18 June, 2026

Blog

1991 දෙසැම්බරයේ කතාව; රත්තන් රතු පවුර බිඳ හෙළීම  

උපාලි ගජනායක –

උපාලි ගජනායක

ලෝක දේශපාලන ඉතිහාසයේ 1917 ඔක්තෝබරය ඓතිහාසික  වන්නේ ලෝකයෙහි රතු පවුරක් බැඳීම හේතුවෙනි. 1991ඓතිහාසික වන්නේ එම රතු පවුර බිඳ හෙළීම හේතුවෙනි.

මිහායිල් ගොර්බචෝෆ් ගේ වචනයෙන් සඳහන් කරන්නේ නම්, එය “ලෝකයේ ප්‍රෞඩ රාජ්‍යයක අවසානය” ප්‍රකාශයට පත්කරනු ලැබීම විය. ගොර්බචෝෆ්, ලොව කෝටි සංඛ්‍යාත ජනකායක්  කම්පාවට පත් කිරීමට හේතු වූ එම ඓතිහාසික ප්‍රකාශය කළේ  මෙයින් අවුරුදු තිස් හතරකට පෙර 1991 දෙසැම්බර් 26 දින සෝවියට් සංගමය නිල වශයෙන් විසුරුවා හැරීමේ ගිවිසුමට අත්සන් තබමිනි.

”සෝවියට් සංගමය නිල වශයෙන් විසුරුවා හරිනු ලැබීමත් සමඟ ඔබ ලෝකයේ බලවත් රාජ්‍යයක් සහ එම ප්‍රෞඩ රාජ්‍යයේ පුරවැසිභාවය අහිමි කරගනු” ඇතැයි සෝවියට් පුරවැසියන් අමතා කතා කළ ගොර්බචෝෆ් සඳහන් කළේ දුක්මුසු ස්වරයකිනි.

‘රතු ලෝකයේ’  නියමුවා සහ ආරක්ෂකයා හැටියට ලෝකයේ එක් කොටසක ගෞරවය සහ ආදරය දිනාගන්නා අතරම, අනිත් අතින් ලොවක් බියපත් කිරීමට ද හේතු වූ මහබලවතකු නිල මට්ටමින් බිඳ වැටුනේ එදින නමුත් අවනතියේ කතන්දරය දිග හැරෙමින් තිබුනේ වසර කීපයක පටන්ය. එහි නිෂ්ටාව තීන්දුකරන ලද්දේ සෝවියට් නායක මිහායිල් ගොර්බචෝෆ්  ක්‍රිමියාවේ සිය ‘දාචා’ හි  (Country House) නිවාඩුවක් ගත කරමින් සිටියදී, 1991 අගෝස්තු 18 වන ඉරිදා සවස දියත් කෙරුන අසාර්ථක කුමන්ත්‍රණ ප්‍රයත්නයත් සමඟය. එම කුමන්ත්‍රණය සංවිධානය කරන ලද්දේ 1985 වසරේ සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් පදවියට පත් ගොර්බචෝෆ් විසින් හඳුන්වා දෙන ලද ‘පෙරෙස්ත්‍රොයිකා’ (ප්‍රතිව්‍යුහගත කිරීම ) සහ ‘ග්ලාස්නොට්'(විවෘතභාවය)  ප්‍රතිසංස්කරණ ආපසු හැරවීම අරමුණු කරගත් දැඩි මතධාරී කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින් අටදෙනකුගේ පුරෝගාමිත්වයෙනි. රුසියානු ඉතිහාසය නව දිශාවකට යොමුකිරීමට මුල් වූ එම කණ්ඩායම සහ ඔවුන්ගේ ක්‍රියාව දැන් හඳුන්වනු ලබන්නේ ‘අටදෙනාගේ කල්ලිය’ සහ ‘අටදෙනාගේ කුමන්ත්‍රණය’ යනුවෙනි.

