20 April, 2024

Blog

වෛද්‍ය නලින්ද ජයතිස්සගේ හෝමෝෆෝබියාව හා ජ. වි. පෙ. නිශ්ශබ්දතාව

ත්‍යාගරාජා වරදාස් සහ උපුල් කුමාර වික්‍රමසිංහ

පසුගිය දිනෙක (2015 දෙසැම්බර් 10) Daily News පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවට එක් වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස තමුන් LGBT ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් සඳහා තරයේ විරුද්ධ වන බවත්, සමලිංගිකත්වය වනාහි අස්වාභාවික දෙයක් ලෙසත් ප්‍රකාශ කරන ලදි. මෙම ලිපියේ මින් මතුවට අප LGBT යෙදුම වෙනුවට LGBTIQ කෙටි යෙදුම පාවිච්චි කරන අතර ඉන් හැඟවෙන්නේ සමලිංගික/සමරිසි, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික, අන්තර් ලිංගික සහ අවිනිශ්චිත ලිංගික ප්‍රජාවන් යන්නය. සිවිල් සමාජයේ එකී මෙකි බොහෝ දෙනා (පසුගිය මැතිවරණයේදී ජ. වී. පෙ.ට සහය දුන් අප ද ඇතුළු පිරිස ) මේ ප්‍රකාශයත් සමග අන්දුන් කුන්දුන් වී සිටි. නලින්ද ජයතිස්සගේ මෙම ප්‍රකාශය තුලින් අපට මතක් කර දෙනු ලබන්නේ රාජපක්‍ෂ රෙජීමය පරාජය කිරීමෙන් අපගේ දේශපාලන භූමිකාව අවසන් වී නොමැති බවත් එය හුදෙක් ආණ්ඩුවට පමණක් නොව විපක්‍ෂය සම්බන්ධයෙන්ද අදාළ වන බවයි. තවත් සමහරු, මුහුණු පොතේ දැනටමත් නලින්ද ජයතිස්සට පෙරලා වාග් ප්‍රහාර එල්ල කරමින් සිටි. එම නිසා මෙම ලිපියේ අරමුණ තවදුරටත් නලින්ද ජයතිස්සගේ ස්ථාවරය විවේචනය කිරීම පමණක්ම නොවේ. ඒ වෙනුවට ඔහුගේ ප්‍රකාශය හා ඊට ජ. වි. පෙ. මුනිවත රැකීමේ ප්‍රතිපත්තිය වාම විමුක්ති දේශපාලන දෘෂ්ටියකින් තේරුම් ගන්නේ කෙසේද යන්න කෙටියෙන් පැහැදිලි කිරීමට මෙහිදී අපි උත්සාහ කරමු.

Nalinda Jayatissa

ගෝත්‍රිකවාදී අදහසක්

පළමුව, අපි නලින්දගේ ප්‍රකාශය සැලකිල්ලට ගනිමු. “I am totally against Lesbian, Gay, Bisexual and Transsexual (LGBT) rights.” මේ ප්‍රකාශය ඉතා බරපතල ලෙස තේරුම් ගත යුත්තක්. ඔහු LGBTIQ අයිතිවාසිකම්වලට තරයේ විරුද්ධ වේ. අවශ්‍ය නම් කෙනෙකුට මෙය ඔහුගේ පෞද්ගලික අදහසක් ලෙස තේරුම් ගත හැකිය. එහෙත් මෙය නලින්දගේ හුදෙක් පෞද්ගලික ප්‍රකාශයක් හැටියට පහසුවෙන් බැහැර කළ නොහැක්කේ හේතු දෙකක් නිසාය. එකක්, මෙම ප්‍රකාශයේ අන්තර්ගතය අතිශය ගෝත්‍රිකවාදී වන අතර අනෙක එහි ප්‍රකාශක “නිකමෙක්ම” නොවන නිසාත්ය.

