ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රකාශන එලි දැක්වී තිබේ. මෙවර පසුගිය වසර වලට වඩා මැතිවරණ ප්‍රකාශන පිළිබඳව ජනතාවගේ උනන්දුවක් ඇතිව තිබේ. ඒ පිළිබඳව බොහෝ ලිපි ලියැවෙමින් පවතී. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් පසුගියදා මැතිවරණ ප්‍රකාශයන්හි ඇතුලත් විය යුතු කරුණු පිලිබඳ දේශපාලන පක්ෂ වෙත ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරන ලදී. මෙම ප්‍රශ්නාවලිය මගින් අපේක්ෂකයන් ඉදිරිපත් කරන කරුණු ගැඹුරින් සහ විස්තිර්ණව ඉදිරිපත් කිරීමට ඔවුන් යොමු කෙරේ.
රට බංකොලොත් වූ බැවින් සහ එයින් මිදීමේ ක්‍රියාවලිය සමාප්ත නොවී ඇති බැවින් මෙවර වැඩි අවධානයක් ආර්ථික කරුණු වෙත යොමුවී තිබේ.ජාතික ජන බලවේගය විසින් ප්‍රධාන වශයෙන් මතුකරන දූෂිත දේශපාලන සංස්කෘතියෙන් රට මුදා ගැනීම සම්බන්ධ වන්නේද රටේ ආර්ථික කරුණු වලටයි. සමගි ජන බලවේගය විසින් මතු කරන ලද රාජ්‍ය කටයුතු ඩිජිටලීකරණය හරහා ද ප්‍රතිලාභ ලැබෙන්නේ රටේ ආර්ථිකයටයි. එමෙන්ම රටේ ආර්ථික කටයුතු මේ අවස්ථාවේදී නිසියාකාරව නොහැසිරවුවහොත් රට වැසියන් සියලු දෙනාටම බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවේ. එබැවින් ඒ පිළිබඳව සැලකිලිමත්වීම සුදුසුය.
වෙළෙඳාමට එරෙහි ජනමතයක් මෙරට තිබේ. අපගේ ජනතාව බොහෝ විට තමන්ට අවශ්‍ය ආහාර පාන නිෂ්පාදනය කරගත් අතර වෙළෙන්දන් විසින් ඔවුන්ගේ භාණ්ඩ වලට නොයෙක් අවස්ථාවලදී සාධාරණ මිලක් ලබා නොදීම නිසාද වෙළෙන්දන් යම් අවස්ථා වලදී අයුතු ලාභ ලබා ගැන්මට උත්සාහ කිරීම නිසාද වෙළෙඳාම පිළිබඳව මනාපයක් ජනතාව තුල නැත. මෙම තත්ත්වය රටේ ආර්ථිකය සම්බන්ධව ගැලපීමේදී අප පරිභෝජනය කරන භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව මෙරට නිපදවා ගැනීමටද විදේශ විනිමය ඉපැයීම සඳහා අපේ නිෂ්පාදන අපනයනය කිරීමටද බොහෝ දෙනා කැමතිය. මෙය මූලික ආර්ථික විද්‍යා මූල ධර්ම වලට පටහැනි වන නමුත් දශක ගණනාවකට පෙර ආර්ථික විද්‍යාඥයන් විසින් අපනයන සංවර්ධන ආර්ථික ප්‍රතිපත්තීන්ට වඩා ආනයන ආදේශන ප්‍රතිපත්තීන්ට මුල් තැනක් දෙන ලදී.
එනමුත් ඔන්චිල්ලාව එක පැත්තකට පමණක් පැද්දෙන්නේ නැත. එය දෙපැත්තටම පැද්දේ. ආනයන නොකර අපනයන කල නොහැක. මහබැංකු වාර්තා අනුව වර්ෂ 2022 ලංකාවේ ආනයන වලින් 15% ක් පාරිභෝගික භාණ්ඩ ද 6.5%ක් වෙනත් පාරිභෝගික භාණ්ඩද වූ අතර ඉතිරිය අන්තර් භාණ්ඩ සහ ප්‍රාග්ධන භාණ්ඩ විය. මුළු ආනයන වලින් 26% ක් වන ඉන්ධන අන්තර් භාණ්ඩ ඇතුලත තිබේ. මෙම දත්ත වෙනත් වසර සඳහා විශාල වශයෙන් වෙනස් වී නොමැත. එබැවින් ආනයන වලින් විශාල ප්‍රමාණයක් හුදු පරිභෝජනය සඳහා වැය නොවේ.
