26 April, 2024

Blog

සහක‍්‍රියාව දේශපාලනයේ දී වැඩ කරයි: රනිල්ට දිනිය හැකිය

හේම සේනානායක

හේම සේනානායක

හේම සේනානායක

සහක‍්‍රියාව යනු, කළමනාකරණය සහ ව්‍යාපාර විෂයයන්හි භාවිත වෙන වැදගත් වචනයකි. එයින් අදහස් වන්නේ, සමස්තයක් සැදුම්ලත් එකිනෙක කොටස්වල එකතුවට වඩා සමස්තය විශාල වීමකි. වෙනත් වචනවලින් කිවහොත්, පුද්ගලයන් හෝ සංවිධාන දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකතු වී කරන කාර්යයකින් ඇති කරගන්නා සමස්ත ප‍්‍රතිඵලය, ඒ එකිනෙකාගේ තනි සම්මාදම්වල එකතුවට වඩා විශාල වන බව ය. ගණිතමය අර්ථයෙන් එය පහදා දෙන්නේ නම්, 2 සහ 2 එකතුව 4 ක් නොව, 5 කි.

සහක‍්‍රියාව යන වචනය ඔක්ස්ෆෝඞ් අර්ථකෝෂය තුළ විස්තර කෙරෙන්නේ මෙසේ ය: ‘‘යම් සංවිධාන, යම් වස්තූන් හෝ වෙනත් කාරක දෙකක් හෝ ඊට වැඩි ගණනක අන්තර්-ක‍්‍රියාකාරීත්වයෙන් හෝ සහයෝගයෙන් හටගන්නා ප‍්‍රතිඵලය, ඒ එකිනෙක සංවිධානයේ, වස්තුවේ හෝ කාරකයේ සම්මාදම්වල මුළු ඓක්‍යයට වඩා වැඩි ය.’’

මේ සංකල්පය අපි කෙලින්ම ඌවට ආදේශ කරමු. ගත වූ පළාත් සභා ඡන්දයේ දී එක්සත් ජාතික පක්ෂය ඡන්ද සියයට 40.242 ක් ද, ජනතා විමුක්තු පෙරමුණ සියයට 5.357 ක් ද, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය සියයට 0.890 ක් ද ලබා ගත්තේය. ඒ එකිනෙක පක්ෂ වෙන වෙනම ලබාගත් ඡන්ද ප‍්‍රතිශතය එකට එකතු කළොත් එය සියයට 46.489 ක් වෙයි. එහෙත්, මේ පක්ෂ තමන්ගේ ප‍්‍රයත්නයන් එකට එකතු කොට ඡන්දයට මුහුණදුන්නේ නම්, ඉන් අත්විය හැකිව තිබූ ප‍්‍රතිඵලය සියයට 46.489 ඉක්මවා යා හැකිව තිබූ බව සහක‍්‍රියාව යන සංකල්පයෙන් කියැවෙයි. සමහර විට එය සියයට 50 ද ඉක්මවිය හැකිව තිබුණි. මා සිතන පරිදි, මේ සහක‍්‍රියා තත්වය ඊළඟ ජනාධිපතිවරණයේ දී වඩාත් සාර්ථකව ක‍්‍රියාත්මක විය හැකිය. විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පසුපස ඇති තර්කණය එයයි.

