25 April, 2024

Blog

ව්ලැඩිමීර් පුටින්, ෂී ජින්පින් සහ ජෝ බයිඩන්

හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

පවතින ලෝක ආතතිමය ස්වභාවය අනුක්‍රමයෙන් උත්සන්න වෙමින් තිබේ. මෙයට මූලික හේතුව ඇමරිකන් ආරක්ෂක ප්‍රතිපත්තියයි. ඇමරිකන් විදේශ ප්‍රතිපත්තිය සැකසෙන්නේ ඒ අනුවයි. රුසියාවේද චිනයේද ආරක්ෂක ප්‍රතිපත්තිය අනුව විදේශ ප්‍රතිපත්තීන් සැකසේ. දෙවන ලෝක යුද්ධය අවසන් වීම සහ සෝවියට් සංගමයේ  බිඳවැටීම අතර කාල පරාසය තුළ වරින් වර උත්සන්න වූ ඇමරිකාව සහ රුසියාව අතර සිතල යුද්ධය සමයේදී දැනට පවතින යුක්රේන් යුද්ධය මෙන් සමීප යුදමය තත්ත්වයක් ඒ දෙරට අතර නොපැවතිණි. යුක්රේන යුද්ධයේ දී එක පසෙකින් රුසියාව සිටින අතර අනෙක් පසින් යුක්රේනය සිටින නමුත් යුක්රේනය පිටුපසින් ස්ථාවරව සිටින්නේ ඇමෙරිකාවයි. රුසියාවේ බලාපොරොත්තුව වූයේ කෙටි කලකින් යුක්රේනය යටත් කර ගැනීම වුවත් වසරකට පසුවත් රුසියාවට පිරිස් බලය සහ ආයුධ අතින් බොහෝ අලාභ සිදුවෙමින් යුද්ධය තවමත් පවතී. ඇමරිකන් ජනාධිපති බයිඩන් යුද්ධයේ වර්ෂ පුර්ණ අවස්ථාවේදී යුක්රේන අගනුවර වන කීව් හිදී කීව් තවමත් නොවැටී පවතින බවත් ප්‍රජාතන්ත්‍රවාදය තවමත් නොවැටී පවතින බවත් ප්‍රකාශ කළේය. 

සෝවියට් සංගමය පැවති යුගයේ රුසියාව යටතේ පැවති ක්‍රිමියාව නිකිතා කෘෂෙව් විසින් යුක්රේනයට පවරා දෙන ලදී. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව යුක්රේනයේ සහ තවත් සෝවියට් සංගමයට අයත් රටවල තිබුණු න්‍යෂ්ටික අවි පිලිබඳ ප්‍රශ්ණය ඇතිවූ අවස්ථාවේදී යුක්රේනය, රුසියාව, ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය අතර 1994 දී අත්සන් කළ  බුඩාපෙස්ට් එකඟතාවය අනුව යුක්රේනය තමන් සතුව තිබූ න්‍යෂ්ටික අවි රුසියාවට බාර දුන් අතර ඇමෙරිකාව රුසියාව සහ බ්‍රිතාන්‍යය, යුක්රේනයේ භෞමික අඛණ්ඩතාවට සහ දේශපාලන ස්වාධිනත්වයට එරෙහිව බලය පාවිච්චි නොකළ යුතු සහ එම න්‍යෂ්ටික අවි ආත්මාරක්ෂාවට හැර යුක්රේනයට  එරෙහිව පාවිච්චි නොකළයුතු වේ. 

මෙම එකඟතාව රුසියාව විසින් බිඳ දමා ඇත. එබැවින් පවතින යුද්ධය අවසන් කිරීමට  රුසියාව සමඟ එකඟතාවකට යාමට යුක්රේනය මැලි වෙයි. එමෙන්ම බුඩාපෙස්ට් එකඟතාව බිඳ දමන තත්ත්වයට රුසියාව පත් කිරීම පිටුපස සිටියේ  ඇමරිකාවයි.

