18 June, 2026

Blog

අනුර කුමාරට චිලී රටෙන් පාඩමක්

ජයන්ත වැලිවිට –

ජයන්ත වැලිවිට

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සහ ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර වසරකටත් වඩා පසුකර ඇත. දශක ගණනාවක නව ලිබරල් ආර්ථික පීඩනය ගෙනදුන්, දූෂණය, සොරකම් හා සමාජ අසාධාරණකම් තුල ජනතාව අතරමන්ව සිටීම තවමත් අවසන් වී නොමැත. කෝවිඩ් වසංගත ප්‍රහාරයත් සමග නිදහසින් පසු ඉතිහාසයේ ප්‍රබලම ආර්ථික බිඳවැටීම සිදුවිය. ආර්ථික ව්‍යසනයක් ඉදිරිපිට නිර්මාණය විය හැකිව තිබූ විරැකියාව, දරිද්‍රතාවය, සාගතය පිලිබඳව අදහසක් නොමැතිව, මිනිසුන් ඊට එරෙහිව පෙලගැස්විණ. ඇතිවූ අරගලය හේතුවෙන්, ජනාධිපති දෙවෙනි රාජපක්ෂට රට අත්හැරයාමට සිදුවිය. අර්බුදවල ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහ බලයට පත්විය. කෙටි පාලන කාලය තුළ ඔහු තම පංතිමය පක්ෂපාතීත්වයේ නග්න ස්වරූපය පෙන්වීය.

අර්බුදයට පිළිතුරු ලෙස දක්ෂිණාංශික රාජපක්ෂලා, රනිල් හෝ සජිත් පමණක් නොව කොමියුනිස්ට් පක්ෂ නාම පුවරුවෙන් පැමිණි දිලිත් ජයවීර වැනි අන්ත දක්ෂිණාංශිකයෙක්වත් ජනතාව බාරගත්තේ නැත. අර්බුදය තුල නව වියහැකියාවන් දැකීමේ ප්‍රතිභාව ඇත්තේ දිලිත් ජයවීරලාට නොවන බව පෙන්වීමට සමත්වන නව වමකට එම අවස්ථාව විවෘත විය. ජනතා ආකර්ෂණය දක්ෂිණාංශික විපක්ෂය කෙරෙහි නොමැති බව ප්‍රකාශවිය. ඒ වෙනුවට දූෂණය, සොරකම, අපරාධ නැතිකිරීමට පොරොන්දු වූ ජනතා විමුක්ති පෙරමුණ මුල්වූ ජාතික ජනබලවේගයට පැහැදිලි බලයක් සඳහා ඉඩ සැකසිණ. මෙය රටේ සමාජ වෙනසක් අපේක්ෂාවෙන්, දේශපාලනය නැවත සකස්වූ ඓතිහාසික පෙරළියකි. නමුත්, වසරකට වඩා තම බලකාලය තුල ඔවුන්ගේ ශේෂපත්‍රය පිලිබඳව, ජා... යේ වැඩ පිලිවෙළ බලයට ගෙනඒමට මූලික වූවන්ගේ චෝදනාවට හා විවේචනයට ලක්ව අසතුට ප්‍රකාශවීම දකින්නට ඇත.

මේ ආකාරයට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නව රජය ඇතිකරගෙන තිබෙන ගිවිසුම මගින් බැඳ ඇති නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති මත පැවැත්ම, ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ගෙනඒම හා පීඩාකාරී අණපනත් අහෝසි කිරීම, රාජ්‍ය තුල දූෂණය අවසන් කිරීම හා පශ්චාත් ආපදා කළමනාකරණය ඇතුළත් කරුණු පිලිබඳව පුලුල් සාකච්ඡාවක් සිදුවෙමින් පවතී. ශ්‍රී ලංකාවට යම් සමාන දේශපාලන ලක්ෂණ සහිත ලතින් ඇමරිකානු කලාපයේ, චිලී රාජ්‍යයේ මෑතක පැවති ජනාධිපති මැතිවරණ ප්‍රතිඵලයෙහි පණිවිඩය අපට කොතරම් ගැලපේ දැයි මතක් කරදීම මෙම ලිපියේ උත්සාහයයි. ඒකාධිපති දේශපාලනය පරදා, වාමාංශික බලයක් පිහිටුවා දක්ෂිණාංශිකයෙකුට පාර කැපූ අයුරු දැකගන්නට අවශ්‍ය නම්, ලංකාවේ වර්තමාන පාලකයින්ට පාඩමක් ලෙස චිලිය විවරණය කරගත හැකිය.

