Colombo Telegraph

දෙමළ සන්ධාන අර්බුදය ජාතික සංහිඳියාවට තර්ජනයක් වේවිද?

ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

වසර අවසානයේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන නත්තල් සිසිලස යටපත් කරමින් උතුරු නැගෙනහිර දේශපාලන වේදිකාව උණුසුම් කරවන සිද්ධියක්, පසුගිය දෙසැම්බර් 19දා යාපනයෙන් වාර්තා විය. එදින සවස්වරුවේ, උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගේ ප‍්‍රධානත්‍වයෙන් යාපනය පුස්තකාල ශ‍්‍රවණාගාරයට රැුස්වූ දමිල දේශපාලන නායකයන් සහ සිවිල් ක‍්‍රියාකාරීන් කිහිප දෙනෙකු එක්ව, “දමිල ජනතා කවුන්සිලය” නමින් නව සංවිධානයක් පිහිටුවා ගනු ලැබීය. ඊපීආර්එල්එෆ් නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්, දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, උතුරු පළාත් සභා මන්ත‍්‍රී ශිවනේෂන්, මඩකලපු දිස්ත‍්‍රික් සිවිල් ක‍්‍රියාකාරී ටී. වසන්තරාජා, යාපනය රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය පී. ලක්‍ෂ්මන් ඇතුළු පිරිසකගේ මූලිකත්‍වයෙන් පිහිටුවා ගෙන ඇති අලූත් සංවිධානයේ අරමුණ, දමිල ජනතාවගේ සුභසාධනය සහ ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටීම බව දැනගන්නට ඇත්තේය. එමෙන්ම, නව දමිල ජනතා කවුන්සිලය, ටීඑන්ඒ සංවිධානයට විකල්පයක් ලෙස කටයුතු කිරීමට අපේක්‍ෂා කරන බව ද දැනගන්නට ඇත්තේය. දෙමළ ජනතාවගේ් ගැටළු හා අවශ්‍යතා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය කටයුතු කරනා ආකාරය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි නිසා, මෙවන් විකල්ප සංවිධානයක් පිහිටුවා ගැනීමට ඉදිරිපත් වූ බව වෛද්‍ය පී. ලක්‍ෂ්මන් මාධ්‍යයට පවසා ඇත්තේය.

දැනට සෑහෙන කාලයක් තිස්සේ දෙමළ ජාතික සන්ධානය තුළ කැකෑරෙමින් පැවති අභ්‍යන්තර බල අරගලය සහ දේශපාලන මතභේද උච්චස්ථානයකට පිවිසීමක් ලෙස, මෙම නව සංවිධානය පිහිටුවා ගැනීම හඳුන්වා දිය හැකිය. මීට ටික දිනකට පෙරාතුව මඩකලපුවේ පැවති රැුස්වීමකදී, දෙමළ සන්ධාන නායක සහ විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා කළ ප‍්‍රකාශයකින් ද දෙමළ ජාතික සන්ධානයේ අභ්‍යන්තර අර්බුදය තහවුරු වූයේය. උතුරු පළාත් මහ ඇමති විග්නේෂ්වරන් මහතාට අවශ්‍ය නම් දෙමළ සන්ධානයේ නායකත්‍වයට පත්වීමට කිසිදු බාධාවක් නොමැති බවත්, එහෙත් ඔහුව නායකත්‍වයට පත්කළ යුත්තේ පක්‍ෂය සහ ජනතාව විසින් බවත් සම්බන්ධන් මහතා මඩකලපුවේ පැවති රැුස්වීමේදී අවධාරණය කොට තිබුණේය. මෙය, හැකිනම් ජනතාවගේ සිත් දිනාගෙන නායකත්‍වයට පත්වන්නැයි, සම්බන්ධන් මහතා විසින් විග්නේෂ්වරන් මහතාට කරනා ලද අභියෝගයක් ලෙස ද අර්ථකතනය කළ හැකිය. මහ ඇමතිවරයාගේ නායකත්‍වයෙන් දමිල ජනතා කවුන්සිලය නමින් නව සංවිධානයක් පිහිටුවා ගැනීම, විග්නේෂ්වරන් මහතා විසින් සම්බන්ධන් මහතාගේ අභියෝගය භාරගැනීමක් ලෙස ද අර්ථකතනය කළ හැකිය. අනෙක් අතට, දෙමළ ජාතික සන්ධානයේ නායකත්‍වයට පත්වීමට තරම් ජනප‍්‍රියතාවයක් හෝ ජන පදනමක් විග්නේෂ්වරන් මහතා සතුව නැති බැවින්, විකල්ප සංවිධානයක් පිහිටුවා ගැනීමට හෙතෙම පෙළඹුණේ යැයි ද කෙනෙකුට තර්ක කළ හැකිය.

