25 April, 2024

Blog

නායකයන් පතන දේශය අසතුටිනි

කුමුදු කුසුම් කුමාර

ආචාර්ය කුමුදු කුසුම් කුමාර

ආචාර්ය කුමුදු කුසුම් කුමාර

වීරයන් පතන දේශය අසතුටින් යැයි බර්ටෝල්ට් බ්‍රෙක්ට් තම කවියක ලීවේය.

මෙම අදහස වත්මන් ලංකාවට ගැළපෙන පරිදි සංශෝධනය කොට ‘නායකයන් පතන දේශය අසතුටනි‘ යැයි කියන්නට කැමැත්තෙමි. මන්ද යත්, අගෝස්තු 17 වැනිදා මහ මැතිවරණයෙන් පසු ලංකාවේ දේශපාලන නායකයන් ක්‍රියා කරන ආකාරය පිළිබඳ මහජනයා අතර පැතිරෙමින් පවතින්නේ ‘අපට නායකයන් නැතැ‘ යි යන හැඟීම වන හෙයිනි. අගෝස්තු 17 වැනිදා මැතිවරණයෙන් මෙරට පුරවැසියෝ තමන්ගේ කාර්යභාරය ඉටු කරමින් ඉදිරි පස් වසරට පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීමණ්ඩලයක් පත් කළහ. දැන් එළඹ ඇත්තේ එම තීන්දුව අනුව ආණ්ඩුකරණය සඳහා ඇමති මණ්ඩලයක් පත් කොට පාර්ලිමේන්තුව කැඳවා ආණ්ඩුකරණයට ප්‍රවිශ්ඨවීමයි. නමුත් එම කටයුත්ත ක්‍රියාවට නැඟීමට එකඟතාවට ඒමට දේශපාලන නායකයන් දිගින් දිගටම අපොහොසත්වීම මහජනයා අතර බලවත් කළ කිරීමක් ඇති කොට තිබේ. මෙම දේශපාලකයන් වැඩි දෙනෙකු හැසිරෙන්නේ ප්‍රජාවේ පොදු යහපත පිළිබඳ කරුණ මුල් කොට ගෙන ක්‍රියාකරන සැබෑ ජාතික නායකයන් ලෙස නොව තම පෞද්ගලික යහපත, තම තමන්ගේ දේශපාලන පක්ෂයේ පැවැත්ම, තම දේශපාලන මතවාදයේ ජයග්‍රහණය යනාදිය වෙනුවෙන් වීම ‘අපට නායකයන් නැතැ‘ යැ යන හැඟීම මහජනයා අතර පැතිර යන්නට හේතු වී තිබේ.

දේශපාලනය තමන් ගේ ආර්ථික පදනම ශක්තිමත් කරගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය බලය සහ සමාජ ජාලයන් ගොඩ නංවා ගැනීමට මඟ ලෙස සළකා කටයුතු කිරීම වත්මනෙහි දේශපාලකයන් අතර පැතිර පවතියි. මෙය වෙනස් වන සමාජ-ආර්ථික තත්වයන් ගේ පිළිබිඹුවකි. ඊට ඉහලින් ප්‍රජාවේ පොදු යහපත ඔසවා තබන නායකයන් නොසිටියහොත් ආණ්ඩුව හුදෙක් සමාජ-ආර්ථික බලවේග අතර ගැටුමෙහි ගොදුරක් බවට පත්වී රට අස්ථාවර වෙයි.

Maithripalaදේශපාලන පක්ෂයක අනාගත පැවැත්ම පිළිබඳ ගැටලුව රාජ්‍ය පාලනයෙහි ලා මෙතරම් තීරණාත්මක වූ අවස්ථාවක් නූතන ලංකා දේශපාලන‍යෙහි මීට පෙර තිබී ඇත්දැයි නොදනිමි. 2005 සිට මහින්ද රාජපක්ෂ පිලේ ග්‍රහණයට නතු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප ය) ඉන් මුදවාගෙන එහි “නිසි උරුමකරුවන්“ අතට යළි පවරාගැනීමේ උත්සාහය වත්මන් රාජ්‍ය පාලනය සමග තදින් ගැටගැසී තිබීම රටේ දේශපාලන ගමන් මග තීන්දු කරන ප්‍රධාන සාධකය බවට මෙම මොහොතේ පත් ව තිබේ. මෙම නිසි උරුමකරුවන් පිළිබඳ අදහස – බණ්ඩාරනායක උරුමය සහ 1956 සමාජ බලවේගයේ උරුමය – යන පුද්ගල සහ සමාජීය යන දෙඅර්ථයෙන්ම පැහැදිළි කළ හැකිය.