Ranilසාමාන්‍යයෙන් නම් ලංකාවේ සියලූ පළාත් සභා මැතිවරණ පැවැත්විය යුත්තේ එකම දිනයක ය. එම ප‍්‍රමිතිය අනුගමනය කරන්නැ යි දැන් කාලයක සිට විපක්ෂය ඉල්ලා සිටී. එහෙත් ආණ්ඩුව ඊට ඇහුම්කන් දුන්නේ නැත. පිළිගත් ප‍්‍රමිතීන් සහ සම්මතයන් පිළිබඳ ගෞරවයක් හෝ තැකීමක් පාලකයන්ට ඇත්තේ නැත. එනිසා ආණ්ඩුව පළාත් සභා මැතිවරණ පැවැත්තුවේ ඔවුන්ගේ සැලසුම් සහ න්‍යාය පත‍්‍රයන්ට අනුගතවයි. ජාතික මට්ටමේ මැතිවරණයකට යාමට පෙරාතුව, පවතින තත්වය උරගා බැලීම සඳහා ආණ්ඩුව කෙළේ, තෝරාගත් පළාත් සභා වරින් වර විසුරුවා හරිමින් ඒවා සඳහා කඩින්කඩ මැතිවරණ පැවැත්වීමයි. ඒ මගේ ආ අවසාන පළාත් සභා ඡන්දය වුණේ ඌවයි. දැන් එය ද අවසන් ය.

ජනාධිපතිවරණයට කලින්, පවතින තත්වය ඌවෙන් උරගා බැලීමට ආණ්ඩුව තීරණය කෙළේ ආවාට ගියාට නොවේ. 2009 පළාත් සභා මැතිවරණයේ දී ආණ්ඩුවට සියයට 72.39 ක ඡුන්දයක් ලබා ගැනීමට හැකි වූ පළාත වශයෙන් එය ඔවුන්ගේ පැත්තෙන් හොඳම ස්ථානය විය. මහින්ද රාජපක්ෂගේ පාලන සමය තුළ, එතරම් ඡන්ද ප‍්‍රතිශතයක් ආණ්ඩුවට ලබා දුන් වෙනත් පළාතක් නොවීය. ඌවේ මහඇමතිවරයා ද ජනාධිපතිවරයාගේ බෑනා කෙනෙකි. ඉතිං, හැම කොන්දේසියක්ම තිබුණේ ආණ්ඩුවේ වාසියටයි. ඒ තත්වය තුළ, තමන් සඳහා වන ඉහළම ඡුන්ද ප‍්‍රතිශතය එම පළාතෙන් ලබා ගැනීම ආණ්ඩුවේ අභිප‍්‍රාය විය.

එපමණක් නොවේ, ජාතික මැතිවරණවලදී ලබනවාට වඩා සාර්ථකත්වයක් පළාත් සභා ඡන්දවලදී ආණ්ඩුවට ලැබිය හැකි වුණේ ද, ඌවෙනි. 2009 ඌව පළාත් සභා ඡන්දයෙන් සියයට 72.39 ක් ලබා ගත් ආණ්ඩුවට 2010 ජනාධිපතිවරණයේදී ලබාගත හැකි වුණේ සියයට 57.8 ක් පමණි. එය, සියයට 14.59 ක් අඩු වීමකි. ඒ ප‍්‍රවණතාවයෙන් කියැවෙන්නේ, පළාත් සභා ඡන්දයකින් ආණ්ඩුව ලබන ඡන්ද ප‍්‍රතිශතය, ඊළඟට එන ජාතික තලයේ මැතිවරණයකින් ආණ්ඩුවට ලැබිය නොහැකි බවයි. ඒ අනුව, මේ දැන් අවසන් වූ ඌව පළාත් සභාවෙන් සියයට යාන්තම් 51.246 ක් පමණක් ලැබූ ආණ්ඩුව, ඊළඟ ජනාධිපතිවරණයේ දී කෙසේ නම් සාර්ථක වනු ඇත් දැ යි නිකමට සිතා බලන්න.

සියයට 51.246 ක් වැනි අසාර්ථකත්වයක් ආණ්ඩුව ලබා ඇත්තේ, ආණ්ඩුවට වැඩිම වාසි සහගත පළාතේ දී වීම වැදගත් ය. දැන්, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය මේ මැතිවරණයේ දී වෙන් වෙන්ව ලබාගත් ඡන්ද ප‍්‍රතිශතයේ එකතුව වන සියයට 46.489, ඉදිරි ජනාධිපතිවරණයේ දී ඔවුන් එක්ව තරග වැදුණොත්, ඌව පළාතෙන් පවා ජයග‍්‍රහණය කිරීමේ හැකියාව, ඉහත සඳහන් කළ සහක‍්‍රියා සංකල්පය අනුව, විපක්ෂයට ඇත්තේය. එම තත්වය අනිත් පළාත්වලටත් ආදේශ කළ විට, එය රට පුරා පැතිරෙන මහා ජයග‍්‍රහණයක් වන්නේය. දැන් කාටවත් ඒ ගැන සැක පහළ කළ හැකිද?

