27 October, 2020

Blog

මාලිමාවක අවශ්‍යතාව

ජයතිලක ද සිල්වා –

එක්සත් ජාතික පක්ෂ-ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාග ආණ්ඩුවේ ප‍්‍රථම අයවැය පසුගිය සතියේ තුනෙන් දෙකක වැඩි ඡන්දයකින් සම්මත විය. කෙසේ වෙතත්, එය විවිධ සංශෝධනවලට යටත් විය. එය, ආණ්ඩුවේ යහපත් ලක්ෂණයක් පෙන්නුම් කරන්නකි. ඒ නිසා, වෘත්තීය සමිති සහ වෙනත් අදාළ පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ විවිධ විරෝධතා ඉවසිලිමත්ව සැළකිල්ලට ගනිමින්, ඔවුන් යෝජනා කළ සංශෝධන අයවැයට ඇතුළත් කර ගැනීමට අවස්ථාව සැලසුණි. තවත් යෝජනා කිහිපයක් සැළකිල්ලට ගැනීමට ඉතිරිව තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මහ වැඩ වර්ජනයක් අවසාන මොහොතේ වළක්වා ගත හැකි විය. එසේ වෙතත්, බැංකු සහ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඇතැම් වෘත්තීය සමිති, තමන්ගේ යෝජනා කෙරෙහි නිසි සැලකිල්ලකින් කටයුතු නොකළොත් අනාගතයේදී වැඩ වර්ජන ක‍්‍රියා මාර්ගයන්ට අවතීර්ණ වීමට තර්ජනය කරමින් සිටී.

Ranil maithriකලින් පැවති අත්තනෝමතික පාලන තන්ත‍්‍රයට ආපසු පල්ලම් බැසීමට බලා සිටින ආණ්ඩු-විරෝධී කොටස් තුළ මේ තත්වය විසින් යම් ව්‍යාකූලත්වයක් සේම එක්තරා බලාපොරොත්තුවක සේයාවක්ද ඇති කොට තිබේ. එවැනි ව්‍යාකූලත්වයකට ඉඩක් ඇත්තෙන්ම නැති අතරේම, හිටපු පාලකයාගේ අනුගාමිකයන්ට බලාපොරොත්තු දල්වා ගැනීමට හැකියාවක්ද තවම ඇත්තේ නැත.

සන්ධානයේ ස්වභාවය

මේ අවස්ථාවේ මතකයේ තබා ගත යුතු කාරණය වන්නේ, පැවති රාජ්‍ය පාලනය පෙරලා දැමූ සන්ධානයේ ස්වභාවය කවරේද යන්නත්, පැවති මැතිවරණවලින් පසුගිය දා එම සන්ධානය ජයග‍්‍රහණය කෙළේ මන්ද යන්නත් ය. මේ සන්ධානය සමරූපී නැත. එහි සංයුතිය, විසම එකතුවකි. එය, වාර්ගික, ආගමික සහ පංති වෙනස්කම් ඔස්සේ දිවෙන්නකි. කෙසේ වෙතත්, එම සන්ධානයේ සිටි කවුරුත් එකඟ වූ පොදු කාරණය වන්නේ, හිටපු ජනාධිපතිවරයාගේ පවුල් කොල්ලය සහ ඒකාධිපතිත්වය වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රීය පාලන තන්ත‍්‍රයක් ඇති කර ගැනීමයි. ඒ අපේක්ෂාව සඳහා, මාස අටක් වැනි කෙටි කාලයක් ඇතුළත දෙවරක්ම ජනතාව සිය අනුමැතිය දුන්හ. එකී ජයග‍්‍රහණය විදේශ කුමන්ත‍්‍රණයක් වශයෙන් හුවා දැක්වීමට විපක්ෂයේ කොටස් මොන තරම් වලිකෑවත්, ඒ ජයග‍්‍රහණ මගින් නව ආණ්ඩුවට සැපයුණු සුජාත භාවය ඉමහත් ය.

