8 October, 2024

Blog

‘දිවි නැගුම’ කෙටුම්පත සංශෝධනය කරන්න, උතුරට එය බලහත්කාරයෙන් නොපටවන්න

ජයම්පතී වික‍්‍රමරත්න – ෆ‍්‍රයිඬේ ෆෝරම්

ආචාර්ය ජයම්පතී වික‍්‍රමරත්න

දැන් පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති ‘දිවි නැගුම’ කෙටුම්පත මගින් දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට නියමිතයි. දිළිඳු භාවය පිටුදැකීම කළමනාකරණය කිරීම එහි මූලික අරමුණයි. මේ කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කෙරුණු අතර, පළාත් සභා ලැයිස්තුවට අයත් විෂයයන් යටතට ගැනෙන වගන්ති 15 ක් මේ කෙටුම්පතේ ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කෙළේය. පළාත් සභා ලැයිස්තුවට අයත් ඕනෑම කරුණක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට පෙර, ඒ පිළිබඳව සෑම පළාත් සභාවකින්ම අදහස් විමසිය යුතු බව, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 (ජී* වගන්තියෙන් දැක්වේ. එවැනි අදහස් විමැසීමක් සඳහා ‘දිවි නැගුම’ කෙටුම්පත පළාත් සභා වෙත යොමුකොට තිබුණේ නැත. එබැවින්, එවැනි අදහස් විමසීමකින් තොරව එම කෙටුම්පත නීතියක් බවට පත් නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කෙළේය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 (ජී* වගන්තිය ප‍්‍රකාරව මේ කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කොට ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 (ජී* වගන්තිය ප‍්‍රකාරව නොවන නිසා, කෙටුම්පත අභියෝගයට ලක්කෙරුණු වෙනත් අවශේෂ කාරණා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයකට පැමිණියේ නැත.

ඉන් පසු කෙටුම්පත ඉල්ලා අස්කර ගැනුණි. අනතුරුව, දැනට ස්ථාපිතව ඇති පළාත් සභා අටටත්, උතුරු පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා වෙතටත්, අදහස් විමසා කෙටුම්පත ඉදිරිපත් කෙරුණි. දැනට ස්ථාපිතව ඇති සියලූ පළාත් සභා මේ කෙටුම්පත අනුමත කිරීමට එකඟත්වය පෑවේය. උතුරු පළාත් සභාව තවම ස්ථාපිත කොට නැති තත්ත්වය තුළ, එහි ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය ඒ සඳහා ප‍්‍රකාශ විණැ යි කියැවිණි. ඉන් පසු නැවතත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළ අතර එය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්වුණි. සියලූ පළාත් සභාවලට කෙටුම්පත යොමු කොට නැති තත්ත්වය තුළ පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට එය ඇතුළත් කළ නොහැකි බවට මතු කළ විරෝධය සළකා බලමින්, ‘සෑම පළාත් සභාවක්ම’ යන්න, ස්ථාපිත කොට පැවැත්වෙන සෑම පළාත් සභාවක්ම යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනය කෙළේය. එම තීන්දුව අනුව, අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළ හැකිව තිබුණි.
‘දිවි නැගුම’: බලය බෙදාහැරීම සම්බන්ධයෙන් වන ගැටළු

‘දිවි නැගුම’ කෙටුම්පත නීතියක් බවට පත්වුණොත්, පළාත් සභා සතු බොහෝ කාර්යයන් දිවි නැගුම දෙපාර්තමේන්තුව යටතට පැවරෙනු ඇත. පළාත් සභා ලැයිස්තුවට අයත් කාර්යයන් සහ මේ කෙටුම්පතේ කාර්යයන් අතර සහසම්බන්ධයක් ඇතැ යි ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කළ කරුණු අතර මේවා ප‍්‍රධාන වෙයි: පළාත්බද ආර්ථික සැලසුම් ක‍්‍රියාත්මක කිරීම, ග‍්‍රාමීය සංවර්ධනය, ආහාර සම්පාදනය සහ බෙදාහැරීම, ගොඩනැගීම් කටයුතු, පළාතක ඇති මහාමාර්ග, පාලම් සහ පාලම් පාරු, අසරණ මිනිසුන් සහ පවුල් පුනරුත්ථාපනය කිරීම, කායික, මානසික සහ සමාජයීය වශයෙන් අගතියට පත් අයවළුන්ගේ සුභසිද්ධිය සහ පුනරුත්ථාපනය, සංස්ථාගත නොකළ සමිති සමාගම් නියාමනය කිරීම, කාර්මික, කෘෂිකාර්මික, වාණිජ සහ වෙළඳ ව්‍යාපාර සහ ආදායම් උපයන වෙනත් ව්‍යාපෘතීන් පිහිටුවීම සහ ප‍්‍රවර්ධනය කිරීම, රැුකියා විරහිත සහ ආබාධිත අයවළුන් සඳහා සහන සැලසීම, වෙළඳපොළවල්, සමූපකාර සමිති සහ කෘෂිකර්මය.. මේ කරුණු සැළකිල්ලට ගත් විට, දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව, මධ්‍යම ආණ්ඩුවේ වෙනත් දෙපාර්තමේන්තු පමණක් නොව, පළාත් සභාවන් ද යටපත් කෙරෙමින් පිහිටුවන සුපිරි දෙපාර්තමේන්තුවක් වන්නේය.

දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන් සහ සමාජ සමානාත්මතාව සහතික කිරීම මධ්‍යම ආණ්ඩුවේ භාරයට ගත හැකි වෙතත්, එය පළාත් සභාවන්හි කෘත්‍යය සාධනය යටපත් නොකෙරන පරිදි ක‍්‍රියාවට නැංවීම වැදගත් වන්නේය. ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තේ, මෙවැනි ජාතික වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමේ කොටස්කරුවන් බවට පළාත් සභා පත්කර ගැනීම යි. මේ නිසා, පළාත් සභා යටතට ගැනෙන කටයුතු දිවි නැගුම දෙපාර්තමේන්තුවට බද්ධ කරගන්නා ඕනෑම විටෙක එම කාර්යයන් පළාත් සභාව මගින් මිස දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක‍්‍රියාත්මක නොකිරීම සහතික කෙරෙන පරිදි අවශ්‍ය වන සංශෝධන මේ කෙටුම්පතට ඇතුළත් කරන සේ අපි ඉල්ලා සිටිමු. සත්තකින්ම, එවැනි වැඩසටහන් සම්බන්ධීකරණය මේ නව දෙපාර්තමේන්තුව මගින් කළ හැකිය.

කෙටුම්පතට අනුව, දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ප‍්‍රජා මට්ටමෙන්, ප‍්‍රාදේශීය සහ දිස්ත‍්‍රික් මට්ටමෙන් දිවි නැගුම සමිති පිහිටුවීමට ද අදහස් කෙරේ. එවැනි සමිතිවල බලතල සහ අරමුණු, බොහෝ විට, පළාත් සභා ලැයිස්තුවේ කාරණාවන්ට සම්බන්ධ ය. ඒ නිසා, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ පළාත් සභාවන්ට පැවරී ඇති කාර්යයන් ඒවායින් අහිමි නොකෙරෙන සේ මේ කෙටුම්පත සංශෝධනය කරන්නැ යි අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.

දිවි නැගුම සංවර්ධන වැඩසටහන් කළමනාකරණය සහ ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවට සහාය වනු වස්, එකොළොස් දෙනෙකුගෙන් සමන්විත දිවි නැගුම ජාතික මණ්ඩලයක් ද පිහිටුවනු ලැබේ. මේ මණ්ඩලය තුළ පළාත් සභාවේ නියෝජනයක් නැත. පළාත් සභාවේ මහඇමතිවරයාගේ නියෝජිතයන් හතර දෙනෙකු ද ඇතුලත් කරගන්නා සේ මේ මණ්ඩලය පුළුල් විය යුතු බව අපි කියා සිටිමු.

කෙටුම්පතේ ඇතැම් නියමයන් අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවටත්, එබැවින් ඒවා සංශෝධනය කළ යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට තිබේ. පාර්ලිමේන්තුවේ තමන්ට හිමි තුනෙන් දෙකේ ඡුන්ද බලයෙන් මෙය සම්මත කරගන්නවා වෙනුවට, ශ්‍රේෂ්ඨාධිකරණයේ එම නියෝගය පරිදි අදාළ සංශෝධන ඇති කරගන්නා ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.
උතුරු පළාත මත ‘දිවි නැගුම’ පැටවීම

