30 September, 2020

Blog

ජාතික සමගිය ගොඩනගන්නට ස්වර්ණමය අවස්ථාවක් !

ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

“මේ රටේ ජීවත්වන ජනතාවට උතුර-දකුණ කියලා වෙනසක් වෙන්න පුළුවන්කමක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් කියලා වෙනසක් වෙන්න පුළුවන්කමක් නැහැ. මේ රටේ ජීවත්වන සියලූම ජනතාවට මේ රට අයිතියි. ඒ නිසා මේ රටේ සෑම කෙනෙක් ම සහෝදරත්‍වයෙන් ජීවත්වෙන්න ඕනෙ. බියක් සැකක් නැතුව ජීවත්වෙන්න ඕනෙ. එවැනි පරිසරයක් අපේ ආණ්ඩුව විසින් තමුන්නාන්සේලාට ඇතිකර දෙනවා.” – ත‍්‍රීකුණාමලය සාම්පූර් ප‍්‍රදේශයේ අවතැන් වූ ජනතාවට ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීම සඳහා පසුගිය අගෝස්තු 22 දින පැවති උත්සවයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කළ කතාවෙන් උපුටා ගත් කොටසකි ඒ.

පසුගිය ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී සිංහල-දමිල-මුස්ලිම්-බර්ගර්-මැලේ යන මැයින් ලාෙංක්ය ජනතාවගේ බහුතර ඡන්දයෙන් තේරී පත්වූ රාජ්‍ය නායකයා හැටියට, මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මෙම ප‍්‍රකාශය සුබවාදී අපේක්‍ෂාවන් පුබුදුවා ලන්නේය. එමෙන්ම, ජනවාරි 8 වැනිදා පරාජයට පත්වූ අන්ත ජාතිවාදය, අගෝස්තු 14 වැනිදා දෙවෙනි වරටත් ප‍්‍රතික්‍ෂේප වූ වතාවරණය හමුවේ ජනාධිපතිවරයා මෙලෙස ජාතික සමගියට අත වැනීම සැබැවින් ම සුබ අනාගතයක පෙරනිමිත්තක් වන්නේය. තිස් වසරක ම්ලේච්ඡ යුද්ධය නිසා අවතැන් වූ අහිංසක දමිල ජනතාවට ඔවුන් කලින් පදිංචි වී සිටි ඉඩම්වල අයිතිය යළි පැවරීමේ අරමුණින් පැවති මෙම උත්සවයට, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය, දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා, මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා ඇතුුළු සිංහල-දමිල-මුස්ලිම් නායකයන් ගණනාවක් ම සහභාගී වී සිටීම ද සංකේතාත්මක වැදගත්කමක් උසුලන්නේය. එමතුද නොව, නොබෙදුණු රටක සම අයිතීන් ඇති උදවිය හැටියට ජීවත්වීමට දමිලයන්් කැමැත්තෙන් සිටිනා බවට ආර්. සම්බන්ධන් මහතා මෙම උත්සවයේදී ලබාදුන් සහතිකය ද, ජනාධිපතිවරයාගේ කතාව තරමට ම සුබවාදී බලාපොරොත්තු ඇතිකර ලන්නේය.