වම පරදා දකුණ ජයගැනීම

2025 දෙසැම්බර් 14 වන දින පැවති ජනාධිපති මැතිවරණයේදී, ජෝසෙ අන්ටෝනියෝ කාස්ට් තෝරාපත් කරගත්තේ, ඔහුගේ කොමියුනිස්ට් ප්‍රතිවාදියා වූ ජෙනට් ජාරාට වඩා විශාල පරතරයකින්ය. කාස්ට්ගේ අතිවිශිෂ්ට ජයග්‍රහණය, මෙම මැතිවරණය වත්මන් ජනාධිපති ගේබ්‍රියෙල් බොරික්ගේ ප්‍රතිසංස්කරණවාදී වාම රජයේ අසාර්ථක පරිපාලනයට, ප්‍රධාන දේශපාලන පරාජයක් ලෙසින් ප්‍රතිචාර දැක්වීමක් බව පැහැදිලිය. එය ප්‍රධාන ප්‍රතිපත්ති ඉටුකිරීමට අපොහොසත්වීම නිසා තමන්ගේම සමාජ පදනම, අධෛර්යයට පත්කිරීමට හේතු විය. දකුණට පහසු ප්‍රවේශයක් එයින් සකස්කර දුන්නේය.

මිලියන 20 පමණ වන චිලීයේ ජනගහනයෙන්, ජනාධිපතිවරණයේදී මිලියන 15.6 ක් පමණ ඡන්දය ප්‍රකාශකිරීමට සුදුසුකම් ලබා සිටියහ. කාස්ට්, ඡන්දවලින් 58% කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගත් අතර, ඔහුගේ ප්‍රතිවාදියා වූ ජනාධිපති ගේබ්‍රියෙල් බොරික්ගේ කම්කරු අමාත්‍ය ජෙනට් ජාරා, 42% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබුණි.

දශක තුනහමාරක් පමණ පැවති ඔගස්ටෝ පිනෝචේගේ ඒකාධිපතිත්වය අවසන්වී තිබුනත්, පිනෝචේගෙන් පසු පත්වූ වඩාත්ම දක්ෂිණාංශික නායකයා ලෙස විපක්ෂ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකජෝස් ඇන්ටෝනියෝ කාස්ට් තෝරාපත් කරගෙන තිබීමෙන්, ඒකාධිපතිවාදයේ අවසන්වීමද අවසන් විය. කාස්ට්ගේ ජයග්‍රහණය ලැබෙන්නේ ලොවපුරා අන්ත දක්ෂිණාංශිකයින්ගේ නැගීම සනිටුහන් කරන සන්දර්භයක් තුළය. චිලියේ වාමාංශයෙන් නැවත දකුණට බලය ගෙනදුන්නේ කෙසේදැයි සොයාබැලිය යුතුය. චිලී ඡන්දදායකයින් විසින් මෙහිදී ලබාදුන් තීන්දුව, පසුගිය දශක දෙක තුළ ලතින් ඇමරිකානු කලාපයේ, වාමාංශික ආණ්ඩුවලරෝස රැල්ලආපසු හැරවූ පුළුල් දක්ෂිණාංශික මාරුව තවදුරටත් පෙන්වාදීමකි. මෑතකදී බොලිවියාවේ වසර 20 ක වාමාංශික පාලනය බිඳවැටීමද මීට අනුකූලව සිදුවූවකි. නමුත් නූතන ලතින් ඇමරිකාව සහ චිලී රට පිළිබඳ සොයාබැලීමේදී, චිලී මැතිවරණ දේශපාලන ක්‍රමය කෙරෙහි වසර කීපයක් තිස්සේ වැඩිවූ කලකිරීමේ දේශීය සන්දර්භය පිළිබිඹුවන බව තේරුම්ගත හැකිය.