කෙසේ වුවද, මේ දිනවල කරළියට පිවිස ඇති දෙමළ ජාතික සන්ධානයේ අභ්‍යන්තර අර්බුදය ප‍්‍රධාන කොටස් දෙකකින් යුක්තය. ඉන් පළමුවැන්න, දෙමළ සන්ධානයේ ප‍්‍රධාන සාමාජිකයා වන “ඉලංගෙයි තමිල් අරසු කච්චි” පක්‍ෂය සහ සෙසු සාමාජික පක්‍ෂ අතර දැන් දිගු කලක් තිස්සේ පවතින මතභේදයයි. දෙවැන්න, දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා සහ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා අතර දැන් ටික කලක සිට පවතින මතභේදයයි. දෙමළ ජාතික සන්ධානය බිහිවූයේ, 2002 වසරේ එවකට අග‍්‍රාමත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එල්ටීටීඊ සංවිධානය අතර අත්සන් තැබුණු සටන් විරාම ගිවිසුමේ ප‍්‍රතිඵලයක් ලෙසටය. ඒ ද එල්ටීටීඊ සංවිධානයේ බලපෑම මතය. එහෙත්, කොටි සංවිධානයේ අණ පිළිපැදීමට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරී මහතා එකඟ නොවූ හෙයින් ඔහුව දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් කෙරුණු අතර, ඉන්පසුව ද්‍රඑවිපෙහි සිටි දේශපාලන නායකයෝ වැඩි දෙනෙක් තමිල් අරසු කච්චි පක්‍ෂය ලෙස ක‍්‍රියාත්මක වෙමින් දෙමළ සන්ධානය තුළ රැුඳුණාහ. කෙසේ වුවද, දෙමළ ජාතික සන්ධානය තවමත් මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දේශපාලන පක්‍ෂයක් නොවන අතර, එහි සියලූ සාමාජික පක්‍ෂ මැතිවරණවලට ඉදිරිපත් වන්නේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්‍ෂයේ ලකුණ යටතේය. මේ හේතුවෙන් තම පක්‍ෂවලට අසාධාරණයක් සිදුවන බැවින්, දෙමළ සන්ධානය මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට පියවර ගන්නැයි සුළු පක්‍ෂ කොතෙකුත් ඉල්ලා සිටියද, දෙමළ සන්ධාන නායකත්‍වය තවමත් ඊට යහපත් ප‍්‍රතිචාරයක් දක්වා නැත. මෙම තත්ත්වය මේ වනවිට දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රබල අභ්‍යන්තර අර්බුදයක් බවට වර්ධනය වී හමාරය.

