28 March, 2024

Blog

ලෝක කාබනික ගොවිතැන් ඉතිහාසයේ අමතක නොවන දේශපාලන නායකයින්; මිලියන ගණනකගේ ජීවිත බේරා ගැනීම සඳහා ඉතිහාසයෙන් පාඩමක් ඉගෙන ගනිමු

හිරාන් බීජයසුන්දර –

ශිෂ්ඨ සම්පන්න වීමට නුසුදුසු ජනයාට කොතරම් දුරට හැකියාවක් තිබේද? කළු ජාතිකයෙක් යනු මුළුමනින්ම ම්ලේච්ඡයෙක්.  ම්ලේච්ඡයෙක් ශිෂ්ඨ සම්පන්න වන්නේ කෙසේද? අපි ඔවුන් සමඟ කටයුතු කළ යුත්තේ කුමන ආකාරයෙන්ද1?”  මේ ලෝක කාබනික කෘෂි ව්‍යාපාරයේ පියා වන රුඩොල්ෆ් ස්ටයිනර්ගේ වචනයි. කාබනික කෘෂිකර්ම ව්‍යාපාරය සහ එහි පැවැත්ම ඇත්තේ මේ ආදී අවිද්‍යාත්මක මෙන්ම ජාතිවාදී, වර්ගවාදී සහ දෘෂ්ටිවාදී චින්තන මතය.

කාබනික ආහාර කර්මාන්තය මේ වන විට ඇමෙරිකාවේ සහ බටහිර යුරෝපීය රටවල් සදහා සහ ඉතා සුළු වශයෙන් ජපානය කේන්ද්‍රකරගත් ආහාර වෙළදපොලක් වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ, කාබනික වෙළදපොල ක්‍රියාත්මක වන්නේ, වෙළඳභාණ්ඩයේ මිල මෙන්ම එහි අවසාන සංයුතිය සහ ගුණාත්මකභාවය තීරණය කරන්නේ පාරිභෝගිකයන් සිටින රටේ ඇති විශේෂ ආයතනයක් මගින් වීමයි. දශක ගණනාවක ඇවෑමෙන් ලෝකයේ සමස්ත කෘෂි ඉඩම් වලින් සියයට 1.8 වපසරියක් මේ වන විට කාබනික වගාවේ යොදවන බව හෙළිවී ඇත.

එනමුත්, ලෝකයේ විශාලතම ආහාර වෙළදපොල සහ අතිවිශාල ජනතාවක්ගේ කුසගිනි නිවන, ආසියානු ආහාර වෙලදපොලේ කාබනික ආහාර සදහා වන ඉල්ලුම නොසැලකිය තරම් වේ. ආසියානු රටවල් කාබනික උනන්දුව බටහිර රටවල වෙළදපොල සදහා වූ ජාත්‍යන්තර ආධාර සංවිධාන වල අරමුදල් මත මෙහෙය වේ. චීනය, ඉන්දියාව සහ ලංකාව  ඇතුළු ආසියාවේ කාබනික ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන ලද්දේ යුරෝපීය වෙළඳපොලේ අවශ්‍යතා සදහා මෙහෙයවනු ලබන හෙල්වෙටාස්, ජීටීඉසෙඩ්, හිවෝස්, මයිසෙරෝර්, සහ ඔක්ස්ෆෑම් වැනි ආධාර ලබාදෙන ආයතන මගිනි2. අප්‍රිකාවේ කාබනික කෘෂිකර්මාන්තය සඳහා වූ ගෝලීය ව්‍යාපෘති දැනුම කේන්ද්‍රය මගින් අප්‍රිකාවේ කාබනික ගොවිතැන මගින් ආධාර ලබා ගන්නා ලද අතර සදහා අරමුදල් සැපයුවේ ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය පිළිබඳ ජර්මානු ෆෙඩරල් අමාත්‍යාංශය මගිනි.

ජර්මනිය කේන්ද්‍ර කරගත්, ආධාර ලබා ගැනීම සදහාම, ලංකාව වැනි රටවල දහස් ගණනක් කාබනික කෘෂිසංවිධාන බිහිවිය. මෙය ලංකාවේ කාබනික කෘෂි ව්‍යාපාරයේ  ස්වර්ණමය යුගය වන අතර, එම රාජ්‍ය නොවන සංවිධාන බොහෝ විට 1990-2010 කාලයේදී මහනුවර ප්‍රදේශයේ කුඩා පරිමාණ වතු ආශ්‍රීතව හෙවත් රසායනික හෝ වෙනත් කිසිම පොහොරක් නොයොදන තේ සහ කුළුබඩු භෝග ගොවින් අරමුණු කරගෙන ක්‍රියාත්මක කෙරින. මේ සංවිධාන වලින් ලංකාවේ කාබනික ගොවින් බිහි නොවූ අතර, ඉන්දියාවේ මෙන්ම ලංකාවේ කාබනික වෙළදපොල මෙහෙයවන්නේ අතේ ඇගිලි ගණනටත් අඩු සමාගම් කිහිපයක් මගිනි. ඇත්තෙන්ම ලංකාවේ ප්‍රධාන කාබනික අපනයන සමාගම් ඇත්තේ ඉතා අතලොස්සකි. එබැවින් ආර්ථික විද්‍යාව අනුව කාබනික වෙළදපොල යනු තරගකාරී නොවන3 කතිපයාධිකාරි වෙළදපොල තුල ඇති ලක්ෂණ පෙන්නුම් කරන වෙලදපොලකි.