කෙසේ වෙතත්, තේරී පත් වූ නව ජනාධිපතිවරයා මුහුණදෙන ගැටලුව නම්, අවසානයේ ඔහු බලයට ගෙන ආ අර්බුද මාලාව මුල් බැස ඇත්තේ පිනෝචේ සහ ඔහුගේචිකාගෝ බෝයිස්උපදේශකයින් විසින් ගෙනෙන ලද නව ලිබරල් ආර්ථික ආකෘතියේ දෝෂ තුළ වීමය. ඉදිරියේදී සිදුවිය හැකි අයිතිවාසිකම් අහිමිවීමේ අනතුර ගැන බොහෝ දෙනා දැන් බියවී ඇත. ගබ්සාව වැනි කාන්තාවන්ගේ ශාරීරික ස්වාධීනත්වය සඳහා අයිතිවාසිකම් හෙවත් පුද්ගලයන්ගේ අයිතිවාසිකම්, සේවකයින්ගේ ගෞරවනීය කොන්දේසි සඳහා අයිතිවාසිකම් යන මේවා නව පරිපාලනය යටතේ අනතුරට ලක්විය හැකි බව සැක පලකරයි. කාස්ට්, මැතිවරණයේදී බලය ඉල්ලා සිටියේ, 21 වන සියවසේ චිලී ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන අභියෝගවලින් එකක් වන ඡන්දදායක අතෘප්තිය සහ කලකිරීම වෙනස් කිරීමටය. නමුත්, 2026 මාර්තු මාසයේදී නව රජය බලයට පත්වූ පසු එම වෙනස්වීම දැකීම දුෂ්කර විය හැකියැයි අනාවැකි පලවීම දැනටමත් ආරම්භවී ඇත.

වමට ලැබුණු අවස්ථාව                                                                                                      

2010 වසරවල ආර්ථික පරිහානිය, විශ්‍රාම වැටුප්, විශ්ව විද්‍යාල සහ සෞඛ්‍ය සේවා ඇතුළු පෞද්ගලීකරණය කරන ලද සේවාවන් කෙරෙහි උතුරා ගිය අතෘප්තිය සමඟ, 2019 සහ 2020 වසරවලදී චිලී රාජ්‍ය පුරා මහජන විරෝධතා උත්සන්න විය. ප්‍රතිඵලය වූයේ බොරික් යටතේ දේශපාලන බලය වමට හැරවීමයි. ෆැසිස්ට්වාදයට එරෙහිව සටන්කිරීම සහ චිලීයනව ලිබරල්වාදයේ සොහොනබවට පත්කිරීමේ පොරොන්දුව ඔහු ජනතාව හමුවේ තැබීය. නමුත්, කම්කරු හිතවාදී ජයග්‍රහණ අතලොස්සක් ලබා තිබුණත්, කෝවිඩ් වසංගතයෙන් පසු උද්ධමනය, අපරාධ සහ නීති විරෝධී සංක්‍රමණ ඇතුළු ගැටළු රැසකට විසඳුම් සෙවීමට බොරික් පාලනයට නොහැකි විය.

මුල් අවධියේදී, බොරික් වැනි ප්‍රගතිශීලීන් පැරණි ව්‍යවස්ථාවට විරුද්ධවීමට පෙරමුණ ගත්හ. එය ජාත්‍යන්තර වාමාංශය රැඩිකල් වෙනසක් සඳහා ආදර්ශයක් ලෙස දකින්නට ඇත. චිලීයේ ඡන්දදායකයින් ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වමට නැඹුරු නියෝජිතයන්ද ජාතික කොන්ග්‍රසයට (පාර්ලිමේන්තුවට) තෝරා පත්කර දුන්හ. නමුත් නූතන ප්‍රගතිශීලීවාදයේ නරකම නාටකයක් පෙන්නුම් කරමින් ව්‍යවස්ථා සම්මුතිය විහිළුවක් බවට පත්විය. ජනතා විශ්වාසය ලබාගැනීම කෙසේ වෙතත්, චිලී ජාතිකයන් යෝජිත නව ව්‍යවස්ථාව පුළුල් ලෙස ප්‍රතික්ෂේප කරන තැනකට තල්ලූවිය. පසුව ඡන්දදායකයින් ද ප්‍රතික්ෂේප කළ දකුණට නැඹුරු වූ සම්මුතියකින් යුතු නව ව්‍යවස්ථා ලේඛනයක් ඉදිරිපත් කරන ලදුව, චිලී රාජ්‍යය වසර හතරක් නැවත ගොඩනැගීමට උත්සාහකළ ව්‍යවස්ථාව සමඟ තාමත් සිරවී සිටී. සිය ව්‍යවස්ථාව නැවත ලිවීමට ගත් අසාර්ථක උත්සාහය, නව ලිබරල්වාදය ලෙස හැඳින්වෙනඉතිහාසයේ අවසානයසමඟ, දකුණේ හෝ වමේ සිට රැඩිකල් වෙනසක් සොයන සියල්ලන්ටම අනතුරු ඇඟවීමේ කතාවක් විය.