දෙමළ ජාතික සන්ධානය තුළ පවත්නා දෙවැනි ආරවුල වන්නේ, යටකී පරිදි, සම්බන්ධන් මහතා සහ විග්නේෂ්වරන් මහතා අතර පවතින මතභේදයයි. 2013 සැප්තැම්බරයේ පැවති පළමු උතුරු පළාත් සභා මැතිවරණයට මහ ඇමති අපේක්‍ෂකයෙකු තේරීමේදී, ඒ සඳහා විග්නේෂ්වරන් මහතාව එකඟ කරවා ගැනීමේ ගෞරවය හිමිවිය යුත්තේ සම්බන්ධන් මහතාටය. උතුරු පළාත් සභාවට අලූතින් පත්වන ප‍්‍රධාන අමාත්‍යවරයාට මධ්‍යම රජය සමඟ මෙන්ම විවිධ ජාත්‍යන්තර සංවිධාන සමඟ ද සහයෝගයෙන් කටයුතු කිරීමට සිදුවන හෙයින්, ඒ සඳහා බහුතරයකගේ ගෞරවයට පාත‍්‍ර වන මධ්‍යස්ථ මතධාරී බුද්ධිමතෙකු තෝරාගැනීමට දෙමළ සන්ධාන නායකත්‍වයට අවශ්‍ය වූයේය. ඒ පසුබිම තුළ, දේශපාලන ක්‍ෂේත‍්‍රයට ආධුනිකයෙකු වූ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විග්නේෂ්වරන් මහතාව යොජනා කරනු ලැබුවේ දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා විසිනි. විග්නේෂ්වරන් මහතාගේ සේවා වාර්තාව අනුව, ඔහු අන්තවාදී නොවන, සාධාරණ මහ ඇමතිවරයෙකු ලෙස කටයුතු කරනු ඇතැයි දකුණේ ජනතාව ද මහත් බලාපොරොත්තු ඇතිකර ගත්හ. උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධූරයට පත්වූ මුල් අවදියේදී විග්නේෂ්වරන් මහතා එකී බලාපොරොත්තු තවත් වැඩි වන අන්දමට කටයුතු කළ අතර, ඇතැම් ජාතිවාදීන්ගේ විරෝධය නොතකා එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිව්රුම් දීමට පවා එඩිතර වූයේය. 2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් පසුව කොළඹ පැවති මහ ඇමතිවරුන්ගේ රැුස්වීමකට සහභාගී වූ විග්නේෂ්වරන් මහතා, මධ්‍යම රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව අවධාරණය කර සිටියේය.

එහෙත්, වැඩි කලක් ගතවන්නට මත්තෙන්, විග්නේෂ්වරන් මහතා ජාතිවාදී මඩ ගොහොරුවේ ටිකෙන් ටික එරෙන්නට පටන් ගත්තේය. තමන්ව දේශපාලන භූමියට කැඳවාගෙන ආ ප‍්‍රවීණ දේශපාලනඥයෙකු වන සම්බන්ධන් මහතාගේ ඉල්ලීම්වලට පවා කන් නොදී, උතුරු නැගෙනහිර දමිල දේශපාලන නායකත්‍වයට ඉව අල්ලන්නට ද පටන් ගත්තේය. ඔහුගේ මඟ පෙන්වීම යටතේ උතුරු පළාත් සභාව විසින් මෙම වසර මුලදී, “දෙමළ ජන සංහාරයක්” පිළිබඳ යෝජනාවක් සම්මත කරනු ලැබුවේය. ආරක්‍ෂක හමුදා අතින් සිදුවූයේ යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍යය යන මතයේ, විග්නේෂ්වරන් මහතා ද දැඩිව එල්බ ගත්තේය. තවද, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ සන්ධානයේ ජයග‍්‍රහණය උදෙසා කැපවෙනු වෙනුවට, විග්නේෂ්වරන් මහ ඇමතිවරයා නිහඬ (“ස්වාධීන”) ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. එහෙත් ඔහුගේ එම නිහඬතාවයෙන් ජාතිවාදී කොටස්වලට අනියම් සහයෝගයක් ලැබුණේය. පාර්ලිමේන්තු මැතිවරණයට මූල්‍යාධාර එකතු කිරීම සඳහා කැනඩාවේ සංචාරයකට එක්වන්නැයි දෙමළ සන්ධාන නායකත්‍වය කළ ඉල්ලීම විග්නේෂ්වරන් මහතා ප‍්‍රතික්‍ෂේප කළේය. මෙබඳු පසුබිමක් තුළ, දේශපාලනයේදී සාමාන්‍යයෙන් දක්නට ලැබෙන අකෘතඥභාවය විග්නේෂ්වරන් මහතා වෙතින් දිස්වූයේ යැයි කීම නිවැරදිය.

