26 April, 2024

Blog

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඈවර කළ යුතුයි

කේ.ජී.පිලිප් ශාන්ත –

කේ.ජී.පිලිප් ශාන්ත

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය දැරූ ආචාර්ය රංග කලංසූරිය එම තනතුරින් ඉල්ලා අස්වූ පසුව හිස් වූ ධූරයට ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ප්‍රකට සිවිල් සංවිධාන ක්‍රියාකාරීකයකු වන නීතීඥ සුදර්ශන ගුණවර්ධන පත් කිරීමට නියමිත බව වාර්තා වේ. මෙම ලිපිය කියවන විටත් ඔහුව එම තනතුරට පත් කළ බවට වූ නිවේදනය බොහෝ විට වාර්තාවීමට ඉඩ ඇත. එසේ වුවහොත් නීතිඥ සුදර්ශන ගුණවර්ධනගේ නිර්මාණශීලීත්වය බොද කර ඔහු තවත් එක් රජයේ නිලධාරියකු බවට පත්වන බව නම් ස්ථිරය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අංශ දහතුනක් පවතින අතර ඒ අතුරින් ගිණුම් අංශය හා පරිපාලන අංශය ඕනෑම ආයතනයක අත්‍යවශ්‍ය අංශයන් දෙකකි. ඒ හැර පර්යේෂණ හා සංවර්ධන කටයුතු සදහා ඉතිරි අංශ එකොලහ වෙන් කර ඇති අතර රජයේ චිත්‍රපට අංශය අතිශයෙන් වැදගත් අංශයක් වේ. එසේම ප්‍රකාශන කාර්යාංශය, ඡායාරූප අංශය, ප්‍රචාරක අංශය, මාධ්‍ය හැදුම් පත් අංශය යම් රාජකාරියක් ඉටු කරන අංශයක් වේ.

ඒ අතුරින් රජයේ චිත්‍රපට අංශය අද පවතින්නේ නොහදුනන සාහසිකයකු විසින් ඝාතනයට ලක් කිරීම නිසා මලකදක් ලෙසිනි. ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවටම අතිශය වැදගත් කාර්ය භාරයක් කළ රජයේ චිත්‍රපට අංශය විනාශයට පත්වූයේ තාක්ෂණයේ යුග පෙරලියට අනුව ආකෘතිමය වෙනසක් ඇති කර ගැනීමට නොහැකිවූ නිසා ය. අද ද බොහෝ දෙනෙක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යැයි කී විට නොහදුනති. එහෙත් ජීඑෆ්යූ හෙවත් රජයේ චිත්‍රපට අංශය යැයි කියූ විට මනා සේ දනිති. මෙරට චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් රැසක් බිහි කළ රජයේ චිත්‍රපට අංශය තාක්ෂණයේ යුග පෙරලියට මුහුණ දී ගත නොහැකිව පරණ වලව්වක් බවට පත්ව තිබීම කනගාටුදායක ය.

අංශ 13ක් – සුදු අලියෙක්

අද එහි ඇත්තේ පුස්තකාලමය වටිනාකම පමණි. ලංකා ඉතිහාසයේ අතිශය වැදගත් අවස්ථාවන් සිනේ කැමරාගතව නෙගටිව් හා පොසිටිව් පට වල සුරක්ෂිතව ඇත්තේ මෙහිය. එහෙත් ඒවා විද්‍යානුකූලව ආරක්ෂා කර ගැනීමට නොහැකිව විනාශ වෙමින් පවතී. උදාහරණයක් වශයෙන්  චිත්‍රපට සංරක්ෂණාගාරය පැවතිය යුත්තේ අධි වායු සමීකරණ තත්වයන් තුළ ය. එහෙත් ඒවායේ ආරක්ෂාවට රසායනික ද්‍රව්‍ය යොදා ඇති නිසා සාමාන්‍ය වායු සමීකරණ යන්ත්‍ර නිරත්තර විනාශයට පත් වේ. ඒ සදහා වායු සමීකරණ පද්ධතියක් යෙදිය යුතු වුවත් එවැන්නක් යෙදීමට කිසිවෙක් උත්සාහ නොකරති. ඒ නිසා දිනෙන් දින ඒ වටිනා වාර්තාමය හා වෙනත් චිත්‍රපට විනාශවෙමින් පවතී.