බිම් මට්ටමෙන් එක්සත් ජාතික පක්ෂය තවමත් අසංවිධානාත්මක බව ඇත්ත. එහෙත් විපක්ෂයේ සිටින ලොකුම පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. ඔවුන්ගේ බිම් මට්ටමේ ක‍්‍රියාකාරිකයන් සහ අනුගාමිකයන්ගෙන් බොහොමයක් ඌව ප‍්‍රතිඵලවලින් පසු බෙහෙවින් ප‍්‍රාණවත්ව සිටිති. එහෙත් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකුට ඊළඟ ජනාධිපතිවරණය ජය ගැනීමේ ඉඩක් ඇත් දැ යි සැක කරන පිරිස් ද තවමත් සිටිති.

එවැනි සැක පහළ කරන එක් කෙනෙකු වන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන් ය. ‘‘ඊළඟ මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයට ජයගත හැකි බවට, ඌව ප‍්‍රතිඵලය අනිවාර්ය සාක්ෂියක් නොවන’’ බව උන්වහන්සේ කියා ඇත. එබැවින් ළඟ එන ජනාධිපතිවරණයක් සඳහා පොදු අපේක්ෂකයෙකු අත්‍යාවශ්‍ය බව උන්වහන්සේ කියති. විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලට අනුව, එම පොදු අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයෙන් මිස වෙනත් තැනකින් සොයාගත නොහැකි යැයි උන්වහන්සේ සිතන බවත්, මට පසුව දැන ගන්නට ලැබිණ.

කෙසේ වෙතත්, දැනට අප දන්නා කරුණු ආශ‍්‍රයෙන් පුරෝකථනයන් කිරීමට මම කැමැත්තෙමි. තනිකර සිහිනවලින්ම පටන් ගන්නට පුලූවන් කමක් අපට නැත. පොදු අපේක්ෂකයා එක්කෝ එක්සත් ජාතික පක්ෂයෙන් විය හැකිය. නැත්නම්, ජනතා විමුක්ති පෙරමුණ අදහස් කරන්නා සේ, නිර්-පාක්ෂික කෙනෙකු විය හැකිය. ‘‘රනිල්ට මහින්දව පරාජය කළ හැකිද?’’ මැයෙන් මෑතකදී ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියට ලිපියක් ලියන බර්ටි රණවීරගේ, ‘‘ඡන්දදායකයන්ගෙන් බහුතරයකගේ හිත දිනාගත හැකි චන්ද්‍රිකා බණ්ඩාරනායක වැනි කෙනෙකු ඊළඟ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂිකාව විය හැකි’’ බව කියා ඇත. එම නිගමනයට ඔහු කෙසේ නම් පැමිණියේ ද? ඔහු සිතන පරිදි චන්ද්‍රකා ජනකාන්ත නායිකාවකි.