Maithripala Sampanthanපසුගිය අගෝස්තු 17 වැනිදා පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයෙන්, ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර දෙකක් ද සමඟ පාර්ලිමේන්තුු ආසන 16ක් දිනා ගනිමින්, දෙමළ ජාතික සන්ධානය විශිෂ්ඨ ජයග‍්‍රහණයක් අත්කර ගත්තේය. දෙමළ සන්ධානය මෙවර මැතිවරණ සමයේදී ද සුපුරුදු ජනප‍්‍රිය ෆෙඩරල් මාතෘකාව වේදිකාවට ගෙන ආ අතර, අහිංසක ජනතාවගේ ඡන්ද කඩාගැනීම සඳහා මෙබඳු ජාතිවාදී සටන් පාඨ පැතිරවීම කිසිසේත් ම අනුමත කළ නොහැකිය. තමන්ගේ මෙම ක‍්‍රියාව, එයාකාරයේ ම ජාතිවාදී සටන් පාඨ අවුලමින් දේශපාලනයේ නිරත වන දකුණේ අන්තවාදීන්ට උඩගෙඩිදීමක් බව දෙමළ සන්ධාන නායකයන් වටහා නොගැනීම කනගාටුවට කරුණකි. කෙසේ වුවද, ඒකීය ශ්‍රී ලංකාවක් තුළ කෙරෙන බලය බෙදීමකට තමන් එකඟ බවට ද්‍රවිඩ ජාතික සන්ධානය මෑත කාලයේ කිහිප වතාවක් ම අවධාරණය කළ බව අමතක නොකළ යුතුය. තවද, බහුතර සිංහල ජනතාව එකඟ නොවන විසඳුමක් තමන්ට අවශ්‍ය නොවන බව ද ටීඑන්ඒ නායකයෝ මෑතකදී කිහිප වරක් ම ප‍්‍රකාශ කළහ. වෙනකක් තබා, ශ්‍රී ලංකාව දෙකඩ කරනු ලබන කිසිදු ක‍්‍රියාවකට තමන් සම්බන්ධ නොවනා බවට ද්‍රවිඩ සන්ධානය අධිකරණයට දිවුරුම් පෙත්සමක් පවා ඉදිරිපත් කළේය. ද්‍රවිඩ ජාතික සන්ධානයට එරෙහිව අධිකරණයට ඉදිරිපත් කෙරුණු පෙත්සමක් හේතුවෙන් එබඳු ප‍්‍රකාශයක් කරන්නට ඔවුනට සිදුවී යැයි කෙනෙකුට තර්ක කළ හැකි වුවද, මින් ඉදිරියට රට බෙදන්නට සහාය නොදෙනා බවට ටීඑන්ඒ සංවිධානය දිවුරා සිටීම ම සාධනීය ප‍්‍රවණතාවයක් බව පිළිගත යුතුය.

මෙහිලා, දකුණේ සමහර දේශපාලනඥයන් මෙන්ම, ඔවුනට මුවාවී ජාතිවාදය වපුරවන සමහර ඇත්තන් තේරුම් නොගත් (නැතිනම් තේරුම් ගැනීමට උත්සාහ නොකරන) වැදගත් කරුණක් වන්නේ, යුද සමයේදී දෙමළ ජාතික සන්ධානය එල්ටීටීඊ හිතවාදී ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේ, එවැන්නක් පෙන්නුම් කරනු ලැබුවේ ඔවුනට වෙනත් විකල්පයක් නොතිබුණු නිසා බවය. එල්ටීටීඊ සංවිධානයට ඇති බිය නිසා බවය. ඒ කාලයේ, දෙමළ ජාතික සන්ධානයේ ක‍්‍රියාකාරකම් හැමෙකක් ම අනුමත කළ නොහැකි වුවද, එල්ටීටීඊ පාලනය යටතේ පැවති උතුරු-නැගෙනහිර දෙපළාතේ දේශපාලනය කිරීම සඳහා කොටින්ගේ විවිධ කොන්දේසිවලට යටත්වීමට දෙමළ සන්ධානයට සිදුවූ බව අප තේරුම් ගත යුතුය. කෙසේ වුවද, යුද්ධය නිමාවීමෙන් පසුව, එල්ටීටීඊ තර්ජනයට බියෙන් තමන් පැළඳ සිටි (අන්ත) ජාතිවාදී හැව ටිකෙන් ටික ගලවා දමන්නට ද්‍රවිඩ ජාතික සන්ධානය අවංක උත්සාහයක නිරත වන බවක් අපට නම් පෙනෙන්නට ඇත්තේය. දෙමළ ජාතික සන්ධානය තුළට ගොනුවී සිටින සෑම දේශපාලනඥයෙකු ම ඊලාම් සිහිනයෙන් මිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහයට එක්වනු ඇතැයි අපේක්‍ෂා කිරීම යථාර්ථවාදී නොවන බව ඇත්තක් වුවද, මේ වනවිට ටීඑන්ඒ සංවිධානයේ බහුතර බලය මධ්‍යස්ථ මතධාරීන් අතට පත්ව ඇති බව අපගේ නම් අදහසයි. අඩුම තරමින් මතුපිටින් හෝ එවැන්නක් පෙනෙන්නට ඇත.