පාලක සන්ධානය සමන්විත වන්නේ විවිධ අපේක්ෂාවන් සහිත විවිධ පංති සහ කණ්ඩායම් නියෝජනය කරන නානා විධ සමාජ බලවේගවලින් නිසා, අයවැය වැනි කාරණයක් සම්බන්ධයෙන් විවිධාකාරයෙන් ප‍්‍රතිචාර දැක්වීම ස්වභාවික ය. මේ නිසා අවශ්‍ය කරන්නේ, ව්‍යාකූල වීම නොව, එම තත්වය වටහා ගැනීමයි.

රාජපක්ෂවාදීන් අවුරුදු 10 ක් නිදාගෙන සිට හදිසියේ අවදි වී, වැඩ කරන ජනතාවගේ විරෝධතා මැද්දෙන් වාසි ලබා ගැනීමට මේ අවස්ථාවේ තැත් කළත්, වැඩ කරන ජනතා විරෝධතාවන්ට නායකත්වය දුන් බලවේග, මොන ප‍්‍රශ්න ඇතත්, පැවති තන්ත‍්‍රයට වඩා වර්තමාන පාලනය ගැන තවමත් ප‍්‍රසාදයකින් සිටින නිසා, රාජපක්ෂවාදීන්ට වාසියක් අත් නොවිණ. ආණ්ඩුවේ ඇතැමුන් විසින් මෙකී වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග ආණ්ඩුව පෙරැුලීමේ කුමන්ත‍්‍රණයක් වශයෙන් දැකීම පදනම් විරහිත වන්නේ එබැවිනි.

එය මිත‍්‍ර පසමිතුරු භාවයකි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ මැදිහත් වීමෙන් යම් තාක් දුරට එය සමනය කරගත හැකි විය. මේ නායකයන් දෙන්නා කුමන්ත‍්‍රණකාරීන් සමග සහයෝගයකට යතැයි කිසිවෙකුට විශ්වාස කළ නොහේ.

මේ ව්‍යාකූලත්වය වැළැක්විය හැකිව තිබුණි. නැතහොත්, අඩාල කළ හැකිව තිබුණි. ඒ, අදාළ පාර්ශ්ව සමග, වැඩියත්ම වෘත්තීය සමිති සමග, අයවැයට කලින් කතාබස් කෙළේ නම් ය. වැඩ කරන පංතිය සමග කතා නොකොට, වාණිජ සහ කර්මාන්ත ක්ෂේත‍්‍ර හාම්පුතුන් සමග පමණක් සාකච්ඡුා කිරීම නිසා ආණ්ඩුවට විය හැකිව තිබූ හානිය විශාල ය.

දේදුනු සන්ධානය මගින් යෝජිත යහපාලනය කාරණා හතරකින් සමන්විත වෙයි. (1) පාරදෘෂ්‍ය භාවයක් සහිත පිරිසුදු ආණ්ඩුවක්, (2) සැමට සාධාරණ යුක්තිය, (3) පුරවැසියන්ගේ යහපැවැත්ම සහ (4) වාර්ගිකත්වය, ජාතිය සහ සමාජ තත්ව ආදිය මත වෙන් කොට සැළකීම අවසන් කිරීම යනුවෙනි.

නරක ආණ්ඩුකරණය

තිබුණු රජයේ නරක පාලන තන්ත‍්‍රය ජනතාව විසින් වෙනස් කරනු ලැබුවේ යහපාලනය පිළිබඳ න්‍යායික හෝ දාර්ශනික දැනුමක් නිසා නොව, එදා පැවති අයහපත් රාජපක්ෂ තන්ත‍්‍රය යටතේ තම දරුවන්ගේ අනාගතය අඳුරු විය හැකිය යන අවබෝධයත්, ඒ හේතුවෙන් සමාජ නිර්මිතය යම් දවසක කැඩි බිඳී යා හැකිය යන අවබෝධයත් නිසා ය.

තමන්ගේ දුක්ඛිත ජීවන තත්වයත්, අධිකාරිවාදී පාලන තන්ත‍්‍රයක ආපදාවනුත් අතර සම්බන්ධයක් ඇතැයි දැකීමට තරම් ජනතාව ඥානාන්විත විය. එදා පාලන තන්ත‍්‍රය විසින් ඔසවා තබන ලද අලූතින් ධනවත් වූ සමාජ පංතියක නාස්තිකාර පැවැත්මටත්, ඔවුන් අභ්‍යාස කළ දේශපාලනික හයිරංකාර කමටත් මේ ජනතාව ද්වේෂ කළහ.

