27 April, 2024

Blog

අවශ්‍ය කරන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි

ජයතිලක ද සිල්වා –

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවෙන් සම්මත විය. මන්ත‍්‍රීවරු 212 ක් පක්ෂවත්, එක් මන්ත‍්‍රීවරයෙක් විරුද්ධවත් ඡන්දය පාවිච්චි කළහ. තවත් මන්ත‍්‍රීවරයෙක් ඡුන්දය දීමෙන් වැළැකී සිටි අතර මන්ත‍්‍රීවරු 10 දෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටියහ. එසේ හෙයින් මෙය ඒකච්ඡන්දයෙන් සම්මත වීමකට ආසන්නයි. මේ දක්වා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගෙනැවිත් තිබෙන සංශෝධන අතරින් 13 වැනි සහ 17 වැනි සංශෝධන හැරුණු කොට, අනිත් සෑම සංශෝධනයකින්ම කෙරී ඇත්තේ තනි පුද්ගලයෙකුගේ අසීමිත බලය තවත් ශක්තිමත් කර ගැනීමයි. අවුරුදු 37 කට පසු ප‍්‍රථම වතාවට එම බලය දැන් කප්පාදු කොට තිබේ. පැහැදිළිවම, ඒ වනාහී, නිවැරදි දිසාවට තැබූ පියවරකි. එනම්, අත්තනෝමතිකත්වයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙසට තැබූ පියවරකි.

ස්වේච්ඡුාවෙන් බලය අත්හැරීම

මේ ඓතිහාසික තීන්දුව තුළ තිබෙන්නේ, ‘කළ නොහැකි දෙයක් කර ගැනීමේ’ හැකියාවයි. එහි ගෞරවය මුලින් හිමිවිය යුත්තේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනටයි. තමාගේ අත්තනෝමතික බලතල ස්වේච්ඡුාවෙන් අතහැරීමට ඉදිරිපත් වූ ඔහු, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන අරගලයට නායකත්වය දුන්නේය. එහිදී, සාකච්ඡුා මාර්ගයෙන් ප‍්‍රශ්න නිරාකරණය කර ගැනීමේ හැකියාව, ප‍්‍රශ්න දෙන ප‍්‍රායෝගිකව බැලීමේ හැකියාව, නම්‍යශීලී භාවය, සහ ඒ සියල්ලටමත් වඩා, ඔහුෙගේ අරමුණේ ඇති නිර්-ව්‍යාජයත්වය සහ නිරවුල් භාවය ඔහුගෙන් කැපී පෙනුණි.

මුළුමණින් අහෝසි කිරීම

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අනුමත නොකළ ඇතැම් දේවල් වෙනත් මාර්ගවලින් මෙම සංශෝධනය තුළට රිංගවා ගැනීමට බැලීම ගැන විවිධ චෝදනා එල්ල වුවද, එසේම ඇතැම් චෝදනාවන්හි සත්‍යතාවක් තිබුණද, අගමැති රනිල් වික‍්‍රමසිංහත් මෙහිදී අනුගමනය කෙළේ නම්‍යශීලී ප‍්‍රතිපත්තියකි. එසේම 19 වැනි සංශෝධනයට පක්ෂව ඡුන්දය පාවිච්චි කළ සෑම මන්ත‍්‍රීවරයෙකුටමත් එහි ගෞරවය හිමි විය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. කෙසේ වෙතත්, මේ පරිවර්තනය පසුපස ඇති ප‍්‍රධාන ගාමක බලවේගය වුණේ, මේ රටේ ජනතාවත්, මෙම ව්‍යපාරයට මුල සිටම උරදුන් සිවිල් සමාජ නියෝජිතයනුත් ය.

Ranil and Maithriඇති වූ පරිවර්තනය සාධනීය වෙතත්, ප‍්‍රමාණවත් නොවේ. සමස්ත විධායක ජනාධිපති ක‍්‍රමයම අහෝසි කළ යුතුව ඇත. කෙසේ වෙතත්, මෙය සම්මත කර ගැනීම, මහා ආරම්භයකි. යමක යහපත් ආරම්භයම, එම කාර්යයේ අර්ධයක සාර්ථකත්වය යැයි කියමනක් තිබේ. මේ ක‍්‍රමය මුළුමණින් අහෝසි කර ගැනීමේ ඉදිරි වැඩ කොටස දැන් පැවරෙන්නේ මේ රටේ ජනතාවටයි. එය, ඊළඟ මැතිවරණයෙන් පසුව පිහිටුවා ගන්නා නව ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති මාලාවේ ප‍්‍රධාන අංගයක් විය යුතුව තිබේ.