තමන්ට ද දෙමළ ජාතික සන්ධානය යටතේ මැතිවරණයට ඉඩ ලබාදෙන ලෙස, 2009න් පසුව පුනරුත්ථාපනය වූ පැරණි එල්ටීටීඊ සාමාජිකයන් විසින් කරන ලද ඉල්ලීම ටීඑන්ඒ නායකත්‍වය විසින් ප‍්‍රතික්‍ෂේප කරනු ලැබුවේ මෙම පසුබිම තුළය. දෙමළ ජාතික සන්ධානයෙන් තරග වදින්නට අවස්ථාවක් නොලැබුණු තැන අංක 4 ස්වාධීන කණ්ඩායමෙන් යාපනය දිස්ති‍්‍රක්කයට ඉදිරිපත් වුණු පැරණි කොටි සාමාජිකයන් 10 දෙනා ලබාගත්තේ 1,979ක් තරම් වූ සුළු ඡන්ද ප‍්‍රමාණයක් පමණය. මෙය, එල්ටීටීඊ මතවාදය (අන්ත ජාතිවාදය) යාපනය දිස්ති‍්‍රක්කයෙන් ලැබූ පැහැදිලි පරාජයකි. ඔවුන් පමණක් නොව, තවමත් එල්ටීටීඊ මතවාදයට ආවඩන සහ අන්ත ජාතිවාදී දෙමළ ඩයස්පෝරා සාමාජිකයන්ගේ සහාය ලබන, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා නායකත්‍වය දරන දෙමළ ජාතික ජනතා පෙරමුණ මෙවර මැතිවරණයේදී ලබාගත් මුළු ඡන්ද ප‍්‍රමාණය 18,644කි. මින් කියැවෙන්නේ, මෙවර මැතිවරණයේදී උතුරු-නැගෙනහිර දමිල ජනතාව ජාතිවාදය ප‍්‍රතික්‍ෂේප කොට ඇති බව නොවේද? උතුරේ පමණක් නොව දකුණේ ද බහුතරයක්, ජාතිවාදය කරපින්නාගත් සංවිධානවලට සිය කතිරයෙන් දරුණු ප‍්‍රහාරයක් එල්ල කොට ඇත්තේය. බොදුජන පෙරමුණ නමින් නාගයා ලකුණින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වුණු බොදුබල සේනා සංවිධානය දිස්ති‍්‍රක්ක 17කින් ම ලබාගෙන ඇත්තේ 20,377ක් තරම් වූ සුළු ඡන්ද ප‍්‍රමාණයක් පමණය. මේ අනුව බලනා විට, ජනවාරි 8 වැනිදා ලාංකේය බහුතරයක් විසින් ප‍්‍රතික්‍ෂේප කරනු ලැබූ ජාතිවාදය, අගෝස්තු 14 වැනිදා දෙවෙනි වතාවටත් බහුතරයක් අතින් ප‍්‍රතික්‍ෂේප වී ඇති බව පැහැදිලිය.