ශ්‍රී ලංකාවේ 2010-2012 වර්ෂ වල තිබු 5% ට වැඩි ආර්ථික වර්ධනයේ ප්‍රධාන සංරචකයක් වූයේ රජය මගින් කරන ලද ඉදිකිරීම්ය. වෙළෙඳාම නොවේ.
ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයේ විදේශ වෙළෙඳ ගිවිසුම් වලට එළඹෙන බව සඳහන් වන අතර මෙය ඉතාම සාධනීය ප්‍රවේශයකි. මෙම ප්‍රවේශය වෙළෙඳාමට එරෙහි ජන මතය අභියෝගයට ලක් කිරීමකි. එනමුත් මෙම ජනමතය අනුව යන යෙදුමක්ද එම මැතිවරණ ප්‍රකාශනයේ තිබේ. එනම් මෙරට නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකරන බවයි. අපනයන ප්‍රවර්ධනය කරන බව මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් වුවත් එම යෙදුමෙන් අදහස්වන්නේ ආනයන අධෛර්යමත් කර රට තුල නිෂ්පාදනය වැඩි කරන බවයි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ප්‍රකාශනයේ ථෙරවාද වෙළෙඳ ආර්ථිකයක් ගැන කියැවේ. ථෙරවාදය තුල විවෘත වෙළෙඳ ප්‍රතිපත්තියක් පිලිබඳ සඳහනක් නැත. විවිධ වෙළෙන්දන්ට සිය ජීවිතය අධ්‍යාත්මික වශයෙන් හෝ ලෞකික වශයෙන් හෝ සාර්ථක කර ගැනීමට බුදුන් වහන්සේ උපදෙස් දුන් නමුත් ථෙරවාද සංකල්ප විවෘත වෙළෙඳාම තුල නැත. එබැවින් ථෙරවාද වෙළඳ ආර්ථිකයක් ගැන සඳහන් කිරීම වචනාර්ථයෙන් ගත හොත් නිවැරදි යෙදුමක් නොවේ. නමුත් මාඝ ගේ ආක්‍රමණයට පෙර රජරට පැවති ශිෂ්ටාචාරය තුල වෙළෙඳාම ප්‍රධාන අංගයක් විය. මුහුදු සේද මාවත ශ්‍රී ලංකාව හරහා වැටී තිබීම හේතුවෙන් මෙරට පෙරදිග හා අපරදිග යා කෙරෙන වෙළෙඳ මධ්‍යස්ථානයක් විය.
දොළොස්වන ශතවර්ෂයේදී රජකම් කළ මහා පරාක්‍රමබාහු රටේ ධාන්‍ය නිෂ්පාදනය ශක්තිමත් කළේය. අහසින් වැටෙන එක දිය බිඳුවකුදු අපතේ නොහරින ලෙස කීවේය. එමෙන්ම ඔහු විදේශීය වෙළෙඳාම ද ශක්තිමත් කළේය. ඔහු බුරුමය ආක්‍රමණය කළේ එහිදී මෙරට වෙළෙඳ නැව් වලට කළ විවිධ අවහිරතා හේතුවෙනි.
රටේ අධිපති බලය තිබුනේ ථෙරවාදී සංස්ථාවටයි. මහායානය යම් යුග වලදී රාජ්‍ය අනුග්‍රහය ලැබීමේ මට්ටමට වර්ධනය වුවත් එය මර්දනය කරන ලදී. රජරට ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් පසුව මෙම වෙළෙඳ කේන්ද්‍රස්ථානය තවත් ථෙරවාද රටක් වූ තායිලන්තය විසින් අයිතිකරගන්නා ලදී. වර්තමාන තායිලන්තයේ ද වියට්නාමයේ ද ආර්ථිකයන්හි වෙළෙඳාම විශේෂ තැනක් ගනී.