1991 සෝවියට් කුමන්ත්‍රණයේ නියමුවන් විසින් ගොර්බචෝෆ් අත පැවති නිල රාජ්‍ය බලය සියතට පවරා ගැනීමේ චේතනාවෙන් සිව් පුද්ගල නියෝජිත මණ්ඩලයක් ක්‍රිමියාවට පිටත්කර හරින ලද  අතර ඔවුන් ගොර්බචෝෆ් හමුවෙමින් ඉල්ලා සිටියේ  සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් සිය  උප ජනාධිපතිවරයා වූ යනායෙෆ් (Gennady Yanayev)  වෙත බලය පැවරීමේ ලියවිල්ලකට අත්සන් කරන ලෙසය. එහෙත් කවර වූ හේතුවක් නිසා හෝ ගොර්බචෝෆ් විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද්දේ මොස්කව් කුමන්ත්‍රණ කණ්ඩායමේ නියෝජිතයන් බලාපොරොත්තු නොවූ මට්ටමිනි. සෝවියට් ඉතිහාසයේ අත්දැකීම් අනුව විමසන විට බ්‍රෙස්ෆ්නෙෆ් කණ්ඩායම විසින් කෘෂෝෆ් බලයෙන් ඉවත් කරන ලද පරිදි ගොර්බචෝෆ් බලයෙන් නෙරපා හරිනු ලැබීම අසාර්ථක වූ බව පෙනෙයි.

මොස්කව් අගනුවර  ක්‍රෙම්ලිනය තුළ ආරම්භ වූ කුමන්ත්‍රණයේ  පළමු ප්‍රයත්නය එපරිද්දෙන් අසාර්ථක වෙද්දී, සමස්ත සෝවියට් බල හුවමාරු ප්‍රයත්නය තීරණාත්මක පරාජයකින් කෙළවර වුනේ එවකට රුසියානු ජනරජයේ ජනාධිපති පදවියට මහජන ඡන්දයෙන් පත්ව සිටි බොරිස් යෙල්ත්සිංගේ  නායකත්වයෙන් ආරම්භ වූ  මහජන ප්‍රතිරෝධය හේතුවෙනි.

ඉන්ද්‍රඛීලයක් අදිසි චණ්ඩ මාරුතයකින් බිම ඇද වැටුන පරිද්දෙන් සෝවියට් සමාජවාදී සංගමය නමැති මහ බලවතා බිඳහෙළන ලද දේශපාලන මාරුතය කුමක්ද? යන්න සම්බන්ධයෙන් නොයෙක් ප්‍රවාද ඉදිරිපත්ව ඇතත්, එම බිඳ වැටීම සම්බන්ධයෙන් සිදුකෙරෙන සමීප විමර්ශනයක දී ඉස්මතු වෙන ප්‍රමුඛකාරණයක් වන්නේ සමාජ ක්‍රමයක් වශයෙන් ඊට එල්ල කෙරුන අභියෝගයයි.

බිඳවැටීමට තුඩු දෙන ප්‍රධාන සිදුවීම්

1991 කුමන්ත්‍රණයේ පරාජය විසින් සෝවියට් කොමියුනිස්ට්වාදයේ අභාවය  නිශ්චිතව සළකුණු කරන ලද නමුත්  අවම වශයෙන් 1985 වසරේ දී මිහායිල් ගොර්බචොෆ්ගේ ප්‍රතිසංස්කරණවාදී පාලන තන්ත්‍රයේ ආරම්භයේ සිටම දක්නට ලැබෙන්නේ සෝවියට් සමාජය තුළ කොමියුනිස්ට් පක්ෂයේ (CPSU) ආධිපාත්‍යය සහ බලපෑම සීඝ්‍රයෙන් පිරිහෙමින් පැවතුන ආකාරයකි. කලින් සිටි නායකයන් තිදෙනාට සාපේක්ෂව තරුණයකුගේ ජවය ප්‍රදර්ශනය කළ එවකට පනස් හතර හැවිරිදි(54) ගොර්බචෝෆ් 1985 දී කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් බවට පත් වූ අතර, ඔහු විසින්  ග්ලාස්නොට්  (විවෘතභාවය) සහ පෙරෙස්ත්‍රොයිකා (ප්‍රතිව්‍යුහගත කිරීම) ලෙස හැඳින්වෙන පුළුල් ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන ලද්දේ සමස්ත සමාජවාදී ලෝකයට පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වෙමින් තිබුණ කොමියුනිස්ට් පක්ෂවලට නව දේශපාලන දැක්මක් සපයමිනි. එක තැන පල්වෙන සෝවියට් ආර්ථිකය පුනර්ජීවනය කිරීම සහ දේශපාලන විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම ඉලක්කගත අරමුණු වූ  නමුත් භාවිතයේ දී අපේක්ෂිත අරමුණට හානිකරමින් එමගින් සිදුවුනේ නොදැනුවත්වම මෙන් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම අධිකාරී බලය  දුර්වල කරනු ලැබීමය. අවසානයෙහි 1917 ඔක්තෝබර් විප්ලවය මගින් ස්ථාවර කරන ලද සුවිශේෂී රාජ්‍යය බිඳ හෙළනු ලැබීමය.

