24 April, 2024

Blog

යහපාලනයට අවුරුද්දයි; වෙනස සැපද?

ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

2015 ජනවාරි 8වැනි දින පැවති ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස තරග වැදුණු මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැඩි ඡන්ද 449,072ක් ලබා ගනිමින්, රටේ නායකත්‍වයට පත්වී පුරා වසරක් ගෙවී ගියේය. මෙම වසර තුළ මෙරට ක‍්‍රියාත්මක වූ මෛත‍්‍රී-රනිල් පාලනය කොතෙක් දුරට සාර්ථක වී දැයි, කොතෙක් දුරට යහපත් වී දැයි, ඇගයීමට ලක්කිරීමේ අවස්ථාව උදාවී ඇත්තේය. අද සමහර උදවිය වත්මන් රජය විවේචනය කරන්නේ එය වසර හත-අටක් පැරණි ආණ්ඩුවක් පරිද්දෙන් යැයි, පසුගිය නොවැම්බර් 17වැනි දින අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කළ ප‍්‍රකාශය ඇත්තක් වුවද, ඊළඟ වසර කිහිපය තුළ ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳව දළ අවබෝධයක් ලබාගැනීමේ අටියෙන් ගෙවුණු වසර ඇගයීමට ලක්කිරීමේ වරදක් නැත්තේය. හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ යන පැරණි සිංහල කියමනට අනුව යමින්, යහපාලන ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන තක්සේරුවකට එළැඹීම සඳහා ගෙවුණු වසර ඇගයීමට ලක්කිරීමේ වරදක් නැත්තේය. තවද, 2015 ජනවාරි නිහඬ විප්ලවය හරහා ඇතිවූ වෙනස සැපදැයි ඇතමුන් සමච්චලයට මෙන් විමසා සිටින පසුබිමක් තුළ, අවුරුද්දක යහපාලනය පිළිබඳව අපක්‍ෂපාතී ඇගයීමක අවශ්‍යතාවය තදින් මතුව ඇත්තේය.

එහෙත් ඊට කලියෙන්, දස වසරක මහින්ද රාජපක්‍ෂ පාලනය පෙරළා දැමීමට බහුතර ලාංකේය ජනතාවක් ඉදිරිපත් වූයේ මන්දැයි මතකයට නගාගැනීම ප‍්‍රයෝජනවත් වනු ඇත්තේය. එනම්, 2015 ජනවාරි විප්ලවය හරහා රට තුළ වෙනසක් ඇතිකිරීමට බහුතර ජනතාවක් ඉදිරිපත් වූයේ ඇයිදැයි මතකයට නගාගැනීම ප‍්‍රයෝජනවත් වනු ඇත්තේය. වසරක මෛත‍්‍රී-රනිල් පාලනය නිවැරදි ඇගයීමකට ලක්කළ හැක්කේ එවිටය. 2005 නොවැම්බර් 17 දින පැවති ශ්‍රී ලංකාවේ පස්වැනි ජනාධිපතිවරණයෙන් ජයගත් මහින්ද රාජපක්‍ෂ මහතා සිය පාලනය යටතේ වසර හතරකටත් අඩු කාලයක් තුළදී, තිස් වසරක කුරිරු යුද්ධය නිමා කිරීමට අවශ්‍ය නිවැරදි දේශපාලන නායකත්‍වය ලබා දුන්නේය. 2009 මැයි මාසයේදී අපේ වීරෝදාර හමුදා ලැබූ ඓතිහාසික ජයග‍්‍රහණය ලාංකේය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, එහිදී දශක තුනක ම්ලේච්ඡු යුද්ධය නිමා කිරීමට දේශපාලන නායකත්‍වය ලබාදීමේ ගෞරවය මහින්ද රාජපක්‍ෂ මහතාට අනිවාර්යයෙන්ම හිමි විය යුතුය. 2010 ජනවාරි 26 වැනිදා පැවැත්වුණු ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද 1,842,749කින් මහින්ද රාජපක්‍ෂ මහතාව දෙවෙනි වතාවටත් ජනාධිපති පදවියට පත්කරනු ලැබුවේ ඔහු විසින් කරනා ලද එම සේවයට කළගුණ සැලකීමක් හැටියටය. අනෙක් අතට, මව්බිම වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර සෙබළුන්ට මෙන්ම ඊට දායක වූ සියලූම පාර්ශ්වයන්ට යුද ජයග‍්‍රහණයේ ගෞරවය හිමි විය යුතු බව අමතක නොකළ යුතු අතරම, යුද ජයග‍්‍ර‍්‍රහණයට දේශපාලන නායකත්‍වය ලබාදීමේ ගෞරවය යනු හිතුවක්කාර පාලනයක් ගෙනයාම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබුණු බලපත‍්‍රයක් ලෙස නොසැලකිය යුතු ද වන්නේය. එහෙත් කනගාටුවට හේතු වන්නේ, 2009න් පසුව යුද ජයග‍්‍ර‍්‍රහණයට මුවාවී මුළු රට ම කෙමෙන් ඒකාධිපතිත්‍වයක් කරා ඇදගෙන යාමය.