රුසියාවට හිතැති වික්ටර් යනුකොවිච් වර්ෂ 2010 දී යුක්රේනයේ ජනාධිපති වූ අතර 2013 දී ඔහු විසින් යුක්රේනය යුරෝපා සංගමය සමඟ ඇතිකර ගැනීමට උත්සාහ කල ගිවිසුම අහෝසි කිරීමට, දූෂණයට සහ අත්තනෝමතිකත්වයට  එරෙහිව ජනතා  උද්ඝෝෂණ ඇතිවූ විට යනුකොවිච් රුසියාවට පැන ගියේය. මේ අවස්ථාවේදී යුක්රේනයේ දේශපාලනයට ඇමරිකාව ඍජුව මැදහත් වූ අතර එවකට ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සිටි වික්ටෝරියා නුලන්ඩ් (ඇය දැන් නැවතත් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සිටි. පසුගියදා ලංකාවටද පැමිණියාය) ගේ නිරාවරණය වූ දුරකථන සාකච්ඡා වක් මගින් එම මැදහත් වීමේ ප්‍රමාණය තේරුම් ගත හැකි විය. බටහිරට හිතැති අන්තර් වාර ආණ්ඩුව විසින් යුරෝපා සංගමය සමඟ එකඟතාවකට පැමිණෙන ලදී. ප්‍රතික්‍රියා වශයෙන් රුසියාව විසින් ක්‍රිමියාව 2014 දී ආක්‍රමණය කර රුසියාවට එකතු කර ගන්නා ලදී.

බටහිර රටවල උපාය මාර්ගය වූයේ නේටෝව නැගෙනහිරට විස්ථාපනය කර රුසියාවට බලපෑම් කිරීමයි. සිතල යුද්ධය අවසන් වීමෙන් පසු රටවල් 14 ක් මෙසේ එකතුකර ගන්නා ලදී. ඒවා නම් හංගේරියාව, චෙචියාව සහ පෝලන්තය (1999): බල්ගේරියාව, එස්ටෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, රුමේනියාව, ස්ලෝවැකියාව සහ ස්ලෝවේනියාව(2004): ඇල්බේනියාව සහ ක්‍රොයේෂියාව (2009): මොන්ටෙග්රෝ (2017) සහ උතුරු  මැසඩෝනියාව (2020) වේ. එස්ටෝනියාව සහ ලැට්වියාව රුසියානු දේශසීමාවේ ඇති අතර කලින්ම නේටෝවට එකතුවූ නොර්වේ ද රුසියානු දේශ සිමාවේ ඇත.යුක්රේනය සහ ජෝර්ජියාවද රුසියානු දේශසීමාවේ ඇත. 

ජෝර්ජියාවේ 2003 ඇතිවූ බටහිරට පක්ෂපාත ආණ්ඩු පෙරලිය 2008 රුසියන් ජෝර්ජියා යුද්ධයට මග පැදීය. ජෝර්ජියාවේ ඇති  දකුණු Ossetia සහ Abkhazia යනු ජාත්‍යන්තරව නොපිළිගත් සහ රුසියාව විසින් පිළිගත් වෙනම රාජ්‍ය වේ. යුක්රේනයේ Luhansk සහ Donetsk පෙදෙස් වෙනම රාජ්‍ය ලෙස රුසියාව විසින් 2022 පෙබරවාරි මස පිළිගන්නා ලදී. මෙම පෙදෙස් දැන් රුසියාව විසින් ආක්‍රමණය කර ඇත.

වර්ෂ 1962 දී ඇමරිකාව ආසන්නයේ ඇති කියුබාව ඇමරිකාව විසින් ආක්‍රමණය කරනු ඇතැයි යන බිය උපයෝගී කරගනිමින් රුසියන් මිසයිල් කියුබාවේ ස්ථානගත කිරීමේ අර්බුදය අවසන් වූයේ රුසියන් මිසයිල් කියුබාවෙන් ඉවත් කර ගැනීමටත් ඇමරිකාව විසින් කියුබාව ආක්‍රමණය නොකිරීමටත් එකඟ වීමෙනි. මෙය යුක්රේන අර්බුදයට සමාන අවස්ථාවකි.

යුක්රේන් යුද්ධය පටන් ගැනීමට පෙර රුසියාව විසින් ඉල්ලා සිටියේ යුක්රේනය නේටෝවට ඇතුලත් නොවන බවට සහතිකයකි. එම සහතිකය දීමට යුක්රේනය හෝ ඇමරිකාව හෝ යුරෝපා සංගමය හෝ අසමත් විය. යුද්ධය පටන් ගත්  පසු මෙතෙක් නේටෝවට එකතු නොවී රුසියාව සමඟ එකඟතාවකින් සිටි රුසියානු දේශසීමාවේ ඇති පින්ලන්තය ද ඒ ආසන්නයේ ඇති ස්වීඩනය ද නේටෝවට බැඳීමට අයදුම් කර ඇත.