ප්‍රචාරක අංශය පවතින්නේ රජයේ නිල නිවේදන නිකුත් කිරීමට ය. ජනමාධ්‍ය එතරම් නොතිබුණ අතීතයේ දී ප්‍රචාරක අංශයට විශාල වැදගත්කමක් ලැබුණි. එහෙත් ජනමාධ්‍ය අවකාශය පුළුල් වී වෙනත් විකල්ප තාක්ෂණික ක්‍රම මගින් අන්තර්ජාල අවකාශය ද පුළුල් වී ඇති යුගයක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රචාරක අංශයට ලැබෙන වැදගත්කම අංශුමාත්‍රයකි. එසේ තිබියදීත් ජනමාධ්‍යවේදීන්ට මාධ්‍ය හැදුම්පත් නිකුත් කිරීම සදහා වෙනම අංශයක් පිහිටුවා තිබීම හාස්‍යජනක ය. ජනමාධ්‍යවේදීන්ට මාධ්‍ය හැදුනුම් පතක් නිකුත් කිරීම අතිශය වැදගත් රාජකාරියකි. එහෙත් තාක්ෂණය දියුණු වී ඇති මෙවන් යුගයක පරණ මතවාද මත පිහිටමින් හැදුනුම් පත් නිකුත් කිරීම කනගාටුවට කරුණකි. ඒ සදහා වඩා සරළ හා සියුම් ක්‍රම ඕනෑ තරම් පවතී.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සතුව පවතින ඊලග වැදගත්ම අංශය වන්නේ ඡායාරූප අංශයයි. රජයට අයත් සියළු අවස්ථා නිල වශයෙන් ආවරණය කරන්නේ මෙම ඡායාරූප අංශයෙන් වන අතර එම රාජකාරිය ද තාක්ෂණයේ හා මාධ්‍යයේ අවකාශයන් පුළුල්වීමත් සමග අභියෝගයට ලක්ව තිබේ. එහෙත්

චිත්‍රපට අංශය පරණ වලව්වක්

නිල ඡායාරූප අංශය වශයෙන් ඊට පවතින ඉල්ලුම අදටත් වලංගු ය. තාක්ෂණික මෙවලම් තිබුනත් ඕනෑ තරම් උපකරණ මිල දී ගත්තත් නිර්මාණශීලී ඡායාරූප මෙම අංශයට එක් නොවීම බරපතල ගැටළුවකි. එය එහි ඇති මානව සම්පතේ දුර්වලතාවකි. නමුත් රජයේ නිල ඡායාරූප ශිල්පියා ලෙස ඡායාරූප අංශයට පවතින පැවැත්ම වැදගත් ය.

රජය මගින් නිකුත් කරන සියළුම ප්‍රකාශන අළෙවිය සදහා ඇත්තේ රජයේ ප්‍රකාශන කාර්යාංශයේ ය. ගැසට්, පනත් හා වෙනත් ප්‍රකාශන වල සංරක්ෂණාගාරයක් ලෙස ද එය ක්‍රියාත්මක වේ. එහෙත් කනගාටුවට කරුණක් වන්නේ තාක්ෂණය මෙතරම් දියුණු යුගයක තවමත් පරණ ක්‍රමවේදයන් භාවිතා කරමින් අළෙවිකරණය සිදු කිරීමයි. මේ නිසා මහජනතාව බරපතල දුෂ්කරතාවන්ට ලක්වෙන අවස්ථා නිරත්තරයෙන් වාර්තා වේ.

අතීතයේ දී යුග මෙහෙවරක් කළ දෙසතිය අංශය ද අද පවතින්නේ කනගාටුදායක ඉරණමක ය.මාධ්‍ය අවකාශය පුළුල්වීමට සමාන්තරව දෙසතියේ ගමන් පථය වෙනස් කිරීමට එහි කාර්ය මණ්ඩලයට දැනුම නොවීම නිසා තවමත් එය පවතින්නේ ගල් යුගයේ ය. ආකර්ශනීය බඩු භාණ්ඩ ඇතත් සිත් ගන්නා සුළු තාක්ෂණික මෙවලම් ඇතත් සමාජය විවරණය කරන්නට දැනුම නොතිබීම ඔවුන් මුහුණදෙන ප්‍රධාන අභ්‍යන්තරික ගැටළුවයි. එහෙත් ජන මාධ්‍ය අවකාශය පුළුල්වීමත් සමග මතු වූ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙන්නේ නම් දෙසතිය සගරාවට පාඨක ජනතාව අතර ඉල්ලුමක් සකස් කර ගැනීමට අවස්ථාව තිබේ.

