30 October, 2020

Blog

ජිනීවා යෝජනාව සහ සළකා බැලිය යුතු කරුණු කිහිපයක්

හර්ෂ ගුණසේන

ශ‍්‍රී ලංකාවද, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේ එක් සම-යෝජකයෙකි. ඊනියා ‘මිශ‍්‍ර අධිකරණ ක‍්‍රියාවලිය’ ගැන යෝජනාවේ මෙසේ දැක්වේ: ‘‘ශ‍්‍රී ලංකාවේ සියලූ ප‍්‍රජාවන් තුළ අධිකරණය පිළිබඳ විශ්වාසය ගොඩනැගීමත්, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම අරභයා වගවීම යන කාරණයේ ඇති අත්‍යාවශ්‍ය භාවයත් ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් පිළිගනු ලැබීම ගැන මෙම සභාව සතුටට පත්වන අතර, මානව හිමිකම් අපහරණයන් සහ උල්ලංඝණයන්ද, ජාත්‍යන්තර මානුෂීය නීතියේ උල්ලංඝණයන්ද සම්බන්ධයෙන් වන චෝදනා විභාග කර බැලීම සඳහා ‘විශේෂ උපදේශකත්වයක් සහිත අධිකරණ යාන්ත‍්‍රණයක්’ පිහිටුවන බවට කෙරෙන ශ‍්‍රී ලංකාවේ යෝජනාව ගැන ප‍්‍රසාදය පළ කෙරේ. එසේම, යුක්තිය පසිඳලීමේ විශ්වසනීය ක‍්‍රියාවලියකට, අපක්ෂපාතීත්වය සහ සුපිළිපන් භාවය පිළිබඳ නම් දැරූ පුද්ගලයන් විසින් මෙහෙයවනු ලබන ස්වාධීන අධිකරණමය සහ අභිචෝදක ආයතන අඩංගු විය යුතු බවත් මේ සභාව කියා සිටී. තවද ඒ සම්බන්ධයෙන්, ‘විශේෂ උපදේශක කාර්යාලය’ ඇතුළු ශ‍්‍රී ලාංකීය අධිකරණ යාන්ත‍්‍රණය තුළ, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලට අයත් සහ වෙනත් විදේශීය විනිසුරුවරුන්, විත්තියේ නීතිඥයන් සහ බලය ලත් අභිචෝදකයන් සහ විමර්ශකයන් සහභාගී වීමේ ඇති වැදගත්කමත් තවදුරටත් දක්වා සිටී.’’

යාන්ත‍්‍රණය දේශීය වන්නේය. විනිසුරුවරු, විත්තියේ නීතිඥයන්, අභිචෝදකයන් සහ විමර්ශකයන් විදේශිකයන් විය හැකිය. මෙවැනි යෝජනාවක් අඩංගු කිරීමට ප‍්‍රධාන හේතුව වන්නේ, අපේ අධිකරණ ක‍්‍රියාවලියේ සහ අභිචෝදක පද්ධතියේ විශ්වසනීයත්වය අප විසින්ම අහිමි කරගෙන තිබීමයි.

Channel 4 ‘Sri Lanka’s Killing Fields’   1 colombotelegraphශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති බලසම්පන්න තීන්දු

ශ‍්‍රී ලංකාවේ අධිකරණමය ස්වාධීනත්වය විදහාපාන බලසම්පන්න තීන්දු අපේ අධිකරණයෙන් දී තිබේ. ඒ සම්බන්ධයෙන් වන වැදගත් නඩුවක් වන්නේ, 1937 බ්‍රේස්ගර්ඩල් සිද්ධියයි. මාර්ක් ඇන්තනි බ්‍රේස්ගර්ඩල් යනු, එවකට ලංකාවේ සිටි ඕස්ටේ‍්‍රලියානු ජාතික වැවිලිකරුවෙකි. ඔහු දේශපාලනිකව ලංකා සමසමාජ පක්ෂයට සම්බන්ධව වැඩ කෙළේය. එදා සිටි ආණ්ඩුකාර රෙජිනල්ඞ් ස්ටබ්ස්ට, මොහුගේ ධනපති-විරෝධී සහ යටත්විජිත-විරෝධී අදහස් ඇල්ලූවේ නැත. ඒ තත්වය තුළ, බ්‍රේස්ගර්ඩල්ව අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට ආණ්ඩුකාරවරයා නියෝග කෙළේය.