සමහරුන් මෙම වාමාංශික පරාජය, කණගාටුදායක පුවතක් ලෙස නම් කළේය. කෙසේ වෙතත්, මෙම ඛේදවාචකයේ ප්‍රධාන වැරදිකරු රටේ වත්මන් ජනාධිපති වනගේබ්‍රියෙල් බොරික්බව සඳහන් කෙරේ. එනිසා, භූ දේශපාලනික සංසිද්ධීන් සහ විවිධ කලාපීය කරුණුවලට අනුව, වාමාංශික බලයක් සඳහා ඇති අවශ්‍යතාවයන්ට මුදාහරින ලද, ව්‍යාජ වාමාංශික ප්‍රකාශයක් ලෙස ඔහුව හඳුන්වයි. ජනාධිපති බොරික් මෙම පරාජයෙන් යමක් ඉගෙනගත් බවක් පෙන්වමින්, වඩාත් සාම්ප්‍රදායික සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට පක්ෂව ඔහුගේ කැබිනට් මණ්ඩලයෙන් අත්දැකීම් අඩු ක්‍රියාකාරීන් දුසිම් ගණනක් නෙරපා හැරියේය.

කෙසේ වෙතත්, සෞඛ්‍ය සේවා සහ විශ්‍රාම වැටුප් පිළිබඳ සියලු පොරොන්දු ඉටුකිරීමට බොරික්ගේ රජය අපොහොසත් විය. චිලී ජාතිකයන්ගේ දුප්පත්කම සියයට 40 දක්වා ඉහළ ගියේය. මේ අතර කොමියුනිස්ට් අපේක්ශිකා ජාරාගේ නායකත්වයෙන් යුත් කම්කරු අමාත්‍යාංශය 2028  වසර වනවිට වැඩ සතිය පැය 45 සිට 40 දක්වා අඩු කිරීම සම්මත කළ අතර අස්ථිර සේවකයින් සඳහා ආරක්ෂාව ස්ථාවර කළේය. 2022 දී ඩොලර් 400 ක් පමණ වූ චිලියේ අවම වැටුප, 2026 වසර වනවිට මසකට ඩොලර් 500 ක් පමණ දක්වා ඉහළ දැමීමටද සූදානම් කර තිබේ.

වමෙන් දකුණට මඟ සැකසීම                                                                                           

නමුත් මෙම ජයග්‍රහණ දකුණට ප්‍රතිලාභ ලබාදුන් නව දේශපාලන පරිසරයක මඟ ඇහිරීමට අපොහොසත් විය. උද්ධමනය හේතුවෙන්, කම්කරුවන්ගේ මිලදීගැනීමේ ශක්තිය සාපේක්ෂ වශයෙන් පහත වැටී ඇත. රාජ්‍ය සමාගම් විසින් ලිතියම් සහ හරිත හයිඩ්‍රජන් සඳහා ආයෝජන ප්‍රවර්ධනය කිරීමට බොරික් ගත් උත්සාහයන් පරිසරවේදීන් විසින් නතරකර ඇති බැවින් ආර්ථික වර්ධනය මන්දගාමී වීමට හේතුවක්ව ඇත. මෙම අංශ පෞද්ගලික ආයෝජන සඳහා විවෘත කිරීමට ජයග්‍රාහී කාස්ට් පොරොන්දු වී තිබේ.

පොලිසිය සඳහා අරමුදල් ලබාදීම වැඩිකර මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයක් නිර්මාණය කළ බැවින් බොරික් ගෞරවයට පාත්‍රවිය. නමුත් බොහෝ ඡන්දදායකයින් අපරාධ රැල්ල ඉහළයාම ගැන ඔහුට දොස් පවරයි. ආරක්ෂාව සම්බන්ධයෙන් රටේ අපරාධකරුවන් මෙල්ල කිරීමෙන් ඉහළ පිලිගැනීමට ලක්ව ඇති, එල් සැල්වදෝරයේ දක්ෂිණාංශික ජනාධිපති නයිබ් බුකෙලෙගෙන් උපදෙස් ලබාගැනීමට කාස්ට් පොරොන්දු වී ඇත.

මෙම මැතිවරණ ව්‍යාපාරය තුළ චිලියේ ඡන්දදායකයින්ගේ අවධානයට ලක් වූ ප්‍රධාන ගැටළු වූයේ අපරාධ සහ සංක්‍රමණයයි. චිලියේ සංක්‍රමණික ජනගහනය මිලියන 1.6 ඉක්මවා ගොස් ඇති අතර එය මිලියන 20 ට අඩු රටකට අතිවිශාල බරකි. බොරික් යටතේ වාර්තාගත අඩු පිටුවහල් කිරීම් වැඩකරන පන්තියේ කෝපයටද හේතුවිය. නමුත් රටේ උතුරු දේශසීමාව මිලිටරිකරණය කිරීමෙන් නව ඇතුලුවීම් වැළැක්වීමට බොරික් පරිපාලනය උත්සාහ කළේය. ඇමරිකාවේ ට්‍රම්ප්ට අනුව යමින්, සියලුම නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමටද, තාප්ප, අගල් සහ වැටවල් වලින් සමන්විතදේශසීමා පලිහක්ගොඩනඟන බවටද කාස්ට් පොරොන්දු වී තිබේ.

