26 April, 2024

Blog

මැච් ෆික්සින් කථාව හා අපේ ජයග්‍රහණය

හේමන්ත වර්ණකුලසූරිය

ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය​

අපේ ක්‍රිකට් වැටී ගෙන යන වෙලාවේ අපි වැඩියෙන්ම බැන්නේ ක්‍රීඩා ඇමතිවරයාට. ඊළඟ බැන්නේ තිලංග සුමතිපාලට. ක්‍රීඩා ඇමතිවරයාට බැන්නේ අපේ ටීම් එක ගැන පරම සත්‍යයක් කිව්ව නිසාය. අවුරුද්දකට ඩොලර් මිලියනයක් පමණ හම්බකරගෙන බඩ ඉස්සරහට දාගෙන ෆිට් නැති අන් ෆිට් ක්‍රීඩකයන්ගේ නායකයා වූ ලසිත් මාලිංගගේ පැත්ත අපි ගෙන කැච් අත හරින, කකුල් දෙක අස්සෙන් බෝල අරින, යාර 20ක් 40ක් ඇතුලත වුණත් විකට් එකට නොව හරි පිච් එකේ මැදට පන්දු එවන අපේ පන්දු රකින්නන් හා ලකුණු දෙකක් දිව්වාම හති අරින ක්‍රීඩකයන්ගේ පැත්ත ගෙන ඔහු සමග ඇමතිටයි සභාපතිටයි බැන්නේ අපිය.

මෙයින් නොනැවතී අපේ ක්‍රීඩකයෝ මානසිකවත් වට්ටන්න මොන තරම් කුමන්ත්‍රණයක් දියත් කලාද කිව්වොත් ප්‍රමෝද වික්‍රමසිංහ ලවා අපේ ක්‍රීඩකයන් තරඟ විකුණුවා කියලා ප්‍රකාශයක් කරවීමෙන් පෙනේ. මේ කථාවෙන් අළුයට තිබුණු නැති ගිනි මතුවී අවුළුවා අපේ ක්‍රීඩකයන් මානසිකව වට්ටලා තරඟ පරද්දලා ක්‍රිකට් තමන්ගේ අතට ගන්න තමයි, තමන්ගේ බූට්ස් අව්වට දැම්මම එය අහුලාගෙන එන්න පුරුදුව සිටි ප්‍රමෝදය ලවා මේ කුමන්ත්‍රණය කළේ. ඇත්ත මොකක්ද කියලා අපි හොයලා බැලුවම මේක ඉගැන්නුම් බහට කල පට්ටපල් බොරුවක් බව අපිට පෙනුණා.

මෙහෙම මානසිකව වට්ටපු ක්‍රිකට් කණ්ඩායමක් අබුඩාබියේ හම පිච්චෙන අව්වේ ඉඳලා ක්‍රීඩා කරපු හැටි දැක්කාම මෙතෙක් කල් පැරදිච්ච එක අමතක වුණා. දිනේෂ් චන්දිමාල් පැරදෙනවිට ඔහු කණ්ඩායමෙන් ඉවත්කල යුතු බව අපි කීවත් ඔහු ලකුණු 155 ක් අව්වේ පිච්චි පිච්චී ගහනකොට බලා සිටියේ මහත්ම සතුටින්.

හැම එකකටම ට්වීටර් ගහන මහේලවත්, චන්දිමාල්ගේ මේ අනගි ඉනිම ගැන කිසිම පණිවිඩයක් තැබුවේ නැහැ. මේ හැමටම පිටුපසින් සිටින්නේ අන් කවුරුවත් නොව, අර නරුම ඒජන්තයා චාලි ඔස්ටින් බව හොඳින් පෙනේ. චාමර සිල්වා තරඟ විකුණුවා කියලා පවත්වපු විමර්ශනයෙන් ඔහු තරඟ තහනමට ලක්කලාම ඒකට ඉස්සෙල්ලාම විරුද්ධ වුණේ මහේල ජයවර්ධන. සාක්ෂි ඇතිව හෝ නැතිව, කරුණු දැන හෝ නොදැන ඔහු විරුද්ධ වුණා. තමා සමග ක්‍රීඩාකල අය රැකගැනීම හොඳ ගතියක්.

