23 April, 2024

Blog

ගෙවුණු දෙවසර තුළ ජාතික සංහිඳියාව තහවුරු වූවාද?

ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මහතා සිය ධූරයෙන් නික්ම යාමට පෙරාතුව, පසුගිය දෙසැම්බර් 22 දින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දුරකතන ඇමතුමක් දුන් බව මාධ්‍ය වාර්තා කොට තිබුණේය. ගෙවුණු දෙවසර තුළ, මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්‍වය යටතේ සමාජාර්ථික හා දේශපාලන ක්‍ෂේත‍්‍රයන්හි ශ්‍රී ලංකාව ලැබූ ප‍්‍රගතිය ඇගයීමට ලක්ව තිබෙනාතර, ජාතික සංහිඳියාව තහවුරු කිරීමට රජය ගෙන ඇති පියවර ප‍්‍රශංසනීය බව ද මහලේකම්වරයා අවධාරණය කොට ඇත්තේය. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ මෙම දුරකතන ඇමතුම පිළිබඳව අපේ සමහර ජනමාධ්‍ය එතරම් ප‍්‍රචාරයක් ලබා නොදුන්නද, වත්මන් ලාංකේය සමාජය තුළ සියලූ සමාජාර්ථික හා දේශපාලන ගැටළු අතුරින් ප‍්‍රමුඛස්ථානය ගන්නේත්, ප‍්‍රමුඛස්ථානය හිමිවිය යුත්තේත් ජාතික සංහිඳියා වැඩසටහනට බව බෑන් කී මූන් මහතාගේ ප‍්‍රකාශයෙන් යළිත් තහවුරු වන්නේය. විශේෂයෙන්, ජාතික සංහිඳියා ක‍්‍රියාදාමය රජයේ ඇතැම් බලවතුන්ගේ ප‍්‍රමුඛතා ලැයිස්තුවෙන් ගිලිහී යමින් පවතින්නේදැයි සැකයක් මතුව ඇති පසුබිමක් තුළ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප‍්‍රකාශය තවත් වැදගත් වන්නේය.

ගෙවුණු දෙවසර තුළ, ජාතික සංහිඳියාව තහවුරු කිරීම උදෙසා මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව ඵලදායී පියවර ගණනාවක් ම තැබූ බවට අපට නම් විවාදයක් නැත්තේය. උතුරු-නැගෙනහිර පාරම්පරික ඉඩම් ඒවායේ සැබෑ අයිතිකරුවන්ට යළි පැවරීමේ වැඩ පිළිවෙල ඉක්මන් කරලීම ඉන් මුල් තැනක් ගන්නේය. ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි එල්ටීටීඊ සැකකරුවන් පිරිසක් ඇප මත නිදහස් කිරීම හා ත‍්‍රස්තවාදයට සහාය දැක්වීම නිසා තහනම් කොට තිබුණු සංවිධාන කිහිපයක තහනම ඉවත් කිරීම ද ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමේ ක‍්‍රියාදාමය තුළ ගනු ලැබූ තවත් සාධනීය පියවර දෙකකි. මෙම ක‍්‍රියාමාර්ගවලට සමගාමීව, උතුරු-නැගෙනහිර පිහිටුවා ඇති හමුදා කඳවුරු අඩුකිරීමේ වැඩසටහන ද ක‍්‍රියාත්මක වෙමින් පවතින්නේය. උතුරු-නැගෙනහිර පමණක් නොව මුළු රටේ ම ආරක්‍ෂාවට තර්ජනයක් වන පරිද්දෙන් ත‍්‍රිවිධ හමුදාවල ශක්තිය දුර්වල නොකළ යුතු බවට කිසිදු විවාදයක් නැතත්, යුද්ධය නිමා වී වසර හයකට පසුවත් යුද සමයේ පිහිට වූ හමුදා කඳවුරු තවදුරටත් එයාකාරයෙන් ම පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බව ද පිළිගත යුතුය. තමන් දැන් ජීවත් වන්නේ යුද සමයක නොව සාමකාමී වාතාවරණයක් යටතේය යන හැඟීම උතුරේ මෙන්ම දකුණේ ජනතාවට ද ඇතිවීම සඳහා, සිවිල් ජීවිතයට කෙරෙන මිලිටරි මැදිහත්වීම් අවම කිරීම අනිවාර්යෙන් සිදුවිය යුතුය. උතුරේ හමුදා කඳවුරු ඉවත් කරනා ලෙසට විටින් විට උතුරෙන් ඉදිරිපත් කෙරෙන ඉල්ලීම්, හුදෙක් එල්ටීටීඊ ත‍්‍රස්තතවාදය යළි නැගිටීමට දරනා වෑයමකැයි පවසා නොසලකා හැරීම ජාතික සංහිඳියා ක‍්‍රියාදාමයට හානිකර වන්නේය. තිස් වසරක කුරිරු යුද්ධය නිම වී වසර හයකටත් වැඩි කාලයක් ගතව තිබියදීත්, මුළු සමාජය ම තවදුරටත් මිලිටරි මානසිකත්‍වයේ ගිල්වා තැබීමට උත්සාහ කිරීම ජාතික සංහිඳියා ක‍්‍රියාදාමයට අතිශය හානිකර වන්නේය. මීට අමතරව, උතුරු-නැගෙනහිරට පමණක් නොව පොදුවේ සියලූම ප‍්‍රාදේශීය පාලන ඒකකවලට බලය පැවරෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමෙහිලා වත්මන් රජය දරනා වෑයම ද අගය කළ යුතුය. දැනට කෙටුම්පත් කොට තිබෙන ව්‍යවස්ථාව හරහා රට දෙකඩ වනු ඇති බවට සමහර අන්තවාදීන් සිය සුපුරුදු අඬහැරය නැවත පටන් ගෙන ඇතත්, ජාතික සංහිඳියාව තහවුරු කිරීම උදෙසා ඒකීය රටක් තුළ උපරිම බල බෙදීමකට මං පාදන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පුන පුනා අවධාරණය කළයුතු නැත්තේය.

