19 April, 2024

Blog

ක්‍රමයෙහි ප්‍රතිස්ථාපනය සහ දේශපාලනිකයෙහි ප්‍රමුඛත්වය

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

“අනෙක් දේශපාලන මති මතාන්තරවලදී සාම්ප්‍රදායික ලෙස කටයුතු කරන්න. ඒත් රටේ ආර්ථිකය නංවාලීමේ ව්‍යායාමයේදී සමස්ත දේශපාලන රාමුවෙන් එළියට එන්න.” පසුගියදා අයි.එම්.එෆ් ණය අනුමත වීමත් සමග ජයග්‍රාහී ස්වරයෙන් පාර්ලිමේන්තුව අමතමින් රනිල් වික්‍රමසිංහ එලෙස ප්‍රකාශ කළේය. පණිවිඩය ඉතාම පැහැදිලිය. ආර්ථික ක්‍රියාවලිය දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ස්වාධීන විය යුතුය. ආර්ථිකය නංවාලීමේ ව්‍යායාමය ලෙසින් ඔහු විසින් හඳුන්වනු ලබන දේ සම්බන්ධයෙන් දේශපාලන විවාද, මතබේද හෝ පරස්පරතා පැවතිය නොහැකිය. මේ වනාහී ආර්ථික ලිබරල්වාදයේ මූලික සූත්‍රයකි. ඒ අනුව, අපට පුද්ගල හා සමාජ නිදහස, සමානත්වය ඇතුළු ඕනෑම දේශපාලන කාරණයක් ගැන වාද විවාද ඇති කරගත හැකි නමුත් ආර්ථික කාරණා ඒවාට ඈඳා නොගත යුතුය.

සැබවින්ම මෙම සම්භාව්‍ය ලිබරල්වාදී සූත්‍රය ලොව කොතැනකවත් එලෙසින්ම ක්‍රියාවට නැගී නොමැත. මන්දයත්, අපගේ සමාජ සහ දේශපාලන සබඳතා කෙරෙහි වඩාත්ම තීරණාත්මක ලෙස බලපානු ලබන ආර්ථිකමය සාධකය දේශපාලන ගැටුමේ කලාපයෙන් බැහැර කිරීමක් සංයුක්ත ලෝකය තුළ කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකි බැවිනි. කාරණය නම්, දේශපාලනයෙන් බැහැරව පවතිනවා යැයි පවසනු ලබන මෙම ආර්ථිකය ක්‍රියාත්මක වන්නේ කිසියම් සමාජ කණ්ඩායමකට වැඩි වාසි සැලසෙන පරිදිත් තවත් බොහෝ කණ්ඩායම්වලට අවාසි ගෙන දෙන පරිදිත් වීමයි. ආර්ථිකයේ එම විසම ක්‍රියාකාරීත්වය යනු වත්මන් යුගයේ සමාජ අසමානත්වය සහ නොනිදහස නිර්මාණය කරන මූලික සාධකයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. වික්‍රමසිංහගේ ඊනියා ආර්ථිකය නංවාලීමේ ක්‍රියාවලිය අතිශයින්ම දේශපාලනික වූවකි. ඒ කොතරම්ද යත්, මේ මොහොතේ වික්‍රමසිංහ-රාජපක්ෂ ප්‍රභූ තන්ත්‍රය විසින් දියත් කරමින් තිබෙන ආර්ථික ක්‍රියාවලිය මෙරට සුවිසල් ප්‍රජාවකට තම ජීවන පැවැත්ම පිළිබඳ තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබේ. එය ඇතැමුන්ට ජීවත් වනවාද මිය යනවාද යන ප්‍රශ්නය අභිමුඛ කරන්නා වූ සාධකයකි. ඇචීල් ම්බෙම්බේ අවධාරණය කරන පරිදි දේශපාලන බලයේ උච්චතම ආකෘතිය වනාහී යමෙකුගේ ජීවිතය සහ මරණය තීරණය කිරීමට තවෙකෙකුට ඇති බලයයි. වත්මනෙහි ආර්ථිකය සම්බන්ධයෙන් රාජ්‍යය විසින් ගනු ලබන තීන්දු තීරණ දේශපාලනයේ එම උච්චතම ආකෘතිය නියෝජනය කරයි. දැන් වික්‍රමසිංහ දේශපාලනයෙන් සපුරා බැහැර කළ යුතු යැයි ඉල්ලා සිටින්නේ එවන් ආර්ථිකමය තීන්දු තීරණය.