අපි පුරුද්දක් හැටියට මැච් ෆික්ෂින් කථාවක් කිව්වම,  මෙවැනි පච, මෙවැනි චෝදනා සාක්ෂි නැතිව පිළිගත්තා. ඒකට සාක්ෂි අවශ්‍ය නෑ. ඒකයි අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය. චාමර සිල්වාගේ පැත්ත ගත්ත අය මෙවැනි චෝදනාවක් ප්‍රමෝදය හෙළි කලාම මහේලගේත් ඔහුගේ ක්‍රෑබ් මිනිස්ටරියේ හවුල්කාරයා වූ සංගාත් වචනයක් කිව්වේ නෑ. මේ කථාවට සියලුදෙනාම මොනතරම් මානසිකව වැටෙනවාද කිව්වොත් ප්‍රමෝදය නිකම් කී වචනයකට සියළුම ක්‍රීඩකයන් පෙත්සමක් අත්සන් කරලා තිලංගට බාර දුන්නේ මේ නිසයි. තිලංග මෙම චෝදනාව අන්තර් ජාතික ක්‍රිකට් මණ්ඩලයේ දූෂණ විරෝධී කමිටුවට යොමුකලේ මේ නිසා වෙන්නැති.

මට පේන හැටියට අපේ ක්‍රිකට් කණ්ඩායමට වෙලා තිබෙන විශාල විපත විශ්‍රාම ගිය ක්‍රීඩකයන් ක්‍රීඩාවට කරන ඇඟිලි ගැසීම්. ඔවුන් මේ ක්‍රීඩකයන්ට ක්‍රීඩා කරන්න කියලා පැත්තකට වෙලා විශ්‍රාම සුවයෙන් හිටියා නම් හොඳයි කියලා හිතෙනවා.

අපි දින්නට පසුව, චන්දිමාල්ගේ නායකත්වය ගැන කවුරුත් කථා කරන්නේ නෑ. මෙහිදී මට පෙනෙන විශේෂත්වය ඔහු අවසාන ඉනිමේ දී පන්දු යැවීමට සඳකැන් යොදා නොගැනීම. යොදා ගත්තා නම් සඳකැන්ගේ ඕවරයට ලකුණු හයක් හතක් ලබාගත්තා නම් අපි මැච්එක පරාදයි. අනෙක් එක තමයි කණ්ඩායමේ තිබිච්ච එකමුතුකම, සහෝදරත්වය. හැම එක්කෙනෙක්ම මේ ජයග්‍රහණය තමන්ගේම බව පෙන්නුම් කිරීමට තැත් කිරිම.

මම මීට පෙර ලියු පරිදි ලෝකයේ සිටින හොඳම පුහුණුකරු පාකිස්ථානයේ මිකී ආතර්ගේ කණ්ඩායම පැරැද්දවීමත්, එලෙසම අනෙක් හොඳම පුහුණුකරුවූ චන්දිම හතුරුසිංහගේ බංග්ලාදේශ් කණ්ඩායම ලකුණු 90ක් පමණ ලබාගෙන දකුණු අප්‍රිකාවට  පරාජයවීමෙන් ද පෙන්නුම් කලේ අපේ කණ්ඩායම කොතරම් හොඳට ක්‍රීඩාකර ඇත්ද යන්නය. එසේම නයා සහ බෙනය, ගිරවා ගැන කථා කල මාලිංග සීමිත ඕවර තරග වලින් ඉවත් කිරීම ක්‍රිකට් තේරීම් කමිටුව ගත්ත හොඳ තීරණයක් බව මට පෙනෙනවා.

අපේ කණ්ඩායම ලෝකයේ සුපිරි කණ්ඩායමක් බවට පත්විය හැකි බව නැවතත් පෙන්නලා තියෙනවා. මේ ජයග්‍රහණය මුළු ලංකාවම අමුතු පිබිදීමක් වුණා. ඔහොම යං දිනේෂ් චන්දිමාල්. ඔහොම යං දිමුත් කරුණාරත්න. ඔහොම යං නිරෝෂණ දික්වැල්ල. ඔහොම යං රංගන හේරත්.

පැරදුනාට කමක් නෑ. හොඳ ෆයිට් එකක් දීලා නම්, සාමාන්‍ය මිනිස්සු කියන්නේ ඒකයි.