එහෙත් විශාලතම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව අපට අමතක කළ නොහැක. හරින් ප‍්‍රනාන්දු වැනි අළුත් දක්ෂයන් පක්ෂයට සිටීමත්, නායකත්ව මණ්ඩලය යටතේ මෑතක සිට එම පක්ෂය ජන ප‍්‍රසාදය අත්කර ගනිමින් සිටීමත් අපට අමතක කළ නොහැක. දැන් නව තනතුරුවලට අළුතෙන් නායකයන් පත් කරගෙන ඇති තත්වය තුළ, පක්ෂය පෙරට වඩා එක්සත් වී ඇත. ඒ නිසා, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා එක්සත් ජාතික පක්ෂය කෙරෙහි ජනතා ප‍්‍රසාදය ඇති වෙමින් තිබෙතැ යි මම සිතමි. ඒ නිසා, ඌවේ අත්කර ගත් ප‍්‍රතිඵලයට වඩා සාර්ථක ප‍්‍රතිඵලයක් ඉදිරි මැතිවරණයකදී එම පක්ෂයට ලැබෙතැ යි සිතිය හැකිය. ඒ පක්ෂයේ නායකයා රනිල් වීම නිසා, චන්ද්‍රිකාට වඩා බිම් මට්ටමේ සහයෝගයක් ද, අනුගාමිකයන් ද ඔහු වටා එක්රැුස් වෙතැ යි සිතිය හැකිය. එසේ හෙයින්, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය වෙන වෙනම ලබා ගත් ඡන්ද ප‍්‍රතිශතයේ එකතුව වන සියයට 46.489 ට අමතරව, සහක‍්‍රියාවේ බලයත් ගොඩනැගුණොත්, ඔවුන්ට ඉදිරි මැතිවරණය ජයගත හැකිය.

සහක‍්‍රියාවේ ප‍්‍රතිඵල ජනතා විමුක්ති පෙරමුණට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට ද අත්වනු ඇත. පොදු අපෙක්ෂකයෙකු ඉදිරිපත් කරන්නැ යි විපක්ෂයේ විශාලතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයෙන් ඔවුන් ඉල්ලා සිටියොත්, එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි ඔවුන් තුළ ඇති ගෞරවයක් වශයෙන් සළකන ජනතාව ඔවුන්ටත් ඒ සඳහා ගෞරව දක්වනු ඇත. ජනතා විමුක්ති පෙරමුණේ දක්ෂ කථිකයන් ජාතික නායකයන් බවට පත්වෙනු ඇත. එවැනි පොදු අපේක්ෂකයෙකුගේ වේදිකාවක සරත් ෆොන්සේකා ද අනිවාර්යයෙන් සිටිය යුතුය.

සෝභිත හිමියන් ද, ජනතා විමුක්ති පෙරමුණ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ද දැන් කළ යුත්තේ, පොදු අපේක්ෂකයා නම් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයට ඇරියුම් කොට, එම එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාව පොදු වැඩ පිළිවෙලකට බැඳ ගැනීමයි. එම වැඩ පිලිවෙල තුළ අඩු වශයෙන්, ව්‍යවස්ථාමය සංශෝධන, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නීතිය යළි ස්ථාපිත කිරීම සහ ආණ්ඩුකරණයක් තුළ තිබිය යුතු පොදු විනීත භාවය වැනි කාරණා අන්තර්ගත විය යුතුය.

සෘණ සහක‍්‍රියාව යනුවෙන් ද දෙයක් තිබේ. ගණිතමය වශයෙන් එය විස්තර කරන්නේ නම්, 2 සහ 2 එකතු කළ විට එකතුව 4 නොවී 3 වීම, උදාහරණයක් වශයෙන් දැක්විය හැකිය. එනම්, පාර්ශ්ව කිහිපයක් ඒකාබද්ධව ලබාගන්නා ප‍්‍රතිඵලය, එම පාර්ශ්ව වෙන් වෙන් වශයෙන් ලබාගන්නා ප‍්‍රතිඵලවල ඓක්‍යයට වඩා අඩු විය හැකි බවයි.

