22 September, 2018

Blog

ජාතික විගණන කෙටුම්පත: ඔවුන් එය රස්තියාදු කළ යුතුද? – අවසාන කොටස

ලැසිල් ද සිල්වා

ලැසිල් ද සිල්වා

ලැසිල් ද සිල්වා

කූට මාර්ගයන්ගෙන් තමන්ගේ මඩි තර කර ගැනීමේ අභිලාෂයෙන් පෙළෙන දූෂිත නිලධාරීන්ට විගණනය ප‍්‍රියදායක එකක් නොවේ. බොහෝ මන්ත‍්‍රීවරුන්ටද එසේමැයි. පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව සිය විමර්ශනයන් සඳහා පාදක කර ගන්නේ විගණකාධිපතිවරයා සපයන වාර්තාවන් ය. මේ කාරක සභාවන්හි නියෝජිතයන් මතු කරන ප‍්‍රශ්නවලට උත්තර බැඳිය යුත්තේ රාජ්‍ය නිලධාරීන් ය. මන්ද යත්, ඒ ඒ ආයතනවල ගිණුම් නිලධාරීන් සහ පරිපාලන ප‍්‍රධානීන් වශයෙන් ඔවුන් පාර්ලිමේන්තුවට වගකිව යුතු බැවිනි. එහෙත් දේශපාලඥයන් එසේ පිළිතුරු බැඳීමට බැඳී නැත. මෙය අපේ ක‍්‍රමය තුළ දක්නට ලැබෙන ප‍්‍රධාන දුර්වලතාවකි.

මේ නිසා අදාළ ඇමතිවරුන්ටත් අධිභාර පැනවිය හැකි වන සේ නීති සංශා්ධනය විය යුතුව ඇති බව මගේ අදහසයි. එසේම මහජන මුදල් සහ දේපළ අවභාවිත කිරීම වැළැක්වීමට නම්, මේ විමර්ශනවලින් පසුව ඒ පිළිබඳව පසු විපරම් කිරීමේ කි‍්‍රයාවලියක්ද තිබිය යුතුය. අද අප මුහුණදෙන ගැටළුව වන්නේ ආණ්ඩුවේ ප‍්‍රතිචාරය ප‍්‍රමාණවත් පරිද්දෙන් නොලැබීමයි. මේ නිසා ඒ සම්බන්ධයෙන් වඩාත් නිර්මාණාත්මක ප‍්‍රතිචාරයන් ස්ථාපනය කිරීම කෙරෙහි කැබිනට් මණ්ඩලය යොමු විය යුතුව තිබේ. විගණකාධිපතිවරයාගේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම අරභයා වන වඩාත් කාර්යක්ෂම සහ විධිමත් යාන්ත‍්‍රණයන් ස්ථාපනය කළ යුතු නොවේද? මහජන මුදල් වියදම් කිරීම සහ එදිනෙදා පරිපාලනය ක‍්‍රමවත් කර ගැනීම සඳහා එවැන්නක් අවශ්‍ය කෙරේ. ඒ වෙනුවෙන් විගණකාධිපතිවරයාට පුළුල් ස්වාධීනත්වයක් ලබා දිය යුතු අතර අපක්ෂපාතී ආකාරයෙන් ඔහුගේ රාජකාරි ඉටු කිරීම සඳහා ඔහුව ශක්තිමත් කළ යුතුව තිබේ.