එසේනම්, අද දිනයේ ලංකාව තුළ වඩාත්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී වන්නේ මිනිසුන්ගේ ජීවිතවල ඉරණම තීරණය කරන්නට සමත් ආර්ථික තීන්දු ගැනීමේ ක්‍රියාවලිය දේශපාලනයෙන් විනිර්මුක්ත කිරීම නොවේද? ප්‍රජාතන්ත්‍රවාදයට තිබෙන බරපතලම තර්ජනය වන්නේ මැතිවරණ කල් දැමීම හෝ නොපවත්වා සිටීම යැයි කල්පනා කරන සජබ-ජාජබ න්‍යායවේදීන් හට මග හැරෙන කාරණය වන්නේ මෙයයි. සැබවින්ම, මැතිවරණ නොපවත්වා සිටීමටත් වඩා නිර්-ප්‍රජාතාන්ත්‍රික වන්නේ ආර්ථිකය නිර්-දේශපාලනීකරණය කිරීමේ මෙම දක්ෂිණාංශික ප්‍රයත්නයයි.

දේශපාලනය පස්සා දොරෙන් පැමිණීම

කෙසේ වෙතත්, වික්‍රමසිංහ ඔහුගේ ආර්ථිකය නංවාලීම නමැති දෘෂ්ටිවාදී මන්දිරයේ ඉදිරිපස දොරෙන් පළවා හරින දේශපාලනය ඉතාම ඉක්මණින් එහි පසුපස දොරෙන් යළි ඇතුල් වෙයි. ඔහුගේ කතාවේ අවසන් භාගය වෙන් වන්නේ තම වැඩ පිළිවෙළට සහාය නොදැක්වීම සම්බන්ධයෙන් නිල විපක්ෂයට දොස් පැවරීම සඳහාත් පාර්ලිමේන්තුවෙන් පිටත සිටින ජන අරගල විපක්ෂයට කඩාකප්පල්කාරීන් ලෙස චෝදනා එල්ල කිරීම සඳහාත්ය. (බෙදා වෙන්කොට පාලනය කිරීමේ තම විශේෂඥතාව යළිත් වරක් ප්‍රදර්ශනය කරමින් වික්‍රමසිංහ මේ දෙපිරිසට දෙයාකාරයකින් සලකන්නට ප්‍රවේසම් වෙයි. එනම්, පළමු පිරිසට අදාළව දෘෂ්ටිවාදී ඒත්තු ගැන්වීමත් දෙවන පිරිසට අදාළව මර්දනයත් ලෙසයි). ඉනුත් ඔබ්බට ගොස් ඔහු ජනවාර්ගික ජාතිකවාදයේ දෘෂ්ටිමය සළුපිළි තමාටම පළඳවා ගන්නේ “පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මව්බිම” යන කුප්‍රකට රාජපක්ෂ උදාන වාක්‍යය පුනරුච්චාරණය කරමින්ය.

මේ මොහොතේ දෘෂ්ටිවාදී අරගල බිමෙහි සියළුම විපාක්ෂික නායකත්වයන්ට මග හැරෙන දේශපාලනික මානයක් වික්‍රමසිංහ ඉතාම ශූර ලෙස ග්‍රහණයට ගන්නා බවද මෙහිදී නිරීක්ෂණය කළ හැකිය. එම මානය වන්නේ පවත්නා සංකේතීය යථාර්ථයෙන් ඔබ්බෙහි පවත්නා කිසියම් නිෂ්ටාවක් හඹා යාමට ඇරයුම් කිරීමේ මානයයි. විශේෂයෙන්ම බරපතල අර්බුදයකට සහ බිඳ වැටීමකට ලක්ව තිබෙන ජන සමාජයකට දේශපාලනිකව ආමන්ත්‍රණය කිරීමේදී මේ මානය ඉතාම වැදගත් වේ. නිදසුනකට, ආර්ථික අර්බුදයක් හමුවේ ආත්ම විශ්වාසය බිඳ වැටී තිබුණු එක්සත් ජනපද සමාජයට ආමන්ත්‍රණය කිරීමේදී බැරැක් ඔබාමා “ඔව්, අපට පුළුවන්” යන උදෘතය ඉදිරිපත් කළ ආකාරය සිහියට නගන්න. තම සාම්ප්‍රදායික දේශපාලන නායකත්වයන්ගෙන් දුරස් වෙමින් සිටි නාගරික හා අර්ධ-නාගරික සිංහල බෞද්ධ මධ්‍යම පන්තික ජන කොටස්වලට ආමන්ත්‍රණය කිරීමේදී 2004 මහා මැතිවරණයේදී ජාතික හෙළ උරුමය විසින් ඉදිරිපත් කරන ලද “ධර්ම රාජ්‍යයක්” නමැති උදෘතය සිහිපත් කරන්න. වික්‍රමසිංහ සතුව දැනට තිබෙන දෘෂ්ටිවාදීමය සුජාතභාවයේ තත්ත්වය කුමක් වුවද, ඔහු මෙම දේශපාලනික මානය හඳුනාගෙන තිබෙන බව පැහැදිලිය. මෙවර ඔහු “2048 දී සංවර්ධිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම” නමැති අලංකාරිකයට ජනවාර්ගික/ආගමික වර්ණයක්ද එක් කරමින් “ථෙරවාදී බෞද්ධ රටවලටද ධනවාදී සංවර්ධනය අත්පත් කරගත හැකිය යන්න ඔප්පු කරන්නෙමැයි” ශපථ කරයි. දැනටමත් අප්‍රකාශිතව ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස තමාව සූදානම් කරගනිමින් සිටින වික්‍රමසිංහ ‘ආර්ථික අර්බුදයෙන් රට ගලවාගත් නායකයා’ යන දෘෂ්ටිවාදී ප්‍රතිරූපය ගොඩ නැංවීම ආරම්භ කොට ඇති බවක් පෙනී යයි.