චිලී රාජ්‍යය ලතින් ඇමරිකාවේ අඩුම අපරාධ අනුපාතවලින් එකක් වුවද, මෑත වසරවලදී සංවිධානාත්මක අපරාධ පිළිබඳ බරපතළ සිද්ධීන් ජාතියම කැළඹීමට ලක්කර ඇත. වෙනිසියුලාවේ මෙන්ම පේරු, හයිටි, කොලොම්බියාව සහ බොලිවියාවේ ආර්ථික හා දේශපාලන අර්බුදවලින් පලා ගොස් චිලිය වෙත පැමිණෙන සංක්‍රමණිකයන් විශාල සංඛ්‍යාවක් ඇතුලත් සංක්‍රමණ ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. වැඩිවන අපරාධ මැඩපැවැත්වීම සඳහා බන්ධනාගාර පද්ධතිය පුළුල් කිරීමට වාමාංශිකයන් පොරොන්දු වුවත්, ලේඛනගත නොකළ සංක්‍රමණිකයින් සම්පූර්ණයෙන්ම පිටුවහල් කරන බවට ජයග්‍රාහී ජනාධිපති කාස්ට් තර්ජනය කළේය.

2025 ඔක්තෝබර් මාසයේ පැවති මත විමසුමකින් විශේෂයෙන් අපරාධ ඉහළම ගැටලුව බව සොයාගත් අතර, සංක්‍රමණ, විරැකියාව සහ සෞඛ්‍ය සේවා ප්‍රශ්නද ඉහළ මට්ටමක පවතින බව සඳහන් වෙයි.

කාර්මිකකරණයේ ප්‍රධාන අඩුපාඩු සමඟ ආර්ථික ක්‍රියාකාරකම්වල අතිවිශාල කොටසක නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී ඇත. දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 ක් වටිනා වියදම් කප්පාදුවක් පැනවීමට පොරොන්දු වෙමින්, තම අසල්වැසියා වන ආර්ජන්ටිනාවේ දක්ෂිණාංශික ජනාධිපති ජේවියර් මිලෙයි අනුකරණය කිරීමෙන් තත්වය තවත් නරක අතට හැරවීමට කාස්ට් සූදානම් බව පෙනේ. එය ආර්ථිකය බිඳ වැටිටවීමට ගන්නා පැහැදිලි පියවරක් බවට ලතින් ඇමරිකානු ආර්ථික විශාරදයන් පෙන්වා දෙයි.

චිලීය තවමත් කලාපයේ වඩාත්ම ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රටකි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ශුභවාදීවීමට අවම වශයෙන් යම් හේතුවක් තිබේ. පසුගිය කාලසීමාවේදී චිලී දේශපාලනයේ ඇති වූ සන්ධාන වලින් පෙනීයන්නේ, ව්‍යවස්ථාමය ක්‍රියාවලිය සමඟ පවතින තත්ත්වය පිළිබඳව ඡන්දදායකයින් කෝපයෙන් සිටියත්, ඔවුන් ඕනෑම ප්‍රතිඵලදායක රැඩිකල් බාධා නිවැරදි කිරීමක් ද ලබාදෙන බවයි. බොරික් සහ වාමාංශිකයින් ක්‍රියාත්මක කළ හැකි විකල්පයක් සැපයීමට අපොහොසත් වූවත්, මැතිවරණ ව්‍යාපාරයේදී දුන් පොරොන්දු හා තේරීපත් වූ නව ජනාධිපතිවරයාගේ වාසියට හේතුවූ බොහෝ සාධක ඔහු ධුරයට පත්වූ පසු, වගකීම් බවට පත්වීමේ අභියෝගය ඔහු ඉදිරියේ පවතී.

සමහර නිරීක්ෂකයින් කාස්ට් සහ එල් සැල්වදෝරයේ නයිබ් බුකෙලෙ, ආර්ජන්ටිනාවේ ජේවියර් මිලෙයි සහ බ්‍රසීලයේ ජෙයාර් බොල්සොනාරෝ වැනි අනෙකුත් අන්ත දක්ෂිණාංශික ලතින් ඇමරිකානු නායකයින් අතර සැසඳීම්ද කර ඇත. නමුත්, චිලී රටේ බොරික්ගේ පාලනය හුදෙක් තම අසල්වැසියන් මෙන් අන්ත දක්ෂිණාංශික ක්‍රියාපිළිවෙත් අනුගමනය කලේ නැත.