කාබනික ගොවිතැන සඳහා වන පරමාදර්ශය සහ දෘෂ්ටිවාදාත්මක පදනම සකස්වී ඇත්තේ මූල්‍යමය වාසි වලට වඩා දෘෂ්ටිවාදී සංකල්ප මගින් සහ 1970 – 80 ගණන්වල ඇතිවූ ලෝක ආහාර අර්බුදය​ සමග ඇතිවූ ස්වයංපෝෂිත​ චින්තන මතය4.

මේ නිසාම, නිෂ්පාදිතය පිළිබඳ යම් විශ්වාසයකින් යුතුව, පාරිභෝගිකයන් සතුට හා සෞඛ්‍යය පිළිබඳ වටිනාකම් වලින් කාබනික ආහාර මිල දී ගනී. එබැවින් කාබනික වෙළඳපොලවල් සහ එහි වටිනාකම් පද්ධති සරල ආර්ථික න්‍යාය හෙවත් ඉල්ලුම් සැපයුම න්‍යායන් මත මැනිය නොහැක. එය ආර්ථික විද්‍යාවේ අසමමිතික තොරතුරු සමඟ ලාක්ෂණිකව වෙළඳපල අසාර්ථකත්වය ජනනය කරයි3.   

වෙළඳපල අසාර්ථක වීම යනු නිදහස් වෙළඳපලක සමතුලිතතාවයට ඍණාත්මකව බලපාන භාණ්ඩ හා සේවා අකාර්යක්ෂම ලෙස බෙදා හැරීමයි. වෙළඳපල අසාර්ථක ඇති තැන රජයේ මැදිහත්වීම සාමාන්‍ය ලක්ෂණයකි.

මේ නිසාම, කාබනික ගොවිතැන එහි මුලාරම්භයේ සිටම, දේශපාලන සහ සමාජ ස්ථර වල බලපෑම් මත ප්‍රවර්ධනය වූ අතර, ලෝකයේ අඩු ආදායම් සහ මධ්‍යම ආදායම් රටවල් කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කරන්නේ විදේශ වෙළෙදපොල අරමුණු කරගෙනය. ලොව කිසිම රටක්, කාබනික කෘෂිකර්මාන්තය මත සිය ආහාර නිෂ්පාදන කාර්‍ය සදහා විශ්වාසය නොතබයි. කාබනික ආහාර යනු ආගම මෙන් යම් විශ්වාසයකි. වැඩි මිලක් ගෙවා කාබනික ආහාර ගන්නේ එම විශ්වාසයේ නියුතු සහ එය විශ්වාස කරන පුද්ගලයන් පමණි.

නමුත්, ශ්‍රී ලංකාවේ දේශපාලන යන්ත්‍රය, ගොවි ප්‍රජාවගේ හෝ කෘෂි විද්‍යාඥයන්ගේ විරෝධතා මධ්‍යයේ, බලහත්කාරයෙන් කාබනික වගාව ලංකාවේ ප්‍රධාන ආහාර නිෂ්පාදන කාර්‍යයේ  යොදා ගනිමින් පවතී. මෙයින් විය හැකි ඇති භයානක ප්‍රතිවිපාක මගේ පෙර ලිපි මගින් හෙළි කල ඇත. අවාසනාවකට මෙන්, අභ්‍යවකාශයෙන් දිස්වන රාත්‍රී අහසේ ආලෝක තීව්‍රතාවයෙන් පවා ජාතීන්ගේ සංවර්ධනය මනින ලෝක බැංකුව වැනි ලොව ප්‍රමුඛ පෙළේ ආයතන පවා හදිසියේම රසායනික පොහොර නැවැත්වූ ශ්‍රී ලංකා දේශපාලන නායකයන්ට සුබ පැතීමට ඉදිරිපත් වීම ඉතා කණගාටුදායක තත්වයකි. ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය මෙම තීරණය මත අතිශය අවධානම් සහගත තත්වයකට පත්ව ඇති බව ඔවුන් නොදන්නවා නොවේ. එසේම, ලංකාවේ වර්තමාන පාලකයන්, මෙම තීරණය ගත් පළමු රට ලෙස ලංකාවේ නූගත් නාගරික ජනතාවට හදුන්වා දෙමින් ඇත.

නමුත්, මීට පෙර ලෝක ඉතිහාසයේ පාලකයන් කිහිප දෙනෙක් මෙවැනිම හිතුවක්කාරී තීරණ මගින් කාබනික කෘෂිකර්මය ආහාර නිපැයුම් කාර්යාවලිය සදහා යොදා ගත් අතර එමගින් ලෝක ඉතිහාසයේ සලකුණු කරන ලද අතිශය භයානක සිදුවීම් කිහිපයක් මේ ලිපිය මගින් දක්වා ඇත.

මෙහි පළමුවන උදාහරණය සටහන් වන්නේ, 1925 සිට 1945 වසර දක්වා කාලය තුල ජර්මනිය පාලනය කල හිට්ලර්ගේ පාලනය තුලයි. නාසි ජර්මනියේ නායකයා වශයෙන්, ඔහු දෙවන ලෝක යුද්ධය සහ අතිවිශාල සමූල ඝාතන යන දෙඅංශයෙන්ම සැලසුම් කළේය. අවම වශයෙන් 40,000,000 පිරිසකගේ මරණයට හේතු වූ සිදුවීම් වලට වගකිව යුතු ඔහු  සහ 20 වන සියවසේ වඩාත්ම දරුණු පුද්ගලයා සහ මානව ඉතිහාසයේ විනාශකාරිම පුද්ගලයකු ලෙස සැලකේ. නාසි දෘෂ්ටිවාදය ජර්මානු මානව ශාස්ත්‍ර මත පදනම් වූ අතර රොමැන්ටිකවාදය හා දෘෂ්ටිවාදය විසින් ගොඩ නැංවූ ජාතික සමාජවාදය මත සිය පාලනය මෙහෙය විය. හිට්ලර් සිය රටෙහි, කාබනික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ තේමාව කර ගත්තේ ෆැසිස්ට්වාදය පදනම් කරගත්රුධිරය හා පාංශුයන තේමාවය5. මගින් ජර්මානු ආර්ය ජාතියේ පිරිසිදු බව ආරක්ෂා කිරීම හෙවත් ජර්මානු ජාතිය වෙනත් ජාතීන්ගේ මිශ්‍රණ වලින් රැකගැනීම සදහා හරිත ෆැසිස්ට්වාදීන් මගින් කාබනික කෘෂිකර්මාන්තය සිය ප්‍රධාන ආහාර නිපැයුමේ කොටසක් ලෙස යොදා ගන්නා ලදී.

