19 April, 2024

Blog

එෆ්සීඅයිඩියට බියවීම සහ යහපාලනය

ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

වංචා හා දූෂණ කළහොත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නැතහොත් එෆ්සීඅයිඩිය ඉදිරියේ පෙනී සිටීමට සිදුවේ යැයි බියක් හා ලැජ්ජාවක්, අමාත්‍යවරුන් ද ඇතුළුව දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් තුළ ඇතිවීම, රටට අවශ්‍යව තිබූ තත්ත්වයක් යැයි, “ශ්‍රී ලංකාවේ සංවර්ධන අභියෝග” යන මැයින් පසුගිය ජූලි 22 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති සමුළුවක් අමතමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කොට තිබුණේය. කෙසේ වුවද, ඇතැම් දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් තුළ එෆ්සීඅයිඞී භීතිකාවක් හටගෙන තිබීම අනවශ්‍ය තත්ත්වයක් බවත්, ඔවුන් එම අනිසි බිය තම සිත් තුළින් තුරන් කරගත යුතු බවත් ජනාධිපතිවරයා තවදුරටත් අවධාරණය කොට තිබුණේය.

2015 පෙබරවාරි 28 දින, එෆ්සීඅයිඩිය නැතහොත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ආරම්භ වූ දා සිට මේ දක්වා වූ වසර එකහමාරක පමණ කාලය තුළ එහි ක‍්‍රියාකාරිත්‍වය පිළිබඳව පැසසුම් මෙන්ම ගැරහුම් ද කොතෙකුත් අසන්නට ලැබුණේය. ජනාධිපතිවරයා පවසන පරිද්දෙන්ම, මේ වන විට රාජ්‍ය නිලධාරීන් අතර එක්තරා අන්දමක එෆ්සීඅයිඞී භීතිකාවක් පැතිර ගොස් ඇතැයි කීම අතිශයෝක්තියක් නොවන්නේය. තමන් නිරපරාදේ එෆ්සීඅයිඞී ප‍්‍රශ්නකිරීම් ලක්වෙතැයි බියක් සමහර අවංක නිලධාරීන් අතර ද ඇතිවී තිබෙනා වාතාවරණයක් යටතේ, එෆ්සීඅයිඞී භීතිකාව අනිසි බියක් බවට ජනාධිපතිවරයා කරන ලද ප‍්‍රකාශය සැනසිලිදායක වන්නේය.

ඒ අතරම, සමහර නිලධාරීන් සිය රාජකාරී වගකීම්වලින් කර ඇරීමට ද එෆ්සීඅයිඩිය නිදහසට කරුණක් ලෙස යොදාගැනීම කනගාටුදායක තත්ත්වයකි. තමන් අවංකව සහ නීතියට අනුකූලව රාජකාරියේ යෙදෙන්නේ නම්, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අල්ලස් හා දූෂණ විමර්ශන විශේෂ ජනාධිපති කොමිසම, අල්ලස් කොමිසම වැනි ආයතන පිළිබඳව අනිසි බියක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවයක් නැතැයි මෙහිලා කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත්, ඉහත කී ආකාරයේ අනවශ්‍ය එෆ්සීඅයිඞී භීතිකාවක් ඇතිවී තිබෙන්නේ, පසුගිය පාලන සමයේ දේශපාලන බලවතුන් සහ ඇමතිවරුන් විසින් කරනා ලද වංචා-දූෂණවලට රාජ්‍ය නිලධාරීන්ට නිකරුණේ වගකියන්නට සිදුව ඇතැයි යන මතයක් රට තුළ පැතිර ඇති නිසාය. එෆ්සීඅයිඞී විමර්ශන හේතුවෙන් අවංක රාජ්‍ය නිලධාරීන්ට ද අනිසි හිරිහැර-කරදරවලට මුහුණපෑමට සිදුව ඇතැයි යන මතයක් රට තුළ පැතිර ඇති නිසාය. එම මතය සාවද්‍ය යැයි යමෙකුට තර්ක කළ හැකි වුවද, මෙවන් ප‍්‍රචාර හරහා එෆ්සීඅයිඞී භීතිකාවක් ඇතිකරලීමට ඇතැම්හු සමත්ව සිටිති.Mahinda