යුද්ධය පටන්ගත් පසුව රුසියන් ආයුධ අවසන් වෙමින් ඇති අතර රුසියන් යුද භටයන් යුක්රේනියානු යුද භටයන්ට වඩා විශාල වැඩි ප්‍රමාණයකින් මිය යමින් සිටිති.යුක්රේනයට ඇමරිකාවෙන් සහ යුරෝපා සංගමයෙන් ආයුධ ලැබෙමින් පවතී. රුසියාවට පනවා ඇති ආර්ථික තහංචි හේතුවෙන් රුසියන් ආර්ථිකය පසුබෑමකට ලක් වී ඇති අතර රුසියන් ගෑස්  නොමැති වීම නිසා ජර්මනිය වැනි යුරෝපා රටවලට විශාල අපහසුතා වලට මුහුණ දීමට සිදුව ඇත.රුසියාව විසින් ආක්‍රමණය කර ඇති ප්‍රදේශ යුක්රේනය විසින් ආපසු පවරා ගත හොත් ඔවුන් ක්‍රිමියාවට පහර දී එය නැවත අත්පත් කර ගනු ඇත. එසේ නැතහොත් යුද්ධය දිගටම පවත්වා ගැනීමේ අපහසුතා නිසා රුසියාව පසු බසිනු ඇත. මෙම අවස්ථා රසායනික හෝ න්‍යෂ්ටික හෝ  අවි පාවිච්චි විය හැකි අවස්ථා වේ. 

යුක්රේන ප්‍රශ්ණය මුලින්ම ඇතිවූයේ බරක් ඔබාමා ඇමරිකන් ජනාධිපති ධුරයේ (2009-2017)සිටියදී ය.එහිදී ඇමරිකාව යම් පසුබෑමකට ලක් විය. ඔබාමා චීනය සමඟ වූ ආර්ථික යුද්ධයට මුහුණ දීමට කල්පනා කළේ චීනය හැර ඒ ප්‍රදේශයේ සහ ඇමරිකානු රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට පැමිණ චීන භාණ්ඩ ඇමරිකන් වෙළෙඳ පොළේ තරඟකාරී නොවන තත්ත්වයකට පත් කිරීම මගිනි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වූ පසුව (2017-2021) මෙම ප්‍රතිපත්ති වෙනස් විය. ඔහු රුසියාව සමඟ සංහිඳියා පිළිවෙතකට පැමිණියේය. Trans-Pacific වෙළෙඳ ගිවිසුම අවලංගු කළේය. ආනයනික චීන භාණ්ඩ වලට තීරු බදු වැඩි කළේය. චීනයද එයට ප්‍රතික්‍රියා කරමින් ආනයනික ඇමෙරිකානු භාණ්ඩ වලට තීරුබදු වැඩි කළේය.

ජෝ බයිඩන් 2021 දී ඇමරිකන් ජනාධිපති වූ පසුව රුසියාව සහ චීනය යන රටවල් දෙකම සමඟ එකවිට ගැටුමකට යාමට සුදානම් තත්ත්වයක් ප්‍රකට කරයි. යුක්රේන් යුද්ධය එක අතකින් යුක්රේනය පිලිබඳ ඇමෙරිකානු ස්ථාවරය තායිවානය සම්බන්ධයෙන් වන ඇමරිකානු ස්ථාවරයම වන බව චීනයට දැනුම් දීමකි. අවස්ථා දෙකෙහි දීම මිය යන්නේ හෝ මිය යනු ඇත්තේ  යුක්රේන හෝ  තායිවාන හෝ සොල්දාදු වන් සහ ජනතාවය. ඇමෙරිකානුවන් නොවේ.