මේ නිසා කාබනික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අභිප්‍රාය, නාසි දෘෂ්ටිවාදය ජර්මානු වාර්ගික හා ජනවාර්ගික අනන්‍යතාව යන මිත්‍යා මුලධර්ම මත ගොඩ නැංවි ඇත. මෙහිදී ඔවුන් ජර්මානු වීම යනුවෙන් අදහස් කලේ, ජර්මානු භූ දර්ශනයට අනුකූලව ආරක්ෂා කිරීම සහ ජීවත්වීමයි6. “නිෂ්පාදන සටනනමැති තේමාව යටතේ, 1934 පැවත් වූ දෙවන නාසි ගොවි සමුළුවේදී එවකට නාසි ජර්මනියේ කෘෂි ඇමති වූ ඩැරේගේ වැදගත්ම උත්සාහය වූයේ කාබනික ගොවිතැන් ක්‍රම විශාල වශයෙන් හඳුන්වාදීමයි. පස නිරෝගීව තබා ගන්න!”-  ලෙබන්ස්ජෙට්සෙලිච් ලෑන්ඩ්බෝවිස්ලෙස එය නම් කර තිබුණි. කාබනික ගොවිතැන ආයතනිකකරණය කිරීමේ ව්‍යාපාරයට ජර්මනිය පුරා කුඩා වතු සහ වතු දස දහස් ගණනක් ඇතුළත් විය.

කෙසේ වුවද මෙහි අවසාන ප්‍රතිඵලය වුයේ ආහාර සදහා හිට්ලර් හට යුක්රේනය සහ වෙනත් නැගෙනහිර රටවල් මත යැපීමට සිදු වීමයි. කාබනික ගොවිතැන් නිසාත්, හිට්ලර් යටතේ ජර්මනිය දැඩි ලෙස කාර්මිකකරණය වූ නිසාත්, ජර්මනිය තුල ලෝක යුද්දයට පෙරද ආහාර අර්බුදයක් නිර්මාණය විය. එහිදී. ස්වයංපෝෂි ප්‍රතිපත්ති නිසා තවත් මේ තත්ත්වය​ දරුණු විය. මෙය ලෙබන්ස්රෝම්7 ප්‍රතිපත්ති මගින් ආර්ය නොවන අය ලෙස සැලකෙන පෝලන්ත, යුක්රේන, රුසියානු, චෙක් සහ ස්ලාවික් ජාතීන් සිය ගොවිබිම් වලම මරා දමා හෝ සාගින්නෙන් මරණයට පත් කර අතර, ඔවුන්ගේම ආහාර සහ කෘෂිකාර්මික ද්‍රවය ජර්මනිය පෝෂණය කිරීමට ඉඩ දුනි.

මෙහිදී, ලංකාවේ ඇතැම් පාලකයන් මෙන්, “රජය විසින් ජනතාවගේ කෑම වේල සහ එහි සංයුතිය තීරණය කිරීමනාසීන් විසින් ක්‍රියාත්මක කරන ලදී. එමගින්, ජර්මානු ජනතාවගේ පෝෂණ ප්‍රතිපත්ති තීරණය කිරීමට නාසීන් ක්‍රියා කළහ. මේ නිසා යුද්ධය අතරතුරේ සහ ඉන් පසුව ජර්මනු ජනතාවගෙන් අඩකට වැඩ ආහාර නොමැති කමින් මිය ගියහ. යුදෙව් නොවන ජර්මානුවන් 1945 සිට 1949 දක්වාසාගින්නෙන් පෙළෙන වසරලෙස මෙම කාලය තවමත් විස්තර කරති

කාබනික ගොවිතැනේ ඊලග අපරාධය සටහන් කරනුයේ වසර 1991–2000 කාල සීමාවේදී කියුබාවෙනි. එවකට කියුබාව පාලනය කලේ ෆිදෙල් කැස්ත්‍රෝ ජනාධිපතිවරයාය. ලෝක ඉතිහාසයේ රජකු ලෙස නොසිට, ඒකාධිපතියෙකු ලෙස මෙතෙක් දීර්ඝතම කාලයක් බලයේ සිටි පාලකයා වූ කැස්ත්‍රෝ, කියුබාවේ බලයට පත්වූ පසු කිසිදු විරුද්ධ පක්ෂයක් බිහි කිරීමට ඉඩ දුන්නේ නැත. ඔහු, කාබනික කෘෂිකර්මාන්තයේ තේමාව ලෙසසියලු ජනතාවගේ යුද්ධයපිළිබඳ මිලිටරි මූලධර්මය සහ නාගරික කාබනික උද්‍යාන යන සංකල්ප යොදා ගත්තේය.  .