2015 ජනවාරි 8වැනි දින පැවති ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන් 6,217,162ක් තරම් වූ පිරිසක් එකහෙලා ඉල්ලා සිටියේ, දශක ගණනාවක් තිස්සේ බරපතල ලෙස සෝදාපාලූවට ලක්වූ ජාතික සංහිඳියාව යළි තහවුරු කරනා ලෙසයි. මුළු රටට ම පිලිලයක් වී තිබුණු දූෂණය හා මැර බලය තුරන් කිරීම, නීතියේ ආධිපත්‍යය යළි ස්ථාපිත කිරීම, දනින් වැටුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදය නඟාසිටුවීම වැනි කරුණු වලට අමතරව, ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීම ද 2015 ජනවාරි 8 වැනිදා මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන් ජනතාවගේ ප‍්‍රධාන අපේක්‍ෂාවක් වූයේය. උතුරු-නැගෙනහිර දමිල ජනතාව පමණක් නොව ලංකාව පුරා මුස්ලිම් ජනතාවගෙන් බහුතරයක් ද 2015 ජනවාරි 8 වැනිදා මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන්නේ එම අපේක්‍ෂාව ද පෙරදැරි කරගෙනය. මෙහිලා අද ඇතමුන්ට අමතක වී ඇති තවත් වැදගත් කරුණක් වන්නේ 13වැනි ව්‍යවස්ථා සංශෝධනයට වඩා පුළුල් වූ බලය බෙදීමකට, 2009 මැයි මාසයේදී යුද්ධය අවසන් වීමෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලෝකයා ඉදිරියේ ප‍්‍රසිද්ධියේ පොරොන්දු වූ බවයි. රාජ්‍ය නායකයෙකු විසින් ජාත්‍යන්තරය හමුවේ එවන් පොරොන්දුවක් ලබාදීම සැහැල්ලූවට ගත නොහැකි අතර, 13+ කෙසේ වෙතත් අඩුම තරමින් 13වැනි සංශෝධනය මගින් පළාත් සභාවලට හිමි වී ඇති බලතල හෝ යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු වන්නේය. එහිදී විවාදයට බඳුන් වී ඇති ඉඩම් හා පොලිස් බලතල සම්බන්ධයෙන් පළාත් සභාවලට හිතුමතේ හිතුවක්කාර තීරණ ගත නොහැකි වන පරිද්දෙන් යම් යම් සීමාවන් පැනවිය හැකිය.

මේ අතර, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය දෙසැම්බර් 5 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ ප‍්‍රකාශයකින් ද ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමේ ක‍්‍රියාදාමයට තවත් තල්ලුවක් ලැබුණේය. එනම්, එක්සත් ජාතික පක්‍ෂ පාලනයක් පැවති 1981 වසරේදී යාපනය පුස්තකාලය ගිනි තබා විනාශ කිරීම පිළිබඳව සමාව අයදින බවට අගමැතිතුමා කළ ප‍්‍රකාශය සංහිඳියාව අගයන කාගේත් සතුටට හේතු වූයේය. අගමැතිතුමා එසේ සමාව ගත්තේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙකු එම සිද්ධිය මතක් කොට එජාපයට චෝදනා නැගූ නිසා යැයි ඇතමෙකු තර්ක කළද, අතීතයේ සිදුවූ වරදකට අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රසිද්ධියේ සමාව ගැනීම සැබැවින් ම ප‍්‍රශංසනීය කටයුත්තක් වන්නේය. මේ හා සමාන සමාව අයැදීමක් මීට පෙර ද සිදුවූ අතර, ඒ 2004 ජූලි 23 දින එවකට ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසිනි. 1983 ජූලි මාසයේදී දමිල ජනතාවට එරෙහිව සිදුවූ ම්ලේච්ඡු ප‍්‍රහාරයන් වෙනුවෙන් 2004දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමාව අයැද සිටියාය.

