25 April, 2024

Blog

අතුරු අයවැය 2022: රටේ ආර්ටික දිශානතිය වෙනස් කිරීම

හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති වශයෙන් 2022 අතුරු අයවැය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.මෙම අයවැය අනුව රටේ ආර්ථික ඉදිරි ගමනේ මූලික දිශානතිය වෙනස්වේ. එනම් ආර්ථික ක්‍රියාකාරකම් වලින් රජය බැහැර වී නියාමනයට ප්‍රමුඛත්වය ලබා දීමයි.

අපේ රටේ දීර්ඝ කාලයක් තිස්සේ පැවතී ආණ්ඩු විසින් රටේ ආර්ථික ගමනේ මූලික දිශානතිය වරින් වර වෙනස් කර ඇත.සමහර අවස්ථා වලදී එය සම්පුර්ණයෙන්ම අංශක 180 ක් ආපසු හැරී ගමන් කර තිබේ. රට ආර්ථික අගාධයකට වැටී ඇති මේ අවස්ථාවේදී මෙම දිශානතියේ වෙනස අත්‍යවශ්‍ය කාරණයකි.

මේ වෙනස ජනාධිපතිවරයාට පක්ෂපාතිත්වය දක්වන පොදුජන පෙරමුණේ දේශපාලන දැක්මට  වෙනස්ය. එනමුත් ඔවුන්ගේ දේශපාලන දැක්මට පටහැනිව විවිධ ප්‍රයෝගික තීන්දු ඔවුන් විසින් ගෙන ඇත. 2022 අයවැය ඉදිරිපත් කරද්දී බැසිල් රාජපක්ෂ එවකට මුදල් ඇමතිවරයා විසින් රාජ්‍ය ව්‍යවසාය 300 ක් පමණ තිබෙන බවත් ඒවාට රජය විසින් කර ඇති ආයෝජනය රුපියල් බිලියන 670 කට අධික වන බවත් ඒවා නඩත්තු කිරීමට රුපියල් බිලියන 75 ක් පමණ වාර්ෂිකව වැය කරන බවත් කියා සිටියේය. මෙම නාස්තිය නැති කිරීමට ඔහු යෝජනා කලේ කාර්යක්ෂම කළමනාකාරීත්වයකි.

කාර්යක්ෂම කළමනාකාරිත්වයක් තිබේ නම් ලාභ වැඩි කල හැකිය. සිංගප්පුරුවේ රජය සතු දැවැන්ත සමාගමක් වන ටෙමාසෙක් එවැන්නකි. ලංකාවේ සමාජ සංස්කෘතිය සහ එහි උප කුලකයක් වන දේශපාලන සංස්කෘතිය අනුව වැඩි සැලකිලි ලැබෙන්නේ හිතවතාටයි. සුදුස්සාට නොවේ. නීතියට නොවේ. සිංගප්පුරුවේ ද තිබුණු මෙම සංස්කෘතිය එම රටේ අගමැති විසින් බලහත්කාරයෙන් වෙනස් කරන ලදී.

ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරයි. එය කළ යුතු දෙයකි. එයට වඩා විශාල සමාජ සංස්කෘතිය ද ලි ක්වාන් යු කළාක් මෙන් වෙනස් කළ යුතුය.

රාජ්‍යය කුඩාවී ප්‍රතිපත්ති සකස් කිරීමට සහ නියාමනයට ප්‍රමුඛතාව දුන හොත් එය රටේ මූලික ප්‍රශ්නයක් වන අයවැය හිඟය කෙරෙහි ක්ෂණිකව ධනාත්මක ලෙස බලපායි. රටේ ගාමක චින්තනය වන හිතවතුන්ට සැලකීම එනම් නීතියට නොසැලකීම සහ ව්‍යාපාර රජය සන්තකයේ තබා ගැනීම උත්කර්ෂයට නංවනු ලැබූ එක් අවස්ථාවක් මෙසේය.