ප්‍රභූ තන්ත්‍රයේ පන්ති විඥානය

වික්‍රමසිංහගේ තවත් ජයග්‍රහණයක් වන්නේ ඔහුගේ බල ව්‍යාපෘතිය දැනට බරපතල ලෙස සුජාතභාවය බිඳ වැටී තිබෙන රාජපක්ෂ ප්‍රමුඛ දේශපාලන-ව්‍යාපාරික ප්‍රභූ තන්ත්‍රයේම බල ව්‍යාපෘතියක් බවට පරිවර්තනය කිරීමට ඔහු සමත් වීමයි. තමන් වැල් පාළමෙන් එගොඩ කරන දරුවා වන්නේ නාමල් රාජපක්ෂ නොවන බව අවධාරණය කරන විට ඔහු අර්ධ වශයෙන් නිවැරදිය. මන්දයත්, නාමල් පමණක් නොව 1970 දශකයේ අග භාගයේ සිට ක්‍රමානුකූලව ගොඩ නැගී මෙරට රාජ්‍යය සහ දේශපාලනය හැසිරවීමට සමත් වූ සමස්ත නව ප්‍රභූ සංස්ථාපිතයම ජනතා අරගලය හමුවේ අර්බුදයට ලක්ව තිබීමත් එම ප්‍රභූ සංස්ථාපිතයම අර්බුදයේ වැල් පාළමෙන් එගොඩ කිරීමේ ව්‍යායාමයක වික්‍රමසිංහ නිරත වී සිටීමත් නිසාය. ඒ අතරම නාමල් රාජපක්ෂ මෙම දේශපාලන-ව්‍යාපාරික ප්‍රභූ තන්ත්‍රයේ සංකේතයක් ලෙස ගත් කල්හි වැල් පාළමෙන් ඔහුව එගොඩ කරනවාය යන්න සාවද්‍ය යැයි කීමටද නොහැක.