මධ්‍යස්ථ මතධාරී බුද්ධිමතෙකු යැයි සිතා සිටි සී.වී. විග්නේෂ්වරන් මහතාගේ දේශපාලන ක‍්‍රියාකාරිත්‍වය මෙයාකාරයට අන්ත ජාතිවාදය කරා ඇදී යද්දී, ආර්. සම්බන්ධන් මහතා ප‍්‍රමුඛ දමිල දේශපාලනඥයන් බොහෝ දෙනෙකු සම්මුතිවාදී ප‍්‍රවේශයකට එළැඹීම සුභවාදී ප‍්‍රවණතාවයකි. පළමුකොටම, දෙමළ ජාතික සන්ධානය පසුගිය ජනාධිපතිවණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීම අගය කළ යුතු වන්නේය. අනතුරුව, පසුගිය පෙබරවාරියේ පැවති නිදහස් දින සමරු උළෙලට ආර්. සම්බන්ධන් මහතාත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාත් සහභාගී වූ අතර, දමිල දේශපාලන නායකයන් පසුගිය නිදහස් උත්සවයට සහභාගී වූයේ වසර 43කට (1972න්) පසුව වීම සුවිශේෂී වන්නේය. එහෙත් උතුරේ සමහර අන්තවාදී දේශපාලනඥයන් මේ පිළිබඳව සිය විරෝධය එළිපිටම ප‍්‍රකාශ කළ අතර, සම්බන්ධන් මහතාගේ සහ සුමන්තිරන් මහතාගේ රූවලට සමාන ලෙස සකස් කරන ලද පඹයන් පුලූස්සා දැමීමට ද ඇතමෙක් ඉදිරිපත් වූහ. එමෙන්ම, අගෝස්තු මැතිවරණයෙන් පසුව, අලූත් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධූරයට දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පත්වීම ද ජාතික සංහිඳියාව යළි ගොඩනැගීම සඳහා අපූරු අත්වැලක් වන්නේය. මේ හරහා රටට මෙන්ම ජාත්‍යන්තරයට ද අතිශය ප‍්‍රබල පණිවුඩයක් ලැබුණු අතර, හුදෙක් දමිලයෙක් වූ පමණින් මේ රට තුළත් පාර්ලිමේන්තුවේත් කිසිදු වෙනස්්කමක් සිදු නොවනා බව මේ හරහා යළිත් වූයේය.

විපක්‍ෂ නායක ධූරයට පත්වීමෙන් පසුව, පසුගිය සැප්තැම්බර් 6 වැනිදා ලක්බිම ඉරිදා සංග‍්‍රහයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින්, ආර්. සම්බන්ධන් මහතා මෙසේ පවසා තිබුණේය: “අපි කිසිසේත්ම, කවදාවත්ම රට බෙදන්නට ඉඩ දෙන්නේ නෑ. රට බෙදනවාට අපි විරුද්ධයි. අඩුම තරමින් රට බෙදනවා කියලා අපි කතාකරන්නවත් ඕනෙ නෑ……….. විපක්‍ෂ නායකයා ලෙස මම කටයුතු කරන්නේ ජාතික අභිලාෂයන් ඉටුකර ගන්නා ආකාරයටයි. මුළු රටේ ම ජනතාවගේ අරමුණු ඉටුකර ගැනීමට අපි විපක්‍ෂය මෙහෙයවනවා. සිංහල විපක්‍ෂ නායකවරයෙක් කරන්නේ මොනවාද, මමත් රට වෙනුවෙන් ඒ සියල්ල ම ඉටුකරනවා.” අපගේ අදහස අනුව නම්, මේ සැබෑවට ම රටට ආදරය කරන කෘතහස්ත දේශපාලනඥයෙකුගේ ප‍්‍රකාශයක් වන්නේය.