ඔහු අත්අඩංගුවට ගැනීමත් සමගම ඊට එරෙහිව ලංකා සමසමාජ පක්ෂය හේබයාස් කෝපුස් අයදුම්පතක් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව, අගවිනිසුරු සිඞ්නි ඒබ‍්‍රහම්ස්ගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ත‍්‍රිපුද්ගල බි‍්‍රතාන්‍ය විනිසුරු මඬුල්ලක් විසින්, ආණ්ඩුකාරවරයාගේ නියෝගය නීති විරෝධී බවට තීන්දු කොට බ්‍රේස්ගර්ඩල් නිදහස් කිරීමට නියෝග කෙළේය.

1998 පැවති හදිසි නීති රෙගුලාසි පාවිච්චි කරමින් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග පළාත් සභා මැතිවරණ කල්දැම්මාය. මේ සම්බන්ධයෙන්, මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව වරුණ කරුණාතිලක සහ සුනන්ද දේශප‍්‍රිය මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරූහ. එම නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින්, අගවිනිසුරු ජී. පී. එස්. සිල්වා සහ විනිසුරු ගුණසේකරගේද එකඟත්වය ඇතිව විනිසුරු මාර්ක් ප‍්‍රනාන්දු, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තියේ සඳහන් ජනාධිපති මුක්තිය ගැන නව අර්ථකථනයක් දෙමින් මෙසේ කීය:

‘‘35 වැනි වගන්තිය යටතේ තහනමට ලක්වන්නේ, බලයේ සිටින ජනාධිපතිවරයෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීම හෝ එවැනි පියවරයන් පවත්වාගෙන යාමයි. (අ) බලයෙන් ඉවත් වූ පසු ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමේ කිසි බාධකයක් නැත. (ආ) වෙනත් පුද්ගලයෙකුට එරෙහිව ඕනෑම අවසථාවකදී එවැනි නීතිමය පියවර ගත හැකිය. ඒ වනාහී, මුක්තියේ නෛතික ස්වභාවය තුළින්ම ඇති කෙරෙනු ලබන ප‍්‍රතිවිපාකයකි. මුක්තිය ආරක්ෂක පලිහක් වන්නේ, යමක් කරන්නාට ය. කරන දෙයට නොවේ. කරන දෙය වැළැක්වීමක් අපේක්ෂා කරන විට, ඊට පාවිච්චි කෙරෙන්නේ විශේෂිත භාෂාවකි. එබැවින්, 35 වැනි වගන්තිය මගින් නීති විරෝධී ක‍්‍රියාවක් නීත්‍යානුකූල ක‍්‍රියාවක් බවට පත් නොකෙරෙන්නා සේම, කිසි අධිකරණයක ප‍්‍රශ්න කිරීමට ලක්කළ නොහැකි ක‍්‍රියාවක් බවට පත්කෙරෙන්නේද නැත.

නඩු පැවරීමකට යට නොවී සිටීමේ මුක්තියක් නැති වෙනත් කෙනෙකු කරන ලද හෝ නොකර හරින ලද අපවාදපාත‍්‍ර ක‍්‍රියාවක නීතිමය භාවය හෝ යෝග්‍යතාව පිළිබඳ අධිකරණමය පරීක්ෂණයක් පැවැත්වීම මේ වගන්තිය මගින් ඉවත් කරනු ලබන්නේ නැත. උදාහරණයක් වශයෙන්, ජනාධිපතිවරයාගේ ක‍්‍රියාවක් මත තමාගේ ක‍්‍රියාවක් යුක්ති සහගත කර ගැනීමට, මුක්තිය නැති විත්තිකරුවෙකුට හෝ වගඋත්තකරුවෙකුට නොහැක්කේය.

ජනාධිපතිනිය විසින් කරන ලද හදිසි අවස්ථා රෙගුලාසිවලට අදාළ ප‍්‍රශ්න මේ අධිකරණය විභාග කර බැලූවේ සහ තීන්දු කරනු ලැබුවේ එම හේතුව පෙරදැරිව ය.’’