ඊට දිය හැකි ප‍්‍රායෝගික උපකල්පනයක් මෙසේ ය: ලංකාවේ වාර්ගික/ආගමික කාරණා මත පදනම් වන පක්ෂ තිබේ. ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය සහ ජාතික හෙළ උරුමය එවැනි පක්ෂ දෙකකි. මෙයින් එක පක්ෂයක් පමණක් අදාළ පොදු අපේක්ෂකයාට එක් වුණොත් එයින් සමහර විට ඇති විය හැක්කේ සෘණ සහක‍්‍රියාවකි. එහෙත් එම පක්ෂ දෙකම එකම වේදිකාවක සිටින්නේ නම්, එහි දී ධනාත්මක සහක‍්‍රියාවක් බලාපොරොත්තු විය හැකිය. මේ නිසා, සෘණ සහක‍්‍රියාවක ප‍්‍රතිවිපාක නොවිඳීමටත් විපක්ෂය පරිස්සම් විය යුතුය.

*2014 ඔක්තෝබර් 2 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Synergy Works In Politics; Ranil Can Win! නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස පත්වූ විගස කලින් සිටි නායකයින් ගිය මග සම්පූර්ණයෙන් බැහැර කර වෙනස් මගක පක්ෂය දක්කන්නට පටන්ගත්තේය. LTTE ප්‍රශ්ණය විසදිය යුත්තේ සාමයෙන් සහ අැසිමෙට්‍රික් (පෙඩරලයට එහා ගිය) සොලුෂන් එකකින් බව විපක්ෂ නායකයා ලෙස රනිල් පුන පුනා අපට කීවේය. ඔහුට යුද්ධකිරීමට බැරි බවත් යුද්ධකිරීමට අවශ්‍ය නම් වෙනත් නායකයෙක් පත්කරගතයුතු බවත් එ් දිනවලම ටීඑන්එ් නාලිකාවේ සාකච්චාවකදී රනිල් කී බව මට හොදට මතකය.

    රනිල් නොදන්නවා උනාට අපි වැන්නන් එ්කාලයේම යූඑන්පියට බයි බයි කීවේ රනිල්ගේ විඡ්ඡාව අපට තේරුන නිසාය. රනිල්ට අප වැනි සිංහල බෞද්ධයන් වැදගත් නැත. අප වැන්නන් බුරුතුපිටින් යූඑන්පිය අතහැර ගියත් ඔහුට කම් නැත. එසේ ගිය අය අාපසු නාවත් ඔහුට කම් නැත. රනිල්ගේ ගනන් හැදීම අනුව සුලුඡාතික චන්ද ඔක්කොම සහ සිංහල බෞද්ධ චන්ද ටිකක් ගතහොත් ඔහුට ඡනපති වීයහැක. රනිල්ට අදත් අැත්තේ එ් ගනන් බැලීමය. 2+2=5 යනුවෙන් ගනන් හදනවා විනා අද වනතෙක් යූඑන්පියට 2+2+4 ලෙස ගනන් හැදීමට බැරිය. ඉතින් අදත් යූඑන්පිය කොටඋඩ තිබෙන එක පුදුමයක් නොවේ.

    2001දී ඡනතාව රනිල් අගමැති කලේ මිරිස් දී ලූනූ ගන්නවා ලෙසය. එකල එ් හැර සිංහල බෞද්ධයාට වෙන විකල්පයක් නොවීය. එක පැත්තකින් දෝන කතිරිනාය අනිත් පැත්තෙන් දොන් ඡුවන්ය. ඉතින් 2001දී රනිල් දිනුවා නොවේ. චන්ද්‍රිකාගේ හොර, අකාර්යක්ෂම, බොරු, බේගල් වලින් හෙම්බත්වී සිටි නිසා රනිල්ගේ අවස්ථාව නිකම්ම පාත්විය.

    රනිල් අගමැති වී සතියක් තුල සාම කාක්කන් තොගපිටින් ලංකාවට ගොඩබැස්සේය. රනිල් එක තැනකත් වේලු තව තැනකත් සිටගෙන ඊනියා රනිල්-කොටි සාම ගිවිසුම අත්සන්කලේය. හමුදාවේ විරෝධය නොතකා රටෙන් තුනෙන් එකක පාලනය කොටියාට ලියල දීලාම බාර කලේය. රනිල්ගේ රඡයේ අවසරය මත කොටි කල්ලි සිවිල් අැදුමෙන් සැරසී දකුනේ මෙහෙයුම් කලේය. කොටි පිස්තෝල කල්ලි විසින් මුතාලිෆ් වැනි ඔත්තුසේවා නිලධාරීන් බුරුතුපිටින් හොය හොයා මරා දැම්මේය. රනිල්ගේ අාරක්ෂක අැමති මාරපන කට කැඩිච්ච කතා කීවේය. නමුත් හමුදාවට උතුර දිගටම තහනම් කලාපයක් විය.