Chthirika Sirisena and Maithripala Sirisena18වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්‍වය නැත්තටම නැතිවී ගිය අතර, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගමට පාර කැපුණේය. පාර්ලිමේන්තුවේ සිට ප‍්‍රාදේශීය සභාව දක්වා සියලූ තරාතිරම්වල දේශපාලනඥයන් හිතුමතේ නීති විරෝධී ජාවාරම්වල නිරත වූ අතර, දූෂණය-වංචාව දරුණු පිලිකාවක් ලෙසින් සමස්ත ලාංකේය දේහය ම වෙලා ගත්තේය. සංවර්ධනය යැයි කියමින් මහා පරිමාණ දූෂණ-වංචාවලට පුළුල් අවකාශයක් විවර කරනු ලැබීය. රජය සහ රජයේ මතවාදය විවේචනය කළ උදවිය දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසුණා පමණක් නොව, භයංකර සුදු වෑන් සංස්කෘතියක් ද රට පුරා පැතිර ගියේය. සිවිල් ක‍්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් සමහරෙක් සුදු වෑන්වලට ගොදුරු වී අතුරුදහන් වූ අතර, තවත් සමහරෙක් සුදු වෑන්වලට බියෙන් රට හැර ගියහ. මෙයාකාරයට රට තුළ නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන් ම බිඳ වැටුණු අතර, සාමන්‍ය ජනතාවට බලපෑ නීතිය රටේ ජනාධිපතිවරයාට, ඔහුගේ පවුලේ සාමාජිකයන්ට, ඥතිහිතමිත‍්‍රාදීන්ට බලපෑවේ නැත. මෙබඳු පසුබිමක් තුළ, මුළු රට ම රාජපක්‍ෂ පවුල් පාලනයට යටත් වූයේ යැයි කීම අතිශයෝක්තියක් නොවන්නේය.

මීට අමතරව, යුද්ධයෙන් විනාශ වූ ගොඩනැගිලි-මහාමාර්ග යළි ගොඩනගන්නට පටන් ගත්තා විනා, බිඳුණු හදවත් සුවපත් කරන්නට පසුගිය රජය උත්සාහයක් දැරුවේ නැත. ජාතික සංහිඳියාව උදෙසා අවශ්‍ය පියවර ගනු වෙනුවට, තවදුරටත් බෙදුම්වාදී බිල්ලා පෙන්වමින් ජාතිවාදී ගින්නට පිදුරු දැමීමක් සිදුවූයේය. අන්තවාදී බෞද්ධ සංවිධානවලට හිතුමතේ චණ්ඩිකම් කිරීමට රජයේ බලවතුන්ගේ අනුග‍්‍රහය ලැබුණු අතර, උතුරු-නැගෙනහිර දමිල ජනතාවගේ සාධාරණ ඉල්ලීම්වලට කන්දීමක් සිදුවූයේ නැත. කෙටියෙන් කියතොත්, පසුගිය රජය බලය පවත්වා ගෙනයාම සඳහා ජාතිවාදී මඩගොහොරුවේ වැඩි වැඩියෙන් කිමිදෙන්නට පටන් ගත්තේය. මෙම ලැයිස්තුව තවත් දිග්ගැස්සිය හැකි නමුදු, ඉහතින් දැක්වූයේ මහින්ද රාජපක්‍ෂ පාලනයේ අවසාන අවධිය පිළිබඳ සංක්‍ෂිප්ත හැඳින්වීමක් පමණය. කෙසේ වුවද, 2015 ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී ලක්‍ෂ 62කට වැඩි පිරිසක් සිය කතිරයෙන් කීවේ, තමන් තවදුරටත් එම පාලන ක‍්‍රමය යටතේ ජීවත්වීමට සූදානම් නැති බවය. 2015 ජනවාරි 8 වැනිදා ලක්‍ෂ 62කට වැඩි පිරිසක් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන්නේ රට තුළ වෙනසක් ඇති කරන්නටය. එසේ ඇතිවූ වෙනස රටට සැපද? යහපාලනයට වසරක් පිරෙන මේ මොහොතේ අප විමසිය යුතු ප‍්‍රශ්නය එයයි.