ඇමරිකාව විසින් චීනයට එරෙහිව ජපානය ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සමඟ Quad ආරම්භ කරන ලද්දේ ජපානයේ පෙළඹවීම මත 2007 දිය. එවකට චීනය සාමකාමිව නැගී සිටීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදී. වර්ෂ 2012 දී ෂී ජින්පින් ගේ ආගමනයත් සමඟ චීනයේ ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති තරමක් ආක්‍රමණශීලී ස්වභාවයකට පරිවර්තනය විය. දකුණු චීන මුහුදේ වියට්නාමය සහ පිලිපීනය විසින් සෙමෙන් කරගෙන ආ දුපත් ගොඩ නැගීමේ ව්‍යාපෘතියට අනුගත වූ චීනය ඉතාමත් වේගයෙන් දුපත් ගොඩනගමින් සහ එක දුපතක මිලිටරි ආම්පන්න රඳවමින් එහි අර්බුද කාරී තත්ත්වයක් ඇති කරන ලදී. Belt and Road ක්‍රියාවලිය හරහා විදේශ රටවල ආයෝජනය කරමින් චීනය එම රටවල් නතු කරගන්නා ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන ලදී. බරක් ඔබාමා සිය ධුර කාලයේ අවසාන කාලයේදී සහ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුර කාලය තුළදී ප්‍රතික්‍රියා දැක් වූයේ ෂී  ජින්පින් විසින් ඇති කරන ලද මෙම තත්ත්වයටයි.

එමෙන්ම දේශීය වශයෙන් චීනය මෙතෙක් කරගෙන ආ රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීමේ ක්‍රියාවලියේ ද යම් වෙනසක් සිදුවිය. ෂී ජින්පින් වැඩි අවධානයක් යොමු කළේ රාජ්‍ය ආයතන ඒකාබද්ධ කර වඩාත් විශාල ආයතන ඇති කිරීමටයි. පුද්ගලීකරණයට නොවේ. ඔහු පුද්ගලික අංශයේ වෙළෙඳ බලයට කැමති නොවිය. මෙහි කූටප්‍රාප්තිය සිදු වූයේ 2020 නොවැම්බර් මස අලිබබා ව්‍යාපාරය අයිතිකරු ජැක් මා ගේ Ant Corporation හි කොටස් නිකුතුවක් රාජ්‍ය නියාමනය මගින් අත්හිටවිමත් සමඟය. වර්ෂ 2021 අප්‍රේල් මස Meituan සමාගමේ ක්‍රියාකාරීත්වය පිලිබඳ රාජ්‍ය නියාමනය මගින් පරීක්ෂණයක් ආරම්භ කරන ලදී.  වර්ෂ 2021 ජුනි මස Didi සමාගම ඇමෙරිකාවේ නිව් යෝක් හි කොටස් නිකුතුවක් කිරීමට සුදානම් වූ අවස්ථාවේදී ද රාජ්‍ය නියාමනය මගින් පරීක්ෂණයක් ආරම්භ කරන ලදී.  මෙම සමාගම් ඉහළ තාක්ෂණික නිෂ්පාදන කරන දැවැන්ත  සමාගම් වේ.

මෙම ක්‍රියාවලිය මගින් දෙන සඥාව නම් පුද්ගලික සමාගම් මර්දනයයි. හේතුව වන්නේ රජය දකින ආකාරයට පුද්ගලික සමාගම් අවශ්‍ය ප්‍රමාණයට වඩා බලසම්පන්න වී ඇති බවයි. මෙය තනිකරම බලය පිලිබඳ සාධකයකි. චීන රජය පවසන ආකාරයට මෙය ආදායම් බෙදී යාමේ විෂමතාවක් නම් එයට ප්‍රතිකර්ම යෙදිය යුත්තේ බදු මගිනි. මර්දනය මගින් නොවේ. ව්‍යාපාර ඒකාධිකාරය පිලිබඳ ප්‍රශ්ණයක් නම් ඒවාට අදාල නීති තිබිය යුතුය. මේවාට අදාල නීති පිළිබඳව නොපැහැදිලි කොටස් තිබෙනවා වන්නට පුළුවන. නමුත් මර්දනය ප්‍රතිකර්මයක් නොවේ.ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ යුගයේදී ඇතිවූ බලපෑම මත චීනයේ සිටි සමාගම් වියට්නාමය වැනි රටවලට සංක්‍රමණය විය. ව්‍යාපාර වල රජය කෙරෙහි ඇති විශ්වාසය ඉතාම පහලට වැටී ඇත. 