කුමක්ද මේ LGBTIQ ප්‍රජාව ලබා ගැනීමට සටන් කරන අයිතිවාසිකම්? සිය ජීවිතයට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට, රැකියාවට, සමාජ ජීවිතයට, මානව අභිමානයට හා සමාජ කොන්කිරීමට එරෙහි අයිතිවාසිකම් මිසක් වෙන කවරක්ද? මේවා ශිෂ්ට සම්පන්න ඕනෑම සමාජයක මිනිසුන්ට ලැබෙන අයිතිවාසිකම්වලින් වෙනස් වන්නේ කෙසේද යයි අප හට නොතේරේ. නලින්දගේ තර්කයට අනුව මෙවැනි අයිතිවාසිකම් පවා LGBTIQ ප්‍රජාවට ලබා දීම වරදකි. නලින්දට අපගේ සරල පැනය නම්, මේ රටේ සාමාන්‍ය පුද්ගලයෙකුට හිමි අයිතිවාසිකම්වත් ලබා නොදීමට තරම් LGBTIQ ප්‍රජාව කළ වරද කුමක්ද? නලින්දගේ මතයේ තාර්කික අන්තයට ගියහොත් LGBTIQ ප්‍රජාවට ජිවත් වීමේ අයිතිය නැති හෙයින් ඔවුන්ගේ ප්‍රාණය නිරුද්ද කිරීමේ “ශිෂ්ටසම්පන්න සමාජ ශෝදක” කාර්යයද අවශ්‍යනම් නීත්‍යනුකුලව කළ හැකි බවට කෙනෙකුට කිව හැක. ඒ අනුව බලන කල නලින්ද ජයතිස්සගේ LGBTIQ ප්‍රජාවගේ මානව අයිතිවාසිකම් වලට එරෙහි යෝජනාව, කාන්තාවන් වහලුන් මෙන් සලකා ගල් ගසා මරා දමන සමාජ ක්‍රමයකට වඩා වෙනස් වන්නේ අංශු මාත්‍රයකින් පමණි. මෙය ගෝත්‍රිකවාදය කරා යාමක් මිස අන් කවරක්ද?

LGBTIQ ප්‍රජාව අවමානුෂිකකරණයට (Dehumanization) ලක් කිරීම

තවත් අපූර්ව අදහස් කිහිපයක් ඔහුගේ සම්මුඛ සාකච්චාවෙන් උපුටා දක්වමු. “This is not the need of the human being.” නලින්දගේ මෙම ප්‍රකාශයට අනුව නම් ඉහත සඳහන් කළ LGBTIQ ප්‍රජාවගේ මානව අයිතිවාසිකම් මිනිස් අවශ්‍යතා නොවේ. ඔහුගේ මෙම විභේදනයට අනුව ලංකාවේ LGBTIQ ප්‍රජාව යනු මිනිස් කොට්ඨාශයක් නොවේ. එසේ නම් ඔවුන් අමනුෂ්‍ය කොටසක්ද? මෙම අදහසේ ඇති බරපතලකම වන්නේ ලංකාවේ ජීවත්වන LGBTIQ ප්‍රජාවගේ අයිතිවාසිකම් තීරණය කිරීම වනාහි එම ප්‍රජාවට පිටින් සිටින නලින්ද ජයතිස්ස වැනි පුද්ගලයන්ට අනුව සිදු කළ යුතු වීමය. ලංකවේ LGBTIQ ප්‍රජාව මනුෂ්‍යන් හා අමනුෂ්‍යන් ලෙස වර්ග කිරීමට හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් කුමක්ද යන්න තීරණය කිරීමට, නලින්ද ජයතිස්සට ඇති වර පත්‍රය කුමක්ද? කුමන දෙවියන් විසින් දුන් එකක්ද?

ඔහුගේ ප්‍රකාශයෙන් කියන්නට වෙර දරන තවත් දෙයක් නම්, LGBTIQ ප්‍රජාවගේ අයිතිවාසිකම් අස්වභාවික හැඟීම් මත පදනම් වී ඇත යන්නය. “ When people go through … such environments, unnatural feelings come out”. මෙම “අස්වභාවික හැඟීම්” ඇති වීමට හේතු (අවශ්‍යනම් වෙන අවකාශයක සාකච්ඡා කළ හැක.) වලින් ඔබ්බට ගොස් පැනයක් නැගීමට කැමැත්තෙමු. යමක් අස්වභාවික හෝ ස්වභාවික යන්නෙන් නිර්වචනය කිරීමේ පදනම කුමක්ද? ඔහු තම නිර්ණායකය හෙළි කරන්නේ නම් යහපති. මන්ද අපට අනුව නම් මිනිසෙකුට මිනිසා වීම නිසාම ලැබී ඇති අයිතිවාසිකම් අස්වභාවික හෝ ස්වභාවික හැඟීම් මත පදනම්ව වෙන් කිරීම කුරීරු දේශපාලන ක්‍රියාවකි. සරලව කිවොත්, නලින්ද දැනුවත්ව හෝ නොදැනුවත්ව පවසන්නේ LGBTIQ ප්‍රජාවගේ අයිතිවාසිකම් අස්වභාවික හැඟීම් මත පදනම් වී ඇති නිසා ඔවුන් රෝහල් ගත කර බෙහෙත් කර “සුවපත්” කිරිමක් වැනි යෝජනාවකි. මෙම අදහස මානසික සෞඛ්‍ය ගැටළු ඇත්තන් සමාජයෙන් ඈත්කොට සිර කර යදම් ලා සිටි යුගයෙන් වෙනස් වන්නේ කෙසේද කියා පැහැදිලි කර දෙන්නේ නම් වටි. මෙවැනි අදහස් මගින් සමාජය තුළ LGBTIQ ප්‍රජාව අවමානුෂිකකරණයට ලක් කෙරේ. අනෙක් අතට LGBTIQ ප්‍රජාවන් “අස්වාභාවික”, මානසික ගැටළු වලින් පෙලෙන රෝගීන් පිරිසක් නොව විෂමලිංගික මිනිසුන් මෙන්ම විවිධ ක්ෂේත්‍රයන් වල සමර්ථකම් විදහා පාන මනුෂ්‍ය කොට්ඨාශයක් බව වර්තමානයේ බොහෝ දෙනෙකු දන්නා සාමාන්‍ය කරුණකි. නමුත් වෛද්‍ය නලින්ද ජයතිස්සට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් නැති බව පෙනී යන හෙයින් මිෂෙල් ෆුකෝ, එල්ටන් ජෝන්, ඔස්කාර් වයිල්ඩ් වැනි නම් කිහිපයක් සඳහන් කර තැබීම වටිනේ යයි සිතමු.

