වර්තමාන ආණ්ඩුව මේ මාර්ගයේ යාමට කැමැත්තක් දක්වන බව පෙනෙන්නට තිබේ. මක්නිසාද යත් ජිනීවා යෝජනා වල හත් වන යෝජනාවේ ඇතුලත් කරුණු වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව කෙරුණු දේ සම්බන්ධයෙන් වන අතර අටවන යෝජනාව තනිකරම කොවිඩ් ආසාදනය වූ මුස්ලිම් මල සිරුරු ආදාහනය සම්බන්ධයෙන් වේ. පළපුරුදු දේශපාලනඥයකු වන මහින්ද රාජපක්ෂ මේ පිළිබඳව මුල සිටම විරුද්ධ වූ අතර අවසානයේදී එම මල සිරුරු භූමදානයට ඉඩ දෙන බවට පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක්ද කළේය. පකිස්ථාන් අගමැතිවරයා පිළිබඳව ප්‍රසංශා කල පසුව පවා ආණ්ඩුව එම ප්‍රකාශයට වෙනත් අර්ථයක් දීමට උත්සාහ කළේය. එය එම පිලේ දේශපාලන නායකයා වන අගමැතිවරයාට කරන ලද නින්දාවකි. එමෙන්ම ජිනීවා සැසි වාරය පැවැත්වෙන අතරතුර පවා යෝජනාව තවත් බලවත් කිරීමට හේතුවන කරුණු ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ විය.

එබැවින් ආණ්ඩුව ක්‍රියාත්මක  කරමින් තිබෙන්නේ තමන් විසින් සැලසුම් සහගතව තෝරා ගත්  වැඩ පිළිවෙලකි. එය රට දේශපාලනිකව සහ ආර්ථික වශයෙන් අර්බුදයකට ගමන් කරන මාර්ගය විවර කරයි. එබැවින් එය අවසානයේදී සිංහල ස්වොත්තමවාදයද අනිවාර්ය අර්බුදය කට රැගෙන යනු ඇත. එම අවස්ථාවේදී සිංහල ස්වොත්තමවාදය තව දුරටත් නැංවිය  හැක්කේ ජනතාවගේ දේශපාලන මුග්ධභාවය ඉහල නැංවීමෙන් පමණි. එබැවින් මේ වැඩ පිළිවෙල දේශප්‍රේමී හෝ අවම වශයෙන් උපායශීලි හෝ නොවේ. එය ඊළඟ මැතිවරණයේ දී ජාතිවාදී සිංහල බෞද්ධ ඡන්ද  ඉලක්ක කරගත් ඉතාමත් ලාමක උත්සාහයකි.

එසේනම් රට ක්‍රියාත්මක  කල යුතු සැබෑ දේශප්‍රේමි වැඩ පිළිවෙල කුමක්ද? පළමුවෙන් එය ඊළඟ මැතිවරණය හෝ ලාභ ජනප්‍රියතාව හෝ ඉලක්ක කර නොගත් කෙටිකාලින නොව දීර්ඝ කාලීන දැක්මක් ඇති වැඩ පිළිවෙලක් විය යුතුය. දෙවනුව එය රටේ සමස්ත ජනතාව ඒකරාශී කරන සියලු දෙනාගේම සහයෝගය දිනාගත් වැඩපිළිවෙලක් විය යුතුය. සිංහල හෝ දෙමල හෝ මුස්ලිම් හෝ වේවා සිය වර්ගය හෝ ආගම හෝ ගැන පමණක් සිතන්නා දේශප්‍රේමියෙක් වන්නේ කෙසේද? ඔහු බෙදුම්වාදියෙකි, ආත්මාර්ථකාමියෙකි. සැබෑ දේශප්‍රේමියා රටේ සමස්ත ජනතාව ගැන සිතයි. අපට එවැනි දේශප්‍රේමින් බොහෝ පිරිසක් දැන් අවශ්‍ය වී තිබේ.

Print Friendly, PDF & Email

Latest comment

  • 2
    0

    දේශප්රේමි මාවත කොහොම වෙතත්, අද වෙනකොට රටම කලම්බල තිබෙන්නෙ. කිසිම සුලු දෙයක් හරි විදියට කරගන්න බැරි තත්වයක් අද වෙනවිට ගොඩ නැගිල. සෞඛ්‍ය අමාත්යන්ශය ඉතාමත් දුර්වල බවක් පෙනෙනව. පිටරට වල සිට රට එන ස්රිලන්කෙන් වැසියන්ට සලකන ආකරය තුලින් මේ අයට මේ රටේ සන්චාරක කර්මාන්තය ගොඩ නැගීම කෙසේ වෙතත්, වැනසීමේ වැඩ සටහනක් දැනට කරගෙන යන ඔලමොට්ටල වැඩ පිලිවෙලින් ගොඩ නැගෙනව… පිටරට ඉන්න අය රටේ දියුනුවට – අතහිත දෙන අය බව තේරුම් ගන්න තරම අබ ඇටය මොලගෙඩියක් නැති රජයක් මේ රජය. අද චන්දය තිබුනොත් මේ රට මේ රාජපක්ශ වරුන් ගෙඩර යවන එක කරනවා මයි. ඒකට නකෂත්‍ර බුරූවන් මැදි හත් වෙන්න වැඩක් නැහැ. රට නිදහසෙන් පසුව ඇති වුන පාදඩම රජය මේ ගෝටබය කියන සුනඛයන්ගෙන් ගොඩ නැගුන කිව යුතුමයි… අපේ ජාතියට බුදු සර්නයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.