මේ අතරම, අගෝස්තු 14 වැනිදා පැවති පාර්ලිමේන්තුු මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ ප‍්‍රතිඵලය ද අඩුවෙන් තක්සේරු කළ නොහැකිය. මහින්ද හිතවාදීන් හා මෛත‍්‍රී හිතවාදීන් යනුවෙන් පැහදිලිව ම පිළ් දෙකක් බෙදී තිබියදීත්, පාර්ලිමේන්තුුවේ ආසන 95ක් දිනාගැනීමට සන්ධානය සමත්වීම තුළ සංඥ සහ පණිවුඩ ගණනාවක් ම ගැබ්වී ඇත්තේය. මෙවර සන්ධානය ලැබූ ඡන්ද ප‍්‍රමාණය (4,732,664), ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්‍ෂ මහතා ලබාගත් ප‍්‍රමාණය (5,768,090) හා සසඳන විට, 1,035,426කින් අඩුවී ඇතත්, රාජපක්‍ෂ මහතාගේ ජනපි‍්‍රයතාවය තවමත් සම්පූර්ණයෙන් ම සිඳී ගොස් නැති බව අගෝස්තු ප‍්‍රතිඵලයෙන් තහවුරු වන්නේය. තිස් වසරක කුරිරු යුද්ධයෙන් රට බේරාගත් නායකයා වීම නිසාවෙන් ම, රාජපක්‍ෂ මහතා තවදුරටත් ක‍්‍රියාකාරී දේශපාලනයේ සිටිය යුතු යැයි පිළිගන්නා සැලකිය යුතු පිරිසක් රට පුරා විසිර සිටින බව මෙවර ඡන්ද ප‍්‍රතිඵලයෙන් කියැවෙන්නේය. ම්ලේච්ඡ එල්ටීටීඊ ත‍්‍රස්තවාදයෙන් රට බේරාගැනීම වෙනුවෙන් කළගුණ සැලකීම සඳහා, රාජපක්‍ෂ පාලන සමයේ සිදුවූ මහා පරිමාණ දූෂණ, වංචා සහ අකටයුතුකම් අමතක කිරීමට සූදානම් සැලකිය යුතු පිරිසක් සිටින බව මෙවර ඡන්ද ප‍්‍රතිඵලයෙන් කියැවෙන්නේය. මව්බිම වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර සෙබළුන්ට මෙන්ම ඊට දායක වූ සියලූම පාර්ශ්වයන්ට යුද ජයග‍්‍රහණයේ ගෞරවය එක සමානව හිමිවිය යුතු බව ඔවුනට අමතක වී ඇති බවක් පෙනෙන්නේය.

කෙසේ වුවද, මෙහිලා මතුවන අනෙක් ප‍්‍රශ්නය වන්නේ, පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ද සන්ධාන නායකයන් විසින් මතුරන ලද බොරු ජාතිවාදී සටන් පාඨ කෙතරම් පිරිසක් කෙතරම් දුරකට විශ්වාස කරන ලද්දේද යන්නයි. අපගේ අදහස අනුව නම්, මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්‍වය රටට අහිමි වුවහොත් රට දෙකඩ වන්නේය යන මිථ්‍යාව ජනතා සිත්සතන් තුළට කාවැද්දීමට සන්ධාන නායකයන් දැරූ උත්සාහය තරමක් දුරට හෝ සාර්ථක වී තිබේ. යම් හෙයකින් රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එජාපය බලයට පත්වුවහොත් රටේ ඒකීයභාවයට හා ජාතික ආරක්‍ෂාවට බරපතල තර්ජනයක් ඇතිවන බවට, පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මෙවර ද සන්ධාන මැතිවරණ වේදිකාවලින් අඳෝනා නැගුණේය. ”දිනූ මව්බිම අනතුරේ”, ”ජාතික ආරක්‍ෂාව පාවා නොදෙමු”, ”රටේ ඒකීයභාවයට තර්ජන”, ”කොටි ත‍්‍රස්තවාදය යළි හිස ඔසවයි” යනාදී වශයෙන් වූ ජාතිවාදයට උඩගෙඩි දෙන සටන්පාඨ මෙවර ද සන්ධාන මැතිවරණ වේදිකාවල ගිගුම් දුන්නේය.