ඇත්තෙන්ම, 1990 වසර වන විටත්, ඒකක කෘෂි ඉඩම් ප්‍රමාණයක් සදහා ඇමරිකා එක්සත් ජනපදයටත් වැඩියෙන් රසායනික යොදා ගත් කියුබාව, හදිසියේ කාබනිකරණය වුයේ ලංකාවේ මෙන්ම ආර්ථික සහ දේශපාලන කරුණු නිසාය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව, සෝවියට් සංගමයේ නායකත්වය යටතේ 1949 සිට 1991 දක්වා වූ කාලය තුල අන්‍යෝන්‍ය ආර්ථික ආධාර කවුන්සිලය නමින් වූ ආර්ථික සංවිධානයක් වූ අතර එය යුරෝපයේ නැගෙනහිර කොටසේ රටවල් සහ ලෝකයේ වෙනත් තැන්වල සමාජවාදී රාජ්‍යයන් ගණනාවකින් සමන්විත විය. මෙය COMECON ලෙස හැඳින්වේ. මෙම අන්‍යෝන්‍ය ආර්ථික ආධාර කවුන්සිලයේ යටි අරමුණ වුයේ කුඩා රටවලකොමෙකොන් රටවල බිද වැටීම හෙවත්, 1991 දී, කලින් සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමෙන් පසු ඔවුන් සමාජවාදී රටවලට දුන් අනුග්‍රහය නැවැත්වීමත්, එක්සත් ජනපද ආර්ථික සම්බාධක දැඩි කිරීම හේතුකොටගෙන, ආනයන සහ අපනයනය සිමා විය. දැඩි බලශක්ති සහ ආනයන අර්බුදයක් ඇති වූ අතර, කියුබාවේ ප්‍රධාන අපනයනය වූ සීනි, එහි එකම වෙළදපොල වූ රුසියාව වෙත යැවීමට නොහැකි වීමෙන් විදේශ සම්පත් හිඟයක් ඇති විය. මෙම තත්වය කෙතරම් බරපතල ලෙස කියුබන් ආර්ථිකයට දැනුනේද යන්න කියුබාවේ අදටත් ඇති අවතාර නගර එයට සාක්ෂි දරයි. දශක ගණනාවක් ලොව විශාලතම සීනි අපනයනකරු වූ කියුබාව, අධික ලෙස අකාබනික පොහොර සීනි කර්මාන්තය වෙත යොදා ගැනින​. යෙදවුම් සහ සිය ප්‍රධාන අපනයන වෙළදපොළවල් නැති වනවිට විශාල නගර (සීනි කර්මාන්තය නිසා බිහිවූ) ජනශුන්‍ය විය. මේ බැවින්, රසායනික පොහොර ලෝක වෙළදපොලෙන් ලබා ගත නොහැකි වූ අතර, එතෙක්, රුසියාවේ ආර්ථික යටත් විජිතයක ස්වරුපය ගත් කියුබාවේ කාර්මික කෘෂිකාර්මික ක්‍රමය අර්බුදයකට ලක් කර ඉක්මන් විකල්පය ලෙස කාබනික කෘෂිකර්මය සහ කාබනික යෙදවුම් බලහත්කාරයෙන් ගොවි ජනතාවට හඳුන්වා දින

මෙහිදී, එදා කියුබාව කලේ අද ලංකාව කරන්න යන දේමය. එනම්, රසායනික පොහොර නැවත්වීම නිසා අතහැර දමන ඉඩම් ආණ්ඩුව සිය ග්‍රහණයට ගැනීමය. අනෙක, ගොවීන් දුප්පත් වන විට කරන පළමු ප්‍රතික්‍රියාව හෙවත් ගෙදර සිටින ගවයා විකිණීම නැවත්වීමට ගව ඝාතනය තහනම් කිරීමය. ඇමරිකාවේ ගවයකු ඝාතනය කිරීම අපරාධයක් වන එකම රට කියුබාවයි. අවසන, කෘෂිකාර්මික ඉඩම්වලින් 75% ක් විවිධ වර්ගයේ රජයේ ගොවිපලවල් සතුවිය. අද වෙනවිට මේ ඉඩම් වලින් සියයට 50ක් හෙවත් රටේ මුළු ඉඩම් වලින් සියයට 20 පමණ ලෝකයේ භයානකම නිදිකුම්ම්බා කුලයේ ආක්‍රමණික ශාකයක් වන මරාඹු (Dichrostachys cinerea) පැතිරී ඇත. එසේම, රටේ ගව සම්පත සියයට 60 කින් අඩුව ඇත

අද වන විට කියුබාව සිය දේශීය ආහාර අවශ්‍යතාවයෙන් සියයට 70 ත් 80 ත් අතර ප්‍රමාණයක් ආනයනය කරන අතර බොහෝ ආනයන සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා නියම කර ඇත.