වඩාත් යහපත් ප‍්‍රතිඵල අත්කර ගැනීම සඳහා දැනට අපි නීති මාලාවන් සකස් කරමින් සිටිමු. ජනතා සුභ සිද්ධිය සඳහා වන විශාල ඉලක්ක ජය ගැනීම සඳහා අපේ මානසික මට්ටමද දියුණු කර ගත යුතුව තිබේ. විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වය වර්ධනය කර ගැනීම ඊට අත්‍යාවශ්‍ය කෙරේ. එහෙත් මෑතකදී විගණකාධිපති අංශයට විධායකය අයුතු ආකාරයෙන් බලපෑම් කිරීමට තැත් කිරීම මගින් එම තනතුර අනතුරට පත් කෙරුණි. එම තත්වය නතර කළ යුතුව තිබේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ විගණකාධිපතිවරයාට වැඩි බලතල පවරා ඇතත්, ඇමතිවරුන්ගේ සහ වෙනත් බාල දේශපාලඥයන්ගේ නොමේරූ කම් නිසා, රළු කම් නිසා සහ උද්ධච්ච කම් නිසා, ඒ කෙරෙහි යම් අදිමදි කරන ගතියක් දක්නට ලැබේ. ස්වාධීනත්වය අහම්බෙන් ලැබෙන දෙයක් නොවේ. එය පරීක්ෂාවෙන් සැළසුම් කළ යුතුය. ඊට බොහෝ කාලයක්ද ගත විය හැකිය.

විගණකාධිපතිවරයාගේ රාජකාරිය සඳහා පූර්ණ ස්වාධීනත්වය සැපයූ, බි‍්‍රතාන්‍ය විසින් හඳුන්වා දෙන ලද ජාතික විගණන පනත (1983) ක‍්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ පරමාර්ථය විය යුතුව තිබේ. එංගලන්තයේ විගණකාධිපති සඳහා වන අරමුදල් සැපයෙන්නේ පාර්ලිමේන්තුවෙනි. විගණකාධිපතිවරයාගේ ක‍්‍රියාකාරකම් සඳහා මහ භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරනවා වෙනුවට පාර්ලිමේන්තුව හරහා ඒ සඳහා අවශ්‍ය මුදල් වෙනම වෙන් කෙරේ. එසේ කරන්නේ, විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ඇස්තමේන්තු පාදක කරගෙන ය.

අපත් අනුගමනය කළ යුත්තේ එවැනි ක‍්‍රමයක් නොවේද? එවිට තමාට හිමි රාජකාරි යහපාලනයේ නාමයෙන් විෂය බද්ධව සහ කාර්යක්ෂමව ඉටු කිරීමේ හැකියාව ඔහුට ලැබෙන්නේය. එවිට පාර්ලිමේන්තුවට ඔහුගෙන් කෙරෙන සේවාවත් ස්වාධීන වනු ඇත. විධායකය මත යැපීමට සිදු නොවන නිසා, පාර්ලිමේන්තුවට අපක්ෂපාතී සහ ස්වාධීන වාර්තා ඉදිරිපත් කිරීම සඳහා වන මූල්‍යමය සහ පරිපාලනමය නිදහස ඔහුට ලැබෙන්නේය.

එවිට, විධායක අංශයෙන් වගවීම ඔහුට සහතික කළ හැකි වනු ඇත. සෑම රාජ්‍ය ගනුදෙනුවක්ම එකක් නෑර විගණනය කළ යුතුය. ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි, කැබිනට් මණ්ඩලය, අමාත්‍යවරුන් සහ දෙපාර්තමේන්තු වැනි දෑ විධායක අංශයට ගැනේ. එවිට, කැබිනට් මණ්ඩලයේ නියෝග මත කටයුතු කිරීමට විගණකාධිපතිට සිදු වන්නේ නැත.

ඇමතිවරුන් පුද්ගලික ලාභ ප‍්‍රයෝජන තකා අක‍්‍රමිකතාවන්හි යෙදෙන විට ඒ ගැන විගණනය කිරීමට විගණකාධිපතිට බලය තිබිය යුතුය. ‘ජාතික විගණන කොමිසම දැනට අකර්මණ්‍ය වී ඇති’ බවට, කාගෙත් ගෞරවයට පත් හිටපු විගණකාධිපති එස්. මායාදුන්නේ කළ ප‍්‍රකාශය අප බරසාරව ගත යුතු නැත්ද? මේ විගණන පනත ආරම්භ කෙරුණේ ඔහුගේ ධුර කාලයේදී ය.

