26 April, 2024

Blog

ගරු ජනාධිපතිතුමනි, හමුදා නිල ඇඳුම්කාර හොරුන්ගේ නොව, රණ විරුවන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න

අරූන් කුමාරේසන්

අරූන් කුමාරේසන්

අරූන් කුමාරේසන්

සාපරාධී සිදුවීම් සම්බන්ධයෙන් පැවැත්වෙමින් තිබූ පරීක්ෂණවලට අභියෝග කරමින් මෑතකදී ජනාධිපතිවරයා කරන ලද ප‍්‍රකාශය අසා බොහෝ දෙනාගේ ඇස් උඩ ගියේය. දේශපාලනික සහ සිවිල් නායකත්වය විසින් දියත් කෙරුණු යහපාලන ව්‍යපාරයේ සංකේතීය නියෝජනයක් වීම හේතුවෙන්, ඔහු විසින් කරන ලද එම ප‍්‍රකාශය, ආණ්ඩු වෙනසට පාදක කර ගත් දැඩි ස්ථාවරයන් කණපිට හැරවීමක සේයාවක් ගත්තේය. ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙහි ලා අති විශාල සේවයක් ඉටු කළ රණවිරුවන් ආරක්ෂා කිරීමට අයිතියක් සේම වගකීමක් ද ජනාධිපතිවරයාට ඇති බව පිළිගන්නා අතරේම, එම අයිතිය වැරදිකරුවන්ව ආරක්ෂා කිරීමටත් අදාළ වන්නේද යන ප‍්‍රශ්නය පැනනගී.

ලංකාවේ ගැහැනු පිරිමි කවුරුත් සන්නද්ධ සේවාවන්ට බැඳෙන්නේ එය උසස් වෘත්තියක් වශයෙන් සළකමිනි. එම අදහස ඉතිහාසය දක්වා දිවෙයි. අතීතයේ රජ පවුල්වල සාමාජිකයන් පවා යුධ ශිල්පය ප‍්‍රගුණ කිරීම ඔවුන් කෙරෙහි පැනවුණු අනිවාර්ය අංගයක් විය. එදා සංග‍්‍රාමවලදී සටන් පෙරමුණු ඉදිරියෙන්ම යමින් නායකත්වය සැපයුවේ ඔවුන් ය. මේ සටන් ක‍්‍රියාකාරකම්වලට ඕනෑම සමාජයක විශේෂිත ස්ථානයක් හිමි වෙයි. රටක පිරිමින් සහ කාන්තාවන් යම් සන්නද්ධ සේවාවකට සම්බන්ධ වන විට ඒ ගැන ඔවුන් ආඩම්බර වන අතර රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමට ඔවුහූ කැපවෙති. එසේ කිරීමේදී තමන්ගේ අතපය මෙන්ම ජීවිතයත් අහිමි විය හැකි බව ඔවුහූ හොඳින් දනිති. ඒ අංශයේ වෘත්තිකයන් වන ඔවුන්, කිසිවෙකුගේ, විශේෂයෙන්, ස්වකීය ඡුන්ද ගරා ගැනීම සඳහා තමන්ව පාවිච්චි කිරීමට වලිකන දේශපාලඥයන්ගේ, අනුකම්පාවක් හෝ සහකම්පනයක් බලාපොරොත්තු වන්නේ නැත. එහෙත්, නිල ඇඳුම් හැඳ ගත් ස්වකීය නායකත්වයෙන් ඔවුන් අපේක්ෂා කරන එක දෙයක් තිබේ. එනම්, හැම විටකම තිබිය යුතු පූර්ණ අවංක භාවය සහ සුපිළිපන් භාවයයි.