ඒ අනුව වඩාත් ගැඹුරින් විමසන විට  හැත්තෑ හතර වසරක සෝවියට් පාලකයන් විසින් ඔවුන්ගේ පරමාදර්ශී නායක ව්ලදිමීර් ලෙනින්ගේ න්‍යාය හෝ භාවිතය අනුව යමින් නවීන ගතික රාජ්‍යයක් සහ නව මාදිලියේ සමාජ ක්‍රමයක් බිහි කිරීමට අපොහොසත් වීය යන අමිහිරි යථාර්ථ මාක්ස්වාදය සිය දේශපාලන ධර්මය ලෙස පිලිගනු ලබන සියළු වාමාංශිකයන් විසින් පිළිගත යුතු සත්‍යයක් බවට පත් වෙයි.

මෙම ප්‍රවාදය තවදුරටත් පැහැදිළි කරනු ලැබීම සඳහා අප සෝවියට් සංගමය නම් නියමු රාජ්‍යයෙන් නික්ම  කොමියුනිස්ට් පක්ෂ විසින් පාලනය කරන ලද ලෝකයේ වෙනත් කලාපයන්ට පිවිසීම වැදගත්ය. අඩුම තරමින් බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයට අභියෝගයක් වූ වෝර්සෝ සංවිධානයට අයත් රටවල දේශපාලන ඉරණම විමසීම වුවද විමසීම මෙම කාරණය අතින් ප්‍රමාණවත් අවබෝධයක් ලබා දෙයි.

සෝවියට් සංගමයෙන් පරිබාහිරව කොමියුනිස්ට් කඳවුරේ පසුබැසීමේ තිත්ත ඇත්ත තේරුම්කර දීම සඳහා ම විසින් පළමු උදාහරණය ලෙස කරුණු උපුටා ගනු ලබන්නේ ජර්මනිය එක්සත් කිරීමේ බටහිර සැලසුමට එකඟවීමට ගොර්බචෝෆ්ට (සෝවියට් සංගමයට?) සිදුවීම ආශ්‍රයෙනි.මෙහි ප්‍රබල අවස්ථාව ලෝක සිතියමේ ධනපති බටහිර ලෝකය සහ රතු පැහැයෙන් සටහන් වූ නැගෙනහිර යුරෝපය වෙන්කෙරෙන සංකේතය වූ බර්ලින් පවුර මත මිටිපහර එල්ල කොට බිඳ හෙළනු ලැබීමය.1990 ජනවාරි මාසය වන විට බටහිර ජර්මනිය සමඟ  නැවත එකතුවීම පිළිගැනීම සඳහා ගොර්බචෝෆ් තල්ලු කෙරෙන තරමට අර්බුද රැසකට මුහුණ දී සිටි කොමියුනිස්ට් නැගෙනහිර ජර්මනියේ තත්වය නරක අතට හැරී තිබුණි.

ජර්මනිය එක්සත් කිරීමේ දී අභිනව රාජ්‍යයට නේටෝ මෙන්ම වෝර්සෝ සංවිධනයේ ද සාමාජිකත්වය  පවත්වා ගත හැකි බවට වාචිකව ලද ප්‍රතිඥාවන් බලරහිත ගිවිසුම් බවට පත්වුණේ ජාත්‍යන්තර මට්ටමින් සෝවියට් සංගමය සතු ශක්තියට අභියෝග කරමිනි. එම තත්වය ජාත්‍යන්තර වශයෙන් පමණක් නොව දේශීය වශයෙන් ද ගොර්බචෝෆ්  කෙරෙහි එල්ලකරන ලද්දේ නරක බලපෑමකි. ජාත්‍යන්තර වශයෙන් වෝර්සෝ සංවිධානයට අයත් සෙසු රටවලට එමගින් නරක පණිවුඩයක් ලබා දුන් අතර අභ්‍යන්තර වශයෙන් ඔහුගේ විවේචකයෝ දේශපාලන වශයෙන් පක්ෂයේ ජාතික සහ ජාත්‍යන්තර අභිලාෂයන් පාවා දුන් බවට ගොර්බචෝෆ්ට චෝදනා කළහ. එම විවේචකයන් කෝපයට පත්ව සිටියේ නැගෙනහිර යුරෝපීය වෝර්සෝ කොමියුනිස්ට් හවුල්කරුවන්ට සෘජු සෝවියට් බලපෑමෙන් ඉවත් වීම සඳහා  ජර්මනියේ සිදුවීම් මගින් පූර්වාදර්ශයක් සැපයීම සම්බන්ධයෙනි.