මෙම මාර්තු මස පත්වූ ෂී ගේ සමීපතමයකු වූ නව අගමැති ලි ක්වියැන්ග් සිය පළමු පුවත්පත් සාකච්ඡාවේදී පසුගිය කාලයේ වැරදි තීරණ ගත් බව පිළිගනිමින් වෙළෙඳපොළට සහ නීතියට අනුගත ජාත්‍යන්තර ව්‍යාපාර පරිසරයක් ගොඩනගන බවත් සියලුම ව්‍යාපාර වලට සමව සලකන බවත් කියා සිටියේය.

ෂී ට ප්‍රථමව බලයේ සිටි ජියැන්ග් සෙමින් (1993-2003)  සහ හු ජින්ටාවෝ (2003-2013) බලයේ සිටියේ පස් අවුරුදු ධුර කාල දෙක බැගිනි. ඒ අනුව දස අවුරුද්දකින් අනුප්‍රාප්තිකයා බලයට පැමිණේ. ෂී ජින්පින් මෙම සම්ප්‍රදාය වෙනස් කළ අතර පෙනෙන ආකාරයට ඔහුට ජිවිත කාලය දක්වාම බලයේ සිටිය හැක. හු ජින්ටාවෝ මෙම ක්‍රියාවලියට විරුද්ධ වූවා විය හැක. පසුගිය ඔක්තෝබරයේ කොමියුනිස්ට් පක්ෂයේ 20  වන ජාතික සභාවේ අවසාන උත්සවයේදී ඔහු බලහත්කාරයෙන් රැස්වීමෙන් ඉවත් කරන ලද්දේ ඒ නිසා විය හැක. 

මේ අනුව දේශීය සහ විදේශීය වශයෙන්ද රාජ්‍යය සහ ව්‍යාපාර වලද සිය බලය පතුරුවා හරින ඒකාධිපති පාලකයකු චීනයේ පහල වී සිටියි. චීනයේ පසුබැසීමක ආරම්භයද මෙය විය හැක. මොහු ස්වභාවයෙන්ම ආක්‍රමණශීලි ඇමරිකන් ආරක්ෂක ප්‍රතිපත්තියට සම්මුඛ වීම ලෝක සාමයට තර්ජනයක් විය හැක. සම්මුඛ වීම පුපුරා නොයන තාක් සිතල යුද්ධ තත්ත්වයක් ඇතිවේ. මේ සම්මුඛ වීම පුපුරා යා හැක්කේ තායිවානයෙනි.

තායිවාන් ජනාධිපතිනිය වන සායි ඉන් වෙන් ට ඇත්තේ තීරණාත්මක භූමිකාවකි. ඇය මුලික වශයෙන් වගකිව යුතු වන්නේ තායිවාන් ජනතාවටයි. තායිවාන් ජනතාවගේ ජිවිත සහ දේපල ආරක්ෂා කිරීම ඇයගේ වගකීමයි. යුක්රේන් ජනාධිපති සෙලෙන්ස්කි මෙන් ඇමරිකන් අවශ්‍යතා ඉටු කිරීම නොවේ. මෙය අතුරේ යනවා වැනි කාර්යයකි. 1992 දී චීනය සහ තායිවානය අතර ඇතිවූ එකඟතාව  චීනය විසින් අර්ථ දක්වන්නේ එක රටක් ක්‍රම දෙකක් වශයෙනි. තායිවානය එයට එකඟ නැත.

වර්ෂ 1999 දී බෝරිස් යෙල්ට්සින් යටතේ රුසියන් ජනාධිපති වන ව්ලැඩිමීර් පුටින් වර්ෂ 2000 දී එරට ජනාධිපති විය.ඉන් පසුව ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව දිගටම ජනාධිපති ලෙස සිටිය නොහැකි නිසා කාලයකට අගමැති වුවත් එරට වර්ෂ 2000 සිට නිල නොලත් නායකයා ඔහුය. ෂී ජින්පින් ද චීනයේ දීර්ඝ කාලින ජනාධිපති තත්ත්වයට පත් වෙමින් සිටි. න්‍යෂ්ටික බලවතුන් වන රටවල නායකයන්  ඒකාධිපතීන් වන විට යුද්ධ වලදී ඔවුන් බිත්තියට හේත්තු කිරීම බරපතල ප්‍රතිවිපාක ඇතිවීමට හේතුවේ.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.