ගරු ජනාධිපතිතුමනි, මේ ලිපිය ලියන මොහොතේ, මීට සති දෙකකට කලින් අත්අඩංගුවට ගැනුණු, ඉන්දියාවේ ගුවන් හමුදාපතිව සිටි ප‍්‍රධාන ගුවන් මාෂල් ත්‍යාගී රක්ෂිත බන්ධනාගාරයක කල් ගෙවයි. ඒ, අති උසස් ප‍්‍රභූ පංතික ගුවන් යානාවක් මිළදී ගැනීමේදී සිදු කළැ යි කියන දූෂණ ගනුදෙනුවක් සම්බන්ධයෙනි. ප‍්‍රධාන ගුවන් හමුදා මාෂල් ත්‍යාගී නීතිය ඉදිරියේ තවමත් අහිංසක බවට උපකල්පනය කෙරෙන අතර ඔහුගේ යම් සාපරාධීත්වයක් වෙතොත් කෙනෙකුට එය පිරිසිඳ දැකගත හැකි වන්නේ නිසි අධිකරණ ක‍්‍රියාවලියකින් පසුව පමණි.gotabaya

මේ ගුවන් හමුදාපතිවරයාට කීර්තිමත් ඉතිහාසයක් තිබේ. ගුවන් හමුදාපති ධුරයට පත්වීමට පෙර මොහු 1965 දී සහ 1971 දී ඇති වූ ඉන්දු-පාකිස්ථාන් යුද්ධයට සක‍්‍රීයව සහභාගී වී තිබේ. එසේ වතුදු, මේ සිද්ධියේදී අර ‘රණවිරු’ ලේබලය යටතේ සැඟවීමට ඔහුට පුළුවන් කමක් නොතිබුණි. සොල්දාදුවාගේ චිත්ත ධෛර්යය, නිල ඇඳුම් ලා ගත් මගෝඩියන් කිහිප දෙනෙකුගේ ක‍්‍රියාකලාපයෙන් කිළිටි නොකිරීමට තරම් ඉන්දියානු දේශපාලන නායකත්වය ශක්තිමත් ය. ජාතික ආරක්ෂාව පිළිබඳ වැදගත්කම අවබෝධ කරගෙන සිටින ඉන්දියානු නායකත්වය, රටේ හමුදා නායකත්වයේ ගෞරවනීය කල්ක‍්‍රියාවට සමීපව බැඳී පවතින සාමාන්‍ය සොල්දාදුවාගේ චිත්ත ධෛර්යය ආරක්ෂා කර ගැනීමට වෙහෙසෙයි.

ඔබ සේම ඔබේ පූර්වගාමීන් දෙන්නා ද (චන්ද්‍රිකා සහ මහින්ද)  බලයට ආවේ, හමුදාවේ පවතින දූෂණය සහ වංචාව තුරන් කරන බවට පොරොන්දු දෙමිනි. ඒ ගෞරවනීය ප‍්‍රතිඥාව සටන් බිමේ වෙඩි උණ්ඩයට මුහුණදෙන සාමාන්‍ය සෙබලා වෙත ප‍්‍රක්ෂේපණය කෙරුණි. කෙසේ වෙතත්, ඒ නායකයන් දෙන්නාම සටකපට හමුදා ප‍්‍රධානීන්ගේ එක් කුතර්කයකට යට විය. එනම්, දූෂණ පිළිබඳ කෙරෙන විමර්ෂණ නිසා හමුදාවේ පහළ සාමාජිකයාගේ චිත්ත ධෛර්ය බිඳ වැටේය යන්නයි. එය තනි යෙදුමකින් කිවහොත්, පට්ටපල් බොරුවකි. ඒ තර්කය වනාහී, ඇතැම් දේශපාලඥයන් සමග හමුදා ප‍්‍රධානීන් කරගෙන ගිය දූෂිත ක‍්‍රියාවන් එක දිගටම කරගෙන යාමට ඉදිරිපත් කරන ලද ව්‍යාජ අවසරයකි. ඞීල්කාරයෝ ඒ අතරේ උන්හ. නිල් පාට වේවා, කොළ පාට වේවා, ඕනෑම කඳවුරක් සමග පයුරුපාසනය සඳහා මේ ඞීල්කාරයන්ට ඇත්තේ අපූරු හැකියාවකි. එයින් මොන කඳවුර බලයේ සිටියත්, කොක්ක ගැසිය යුත්තේ කාටදැ යි ඔවුහූ දනිති. දැන් කොළ-නිල් දෙගොල්ලන්ම එකට සිටින නිසා එය කර ගැනීම තවත් පහසු ය.