එම කටුක අත්දැකීම ජර්මනියට පමණක් සීමා වූ ප්‍රවනතාවක් නොවුනි. පෝලන්තයෙන් ආරම්භ වූ අභියෝගය වෝර්සෝ රටවල් සියල්ලෙහිම මෙන් ජාතිකවාදී දේශපාලන බලවේග අවදිකරමින් පැතිර යමින් තිබුනේ රැල්ලක් මෙනි. නැගෙනහිර යුරෝපයෙන් ලැබෙන දිනපතා වාර්තාවන්හි ප්‍රධාන සිරස්තල බවට පත්ව තිබුනේ දීර්ඝකාලීනව රටවල්  පාලනය කරමින් සිටි ජ්‍යෙෂ්ට කොමියුනිස්ට් නායකයන්ට එරෙහිව  ලක්ෂ සංඛ්‍යාත ජනතාව සහභාගී වූ මහජන පෙළපාලි සම්බන්ධයෙනි.ඇතැම් ස්ථානයන්හි තත්වය සාමකාමී සීමාවන් ඉක්මවා යමින් ප්‍රචණ්ඩ මුහුණුවරක් ගන්නා ලද ආකාරය පෙන්නුම් කෙරුනේ රුමේනියාවේ නිකොලායි චවුසෙස්කි වැනි (සහෝදර)පාලකවරුන් සාහසික ආකාරයට මරාදමනු ලැබීම වැනි සිදුවීම් මගිනි. 1990-91 අවධිය වන විට නැගෙනහිර වෝර්සෝ කඳවුරේ (බෙල රුසියාව හැර) සියළු රටවල් කටයතු කරමින් සිටියේ වෝර්සෝ ප්‍රඥප්තිය නොතකා හරිමිනි. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ කොමියුනිස්ට් පක්ෂ විසින් පාලනය කරන ලද්දේ වී නමුත් ඔවුන්ගේ ප්‍රචාරක යන්ත්‍ර මගින් ප්‍රදර්ශනය කෙරුන ආකාරයට වඩා සහමුලින්ම වෙනස් කටුක යථාර්ථයක් නැගෙනහිර සිතියමේ පැවතුන බවයි.

එම නැගෙනහිර පාර්ශ්වයේ රටවල මෝදුවෙමින් පැවති තත්වය සෝවියට් සංගමය තුළත්  ජාතිකවාදයේ නැගීම ඉක්මන් කරනු ලැබීමට හේතු විය. ගොර්බචෝෆ් පාලනය තුළ ක්‍රියාත්මක වූ ප්‍රතිසංස්කරණ සහ විවෘතභාවය  තුළ සෝවියට් සමූහාණ්ඩු තුළ පමණක් නොව ස්වාධීන  ජනරජ තුළ පවා ජාතිකවාදී ව්‍යාපාරවල ගම්‍යතාවයක් ඇතිකරනු ලැබීමෙන් එය පැහැදිලි වෙයි. දේශපාලන නිදහස පුළුල් වන විට, බොහෝ ජනරජයන් ඔවුන්ගේ ස්වාධීනත්වය තහවුරු කිරීමට පටන් ගත් අතර, එය ප්‍රකාශයට පත්වුණේ ස්වෛරීභාවයේ ප්‍රාර්ථනා වශයෙනි. ජනවර්ග හෝ ජාතික සීමාවන් ඉක්මවා යමින්  ලෙනින් අපේක්ෂා කළ ජාතීන් අතර  ඒකත්වය හැත්තෑ හතර වසරක කොමියුනිස්ට් පාලනය තුළ ගොඩ  නැගී  නොතිබුණි. අවසානයේ රුසියාවත් ඇතුළුව සමූහාණ්ඩු සියල්ලේ ම මෙන් ලෙනින් ප්‍රතිමා ඇතුළු සියලු විප්ලවීය ස්මාරක වීදි බැස සිටි කණ්ඩායම්  විසින්  බිම හෙළන ලද්දේ සෝවියට් කොමියුනිස්ට් පක්ෂය විසින් ඉතිහාසයේ මග හරින ලද වගකීමේ පලය වූ දේශපාලන වෛරයේ අස්වැන්න නෙලා ගනිමිනි.

