Colombo Telegraph

මාධ්‍ය: පවතින තත්ත්වය සහ අනාගතය

ජයතිලක ද සිල්වා

පසුගිය අඟහරුවාදා ‘ලෝක පුවත්පත් නිදහස් දිනය’ නිමිත්තෙන් මාධ්‍ය කාර්යාංශය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද, ‘මහජන විශ්වාසය යළි ගොඩනැගීම: ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය සහ මාධ්‍ය වෘත්තිය පිළිබඳ තක්සේරුවක්’ නැමැති කෘතියට සමගාමීව, මාධ්‍ය හිමිකරුවන්, මාධ්‍ය කළමණාකරුවන්, ශාස්ත්‍රාලීය උගතුන්, මාධ්‍ය ක්ෂේත්‍ර​යේ බුද්ධිමතුන් සහ වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන්, ‘ලක්ෂමන් කදිරගාමර් ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ආයතනයේ’ පැවති සම්මන්ත‍්‍රණයේදී, ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තයේ පවතින තත්වය ගැන අගමැති රනිල් වික‍්‍රමසිංහ නීරස සත්‍යයන් කිහිපයක් සාකච්ඡාවට ගත්තේය.

පසුගිය පාලන සමය තුළ මාධ්‍ය කෙරෙහි පනවා තිබූ සීමාවන් නව ආණ්ඩුව ලිහිල් කොට ඇති බව අගමැතිවරයා කී අගමැතිවරයා, මාධ්‍ය වාරණ, මාධ්‍යයට එරෙහි තර්ජන, බිය ගැන්වීම් හෝ මාධ්‍යකරුවන්ට සහ මාධ්‍ය ආයතනවලට එරෙහි ප‍්‍රහාරයන් දැන් නැති බව පෙන්වා දුනි. ප‍්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් ‘ආණ්ඩුවේ කාර්ය අවසන් කොට ඇති’ බව කී ඔහු, දැන් ‘නිදහස පාවිච්චි කිරීම’ මාධ්‍යයට පැවරෙන බව කීය.

එක්නැලිගොඩ අතුරුදහන් වීම

කෙසේ වෙතත්, වෙනස් වීමට අසමත් මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහොමයක් දෙනා තවමත් ගැලී සිටින්නේ, යුද්ධ සමයේ සහ ඉන් අනතුරුව රජ කළ ව්‍යාජ දේශපේ‍්‍රමී සහ ජාතිවාදී මානසිකත්වයේය. තමන්ගේම සගයන්ට පවා එරෙහි ආකල්පයකින් කටයුතු කරන බව කී ඔහු, ‘ඝාතනයට ලක්වූ සිය සගයන් වෙනුවෙන් පවා මාධ්‍ය සටන් නොකරන’ බව පෙන්වා දුනි. ඊට උදාහරණයක් දක්වමින්, මාධ්‍යයේ ඇතැම් කොටස් එක්නැලිගොඩ එල්.ටී.ටී.ඊ. කාරයෙකු හෝ ‘කොටියෙකු’ බව කියමින් ඔහුගේ අතුරුදහන් වීමට එරෙහිව පවත්වන පරීක්ෂණ යුද විරුවන්ට එරෙහිව ගෙන යන දඩයමක් වශයෙන් අර්ථ දක්වන බව කියා සිටියේය. සිංහල බෞද්ධ මාධ්‍යයට අවශ්‍ය කරන්නේ පෙර පැවති තත්ත්වය වෙත ආපසු යාමට බව කීමට එහිදී ඔහු මැළි නොවීය.

ආණ්ඩුවේ අඩුපාඩු තිබිය හැකි බව අගමැතිවරයා පිළිගත්තේය. එය සර්ව සම්පූර්ණ නැත. ගිය ආණ්ඩුව කාලයේ මහජන මුදලින් පිටරට ගිය අවස්ථාවක එක්නැලිගොඩව තමන්ට හමු වූ බව කී, එවැනි ව්‍යාජ හමුවීම් ගැන සාක්ෂියට එදා විපක්ෂයේ සිටි ඇතැම් අහිංසක මන්ත්‍රීවරුන්ගේ නම් පවා ගෙනහැර දැක්වූ දේශපාලඥයෙකු අද මේ සම්මුති ආණ්ඩුවේ ඉහළ තනතුරක් හොබවන බව මෙහිදි මතක් කර දිය යුතුව තිබේ. එක්නැලිගොඩ අතුරුදහන් වූ අවස්ථාවේ, එය පවුලේ ප‍්‍රශ්නයක් නිසා ඔහුම සැඟවී සිටීමක් සේ ගෙනහැර පෑමට මාධ්‍යකරුවන් ඇතුළු තවත් පිරිස් එදා තැත් කළ සැටි මේ ලියුම්කරුට මතක ය. ඔහුව හමුදා කඳවුරකට පැහැරගෙන ගොස් ඇති බව ස්ථාපිතව ඇති මේ මොහොතේ එදා එකී සාවද්‍ය කතා කී පිරිස්වල රෙදි ගැලවෙන විට, අලුතෙන් ඔවුන් සොයාගෙන ඇති ප‍්‍රබන්ධය වන්නේ, එක්නැලිගොඩ කොටියෙකුව සිට ඇති බවයි. තවම පූර්ණ සත්‍යය නිරාවරණයව නැත. එහෙත් පරීක්ෂණ තවදුරටත් ගෙන ගොස් පූර්ණ සත්‍යය ඔප්පු කරගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

කෙසේ වෙතත්, සත්‍යය නිතරම සාපේක්ෂයි. එය හරියට, එකම ලෝහයෙන් තැනූ කාසියක දෙපැත්ත මෙනි. ගරු අගමැතිවරයා කී කතාවටත් එය අදාළයි. මාධ්‍යවේදීන් ඝාතනය කළ සහ තවත් පුද්ගලයන් ප‍්‍රහාරයට ලක්කළ සිදුවීම් පිළිබඳ පරීක්ෂණ ප‍්‍රාණවත් අන්දමින් පවත්වාගෙන යා යුතු අතර එකී අපරාධකරුවන්ට දඬුවම් පැමිණවිය යුතුව තිබේ.