දෙමළ ජාතික සන්ධානය තුළ මේ වන විට උග‍්‍ර වී ඇති දේශපාලන අර්බුදය අප වටහා ගත යුත්තේ මෙම සන්දර්භය තුළය. දෙමළ සන්ධානයේ වත්මන් නායකත්‍වයට අභියෝග කරන්නට ඇතමුන් ඉදිරිපත්ව සිටින්නේ ඇයිදැයි අප වටහා ගත යුත්තේ මෙම සන්දර්භය තුළය. දකුණේ පරිදි ම, උතුරු-නැගෙනහිර දේශපාලන වේදිකාව තුළ ද විවිධ මත දරන දමිල දේශපාලනඥයන්ගෙන් අඩුවක් නැති බව අප වටහා ගත යුතුය. රටෙන් කෑල්ලක් කඩාගෙන ඊලාම් රාජ්‍යයයක් පිහිටුවීමට සිහින මවන අන්තවාදීන් මෙන්ම ඒකීය ශ්‍රී ලංකාවක් තුළ පුළුල් බලය බෙදීමක් වෙනුවෙන් පෙනී සිටින මධ්‍යස්ථ මතධාරී දමිල දේශපාලනඥයන් ද මේ අතර සිටිනා බව අප වටහා ගත යුතුය. මේ හැම වර්ගයේ ම දේශපාලනඥයෝ එදත් සිටියහ. අදත් සිටිති. එහෙත්, මධ්‍යස්ථ මතධාරී දමිල දේශපාලනඥයන් හරිහැටි හඳුනා ගැනීමට දකුණේ දේශපාලනඥයන් පමණක් නොව පොදු ජනතාව ද අසමත් වූ බව අපගේ නම් අදහසයි. යටකී පරිදි, ඊලාම් රාජ්‍යයයක් වෙනුවෙන් පෙනී සිටින අන්තවාදීන් සහ මධ්‍යස්ථ මතධාරී දමිල දේශපාලනඥයන් අතර වෙනස නිවැරදිව වටහා ගැනීමට නොහැකිවීම දකුණේ දේශපාලනඥයන් වෙතින් කාලයක් තිස්සේ දක්නට ලැබුණු දුර්වලතාවයකි. කොටි ත‍්‍රස්තවාදීන් හා සාමාන්‍ය දමිල ජනතාව අතර වෙනස නිවැරදිව වටහා ගැනීමට නොහැකිවීම කාලයක් තිස්සේ දක්නට ලැබුණු දුර්වලතාවයකි. සෑම දමිලයෙක් ම කොටියෙක්ය යන අන්තවාදී, සාවද්‍ය ආකල්පය දෙමළ-සිංහල ජනතාව එකිනෙකාගෙන් දුරස් කරලීමට සෑහෙන දායකත්‍වයක් සැපයූ බව මුසාවක් නොවන්නේ්ය.

ඒ වැරදි අවබෝධය නිවැරදි කරගැනීමට දකුණේ දේශපාලන නායකත්‍වය දැන්වත් ඉදිරිපත් විය යුතුය. සෑම දමිලයෙක් ම කොටි ත‍්‍රස්තවාදියෙකු නොවන්නා සේම සෑම දමිල දේශපාලනඥයෙක් ම ජාතිවාදියෙකු නොවන බව දකුණේ දේශපාලන නායකත්‍වය තේරුම් ගත යුතුය. කොටි සෙවණැලිවලට යළි නැගිටීමට ඇති ඉඩකඩ අහුරාලන අතර ම, මධ්‍යස්ථ මතධාරී දමිල දේශපාලනඥයන්ගේ සාධාරණ ඉල්ලීම්වලට කන්දීමට දකුණේ දේශපාලන නායකත්‍වය ඉදිරිපත් විය යුතුය. එසේ නොකළහොත්, මධ්‍යස්ථ මතධාරී දේශපාලනඥයන් දමිල ජනතාවගෙන් ප‍්‍රතික්‍ෂේප වීමට ඉඩ ඇත්තේය. එනම්, දෙමළ ජාතික සන්ධානයේ වර්තමාන අර්බුදය හරහා අන්ත ජාතිවාදය යළි හිස එසවීමේ තර්ජනයක් මතුව ඇත්තේය. දෙමළ සන්ධානයේ අර්බුදය ජාතික සංහිඳියාවට තර්ජනයක් විය හැකි යැයි අප අවධාරණය කරන්නේ මේ නිසාය.

Back to Home page