ඒ අධිකාරීවාදී පාලන තන්ත‍්‍රය පෙරලා දැමීමෙන් පසු, යහපාලනය යනු කුමක්ද යන්න ගැන අධ්‍යාපනයක් සේම, ඒ සඳහා කටයුතු කළ යුත්තේ කෙසේද යන්න ගැන අවබෝධයකුත් ජනතාවට සැපයීමට අලූත් පාලකයන් පියවර ගත යුතුව තිබුණි.

එවැනි කිසිවක් සිදුවුණේ නැත. සමහර විට එවැනි නිරවුල් අවබෝධයක් ආණ්ඩුවේ ඇතැම් ඉහළ තැන්වලත් නැතිවා විය හැකිය. ඥාති සංග‍්‍රහය, විශේෂ අනුග‍්‍රහශීලීත්වය, රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරිවලට අතපෙවීම, කලින් වැරදි තවමත් සිදුවීම වැනි දේවල්වලින් පෙනෙන්නේ එයයි.

යම් දීර්ඝ කාලීන අගයක් සහිත පියවරකට ඇත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පමණි. ඒ මගින්, අවශ්‍ය ප‍්‍රමාණයට නොවුණත්, විධායක ජනාධිපති ධුරයේ ඇතැම් බලතල පාර්ලිමේන්තුවට පැවරීමටත්, ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා පත්කර ගැනීමටත් හැකි වී තිබේ.

අරමුණුවල නිරාකූලත්වය?

ආර්ථිකය සම්බන්ධ වන ඉතා වැදගත් ක්ෂේත‍්‍රයේදී අරමුණු පිළිබඳ පැහැදිළි බවක් නැත. ශ‍්‍රී ලංකාව, තවත් සිංගප්පූරුවක් හෝ දකුණු කොරියාවක් කිරීමේ කෙළවරක් නැති කතාබහ නම් අනන්තවත් තිබේ. අප නිදහස ලබන අවස්ථාවේ මේ රටවල් දෙකටම ඉදිරියන් අප සිටි බව දැන් ශෝකයෙන් මතක් කර ගැනීමද මේ අතර කෙරේ.

කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකාවේ විශේෂිත ස්වභාවය නිසා, සංවර්ධනය සම්බන්ධයෙන් වන විශේෂිත එළැඹුමක් අපට අවශ්‍ය වන්නේය. සුපුරුදු කෝවෙන් එළියට විත් ඒ දෙස බැලිය යුතුව තිබේ. ආනයන ආදේශනය සහ නව ලිබරල් යෝජනා, කාලයට ඔරොත්තු දිය නොහී අසාර්ථකව තිබේ. වෙනස්කකම්වලට භාජනය වී ඇති සාර්ව-ආර්ථික තත්වයන් තුළ, ඉස්සර වලංගු වූ ප‍්‍රතිකර්ම දැන් වලංගු නොවිය හැකිය.

අවශ්‍ය කරන්නේ, සංයුක්ත ප‍්‍රශ්නවලට පිළිතුරු සෙවීම මිස, න්‍යායන් පැටව් ගැසීම නොවේ. ආණ්ඩුව සියලූ ව්‍යාපාරික කටයුතුවලින් ඉවත් විය යුතුද? රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කළ යුතුද, නැත්නම්, මුලෝපායික වැදගත් කමක් ඇති ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් රාජ්‍ය මැදිහත්වීමක් පවත්වා ගත යුතුද? ලෝක වෙළඳ පොළේ අසමාන හුවමාරුව පිළිබඳ ප‍්‍රශ්නය ජයගන්නේ කෙසේද? ප‍්‍රමුඛත්වය දිය යුත්තේ කුමන නිෂ්පාදන ක්ෂේත‍්‍රයන්ටද? නව තාක්ෂණය ලබා ගත හැක්කේ කොහෙන්ද? අපේ ගොඩබිම් ප‍්‍රමාණයට වඩා කිහිප ගුණයකින් විශාල සාගර කලාපයේ බහුල සම්පත්වලින් ඵල ලබන්නේ කෙසේද? අපේ මානව සම්පත් වර්ධනය කිරීම මෙන්ම ආර්ථික ක‍්‍රියාකාරකම්හි නව ක්ෂේත‍්‍ර විවෘත කර ගැනීම සඳහා ඩිජිටල් විප්ලවයේ වාසි ලබා ගන්නේ කවරාකාරයෙන්ද? සම්ප‍්‍රදායික මෙන්ම වාණිජමය කෘෂිකර්මය තුළ අත්දකින ශ‍්‍රමයේ අඩු ඵලදායීතාව වළක්වා ගන්නේ කෙසේද? සාර්ව-ආර්ථිකය තුළ අපට බලපාන වෙනස්කම් හේතුවෙන් අනාගතයේ සිදුවිය හැකි ප‍්‍රාග්ධන ගලනයක් වළක්වා ගත හැක්කේ කෙසේද?