රනිල් වික්‍රමසිංහ මහතා මතුකර දක්වන්නේ ආනයන අපනයන සහ ප්‍රතිඅපනයන වෙළෙඳාම රජරට ශිෂ්ටාචාරය පැවති යුගයේදී ඉහලින්ම පැවතුනු බවත් එම අංශයට බරතබා ආර්ථිකය නංවන බවත්ය. මෙය වෙළෙඳාමට එරෙහි ශ්‍රී ලංකික චින්තනයට අභියෝගයකි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ කොන්දේසි අනුව 2025 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම 14.9% ක්ද රාජ්‍ය වියදම 12.6% ක් සහ ප්‍රාථමික ගිනුමේ ශේෂය එනම් රාජ්‍ය ආදායම් වලින් පොලිය සහ ණය ආපසු ගෙවීම හැර රාජ්‍ය වියදම් අඩු කිරීමෙන් පසු ඉතිවන ශේෂය 2.3% ක්ද වශයෙන් වේ. ආර්ථික වර්ධනය 2023 දී ඍන 3%ක් ද 2024 දී 1.5% ක්ද 2025 දී 2.6% ක්ද ඉන්පසු 3.1%ක්ද වශයෙන් ඇස්තමේන්තු කර ඇත. මහා බැංකු වාර්තා අනුව 2023 තුන්වන කාර්තුවේ වර්ධනය 1.6% ක්ද හතරවන කාර්තුවේ 4.5% ක්ද විය. 2024 පළමු කාර්තුවේ වර්ධනය 5.3%කි. මේ අනුව දළ දේශීය නිෂ්පාදිතය බලාපොරොත්තු මට්ටමට වඩා වැඩි වේ. එමෙන්ම ලැබුණ ආදායම මෙන්ම ප්‍රාථමික ගිණුමේ ශේෂය ද බලාපොරොත්තු වූ ඉලක්ක ඉක්මවා ගිය බවද වාර්තා විය.
ප්‍රධාන මැතිවරණ ප්‍රකාශන තුනේම බදු අඩුකරන බවට පොරොන්දු දී තිබේ. මෙම පොරොන්දු අප විසින් ඉතාම සැලකිල්ලෙන් විමසිය යුත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ විසින් සිය මැතිවරණ ප්‍රකාශයේ බදු අඩු කරන බවට පොරොන්දුවක් දී තිබුන බවත් ඔහු එම පොරොන්දුව ඉටු කළ බවත් රටේ සියලුම කොටස් විශේෂයෙන්ම පුද්ගලික අංශය ඔවුන්ගේ සංවිධානද ඇතුළුව බදු අඩු කිරීමට පක්ෂ වූ බවත් රට ආර්ථික වශයෙන් වැටීමේ ආරම්භය එයින් සනිටුහන් වූ බවත් මතක තබා ගෙනය.
රනිල් වික්‍රමසිංහ මහතා සිය මැතිවරණ ප්‍රකාශනයේ ආදායම් බදු අඩු කිරීම සඳහා මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ඇති බව පවසන අතර වෙනත් අවස්ථාවකදී ඔහු සඳහන් කළේ බදු නිදහස් සීමාව වන මසකට රු. ලක්ෂයක සීමාව සහ බදු අනුපාත වන 6%, 12%, 18%, 24%,30% සහ 36% එලෙසම පවත්වා ගෙන යන අතර බදු අනුඛණ්ඩ වල ප්‍රමාණය රු. 500,000 සිට රු. 720,000 දක්වා වැඩි කිරීමට භාණ්ඩාගාරය යෝජනා කර ඇති බවයි. එමෙන්ම මේ සම්බන්ධව මූල්‍ය අරමුදලේ යෝජනාව වන්නේ පළමුවන බදු ඛණ්ඩය රු. 500,000 සිට 1,000,000 දක්වා වැඩි කරන ලෙසත් ඉතිරි බදු ඛණ්ඩ, බදු නිදහස් සීමාව සහ බදු අනුපාත එලෙසම පවත්වා ගෙන යන ලෙසත්ය. ජාතික ජන බලවේගය බදු නිදහස් සීමාව මසකට රු. ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා වැඩි කරන බව දක්වා ඇත. සමගි ජන බලවේගය බදු නිදහස් සීමාව එලෙසම පවත්වාගෙන යාමට අදහස් කරන අතර ඉන් අනතුරුව බදු අනුපාතය 1% ක අගය කින් ආරම්භවී මාසික ආදායම ලක්ෂ පහක් හෙවත් වාර්ෂික ආදායම මිලියන හයක් දක්වා 24% දක්වා වැඩි කරනු ඇත. මේ අනුව රු. 200,000 ක් වන බදු ඛණ්ඩ 24ක් ඇතිවනු ඇත. ඉනික්බිතිව ඇති බදු ඛණ්ඩ සහ බදු අනුපාත එලෙසම පවතිනු ඇත.