අධිකරණයේ ස්වාධීනත්වය

කෙසේ වෙතත්, මෑත කාලීන ශ්‍රේෂ්ඨාධිකරණයේ කල්ක‍්‍රියාවන් මගින් මේ ස්ථාවරය නිෂේධ කරනු ලැබ තිබේ. හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් නන්ද සිල්වා, කුප‍්‍රකට ‘හෙල්පිං හම්බන්තොට’ සිද්ධියේදී එවක අගමැතිව සිටි මහින්ද රාජපක්ෂට පක්ෂපාතී තීන්දුවක් දීම ගැන මෑතක පැවති ප‍්‍රසිද්ධ රැුස්වීමකදී සමාව ගත්තේය. අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකව නිසි නීති ක‍්‍රියාවලියකින් පිටස්තරව තනතුරෙන් අස්කරන ලද්දේය. මොහාන් පීරිස්ව අගවිනිසුරු පදවියට නිසියාකාරයෙන් පත්කොට නොතිබුණු බවත්, එනිසා නිසියාකාර ඉවත් කිරීමක් අවශ්‍ය නොකරන බවත්, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන කියා සිටියේය.

එසේම මොහාන් පීරිස් ජනාධිපතිවරණය දා අරලියගහ මන්දිරයේ සිටි බවත් වාර්තා විය. තමාව අගවිනිසුරු ධුරයෙන් ඉවත් නොකොට තබා ගන්නේ නම්, නව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ ආණ්ඩුවට පක්ෂව තීන්දු දීමට තමාට කටයුතු කළ හැකි බවත් ඔහු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට දන්වා තිබේ. මේ අතර, තමාගේ ආරක්ෂක නිලධාරියෙකුට පහර දුන් බවට චෝදනා ලැබ සිටියදී එක් විනිසුරුවරයෙකුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත්කරන ලදි. එසේ ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීමෙන් පසු මෙම විනිසුරුවරයා තමාගේ ගෘහ සේවිකාවට පහර දුන්නේය. තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පක්ෂපාතී තීන්දු දීම සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමෙන් දඬුවමට ලක්ව තිබේ.

පුරවැසියන්ට අධිකරණයෙන් යුක්තියක් අවශ්‍ය කෙරේ

පුරවැසියන් වශයෙන් අධිකරණයෙන් අපට අවශ්‍ය කරන්නේ යුක්තිය මිස වෙන කිසිවක් නොවේ. එසේම, යුක්තිය පසිඳලීමට හැකියාවක් අධිකරණයට ඇති බවත් පෙනෙන්ට තිබිය යුතුය.

තමන්ගේ රාජකාරිය කිරීමේ හැකියාවක් ඇති ස්වාධීන දේශීය විනිසුරුවරුන් පත්කිරීමට ආණ්ඩුව අසමත් වන්නේ නම්, එම රාජකාරිය සඳහා විදේශීය විනිසුරුවරුන් පත්කිරීම අත්‍යන්තයෙන්ම යෝග්‍යයි. මේ නිසා, මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝණයන් සහ අපහරණයන් සම්බන්ධ චෝදනා විභාග කර බැලීමේ විශේෂ අධිකරණයන් සඳහා පමණක් නොව, ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයටත් එවැනි විනිසුරුවරුන් පත්කිරීම ගැන සළකා බැලීමේ වරදක් නැත.

ප‍්‍රධාන නඩු පැවරීමේ ක‍්‍රියාවලිය භාර නීතිපති තනතුරත් බොහෝ කලක් තිස්සේ අවභාවිතයට ගැනෙමින් තිබේ. තිලක් මාරපන නීතිපතිවරයා වශයෙන් සිටියදී, එවක දුම්රිය දෙපාර්තමේන්තු ප‍්‍රධානියාගේ අයථා කටයුතු සම්බන්ධයෙන් රාවය කර්තෘ වික්ටර් අයිවන් විසින් කරන ලද හෙලිදරව් ගැන සොයා බලනවා වෙනුවට නීතිපතිවරයා උත්සාහ කෙළේ රාවය කර්තෘවරයාට එරෙහිව සාපරාධී අපහාස නඩුවක් පැවරීමටයි. සරත් නන්ද සිල්වා අගවිනිසුරුවරයා වශයෙන් පත්කරන අවස්ථාවේ, නීතිපති වශයෙන් ඔහු සිටියදී නැගුණු ඉතා බරපතල චෝදනා තිබුණි.

උදලාගම කොමිසම පත්කළ අවස්ථාවේ එම කොමිසමේ ක‍්‍රියාවලියට සහාය වනු වස් ආණ්ඩුව විදේශීය විශේෂඥයන්ට ආරාධනා කෙළේය. එම ආරාධනය මත පැමිණි විදේශීය විශේෂඥයන් සම්බන්ධයෙන් එදා නීතිපති වශයෙන් සිටි සී. ආර්. ද සිල්වා නොහොබිනා ස්ථාවරයක් ගනිමින් ඔවුන්ව විවේචනය කරනු ලැබූ විට ඔවුහූ සිය නිරීක්ෂණ කටයුත්තෙන් ඉවත්ව ගියහ.