මේ අතර, එෆ්සීඅයිඩියේ ක‍්‍රියාකාරිත්‍වය හෑල්ලූ කිරීමට හා ඊට සමච්චල් කිරීමට ද ඇතමුන් ඉදිරිපත්වීම වඩාත් කනගාටුදායකය. පසුගිය පාලන සමයේ දේශපාලන බලවතුන් මෙහිලා පෙරමුණ ගෙන සිටින අතර, යහපාලන ආණ්ඩුව විසින් දේශපාලන ප‍්‍රතිවාදීන් දඩයම් කිරීමට එෆ්සීඅයිඩිය යොදාගන්නා බව ඔවුන්ගේ තර්කය වී ඇත්තේය. පසුගිය රජයේ ලොක්කන් බොහෝ දෙනෙකුට බරපතල දූෂණ-වංචා චෝදනා ගොන්නක් එල්ල වී පසුබිමක් තුළ මෙවැනි ප‍්‍රචාරයන් අපේක්‍ෂා කළ යුතුව ඇතත්, එෆ්සීඅයිඩිය පක්‍ෂග‍්‍රාහී බවට මතයක් පොදු ජනතාවගේ සිත් තුළට කාවැද්දීමට ඔවුහු සමත්ව සිටිති. වර්තමාන යහපාලන ආණ්ඩුව යටතේ සිදුවී ඇතැයි කියැවෙන අක‍්‍රමිකතා කිසිවක් පිළිබඳව මෙතෙක් කිසිදු විමර්ශනයක් පටන් නොගැනීම මෙම ප‍්‍රචාරයන්ට පොහොර සපයන අතර, මහ බැංකුව විසින් බැදුම්කර විකිණීමේදී සිදුවූයේ යැයි කියන අක‍්‍රමිකතා පිළිබඳ චෝදනාව මේ අතරින් මුල් තැන ගන්නේය.

එෆ්සීඅයිඩියේ ක‍්‍රියාකාරිත්‍වය හෑල්ලූ කිරීම යනු, අපගේ අදහස අනුව නම්, නීතිය හෑල්ලූ කිරීමය. නීතිය පසිඳලීම සඳහා පිහිටුවනු ලැබූ ආයතනයක ක‍්‍රියාකාරිත්‍වය හෑල්ලූ කිරීම යනු නීතිය හෑල්ලූ කිරීමය. එනම්, මොවුන් මේ වෙර දරන්නේ පසුගිය සමයේ පැවති, නීතිය අරාජික වූ තත්ත්වයට රට යළි කැඳවාගෙන යාමටය. නීතියේ ආධිපත්‍යයට බිඳ වැටී තිබුණු තත්ත්වයට රට යළි කැඳවාගෙන යාමටය. පසුගිය රජයේ බලවතුන්ගේ ක‍්‍රියාකාරකම් හේතුවෙන් නීතියේ ආධිපත්‍යය බරපතළ ලෙස බිඳ වැටී තිබුණු අතර, අරලියගහ මන්දිරයේ සිට ලබා දුන් දුරකතන ඇමතුම් මත නඩු තීන්දු ලබාදීමේ ඛේදණීය තත්ත්වයක් පසුගිය කාලයේ රට තුළ පැවතියේය. සාමන්‍ය ජනතාවට බලපෑ නීතිය රටේ ජනාධිපතිවරයාට, ඔහුගේ පවුලේ සාමාජිකයන්ට, ඥතිහිතමිත‍්‍රාදීන්ට බලපෑවේ නැත. දශක තුනක ම්ලේච්ඡු යුද්ධය නිමවීමෙන් පසුව රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු විය යුතුව තිබුණද, සැබෑවට ම සිදුවූයේ ජනාධිපතිවරයාගේ ආධිපත්‍යය තහවුරු වීමයි. එමෙන්ම, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව රට ආඥදායකත්‍වයක් කරා තල්ලූවන්නට පටන් ගත්තේය. පසුගිය ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී, 6,217,162ක ඡන්දදායකයන් පිරිසක් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡුන්දය දුන්නේ මෙම තත්ත්වය වෙනස් කොට නීතියේ ආධිපත්‍යය යළි තහවුරු කරන්නටය. ඒකාධිපති පාලනයක් කරා රට ඇදගෙන ගිය ගමන නවතා දමා, යහපාලනයක් ස්ථාපිත කරන්නටය. අගෝස්තු 17 වැනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී එම ජනවරම යළි තහවුරු වූ අතර, ලාංකේය බහුතර ජනතාව යළිත් වතාවක් අවධාරණය කර සිටියේ දණින් වැටුණු නීතිය දෙපයින් නැගිටවීමේ අවශ්‍යතාවයයි.