මෙවර මැතිවරණයේදී සන්ධානයට ඡන්දය දුන් අය අතරින් කොටසක් හෝ මෙම බොරු ජාතිවාදී සටන් පාඨ විශ්වාස කළ බවක් පෙනෙන්නට ඇත්තේය. ඡන්දයට දින දෙකකට පසුව අපව දුරකතනයෙන් ඇමතූ අපගේ හිතවතෙකු කීවේ, ඔහුට ලැබුණු විශ්වාසනීය ආරංචියකට අනුව, එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා රහස් එකඟතාවයකට එළඹ ඇති බවත්, ඒ අනුව උතුරු-නැගෙනහිර දෙපළාතට පූර්ණ බලතල සහිත ස්වයං පාලනයක් ලබාදෙන බවත්ය. ඊට හිලව්වට එජාපයට ආණ්ඩුවක් තැනීමට දෙමළ සන්ධානය උදව් කිරීමට සූදානම් බවත්ය. උපාධිධාරී ගුරුවරයෙකු වන අපගේ මිත‍්‍රයා ජාතිවාදී පච ප‍්‍රචාරවලට රැුවටී ඇති ආකාරය පිළිබඳව කනගාටුවක් ඇති වුවද, යටකී පරිදි, සැලකිය යුතු පිරිසක් තවදුරටත් ජාතිවාදී මිථ්‍යාවේ ගිලී සිටීම එතරම් සතුටුදායක තත්ත්වයක් නොවන්නේය.

කෙසේ වුවද, 2015 පැවති මැතිවරණ දෙකෙහිදී ම ලාංකේය ඡන්දදායකයන් බහුතරයක් ජාතිවාදය ප‍්‍රතික්‍ෂේප කිරීම, රටක් ලෙස අප ලැබූ ජයග‍්‍රහණයකි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙන්ම, රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ නව රජය ද ජාතික සමගිය හා සංහිඳියාව වෙනුවෙන් කැපවන බවට සහතික වීම ද, රටක් ලෙස අප ලැබූ ජයග‍්‍රහණයකි. ඒ අනුව බලනා විට, මෙරට වෙසෙන විවිධ ජාතීන් අතර සමගිය, සහයෝගීතාවය නැංවීමට ජනාධිපතිවරයාට, නව අග‍්‍රාමාත්‍යවරයාට, අලූතින් පත්වන ජාතික ආණ්ඩුවට විශාල කාර්යයභාරයක් පැවරී ඇත්තේය. මෙම භාරදූර කාර්යය අලූතින් පත්වන ජාතික ආණ්ඩුවේ ප‍්‍රමුඛතා ලැයිස්තුවේ මුලට ම ආ යුතුය. දශක තුනක් තිස්සේ මුළු රටම වෙලාගෙන තිබුණු කුරිරු යුද්ධය අවසන් කිරීමට දායක වූ රණවිරුවන්ට, රට වෙනුවෙන් දිවි පිදූ වීරයන්ට නිසි ගෞරවය-ප‍්‍රණාමය ලබාදෙන අතර ම, යුද්ධයේ කළු පැල්ලම් නැවත නැවත ආවර්ජනය කිරීමෙන් අත්වන සෙතක් නොමැති බව ද මෙහිලා අප විසින් අවබෝධ කරගත යුතුය. යුද්ධයේ අවාසනාවන්ත සිද්ධීන් මාධ්‍ය හරහා පුනරුච්චාරණය කරමින් කාගෙ කාගේත් සිත් පාරනු වෙනුවට, සියලූ ජනකොටස්වලට ගෞරවාන්විතව ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කළ යුතුව ඇත. ජනාධිපතිතුමා සාම්පූර්හිදී පැවසූ පරිද්දෙන්ම, දිවයිනේ වෙසෙන සෑම කෙනෙකුට ම බියක් සැකක් නොමැතිව සහෝදරත්‍වයෙන් ජීවත්විය හැකි පරිසරයක් සැකසිය යුතුව ඇත. අපගේ අදහස අනුව නම්, 2015 ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය හරහා මේ සඳහා ස්වර්ණමය අවස්ථාවක් උදාවී ඇත්තේය. මේ අපූරු අවස්ථාවෙන් නිසි ප‍්‍රයෝජන නොගතහොත් යළිත් වතාවක් මේ කුඩා දිවයින අඳුරු වළාවකින් වැසී යාමට ඉඩ ඇත්තේය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.