2 May, 2024

Blog

‘බොදුබල සේනා’ ජාතිවාදී සංවිධානයක් ද?

හේම සේනානායක

හේම සේනානායක

දැන් මාසය කිහිපයක සිට ‘බොදුබල සේනා’ යන්න ගෙදරදොර භාවිත කෙරෙන නාමයක් බවට පත්ව ඇත. එහි අදහස් උදහස් සමග කෙනෙකුට එකඟ වීමට හෝ නොවීමට පුලූවන. එහෙත් ශ‍්‍රී ලංකාවේ සමාජ නිර්මිතය කෙරෙහි එය ප‍්‍රබල බලපෑමක් ඇති කළ බවට කවුරුත් එකඟ ය. එය දේශපේ‍්‍රමී ව්‍යාපාරයකැ යි කෙනෙක් සිතත්. තවත් අයට අනුව එය, පහත් පෙළේ ජාතිවාදී සංවිධානයකි.

එම නිසා පසු ගිය 5 වැනි දා බොදුබල සේනා ලේකම්වරයා නිව්යෝර්ක් නුවර බෞද්ධ විහාරයට පැමිණ සිංහල ප‍්‍රජාව මුණගැසී සිය සංවිධානයේ මෙහෙවර පැහැදිළි කිරීමට යති යි ආරංචි වූ විට, එහි ගොස් ඔහු හමු වී ප‍්‍රශ්නයක් ඇසීමට මම සිතා ගත්තෙමි. ඒ අනුව, එම විහාරයේ වැඩවාසය කරන හිමිනමකට ආමන්ත‍්‍රණය කොට, මෙම හමුව විවෘත එකක් දැ යි මම විමසීමි. එහෙත්, යොදාගත් හමුව අවලංගු කොට ඇති බව ඒ හිමියෝ මට පැවසූහ. වැදගත් ප‍්‍රශ්නයක් බොදුබල සේනා ලේකම්වරයාගෙන්ම අසන්නට තිබූ අවස්ථාව අහිමි වූ හෙයින් එම පැනය ප‍්‍රසිද්ධ මාධ්‍ය හරහා ඉදිරිපත් කරමි යි මම ඉටාගත්තෙමි.

සිංහල ජාතිවාදියෙකු හඳුනා ගන්නේ කෙසේ ද යන්න මගේ ප‍්‍රශ්නයයි.

මේ ප‍්‍රශ්නය පසුපස කුඩා පසුබිම් කතාවක් තිබේ. මුලින්ම එය පැහැදිළි කරන්නම්:
මගේ සිංහල මිතුරෙකුගේ පුතෙක්, නිව්යෝර්ක් නුවර ක්වීන්ස් හි ඉගෙන ගනිමින් සිටියේය. 10 වැනි ශ්‍රේණියේ දී එම පාසලෙන් අස් වූ ඔහු ‘ජේ.එෆ්.කේ’ ගුවන් තොටුපොළ අසළ හොවාර්ඞ් බීච් පෙදෙසේ පාසලකට මාරු විය. එම පාසලේ ශිෂ්‍යයන් බොහොමයක් සුදු ජාතිකයන් ය. එයින් බහුතරයක් ඉතාලි සම්භවයක් සහිත වන අතර තවත් අය අයර්ලන්ත මුල් සහිත ය. ඇත්ත වශයෙන්ම මේ ශිෂ්‍යයාගේ පංතියේ අපි‍්‍රකානු ජාතිකයන් කිසිවෙකු සිටියේ නැත. හම කළු දෙන්නෙක් සිටියහ. එක් කෙනෙක්, අපේ ශිෂ්‍යයා ය. අනෙකා, ඉන්දියානු ජාතික දැරියකි.

අළුතෙන් එන ශිෂ්‍යයන්ට පාසලේ පරණ ශිෂ්‍යයන් අරියාදු කරන බව මා දන්නා හෙයින්, ඔහු පාසලට ඇතුළත් වූ දා හැන්දැවේ මම ඔහුට ටෙලිෆෝන් කෙළෙමි. පාසල හොඳ බව කී ඔහු, ‘‘සුදු ජාතිවාදී කොල්ලෙක් මට කෑගැහැව්වා’’ යි කීය.

‘‘මොනවද මිනිහා කිව්වේ?’’ මම ඇසීමි. ‘‘යනවා තමුසෙලාගේ රටට. යනවා තමුසෙලාගේ කැලෑවට’’ යි අර සුදු ශිෂ්‍යයා කියා ඇත. සමහර විට, ශ‍්‍රී ලංකාව යනු කැලෑවකැ යි සමහර ශිෂ්‍යයන් සිතනවා ඇති. මේ අරියාදුවෙන් ඔහු බිය වුයේ දැ යි මම ඇසීමි. එවිට ඔහු මෙසේ කීය: ‘‘නැහැ, මං මිනිහට හොඳ උත්තරයක් දුන්නා.’’

එක කොන්දේසියක් මත තමා නැවත ශ‍්‍රී ලංකාවට යාමට සූදානම් බව අපේ ශිෂ්‍යයා කියා ඇත. ඒ කොන්දේසිය කුමක් දැ යි සුදු ශිෂ්‍යයා ප‍්‍රශ්න කළ විට, ‘‘ආපු පිළිවෙලට ආපසු යාම’’ යැයි අපේ ශිෂ්‍යයා කියා ඇත. ‘‘මුලින් ආවේ ඔයා, ඒක නිසා මුලින් යන්න ඕනේ ඔයා. ඊළඟට මං යන්නං.’’ ඔහුගේ පිළිතුර විය.