වික්‍රමසිංහගේ මාර්ග සිතියම හුදෙක් ආර්ථිකමය වූවක් ලෙස පමණක් තේරුම් කරන්නට උත්සාහ කරන ඔහුගේ සෘජු සහ වක්‍ර සහායකයින් මග හැර යාමට ප්‍රයත්න දරන ප්‍රශ්නයක් ඇසුරින් අපට ඉහත කාරණය තවදුරටත් පැහැදිලි කළ හැකිය. එනම්, වත්මන් වික්‍රමසිංහ-අයි.එම්.එෆ් ආර්ථික වැඩ පිළිවෙල සමග පළාත් පාලන මැතිවරණ නිල නොවන ලෙසින් කල් දැමීම, පළමුව ජනාධිපතිවරණයක් පැවැත්වීමට ප්‍රයත්න දැරීම, 13 වන සංශෝධනය පිළිබඳ පක්ෂ නායක සාකච්ජා වටයක් ආරම්භ කිරීම, අරගලයේ රැඩිකල් කොටස් මර්දනය කිරීම යනාදී දේශපාලන ක්‍රියාමාර්ග සමාන්තරව ගමන් කරන්නේ මන්ද යන්නයි. මෙකී දේශපාලන ක්‍රියාමාර්ගත් ආර්ථික ක්‍රියාමාර්ගත් අතර අනිවාර්ය තාර්කික සම්බන්ධයක් නොමැති බව පැහැදිලිය. නිදසුනක් ලෙස, අයි.එම්.එෆ් වැඩපිළිවෙළ ක්‍රියාවට නැගීම සඳහා පළාත් පාලන මැතිවරණ පැවැත්වීම බාධාකාරී වෙතැයි කිව නොහැකිය. දැනට මැතිවරණ තරඟයේ ඉදිරියෙන් සිටින සජබ මෙන්ම ජවිපෙ/ජාජබ නායකත්වයන්ද තමන් අයි.එම්.එෆ් වැඩපිළිවෙලින් ඉවත් වන බවක් පවසා නොමැත. (ජවිපෙ/ජාජබ ග්‍රීසියේ සිරිසා හෝ ස්පාඤ්ඤයේ පොදෙමොස් සමග සැසඳිය නොහැකිය). අයි.එම්.එෆ් සංවිධානයද වඩා කැමති වනු ඇත්තේ මැතිවරණයකින් තහවුරු වූ ජන වරමක් සහිත ආණ්ඩුවක් මගින් තම වැඩ පිළිවෙළ ක්‍රියාවට නැගීමටය. සැබවින්ම, මැතිවරණය කල් දැමීම ඇතුළු මෙම දේශපාලන ක්‍රියාමාර්ගවලට කිසියම් තර්කානුකූල බවක් ලැබෙන්නේ දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ බලය ආරක්ෂා කරගැනීමේ පර්යාලෝකය තුළ පමණි. දැන් ක්‍රියාවට නැගෙමින් පවතින්නේ අයි.එම්.එෆ් වැඩ පිළිවෙළත් ප්‍රභූ තන්ත්‍රයේ බලය රැකගැනීමේ ව්‍යාපෘතියත් එකිනෙක හා බද්ධ කිරීමකි. එහි නියමුවා, උපායමාර්ගික චින්තකයා සහ ප්‍රධාන ක්‍රියාකාරිකයා වන්නේ රනිල් වික්‍රමසිංහයි. ඔහුගේම ජනප්‍රිය රූපිකය ඇසුරින් කිව හොත්, ඔහු තරණය කරන වැල් පාළමේ ස්වදේශික අත්වැළ වන්නේ රාජපක්ෂ ප්‍රමුඛ දේශපාලන-ව්‍යාපාරික ප්‍රභූ තන්ත්‍රය වන්නේ නම්, එහි විදේශික අත්වැල වන්නේ එක්සත් ජනපද-ඉන්දීය-අයි.එම්.එෆ් අක්ෂයයි.

සෙමින් ගිලිහී යන ‘විප්ලවය’

මා මින් පෙරද තර්ක කොට ඇති පරිදි, දැන් ලාංකීය දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ විවිධ කොටස් ක්‍රියාත්මක වන්නේ ඔවුන් අතර බෙදා ගත් කිසියම් සාමූහික විඥානයක් සේම සාමූහිකව නමුත් රහසිගතව එකඟ වූ මාර්ග සිතියමක්ද පවතින ආකාරයෙනි. පළාත් පාලන මැතිවරණයට හා පළාත් සභා මැතිවරණයට පෙර ජනාධිපතිවරණයක් කැඳවීම එම මාර්ග සිතියමේ වැදගත් අංගයකි. එසේම, ඊට පෙර රට පුරාම තම අනුග්‍රාහක දේශපාලන ජාලයන් යළි සක්‍රීය කිරීමට ඔවුන් අපේක්ෂා කරනු ඇත. ග්‍රාමීය වශයෙන් මෙම ප්‍රභූ තන්ත්‍රයේ ආධිපත්‍ය බිඳ වැටීමට හේතු වූ වැදගත් දේශපාලන-ආර්ථික සාධකයක් වූයේ ඔවුනගේ අනුග්‍රාහක ජාලයන් බිඳ වැටීමයි. ඒවා නැවත පිළිසකර කිරීමේදී ඔවුන් වැඩි අවධානයක් යොමු කරනු ඇත්තේ දැනට දේශපාලනීකරණය වී සිටින වෘත්තික හා මධ්‍යම පන්තික ප්‍රජාවන් වෙතට නොව ග්‍රාමීය සහ නාගරික දිළිඳු ප්‍රජාව වෙතටය. මෙහිදී සමාජයේ වඩාත්ම ආන්තික ප්‍රජාවන් අනුග්‍රාහක දේශපාලනය මගින් මෙහෙයවා ගැනීම සඳහා රණසිංහ ප්‍රේමදාස විසින් ක්‍රියාවට නගන ලද වැඩ පිළිවෙළ අනුයන්නට වැඩි ඉඩක් තිබේ.