මීට අමතරව පවතින පර්යේෂණ හා විමර්ශන ඒකකය, විශේෂ පර්යේෂණ ඒකකය, විශේෂ මාධ්‍ය ඒකකය, පුස්තකාලය හා දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයන් කිසිම අන්දමේ වටිනාකමක් ඇති සමාජ දායකත්වයක් නොදරයි. ඒවායෙන් සමහරක් පවතින ආණ්ඩුවල දේශපාලන අවශ්‍යතා ඉටු කළ ඒකකයන් ය. දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයන් කෙතරම් මහජන මුදල් නාස්ති කරන රාජකාරියක යෙදෙන්නේදැයි කියන්නේ නම් ඒ සම්බන්ධයෙන් කතා කිරීම පවා ලැජ්ජාවට කරුණකි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මෙම අංශයන් සලකා බැලූ විට බරපතල රාජ්‍ය සේවයක් කරන්නා වූ අංශයන් ද බරපතල රාජ්‍ය සේවයක් නොකරන අංශයන් ද මීට ඉහත දී බරපතල රාජ්‍ය සේවයක් කර දැන් අක්‍රියවී ඇති අංශයන් ද ලෙස වර්ගීකරණය කළ හැකිය. ඒ අනුව බරපතල රාජ්‍ය සේවයක් කරන අංශ වහා ප්‍රතිව්‍යහගතකරණය කළ පසුව ඵලදායිතාව උපරිම වන ලෙස ඉතාම සීමිත කාර්ය මණ්ඩලයක් යටතේ පවත්වාගෙන යා හැකිය. තාක්ෂණය දියුණු වී ඇති නිසා එම කටයුත්ත වඩා පහසු වේ. ඒ අනුව හදුනා ගත හැකි අංශ වන්නේ ප්‍රචාරක අංශය, ඡායාරූප අංශය, ප්‍රකාශන කාර්යාංශය, මාධ්‍ය හැදුනුම්පත් අංශය හා දෙසතිය අංශය වේ.

පක්ෂ දේශපාලනයට නතුවීම

රජයේ චිත්‍රපට අංශය අතීතයේ දී අතිවිශාල මෙහෙයක් කළ ද දැන් පවතින්නේ අක්‍රියව ය. එය ක්‍රියාකාරීත්වයට පත් කිරීම සදහා සිනෙ කැමරා භාවිතයෙන් චිත්‍රපට නිෂ්පාදනය කිරීම ප්‍රායෝගික නොවේ. එහෙත් නවීන තාක්ෂණය අනුව අලුත් ක්‍රම  යොදා ගනිමින් වාර්තා, කෙටි චිත්‍රපට හා චිත්‍රපට නිෂ්පාදනය කළ හැකිය. එහෙත් අවධාරණය කරමින් පැවසිය යුත්තේ ලෝකයේ අදටත් කල් තබා ගත හැකි එකම චිත්‍රපට නිෂ්පාදනය කිරීමේ ආකෘතිය වන්නේ සිනේ කැමරා චිත්‍රපට නිෂ්පාදනය බවයි.

පර්යේෂණ හා විමර්ශන ඒකකය, විශේෂ මාධ්‍ය ඒකකය, විශේෂ පර්යේෂණ ඒකකය, මාධ්‍ය පුස්තකාලය හා දිස්ත්‍රික් මාධ්‍ය ඒකක වහාම වසා දැමිය යුතුය. ඒවා කිසිම කාර්යභාරයක් නොකරන ඒකකයන් වන අතර සමහර ඒවා මැතිවරණ කාලයන්ට දේශපාලන කටයුතු සිදු කරන ඒකකයන් ය.

සමස්ත රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවම අතීතයේ දී බරපතල රාජකාරීයක් ඉටු කළ ආයතනයකි. එහෙත් එය ක්‍රමයෙන් පක්ෂ දේශපාලනීකරණය වීමත් සමග එහි වලංගුතාව අහෝසි විය. විශේෂයෙන් පටු පක්ෂ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් දෙපාර්තමේන්තුව යොදා ගැනීමත් මානව සම්පත ඊට ගැලපෙන ලෙස ආකල්පමය ලෙස වෙනස්වීමත් නිසා සමස්ත ආයතනයම විනාශය කරා ගමන් ගත්තේ ය. එම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ සදහන් පරිදි එහි කාර්යභාරය මෙලෙස සදහන් කර ඇත.

“ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ. රාජ්‍ය සේවයේ වගවීම හා පාරදෘෂ්‍ය භාවය ස්ථාපනය කරමින් ද මාධ්‍යයේ අනන්‍යතාව හා ස්වාධීනත්වය සුරක්ෂිත වන පරිදි මාධ්‍ය ක්ෂේත්‍රයේ සුහදශීලී පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය මෙහෙයවීම සිදුකිරීම ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අපේක්ෂාවයි.