    නොවේඡියන් සාමකාක්කෝ සාම කඩකිරීම් ගනන සටහන් කලේය. එ් අතර නවීන පන්නයේ ට්‍රාන්ස්මිෂන් සහ කොමියුන්කේෂන් භාන්ඩද කොටින්ට නොමිලයේම ලබා දුන්නේය. කොටි හමුදාව තරකරගැනීමට අවශ්‍ය උපදෙස් සහ අාධාරද සැපවූයේය. එ් අතර ශ්‍රි ලංකා රඡයේ හමුදාව අඩු කරන අාකාරය ගැනත් නොමිලයේම උපදෙස් දුන්නේය. කොටි කුක්කෝ හමුදාකන්ඩ අසලට විත් රෙද්ද උස්සා පස්ස පෙන්වා ගිය බව පුවත්පත්වල වාර්තා විය.

    සිංහල බෞද්ධ අපි චව්රව රැඡිනත් එපාවි සාම රඡාත් එපාවි හාමුදුරුවරු දහයක් පාර්ලිමේන්තු යැවූයෙමු. නොඑසේ වන්නට මහින්දට අගමැතිවන්න අවස්ථාවක් ලැබෙන්නේ නැත. මහින්ද අගමැති නොවන්නට ඔහුට ඡනාධිපති ඡන්දයට පොදු පෙරමුනෙන් ඉල්ලන්න ලැබෙන්නේත් නැත. එහෙනම් අද රට බෙදී දකුනේ ඡනපති රනිල්ය උතුරේ රඡ පිරාපකරන්ය.

    2001-4 අතර කොටි යුධ අාම්පන්න වලින් සහ මිනිස් බලයෙන් කෙතෙක් බලවත් විද යත් එළබෙන ඊලාම් 4 යුද්ධයෙන් ශ්‍රි ලංකා හමුදාව අනිවාර්යයෙන් පරාඡය කලහැකි බව කොටි නායක පිරාපකරන් තරයේ විශ්වාස කලේය. LTTEයට අවශ්‍යවූයේ ඊලම බොරු සාම කථාවෙන් නොව යුද්ධයෙන් දිනාගැනීමයි. එ් සදහා ඡනධිපති චන්දයෙන් සාමකාරයා පරාඡය කර යුදවාදියා දිනවීම LTTEයට අත්‍යාවශ්‍ය කාරණයක් විය. ඡනාධිපතිවරනයේදී ඡන්දය නොදෙන ලෙස පිරාපකරන් උතුරේ දමිලයන්ට අන කලේ එනිසාය. TNA එකත් පිරාපකරන්ගේ මතයට අත්වැල් අැල්ලූයේ එ් නිසයි. කොටි විසින් මුදලට එසේ කලායයි කියන්නනේ යුද්ධයත් බැරි සාමයත් බැරි රනිල්ට කත් අදින අඳබාලයන්ය.

    රනිල් බටහිරයන්ගේ රූකඩයක් බව නොදන්නා කෙනෙක් නැත. ශ්‍රි ලංකා හමුදාව තොප්පිගල අල්ලාගත්විට තොප්පිගල කියන්නේ කැලයක්යයි අපට කීවේ රනිල්ය. අලිමන්කඩ පාමන්කඩ කට කැඩිච්ච කතා කීවේ රනිල්ගේ එක ගෝලයෙක්ය. තවත් ගෝලයෙක් කීවේ ඔිනෑම ගොනෙකුට යුද්ධ කලහැකි බවයි. රනිල්ලා එසේ කීවේ බටහිරයන් සතුටු කිරීමට විය හැකියි.