චිලී අර්බුදයේ පෙරළිය                                                                                                    

1973 දී ඡන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ සමාජවාදී අගමැති සැල්වදෝර් අලෙන්ඩේ ඉවත්කර බලයට පැමිණි, චිලීයේ ඒකාධිපති ඔගස්ටෝ පිනොචේගේ ආඥාදායකත්වය පිහිටවීමෙන් දශක 4 කට වඩා පැරණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒකාධිකාරය, ලෝකය තුල නව ලිබරල් ආර්ථික ක්‍රමයේ අත්හදාබැලීම මුලින්ම ස්ථාපිත කරන ලදී. එහි පීඩාවට එරෙහිව චිලී ජාතිකයන්ගේ විරෝධතාවලට ප්‍රතිචාර වශයෙන්, 2019-2020 කාලය තුළ අසමානතාවය සම්බන්ධයෙන් ඇති වූ කැලඹීම් සහ මහජන විරෝධතා සටන් රැල්ලක් ඇති විය. එහි පෙරමුණ ගත් හිටපු වාමාංශික ශිෂ්‍ය නායකයා ගේබ්‍රියෙල් බොරික්, 2022 දී ජනාධිපති ලෙස බලයට පත්විය. ඓතිහාසික මොහොතක් වූ එම අවස්ථාවේදී, නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති මුල් බැසගත් සහ අසමානතාවයට මුහුණදීමට රජයට ඇති හැකියාව සීමාකළ ජෙනරාල් පිනෝචේ යුගයේව්‍යවස්ථාවනැවත ලිවීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමටද ජනතාව ඡන්දය දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පොදු සම්මුතියට සෘජුවම තේරීපත් වූ පුරවැසියන්ගෙන් සමන්විත වූ අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් බිම් මට්ටමේ ජනතා ව්‍යාපාරවලින් තේරී පැමිණි අය වූහ.

නමුත්, බලයේ මුල් මිනිත්තුවේ සිටම බොරික්ගේ රජය තම ඡන්දදායකයින් අතරමන් කර, ‘මොනේඩාජනාධිපති මන්දිරය නැවත අත්පත් කරගැනීම පිනොචේවාදයට උල්පතක් වූ බව සමහර වාම විචාරයකයින්ගේ අදහසයි. පිනොචේ ඒකාධිපතිත්වයේ වින්දිතයින්ගේ සොහොන් මත බොරික් සහ ඔහුගේ සගයින් විසින් වැගිරූ කිඹුල් කඳුළු දේශපාලන සංදර්ශනයක් වගේම සැල්වදෝර් අලෙන්දේ වැනි චිලී වීරයන්ගේ මතකයට අපහාසයක් වූවේ යැයිද ඔවුන් පවසති.

බොරික්ගේ නව ලිබරල් ආණ්ඩුවේ කොටසක් බවට චිලීයේ ප්‍රබල කොමියුනිස්ට් පක්ෂයද එක්වීමෙන් පසු, තම මූලධර්ම පාවාදුන් බවට චෝදනා කෙරිණ. නව රජය පිනොචේගේ ඒකාධිපතිත්වයට වඩා වැඩි හානියක් චිලී වමට කළ අතර, රටේ සමාජ ව්‍යාපාර අපකීර්තියට පත්කර බෙදා වෙන් කළහ. දැන් මේ සඳහා විශාල දේශපාලන මිලක් ගෙවමින් සිටී. සමාජවාදී කියුබාව, නිකරගුවාව හා වෙනිසියුලාව වෙත උදච්ඡ ලෙස හතුරු ආකල්පයක් මුදාහල බොරික්, ඇමරිකා එක්සත් ජනපදයේ උපායමාර්ගික සගයෙකු සහ අධිරාජ්‍ය ගැති, ලතින් ඇමරිකාවේ සියලුම ස්වාධීන ආණ්ඩුවලට වෛරකරන උක්‍රයිනයේ සෙලෙන්ස්කිගේ මිතුරෙකු සහ රසිකයෙකු බව පෙන්වීය.