වත්මනෙහි ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට දැරෙන උත්සාහය තුළ ඇමති තනතුරු බෙදා ගැනීමට ඇති කඹ ඇදිල්ල පිටුපස ඇත්තේ මෙම ගැටළුවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිපය සමග ගැටගැසුණු දීර්ඝ ඉතිහාසයක් ඇති එහි පූර්ව ලේකම්වරයාය. පක්ෂය හැර දමා පැමිණ පොදු අපේක්ෂකයා ජනාධිපති කරවීමේ ජනවාරි 8 වැනිදා මහජන ව්‍යාපාරයේ නායකත්වය ගැනීමෙන් පක්ෂය දෙකඩ කරන්නට මුල් වීය යන චෝදනාවෙන් නිදහස් වීම සඳහා ජනාධිපති වීමේ හේතුවෙන් එහි සභාපති තනතුර ලබාගෙන ශ්‍රීලනිප ය එක්සත්ව තබා ගන්නට ගත් වෑයම තුළ බලවත් ජනතා අප්‍රසාදයට ලක්වීමේ අවදානම පවා ගන්නට ඔහු පෙළඹුණි. තමන් ජනාධිපති වූයේ තනිකරම ශ්‍රීලනිපයෙන් පිටස්තර බලවේග – ඉන් දකුණේ ප්‍රධාන කොටම එක්සත් ජාතික පක්ෂය – පිහිටෙන් වුවත් එම බලවේගයේ අරමුණු වලට පටහැනිව යෑමෙන් තම කීර්ති නාමයට වන බරපතළ හානිය පිළිබඳ අවදානමද ඔහු තම කරට ගත්තේය. මෙය පෙන්නුම් කරන්නේ ශ්‍රීලනිප ය සමග ඔහුගේ ඇති ආත්මීය බැඳීම යි.

මෙයට විකල්පයක් විය හැකිව තිබුණු, ජනවාරි 8 වැනිදා ව්‍යාපාරය මත පදනම්ව විකල්ප දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැංවීමේ කටයුත්ත ට නායකත්වය දීම ජනාධිපති මෛත්‍රී ගේ න්‍යාය පත්‍රයට ඇතුළු නොවන්නට හේතුව ද ශ්‍රීලනිපය හා බැඳුණු ඔහුගේ මතවාදී ස්ථාවරයන් බව පෙනෙයි. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය එජාපයේ සහ ශ්‍රීලනිප යේ ආදි නායකයන් වූ ඩී. ඇස්. සේනානායක සහ එස්.ඩබ්ලිවු.ආර්.ඩී. බණ්ඩාරනායක දෙපළගේ රුවින් සැරසී ඇරඹුණ ද 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඔහු අපේක්ෂා කළ පරිදි සම්මත කර ගැනීමට නොහැකිවීමෙහිදී ජනාධිපති මෛත්‍රී සහ එජාපය අතර පැවති සුහද අවබෝධය බිඳ වැටුණු බව පෙනෙයි. ඔහුගේ ගැමි සහ වාමාංශික මූලයන් හා බැඳුණු මතවාදයේ ගැබ් වූ ජාතිකවාදී බටහිර විරෝධය එජාපයට එරෙහිව හරවන්නට ජනවාරි 8 දා ව්‍යාපාරය තුළ ඔහුට සමීප වූ එම ව්‍යාපාරයේ ජයග්‍රහණයෙන් පසු ඔහු වටා රොක් වූ උග්‍ර සිංහල ජාතිකවාදී මතවාදයක් රැගත් කණ්ඩායමක සුළු පිරිසකට හැකි වූ බව පෙනෙයි.