ගෙවුණු දෙවසර තුළ, ජාතික සංහිඳියාව තහවුරු කිරීමේ ක‍්‍රියාදාමය වෙනුවෙන් රජයේ පාර්ශ්වයෙන් පමණක් නොව, මධ්‍යස්ථ මතධාරී දමිල දේශපාලනඥයන් වෙතින් ද යහපත් ප‍්‍රතිචාර ලැබුණු බව අමතක නොකළ යුතුය. මෛත‍්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීමෙන් පසුව පැවති පළමු නිදහස් දින සමරු උළෙලට ආර්. සම්බන්ධන් මහතාත් එම්.ඒ. සුමන්තිරන් මහතාත් සහභාගී වූ අතර, දමිල දේශපාලන නායකයන් එම නිදහස් උත්සවයට සහභාගී වූයේ වසර 43කට (1972න්) පසුව වීම සුවිශේෂී වන්නේය. එමෙන්ම, 2015 අගෝස්තුවේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව, පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධූරයට දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පත්වීම ද ජාතික සංහිඳියාව යළි ගොඩනැගීම සඳහා ගනු ලැබූ සුවිශේෂී පියවරක් වන්නේය. ඒ හරහා රටට මෙන්ම ජාත්‍යන්තරයට ද අතිශය ප‍්‍රබල පණිවුඩයක් ලැබුණු අතර, හුදෙක් දමිලයෙක් වූ පමණින් මේ රට තුළත් පාර්ලිමේන්තුවේත් කිසිදු වෙනස්කමක් සිදු නොවනා බව මේ හරහා යළිත් වූයේය. විපක්‍ෂ නායක ධූරයට පත්වීමෙන් පසුව මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වමින්, ආර්. සම්බන්ධන් මහතා මෙසේ පැවසුවේය: “අපි කිසිසේත්ම, කවදාවත්ම රට බෙදන්නට ඉඩ දෙන්නේ නෑ. රට බෙදනවාට අපි විරුද්ධයි. අඩුම තරමින් රට බෙදනවා කියලා අපි කතාකරන්නවත් ඕනෙ නෑ……….. විපක්‍ෂ නායකයා ලෙස මම කටයුතු කරන්නේ ජාතික අභිලාෂයන් ඉටුකර ගන්නා ආකාරයටයි. මුළු රටේ ම ජනතාවගේ අරමුණු ඉටුකර ගැනීමට අපි විපක්‍ෂය මෙහෙයවනවා. සිංහල විපක්‍ෂ නායකවරයෙක් කරන්නේ මොනවාද, මමත් රට වෙනුවෙන් ඒ සියල්ල ම ඉටුකරනවා.” අපගේ අදහස අනුව නම්, මේ සැබෑවට ම රටට ආදරය කරන, ජාතික සංහිඳියාව වෙනුවෙන් කැපවී සිටින කෘතහස්ත දේශපාලනඥයෙකුගේ ප‍්‍රකාශයක් ලෙස සැලකිය යුතු වන්නේය.