2015 ජනවාරි මාසයේ නව ජනාධිපතිවරයා පත්කර ගැනීමේ සිට දැනටමත් මාස 16 ක් ගතවී තිබේ. එහෙත් කිසි පරීක්ෂණයක් සාර්ථකව අවසන් කිරීම තබා, සතුටුදායක ප‍්‍රගතියක්වත් දකින්ට නැත.

මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ පිළිබඳ ලේකම් කාර්යාලය මගින් නිකුත් කළ වාර්තාව සකස් කොට ඇත්තේ, යුනෙස්කෝව මගින් සම්පාදිත මාධ්‍ය සංවර්ධන දර්ශක මත පදනම්වයි. ඒ සඳහා ඉතා පුළුල් සාකච්ඡා සහ සම්මන්ත්‍රඡාණ පවත්වා තිබේ. මාධ්‍යට අදාළ පාර්ශ්ව සහභාගී කරගෙන තිබේ. මේ දක්වා ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය සම්බන්ධයෙන් නිකුත් වී ඇති වඩාත් විස්තීරණ වාර්තාව එය වශයෙන් සැළකේ. එය, මාධ්‍ය ප‍්‍රතිදාන සැපයුම සහ ඒවායේ ගුණාත්මක භාවය වර්ධනය කර ගැනීමේ ප‍්‍රධාන ප‍්‍රවර්ග 5 ක් යටතේ, නිර්දේශ 101 ක් යෝජනා කරයි.

2015 දී ලෝක පුවත්පත් නිදහස පිළිබඳ සූචියේ 165 වැනි ස්ථානයේ සිටි ශ‍්‍රී ලංකාව 2016 වන විට 141 වැනි ස්ථානයට දියුණු වී ඇත.

සුපතල මාධ්‍යකරුවෝ

වාර්තාවෙන් යෝජිත ප‍්‍රධාන නිර්දේශ අතර මේවා තිබේ:

1. වර්ධනය වී ඇති මාධ්‍ය නිදහසට සමානුපාතිකව මාධ්‍යයේ වෘත්තීය භාවය ඉහළ නංවා ගැනීම
2. ඒවා ක‍්‍රියාත්මක කිරීම සඳහා නීති ප‍්‍රතිසංස්කරණ පනවා ගැනීම සහ වෙනත් රාජ්‍ය අත්‍යාවශ්‍ය රාජ්‍ය ක‍්‍රියාකාරකම්
3. මාධ්‍යයේ ස්වයං-නියාමනය
4. ස්වාධීන විකාශන නියාමනයක් පිහිටුවා ගැනීම
5. රාජ්‍ය මාධ්‍ය, මහජන සේවා මාධ්‍ය බවට පරිවර්තනය කිරීම
6. මාධ්‍ය පුහුණුව යාවත්කාලීන කිරීම සහ ඉහළ නැංවීම
7. මාධ්‍ය හිමිකාරීත්වය, ජනතාවට වගවන, විවෘත සහ පාරදෘෂ්‍ය භාවයකින් පවත්වා ගැනීම
8. පුවත්පත් මණ්ඩල නීතිය අවලංගු කොට, පුවත්පත් මණ්ඩලය අහෝසි කිරීම.

පුඩිමක රස බැලිය හැක්කේ එය අනුභව කිරීමෙනැ යි කියමනක් තිබේ. එයාකාරයෙන්ම, මෙකී වාර්තාවේ ගුණය උරගා බැලිය හැක්කේ එය ක‍්‍රියාත්මක කිරීමෙන් පමණි. එය පහසු කාර්යයක් නොවේ. එම යෝජනා සාර්ථකව ක‍්‍රියාවට නැංවීම සහතික කරලීමේ විශාල හැකියාවක් මාධ්‍ය හිමිකරුවන්ට සහ ප‍්‍රකට මාධ්‍යකරුවන්ට තිබේ.

මෙය, පුරවැසියන්ගේ සහ සිවිල් සමාජ සංවිධානවල සහයෝගය නැතිව සාර්ථක කර ගැනීමට පුලූවන් කමක්ද නැත. මන්ද යත්, පරිපාලකයන් සහ බලය හොබවන දේශපාලඥයන් මහජන මතයට කන්දෙන්නේ, පුරවැසියන් සහ සිවිල් සංවිධාන ප‍්‍රබල බලයක් වන තරමට ය. එසේ නොවුණහොත් සිදුවන්නේ, පසු ගිය රාජ්‍ය පාලන සමයේ මාධ්‍ය සම්බන්ධයෙන් පැවති කුසීත භාවය සහ සහජ ස්වයං-නියාමනයම, වර්තමාන සමස්ත මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය අඩාල කිරීමයි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, දේශපාලනික දේහයේ ප‍්‍රජාතන්ත්‍රීය පුනරුදය අත්හිටවනු ඇත.

*2016 මැයි 06 වැනි දා ‘ඩේලි නිව්ස්’ පුවත්පතේ පළවූ “Media: Status Quo & Future” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Back to Home page