රටේ මහජනතාවට නිවැරදි තොරතුරු දැනගැනිමේ අයිතිය තහවුරු කිරීම, සමස්ත රජයේ තොරතුරු ජනමාධ්‍ය වෙත නිකුත් කිරීම, විශේෂ අවස්ථා පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම, තොරතුරු වාර්තා කිරීම, දත්ත රැස්කිරීම හා ඒවා මහජනතාව වෙත බෙදා හැරීමේ යාන්ත්‍රණය ක්‍රියාවට නැංවීම, ප්‍රවෘත්තිමය හා තොරතුරු ලෙස වැදගත් වන වාර්තා, පුවත් හා වෙනත් දත්ත ඒකරාශී කර පවත්වාගෙන යාම හා සංරක්ෂණය කිරීම ද මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

ආචිණ්ණකල්පිත අදහස් දරන මානව සම්පත

ජනමාධ්‍යවේදීන්ට අවශ්‍ය පුහුණුව, පහසුකම් හා ඉඩ ප්‍රස්ථාවන් සැපයීම, ඔවුන්ගේ වෘත්තීය මට්ටම නගාසිටුවීමට හා වෘත්තීය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම, රජයේ දත්ත විශ්ලේෂණය මෙන් ම තොරතුරු ඒකරාශී කරමින් ශ්‍රව්‍ය දෘෂ්‍ය හා ලේඛනමය සාධක මාධ්‍යවේදීන්ට පරිශීලනය සඳහා ලබාදීම ද මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයන් අතර වේ.”

මෙම කරුණු දැක්වීම ප්‍රවේශමෙන් අධ්‍යනය කර බලන්නෙකුට එම අරමුණු කරා එම දෙපාර්තමේන්තුව කොතෙක් දුරට ගොස් ඇත්දැයි තේරුම් ගත හැකිය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තුළ සිටින ඒකාබද්ධ සේවාවේ හා දීප ව්‍යාප්ත සේවාවන්ගේ රජයේ නිලධාරීන් දායකත්වයක් දරන්නේ පරිපාලන හා ගිණුම් කටයුතු වලට පමණි. අනෙකුත් රාජකාරීන් කරන්නේ දෙපාර්තමේන්තු සේවාවක් වන ප්‍රවෘත්ති නිලධාරී සේවයේ නිලධාරීන් විසිනි. එම සේවාව ස්ථාපිත කළේ මැතකදී ය. එහි සිටින බොහොමයක් නිලධාරීන් රාජ්‍ය සේවයේ අවම සුදුසුකම් හෝ සපුරා නොමැති අතර එම සේවාවට ඒ ඒ නිලධාරීන්ගේ සේවා කාලය සැලකිල්ලට ගනිමින් අනුයුක්ත කර ඇත. එහි බොහෝ අය අපොස සාපෙළ විභාගයවත් සමත් නැත. එහෙත් එම සේවාවේ උපාධිධාරීහු ද සිටිති.

රජය විසින් උපාධිධාරීන් රාජ්‍ය සේවයට අවස්ථා දෙකක දී බදවා ගත් පසුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මානව සම්පත ද පෝෂණය විය. ඒ අනුව විවිධ අංශ වල ඌනිත රාජකාරී වල යෙදෙන උපාධිධාරීන් ප්‍රමාණය විශාල ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඵලදායි යමක් නොකරන නිරීක්ෂණය මත එයට අනුප්‍රාප්තික ආයතනයක් නිර්මාණය කර ගනිමින් එය වසා දැම්මීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අදහස් කළේ 2001 වසරේ බලයට පත්වූ පසුව ය. ඒ සදහා ගයිරුක පේරුසිංහගේ මූලිකත්වයෙන් කොටුවේ ග්‍රාමෝදය මධ්‍යස්ථානයේ ආයතනයක් ස්ථාපිත කළ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් තෝරා ගත් කොටසක් ඊට අනුයුක්ත කරන ලදි. එහෙත් රාජ්‍ය සේවාවෙ පසුගාමී ආකල්පයන්ගෙන් යුතු බහුතරය ඒ තුළ ද සිටි නිසා හා වෙනත් ප්‍රශ්න මත එම ආයතනය පසුව අසාර්ථක වී වසා දමන ලදි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විවිධ ආයතන ප්‍රධානීන්ගේ පෞද්ගලික මහන්තත්වය සදහා සේවක කාර්ය මණ්ඩලය පුළුල් කළ ආයතනයකි. එහි නිල නොවන ලෙස හදුනා ගත් සේවක අතිරික්තයක් පවතින අතර ඉතා කුඩා කාර්ය මණ්ඩලයකින් සේවා සම්පූර්ණ කළ හැකි ආයතනයකි. එහෙත් පසුගාමී හා ආචිණ්ණකල්පිත ආකල්ප නිසා දියුණු කාර්යශූර ආයතනයක් ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ගොඩගත නොහැක.