මහින්ද රාජපක්ෂ ජනපතිව සිටි යුගයේ එමිරේට් සමගම විසින් පාලනය කල ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් පුද්ගලික සංචාරයක යෙදී සිටි ජනාධිපති ඇතුළු කණ්ඩායමක ට පහසුකම සැලසීම වස් මුදල් ගෙවා ආසන වෙන් කරවා ගෙන සිටි මගින්  30 දෙනකු ගේ ගමන අත්හිටවීම ප්‍රතික්ෂේප කිරීම නිසා එවකට සිටි එමිරේට් ආයතනයේ මෙරට ප්‍රධානියාගේ නේවාසික විසා තහනම් කල අතර (විදේශිකයකු වූ ඔහු විවාහව සිටියේ ශ්‍රී ලාංකික කාන්තාවක් සමඟයි) ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නැවත රජයට පවරා ගන්නා ලදී. එමිරේට් යටතේ ලාභ ලැබූ එම සමාගම දැන් පාඩු ලබන රාජ්‍ය සමාගම් අතර ඉදිරියෙන්ම සිටි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ හෙවත් පුද්ගලීකරණය කිරීමේ ප්‍රමුඛ තම ආයතන තුනක් බව ජනාධිපති වරයා විසින් අයවැය කථාවේදී සඳහන් කර තිබුණි. ශ්‍රී ලංකා ගුවන් සමාගමේ 2021 මාර්තු 31 දිනට ප්‍රාග්ධනය සංචිත සහ එකතුවූ ලාභ වල සම්පුර්ණ එකතුව ඍන රුපියල් බිලියන 281 කි. එම වසරේ පාඩුව රුපියල් බිලියන 45 කි. පසුගියදා පුද්ගලීකරණය කළ ටාටා සමාගමට පවරා දුන් ඉන්දීය ජාතික ගුවන් සේවය වන එයාර් ඉන්ඩියා සමාගම ඊට වඩා විශාල ඊට වඩා පාඩු ලැබූ සමාගමකි.

ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යය දැනටමත් ආරම්භ කර ඇත. විදුලි බිලට  ද ඛනිජ තෙල් මිලට ද අදාල සහන ඉවත් කර ඇත. ඒ අනුව මෙම ප්‍රතිව්‍යුහගත කිරීම් හරහා පාරිභෝගිකයා ගෙවන මිලෙහි අඩුවීමක් තිබිය යුතුය.

ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස් වලින් 20% ක් සේවකයන්ට සහ තැන්පතුකරුවන්ට දීමට යෝජනා කර තිබුණි. එයට ප්‍රධාන හේතුව වශයෙන් සඳහන් කර තිබුනේ බැංකු වල ද්‍රවශීලතාව වර්ධනය කිරීම සඳහා රජයට මුදල් යෙදවීමට අපහසු වීමයි. චම්පික රණවක මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කරමින් මෙම බැංකුවල මුදල් විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන්ට මුදා හැර ඒවා බොල් ණය ලෙස කපාහරින්නට මග පෑදු සේවකයන් බැංකු වල තබාගෙන 20% කොටස් දීමෙන් පලක් නැතැයි කීය. එයට අමතරව රජය සතු ව්‍යාපාර වල පාඩු නිසා ඉවතට ගලා යන මුදල් ණය වශයෙන් ප්‍රතිපුරණය කිරීම සඳහා මෙම රාජ්‍ය බැංකු යොදා ගෙන ඇත.

ඇත්ත වශයෙන්ම 20% කොටස් තැන්පත් කරුවන්ට සහ සේවකයන්ට දීමෙන් විශේෂ වෙනසක් ඇති නොවනු ඇත. නමුත් මෙය ප්‍රතිව්‍යුහගත කිරීමේ ආරම්භයයි. බැංකු වැනි ලාභ ලබන ආයතන වල කොටස් රජය සන්තකයේම තබාගත යුතු යයි කියන මතවාදය ඛණ්ඩනය කිරීමේ ආරම්භය මෙය වනු ඇත.

මෙම බැංකු වල කළමනාකාරිත්වය ඇතුළු 50% කට ආසන්න කොටස් ප්‍රමාණයක් පුද්ගලීකරණය කල යුතුය. ලංකා බැංකුව සහ මහජන බැංකුව ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ වෙළෙඳපොළෙන්  35% ක පමණ ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇත. අනෙක් පුද්ගලික බැංකු සිටින්නේ ඒ සෙවනේය. ඔවුන් සියලු දෙනාටම උත්තේජනයක් අවශ්‍යව තිබේ.