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 ජී (3* අනුව, පළාත් සභා ලැයිස්තුවට අයත් කාරණයකට අදාළ පාර්ලිමේන්තු පනතක් සම්මත කරගන්නා අවස්ථාවක, ඒ සඳහා සෑම පළාත් සභාවකම අනුමැතිය ඇත්නම්, එම පනත පාර්ලිමේන්තුවේ සාමාන්‍ය වැඩි ඡුන්දයකින් සම්මත කරගත හැකිය. එහෙත්, යම් පනතකට එක් පළාත් සභාවක් හෝ ඊට වැඩි ගණනක් විරුද්ධ වෙයි නම් සහ එවැනි පනතක් පළාත් සභා නවයටම බලපාන නීතියක් වීමට නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡුන්දයකින් එය සම්මත විය යුත්තේය. එක පළාත් සභාවක හෝ විරෝධයක් ඇති විටක අදාළ පනත සම්මත කරගන්නේ සාමාන්‍ය වැඩි ඡුන්දයකින් නම්, එය නීතියක් වශයෙන් බලපවත්වන්නේ, ඊට එකඟත්වය පළකළ පළාත් සභා අරභයා පමණි.

මේ පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා උතුරු පළාත් සභාව වෙනුවෙන් එම පළාතේ ආණ්ඩුකාරවරයාට අනුමැතිය පළ කළ හැකි ද යන්න, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මතු වූ වැදගත් ප‍්‍රශ්නයකි. එහි දී අධිකරණයේ අදහස වුණේ, ආණ්ඩුකාරවරයාගේ මතය උතුරු පළාත් සභාවේ මතය වශයෙන් සැළකිය නොහැකි බවයි. එබැවින්, අදාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡුන්දයෙන් සම්මත විය යුතුය. මේ නිගමනයෙන් අදහස් වන්නේ, පනත තුනෙන් දෙකක වැඩි ඡුන්දයකින් සම්මත නොවුණොත්, එය උතුරු පළාත් සභාවට බලපාන නීතියක් නොවන බවයි.

පළාත් සභා මැතිවරණ පනතේ 10 වැනි වගන්තිය යටතේ, පළාත් සභාවක් විසුරුවා හැරීමෙන් සතියක කාලයක් තුළ, මැතිවරණ කොමසාරිස්වරයා නාමයෝජනා කැඳවිය යුතුය. කෙසේ වෙතත්, පළාත් සභාවක් පළමු වරට පත්කර ගන්නා අවස්ථාවක, මැතිවරණ කොමසාරිස්වරයාට නාමයෝජනා කැඳවිය හැක්කේ, ඒ ආශ‍්‍රයෙන් ජනාධිපතිවරයාගෙන් නිර්දේශයක් ලැබුණු පසුව පමණි. ඒ අනුව, උතුරු පළාත් සභාව ස්ථාපිත කොට නැත්තේ, පළාත් සභා ඡුන්දයක් කැඳවන ලෙස ජනාධිපතිවරයාගේ නිර්දේශයක් නොතිබුණු නිසා ය. උතුරු පළාත සඳහා වන මේ ප‍්‍රථම මැතිවරණය 2013 සැප්තැම්බර් මාසයේ පවත්වන බව ජනාධිපතිවරයා කිහිප වතාවකදීම පවසා තිබේ.

ශ‍්‍රී ලංකාවේ වාර්ගික අර්බුදයේ හේතුකාරකයන්ට ආමන්ත‍්‍රණය කිරීම සඳහා දේශපාලන විසඳුමක් නැතිවම බැරි බවත්, මීටත් වඩා බලතල බෙදාහැරිය යුතු බවත්, ආණ්ඩුවෙන් පත්කළ ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිෂන්’ සභා වාර්තාවෙන් පෙන්වා දී ඇති තත්ත්වය තුළ, උතුරු පළාත් සභාවට මැතිවරණ පැවැත්වීමේ ඇති වැදගත්කම අමුතුවෙන් අවධාරණය කිරීම අනවශ්‍යයි. බෙදුම්වාදී යුද්ධය 2009 මැයි මාසයේ අවසන් වීමෙන් පසු, උතුරු පළාතේ ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ සහ පලාත්පාලන මැතිවරණ පවත්වා ඇතත්, පළාත් සභා මැතිවරණයක් පවත්වා නැත.