2005 දී මේ පනත පනවා ගත හැකි විණි නම්, පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව සහ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභාව මගින් පෙන්වා දෙන ලද ප‍්‍රකෝටි ගණන් වන අලාභ අදාළ පුද්ගලයන්ගෙන් අය කර ගත හැකිව තිබුණි. එහෙත් දශක ගණනක් තිස්සේ ඒ පනත පුස් කමින් තිබුණි.

මගේ තර්කය වන්නේ, නීතියට පටහැනිව යම් නිලධාරියෙකු කටයුතු කොට ඇත්නම් එහි අලාභය ඔහුගෙන් අය කර ගැනීම සඳහා දැනුම් දීමට විගණකාධිපතිට බලය තිබිය යුතු බවයි. ජනාධිපතිවරයා පැවසූ පරිදි, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සත්තකින්ම ප‍්‍රගතිශීලී පියවරකි. අවශ්‍ය කෙරෙන බලගැන්වෙන නීති ඒ සඳහා පනවා ගත යුතුව තිබේ. 153 (ඒ) වගන්තිය යටතේ, විගණකාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් විගණන සේවා කොමිසමක් පත් කළ යුතු බව කියැවේ. 153 බී. (2) ප‍්‍රකාරව පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා නීතියක් මගින් ශ‍්‍රී ලංකා රාජ්‍ය විගණන සේවාවක් ස්ථාපති කළ යුතු වන්නේය. රටේ සෑම පුරවැසියෙකුම ‘ශ‍්‍රී ලංකාව නැවත ගොඩනැගිය යුතු’ බව එක හඬින් ඉල්ලා සිටිය යුතු නැත්ද? ජාතික විගණන නීතියක් රටට අත්‍යාවශ්‍ය වන්නේය.

පාර්ලිමේන්තුවේ අභිලාෂයන් සහ පරමාර්ථවලට අනුකූලව, විධායක අංශයේ ක‍්‍රියාකාරකම් නිවැරදිව ක‍්‍රියාත්මක වන බවට වගබලා ගැනීමට අදාළ තොරතුරු පාර්ලිමේන්තුවට සැපයීම අරභයා පාර්ලිමේන්තුව විශ්වාස තැබිය යුත්තේ විගණකාධිපතිවරයා කෙරෙහි ය. නව කෙටුම්පත ඔස්සේ, වගවීම සහ පාරදෘෂ්‍ය භාවය හරහා රාජ්‍ය සේවා විගණනය සහ රාජ්‍ය සේවා නියාමනය අවසානයේදී ශක්තිමත් වනු ඇත. රාජ්‍ය අංශයේ මූලික සාරධර්ම ඒ ඔස්සේ ශක්තිමත් කෙරෙන අතර, ජනතා අභිවෘද්ධිය සඳහා රට ඉදිරියට ගෙන යාමට ස්වාධීන විගණන කාර්යය ස්ථාපනය කළ යුතුව තිබේ.

ආණ්ඩුව නිවැරදිව කටයුතු කරන බවට වගබලා ගැනීමේ වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුවටයි. බලතල සහිත ශක්තිමත් විගණකාධිපතිවරයෙකු අවශ්‍ය කරන්නේ ඒ සඳහා ය. ඔහු නිර්-දේශපාලනික විශේෂඥවරයෙකු වනු ඇත. නිසි තුලන සහ සංවරණ ක‍්‍රියාදාමයක් නිලධර තන්ත‍්‍රය තුළින් නිරතුරුව අපේක්ෂා කළ හැකි කවුළුව එයයි. එසේ නොවුණහොත් සියල්ල පීලී පනිනු ඇත.

*2016 ජුලි 25 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ “National Audit Bill: Should They Hold It Up?”නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

ජාතික විගණන කෙටුම්පත: ඔවුන් එය රස්තියාදු කළ යුතුද? – පළමු කොටස

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.