අලුත් ප්‍රවෘත්ති කාර්යාංශයක්

තාක්ෂණික දියුණුවට සමාන්තරව මානව සම්පතෙහි ආකල්පයන් වර්ධනය කර නොගෙන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තවදුරටත් වලංගු තාර්කික ආයතනයක් බවට පත් කළ නොහැක. එහි ප්‍රමාණයෙන් හා ගුණයෙන් වූ සුළු රාජකාරී අවශ්‍යතාව කාර්යංශයක් ස්ථාපිත කිරීමෙන් පහසුවෙන්ම සිදු කළ හැකිය. දෙපාර්තමේන්තු චක්‍රලේඛ යටතේත් වෙනත් බැදීම් යටතේත් තීන්දු තීරණගෙන දෙපාර්තමේන්තු ව්‍යුහය යටතේ නිර්මාණශීලී මෙහේයක් කළ නොහැකි අතර කාර්යාංශයක් බිහිකර ලිබරල් නීති රීති යටතේ එම නිර්මාණශීලී කාර්ය කළ හැකිය.

ආචාර්ය රංග කළංසූරියගේ අනුප්‍රාප්තිකයා ලෙස නීතිඥ සුදර්ශන ගුණවර්ධන හෝ වෙනයම් නිර්මාණශීලී පුද්ගලයකු හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කිරීම අර්ථ විරහිත වන්නේ මේ සංදර්භය යටතේ ය. අලුත් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කාලයෙන් වැඩි පංගුව වෙන් කරන්නට සිදුවන්නේ ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි හා චක්‍රලේඛ යටතේ පරිපාලන හා ගිණුම් කටයුතු වලට ය. ඊට අමතරව අට අනූවක් වාර්තා සම්පාදනය කිරීමට ය. නිර්මාණශීලීව සිතා යමක් සමාජ ගත කිරීමට කිසිම ඉස්පාසුවක් නොලැබෙන්නේ ය. එසේ කිරීම සදහා දක්ෂ, කාර්යශූර හා ශක්තිමත් කාර්ය මණ්ඩලයක් ද එහි නොමැති අතර ඒ සදහා වූ නිර්මාණශීලී හා බුද්ධිමය වටපිටාවක් ද එහි නොමැත.

එහෙත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයට අලුතින් පත්වන්නෙකුට දෙපාර්තමේන්තුවේ රාජකාරී වපසරිය තුළ යමක් කරන්නට අවස්ථාවක් නැතත් පවතින සම්පත් හා වෙනත් දෑ යොදා ගනිමින් පක්ෂ දේශපාලන අවශ්‍යතා නම් ඉටු කළ හැකිය. මොනවා කරන්නට නොහැකි වුනත් එහි පවතින්නේ ඒ සදහා වූ දේශපාලනික සංස්කෘතියකි. එම තනතුරට පත්වන රාජ්‍ය පරිපාලන සේවාවේ බොහෝ නිලධාරීන් කරන්නේ එම පක්ෂ දේශපාලන අවශ්‍යතාවයි. ඒ සදහා වූ කප්පරක් මානව සම්පත දෙපාර්තමේන්තුව තුළ පවතී.

මේ මොහොත තුළ විය යුත්තේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වසා දැමීමයි. එහි අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු සදහා ලිබරල් ආයතනික ආකෘතියකින් යුතු කාර්යාංශයක් ඇති කිරීමයි. එහි සේවක කාඩරය උපරිම වුවහොත් පහලොවක් වීම සුදුසුය. සෙසු දෙපාර්තමේන්තු නිලධාරීන් සදහා වන්දි දී ඉවත් කිරීම වෙනත් රජයේ ආයතනයකට ස්ථාන මාරු ලබාදීම ආදී විකල්පයන් අනුගමනය කළ හැකිය.

එවිට නීතීඥ සුදර්ශන ගුණවර්ධන වැනි නිර්මාණශීලින්ට ද හිතේ බරක් නොමැතිව වෙනත් ලිබරල් ආකෘතියක සිට සමාජ දායකත්වයක් ලබාදිය හැකිය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.