කාබනික ගොවිතැන මගින් සිදුවූ භයානකම සහ අනුවේදනීයම​ සිදුවීම වාර්තා වන්නේ ආසියානු රටක් වන උතුරු කොරියාවෙනි. 1994-1998- “දුෂ්කර මාර්තු හෝ දුක් විඳීමේ මාර්තුලෙස දක්වන කාල සීමාවේදී, එවකට පාලකයා වූ කිම් ජොන්ඉල් මෙහිදී සිය පැවැත්ම සදහා කාබනික ගොවිතැන ආහාර නිෂ්පාදන කාර්යාවලියට යොදා ගත්තේය. ආසියාවේ සිටි වඩාත්ම කුරිරු හා මර්දනකාරී ඒකාධිපති නායකයෙකු වන අතර, ඔහුගේ අවුරුදු 17 පාලන කාලය තුළ, තමාගේම ජනතාවට එරෙහිව මනුෂ්‍යත්වයට එරෙහි ක්‍රමානුකූල අපරාධවලට වගකිව යුතුය. කිම් ජොන්ඉල් සහ ඔහුගේ රජය රටේ දැවැන්ත ආර්ථික අර්බුදය සහ මහා පරිමාණ සාගතය තුළ පවා රජයේ පැවැත්ම ඔවුන්ගේ ප්‍රමුඛතාවය බවට පත් කළහ. ඔහුගේම ප්‍රතිපත්තියක් වන සොන්ගුන් (පළමුව හමුදාව), ඔහු රටේ ඉතිරිව ඇති සම්පත් හා ආහාර කොරියානු මහජන හමුදාවට වෙන් කළේය. කියුබාවට සමානව ඔහු උතුරු කොරියාව ආර්ථික පරායත්තතාවයෙන් සෝවියට් සංගමයේ යටත් විජිතයක් බවට පත් කළේය. නමුත් උතුරු කොරියාව යනු COMECON සාමාජික රටක් නොව නිරීක්ෂක තත්ත්වය ලබා තිබු රටකි

උතුරු කොරියාවේ විවිධ ප්‍රදේශවල දක්වා තිබුණු කාන්තා ඡායාරූප හැරුණු විට, කාබනික ප්‍රවර්ධනය සදහා යොදාගත් තේමාවන් සොයාගත නොහැකි විය. සාමාන්‍ය තේමාව වන්නේඔබ නොමැතිව මාතෘ භූමියක් නැතකිම් ජොන්ඉල් සදහා වන පාඨය වේ.

උතුරු කොරියාවේ කාබනික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ කාරණයද ලංකාවේ මෙන්ම, ආර්ථික සහ දේශපාලන අස්ථාවර භාවයයි. එසේම, රජුන් නොවන රාජ පරම්පරාවක් ගෙන යාමේ අතිශය අවාසනාවන්ත තත්වයයි.

1980 දශකයෙන් පසුව, සෝවියට් සංගමයපෙරෙස්ට්‍රොයිකාප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය යටතේ දේශපාලන හා ආර්ථික වෙනස්කම් සඳහා යොමු විය. කියුබාවට මෙන්ම, උතුරු කොරියානු ආර්ථිකය සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව මත රදා පැවතුනි. සෝවියට් සංවර්ධන ආධාර සහ තාක්ෂණික මෙවලම් යටතේ ගොඩ නැගුනු කොරියානු ආර්ථිකය විශාල ණය බරක එරී සිටියහ. ප්‍රතිසංස්කරණය යටතේ, සෝවියට් සංගමය ආධාර සහ ආර්ථික ආධාර කපා හරින අතරම ඔවුන්ගේ ණය ආපසු ගෙවන ලෙස උතුරු කොරියාවෙන් ඉල්ලා සිටියේය. හේතුව, COMECON රටවලින් කියුබාව හැරුණු විට අන් සියලු රටවල් ප්‍රජාතන්ත්‍රවාදී මාවතට යොමු වීමයි.

මෙය වඩාත් නරක තත්වයට වැටුනේ, උතුරු කොරියාව සිය සියළුම සැපයුම් මාර්ග සහ අපනයන ගමනාන්තයන් COMECON රටවල් සමග සම්බන්ධ කලේ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව හරහාවීමය (අදටද, උතුරු කොරියාවේ මෙන්ම, කියුබාවේ කොටස් වෙළඳපොළක් නැත). මෙම ආර්ථික තත්වය සමග, උතුරු කොරියාවට සිය ආනයන නැවැත්වීමට සිදුවූ අතරකිම් රාජවංශය සිය මිලිටරි පාලනය තවත් තද කළේය. මෙහිදී, ඔවුන් කලේ අද ලංකාවේ පාලකයන් කරන දේමය. එනම්, බටහිර පොහොර භාවිත කරනවාට වඩා කෑම පිට රටින් ගෙන ඒම සදහා කටයුතු කිරීමය.

එහිදී ඔවුන්ගේ උදව්වට ආවේ චීනයයි. ඔවුන් පොහොර හෝ ද්‍රව්‍යමය ආධාර ලබා දෙනු වෙනුවට සිය ආහාර අතිරික්ත උතුරු කොරියාවට ලබා දුනි. එයින්, කොරියානු කෘෂි ආර්ථිකය බිද වැටුණු අතර, 1993 දී චීනයේ ඇතිවූ ආහාර හිගය නිසා ඔවුන් සිය ආහාර අපනයනය නැවත් වූ අතර එය දුක් විඳීමේ මාර්තුවේ ආරම්භයයි. බටහිර COMECON ජාතින් විසින් සිදු කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් වලට උතුරු කොරියාව කිසිදු ප්‍රතිසංස්කරණයක් නොකළ අතර, පාලකයන් ගේ දරදඩු කමේ විපාක මිලියන ගණන් අහිංසක ජනතාව විදින ලදී.

උතුරු කොරියාව ආර්ථික වශයෙන් බිඳවැටීම නිසා විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාරිමාර්ග පද්ධති, රසායනික පොහොර සහ පළිබෝධනාශක මත යැපෙන කෘෂිකර්මාන්තය විශේෂයෙන් දැඩි ලෙස පීඩාවට පත්විය. රසායනික පොහොර ආනයනය කිරීමේ දුෂ්කරතාවය නිසා කොම්පෝස්ට් හා කාබනික පොහොර (හක්පොසන් ලෙස හැඳින්වේ) නිෂ්පාදනය කිරීමේ දේශීය වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණි. මුලදී, කිමිල්සුන්නිසම් යනුවෙන් හැදුන්වූ ආර්ථික ප්‍රතිසංස්කරණ මගින්ජුචේ ගොවිතැන් ක්‍රමයමගින් යාන්ත්‍රිකකරණය වැඩි කිරීම, කෘෂි රසායන භාවිතය හා නවීන කාර්යක්ෂම වාරිමාර්ග අවශ්‍යතාව යළිත් තහවුරු කිරීම. දෘෂ්ටිවාදාත්මක, තාක්‍ෂණික හා සංස්කෘතික විප්ලවයන් ප්‍රවර්ධනය කරන ලෙස ඉල්ලා සිටි පාලකයන් ඊට සපුරා වෙනස්කම් කරන්නට විය.