අපේ ශිෂ්‍යයා එම ශ්‍රේණියේ ඉගෙනගන්නේ ඇමරිකානු ඉතිහාසය වන බැවින්, සුදු ජාතිකයන් යුරෝපයෙන් ඇමරිකාවට ආවේ ඊට ශත වර්ෂ කිහිපයකට පෙර දී බව හොඳින් දනී. සුදු ජාතික ශිෂ්‍යයා සමග වචන හුවමාරුවකට හෝ ගුටිබැට හුවමාරුවකට නොයාමට අපේ ශිෂ්‍යයාට ඒ දැනුම ප‍්‍රයෝජනවත් විය. ඉන් පසු කුමක් සිදු වී දැයි මම විමැසීමි. සුදු ශිෂ්‍යයා කර බා ගත් බව ඔහු කීය.

ජාතිවාදියෙකු වන්නේ කවරෙකු ද යන්න ගැන ප‍්‍රායෝගික අර්ථකථනයක් මේ කතාවෙන් අපට සැපයේ. තමාට ආපසු ශී‍්‍ර ලංකාවට යන්නැ යි කෑගැසූ සුදු ශිෂ්‍යයා, ඇමරිකාව ඔහුට පමණක් අයත් බවට විශ්වාස කිරීම, එම ශිෂ්‍යයාව ජාතිවාදියෙකු බවට පත්කෙළේ යැයි අපේ ශිෂ්‍යයා තීරණය කරයි. එය, ජාතිවාදියෙකු සඳහා පොදුවේ ගිනිය හැකි ඉතා ප‍්‍රායෝගික අර්ථකථනයකි. රටක වෙසෙන ආදිතම පුරවැසියන් එම රටට කර ඇති දායකත්වය මත මේ අරුත බිහි වෙයි. අනිත් පුරවැසියන් ඔවුන්ගේ මුල් රටවල්වලට යා යුතු බව ඒ අනුව ගම්‍ය කෙරේ.

දැන් මෙය අපි ශ‍්‍රී ලංකාවට ආදේශ කරමු. දෙමළ හෝ මුස්ලිම් පුරවැසියෙකු ඔවුන්ගේ මුල් රටවලට යා යුතු යැයි විශ්වාස කරන සිංහල-බෞද්ධයා ජාතිවාදියෙකි. එසේම, ඒ පුද්ගලයා වෙනත් සුළු ජාතික ප‍්‍රජාවන් වාචිකව පීඩාවට පත්කොට ඔවුන්ගේ දේපළ විනාශ කරයි නම්, හෙතෙම උග‍්‍ර ජාතිවාදියෙකි. මේ අර්ථකථනය හරහා මගේ මිතුරාගේ කුඩා දරුවාට පවා, ජාතිවාදියෙකු යනු කවරෙකු දැ යි හඳුනා ගැනීමට අමාරු නැත. ‘‘තමාගේ වාර්ගිකත්වය උත්තම යැයි සිතා, වෙනත් වාර්ගිකයෙකුට ගැරහීම, වෙනස් කම් කිරීම සහ විරෝධය පෑම ජාතිවාදය’’ යැයි කියන විදග්ධ අර්ථකථනයට (ඔක්ෆෝර්ඞ් ශබ්දකෝෂය) වඩා මෙය ප‍්‍රායෝගික බව මගේ හැඟීමයි.

ජාතිවාදියෙකු දේශපේ‍්‍රමියෙකු නොවේ. එවැන්නන් රටකට අවනම්බුවකි. එබැවින්, බොදුබල සේනා ලේකම්වරයාගෙන් මට ඇසීමට අවශ්‍ය කෙළේ, මගේ මිතුරාගේ පුතාගේ අර්ථකථනය අනුව, බොදුබල සේනාව ජාතිවාදී ව්‍යාපාරයක් ද යන්නයි. එම අවස්ථාව මට නොලැබුණු හෙයින් දැනට ඇමරිකාවේ සහ ලෝකයේ වෙනත් රටවල්වල වෙසෙන ශ‍්‍රී ලාංකික ප‍්‍රජාවට, එම ප‍්‍රශ්නය මම පොදුවේ යොමු කරමි. බොදුබල සේනාවේ මෑත කාලීන ක‍්‍රියා කලාපයන්, ප‍්‍රකාශන සහ කතාබහ ආශ‍්‍රයෙන් තමන්ට පෙනෙන හැටියට බොදුබල සේනා යනු කුමක් ද?

එම අර්ථ නිරූපණයම ප‍්‍රකාරව, එල්.ටී.ටී.ඊ. සංවිධානය ද ජාතිවාදී ය. මන්ද යත්, දෙමළ වාසභූමි වශයෙන් උතුර සළකා එහි විසු මුස්ලිම් ජාතිකයන් ලක්ෂයක් පමණ එම පළාතෙන් ඔවුන් පිටමං කළ බැවිනි. එනිසා මෙය, දරුවෙකුට පවා ජාතිවාදියෙකුව හඳුනාගත හැකි සරළ සහ ප‍්‍රායෝගික අර්ථනිරූපණයකැ යි මම විශ්වාස කරමි.

*2013 මැයි 08 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවු  Is “Bodu Bala Sena” A Racist Organization? ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.