ප‍්‍රඥා ප‍්‍රභවය

මේවා සහ මීට සමාන තවත් ප‍්‍රායෝගික ප‍්‍රශ්නවලට පිළිතුරු සෙවිය යුතුව තිබේ. ඒවාට දිය හැකි විවිධ පිළිතුරු, ජාතික ආර්ථික ප‍්‍රතිපත්තියක් සම්පාදනය කර ගැනීමෙහි ලා, කිරා බැලිය යුතුව තිබේ. එසේ කිරීමේදී අප අවබෝධ කරගත යුතු එක දෙයක් තිබේ. එනම්, කොළඹ සුවපහසු මැදිරි තුළ වෙසෙන විශේෂඥයන් තුළ පමණක් නොව, පෘථුල අත්දැකීම් සහිත වැඩ කරන ජනතාව තුළත් මේ ඥානය තිබෙන බවයි.

දේශපාලනික ක්ෂේත‍්‍රය තුළත් මීට සමාන ප‍්‍රශ්නාවලියකට වඩාත් සුදුසු පිළිතුරු සොයාගත යුතුව තිබේ. අප ආණ්ඩුවක් වෙනස් කර ගත්තේ ඇයි? ඒ, තීරුබදු රහිත වාහන බලපත‍්‍ර ලබා ගැනීමටද? මැද පංතියක් වඩවා ගැනීමටද, නැත්නම් ජාතික ධනය වඩාත් සාධාරණව බෙදා හැරීමටද? බහුතරවාදී පාලනයක් එක දිගටම ගෙන යාමටද, නැත්නම් සමානාත්මතාව මත පදනම් වූ සංවර්ධනයක් සඳහාද? සංවර්ධනයේ නාමයෙන් ඕනෑම වියදමක් දැරිය යුතුද, නැත්නම් පරිසරකාමී සංවර්ධනයක් අත්කර ගත යුතුද?සියලූ පුරවැසියන්ට සමානයන් සේ සැළකිය යුතුද, නැත්නම් වරප‍්‍රසාදලාභී සමානයන් ඇතැයි භාරගත යුතුද? ඕනෑම අපරාධයක් කළ සන්නද්ධ සේවා නිලධාරීන්ට අප දඬුවම් කළ යුතුද, නැත්නම් ඔවුන්ගේ අපරාධ සම්බන්ධයෙන් ශුද්ධ වූ දණ්ඩමුක්තියක් ඔවුන්ට ලබා දිය යුතුද? දේශපාලනික බලය පළාත් අතරේ බෙදාහැරිය යුතුද, නැද්ද? මධ්‍ය කේන්ද්‍රයේ බලය සියලූ ප‍්‍රජාවන් විසින් බෙදාගත යුතුද, නැත්ද?

ජාතික ප‍්‍රතිපත්ති නැති රාජ්‍යයක්, ආතක්පාතක් නැති නැවක් මෙනි. මේ නිසා, නිනව්වකින් මග සොයා ගැනීමේ මාලිමාවක් අපට අවශ්‍ය කෙරේ.

*2015 දෙසැම්බර් 25 වැනි දා ‘ඩේලි නිව්ස්’ පුවත්පතේ පළවූ “In Need of A Compass” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    All the people. Wanting the old regime back,we didn’t. Elect this government for piece meal small advantages,the masses wanted a fundamental change, this takes time,don’t. Get snared in the rajapaka trap again.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.