තමන්ට අවශ්‍ය ඒකීය රටක් තුළ උපරිම බලය බෙදීමක් විනා රට බෙදීමට නොවේ යැයි, ආර්. සම්බන්ධන් මහතා ඊට පසුව ද කිහිප වරක් ම අවධාරණය කළේය. එපමණක් නොව, අතීත සිදුවීම් දෙස ස්වයං විවේචනාත්මකව බැලීමට දෙමළ ජනතාව ද සූදානම් විය යුතු යැයි සම්බන්ධන් මහතා මෙන්ම සුමන්තිරන් මහතා ද කිහිප වරක් ම අවධාරණය කළහ. තවද, උතුරු පළාත තුළ අලූතින් බෞද්ධ ආගමික ස්ථාන ඉදිකිරීමට විරුද්ධව උතුරු පළාත් සභාව සම්මත කරන ලද්දේ යැයි කියන යෝජනාව සම්බන්ධයෙන් පළාත් සභා සභාපති සී.වී.කේ. සිවඥනම් මහතා පසුගියදා පැහැදිලි කිරීමක් කොට තිබුණේය. උතුරු පළාත් සභාව සම්මත කරගත් යෝජනාව වූයේ පෞද්ගලික ඉඩම්වල නීති විරෝධී ලෙස කෙරෙන ඉදිකිරීම්වලට විරුද්ධව විනා, පොදුවේ උතුරු පළාත තුළ බෞද්ධ ආගමික ස්ථාන ඉදිකිරීමට එරෙහිව නොවනා බව සිවඥනම් මහතා අවධාරණය කොට තිබුණේය. දැනට හමුදාව යටතේ හෝ වෙනත් රජයේ ආයතනයක් යටතේ පවතින එහෙත් සාමාන්‍ය දමිල ජනතාවට පාරම්පරික අයිතියක් ඇති ඉඩම්වල, ඔවුන්ගේ කැමැත්තක් හෝ අවසරයක් නොමැතිව කවර හෝ ඉදිකිරීමක් කිරීම අයුක්ති සහගත බව අමුතුවෙන් කිවයුතු නැත්තේය.

එහෙත්, ප‍්‍රශ්නය වී ඇත්තේ සම්බන්ධන්, සුමන්තිරන් වැනි මධ්‍යස්ථ මතධාරී දමිල දේශපාලනඥයන් විසින් කරනු ලබන මෙවන් සුබවාදී ප‍්‍රකාශවලට, ජාතික සංහිඳියාව තහවුරු කෙරෙන ප‍්‍රකාශවලට පුළුල් ප‍්‍රචාරයක් ලබාදීමට අපේ ජනමාධ්‍ය ඉදිරිපත් නොවීමයි. ජාතිවාදී හැඟීම් අවුස්සාලන, ජාතීන් අතර විරසකය වැඩි කෙරෙන අන්තවාදී කතාවලට පුළුල් ප‍්‍රචාරයක් ලබාදීමට සැදී පැහැදී සිටිනා අපේ සමහර ජනමාධ්‍ය, ජාතීන් අතර සමගිය-සුහදතාවය වර්ධනය කෙරෙන සිදුවීම්වලට, ප‍්‍රකාශවලට අවැසි ප‍්‍රචාරය ලබා නොදෙති. වෙනත් වචනවලින් කියතොත්, ජාතික සමගිය ගොඩනැගීම සඳහා වූ සිය වගකීම හා යුතුකම හරිහැටි ඉටුකිරීමට අපේ සමහර ජනමාධ්‍ය මැළිවීම කනගාටුදායකය.

මේ අනුව බලනා විට, ගෙවුණු දෙවසර තුළ, ජාතික සංහිඳියාව තහවුරු කිරීමෙහිලා රජයේ පාර්ශ්වයෙන් මෙන්ම දමිල දේශපාලන නායකයන්ගේ පැත්තෙන් ද සාධනීය පියවර ගණනාවක් ම ගනු ලැබිණි. එහෙත් ස්ථීරසාර ජාතික සමගියක් උදෙසා තව බොහෝ දුර යා යුතුය. මේ සඳහා පක්‍ෂ-විපක්‍ෂ දේශපාලනඥයන්ගේ කැපවීම මෙන්ම සිවිල් සමාජයේ පූර්ණ දායකත්‍වය ද අවශ්‍ය වන්නේය. තිස් වසරක කුරිරු යුද්ධයකින් ඇති පදමට බැටකා සිටින ලාංකේය ජනතාවට ජාතික සංහිඳියාවේ ඇති වටිනාකම අමුතුවෙන් පහදාදීම අවශ්‍ය නොවන්නේය. ඉහත කී පරිදි, ජාතික සංහිඳියාව ගොඩනැගීම, අද රට ඉදිරියේ ඇති සියලු සමාජාර්ථික හා දේශපාලන ගැටළු අතුරින් ප‍්‍රමුඛස්ථානය ගන්නේය.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    මේ යෝජනා කරන්නෙ ඔක්කොම පැත්තක දාල සහජීවනය කියල චන්ද බේරගන්න ආන්ඩුව නටන කෝලම ජනමාද්ය විසින් ප්‍රමෝට් කරන්න ඕනෙ කියලද? රටේ පැහැදිලි ජාතිවාදයක් යනව. මේ සහජීවනය නිකන් ටොපියක් විතරයි. කතා කියනව. මිනිස්සු ඒවා අහන්නෙ නෑ. කතෘතුමා යහපාලනේ සන්හිදියාව ඇතිකරන්න අපොහොසත්වීම යන හෙලුව වචනවලින් වහන්න දරන උත්සාහයක්දෝ කියල හිතෙනවා..

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.