මේ අනුව එක් එක් යෝජනාව සඳහා වෙනත් ගැලපීම් නැතැයි උපකල්පනය කර මසකට ආදායම රු. ලක්ෂයේ සිට ලක්ෂ හය දක්වා වන පුද්ගලයන්ගේ වාර්ෂික ආදායම් බද්ද මේ සමඟ ඇති වගුවේ දක්වා ඇත. මේ අනුව වැඩිම බදු අඩු කිරීමක් වන්නේ සමගි ජන බලවේගයේ යෝජනාවේය. ජාතික ජන බලවේගයේ යෝජනාවේද සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කරයි. ප්‍රශ්ණය වන්නේ සාපේක්ෂව අඩු ආදායම් ලබන කොටස් වලට විශාල ප්‍රතිලාභ මේ යෝජනා දෙක මගින් ලැබෙන අතර බදු ගෙවීමේ හැකියාවක් ඇති කොටස් වලටද සැලකිය යුතු බදු අඩුවීමක් ලැබීමයි. රටේ පැත්තෙන් ද සාධාරණත්වය පැත්තෙන්ද බැලු විට මෙයින් ප්‍රශස්තම යෝජනාව IMF යෝජනාව යයි සිතමි.
මෙම බදු අඩුවීම් හරහා ඉහත දැක්වූ බලාපොරොත්තු ඉලක්ක සපුරා ගත නොහැකි නම් එම බදු අඩු කිරීම් ඉවත් කර ගැනීමට හෝ IMFඑකඟතාවයෙන් ඉවත් වීමට හෝ සිදුවනු ඇත. අනුර දිසානායක මහතා මේ බදු පියවා ගැනීමට බලාපොරොත්තු වන්නේ මත්පැන් සිගරට් සහ කැසිනෝ බදු වැඩි කිරීමෙනි.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාද සජිත් ප්‍රේමදාස මහතාද රාජ්‍ය අංශයේ අවම ආරම්භක වැටුප 24%ක ප්‍රතිශතයකින් වැඩි කිරීමට යෝජනා කරති. සජිත් ප්‍රේමදාස මහතා පොහොර කි. ග්‍රෑ. 50ක මල්ලක් රු. 5000 කට දීමට බලාපොරොත්තු වේ. මේ සඳහා මුදල් සොයා ගන්නා ආකාරය දක්වා නැත. රටේ ආරක්ෂක වියදම යුද්ධ අවසානයෙන් පසුවද ඉතා ඉහල අගයක් ගන්නා නමුත් එය අඩු කිරීමට කිසිවකු ගෙන් වත් යෝජනා නොමැත.
අනුර කුමාර දිසානායක මහතා වැටුප් වැඩිකිරීමේ යෝජනාවක් නොකරයි. එනමුත් ඔහු අධ්‍යාපන වියදම් අනුක්‍රමයෙන් දල දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් දක්වාද සෞඛ්‍ය වියදම් 3% ක් දක්වාද වැඩි කිරීමට බලාපොරොත්තු වෙයි. සමස්ත රාජ්‍ය වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 2025 දී 12.6% ක උපරිමයකට යටත් වන නිසා ( ඉදිරි වසර වලදී මෙම ප්‍රතිශතය සුළුවෙන් වෙනස් වේ.) අනෙක් සියලු වියදම් සඳහා ඉතිරි වන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.6% ක් පමණි. මෙය ප්‍රයෝගික නොවේ. එමෙන්ම මෙම වැඩිවන වියදම් සඳහා ආදායම් වැඩි කර ගැනීමේ නිශ්චිත යෝජනා නැත.
IMF එකඟතා වලට පදනම වූ රටට ගෙවීමට හැකි ණය ප්‍රමාණය පිලිබඳ විග්‍රහය (Debt Sustainability Analysis) සම්බන්ධ යෙන් ඔවුන්ගේම විග්‍රහයක් ඉදිරිපත් කරන බව ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයේ තිබේ. මේ යෝජනා ඉදිරිපත් කිරීමට ඔවුන්ට අයිතිය ඇති අතර එකඟ විය නොහැකි නම් මූල්‍ය අරමුදල විසින් ඒවා ප්‍රතික්ෂේප කරනු ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලංකාණ්ඩුව විසින් එකඟවූ යෝජනා බොහෝ සෙයින් ප්‍රශස්ත මට්ටමක පවතී. ඒවා ඉලක්ක ගත කර ඇත්තේ රාජ්‍යයේ මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහාය. එසේ වුවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිර්දේශපාලනික සංවිධානයක් නොවේ. චීනය මූල්‍ය අරමුදල එතරම් ගණන් නොගන්නේද පෙරටුගාමී සමාජවාදී පක්ෂය IMFයෝජනා රාජ්‍යයේ ස්ථාවරත්වයට හේතුවුවද ඒවා සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නේද ඒ නිසාය.