19 වැනි සංශෝධනය, බන්දේසියක තබා පිළිගන්වන ලද්දක් නොවේ. ඒ වූ කලී, පසුගිය මාස තුනක කාලයක් තිස්සේ ගෙන ගිය අනවරත අරගලයක ප‍්‍රතිඵලයකි. අධිකාරීවාදයට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කළ අරගලයකි. රාජපක්ෂලා යටතේ පැවති තත්වය එයාකාරයෙන්ම පවත්වා ගැනීමට අවශ්‍ය කළ පිරිස් සහ එම තත්වය වෙනස් කිරීමට අපේක්ෂා කළ පිරිස් අතරේ කෙරුණු අරගලයකි. කොටින්ම එය, ප‍්‍රතිගාමී බලවේග සහ ප‍්‍රගතිශීලී බලවේග අතර කෙරුණු අරගලයකි. එහි මනා කැඩපතක් වන්නේ, ආණ්ඩුවත් නියෝජනය කරමින් විපක්ෂයත් නියෝජනය කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාවයි. හිටපු ජනාධිපතිවරයාගේ උසිගැන්වීම යටතේ ඇතැම් කොටස් ප‍්‍රසිද්ධියේම මීට විරෝධය පාමින් එය අඩාල කිරීමට යත්න දරමින් සිටි අතරේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකමතිකත්වයකට සමීප අනුකූලතාව අවසානයේදී ඒ සඳහා ලබා ගැනීමට සමත් වීම තුළින් පෙන්නුම් කෙළේ, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ නායකත්වයේ පැවති අපූර්වත්වයයි.

19 වැනි සංශෝධනය එසේ සම්මත කරගෙන තිබෙන තත්වය තුළ සහ ළඟදීම නව මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වා දෙන 20 වැනි සංශෝධනයත් සම්මත කර ගැනෙන තත්වය තුළ, දින 100 වැඩ පිළිවෙල බොහෝ කොට සාර්ථක වී ඇති බව කිව හැක. එසේම, පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට කලින්, තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනතත්, විනිමය වංචා පරීක්ෂණ කොමිසමත් පත්කර ගැනෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු. මැතිවරණයකදී දෙන ලද පොරොන්දුවලින් බහුතරයක් ඉටුකර දුන් ආණ්ඩුවක් වශයෙන් මේ පාලකයන් ඉතිහාසගත වනු ඇත්තේ එවිටයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත්කම ඉතා පැහැදිළි ය. දෙවරකටත් වඩා ජනාධිපති පදවියට පත්විය හැකි සේ සකසාගෙන තිබූ ප‍්‍රතිගාමී 18 වැනි සංශෝධනය ඒ මගින් අහෝසි කෙරුණි. යහපාලනය ස්ථාපිත කෙරෙන සහ අධිකරණය ඇතුළු රාජ්‍ය සේවයේ උසස් නිලතලවලට කෙරෙන පත්වීම් සඳහා ගජමිතුරුවාදයට ඉඩක් නොතබන ස්වාධීන කොමිෂන් සභා, ඒවායේ පෙර පැවති දුර්වලතාවලින් තොරව, යළිත් බලගැන්වුණි. නීතිය ක‍්‍රියාත්මක කිරීමේ අධිකාරී ආයතන වෙත ස්වාධීනත්වය පැවරීම මගින් නීතියේ ආධිපත්‍යය වඩාත් සුරක්ෂිත කිරීමට ඊට හැකි විය.

අවසානයේ යම් අවවාදාත්මක යමක්ද කිව යුතුව තිබේ. 19 වැනි සංශෝධනය සාර්ථක කර ගැනීමේ ප‍්‍රහර්ශයට යට වී, දේශපාලනික යථාර්ථයන්ට ඇස් අන්ධ කරගත යුතු නැත. අගමැතිවරයා දැන් හුදෙක් නාමමාත‍්‍රික නොවන තත්වයක් තුළ සහ බොහෝ බලතල ඔහුටත් පැවරී ඇති තත්වය තුළ, තවමත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ බහුතරයක් වන තත්වය තුළ, පරාජිත ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිටින ඔහුගේ සහචර තක්කඩි රැුළත්, ඇතැම් පළාත් සභා මන්ත‍්‍රීවරුනුත් පෙරටු කොටගෙන ඊළඟ ආණ්ඩුවේ අගමැති පුටුවේ වාඩි වීමට මානබැලිය හැක. එවැනි තත්වයක් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මාරකයක් වන බව අමුතුවෙන් කිව යුතු නැත.