ඒ අනුව, 2015 ජනවාරියට පෙරාතුව පැවති තත්ත්වය හා සසඳන විට ගෙවී ගිය වසරේ රට තුළ යහපත් වෙනස්කම් රාශියක් සිදුවූ බව අපගේ නම් අදහස වන්නේය. 2015 ජනවාරි ජනාධිපතිවරණයට විපක්‍ෂයේ පොදු සන්ධානය විසින් ද, අගෝස්තු පාර්ලිමේන්තු මැතිිවරණයට එක්සත් ජාතික පෙරමුණ විසින් ද ඉදිරිපත් කරනු ලැබූ ප‍්‍රකාශනවල අඩංගු වී තිබුණු පොරොන්දු බොහොමයක් තවමත් හරිහැටි ඉටුවී නැති බව ඇත්තක් වුවද, පොදුවේ ගත්කළ ගෙවුණු වසර තුළ රටේ සමාජාර්ථික හා දේශපාලන වාතාවරණය යහපත් අතට හැරෙමින් පවතින බව අපගේ නම් අදහස වන්නේය. යටකී පරිදි, රට ඒකාධිපතිත්‍වයක් කරා තල්ලූවෙමින් පැවති ගමන නතර කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීමේ කටයුත්තට ගෙවුණු වසර තුළ අත්තිවාරම දැමුණු බව ප‍්‍රතික්‍ෂේප කළ නොහැකිය. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට, විධායක බලතල තරමක් දුරට හෝ කප්පාදු කෙරුණු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම අතිශය සාධනීය පියවරක් බව ප‍්‍රතික්‍ෂේප කළ නොහැකිය. ඒ හරහා ව්‍යවස්ථාදායක සභාව සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබූ ජයග‍්‍රහණයක් වන්නේය. ස්වාධීන කොමිෂන් සභාවලට පත්කෙරුණු ඇතැම් පුද්ගලයන් පිළිබඳ යම් යම් චෝදනා ඇතත්, ඒවායේ නීත්‍යානුකූලභාවය යළි ලබාදීම ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබූ ජයග‍්‍රහණයක් වන්නේය.
පසුගිය රජය සමයේ විවිධ වංචා-දූෂණ චෝදනා එල්ල වූ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම මන්දගාමී බව ඇත්තක් වුවද, ඒ පිළිබඳ වූ කතිකාව සමාජය තුළ නොනැසී පැවතීම සාධනීය ලක්‍ෂණයකි. දීර්ඝ කාලයක් තිස්සේ විවිධාකාර අක‍්‍රමිකතාවන්ට ඇබ්බැහි වී සිටි රජයේ ඇතැම් නිලධාරීන් වසරක් තරම් වූ කෙටි කාලයක් තුළ වෙනස් කිරීම දුෂ්කර බව ඇත්තක් වුවද, මෙම මන්දගාමී ස්වරූපය තවදුරටත් එලෙසම පැවතීම යහපාලන ආණ්ඩුවේ පැවැත්මට අහිතකරය. පසුගිය කාලයේ දණින් වැටී තිබුණු නීතිය දෙපයින් නැගිටවීමේ අවශ්‍යතාවය, 2015 ජනවාරි ජනාධිපතිවරණයේදී මෙන්ම අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී ද ලාංකේය බහුතර ජනතාව අවධාරණය කර සිටි බව නිතර මතකයේ තබාගැනීම යහපාලන ආණ්ඩුවේ පැවැත්මට හිතකර වනු ඇත්තේය. මෙහිලා, පසුගිය කාලයේ බරපතළ වැරදි කොට ලොක්කන්ගේ ආරක්‍ෂාවට මුවාවී නීතියට කොකා පෙන්නූ අයට නිසි දඩුවම් ලබාදීම අත්‍යවශ්‍ය බව මතකයේ තබාගැනීම යහපාලන ආණ්ඩුවේ පැවැත්මට හිතකර වනු ඇත්තේය.