අවාසනාවකට, චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇගේ මාමා වූ එවක ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයාගේ රහස් සේප්පුවේ තිබූ මුදල් කන්දරාව සොයා ගන්නා තෙක් මේ වංචාවේ තරම තේරුම් නොගත්තාය. මේ වනාහී, සාමාන්‍ය සෙබළා සටන් බිමේ මරණයට මුහුණදෙද්දී, හමුදා නායකත්වය ඇතැම් දේශපාලන බලධාරීන් සමග එක්ව ගෙන ගිය දූෂිත ක‍්‍රියා මාර්ගයෙන් මඩි තර කර ගත් සැටි කියාපෑ එක් උදාහරණයක් පමණි. ජනාධිපති මහින්ද රාජපක්ෂත්, පොරොන්දු වූ පරිදි, ඊට කලින් කාලයේ දූෂණ ක‍්‍රියා සොයා බැලීමට කොමිෂන් සභාවක් පත් කෙළේය. එංගලන්තයේ මාෂල් එරෝස්පේස් සමාගමෙන් සී.130 වර්ගයේ ගුවන් යානා තුනක් සඳහා ඇණැවුම් කොට, ගුවන් යානා තුනක මිලකට ගුවන් යානා දෙකක් පමණක් ලබා ගත් කුප‍්‍රකට ගනුදෙනුවක විස්තර ඒ මගින් හෙළිදරව් කර ගැනුණි. ඒ පරීක්ෂණයේ නිරීක්ෂණ සහ වෙනත් සොයා ගත් දේවල් ද ඇතුළත් වාර්තාවක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට භාර දුනි. එහෙත් එය හමස් පෙට්ටියට ගියා විනා මේ මකුළු දැල කඩා දැමීමට කිසි පියවරක් නොගැනුණි. පුදුමය වන්නේ, මේ කියන මාෂල් එරෝස්පේස් කියන සමාගමම ඔබේ යහපාලන ආණ්ඩුව යටතේ ද එවැනිම සී.130 ගුවන් යානා කිහිපයක් විකුණා ගැනීමේ අනාරාධිත ගනුදෙනුවකට ඉදිරිපත් වීමට තරම් සාහසික වී තිබීමයි.

ගරු ජනාධිපතිතුමනි, ‘ඇවන්ගාඞ්’ සමාගමට අදාළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු නාවුක හමුදාපතිවරුන් තුන් දෙනෙකු අධිකරණය ඉදිරියට පැමිණැවූ අවස්ථාවේ ඔබතුමා, අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරියට එරෙහිව චෝදනාවක් කෙළේය. එදා අධිකරණය ඉදිරියේ විභාග වූ ‘ඇවන්ගාඞ්’ සමාගමට එරෙහි එම චෝදනා, ඊට කලකට පෙර දේශපාලන වේදිකාවල ඉදිරිපත් කෙළේ ඔබ සහ ඔබේ සගයන්ම බවත් ඔබට මතක ඇති. එදා ඔබ ඉදිරිපත් කළ ඒ චෝදනා මොන තරම් ජනතාවට ඒත්තු ගියේද යත්, එයම මහින්ද රාජපක්ෂගේ පාලනය අවසානයක් කිරීමටත් හේතු විය.

අනිත් සිද්ධිය වන්නේ මිග් 27 යානා මිළදී ගැනීමේ ගනුදෙනුවයි. මෙවැනි සිද්ධි තවත් තිබිය හැකිය. ඔබේම කැබිනට් ප‍්‍රකාශකයා මෑතකදී කියා සිටි පරිදි, මේ මිග් යානා ගනුදෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක් ගසා කා තිබේ. එසේ තිබියදී, එවැනි මිනිසුන් ආරක්ෂා කරමින් ඔබතුමා මෑතකදී කී කතා ආශ‍්‍රයෙන් මතුවන ප‍්‍රශ්නය වන්නේ, චන්ද්‍රිකා සහ මහින්ද වැනි ජනාධිපතිවරුන්ට එදා දුන් ගුණ්ඩුවම ඔබටත් බස්සවා ඇත්ද යන්නයි. එනම්, ‘‘දූෂණ විමර්ශනයට ගියොත් හමුදාවේ චිත්ත ධෛර්යය පිරිහෙන්නේය’’ යන්නයි. සමහර විට ඔබ එය නොදැනුවත්ව කීවා විය හැකිය. නැත්නම් ඞීල්කාරයන්ගේ බහට නතු වී කීවා විය හැකිය.