කිසියම් රටක හෝ සමාජයක නීතියේ ආධිපත්‍යය තහවුරුවීම සඳහා සම්පූර්ණ විය යුතු පොදු කොන්දේසි හතරක් පිළිබඳව ලෝ පුරා නීති විශාරදයන් මෙන්ම සමාජ විද්‍යාඥයන් අතර ද පොදු එකඟතාවයක් ඇත්තේය. පළමුව, රජය, රජයේ නිලධාරීන්, පුරවැසියන්, පෞද්ගලික ආයතන සහ සංවිධාන යන සියලූ දෙනා හා සියලූ අංශ නීතිය ඉදිරියේ වගවිය යුතු වන්නේය. දෙවනුව, ක‍්‍රියාත්මක නීති පද්ධතිය සාධාරණ, ස්ථාවර, පැහැදිලි හා පොදු මහජනතාවගේ දැනගැනීම පිණිස ප‍්‍රසිද්ධියට පත්කෙරුණු එකක් විය යුතුවා සේම, සැම විට ම සැම දෙනාට ම එක සමානව අදාළ කරගත යුතු වන්නේය. එම නීති පද්ධතිය මගින් මානව අයිතීන් සුරක්‍ෂිත වන අතරම, පුරවැසියන්ගේ ජීවිත හා දේපළ ආරක්‍ෂා විය යුතු ද වන්නේය. තෙවනුව, නීති සම්පාදන ක‍්‍රියාවලිය සහ නීතිය ක‍්‍රියාවට නැංවීම සාධාරණ හා කාර්යක්‍ෂම වන්නා සේම කාටත් විවෘත වන පරිදි විනිවිදභාවයකින් යුක්ත විය යුතුය. සිව්වෙනුව, ස්වාධීන, සදාචාරාත්්මක සහ නිසි සුදුසුකම් ලත් සාමාජිකයන් පිරිසකගෙන් සමන්විත හා අදාළ සමාජය නිවැරදිව නියෝජනය වන කණ්ඩායමකින් නිසි කලට, සැමට එකලෙස නීතියේ සාධාරණත්‍වය ඉටුවිය යුතු වන්නේය. සැබෑ යහපාලනයක් රට තුළ ස්ථාපිත වීමට නම්, මෙකී කොන්දේසි සම්පූර්ණ වී රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු විය යුත්තේය.

ඒ අනුව බලනා විට, 2015 ජනවාරි නිහඬ විප්ලවයෙන් පසුව මසක් ඇතුළත පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටවනු ලැබුවේ රට තුළ නීතියේ ආධිපත්‍යය යළි ස්ථාපිත කිරීමේ අරමුණ ඇතිවය. එහෙයින් ඉන් වසර එකහමාරකට පසුව, එෆ්සීඅයිඩිය පිහිටුවීමේ මුඛ්‍ය පරමාර්ථ ඉටුවී ඇත්දැයි සලකා බැලිය යුතු වන්නේය. සමහර අවංක නිලධාරීන් අතර පවා අනිසි එෆ්සීඅයිඩී භීතිකාවක් ඇතිවී ඇත්තේ මන්දැයි සොයා බැලිය යුතු වන්නේය. එෆ්සීඅයිඩිය පක්‍ෂග‍්‍රාහී බවට මතයක් පොදු ජනතාව අතර පැතිරවීමට පසුගිය රජයේ ලොක්කන් සමත්ව සිටින්නේ කෙසේ දැයි සොයා බැලිය යුතු වන්නේය. මෙම කරුණු පිළිබඳව අවංක හා පුළුල් විමර්ශනයක නොයෙදී, හුදෙක් මාධ්‍යයන්ට හා මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීමෙන් එෆ්සීඅයිඩී භීතිකාව තුරන් කළ නොහැකිය. යහපාලනය ස්ථාපිත කළ නොහැකිය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.