මූල්‍ය අරමුදලේ 190 ක් වන සාමාජික රටවල් වලට ඡන්ද අයිතිය තිබේ. විවිධ රටවලට ඇති කෝටාවද ඡන්ද ප්‍රමාණයද වෙනස්ය. ඇමෙරිකා එක්සත් ජනපදයට මුළු ඡන්ද ප්‍රමාණයෙන් 16.5% ක ඡන්ද අයිතියක් තිබෙන අතර චීනයේ ප්‍රමාණය 6.08% කි.රුසියාවේ ඡන්ද අයිතිය 2.59% ක් වන අතර ශ්‍රී ලංකාවේ එම ප්‍රතිශතය 0.14% කි. ඉන්දියාවට 2.63% ක ඡන්ද අයිතියක් ඇත. යුරෝපා සංගමයේ අනෙක් රටවල් හැර ඇමරිකා එක්සත් ජනපදය ද ඇතුළුව G 7 රටවල් වල ඡන්ද අයිතිය 41.25%කි. එබැවින් ඇමරිකා එක්සත් ජනපදයට විශාල බලයක් මූල්‍ය අරමුදල තුල තිබේ. අවශ්‍ය වුවහොත් මෙම කාරණය කළමනාකරණය කර ගැනීමට රාජ්‍යයට ශක්තිය තිබිය යුතුය.
මැතිවරණ ප්‍රකාශන පිළිබඳව සංවාදයක් ඇතිව තිබීම ඉතා හොඳ කාරණයකි. වෙන කවරදාකටත් වඩා මුදල් පිලිබඳ ප්‍රශ්ණය අප ඉදිරියේ ඇත.හිතෙන හිතෙන ආකාරයට මුදල් අච්චු ගැසීමටද ණය ගැනීමටද රාජ්‍යයට හැකියාවක් නොමැත. මෙය දේශපාලනඥයන් විසින්ද ජනතාව විසින්ද තේරුම් ගත යුතුය. එබැවින් මැතිවරණ ප්‍රකාශන වල තිබෙන සමහර යෝජනා ලංකාවේ අයවැය ලේඛන වල තිබෙන සමහර යෝජනා වලට එක්තරා ලෙසකින් සමාන වේ. එනම් මුදල් නොමැති විට සියලු යෝජනා පෑල දොරින් විසිවී යාමයි.
Jit / September 6, 2024
හර්ෂ, මේ ලෝකයේ කොහෙවත් ඔය කියන ථෙරවාදී ආර්ථිකයන් නැත! තිබුනෙත් නැත!! ඕවා නිකං මේ විසි එක් වන සියවසේ ඉතා සනීපෙට ජීවත්වෙන නමුත් කෑම දිරවන්ට කරන ගෝත්‍රවාදී, ආගම්වාදී, ජාතිවාදී බොල් මිනිසුන්ගේ හිතළු පමණයි. කැළණි ගඟේ නයි දැකල ගෝටාට තොග පිටින් 69 ලක්ෂයක් චන්දෙ දීපු හරක් ඉන්න රටක මේවාට ඉතා ඉහල දේශපාලන වටිනාකමකුත් ලැබෙනවනේ?? වෙළඳාම සාධාරණ විදියට කරන්න කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන බව හැරෙන්නට බෞද්ධ දර්ශනයේ වාණිජ කටයුතු ගැන එතරම් මතවාදයක් හෝ සඳහනක් නෑ. එතුමා තම දර්ශනය කැප කලේ මිනිසුන් මේ සංසාර දුකින් මුදවා ගැනීමට මිස ආර්ථික විද්‍යාව ඉගැන්වීමට නොවෙයි! ඊට හේතු වූ තවත් කාරණා නම් ඒ කාලයේ ඉතා බහුලව තිබූ කුටුම්භ සමාජයයි. ඒ කියන්නේ හැමෝම තමන්ට එදිනෙදා අවශ්‍ය කරන බොහොමයක් දේවල් තමා විසින්ම සපයා ගැනීමේ ක්‍රියාදාමයයි. එතනදී වෙළඳ කටයුතු වලට තිබුනේ ඉතාම අල්පේච්ච ඉඩක්. 18 වන සියවසේදී ඇතිවූ කාර්මික විප්ලවය ඔස්සේ නිර්මාණය වූ අධි නිෂ්පාදන හා පාරිභෝගික වාදය මත පදනම් වූ වර්තමාන ධනේෂ්වර කේන්ද්‍රගත ආර්ථිකයන් තමා ඔය හැම රටකම දුවන්නේ. චීනයේ, රුසියාවේ පවා තිබෙන්නේ ඔය ලාභය මත පදනම් වූ ආර්ථිකයන්. ඉතින් ඕකට මොන සූත්‍ර ලිව්වත් වැඩක් නෑ. Profit කතන්දරේ තමයි යතානුරූපී නිරුවත!!
/