මේ ජයග්‍රහණය සමරණ අතර, තව දෙයක් අප අමතක නොකල යුතුයි. මේ පරාජයේදී පකිස්ථානුවන් දැක්වූ ප්‍රතිචාරය ගැන අප බෙහෙවින් සතුටුවිය යුතුයි. ඔවුන් මෙම ඓතිහාසික ජයග්‍රහණයේ නියමුවා ලෙස රංගන හේරත් බව හද පත්ලෙන්ම පිළිගත්තා. ඔහුට හිමිවිය යුතු ගෞරවය දුන්නා. තම රටේම සහෝදර කණ්ඩායමක් මෙම ජයග්‍රහණය අත්පත් කරගත් බවයි ඔවුන් පෙන්නුවේ. මේ අතර, ඔවුන්ගේ අති දක්ෂ වේග පන්දු යවන්නෙකු වූ ද, ඔවුන්ගේ පුහුණුකරුවෙකුවූ ද, පසුව විස්තර විචාරකයෙකුවූ ද, වකාරි යුනුස් ප්‍රසිද්ධ ආයාචනයක් කලා. ලංකාවට පුළුවන් පකිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාව යලි පටන් ගන්න. පකිස්ථානයේ ක්‍රිකට් වට සෙනසුරු දශාව ලැබුණේ අප කණ්ඩායමට ත්‍රස්තවාදීන් විසින් එම රටේ දී වෙඩි පහර එල්ල කල අවස්ථාවේදීය. අපේ රටට ආරක්ෂක හේතු මත යුද්ධය පවත්වන කාලසීමාවල සංචාරය කිරීමට මැළිවූ බොහෝ කණ්ඩායම් වල ඇස් අරවමින් පකිස්ථාන් කණ්ඩායම හා ඉන්දියනු කණ්ඩායම අප රටේ තිබූ සියළුම තරඟ වලට සහභාගි වුණා. 1996 ලෝක කුසලාන තරගයේ දී බටහිර ඉන්දියානු කොදෙව් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අප රටේ තරඟ කිරීම ප්‍රතික්ෂේප කල විට ඉන්දියානු කණ්ඩායමේ නායක මොහමඩ් අසූර්ඩීන් හා පකිස්ථානු කණ්ඩායමේ නායක වසීම් අක්‍රම් අපේ නායක අර්ජුන රණතුංගගේ ආරාධනය පිළිගෙන ලංකාවට පැමිණ ක්‍රිකට් තරඟයක් පැවැත්වුවා. මේ නිසා ආරක්ෂක හේතු නිසා ලංකාවට පැමිණිමට නොහැකි යයි කිවු ඕස්ට්‍රේලියානු හා බටහිර ඉන්දියානු කොදෙව් කණ්ඩායමට තරඟ පැහැර හැරීම නිසා ලකුණු අහිමිවිය. මෙහිදී අප ලෝක කුසලාන ජයගත්තාට පසු, අර්ජුන රණතුංග ප්‍රසිද්ධියේ ස්තුති කලේ පකිස්ථානයේ වසීර් අක්‍රම්ට හා ඉන්දියාවේ මොහමඩ් අසූර්දීන්ටය.

මෙහිදී යුද්ධය ජයගැනීම සදහා පකිස්ථානය එක එල්ලේම අපට ලබාදුන් සහය අමතක කල නොහැක. අපේ ප්‍රධානතම ආයුධ සපයන්නා වූයේ පකිස්ථානයයි. මොනතරම් ජාත්‍යන්තර බලපෑම් වලට ලක්වූවද, පකිස්ථානය අපට ආයුධ සැපයීම අත් නොහළේය. ඔවුන් කිසි දවසක අපේ මිතුරුදම ප්‍රතික්ෂේප කළේ නැත. නැගෙනහිර පකිස්ථානය උතුරු පකිස්ථානයෙන් කඩා වෙන්වීමට ඉන්දියාව හා සමග වූ යුද්ධයේ දී අපේ ගුවන් තොටුපල පකිස්ථානු ගුවන් හමුදාවට ගුවන්යානා බැස්සවීමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ගත් තීරණය කිසි දවසක ඔවුන් අමතක කළේ නැත.  කොටි සංවිධානය පකිස්ථානයේ තානාපතිවරයාට මරාගෙන මැරෙන කොටියකු යොදමින් ඝාතනය කිරීමට තැත් කලේ මේ හෙයිනි. අද මුස්ලිම්වරුන්ට එරෙහිව අවි අමෝරාගෙන සිටින ආගම්වාදීන්ට මුස්ලිම් පකිස්ථානය බෞද්ධ ලංකාව වෙනුවෙන් කොටි ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමට කල මෙහෙය අමතකවී ගොස් ඇත. අපට ටෙස්ට් වරම් දීමට ද, පකිස්ථානය දුන් දායකත්වය අප කිසිදා අමතක කළයුතු නැත.   අපි සමහර ජාතිවාදීන් කියන අන්දමට කෙලෙහිගුණ දන්නා ජාතියක් නම් පකිස්ථානු ක්‍රිකට් මණ්ඩලයේ ඉල්ලීමට එකඟ විය යුතුය. මේ මහා කළගුණ සැළකීමට දයාසිරි ඇමතිවරයා පමණක් නොව තිලංග සුමතිපාල ද, අනෙකුත් ක්‍රිකට් ක්‍රීඩාව නිසාම භේද බින්නවී ඇති සියළුදෙනාම එකතුවී අපේ ක්‍රීඩකයන්ද දිරිගන්වා අපට අමරණිය අමතක නොවන සටහනකට පාදක වු ලෝක කුසාලානය දිනාගැනීමේ වාසනාව ගෙනදුන් ලාහෝර් හි ගඩාපි ක්‍රීඩාංගනයේ මෙම තරඟය පැවැත්වීමට සුදානම් බව පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය තීරණය කොට ඇති හෙයින්, එම ඉල්ලිම අපේ අසල්වාසී කල්‍යාණ මිත්‍රයා වු පකිස්ථානයේ ක්‍රිකට් නැවත ගොඩගැනීමට කරන මේ උත්සාහයේ දී අප පුර්ණයෙන්ම ඔවුන්ට සහයෝගය දියයුතු බව අපි සියළුදෙනාම සිතිය යුතුය.