ඒ පසුබිම යටතේ, ‘දිවි නැගුම’ පනත තුනෙන් දෙකක වැඩි ඡුන්දයෙන් සම්මත කරගෙන උතුරට බලහත්කාරයෙන් නොපටවන ලෙස අපි පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිමු. පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා නිර්දේශ නොකිරීමේ හේතුව නිසාම තමන්ගේ පළාත් සභාව හරහා මේ පනත් කෙටුම්පත පිළිබඳ අදහස් දැක්වීමට උතුරේ ජනතාවට නොහැකි වී තිබියදී, ඔවුන් මත මේ පනත පැටවීම, බලය බෙදාහැරීමේ මූලික හරයටම පටහැනි වන්නේය.

වාර්ගික අර්බුදය සඳහා දේශපාලන විසඳුමක් කෙරෙහි විශ්වාසය තබන සහ බලය බෙදාහැරීම තවත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, දිවි නැගුම පනත උතුරු පළාත් සභාව සහ එම ජනතාව මත පටවනු ලබන තුනෙන් දෙකේ බහුතරයේ කොටස්කරුවන් නොවන්නැ යි එම පක්ෂවලින් සහ මන්ත‍්‍රීවරුන්ගෙන් අපි ඉල්ලා සිටිමු. මේ පනත පිළිබඳ අදහස් ප‍්‍රකාශ කිරීමට රටේ වෙනත් පළාත් සභාවලට දෙන ලද අවස්ථාව, උතුරු පළාත් සභාව පිහිටුවීමෙන් පසු එම පළාතට සහ පළාත් සභාවටත් දුන් පසු, මේ නව නීතිය එකී පළාතටත් ව්‍යාප්ත වන සේ නීති සම්පාදනය කර ගැනීමේ හැකියාව ඇත්තේය.

පශ්චාත්=යුද කාලීන ශ‍්‍ර‍්‍රී ලංකාවේ, පළාත් සභා බලය කප්පාදු කිරීමට මධ්‍යම ආණ්ඩුව විවිධ ආකාරයෙන් පියවර ගෙන ඇත. පළාත් සභා ආඥාපනත ප‍්‍රකාරව ව්‍යාපාර පිරිවැටුම් බදු අයකර ගැනීමේ බලය පළාත් සභාවට ඇතත්, එසේ කිරීමෙන් ඔවුන්ව වැළැක්වීම සඳහා මධ්‍යම ආණ්ඩුවෙන් ඔවුන් වෙත ඇති කෙරෙන පීඩනය හොඳ උදාහරණයකි. වර්තමාන ස්වරූපයෙන් දිවි නැගුම පනත සම්මත කරගෙන එය උතුරු පළාත මත පැටවීමෙන් පළාත් සභා තවදුරටත් දුර්වල කෙරෙන අතර, ජාතික සංහිඳියාව වෙනුවෙන් ගන්නා පියවර කෙරෙහි ද එය නිෂේධාත්මකව බලපානු ඇත.

ජයන්ත ධනපාල සහ ආචාර්ය ජයම්පතී වික‍්‍රමරත්න

‘‘ෆ‍්‍රයිඬේ ෆෝරම්’’ සහ සැලකිලිමත් පුරවැසි එකතුව වෙනුවෙන්:
ජයන්ත ධනපාල, ආචාර්ය ජයම්පතී වික‍්‍රමරත්න, දුලිප් ඞී. චිකේරා පියතුමා, ෆයිස්=උර් රහාමාන්, මහාචාර්ය අර්ජුන අලූවිහාරේ, තිස්ස ජයතිලක, ලංකා නේසයියා, ආචාර්ය ජයසිරි පිීරිස් පියතුමා, ආචාර්ය දීපිකා උඩගම, අහිලන් කදිරගාමර්, ඈන් අබයසේකර, ආචාර්ය යූ. පෙතියාගොඩ, දමාරිස් වික‍්‍රමසේකර, සිතී තිරුචෙල්වම්, ශාන්ති ඩයස්, මහෙන් දයානන්ද, ආචාර්ය ඒ. සී. විශ්වලිංගම්, ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන්, ජාවිඞ් යූසුෆ්, දනේෂ් කාසිචෙට්ටි, මහාචාර්ය සාවිත‍්‍රී ගුණසේකර, මනෝරී මුත්තෙට්ටුවෙගම, සූරියා වික‍්‍රමසිංහ, ආචාර්ය දේවනේසන් නේසයියා, ජේ.සී. වැලිඅමුණ, ආචාර්ය කමීනා ගුණරත්න, චන්ද්‍රා ජයරත්න.
*2013 ජනවාරි 5 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙඞ් අඩවියේ පල කළ  Amend Divineguma Bill, Don’t Impose It On North

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.