මුනිවත හොඳද දෙබසින් දුක වැඩි හන්දා?

ලිපියේ දෙවන කොටසට යොමු වුවහොත්, නලින්දගේ මේ ප්‍රකාශය හුදෙක් පෞද්ගලික අදහසක් හැටියට පමණක් තේරුම් ගත නොහැක. මන්ද සම්මුඛ සාකච්ඡාව මගින් ඔහුව ලාංකීය සමාජයේ පිළිගත් නායකත්ව චරිත ආදර්ශයක් ලෙස ගොඩනගා තිබේ. හාස්‍යයට කරුණ වන්නේ අප සමාජය ආදර්ශයට ගත යුත්තන් ලෙස හුවා දක්වන්නේද ගෝත්‍රිකවාදී අදහස්වලින් අනූන තැනැත්තන්ය.

දේශපාලනිකව ගත් කල, දකුණේ දේශපාලනයේ තුන්වන බලවේගයක් ලෙස ඉස්මතුවන සහ විකල්ප දේශපාලන න්‍යාය පත්‍රයක් උදෙසා පෙනී සිටින ප්‍රධාන දේශපාලන පක්ෂයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විසින් මෙවැනි ප්‍රකාශයක් කිරීම බහුවිධ විමුක්තීන් වෙනුවෙන් පෙනී සිටින කිසිදු දේශපාලන ජීවියෙකුට ඉවසා සිටිය හැකිද? වඩා භයානකම දේ ඇත්තේ මෙවැනි අදහස් තුළ නොව ඒවා කිසිදු පැකිලමකින් තොරව ප්‍රකාශ කිරීමට ඇති හැකියාව තුළය. ප්‍රජාවකගේ නිදහස් පැවැත්මට හානිකර ප්‍රකාශ සමාජයක් තුළ දක්නට ලැබිය හැකි වුවත්, තවදුරටත් එවැනි අදහස් විවේචනය කිරීමකින් තොරව නිහඬව සිටීම මගින් එම අදහස අනුමත කිරීමට ඉඩ ලබා දීම කිසිම ශිෂ්ටසම්පන්න සමාජයකට කළ නොහැක. එමනිසා, නලින්ද ජයතිස්සගේ අදහස ජ. වි. පෙ. ස්ථාවරය නොවේ නම්, පක්ෂයේ ස්ථාවරය කුමක්ද යන්න පැහැදිලි කිරීමට වගකීමක් ඇත.

