ප‍්‍රතිපත්ති විරහිත දේශපාලඥයන්ගේ අත්අඩංගුවෙන් ගැහැටට පත්ව සිටින නිලධාරී තන්ත‍්‍රය නිදහස් කර ගැනීම අරමුණු කරගත් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය, දේශපාලනික හාම්පුතුන් කට වචනයෙන් දෙන කිසි නියෝගයක් රාජ්‍ය නිලධාරීන් නොපිළිගත යුතු බවට තීන්දු කොට තිබේ. ‘‘රැුවටිලිකාරී දේශපාලඥයන් විසින් අවංක සිවිල් නිලධාරීන්ව හිතුමතේ මාරු කිරීම අවසන් කිරීමට ලෝකයේ විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටේ උත්තරීතර අධිකරණය උත්සාහ කරන බව’’ අපේ නවදිල්ලි විශේෂ වාර්තාකරු, එරට දේශපාලන විචාරකයන් උද්ධෘත කොට දක්වමින් සඳහන් කරයි. ඒ සඳහා අපේ ප‍්‍රණාමය !
ඉහළ පෙළේ හිටපු රාජ්‍ය නිලධාරීන් 83 දෙනෙකු විසින් පවරන ලද නඩුවක් විභාග කළ ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දුව දී තිබේ. එම නඩුව පැවරූ නිලධාරීන් අතර, කැබිනට් ලේකම්වරුන්, ඇමරිකාවේ සේවය කළ තානාපතිවරුන් සහ මැතිවරණ කොමසාරිස්වරුන් වශයෙන් වන රාජ්‍ය නිලධාරී තන්ත‍්‍රයේ ඉහළ පෙළේ තනතුරුවල සිටි නිලධාරීහූ වෙත්. රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් මෙම ක‍්‍රියාමාර්ගය ගැනීම ගැන එම හිටපු නිලධාරීන් ප‍්‍රශංසාවට ලක්විය යුතුය.
එම ඉන්දියානු නිලධාරීන්ගේ ආදර්ශය, රාජ්‍ය සේවය පාලක පංතියේ අතකොලූවක් බවට පත්ව ඇති මේ රටේ ද ඉහළින්ම අනුකරණය කළ යුත්තකි. අපේ රටේ රාජ්‍ය නිලධාරීහූ ඔවුන්ගේ දේශපාලන හාම්පුතුන්ගේ පා දොවති. සමහරු, දේශපාලඥයන්ගේ සෙරප්පු පවා ලෙවකති. එහෙත් ප‍්‍රශ්නය වන්නේ, ලංකාවේ විශ‍්‍රාමික රාජ්‍ය නිලධාරීන් අවශ්‍ය ප‍්‍රමාණයෙන් මෙවැනි සද්කාර්යයකට සොයා ගැනීමයි.
රාජ්‍ය සේවයේ පරිහානියට දේශපාලන ඇඟිලි ගැසීම් හේතු වී ඇති බව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ නිරීක්ෂණයයි. ප‍්‍රශ්නය ඇති තැනට ඇඟිල්ල දිගු කිරීමෙන් නොනවතින එම ශ්‍රේෂ්ඨාධිකරණය, ඊට පිළියම් ද ඉදිරිපත් කිරීම වැදගත් ය. නිලධාරීන් කටයුතු කළ යුත්තේ ලිඛිත නියෝග මත පමණක් බව අධිකරණය පෙන්වා දී තිබේ. එම ප‍්‍රතිපත්තිය හැබවින්ම භාවිතයට යෙදුණහොත්, බළලූන් ලවා කොස් ඇට බෑවීමට හුරු වී සිටින කිසි දේශපාලඥයෙකු නීති විරෝධී නියෝග ලිඛිතව දීමට තරම් නිර්භය වෙති යි සිතිය නොහැකි නිසා, රාජ්‍ය සේවයට ඔවුන්ගේ දඩුඅඩුවෙන් ගැලවීමට හැකි වනු ඇත.