මෙහි අවසන් ප්‍රථිපල තවමත් කිව නොහැක්කේ, මේ වන විටත් උතුරු කොරියානු ජනතාවගේ ජිවිත කාබනිකරණයෙන් ඉමහත් අවධානමක ඇති හෙයිනි.

කෙසේ වුවත්, කෙටිකාලීන ප්‍රතිඵල ලෙස ඇතිවූ ආහාර හිඟයෙන් හෙවත් සාගතයෙන් උතුරු කොරියානුවන් 225,000 ත් 235,000 ත් අතර පිරිසක් මිය ගිය බව උතුරු කොරියානු නිල වශයෙන්ම ප්‍රකාශ කර ඇත. නමුත්, ජාත්‍යන්තර ආයතන මරණ මිලියන 2.5 ත් 3.5 ත් අතර සංඛ්‍යාවක් සිදුව ඇතැයි තහවුරු කරයි. මෙය කොතරම් භයානකද යත්, ඡන්දය නොදීම අපරාධයක් වන උතුරු කොරියාවේ 1998 ජාතික මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කළේ සියයට 55 ක් පමණි. එනම් සියයට 45 ක් වන ජනතාවට වුයේ කුමක්ද?

දිගු කාලීන ප්‍රතිඵල ලෙස, මිනිස් මළ මූත්‍රාවලින් විශේෂයෙන් සාදන ලද කොම්පෝස්ට් යෙදීම නිසා කෘෂිකාර්මික ඉඩම් දැඩි ලෙස ආම්ලික වී ඇති අතර උතුරු කොරියානු ඉඩම්වලින් අඩක් පමණ මේ වන විට අත්හැරදමා ඇත. මේ සමගම, ලොව වැඩිම හෙල්මින්තියසිස් හෙවත් බඩවැල් ආශිත පරපෝෂිත පණු රෝගකාරකය සෑම උතුරු කොරියානුවන්ගෙන් තුන් දෙනෙක්ගෙන් එක් අයකුගේ දක්නට ලැබේ. කෘෂිකාර්මික භාවිතයන්, සනීපාරක්ෂක තත්වයන් දුර්වල වීම සහ පවතින ආර්ථික පසුබෑමෙන් ඇති වූ සෞඛ්‍ය සේවා සම්පත් හිඟය හේතුවෙන් මෙම පාංශු සම්ප්‍රේෂිත පණුවන් අද ඔවුන්ගේ සෞඛ්‍යය පිළිබද බරපතල ගැටළුවක් නිර්මාණය කර තිබේ.

මෙම සිද්ධි අධ්‍යයනයන තුනට අනුව, කාබනික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කරන නායකයින්ගේ පොදු සාධක කිහිපයක් ඔබට හදුනා ගත හැකිය.

1. සියලු නායකයින් විධිමත් විද්‍යාත්මක ක්‍රමවේදයකට වඩා කාබනික කෘෂිකර්මාන්තයේ මිත්‍යා අංශ කිහිපයක් විශ්වාස කරයි. මෙය කාබනික කෘෂිකර්මාන්තයේ පදනම් ගැටළුවක් වන අතර දෘෂ්ටිවාදාත්මක ඉදිරිදර්ශනයක් ලෙස රුඩොල්ෆ් ස්ටයිනර්ගේ පටන් (කාබනික කෘෂිකර්මාන්තයේ පියා) කාබනික සංකල්පය පාරිසරික සලකා බැලීමෙන් තොරව පද්ධති චින්තනය මත ගොඩනැඟුණු දෘෂ්ටිවාදයක් මත වර්ධනය විය. සරලව, මේ සියල්ල නවීන කෘෂිකර්මයේ ඇති ක්‍රමවේද අනුව සිය ආහාර නිපැයුම් කාර්යාවලිය ගෙනගිය නමුත්, සමාජදේශපාලන තත්වයන් හේතුවෙන් කාබනික ගොවිතැනට සිය පාලනය මෙහෙය විය. එහිදී, එම ක්‍රමය සමාජ පිළිලයක් වන තෙක් එල්බ සිටියහ. මේ හේතුවෙන්, අදද මේ රටවල් කාබනික මායාව හේතුවෙන්, නවීන කෘෂිකර්මයේ ප්‍රතිඵල ලබාගත නොහැකි ලෙස ගැටලුවකට මුහුණ පා සිටින අතර, ආහාර සුරක්ෂිතතාව ආනයන මත රඳවා ඇත. උතුරු කොරියාවේ මේ වන විට ඇත්තේ ලොවෙන් වසන්කර ඇති බරපතලම සාගත තත්වයකි.     

