25 April, 2024

Blog

අපේ හොඳම දවස් තවමත් පැමිණීමට තිබේ

මංගල සමරවීර

මංගල සමරවීර - විදේශ කටයුතු අමාත්‍ය

මංගල සමරවීර – විදේශ කටයුතු අමාත්‍ය

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් එෆ්. කෙරී මහතාණෙනි,

සහකාර ලේකම් නිශා බිස්වාල් මහත්මියනි,
සම්භාවනීය අමුත්තනි,
මහත්ම මහත්මීනි,

ඇමරිකාව යනු අවස්ථාවන්ගේ දේශයයි යන්න මුළු ලෝකයේම පිලිගැනීමයි.

ශ්‍රී ලංකාව විසින් නව අවස්ථාවන් හා බලාපොරොත්තු සොයා ආරම්භ කර ඇති ගමනේ දී, මෙම සභාවේ සිටින සියළු දෙනා ද ඇමරිකාව සම්බන්ධයෙන් මා ඉහතින් කී කරුණ පිළිබඳ එකඟ වනවා නොඅනුමානය.

මෙම නිදහස ආරක්ෂා කර ගැනීම උදෙසා කරන ලද සාමූහික අරගල තුලින් ලත් අත්දැකීම් හරහා බිහිවූ ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ හරයන් ඇමරිකානු ඉතිහාසය පුරාවට සටහන්ව පවතී. ඉන්දියන් සාගරයේ මුතු ඇටය වශයෙන් ප්‍රචලිත ශ්‍රී ලංකාවේ ජීවත් වන අප ද අපගේ මේ මාතෘභූමිය අවස්ථාවන්ගේ හා සමෘද්ධියේ දේශයක් බවට පරිවර්තනය කිරීම උදෙසා කැපවී සිටින්නෙමු.

නිදහස සඳහා වූ අවිහිංසාවාදී අරගලයේ දී සියළු ශ්‍රී ලාංකිකයන් ජාති, ආගම්, කුල භේද වලින් තොරව දේදුනු විප්ලවයක් සඳහා පෙල ගැසුනු අතර මෙම අරගලය ජනවාරි 08 වන දින පැවති මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකාව තුල ප්‍රජාතනත්‍රවාදය තහවුරු කරමින් කෙලවර විය.

ශ්‍රී ලංකාව තුල ඇතිවූ මෙම සාමකාමී හා ප්‍රජාතාන්ත්‍රවාදී සංක්‍රාන්තිය අරාබි වසන්ත යුගයට ව්‍යතිරේකයක් ලෙස හැඳින්විය හැකි අතර මෙම තත්වය සංක්‍රාන්ත වෙමින් පවතින අනෙක් රටවලට ද ආදර්ශයක් වශයෙන් ගත හැක. ශ්‍රී ලාංකිකයන් මෙම වෙනස සඳහා භාවිතා කලේ වෙඩි උණ්ඩ, ගල්, පොලු, මුගුරු නොව සිය එක්සත් ඡන්දයයි. මෛත්‍රිපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ රජයේ පළමු දින 100 තුල නීතියේ ආධිපත්‍යය, මූලික නිදහස හා යහපාලනයේ වැදගත්කම තහවුරු කර ඇත. වර්තමානයේ අප විසින් අත්දකින, එදා ලේ, කඳුළු, දහදිය වගුරවා ලබාගත් නිදහස ආරක්ෂා කරගැනිමේ වැදගත්කම අද අපි අවබෝධ කරගෙන සිටිමු.

දින සියයේ වැඩපිළිවලේ අග්‍ර ඵලය අප විසින් දිනා ගත්තේ පසුගිය අඟහරුවාදා දින 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමඟය. මෙයට විරුද්ධව ලැබුනේ එක් ඡන්දයක් පමණක් වීමත් විශේෂත්වයකි. “” යන්න ඇමරිකානු සිහිනයේ මූලික හරයයි. ප්‍රජාතන්ත්‍රවාදය, වාර්ගික සංහිඳියාව සහ කරුණාව යන මූලිකාංග පෙරදැරිව යලි ගොඩනැගෙන ශ්‍රී ලංකාවේ ජීවත්වන අප ද අපේ හොඳම දවස් තව ඉදිරියට එතැයි බලාපොරොත්තු වෙමු.

විශ්වීය වටිනාකම් සුරැකීමට කැපවෙමින්, ගෝලීය ස්ථාවරත්වය උදෙසා ඇති ජාත්‍යන්තර රෙගුලාසි පද්ධතීන්ට ගරු කරමින් ශ්‍රී ලංකාව අද තමන් පත්ව සිටි ස්වයං හුදෙකලා තත්වය පරදමින් යලි නැගී සිටිනු දැකගත හැක.