දේශපාලඥයන්ගේ වාචික නියෝග මත කටයුතු කිරීම ප‍්‍රතික්ෂේප කිරීමට තරම් කොන්දක් ඇති රාජ්‍ය නිලධාරීන් මේ රටේ ද සිටි කාලයක් තිබුණි. ලිඛිත නියෝග පවා, නීතිරීති සහ රෙගුලාසිවලට නොගැළපෙන්නේ නම්, ප‍්‍රතික්ෂේප කළ රාජ්‍ය නිලධාරීහු ද සිටියහ. කිසිවෙකුට බය නොවූ එවැනි රාජ්‍ය නිලධාරීන් සමග හැප්පෙන්නට එදා දේශපාලඥයන් ගියේ නැත. එහෙත්, පසු කාලයක බලයට පත් විවිධ ආණ්ඩු, ක‍්‍රම ක‍්‍රමයෙන් එම රාජ්‍ය සේවය හීලෑ කොට, අද වන විට එය දේශපාලනික පන්දම්කාරයන්ගෙන් පුරවා තිබේ.
මීට පෙර තවත් අවස්ථාවක, ඉන්දියානු අධිකරණය එරටේ දේශපාලඥයන් සහ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳවත් තීන්දු දුන්නේය. තුවක්කු රැුගත් ආරක්ෂ භටයන් පිරිවරාගෙන කරක් ගසන දේශපාලඥයන්ව විවේචනය කරමින් එදා (2007) දිල්ලි මහාධිකරණය, සාමාන්‍ය ජනයා ගැහැටට පත්කරමින් දේශපාලඥයන් එසේ හැසිරීම, ‘සමාජ තත්වය’ විදහා පෑමක් බවට ඔවුන් විසින් පත්කරගෙන ඇතැ යි කීවේය. පුරවැසියන්ගෙන් තමන්ට තර්ජනයක් ඇතැ යි යමෙකු සිතන්නේ නම්, ගෙවල්වලට හෝ කාර්යාලවලට වී සිටීම යෙහෙකැ යි එදා මහාධිකරණය දේශපාලඥයන්ට පෙන්වා දුනි. එම පාඩම අපේ අසිරිමත් මෙසිරිලකේ ආරක්ෂක භටයන් පිරිවරාගෙන යනෙන දේශපාලඥයන්ට ද කියා දිය යුතු කාලයයි, මේ. වැඩියත්ම, ත‍්‍රස්තවාදය අහවර කර ඇතැ යි ඔවුන්ම පුන පුනා කියන නිසා, එම පාඩම තවත් අපට අදාළ වන්නේය.
නිලධාරී තන්ත‍්‍රයේ කාර්යසාධනය සඳහා ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා වැදගත් ප‍්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කොට ඇත. ඒ අනුව, නිලධාරීන් පත්කිරීම, මාරු කිරීම හා නිලධාරීන්ට එරෙහි විනය ක‍්‍රියාමාර්ග ගැනීම විධිමත් කිරීම ආදී කටයුතු සඳහා පාර්ලිමේන්තුව නීති පැනවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙයි. ඒ නැණවත් උවදෙස් පිළිපදිනු ඇතැ යි අපේක්ෂා කෙරේ.
අවාසනාවට, ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ තීන්දුව, අපේ රටේ තත්වයට ඉඳුරා වෙනස් ය. රාජ්‍ය සේවය, පොලීසිය, අධිකරණය සහ මැතිවරණ දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා වන විධිමත් යාන්ත‍්‍රණයක ආසන්නයට වර්ධනය කෙරුණු 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය, පුදුමයකට මෙන් එම අධිකරණයේම සහයෝගයෙන් ගෙනා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මාර්ගයෙන් කටුගා දැමුණි. අධිකාරීවාදය වෙතට වැටී ඇති මාර්ගය අවුරන්නට තිබූ එකම බාධකයත් එයින් ඉවත් කෙරුණි. දැන් රටේ දේශපාලන අධිකාරිය, හිතුමතේ කටයුතු කිරීමට පාර කපාගෙන ඇත.
ඉන්දියානු විනිසුරන් දිගු කල් වැජඹේවා !
*2013 ඔක්තෝබර් 31 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ A Welcome Judgment නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’