අවසාන වශයෙන් රංගන හේරත් පකිස්ථානයට එරෙහිව කඩුළු 100 ක් ලබාගත් පළමු ක්‍රිඩකයා විම හේතුවෙන් ඔහු අප කණ්ඩායමට කල විශේෂ දායකත්වය වෙනුවෙන් පකිස්ථානු ජාතික ක්‍රිකට් විචාරකයෙකු වු ඔස්මන් සමියුද්දීන් විසින් ක්‍රික් ඉන් ෆෝ වෙබ් අඩවියට ලියන ලද විශිෂ්ඨතම විචාරයක් ඔබේ අවධානයට යොමු කරවමි. “ඇත්තටම පකිස්ථානුවන් ඔහුට ගොම තැම්බක් යයි ඇමතීමට කැමැත්තක් ඇත. ඔහුගේ මුළු දිවියේම රංගන හේරත් පෙනුණේ හුරුබුහුටි පුම්බපු පොඩි වලස් පැටවකුගේ හැඩ ගත් බෝනික්කෙක් වගේ. හැම කෙනෙක්ම ඔහු ගැන ලියන විට ඔහුගේ බඩගෙඩියද අමතක නොකළේය. ඔහු බැංකුකරුවෙකු වූවාට ජේ.පී මෝගන් වගේ බැංකුවක අයිතිකරුවෙක් නොවේ. ඔහු තමන්ගේ දරුවන් තමා විසින්ම පාසලට බස්සයි. ඔහුගේ පණිවිඩ අරන් යන්නේද ඔහුමය. ඔහු වෙනත් දකුණු ආසියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වගේ අනවශය ආශ්චර්යයක් තිබෙන බවට පෙන්නුම් නොකරයි. ඔහු මුරලි වගේ නොවේ. ඔහු බෝලයද එතරම් දඟ නොකවයි. අපට පෙනෙන්නේ වයස්ගත පප්පෙකු පන්දු යවන්න උත්සාහ කරනවා වගේ. මුන්ට පිස්සු. අන් අය කෙසේ වෙතත්, රංගන හේරත් ගැන වඩාත්ම දන්නේ පකිස්ථානුවන්ය. ඔහු ඉතාම ලෝබ ලකුණු නොදෙන කෞරාටික රකුසෙකි. ඔහු වසර කීපයක් තුල සියළුම පකිස්ථානු පිතිකරුවන්ගේ ප්‍රධාන වදකයා විය. ඔහුගේ ශූර කෛරාටික දඟ පන්දු බන්ධනයන්ට සාර්ථකව මුහුණ දුන් කිසිදු පකිස්ථානු පිතිකරුවෙකු නොවීය. ඔහු පන්දු යැවීම වෙනස් කරන විලාශය සිතාගත නොහැක. තමාගේ පන්දුවට හයේ පහරක් ගසන සැමවිටම ඔහු අමන්දානන්දයට පත් වන්නේ වැඩිකල් නොගොස් තමා දැමූ ඇම කෑදර මාළුවකුසේ ගිල පණ නහ ගන්නා බව දන්නා නිසාය.”

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    අපූරැ ලිපියක් ‌ෙහ්මන්ත මහතා. //අපි පුරුද්දක් හැටියට මැච් ෆික්ෂින් කථාවක් කිව්වම, මෙවැනි පච, මෙවැනි චෝදනා සාක්ෂි නැතිව පිළිගත්තා. ඒකට සාක්ෂි අවශ්‍ය නෑ. ඒකයි අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය.// මැච් ෆික්ෂින් විතරක් ‌ෙනා‌ෙව්. ‌ෙද්ශපාල‌ෙනත් එ‌ෙහමයි. 2015 ජනවාරි 8 ඊට ‌ෙහාදම උදාහරණයයි. ‌නීලකාස ‌ෙබාරැ ‌ෙගාඩකට බහුතරය රැවටීමයි. අ‌ෙහා්! රටකට ගිය කල!

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.