මෙම රාජ්‍ය බැංකුද තවත් ග්‍රාමීය බැංකුද ප්‍රාදේශීය සංවර්ධන බැංකුද ඇති රටේ කුඩා ව්‍යාපාරිකයන්ට හොඳ ව්‍යාපාර මොඩලයක් අතේ තිබුනත් සුරැකුම් නොමැතිව ණය ගැනීමේ හැකියාව අවමය. සුරැකුම් සහිතව ණය දීම වැඩි ආයාසයකින් තොරව කල හැකි දෙයකි. ණය නොගෙවිමටද ණය ගන්නා පිරිසක් මෙරට සිටින නිසා සුරැකුම් නොමැතිව ණය දීම ආයාසයකින් යුතුව කලයුතු දෙයකි.රටේ දළ දේශීය නිෂ්පාදිතයට 52% ක දායකත්වය සපයන්නේ කුඩා ව්‍යාපාරිකයන් විසිනි. මෙම ව්‍යාපාරිකයන්ට අත දීමකින් තොරව රටේ ආර්ථිකය  නැංවිය නොහැක. 

සම්පත් බැංකුව 1986 දී වෙළෙඳ පොලට පැමිණි පසුව බැංකු කටයුතු සඳහා තාක්ෂණය හඳුන්වා දෙන ලදී. ප්‍රථම මුදල් ගැනීමේ යන්ත්‍රය පාරිභෝගිකයන් සඳහා හඳුන්වා දුන්නේ සම්පත් බැංකුවයි. ඒ අනුව අනෙක් බැංකු ද තාක්ෂණය භාවිතා කිරීමට පටන් ගත් අතර එය ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ පිබිදීමකට හේතු විය.

රාජ්‍ය  බැංකු වලට පුද්ගලික අංශය සම්බන්ධ කර ගැනීම මෙරට පවතින පසුගාමී බැංකු සංස්කෘතියේ වෙනසකට හේතුවනු ඇතැයි සිතමි. මේ වෙනස මෙරට ඇතැම් කුඩා පවුල් ව්‍යාපාර වල ඇති අමනෝඥ ක්‍රියාකාරකම් පිටුදැකිමටද හේතු විය හැක.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් නොපමාව කළ යුතු තවත් දෙයක් නම් කුඩා ව්‍යාපාර සඳහා මූලික ප්‍රාග්ධනය සපයන ආයතනයක් ඇති කිරීමයි. ව්‍යාපාරය නැංවුන පසු එම ප්‍රාග්ධනය නැවත අය කර ගත හැක. මේවා විශාල ආයාසය කින් කල යුතු වැඩයි. මෙවැනි දෑ නොකර රටක් නැංවිය නොහැක.

වැට් බද්ද 12% සිට 15% දක්වා වැඩි කර ඇත. මෙය පසුගිය යහපාලන රජය යුගයේ තිබුනේ 15% වශයෙනි. එය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් 2019 දෙසැම්බර් වල 8% දක්වා අඩු කරන ලදී. ඒ  සමඟ විශාල වශයෙන් අඩු කල බදු නිසා රාජ්‍ය ආදායම බොහෝ සෙයින් අඩුවී එම ක්‍රියාව අප දැන් සිටින ආර්ථික අර්බුදයට හේතුවක් විය. මෙම වසරේ මැයි මස රනිල් වික්‍රමසිංහ විසින් නිවේදනය කරන ලද බදු පිලිබඳ යෝජනා අනුව වැට් බද්ද මේ වසරේ ජුනි මස සිට 12% දක්වා වැඩිවිය. අයවැය යෝජනා අනුව එය තව දුරටත් 3% කින් වැඩි කර කලින් තිබු මට්ටමට පත් කර ඇත.