මහජනතාව හැම මොහොතකම සුපරීක්ෂාවෙන් සිටිය යුත්තේය. විශේෂයෙන්, ප‍්‍රශංසනීය සටන් පාඨ පසුපස්සේ සැඟවී තම රුදුරු අරමුණු ඉටු කර ගැනීමට තතනන ප‍්‍රතිගාමීත්වයේ සැබෑ ස්වරූපය හඳුනා ගැනීම සඳහා ඒ නිරන්තර සුපරීක්ෂාව අවශ්‍ය කරන්නේය. උදාහරණයක් වශයෙන්, පාර්ලිමේන්තුවේ ‘ජනතා නියෝජනය’ පිළිබඳ ගෞරවනීය කඩතුරාවත්, එම නියෝජනත්වයේ උත්තරීතර භාවය පිළිබඳ කඩතුරාවත් පසුපස සැඟවී, සිවිල් සමාජ නියෝජනය ‘ව්‍යවස්ථා සභාවෙන්’ පිටමං කිරීමට විපක්ෂය ගත් උත්සාහය මෙහිදී පෙන්වා දිය හැක. එම ‘ව්‍යවස්ථා සභාවෙන්’ සිවිල් සමාජය පිටමං කර තැබීම සඳහා පාර්ලිමේන්තුවේ අසහායත්වයක් ඔවුන් හුවා දක්වන්නේ, මත්ද්‍රව්‍ය කප්පිත්තන් සහ එතනෝල් ජාවාරම්කාරයන් ඒ පාර්ලිමේන්තුව අද අරක්ගෙන සිටින තත්වයක් තුළ ය. සත්‍ය වශයෙන්ම විධායක ජනාධිපතිවරයා යටතේ සිදුවුණේ, සකල චින්තාවන්, සකල නව්‍යකරණයන් සහ සකල ප‍්‍රඥාවන් ජනාධිපතිවරයා තුළින් පමණක් ව්‍යුත්පන්න වීමත්, ඊට ප‍්‍රතිපක්ෂ ඕනෑම විසම්මුතියක් නිර්දය ලෙස මර්දනය කිරීමත් ය.

දැන් අප අත්පත් කරගෙන ඇත්තේ ප‍්‍රාරම්භයක් පමණි. එය, සංග‍්‍රාමයක් ජය ගැනීමක් මිස යුද්ධයක් ජය ගැනීමක් නොවේ. තව දීර්ඝ ගමනක් යාමට තිබේ. දැන් අවශ්‍ය කරන්නේ, විධායක ජනාධිපති ක‍්‍රමය සහමුලින් අහෝසි කර දැමීමයි. ජනාධිපතිවරණයේදී පොරොන්දු වූවා සේ, ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබාගන්නා ජන වරමක් හරහා ‘ව්‍යවස්ථා මණ්ඩලයක්’ පිහිටුවා ගැනීම, ඊළඟ පියවර විය යුතුය. හැකි තාක් ඉක්මණින් එය කරගන්නා තරමට ඇඟට ගුණ ය. එවැනි ‘ව්‍යවස්ථා මණ්ඩලයක්’ මගින් ඇති කරගන්නා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ, වෙනත් කරුණුවලට අමතරව, ජාතික ප‍්‍රශ්නය සඳහා වන දේශපාලන විසඳුමක් නොවැරදීම අඩංගු විය යුත්තේය. 19 වැනි සංශෝධනය හරහා ස්ථාපිත කෙරුණු ස්වාධීන කොමිෂන් සභාවන්හි ක‍්‍රියාකාරීත්වයේ යම් ප‍්‍රශ්න තිබේ නම් ඒවාද එකී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් නිරාකරණය කරගත යුතුව තිබේ.

ප‍්‍රතිගාමී බලවේග

ඉහත කී සියල්ල සාර්ථක කර ගැනීම සඳහා පුළුල් මහජන සංවාදයක් සහ කතිකාවක් අවශ්‍ය කෙරේ. එහි සාර්ථකත්වයේ යතුර ඇත්තේ, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇති කර ගැනීමේ දේශපාලනික ක‍්‍රියාවලියට වඩ වඩාත් පුළුල් මහජන සහභාගීත්වයක් ලබා ගැනීම තුළයි.

ඉදිරි මග වැටී ඇත්තේ, ශක්තිමත්ව දියත් කෙරෙන පංති සටන් අරගලයක් හරහා බව අමුතුවෙන් කිව යුතු නැත. ජනතාව අහක බලාගෙන සිටියොත්, එය රුකුලක් වනු ඇත්තේ ප‍්‍රගතිගාමී පරිවර්තනය දණගස්වා, පැරණි ක‍්‍රමය වෙත ආපසු යාමට බලා සිටින ප‍්‍රතිගාමී බලවේගවලටමයි. ඒ සඳහා අවශ්‍ය කරන භෞතික සහ චින්තනමය අමුද්‍රව්‍ය ඔවුන්ට නොඅඩුව තිබේ. දෙවැනුව කී දෙය, ඊනියා විචාරකයන් සහ විද්වතුන් යැයි කියාගන්නා පිරිස්, 19 වැනි සංශෝධනයට විරුද්ධ වෙමින් එය ‘ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්’ සේ හුවාදක්වමින් මාධ්‍ය හරහා පසුගිය කාලයේ රටට බණ කීමෙන් පෙන්නුම් කෙරුණි. දැන් සමස්ත පාර්ලිමේන්තුවම පාහේ ඒ ‘කුමන්ත‍්‍රණයට’ දායක වී ඇත. ඉතිං, ඊළඟ සටනටත් උරදෙමු. ඒ යුද්ධය, මුළුමණින්මත් නිශ්චිතවමත් ජයගන්නා තෙක්, නිවාඩු ගැනීමේ සුඛෝපභෝගී වරම අපට හිමි නොවේ.

*2015 මැයි 1 වැනි දා ‘ඬේලි නිව්ස්’ පුවත්පතේ ‘ක්‍රොස් කරන්ට්ස්’ තීරුව යටතේ පළවූ What is Required: Abolition of the Executive Presidency නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.