ආණ්ඩුවේ නීති උපදේශකවරයා වශයෙන් නීතිපතිවරයාට කිසිදු ස්වාධීනත්වයක් නැත. එම නිසා ඔහුගේ භූමිකාව නවතමයෙන් අර්ථකථනය කළ යුතුව ඇත්තේය.

විශ්වසනීය පද්ධතියක් ස්ථාපිත කිරීම අනිවාර්යයි

සන්නද්ධ සේවාවන්ට සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් බලන විට, සත්‍යය දැන ගැනීම සඳහා විශ්වසනීය ක‍්‍රියා පද්ධතියක් ගොඩනැගීම අත්‍යාවශ්‍ය කෙරේ. රටක් වශයෙන් සමාජ ගැටුම් කිහිපයකටම මුහුණදී ඇති තත්වය තුළ සහ ඒ සමාජ ගැටුම්වලට පාදක වූ සැබෑ හේතු නොසළකා හැර ඇති තත්වය තුළ, ජාතියක් වශයෙන් ගත් කල, අප උදාසීන හැත්තක් බව නොකියා බැරි ය. ඒ නිසා, මේ කියන පරීක්ෂණය, 1980 දශකය අවසානයේ ඇති වු ජනතා විමුක්ති පෙරමුණු කැරැුල්ලද ආවරණය කරන සේ පුළුල් විය යුතුව තිබේ.

ජාතියක් වශයෙන් ලද තුවාල සළකා බලා ඒවා පරීක්ෂාවට ලක්කළ යුතු අතර, එම සොයා බැලීමම එකී තුවාල සුව වීමට හේතු විය හැකිය. එකී තුවාල, රටේ නිතර අසන්නට ලැබෙන අපරාධ රැුල්ලට එක් හේතුවක් වෙනවා වන්නටද පුලූවන. එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ සන්නද්ධ හමුදාවන්ට නිසි ගෞරවය දැන් නොදැක්වෙන්නේ, ප‍්‍රධාන වශයෙන් දැනට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා නිසා ය. යුද අපරාධ සත්තකින්ම සිදුවිණි නම්, එය ජාත්‍යන්තර නීතියට පටහැනි දෙයකි. ඒ මගින් යුද ජයග‍්‍රහණයත් හෑල්ලූවට ලක්කෙරෙනු ඇත.

ඊටත් වඩා, නිරායුධ සතුරෙකුට හෝ යටත් වීමට සූදානම් සතුරෙකුට පහර නොදීමේ ඉපැරණි සිංහල සම්ප‍්‍රදායටත් එය පටහැනි ය. සිංහලයන්ගේ අභිමානයට එය කැළලකි. කීර්තිමත් සිංහල රණකාමියා වන දුටුගැමුණු රජුගේ ප‍්‍රතිපත්තියට එය හාත්පසින් වෙනස් ය. එම නිසා, සත්‍යය නිරාවරණය කර ගැනීම සඳහා පරීක්ෂණ පැවැත්විය යුත්තේය.

රජයේ සන්නද්ධ හමුදා සහ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් යන දෙපිරිසම ශ‍්‍රී ලාංකිකයන් බව අමතක නොකළ යුතුය. බොහෝ දෙනා එය අමතක කරති. එල්.ටී.ටී.ඊ. සංවිධානය පිටස්තරයන් වශයෙන් සිංහලයන් සළකන අතර, රජයේ සන්නද්ධ හමුදා පිටස්තරයන් යැයි දෙමළ ජනතාව සිතති. නූතන යුගයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කළ, පාබල නෞකා සහ ගුවන් යන ත‍්‍රිවිධ හමුදාවක් තිබූ ලෝකයේ එකම ත‍්‍රස්තවාදී සංවිධානය වන එල්.ටී.ටී.ඊ. ව්‍යාපාරයත්, පරාජය කළ නොහැකි යැයි එතෙක් විශ්වාස කළ එවැනි බලගතු සන්නද්ධ ව්‍යපාරයක් අවසානයේදී පරාජය කළ සන්නද්ධ හමුදාවනුත් යන සියල්ලෝම ශ‍්‍රී ලාංකිකයෝ ය. එක්සත් වුණොත්, මේ සියල්ලන්ට මහා බලවේගයක් බවට පත්විය හැකිය.

*2015 ඔක්තෝබර් 3 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ “Geneva Resolution & A Few Points to Contemplate” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.