ඒ අතරම, 2015 ජනවාරි ජනාධිපතිවරණයේදී උතුරු-නැගෙනහිර දෙපළාතේ දමිල ජනතාවගෙන් අතිබහුතරයක් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡුන්දය ප‍්‍රකාශ කළේ ඇයි දැයි මතකයේ තබාගැනීම ද යහපාලන ආණ්ඩුවේ පැවැත්මට හිතකර වනු ඇත්තේය. වසර තිහක කාලයක් ලාංකේය සමාජයට පිළිළයක්ව තිබුණු ම්ලේච්ඡු යුද්ධය අවසන් කිරීමෙන් පසුව, ජාතික සංහිඳියාව යළි ගොඩනැගීමේ භාරදූර වගකීම ද යහපාලන ආණ්ඩුවට පැවරී ඇත්තේය. මෙහිලා, දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා විපක්‍ෂ නායක ධූරයට පත්වීම ජාතික සංහිඳියාව යළි ගොඩනැගීමට අපූරු අත්වැලක් වන අතර ම, ඒ හරහා රටට මෙන්ම ජාත්‍යන්තරයට ද යහපත් පණිවුඩයක් නිකුත් කෙරුණේය. එමෙන්ම, උතුර හා නැගෙනහිර දෙපළාතට සිවිල් ආණ්ඩුකාරවරුන් පත්කිරීම, පාරම්පරිකව අයිතිව තිබී යුද්ධය නිසා අහිමි වුණු ඉඩම් සැබෑ අයිතිකරුවන්ට යළි පවරාදීම වැනි සාධනීය පියවර කිහිපයක් ම ගනු ලැබුවද, නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම තුළ දක්නට ලැබෙන මන්දගාමී ස්වරූපය මේ සම්බන්ධයෙන් ද දක්නට ලැබෙන්නේය. කෙසේ වුවද, දමිල ජනතාවගේ සාධාරණ ඉල්ලීම්වලට කඩිනම් විසඳුම් ලබාදීමට යහපාලන ආණ්ඩුව අපොහොසත් වුවහොත්, උතුරු-නැගෙනහිර දෙපළාතේ අන්ත ජාතිවාදය යළි හිස එසවීමේ තර්ජනයක් මතුවීමට ඉඩ ඇත්තේය.

සමස්තයක් ලෙස ගත් කළ, යහපාලන ආණ්ඩුව පත්කිරීමට මුල්වූ අය අතර ම විවිධ විවේචන, කළකිරීම් ටිකෙන් ටික මතුවෙමින් ඇත්තේය. විශේෂයෙන්, ආණ්ඩුවේ සමහර මැති-ඇමතිවරුන්ගේ ක‍්‍රියාකලාපයන් ගැන බහුතර ජනතාවක් තුළ දැඩි කළකිරීමක් මතුව ඇත්තේය. ඉහත කී පරිදි, බොහෝ ක්‍ෂේත‍්‍රයන්හි දක්නට ලැබෙන මන්දගාමී ස්වරූපය මඟහරවා නොගතහොත්, ආණ්ඩුවේ ජනප‍්‍රියතාවය ඉක්මනින් දියවී යාමට ඉඩ ඇත්තේය. යහපාලන ආණ්ඩුව පිහිටුවීමට මුල්වූ අරමුණු සාක්‍ෂාත් කරගැනීම සඳහා වූ කි‍්‍රයාකාරකම් කඩිනමින් දියත් නොකළහොත්, 2015 ජනවාරි 8 වැනිදා රටේ බහුතරයක් තැබූ බලාපොරොත්තු ඉක්මනින් බොඳවී යාමට ඉඩ ඇත්තේය. කෙසේ වුවද, 2015 ජනවාරි 8 වැනිදාට පෙර පැවති තත්ත්වය යහපත් බවක් හෝ ආපසු ඒ කරා ගමන් කළයුතු බවක් හෝ ඉන් කියැවන්නේ නැත. වෙනත් වචනවලින් කියතොත්, 2015 ජනවාරියට පෙර පැවති තත්ත්වය හා සසඳන විට යහපාලන ආණ්ඩුවේ ක‍්‍රියාකලාපය සාපේක්‍ෂ වශයෙන් හොඳය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.