මෙම මාර්ග සිතියම එළනු ලබන්නේ තවදුරටත් සංස්ථාපිත ප්‍රජාතාන්ත්‍රික රීතින් හා ක්‍රියා පටිපාටීන් අනුගමනය කරමින් නොවේ. සමස්තයක් ලෙස ස්වකීය පැවැත්ම පිළිබඳ අභියෝගයට මුහුණ දෙමින් සිටින ප්‍රභූ තන්ත්‍රයක් වෙතින් එවන් මහත්මා දේශපාලනයක් අපේක්ෂා කළ නොහැකිය. නමුත්, වෙනත් සන්ධර්භයක ශිෂෙක් පවසන පරිදි මෙරට ප්‍රජාතාන්ත්‍රික මධ්‍ය-වාමාංශය දැන් අන් කිසිවෙකුටත් වඩා නීතිමය පිළිවෙළ, ආයතන සහ සම්මුතීන් වෙත දැඩි විශ්වාසයක් රඳවමින් සිටී. තමන් තරඟයේ රීතින් පිළිපදින අතර තම අනෙකාද එසේ කරනු ඇතැයි, නොඑසේනම් ඔවුනට එසේ කරන්නට සිදු වනු ඇතැයි විශ්වාස කරමින් සිටී. පසුගිය සතියේ ‘අනිද්දා’ පුවත්පතට ලිපියක් ලියමින් මහාචාර්ය ජයදේව උයන්ගොඩ පවසා තිබූ පරිදි ජවිපෙ/ජාජබ ඇතුළු විපක්ෂයේ නායකයින් මාර්තු නම වෙනිදා කොළඹ වීදි පිරවීම වෙනුවට නීරස දේශනවලින් පිරුණු සම්මන්ත්‍රණ ශාලාවක් තුළට එක්වී මැතිවරණයක් ඉල්ලා සිටීමේ සම්මුතියකට පැමිණීමෙන් සංකේතවත් වන්නේ එයයි. “මහා අනෙකා පවතින්නේ නැත” (the big other does not exist) යන ප්‍රවාදයේ න්‍යායික අරුත පැහැදිලි කර දිය හැකි කිසිවෙකුත් මෙරට ජනප්‍රිය මධ්‍ය-වාමාංශය සතුව නොසිටීම කණගාටුවට කරුණකි.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    ඇත්තටම මම දන්නේ නැහැ මේ ලේඛකයාගේ ඔළුවට මොනවා වෙලාද කියලා.

    ඔහු කථිකාචාර්යවරයකු විය යුතු නමුත් ඔහුගේ සිංහල ලිවීම ඇත්තෙන්ම සංකීර්ණයි.

    සාමාන්‍ය ලේඛනය මහජනතාවට සමීප වීමට ඇති එකම මෙවලම වනු ඇත. බෞද්ධ කථිකාචාර්ය මහාචාර්ය ආනන්ද ගුරුගේ කැලිෆෝනියානු බෞද්ධ සමාජයේ අධ්‍යාත්මික චරිතයක් බවට පත් වූයේ බුදුදහම ලොවට පහදා දීමට simple භාෂාවක් (ඉංග්‍රීසි) භාවිත කළ බැවිනි.

    . Sumith s සිංහල ලිවීම ඉතා සංකීර්ණ විය. එය ඔහුට හැකි තරම් සරල විය යුතුය, මන්ද සිංහල පාඨ කියවන්නේ සිංහල කතා කරන්නන් සහ ලේඛකයින් විසින් පමණි. ඔබේ වාක්‍ය ඛණ්ඩය සංකීර්ණ වන තරමට ප්‍රතිඵලය ශුන්‍ය වන බව මම දුටුවෙමි. ශ්‍රී ලාංකිකයන්ගෙන් 5%ක් ඉංග්‍රීසි කතා කළත් බොහෝ CT සිංහල ලිපි බොහෝ දෙනෙකුට කියවිය නොහැකි වීමට හේතුව මෙය විය හැක.

    මම පසුව ලිපිය කියවා මගේ අදහස් සමඟ නැවත පැමිණීමට කාලය ගත කරමි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.