    ඉරාකයේ යුද්ධය බොරු චෝදනාවකින් අාරම්භ කලත් අැෆ්ගනිස්තානයේ ය්ද්ධය දිගටම අැදගෙන ගියත් පුඡාතන්ත්‍රවාදය ගෙනෙන්නට ලිබියාවට බොම්බ හෙලා මිනිසුන් මැරුවත් එ් කිසිවකට ‘වෝ ක්‍රයිම්’ චෝදනා නැත. නමුත් LTTE ත්‍රස්තයන් විනාෂ කලදාට පසුදා සිටම බටහිරයන් මහින්දගේ රඡයට සිවිලියන්ස්ලි මරාදැමී යයි ‘වෝ ක්‍රයිම්’ චෝදනා ගෙන අාවේය. UNHRC මගින් ‘වෝ ක්‍රයිම්’ වලට ලංකාව වරදකරු කර සම්බාදක පනවා මහින්දගේ ඡනප්‍රියතාවය බිදදමා ඔහු පලවා හැර බටහිර ගැත්තෙක් ලංකාවේ බලයට ගෙන එ්ම බටහිරයන්ගේ අභිප්‍රාය විය. රනිලුත් බලා සිටියේ පිගි බැක් රයිඩ් එකක් යෑමටය.

    කොහේ හිටියත් දෙමළ ඡනයා බටහිරයන්ට ගැතිය. LTTE යත් බටහිරයන්ට සිටි හොදම ගැත්තෙක්ය, ඉත්තෙක්ය. එනිසා LTTEය කොන්ට්‍රෝල් කරනවා මිස නැතිකරනවාට බටහිරයන් කවදාවත් කැමත්තෙන් සිටියේ නැත. එ් බව LTTEය පරාඡය කල නොහැකි බවත් පිරාපකරන් යුද්ධයට අතිදක්ෂයෙක් බව නොවේඡියානු හිටපු ඡෙනරල් කෙනෙක් ඝෝඨාභයට උපදෙස් දීමට යෑමෙන් සහ යුද්ධය අවසාන වෙද්දී ඔබාමලා මිලිබැන්ඩ්ලා කල කී දේවලිනුත් හොදටම පැහැදිලි වෙයි.

    අද මෝඩි අගමැතිගේ ඉන්දියාව හිටපු අගමැති මන්මොහන්ගේ ඉන්දියාව නොවේ. බටහිරයන්ට ඉන්දියාවේ සිටින හොදම ගැත්තා ඡයා අම්මාය. අැයට මන්මෝහන් නැටවූවා මෙන් මෝඩි නටවන්න බැරිවී අැත. ඡයා අම්මා හිරේ ලැග අැති නිසා අද කොටි කෑලිවලට කඩේ යන්ටත් අැයට බැරිය. එනිසා බටහිරයන්ට මොඩිගේ ඉන්දියාවට පිටින් ලංකාවට සම්බාදක පනවන්නට බැරිය. ඔය සිලු කරුණු නිසා 2+2=5 ලෙස හෝ 2+2=55 ලෙස හෝ ගනන් හැදුවත් බටහිරයන්ට සහ උන්ගේ ගැත්තන්ට රනිල්ව බලයට පත්කිරීම ලෙහෙසි නැත.

    • 0
      0

      ඊහත දෙවන චේදයේ “2+2=5 යනුවෙන් ගනන් හදනවා විනා අද වනතෙක් යූඑන්පියට 2+2+4 ලෙස ගනන් හැදීමට බැරිය.”
      යන්න
      “2+2=5 යනුවෙන් ගනන් හදනවා විනා අද වනතෙක් යූඑන්පියට 2+2=4 ලෙස ගනන් හැදීමට බැරිය.” ලෙස නිවැරදි විය යුතුය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.