බලාපොරොත්තු ගිලිහුණු සිව් වසරක වාම පාලනය                                                                                           

යථාර්ථය නම් චිලීහී ආර්ථික ආකෘතිය මූලික වශයෙන් නොවෙනස්ව පවතින බවයි. බොරික් යටතේ, ආර්ථික වර්ධනය රටේ තවමත් එකතැන පල්වෙන පතල් අංශය මත රඳා පවතී. රට ප්‍රාථමික නිෂ්පාදන අපනයනය මත රඳා පවතින තාක්කල්, එයට නිමක් නැති කඩාවැටීමේ චක්‍රයෙන් ගැලවීමට නොහැකි වී ඇත. පොරොන්දු වූ ස්ථාවර සහ හොඳින් වැටුප් ලබන රැකියා, ආරක්ෂාව, හොඳ විශ්‍රාම වැටුප්, සංක්‍රමණ පාලනය බලාත්මක කිරීම සහ දැරිය හැකි, විශ්වාසදායක සෞඛ්‍ය සේවාවක් වැනි දෑ වාමාංශික බොරික් යටතේ, ලබානොදුන් බව පැහැදිලිය.

පහළ සිට ඇති ස්වාධීන සංවිධානය ශක්තිමත් කිරීම වෙනුවට, බොරික් කම්කරු ව්‍යාපාරය සහ තරුණයින්ශිෂ්‍යයින් උදාසීන තත්වයක තබාගැනීමට සමත්විය. ඔහු මෙය කළේ ඔහුගේ රජයේ පදනම ලෙස පැවති වෘත්තීය සමිති නායකයින්ගේ සහ ප්‍රතිසංස්කරණවාදී දේශපාලන පක්ෂවල අනුග්‍රහයෙනි.

ප්‍රතිඵලය නම්, ඡන්දදායකයින්ගෙන් 60% ක් පමණ පිනොචේගේ කාස්ට්ට ඡන්දය දීමයි. මෙයින් අදහස් වන්නේ ප්‍රතිසංස්කරණවාදී වාමාංශිකයින්ගේ උදාසීනත්වයට ස්තූතිවන්ත වන්නට අන්ත දක්ෂිණාංශිකයින් ජයග්‍රහණ ලබාගත් කාලපරිච්ඡේදයක් වන බොරික් රජයේ සිව් වසරක පාලන පාඩමයි.

චිලීයේ වසර ගණනාවක ව්‍යවස්ථාමය අත්හදා බැලීම නව සමාජීය හා ආර්ථික එකඟතාවයක් ඇතිකරගැනීමට දුර්ලභ අවස්ථාවක් ලබා දුන්නේය. එහි අසාර්ථකත්වය ක්‍රියාකාරී ස්වයංපරාජිත වමක් සහ ඒ හා සමානව බෙලහීන ප්‍රතිගාමී දක්ෂිණාංශයක් අතර පිරිහෙන ආර්ථිකයක් පාලනය කිරීම සඳහා නිමක් නැති අරගලයක් පෙන්නුම් කරයි.

ඉහළින් සිදුවන සාකච්ඡා හෝ මහජනතාවගේ පිටුපසින් සිට සිදුකරන පාර්ලිමේන්තු වාසියක් ලබා ගැනීමට හෝ ප්‍රතිඵල වලට බලපෑම් කිරීමට දක්ෂ උපක්‍රම හෝ කුමන්ත්‍රණ, බොහෝ විට කපටිකම් මගින් හෝ දක්ෂිණාංශිකයින් සහ සමාගම් ලොක්කන් සමඟ ඇතිකරගන්නා ගිවිසුම් මගින් කිසි අර්බුදයක් නිමා කළ නොහැකි බව චිලිය කියාදෙන තවත් පාඩමකි.

චිලියේ හා ශ්‍රී ලංකාවේ දේශපාලනයේදී, තමුන් සැමවිටමනිවැරැදි දේ කියයි හෝ කරයිලෙස සිතීම හෝ සිතන්නට හැරීම සාර්ථකත්වය අත්කරගැනීම පිලිබඳ ප්‍රශ්නයකි. දේශපාලන පරිවර්තන තේරුම් ගැනීමට ශක්තියක් ලංකාවේ වත්මන් පාලනයට තිබිය යුතුය. දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාව අපයෝජනයට ලක්කළ දක්ෂිණාංශික බලවේග, ඇස් අමෝරාගෙන බලාසිටින වග අමතක කළ නොහැකිය. චිලියේ පාඩම් වටහාගැනීම රාජ්‍යයේ පැවැත්මට හා දීර්ඝ ගමනක් සඳහා මගහැරිය නොහැක්කකි.