LGBTIQ ප්‍රජාවගේ අයිතිවාසිකම් හා වාමාංශික දේශපාලනය

ජ.වි.පෙ. පෙනී සිටින්නේ වාමාංශික දේශපාලන බලවේගයක් ලෙසය. ජ.වි.පෙ. මධ්‍යම කාරක සභියෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසත් ඊට අමතරව බටහිර වෛද්‍යවරයෙකු ලෙසත් LGBTIQ ප්‍රජාව සම්බන්ධයෙන් නලින්ද ජයතිස්සගේ ස්ථාවරය වඩාත් සමපාත වන්නේ දක්ෂිණාංශික පසුගාමී දේශපාලන ස්ථාවරයන් සමඟ බව අපගේ අදහසයි. අප වාමාංශික වීම එසේත් නැත්නම් වාමාංශික ව්‍යාපාරය හඳුනා ගන්නේ එහි ප්‍රතිවිරුද්ධ දේශපාලන බලවේගය වන දක්ෂිණාංශයට සාපේක්‍ෂව ඉදිරිගාමී ව්‍යාපාරයක් ලෙසය. මිනිස් ශිෂ්ටාචාරයේ ඓතිහාසික පරිණාමීය ක්‍රියාවලිය තුලදී මනුෂ්‍යත්වයට නොසරිලන විවිධ භාවිතයන් බැහැර කර ඇති අතර තවදුරටත් එවැනි භාවිතයන් සමාජයෙන් බැහැර කිරීමට කටයුතු කෙරෙමින් පවතී. මිනිසුන් වහල් ශ්‍රමිකයින් ලෙස යොදා ගැනීම සහ වර්ණ භේදය එලෙස බැහැර කරන ලද නොමිනිස් භාවිතයන්වලට හොඳම උදාහරණ දෙකකි. යමෙක් LGBTIQ ප්‍රජාවට අයත් වූ පමණින් ඔහු/ඇය ආන්තිකකරණය කිරීම සහ වෙනස් කොට සැලකීම වර්තමානයේ එලෙස හඳුනා ගැනෙන තවත් එක් නොමිනිස් භාවිතයකි. එහිදී, බටහිර රටවල එවැනි වෙනස් කොට සැලකීමට එරෙහි අරගලවල පෙරමුණේම සිටින්නේ වාමාංශික බලවේග ය. වඩාත් නිවැරදිව කියන්නේ නම් LGBTIQ ප්‍රජාවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම යමෙක් හෝ යම් ව්‍යාපාරයක් වාමාංශික ද නැද්ද යන්න තීරණය කෙරෙන ලිට්මස් පරීක්‍ෂාවක් බවට එම රටවල පත්වී ඇත. එමෙන්ම එම රටවල LGBTIQ ප්‍රජාවන්ගේ අයිතීන්ට, විශේෂයෙන්ම ඔවුන්ට විවාහ වීමට ඇති අයිතියට එරෙහිව නැගී සිටින්නේ කතෝලික පල්ලිය සහ අන්ත දක්ෂිණාංශික ගතානුගතික මතධාරීන්ය. මධ්‍යස්ථ ලිබරල්වාදීන් බොහෝ දෙනෙකු පවා වර්තමානය වන විට LGBTIQ ප්‍රජාවන්ගේ අයිතීන් පිළිගන්නා මට්ටමට පැමිණ ඇත. වත්මන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවා LGBTIQ ප්‍රජාව සම්බන්ධයෙන් සම්ප්‍රදායික කතෝලික පල්ලියේ මතවාදයෙන් යම් දුරකට බැහැරව එක්තරා මට්ටමක ලිහිල් ස්ථාවරයකට පැමිණ සිටීම කැපී පෙනෙන කරුණකි.

නලින්ද ජයතිස්සගේ මට්ටමට ගෝත්‍රිකවාදී සහ අවිද්‍යාත්මක නොවුනත් LGBTIQ ප්‍රජාවගේ අයිතීන් වලට විරුද්ධ වන ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුගේ තර්කයන් බොහෝ දුරට පදනම් වී ඇත්තේ සංස්කෘතික සාපේක්ෂතාවාදයක් (Cultural Relativism) මතය. එනම් එවැනි ප්‍රජාවන්ගේ අයිතීන් පිළිගැනීම බටහිර සංස්කෘතික වටිනාකම් වලට සාපේක්‍ෂව ගැටළුවක් නොවුනත් ශ්‍රී ලංකාවේ සංස්කෘතියට, විශේෂයෙන්ම සිංහල-බෞද්ධ සංස්කෘතික වටිනාකම්වලට අනුව අකැපය යන්නයි. තර්කයක් ලෙසද මෙය අසංගත තර්කයකි. මන්ද, බටහිර සංස්කෘතිය ලෙස එක් නිශ්චිතව හඳුනාගත් සමජාතීය සංස්කෘතික වටිනාකම් පද්ධතියක් නොමැත. අනෙක් අතට එය සංගත තර්කයක්, එනම් නිශ්චිතව හඳුනා ගත් එක් බටහිර සංස්කෘතියක් ඇතැයි මොහොතකට උපකල්පනය කළහොත් එවැනි සංස්කෘතියක වටිනාකම්වල අධිපතිත්වය දරණු ලබන්නේ කතෝලික පල්ලිය කේන්ද්‍ර කොට ගත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියයි. එසේ නම්, කතෝලික පල්ලිය කේන්ද්‍ර කොට ගත් සංස්කෘතියක් LGBTIQ ප්‍රජාවන්ගේ අයිතීන් පිළිගැනීමට තරම් නෛසර්ගිකවම ප්‍රගතිශීලීද? කිසිසේත්ම නොමැත. බොහෝ කරුණු අතින් ගත් විට එය බෞද්ධ දර්ශනය මත පදනම්වූ සංස්කෘතික වටිනාකම් වලට වඩා ප්‍රතිගාමී යයි යමෙකුට තර්ක කිරීමට පවා හැකිය. එමෙන්ම ඉහතින් සඳහන් කල පරිදී LGBTIQ ප්‍රජාවන්ගේ අයිතීන් සම්බන්ධයෙන් ක්‍රිස්තියානි සංස්කෘතිය දැඩි ආචීර්ණ කල්පික ආස්ථානයක් දරණු ලැබේ.