බ්‍රෙෂ්නෙෆ් සමයේ (Leonid Brezhnev) සෝවියට් පාලනය ලෝකය හමුවේ කියා සිටී කාරණයක් වන්නේ ‘තම දේශය සමාජවාදී සමාජ ක්‍රමයෙහි පළමු අවධිය සම්පූර්ණ කර ඇති අතර එහි ඊළඟ අවධිය වූ කොමියුනිස්ට්වාදී සමාජයක් කරා ගමන් කරමින් සිටින බවය. බ්‍රෙෂ්නෙෆ් ගේ අවුරුදු දහ අටක්  වූ දීර්ඝ පාලන සමය (1964-1982) තුළ එවැනි සමාජවාදී ජයග්‍රහණ කෙසේවෙතත් ‘රට එක තැන පල් කිරීමක්’ සම්බන්ධයෙන් විවේචන එල්ල කරන ලද්දේ ගොර්බචෝෆ් පාලන තන්ත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා මග පෙන්වන ලද න්‍යායවාදීන් විසිනි. බ්‍රෙස්නෙෆ්ට පසු සෝවියට් නායකයන් බවට පත්  මහළු නායකයන් වූ යූරි අන්ද්‍රපෝෆ්  සහ කොන්ස්තන්තීන් චෙර්නෙන්කෝගේ සමස්ත පාලනය වසර තුනකට (1982-1985) සීමා වූ අතර එය සෝවියට් ඉතිහාසයට එකතුවන්නේ  සංවර්ධන සැලසුම් සම්බන්ධයෙන් නොව  ‘වෘද්ධයන්ට සැලකීම සඳහා තනතුරු පිරිනමන ලද ඊනියා අවුරුදු තුනක්’ හැටියටය. ඒ අනුව බ්‍රෙස්නෙෆ් විසින් ‘එක තැන පල් කරන ලද සමාජය’ ඉන් ගොඩගැනීමේ භාරධූර කර්තව්‍යයයි – ගොර්බචෝෆ් වෙත 1985 දී පවරන ලද්දේ. එහෙත් ඔහුගේ උරහිස් මත පවරන ලද්දේ ආර්ථික සංවර්ධනය අතින් ලිබරල් ධනේශ්වර ලෝකයට වඩා සැතපුම් ගණනක් පිටුපසින් පැවතුන (සමාජවාදී) සමාජයකි. ඒ අතරම ඇෆ්ඝන් යුද්ධය ද ඇතුළුව නැගෙනහිර යුරෝපය නඩත්තු කිරීම සහ ලෝකයේ කොමියුනිස්ට් පක්ෂ සහ  සෝවියට් සංගමයට හිතවත් රටවල් සහ බලවේග පවත්වා ගැනීම සඳහා කෙරෙන වැය ශීර්ෂය නඩත්තු කර ගැනීම පවා අසීරු අභියෝගයක් බවට පත් විය. එවැනි ප්‍රවණතා සියල්ල අසූවේ දශකයේ අවසන් අවුරුදු වනවිට සෝවියට් සමාජය මත පරාවර්තනය වෙමින් තිබුනේ බියජනක ස්වරූපයකිනි. සමාජවාදී සමාජ ක්‍රමයෙහි පළමු අවධිය සම්පූර්ණ කරන ලද බවට කලින් සිදුකළ ප්‍රචාරනය අරුත් සුං නිර්මාණයක් බව සහතික කෙරුනේ  මහජනතාව සඳහා  අත්‍යවශ්‍ය භාණ්ඩ සම්පාදනය කිරීමට පවා රාජ්‍යය අසමත් වීමෙනි.

රුසියාවේ ගොවීන් කම්කරුවන් සහ සෙබළුන්ගේ ශ්‍රමය විසින් ගොඩනගන ලද සමස්ත ලෝකයේ වාමවාදීන්ගේ පරමාදර්ශී සමජක්‍රමය වූ සෝවියට් සංගමය එය  ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නැගුන මහජන හඬකින් තොරව ම බිඳ වැටුනේ එවැනි පරිසරයකය.1991 දී සියල්ල තීන්දුකෙරුනේ  මහජනතාව  (ඒකාධිකාරී පාලන තන්ත්‍රයක් අත කෙන්ද්‍රගත වූ) තමන් නියෝජනය කළ පක්ෂයෙන් මෙන්ම එම පක්ෂය විසින් මෙහෙයවන ලද රාජ්‍යය කෙරෙහි වූ විශ්වාසය සහ තමන් අපේක්ෂා කළ සුවිශේෂී සමාජක්‍රමය කෙරෙහි වූ බලාපොරොත්තු කෙරෙන් වියෝ වූ බලවේගයක් බවට පත්වීමෙනි.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.