විශාල වශයෙන් ඉහල ගොස් ඇති ජිවන වියදම නිසා ජනතාවට මෙම වැඩිකිරීම දරා ගැනීමට අපහසු වන බව ඇත්තකි. එනමුත් පොදු ජනතාවට බලපාන වැට් බද්ද පමණක් වැඩිකර ඍජු ආදායම් බදු වැඩිකර නැතැයි කීම සත්‍යයක් නොවේ. මක්නිසාද යත් මෙම වසරේ මැයි මස නිවේදනය කළ බදු වැඩිකිරීම් ඔක්තෝබර් පළමු වන දින සිට ක්‍රියාත්මක වන බව අයවැය යෝජනා වල සඳහන් වීමයි. 

ඒ අනුව පුද්ගලික බදු සඳහා වූ රුපියල් මිලියන තුනක් වූ ආදායම් බදු නිදහස් සීමාව රුපියල් මිලියන 1.8 දක්වා අඩු වනු ඇත. රුපියල් මිලියන 1.2 ව තිබු මෙම සීමාව රු. මිලියන තුන දක්වා වැඩි කරන ලද්දේ 2020 ජනවාරි මස සිටය. පුද්ගලික බදු අනුපාත ද වැඩිවනු ඇත. ඒ අනුව පළමු රු. මිලියන තුන සඳහා 6%ක් ද දෙවන රු. මිලියන තුන සඳහා 12% ක් ද ඉතිරි ආදායම සඳහා 18% ක් ද වශයෙන් වූ බදු අනුපාත රු මිලියන 1.2 කාණ්ඩ හතකින් 4% සිට 28% දක්වා වැඩිවේ. ඉන් පසුව බදු අයවන ආදායමෙන් රු. මිලියන 8.4 ට වැඩි ප්‍රමාණය ට බද්ද 32% කි.

මෙය බදු ගෙවීමට හැකි අය  ගෙන්  බදු අයකර ගැනීමකි. එමෙන්ම සියලුම වයස 18 ට වැඩි පුරවැසියන් සඳහා ආදායම් බදු ලිපිගොනුවක් විවෘත කිරීමට කර ඇති යෝජනාව හොඳ එකක් වන අතර එය ක්‍රියාත්මක කිරීමේදී පරිපාලන ගැටළු මතුවිය හැක. සමස්ත රාජ්‍ය සේවයේ තොරතුරු තාක්ෂණවේදීන්ට මිට වඩා වැඩි පිළිගැනීමක් ලබාදී  විවිධ දෙපාර්තමේන්තු වල ඇති දත්ත පද්ධතීන් ඒකාබද්ධ කිරීම හරහා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සරල වනු ඇත.  

ජනාධිපතිවරයා මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩනයට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා වන යෝජනා සම්බන්ධව සිය අයවැය කථාවෙන් සැලකිය යුතු කොටසක් වෙන් කර ඇත. රටේ පවතින උද්ධමන මට්ටම අනුව ස්ථිර ආදායම් ලබන පුද්ගලයන්ට බලවත් ආර්ථික දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුව තිබේ. ධනවතුන්ටද දුප්පතුන්ටද එකසේ ලැබුණ සහන අහිමිවෙමින් තිබෙන අතර සහන ලැබිය යුතු නියම කොටස් වලට සහන ලබාදීම රජයේ යුතුකමකි. ඒ සඳහා මුදල් සහනාධාර කෙලින්ම ඔවුන්ගේ ගිණුම් වලට ලබා දීමට යෝජනාවී තිබේ. 

මෙම සියලු යෝජනා වලින් පසුව අයවැය හිඟය රු ට්‍රිලියන 2.3 කි. බැසිල් රාජපක්ෂ 2022 සඳහා ඉදිරිපත් කළ අයවැයේ හිඟය රු. ට්‍රිලියන 1.6 කි. හිඟය වැඩිවී ඇත. වසරේ සෑහෙන කොටසක් ගෙවී ඇති බැවින් ඉලක්කම් වල විශ්වසනීයත්වය වැඩිය. මෙම අයවැය යෝජනා වලින් සහ ආර්ථික දිශානතියේ වෙනස්වීම මගින් අපේක්‍ෂිත ප්‍රතිලාභ ඉදිරියේදී ලැබෙනු ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.