රට තුල සිදුවූ දේශපාලනික සම්මතයන්ගේ වෙනස්වීම හා එයට සමාන්තරව සිදුවී ඇති විදේශ ප්‍රතිපත්තීන්ගේ වෙනස හමුවේ බාහිර ලෝකය සමඟ සබදතාවය ද අළුත් වී ඇත. උදාහරණයක් ලෙස අපගේ හිතවත් ප්‍රජාතන්ත්‍රවාදී ඇමරිකාව සමඟ සබඳතාවය නැවත ශක්තිමත් වීම දැක්විය හැක.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී විසින් අද දින ප්‍රකාශයට පත් කල දෙරට අතර සහයෝගීතා සංවාදය තුලින් මෙම උපදේශන ක්‍රියාවලිය වාර්ෂික පදනම මත විධිමත් කරනු ඇත. එමෙන්ම අපගේ ආර්ථික සංවර්ධන ව්‍යායාමයට අවශ්‍ය සහය ලබාදීම සඳහා වූ පො‍රොන්දුව ද අප ඉමහත් සතුටින් පිලිගනිමු.

මහත්ම මහත්මීනි,

ලෝකයේ ප්‍රචලිත දේශපාලන චරිතයක් වන අපගේ ආරාධිත දේශකයා පිළිබඳ දීර්ඝ හැඳින්වීමක් කිරීම අවශ්‍ය නොවේ. එසේ වුවද කෙටි හැඳින්වීමක් කිරීම සුදුසු යැයි සිතමි.

යේල් විශ්වවිද්‍යාලයෙන් උපාධිධරයකු වීමේ සිට රිදී සහ ලෝකඩ තරු ද රැගෙන වියට්නාමයේ සිට නැවත පැමිණි එක්සත් ජනපද නාවුක හමුදාවේ සේවා කාලය දක්වා වූ කීර්තිමත් වෘත්තීය ජීවිතයකට ජෝන් කෙරී මහතා හිමිකම් කියයි. නීතිය පිළිබඳ ඔහු සතු උපාධිය සහ මෙම අත්දැකීම් ඔහුගේ ජීවිතයට වැඩි වටිනාකමක් එක් කරන්නට ඇතැයි සිතිය හැක. මැසචුසෙත්ස් හි ආණ්ඩුකාරවරයා වශයෙන් කෙටි කලක් සේවය කිරීමෙන් අනතුරුව එක්සත් ජනපද සෙනෙට් මණ්ඩලයට තේරී පත්වූ ඔහු එහි වසර 28ක කාලයක් සේවය කලේය.

2004 වසරේ පැවැති අතිශය තරඟකාරී ඇමරිකානු ජනාධිපතිවර‍ණයේ දී අපගේ මෙම ගෞරවනීය ආරාධිතයා හිටපු ජනපති ජෝජ් ඩබ්ලිව් බුෂ් හට අභියෝග කරන අයුරු මුළු ලෝකයම දෑස් දල්වා බලා සිටියහ.

එම අවස්ථාවේ දී ජෝන් කෙරී මහතා ඇමරිකාවේ 42 වන ජනාධිපතිවරයා බවට පත්වනු ඇතැයි බලාපොරොත්තු වූ අය අතර මා ද සිටි බව මෙහිලා ගෞරවයෙන් යුතුව සිහිපත් කරනු තැමැත්තෙමි.

මැතිවරණ ප්‍රතිඵලය කුමක් වුවත් ජෝන් කෙරී මහතා ඇමරිකානු දේශපාලනයේ වැදගත් චරිතයක් වශයෙන් නොකඩවා කටයුතු කරනු දක්නට ලැබිණි. ඔහු 2009 වසරේ දී සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුවේ සභාපතිවරයා බවට පත්වූ අතර එම තනතුරේ වසර කිහිපයක්ම කටයුතු කලේය. මීට වසර දෙකකට පෙර ඇමරිකානු ජනපති බැරැක් ඔබාමා විසින් ජෝන් කෙරී මහතා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ධුරයට පත් කරන ලදි. මෙම ගෞරවනීය තනතුර දැරීමට අවස්ථාව ලත් 68 වැනියා ඔහු විය.

මහත්ම මහත්මීනි,

ජොන් එෆ්. කෙරී මහතාගේ මෙරට සංචාරය අඩ සියවසක් නොහොත් සැකෙවින් පවසන්නේ නම් වසර 43 කට පසු ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් වරයකු මෙරටට පැමිණි ප්‍රථම අවස්ථාව ලෙස හැඳින්විය හැක. ඔහුගේ පැමිණිම අපගේ මේ කුඩා දිවයින නැවතත් ජාත්‍යන්තර තලයේ පිලිගත් සථානයකට පැමිණිම සංකේතවත් කරයි.

ඒ අනුව මෙම සංචාරය, ඇමරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර සුවිශේෂි නොමැකෙන මිතුදමක ආරම්භය සනිටුන් කරනු ඇතැයි මා වැඩිදුරටත් අපේක්ෂා කරමි.

මහත්ම මහත්මීනි,  ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේ සභාපති වශයෙන්, මීලඟට සභාව අමතන මෙන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් එෆ්. කෙරී මහතා හට මම ඉතා ගෞරවයෙන් යුතුව ආරාධනා කරමි.

*ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතාගේ පැමිණීම නිමිත්තෙන්, ජාත්‍යන්තර සබඳතා හා උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේ දී මංගල සමරවීර මහතා විසින් කරනු ලබූ කථාව

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.