2. සියලුම නායකයන් විරුද්ධ පක්ෂයකින් තොරව ජීවිතාන්තය දක්වා පාලනය ගෙනගිය ඒකාධිපතියෝ . සියල්ලෝම ආධ්‍යාත්මික නායකයින් ලෙස සිය ජනතාව ඉදිරියේ පෙනී සිටියහ. මෙය Cult of personalities ලෙස හැදින් වේ. රටේ පාලනය හා රාජ්‍යතන්ත්‍රය ගෙන යනුයේ ජනමාධ්‍ය, ප්‍රචාරණය, ආටෝප සහ දේශපාලන රංගනය, දේශප්‍රේමය සහ රජය විසින් සංවිධානය කරන ලද පෙලපාලි සහ පෙළපාලි වල නායකයා පිලිබදව පරමාදර්ශී, වීරත්වයක් නිර්මාණය කිරීමෙනි. නායකයෙකුගේ ප්‍රතිරූපය වඩා වටිනාකමක් දරන අතර බොහෝ විට ප්‍රශ්න නොකිරීමේ ක්‍රම සහ ප්‍රශංසාව තුළින් එය වර්ධනය කරනු ලබයි. රටේ දළ​ දේශීය නිෂ්පාදනයෙන් කොටසක් නායක ප්‍රතිරූපය නැංවීමේ කාර්යය සදහා ජනමාධ්‍ය, හෝ වෙනත් ක්ෂේත්‍ර සදහා යෙදවේ. මෙහිදී, යමෙකු, ෆිදෙල් කැස්ත්‍රෝගේ මියයන ප්‍රාර්ථනාවන්ගෙන් එකක් වන ඔහුගේ නමින් ගොඩනැගිලි හෝ වීදි හෝ ප්‍රතිමා ඉදිකර නොකරන ලෙස ඉල්ලා සිටි බව කිව හැකිය. නමුත්, ඔහු ජිවත් වූ කාලය පුරාම කියුබාවේ පමණක් නොව ඈත පෙරදිග රටවල පවා ඔහුගේ ප්‍රතිරූපය නැංවීමේ කාර්යය සදහා විශාල අරමුදල යොදවන ලද්දෙකි.

3. සියලුම නායකයින් සිය දේශපාලනයේ හුවා දක්වන්නේ සමාජවාදය සමඟ රොමෑන්ටිකවාදයයි. මෙය ජාතික සමාජවාදය න්‍යාය සමග යාවේ. රොමෑන්ටිකවාදය අනුව, මෙම නායකයන් ඔවුන්ගේ මව්බිමේ නළු නිළියන් මෙන් ජනතාවගේ සිත් තුල චිත්‍රණයක් මවයි. නිදසුනක් ලෙස, ෆිදෙල් කැස්ත්‍රෝ හට ඔහුට අවේනික අනන්‍යතා සහ සුවිශේෂී පෞරුෂයක් ඇත. හා සමානව, ඔවුන් සියල්ලන්ම ඔවුන්ගේ මව්බිමේ ජනතාවගෙන් ප්‍රතික්‍ෂ්ප වූ චරිත වුවද බාහිර ලෝකයේ විශාල අනුගාමිකයන් ඇත. කැස්ත්‍රෝගේ රසිකයන්ගෙන් බහුතරයක් ආසියානු දුප්පත් රටවල මුඩුක්කු වල සිටින අතර හිට්ලර් රසිකයන් සිටින්නේ කොහේදැයි ඔබ දන්නවා ඇත.

3. සියළුම නායකයින් පාහේ කාබනික හෝ සාමාන්‍ය කෘෂිකර්මාන්තය මිලිටරි තේමාවන්ගෙන් ඉදිරිපත් කරයි. සියල්ලම යුද්ධය හෝ සංග්‍රාමය යන වදන් වලින් අවසන් වේ. මෙය ලංකාවේද ඇති දරුණු ව්‍යාධියකි. කෘෂිකර්මාන්තය ලෝකයේ වඩාත්ම අහිංසක කර්මාන්තය වන අතර ලෝකයේ අහිංසකම ජන කොටස ගොවියන්ය. යුද්ධය කෘෂිකර්මාන්තයට අපරාධයකි, යුද්ධය cති තැන කෘෂිකර්මය නැත. අනෙක් අතට, යුද මනසින් ජීවත්වන පුද්ගලයන්ට කෘෂිකර්මාන්තය කළ නොහැකිය. කාල් සාගන් කි පරිදි, වෛද්‍ය විද්‍යාවේ හා කෘෂිකර්මාන්තයේ දියුණුව ඉතිහාසයේ සියලු යුද්ධවලින් අහිමි වූවාට වඩා බොහෝ ජීවිත බේරාගෙන ඇත

4. එසේම මේ නායකයන් සියලු දෙනා ලෝක කාබනික අපනයන වෙළඳපොළේ ප්‍රමුඛයෙකු වීමේ ප්‍රාතිහාර්ය අරමුණු සහිතව කාබනික කෘෂිකාර්මය හදුන්වා දුන් අතර අපනයනය කෙසේ වෙතත් ශුද්ධ ආහාර ආනයනකරුවෙකු ලෙස අවසන් ක්‍රියාවලිය අවසන් විය.

5. මේ සියළුම වැඩසටහන් අවසන් වන්නේ මිනිස් ඉතිහාසයේ සිදු වූ අතිශය දරුණු සිදුවීම් වලින් මිලියන ගණනකගේ ජීවිත අහිමි වීමෙනි.

මෙම ලිවීම අවසන් කිරීමට පෙර, ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා අසල්වැසි භූතානය කාබනික වගා සුරපුරයක් වී ඇතැයි සිතා සිටින නිසා ගැන කෙටියෙන් සදහන් කිරීම වැදගත් ලෙස සැලකුවෙමි. මෙය බොහෝ විට ලංකාවේ කාබනික කෘෂිකර්මය ලෙස මායාවන් ප්‍රවර්ධනය කරන නාථ/ රාවණ නිකාය වල තවත් මායාවකි.