ජනපති මෛත්‍රී ජනවාරි 8 දා ව්‍යාපාරයේ නායකත්වය ගත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට වූ පොරොන්දුව මුල් කර ගෙනය. නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය විධායක ජනාධිපති බලතල මූලිකව එලෙසින්ම තබා ගන්නා අයුරින් සම්මත කෙරුණේ ව්‍යවස්ථා සංශෝධනයට අදාල නීති ගැටලු සහ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත දිනා ගැනීමට තිබිය යුතු එකඟතාව යන කරුණු මුල් කරගෙන බව පෙණුනි. නමුත් 19 වැනි සංශෝධනය ට එහි ජීවගුණය අතින් ද ජනාධිපති මෛත්‍රී එකඟ වන බව පෙන්වමින් ඔහු ශ්‍රීලනිපයේ නායකත්වය තමන් අතට ගැනීමේ අරමුණින් ආණ්ඩුවට ඇමතිවරුන් පත් කිරීමෙහි ලා තම ජනාධිපති බලතල දිගින් දිගටම පාවිච්චි කළේය.

මේ මොහොතෙහිද මහ මැතිවරණයෙන් පසු නව ආණ්ඩුව පිහිටුවීමේ කටයුත්ත ජනපති මෛත්‍රී ශ්‍රීලනිපයේ නායකත්වය මහින්ද රාජපක්ෂ පිළේ ග්‍රහණයෙන් මුදවා ගන්නට දරන උත්සාහය සහ සම්බන්ධ වී තිබේ. එම උත්සාහය සාර්ථකවන්නට නම් ශ්‍රීලනිපයේ මෛත්‍රී-චන්ද්‍රිකා පිළට නව ආණ්ඩුවේ ප්‍රබල ඇමති තනතුරු අවශ්‍යය. ආණ්ඩු බලයෙන් ලැබෙන සම්පත් සහ බලය එයට උදවු වනු ඇතැයි මෛත්‍රී-චන්ද්‍රිකා පිළ සිතන බව පෙනෙන්නට තිබේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පසුගිය කාලය තුළ දිගින් දිගටම කියා සිටියේ තමන් දේශපාලනයට යළි නොපිවිසෙන බවයි. නමුත් ඇයටද ශ්‍රීලනිපයේ උරුමයට ඇති සම්බන්ධය නිසා තම වචනයේ පිහිටා සිටිය නොහැකි වී තිබේ. ඇය අගෝස්තු 17 මැතිවරණ ව්‍යාපාරයේ මහින්ද පිළට විරුද්ධ වූ අතර ඇගේ හිතවත් ශ්‍රීලනිප අනුගාමිකයන් එජාපයෙන් මැතිවරණයට තරඟ කළ නමුත් ඇය එජාප වේදිකාවට නැංගේද නැත. ඒ වෙනුවට ඇය පුරවැසි සංවිධාන සමග එක්ව ස්වාධීන වේදිකාවක සිට මෛත්‍රී-චන්ද්‍රිකා පිළේ අපේක්ෂකයන්ට සහයෝගය පළ කළාය. මෙයින් ඇය පෙන්නුම් කළේ ශ්‍රීලනිපයේ නායකත්වයට යළිත් ඇතුළු වීමේ අරමුණයි. දැන් ශ්‍රිලනිප සභාපති මෛත්‍රී විසින් ඇය ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවට කැඳවනු ලැබ තිබෙනවා පමණක් නොව ඇමති කම් බෙදා ගැනීමේදී එජාපයේ නායක රනිල් සමගින් ශක්තිමත්ව ගණු දෙනු කරන්නට සමත් කෙනෙකු අවශ්‍ය හෙයින් ඒ කටයුත්තද ඇයට පවරන ලදැයි කියවුණි.

ජනපති මෛත්‍රී සහ චන්ද්‍රිකා මේ මොහොතේ මෙහෙයවනු ලබන්නේ තම පක්ෂය මහින්ද රාජපක්ෂ පිළේ ග්‍රහණයෙන් මුදවා එහි නායකත්වය තමන් අතට ලබාගැනීමේ අරමුණ විසිනි. එය රටේ පොදු යහපත පිළිබඳ කරුණ සමග ගැටෙන්නේ වුවත් ගැටලුව වන්නේ ඔවුන්ගේ අරමුණ සාර්ථක වනු ඇත්ද යන්නයි.