එවැනි තත්වයක් තුල ලිංගිකත්වය මත පදනම්ව ආන්තිකකරණයට ලක් කෙරෙන LGBTIQ ප්‍රජාවන්ගේ අයිතීන් ක්‍රම ක්‍රමයෙන් පිළිගන්නා තත්වයකටත් නවසීලන්තය වැනි ඇතැම් රටවල ඔවුන්ගේ අයිතීන් නීත්‍යානුකුලව ස්ථාපිත කෙරෙන මට්ටම දක්වා පැමිණීමටත් හැකි වූයේ කෙසේද? ඒ LGBTIQ ප්‍රජාවන් සම්බන්ධයෙන් සමාජයේ මුල් බැසගෙන තිබූ ගතානුගතික ආකල්ප වලට එරෙහිව විවිධ පෙරමුණු ඔස්සේ දියත් වූ තවදුරටත් දියත් කෙරෙමින් පවතින අරගලයන්ගේ ප්‍රතිඵලයක් ලෙසය. වර්තමානයේ ජාත්‍යන්තර තලයේදී LGBTIQ ප්‍රජාවන්ගේ අයිතීන් පිළිගන්නා සියල්ලෝම වාමාංශිකයින් නොවන බව සත්‍යයකි. නමුත් වාමාංශිකයින්ට ලිංගිකත්වය මත පදනම්ව වෙනස් කොට සැලකීම තුලින් පීඩිත ජන කොට්ඨාශයක් වන LGBTIQ ප්‍රජාවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම මග හැර යා නොහැක. එයට හේතුව වාමාංශිකයින් යනු ආර්ථික පීඩනය පමණක් නොව සියළු ආකාරයේ පීඩනයන්ගෙන් පීඩාවට පත්වී සිටින පීඩිතයින්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින, පෙනී සිටිය යුතු දේශපාලන බලවේගයකි. ඔවුන් ධනේශ්වර දක්ෂිණාංශයට විකල්ප බලවේගයක් වන්නේ එසේ වුවහොත් පමණය. නලින්ද ජයතිස්සගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමඟ ලිංගික සුළුතරයන්ගේ අයිතීන් සුරක්‍ෂිත කිරීම සම්බන්ධයෙන් සැබෑ වාමාංශික ප්‍රවේශයක් කරා එළඹීමට සැබෑ අවශ්‍යතාවයක් ඇත්නම් ජ.වි.පෙ. ට මේ මොහොතේ එයට මහඟු අවස්තාවක් උදාවී ඇත. එබැවින් අප ජ.වි.පෙ. ට බල කර සිටින්නේ LGBTIQ ප්‍රජාව සම්බන්ධයෙන් පක්‍ෂයේ නිල ස්ථාවරය වහාම රටට හෙළි කරන ලෙසය. ඒ වගේම තමන් වාමාංශික දේශපාලන බලවේගයක් ලෙස පෙනී සිටින්නේ නම් LGBTIQ ප්‍රජාවන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගීමට පෙරට ආ යුතු බව අපගේ යෝජනාව වන අතර පසුගිය මැතිවරණයේදී ජ.වි.පෙ. ට සහය දුන් පිරිසක් ලෙස ඒ සඳහා අපට අයිතියක් මෙන්ම වගකීමක්ද ඇති බව අපි විශ්වාස කරමු.

*ත්‍යාගරාජා වරදාස් සහ උපුල් කුමාර වික්‍රමසිංහ – අධ්‍යාපන පුනර්ජීවන වැඩසටහන

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    his idea should be appreciated.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.