කෙසේ වෙතත්, ඔබ සහ ඔබේ සගයන් දේශපාලන වේදිකා මත එල්ල කළ එම චෝදනා බොරුවක් නොවන්නේ නම්, එවැනි චිත්ත ධෛර්ය බිඳ වැටීමක් සිදු නොවන බව නොවලහා කිව යුතුය. මේ සම්බන්ධයෙන් ඉහත කී හිටපු ඉන්දියානු ගුවන් හමුදාපතිවරයාව අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සිහියේ තබා ගන්න. නිල ඇඳුම් ලා ගත් තක්කඩියන් සමාන කළ හැක්කේ ප‍්‍රභාකරන් වැනි ද්‍රෝහීන්ට පමණි. තමන්ගේ සාමාන්‍ය සගයන් ජීවිත පූජා කරද්දී මේ තක්කඩියන් කරන්නේ කළු සල්ලිවලින් තම මඩි තර කර ගැනීමයි. ගරු ජනාධිපතිතුමනි, හමුදා පදක්කම් ගහගෙන උසාවිවල පෙනී සිටින පුද්ගලයන්ට අනුකම්පා නොකරන්න. ඔවුන්ට අධිකරණයක් ඉදිරියේ තමන් නිදොස් බව ඔප්පු කිරීමට අවශ්‍ය තරම් මිල මුදල් ඕනෑ තරම් තිබේ. ඒ මුදල්, රජයේ සේවයෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසු, ‘ඇවන්ගාඞ්’ සමාගමේ පඩි ලබන සේවකයන් වශයෙන්, රජයට ලැබිය යුතු මුදල් අදාළ ඒජන්සිවලට හරවා ලැබීමෙන් උපයා ගත් මුදල් ය.

ගරු ජනාධිපතිතුමනි, හමුදා නිල ඇඳුම් ඇඟ ලා ගත් තක්කඩියන් හඳුනාගෙන ඔවුන්ට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කැරැුවීම ඔබ සතු පරම වගකීමයි. එවිට, එවැනි නිල ඇඳුම් ලා ගත් සියයට 99 කට අධික හමුදා සෙබළුන්ගේ ගෞරවය ආරක්ෂා කර දීම ගැන ඔබතුමාට ආඩම්බර විය හැකිය.

ඔබතුමාගේ සුජාත නියෝගයන් මත සටන් බිමට යාමට සූදානමින් සිටින සොල්දාදුවා කෙරෙහි වන ඔබතුමාගේ බැඳීම ප‍්‍රදර්ශනය කළ හැකි හොඳම මාර්ගය එයයි. රාජ්‍ය පක්ෂපාතීත්වය සහ වෘත්තීය හමුදාවකට අවශ්‍ය අඩිතාලම දැමිය හැක්කේ, හමුදාව තුළ පවතින දූෂණය මුලිනුපුටා දැමීමෙනි. එවැන්නක්, පසුගිය දශක තුනක කාලය තිස්සේ යුද්ධය මුවාවෙන් නීති විරෝධීව හරිහම්බ කර ගත් හමුදා නායකත්වයේ සිටි සහ සිටින අයටත් පැහැදිළි පණිවිඩයක් නිකුත් කෙරෙනු ඇත. තමන් ද අපරාධකරුවන් සහ තක්කඩින් වන බව තමන්ගේම අතීතාවර්ජනයෙන් අවබෝධ කර ගැනීමට ඔවුන්ට එවිට හැකි වනු ඇත. ‘ලංකා මාතාවගේ’ වීර ගැහැනු පිරිමි සෙබල සෙබලියන්ගේ අයෝමය ශ‍්‍රමය, අතපය සහ ජීවිතය කැප කළ වියදමින් මේ පරපුටුවන් ලබා ගත් අසාධාරණ සෞභාග්‍යයේ සාපය ගැන ඔවුන්ගේ ඉතිරි ජීවිත කාලය තුළ විඳින්නට ඔවුන්ට සිදුවේවා.

*2016 දෙසැම්බර් 27 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “Mr. President, Protect the Honour of War Heroes, Not the Fraudsters in Uniforms” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.