පොදු අපේක්ෂක ව්‍යාපාරයේ සිටම පැවති අරමුණක් වූ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ කටයුත්තට ශ්‍රීලනිපය සමස්තයක් ලෙස හවුල් කරගන්නට ජනපති මෛත්‍රීට නොහැකි වන බව පෙනෙන්නට තිබේ. ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු සෑහෙන සංඛ්‍යාවක් විපක්ෂයේ අසුන් ගන්නා ඇති බවත් එයට ජනපති මෛත්‍රී ගේ අනුමැතිය හිමි වනු ඇති බවත් ප්‍රකාශ වී තිබේ. එපමණක් නොව ඔවුන් අතුරින් අයෙකු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වනු ඇති බවද කියැවෙයි. මෙබඳු තත්වයක් ජනවාරි 8 ජයග්‍රහණයෙන් පසුවද පැවතුණි. ශ්‍රීලනිපය ආණ්ඩුකාර කණ්ඩායමේත් විපක්ෂයේත් එකවර සිටීම ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලු කරන්නක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ සියල්ල පෙන්නුම් කරන්නේ ජනපති මෛත්‍රීටත් චන්ද්‍රිකාටත් යළි ශ්‍රීලනිපයේ නායකත්වය තමන් අතට ගැනීම රටේ පොදු දේශපාලන නායකයන් වශයෙන් තමන්ගෙන් ජනතාව අපේක්ෂා කරන කාර්යභාරය ඉටු කිරීමට ප්‍රමුඛත්වය දීමට වඩා පෞද්ගලිකව වැදගත් බව නොවේද? නොඑසේ නම් මෙම කටයුත්ත කෙසේ හෝ සපුරාගත හොත් ඉන් ලංකාවේ පොදු යහපත පිළිබඳ කරුණ විසඳෙනු ඇතැයි ඔවුන් සිතන්නේද?

ශ්‍රීලනිපය තවදුරටත් 1956 සමාජ බලවේගයේ උරුමය සහ බණ්ඩාරනායක ගේ මැද පිළිවෙතේ උරුමය නියෝජනය කරන්නේ නැත. එම සම්ප්‍රදායයන්ට උරුම කම් කියන ඡන්දාදයක පිරිසක් ශ්‍රීලනිපය වටා තවමත් රැඳී සිටියද ගම් මට්ටමේ සිටම ඔවුනට නායකත්වය දෙන්නේ මහින්ද රාජපක්ෂ රෙජිමය යටතේ උඩට මතුව බලය අත්පත් කරගත් පරපුටු පාදඩ සමාජ ස්ථරයයි. මොවුන්ට ශ්‍රීලනිප පාක්ෂිකයා පක්ෂයට බැඳ තබා ගැනීමට හැකිව ඇත්තේ සිංහල බෞද්ධ ජාතිවාදී මන්ත්‍රය මැතිරීමෙනි. මෙයට විකල්පයක් විය හැකි නායකත්වයක් ශ්‍රීලනිපය තුළ ප්‍රබලව මතු වී නැත. අනාගතයේ හෝ එවැන්නක් සිදුවන්නට නම් මෛත්‍රී-චන්ද්‍රිකා නායකත්වයෙන් ගොඩ නැඟෙන නව ශ්‍රීලනිපය ට සිංහල බෞද්ධ ජාතිවාදයට විකල්පයක් වන එජාපයේ ලෝක දැක්මෙනුත් වෙනස් වන නව ඉදිරි දැක්මක් ගොඩ නඟා ගැනීම අවශ්‍ය වෙයි. ඔවුනට එවැනි ඉදිරි දැක්මක් තිබේද? මහින්ද රාජපක්ෂ පිලේ ශ්‍රීලනිප නායකයන් පුනරුත්ථාපනයෙන් ඒ සඳහා අවශ්‍ය නව නායකත්වය ගොඩ නඟා ගත හැකි යැයි ඔවුන් සිතන බව පෙනෙයි. මෙය සැබෑවක් බවට පත්විය හැකිද?

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.