Latest comments

  • 0
    0

    AKD යනු තම පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වූ විකටයෙකු බව ජනතාව වේගයෙන් සොයා ගනිමින් සිටිති. ඔහු තම තරාදිය කෙතරම් ඉහළ මට්ටමක තබා ඇත්ද යත්, ඔහුගේ දේශපාලන තරඟකරුවන්ට එරෙහිව අතිශයෝක්තියෙන් චෝදනා එල්ල කිරීමට පෙර ඔහුට ඒ සියල්ල ඇගයීමට නොහැකි විය. ඒවායින් බොහොමයක් දැන් සත්‍යයට වඩා අසත්‍ය බව ඔප්පු වී ඇත. ඔහුගේ මැතිවරණ ආශ්‍රිත ප්‍රබල කතාව ප්‍රධාන වශයෙන් දේශපාලනික වූයේ, සුදුසුකම් ලත් ඡන්දදායක කණ්ඩායමෙන් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන අහිංසක සහ කෝපාවිෂ්ඨ ගැලරියෙන් පහසු ඡන්ද ලබා ගැනීම සඳහා ය. කෙසේ වෙතත්, පසුගිය මාස 15 තුළ ආපසු හැරී බලන විට, AKD මෙම ජාතියට නායකත්වය දී ඇත, නමුත් ඔහුට කිසිවක් නිවැරදිව ග්‍රහණය කර ගැනීමට නොහැකි වී තිබේ. මෙය හුදෙක් මෙම වැටුණු ජාතියේ අනාගතයට ශාපයකි. පුහුණු නායකයින්ට ඔවුන්ගේ ආධුනික ක්‍රියාකාරකම් පුහුණු කිරීමට ඉඩ දීමට අපට කාලයක් නොමැත. අපි තව දුරටත් අපගේ කාලය නාස්ති කරමු, 2028 සිට ක්‍රියාත්මක වන පරිදි අපගේ ණය ගෙවීම් සමඟ එය වඩාත් නරක අතට හැරෙනු ඇත. මෑත කාලීන ව්‍යසනයෙන් පසු ජාතිය නැවත ගොඩනැගීමට තවමත් බොහෝ දේ ලැබී නැත, මන්ද ඔවුන්ගේ විදේශ කටයුතු අරමුදල් සපයන ජාතීන්ට පණිවිඩය ප්‍රවාහනය කිරීමට තරම් දියුණු වී නොමැති බැවිනි.

  • 1
    0

    HOW STUPID people must be to still admit that former ASOKA RANWALA or similar ex technicians had doctorates, despite his public failure to show it. Those lesser individuals in that vicious circle are up to defend him publicly today, claiming that RANWALA received his degree under a “wrong name.” Are Japanese or Germans or others ever permitting doctorates to be conferred without first studying the candidate’s history >>? In a PhD thesis application, you are only asking for a gap-free Curriculum Vitae, which is the first step in the requirements process, as I am well aware. Japanese and German law enforcement practices are nearly identical in terms of equality. Lies over lies!
    https://www.youtube.com/watch?v=OwcRl0I5Bzc&t=64s

  • 1
    0

    හිටපු අසෝක රන්වල හෝ ඒ හා සමාන හිටපු කාර්මික ශිල්පීන්ට ආචාර්ය උපාධි තිබූ බව පිළිගැනීමට මිනිසුන් කොතරම් මෝඩ විය යුතුද, ඔහු එය ප්‍රසිද්ධියේ පෙන්වීමට අපොහොසත් වුවද. එම විෂම කවයේ සිටින එම අඩු පුද්ගලයින් අද ප්‍රසිද්ධියේ ඔහුව ආරක්ෂා කිරීමට ඉදිරිපත් වී සිටින්නේ රන්වල ඔහුගේ උපාධිය “වැරදි නමකින්” ලබා ගත් බව පවසමිනි.
    ජපන් ජාතිකයින් හෝ ජර්මානුවන් හෝ වෙනත් අය අපේක්ෂකයාගේ ඉතිහාසය මුලින්ම අධ්‍යයනය නොකර ආචාර්ය උපාධි පිරිනැමීමට කවදා හෝ අවසර දී තිබේද? ආචාර්ය උපාධි නිබන්ධන අයදුම්පතක, ඔබ ඉල්ලා සිටින්නේ පරතරයක් නොමැති Curriculum Vitae එකක් පමණි, එය මා හොඳින් දන්නා පරිදි අවශ්‍යතා ක්‍රියාවලියේ පළමු පියවරයි.
    ජපන් සහ ජර්මානු නීතිය ක්‍රියාත්මක කිරීමේ පිළිවෙත් සමානාත්මතාවය අනුව බොහෝ දුරට සමාන වේ. බොරුවලට වඩා බොරු!
    https://www.youtube.com/watch?v=OwcRl0I5Bzc&t=64s

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.