භූතානය යනු ලොව කුඩාම හා අවම වශයෙන් සංවර්ධිත භූමියෙන් වටවී ඇති දිලිදු රටකි. කෘෂිකර්මාන්තය හා වනාන්තර මත පදනම් එහි ජනතාවගෙන් 60% කට වඩා වැඩි පිරිසක් ජිවත් කරන්නේ එම ක්ෂේත්‍ර දෙක මතය. කෘෂිකර්මාන්තය බොහෝ දුරට යැපීම් ගොවිතැනෙන් සමන්විත වන අතර තාක්‍ෂණය අවම වශයෙන් භාවිතා කරයි. රසායනික පොහොර, නව ප්‍රබේධ හෝ අවම තරමින් කෘෂි ඵලදාවක මුලික ප්‍රමිතිය ගැන අදහසක් ඔවුනට නැත. මෙවැනි රටවල් බොහෝ ප්‍රමාණයක් හෙවත්, තාක්‍ෂණය​ සහ රසායනික පොහොර ලබා ගැනීමට වත්කමක් නැති ජනතාවක් සිටින රටවල්  රාශියක් අප්‍රිකාවේ ඇත. සාක්ෂරතා අනුපාතය 42.2% වන ද්විතීයික හෝ තෘතීයික අධ්‍යාපනය කියා දෙයක් දන්නා නැති ඉතා අහිංසක ජනතාවක් සිටින දුටු භූතානයෙන් ලංකාවට කුමන ආදර්ශයක් ලෙස ලබා ගත හැකිද? එමෙන්ම, භූතානය කාබනික වගාක්‍රමයට ගොසින් සිදුවූ ආර්ථික හානිය ගැන ඉතා සවිස්තරව ජර්මනියේ හුම්බෝල්ට් සරසවියේ කරන ලද ආචාර්ය උපාධි පර්යේෂණයක් මනාව පෙන්වා දී ඇත8. නිසා මේ ගැන තව දුරටත් කතා කිරීමෙන් ඵලක් නැත.

මේ අනුව, අවසාන වශයෙන්, අපි අවධාරණය කරන්නේ, විද්‍යාඥයින්ගේ දැඩි මග පෙන්වීම යටතේ සවිස්තරාත්මක තාක්ෂණික අධ්‍යයනයක් නොකර, රටක ප්‍රතිපත්ති වෙනස් කිරීම දැවැන්ත ව්‍යසනයන්ගෙන් අවසන් වන බවයි. රට සහ එහි ප්‍රතිපත්ති මෙහෙයවිය යුත්තේ නිසි විද්‍යාත්මක මූලධර්මවලින් පමණක් වන අතර මිථ්‍යාවන් හා මතවාද මත විශ්වාසය තැබීමෙන් අදුරු වන්නේ එම රටේ ජනතාවගේ අනාගතය බව ඉහත සිදුවීම් වලින් තහවුරු වන බවයි.

ලෝක ආහාර සංවිධානයේ වාර්තා අනුව, COVID-19 වසංගතය සංචාරක කර්මාන්තයට සහ විදේශ සෘජු ආයෝජන සදහා දැඩි ලෙස බලපා ඇත. මේ සමග රැකියා අහිමිවීම් සහ ආදායම් ඉපැයීමේ අවස්ථාවන්ට බාධාවන් ලංකාවේ ආහාර හා පෝෂණ සුරක්‍ෂිතතාවයට ඉතා බරපතල ලෙස අභියෝග කර ඇත. මෙවැනි අවස්ථාවකදී, කල යුත්තේ, ඉතා ලාභදායි සහ ලබාගත හැකි ඉහලම තාක්ෂනය භාවිත කරමින්, ගොවින් හට හැකි හැම බිම් අගලකම වගා කිරීමට පහසුකම් සැපයීමයි. එසේ නොමැතිව, යෙදවුම් වෙළදපොල අනිසි ආකාරයෙන් රජය තම ග්‍රහණයට ගැනීම, අතිශය භයානක ප්‍රතිඵල උදාකරන්නක් වනු ඇත.

* මෙම ලේඛකයා ශ්‍රී ලංකාවේ සහ විදේශ ප්‍රතිපත්ති සම්පාදන ආයතනවල පුළුල් පරාසයක සේවා පළපුරුද්දක් ඇති කෘෂිකාර්මික ආර්ථික විද්‍යාව පිළිබඳ පර්යේෂකයෙකි.


1. JOHNSON-WÜNSCHER, L. RECONCILING THE RACISM OF RUDOLF STEINER. https://trinkmag.com/articles/opinion-reconciling-the-racism-of-rudolf-steiner.

2. DeGregori, T. R. Origins of the organic agriculture debate. (John Wiley & Sons, 2008).

3. Pavlinovic, S. Market failures of organic agriculture and information asymmetry. (2017). doi:10.18638/quaesti.2017.5.1.353.

4. Meemken, E.-M. & Qaim, M. Organic agriculture, food security, and the environment. Annu. Rev. Resour. Econ. 10, 39–63 (2018).

5. Staudenmaier, P. Race and redemption: Racial and ethnic evolution in Rudolf Steiner’s Anthroposophy. Nov. Relig. 11, 4–36 (2008).

6. Mazumdar, P. M. H. Blood and soil: The serology of the Aryan racial state. Bull. Hist. Med. 64, 187–219 (1990).

7. Treitel, C. Nature and the Nazi diet. Food Foodways 17, 139–158 (2009).

8. Feuerbacher A, Luckmann J, Boysen O, Zikeli S, G. H. Is Bhutan destined for 100% organic? Assessing the economy-wide effects of a large-scale conversion policy. PloS one 13.6 e0199025. (2018).

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.